Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 12—ඔබගේ පවුලේ ප්‍රමාණය සැලසුම් කිරීම

    දරුවනට තද බල වරදක්: විශාල පවුලක් රැක බලා ගැනීමට තමනට හැකිවේද නොවේද යන්න නොසලකමින්, රැක බලා ගැනීම හා යහමග යොමු කිරීම පිණිස ඉත සිතින් තම දෙමාපියන් කෙරෙහි රඳා සිටින අසරණ දරු පැටවුන්ගෙන් නිවෙස් පුරවාලන පියවරු සිටිති. මෙය මවට පමණක් නොව, ඇගේ දරුවන්ට ද සමාජයටද කරන බරපතල වරදකි.AHS 36.1

    තම දරුවන් රැක බලා ගන්ට මවට නිසි පමණ ශක්තිය තිබේද? දරුවා නිසි මග යවා ඉගැන්වීමට පියාට හැකිද? දරුවාගේ ඉරණම කෙතරම් සැහැල්ලුවට ගෙන තිබේද? එකම කල්පනාව සිත් සතන් පිනවා ගැනීම වන අතර, මවගේ ජීව ශක්තිය සහ ආත්මික බලය අඩපන කරවන අනවශ්‍ය බර ඇය පිට පැටවේ. වැහැරුණු කාය ශක්තියෙන් හා ‍අධෛර්යට පත් සිතින් යුතුව, තම සිතැඟි පරිදි රැකබලා ගත නොහැකි දරුපැටව් රැලක් තමන් වටා සිටිනා සැටි ඇය දකියි. ලද යුතු නිසි උපදෙසින් හීනව මේ දරුවන් දෙවියන්වහන්සේට නිගරු දීමට වැඩෙන අතර තම සිත්හි වන නපුරු දේ අනුනට කියා පානා ‍‍මොවුහු සාතන්ට කැමති පරිදි හසුරුවා ගත හැකිවන සේනාවක් වෙති.AHS 36.2

    වෙනත් කාරණා: සැම දරුවා හටම නිසි අධ්‍යාපනයක් දෙනු ලැබීමටත්, සුර දූත ඇසුර සදහා තම කුඩා උන් හික්මවා ලීමට මවට තම සිත මෙහෙය වීමට හැකිවනසේ ස්වකීය ශක්තිය හා කාලය මිඩංගු කිරීමටත් පිළිවන් වන අයුරින් දෙමාපියන් බුද්ධිමත්ව කටයුතු කිරීම දිව්‍ය අභිප්‍රාය වේ. තම දරුවන් පවුලට හා සමාජයට ආශිර්වාදයක් වන පිණිස, තම කොටස උතුම් ලෙස ඉටුකර ලීමටත්, එය දෙවියන්වහන්සේ තුළ භය භක්තිය හා ප්‍රේමය ඇතිව කිරීමටත් ඇයට ධෛර්යය තිබිය යුතුය. AHS 36.3

    බිරිඳ සහ තම දරුවන්ගේ මවට අනවශ්‍ය බර පැටවී ඇය අසරණ නොවන පිණිස ස්වාමි පුරැෂයා සහ පියා මේ කාරණා සැලකිල්ලට ගත යුතුව ඇත. බොහෝ වූ තම දරුවන්ට සාධාරණ ලෙස සලකන්ට ‍අපොහොසත්ව ඔවුන් නිසි පුහුණුවෙන් තොරව වැඩෙනු දකින්ට මවට නොසිදුවන පරිදි කටයුතු කරන්ට ඔහු වග බලා ගත යුතු වේ. AHS 37.1

    තම දරුවන් හොඳින් රැක බලා ගෙන ඉගැන්වීමට දෙමාපියනට අවශ්‍යවන කාලයට වඩා වේගයෙන් ඔවුන් තම පවුලේ සංඛ්‍යාව වැඩි නොකළ යුතුය. වසරින් වසර මවගෙ‍් ඇකයේ දරුවකු සිටීම ඇයට කෙරෙන විශාල අසාධාරණයකි. ඇයගේ සාමාජීය සතුට ඉන් අඩු කෙරෙන හා බොහෝ විට විනාශ කෙරෙන අතර ඇයට නිවසේ අතෝරයක් නැති වැඩ කටයුතු ගොඩ ගැසේ. දෙමාපියන් දරුවන්ට සලසා දිය යුතු රැකවරණය, අධ්‍යාපනය හා සතුට ඉන් උදුරා ගැනෙයි. AHS 37.2

    විශාල පවුලක දෙමාපියන්ට උපදෙස්: අප විසින් විසඳිය යුතුව ඇති ප්‍රශ්නය වනුයේ, මා දරු පවුලක් හදනුයේ අන්ධකාර බලවේගයන්ගේ අනු බලය තර කිරීමට හා ඒවා තහවුරු කිරීමටද නැත හොත් ක්‍රිස්තුස්වහන්සේ උදෙසාද? යන්නය.AHS 37.3

    දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි ඔබ ඔබේ දරුවන් හසුරුවාගෙන ඔවුන්ගේ චරිත ගොඩ නොනගන්නෙහි නම්, ඔබේ සාවද්‍ය පුහුණුවෙන් විනාශයට පාත්‍ර වන දරුවන් සංඛ්‍යාව අඩු වූ තරමට දෙමාපියන් වශයෙන් ඔබටද සමාජයටද එය යහපතකි. දරුවන්ගේ බිළිඳු වියේ සිටම නැණවත්, යුක්තිගරුක, හෘද සාක්ෂියට අනුව ක්‍රියා කරන, ස්වාමින්වහන්සේ ‍කෙරෙහි භය භක්තියෙන් යුතුව නිවස පාලනය කරන, ධර්මිෂ්ඨකමේ ප්‍රමිතියට අනුව දරුවන්ගේ චරිත හැඩ ගස්වන මවක විසින් තම දරුවන් සංඛ්‍යාව වැඩි කිරීම පාපයකි. දෙවියන්වහන්සේ ඔබට තර්ක බුද්ධියක් දී තිබෙන අතර ඔබ එය භාවිතා කරතැයි උන්වහන්සේ අපේක්ෂා කරන සේක. AHS 37.4

    ආර්ථික කාරණා: තම දරුවන්ට කවර දේ සපයා දිය හැකි දැයි දෙමාපියන් සන්සුන්ව සලකා බැලිය යුතුය. අන්‍යයන්ට බරක් වන ලෙස ලොවට දරුවන් බිහි කිරීමට ඔවුනට කිසිදු අයිතියක් නැත. තමන් අනුනට බරක් නොවන පරිදි තම පවුල නඩත්තු කළ හැකි ව්‍යාපාරයක්, ආදායම් මාර්ගයක් ඔවුනට තිබේද? එසේ නොවේ නම්, නිසි සැලකිල්ල, ආහාර පාන හා ඇඳුම් පැළඳුම් නැති කමින් දුක් විදීමට දරුවන් මෙළොවට බිහිකිරීමෙන් ඔවුහු අපරාධයක් කරති.AHS 37.5

    ධනවතු‍න්ට උවමනා එපා කම් සපයා දීමට බැරි තරමට දරුවන් නොසිටින අතර සාමාන්‍යයෙන් තම නිවෙස් දරුවන්ගෙන් පුරවා ලන්නේ ලොවෙහි තරඟ කාරීව ජීවත්වීමට අඩුවෙන්ම සුදුසුකම් ලත් හා නිසි ආදායමක් උපයා ගැනීමට අදක්ෂ අයවළුන්ය.AHS 37.6