Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 52—කථනය

    කටහඬ කුසලතාවයකි: කටහඩ පවරනු ලැබූ කුසලතාවයක් වන අතර එය අපගේ අසල්වැසියන්ට උපකාර කිරීමට, ඔවුන් දිරි ගැන්වීමට සහ ශක්තිමත් කිරීමට භාවිතා කළ යුතු වේ. දෙමාපියන් දෙවියන්වහන්සේට ප්‍රේම කරමින් යුක්තිය සහ විනිශ්චය ඉටු කිරීමට ස්වාමීන්වහන්සේගේ මාර්ගයෙහි පැවතිය හොත්, ඔවුන්ගේ බස් වහර දුබල, අනවශ්‍ය මෘදු කමට දිරි නොදෙනු ඇත. ඔවුන්ගේ හඬ ප්‍රාණවත්, පවිත්‍ර චරිතය හැඩගස්වන ස්වභාවයකින් යුක්ත වනු ඇත. ඔවුන් නිවස තුළ හෝ නිවසින් බැහැරව සිටියද ඔවුන්ගේ වචන හොඳ සිහි බුද්ධියෙන් තෝරා ගනු ලැබූ ඒවා වන්නේය. ඔවුන් කිසිදු බාල අඩියකට නොවැටෙනු ඇත.AHS 155.1

    නිවසේදී පැවසෙන වචන වලට දේව දූතයෝ කන් යොමයි. එහෙයින් විටෙක පරුෂ ලෙස බැන නොවදින්න. ඔබගේ වදන්හි අනුබලය මිහිරි සුවඳක් සේ ස්වර්ගය වෙත එසවී යන්ට සලස්වන්න. AHS 155.2

    දෙමාපියන් නිවස තුළ වාතාවාරණය කාරුණික මිහිරි වදනින්, මෘදු ‍දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් පිවිතුරුව සුවඳවත්ව තබා ගත යුතු මෙන්ම ප්‍රතිපත්ති සම්බන්ධව ඔවුහු තදබලව, නොනැමෙන අයුරින් කටයුතු කළ යුතු වේ. ඔබ ඔබගේ දරුවන්ට තදබල සේ සිටිය හොත් ඔබ ඔවුනට ප්‍රේම නොකරන්නෙහිය යැයි ඔවුන් සිතිය හැකිය.මෙය ඔබට බලාපොරොත්තු වන්ට පුළුවන. ඵහෙත් කිසි දිනක රළු පරුෂ කම නොපෙන්වන්න. යුක්තිය සහ කරුණාව අතිනත ගත යුතුය. දෙපැත්තට සැලෙන හෝ සිතේ ආවේගයන්ට අනුව ක්‍රියා කරන මොහොතක් හෝ නොතිබිය යුතුය.AHS 155.3

    ඇතුළත කරුණාව බාහිරව දැක්වීමක්: භාෂාවේ මූලික අවශ්‍යතාවය වනුයේ ඵය පිවිතුරු, කාරුණික සහ සත්‍යවාදී වී ඇතුළාන්තික කරුණාවේ බාහිර එළිදැක්වීමක් වීමය. මෙම භාෂා අධ්‍යනය සඳහා තිබෙන හොඳම පාසල නිවසයි.AHS 155.4

    කථනයෙහි පිරිසිදුව සිටින්න. රළු, ඒකාධිපති හඩක් නොව, මෘදු, පෙරැත්ත කරන සුළු හඩක් පුහුණු කර ගන්න. හඬ ප්‍රගුණ කර ගැනීමේ පාඩම් දරුවන්ට දෙන්න. යම් කරදර පරීක්ෂා ආදිය පැමිණෙන විට හදිසියේම දරුවන්ගේ මුවින් දළ රළු වදන් පිට නොවන පිණිස ඔවුන්ගේ කථා බහ පුරුදු පුහුණු කරන්න. AHS 156.1

    රළු පරුෂ බැණ විදීම: රළු පරුෂ, දබරකාරී බැනවැදීම් භාවිතා වන නිවසක බිළි‍ඳෙක් බොහෝ අඬයි. දරුවාගේ මෘදු හැඟීම් මත එසේ අසතුටේ සහ අසමගියේ කැළැල් කා වැදී යයි. එහෙයින් මව් වරුනි, ඔබගේ මුහුණු සතුටින් බබළවන්න. ඔබට හැකි නම් සිනහ මුසුවන්න. ලෝහ ශිල්පියෙකුගේ දිලිසෙන ලෝහ තැටියකින් මිනිස් අගපසග පිළිබිඹු වන්නා සේ බිළිඳාගේ මනස සහ හදවතද ඔබ මුහු‍ණේ තිබෙන ආලෝකය පිළිබිඹු කරනු ඇත. ඔබේ දරුවාගේ මෙළෙක් මනසෙහි දිව්‍ය සමානකම තදින් සටහන් වන පරිදි මව්වරුන් තමන් තුළ ක්‍රිස්තුස්වහන්සේගේ වැඩ සිටීම තහවුරු කර ගත යුතුය.AHS 156.2

    කර්කශ දේ ඉවත ලන්න: දබර කිරීම හා අසමගිය වැනි කිසි දෙයක් නිවසට ඇතුළු වීමෙන් වළකන්න. මෘදු ලෙස කථා කරන්න. රළු පරුෂ ලෙස කිසිවිටෙක කෑ මොර නොදෙන්න. ඔබේ සිත නිසලව තබා ගන්න. වැරදි සෙවීම හා සියලු අසත්‍යවාදී කම් ඉවත ලන්න. සියල්ල සාමකාමී වූ, එක කර්කශ වදනක් හෝ ‍නොඇසෙන ශුද්ධ ස්වර්ගයක් සඳහා සූදානම් වීමට දරුවන්ට සහය වීමට ඔබ සිතනා බැව් ඔවුන්ට පවසන්න. ඔබට සුළු ලෙස පෙනෙන, එහෙත් ඔවුනට අති විශාල ලෙස පෙනෙන ඔවුන්ගේ දුක් කරදරවලදී ඔවුන් හා ඉවසිලිමත්ව ක්‍රියා කරන්න.AHS 156.3

    හිරු එළියද අඳුරු සෙවනැල්ලද? බාල තරුණ දරුවන්ගේ ක්‍රියා මාර්ගය ඔවුන්ගේ නිවසට පමණක් නොව ඔවුන් ඇසුරු කරන සියල්ලන්ටද හිරු ඵළිය හෝ අඳුරු සෙවනැල්ලක් ගෙන දිය හැකි බැවින් ඔවුන්ගේ ක්‍රියා සහ වචන ගැන ප්‍රවේශම් වීමට ඔවුන්ට ඉගැන්විය යුතුය.AHS 156.4

    දෙමාපියන් දරුවන්ට ප්‍රසන්න වචන පමණක් භාවිතා කළ යුතු අතර දරුවන්ද දෙමාපියන්ට ගෞරව පූර්වක වචන පමණක් භාවිත කළ යුතු වේ.AHS 156.5

    කෝපාවිෂ්ඨ ඉක්මන් වචන: ඔබ ඔබගේ දරුවන්ට කෝපාවිෂ්ඨව අමතන විට, සියලු ධර්මිෂ්ටකමේ සතුරාට ඔබ රුකුල් දෙන්නෙහිය. ළදරු වියේ සිට සැම දරුවාටම සාධාරණ අවස්ථාවක් ලැබ දෙන්න. රළු පරුෂ ලෙස නොව කාරුණිකව සහ ඉවසිලි වන්තව කළ යුතු ඉගැන්වීමේ කාර්යය ළදරු වියේ සිටම ආරම්භ කරන්ට අවශ්‍ය වන අතර මෙම ගුරු හරු කම් දීම දරුවා පුරුෂයෙකු, ස්ත්‍රියක වන තුරුම නොකඩවා කරගෙන යායුතුය. නොඉවසිලිමත් වදන් ප්‍රකාශ කිරීම මගින් පවුල් කවය තුළ කෙතරම් හානියක් සිදුවේද! මන්ද එක් අයෙකුගේ නොඉවසිලිමත් වදන් වලට එම තික්ත කමින්ම යුතුව පිළිතුරු දීමට තවත් අයෙකු පොළඹවයි. ඉක්බිතිව ඵකට ඵක කීමටද තමන්ගේ හොඳ ‍කම ප්‍රකාශ කිරීමටද පටන් ගන්නා අතර මෙම වචන මගින් ඔබ කරපිටට කටුක විය ගහක් හෙළනු ලැබෙයි. මන්ද මෙම කර්කශ වචන ඔබ සිතට ඉමහත් අපහසුතාවයක් ඇති කරනු ඇත.AHS 156.6

    යෝජිත ගිවිසුමක්: ප්‍රේමයේ රීතියට තම වදන් ‍පාලනය කීරීමට ඉඩ හරින බවටද තම නිවසේදී කාරුණිකව කථා බහ කරන බවටද ගිවිසුමක් අත්සන් කිරීම සෑම පුරුෂයා හටම ප්‍රයෝජනවත් වනු ඇත. දෙමාපියෙනි, කිසි දිනක හදිසි කෝපයෙන් යමක් නොපවන්න. ඔබගේ දරුවන් වැරදි කරයි නම් ඔවුන් නිවැරදි කරන්න.එහෙත් ඔබගේ වදන් මෘදු කමින් හා ‍ප්‍රේමයෙන් යුතුව පවසන්න. ඔබ බැන වදින සැම අවස්ථාවකදීම දරා සිටීම සහ ඉවසීම පිළිබඳව පාඩමක් දීමට ඔබට තිබු අගනා අවස්ථාවක් ඔබ අහිමි කර ගන්නෙහිය.AHS 157.1

    කෑම මේසය වටා කතා බහ: කොපමණ පවුල් තම දෛණික ආහාර වේල සැකයෙන් හා ප්‍රශ්න කිරීම් මගින් නිරසවත් කර ගනිත්ද! ඔවුහු තම මිතුරන්ගේ චරිත කපා කොටා ඝාතනය කොට කෑමට පසු ගන්නා අවුළුපත් සේ රස විඳිති. වැඩිහිටියන් විසින් පමණක් නොව දරුවන් විසින්ද යමක් පවසනු ලබන පිණිස අපූරු කේළමක් මේසය වටා යැවෙයි. මෙයින් දෙවියන්වහන්සේට නිගරු කෙරෙයි.AHS 157.2

    මේසය වටා කෙරෙන කතා බහ දරුවන්ගේ සිත්හි මිහිරි සුවඳක් මුදාලීමට හැකිවනසේ සකසාගත් ඒවා කරගන්න.AHS 157.3

    පියවරුනි, මව්වරුනි, ඔබ කෙතරම් සංවේදීද, දොස් පවරනු ලැබීම දරා සිටීමට ඔබට කෙතරම් අසීරුද යන්න මතක තබා ගෙන ඔබේ දරුවන්ද ඔබ වාගේම බැව් වටහා ගනිමින් ඔවුන්ට කාරුණිකව අමතන්න. ඔබට දරා සිටිය නොහැකි දේ ඔබේ දරුවන් මත නොදමන්න. ඔබට දෝෂාරෝපණ දරා සිටිය නොහැකි නම්, වඩා දුර්වල සිත් ඇති, ඔබ තරම්වත් දරා ගැනීමේ ශක්තියක් නැති ඔබේ දරුවන්ට එය විඳ ගැනීම ඉතා අසීරු වෙයි. ඔබගේ ප්‍රසන්න ප්‍රීතිමත් වදන් සැමදා පවුල තුළ හිරු කිරණ සේ පවතින්ට සලස්වන්න. ඔබගේ ආත්ම ‍දමනය, කල්පනාශීලීකම සහ යහපත් අරමුණු ඉටු කර ගැනීමට දරනා වෙහෙසට සියක් ගුණයක ප්‍රතිඵල ලැබෙනු ඇත. AHS 157.4