Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහා අරගලය 1858

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    34 පරිච්ඡේදය - මහත් හඬ

    දේව දූතයෝ ස්වර්ගයෙහි ඉක්මනින් එහා මෙහා යනවා මම දුටිමි. කිසියම් වැදගත් කාර්යයක් ඉටු කරනු පිණිස ඔවුහු ස්වර්ගයෙන් පොළොවටත්, පොළොවෙන් ස්වර්ගයටත් යමින් එමින් සිටියහ. තවත් මහා බලවත් දේව දූතයෙකුට ලෝකයට යන්ට අණ දෙනවා මට ඇසිණි. එම දේව දූතයා තමාගේ හඬ තුන්වන දූතයාගේ හඬට එකතු කර බලය දිය යුතු විය. මහත් බලයද තේජසද ඔහුට දෙනු ලැබීය. ඔහු ලෝකයට ලංවූ අතර ඔහුගේ තේජසින් ලෝකය ආලෝක විය. මෙම දේව දූතයාට ඉදිරියෙන්ද පිටුපසින්ද ගමන් කළ ආලෝකය හැමතැන විනිවිද පැතිර ගිය අතර ඔහු මහත් හඬකින් කථා කර මහා බබිලෝනිය වැටුණේය. වැටුණේය කියාද ‘එය යක්ෂයින්ගේ සැම අපවිත්‍ර ආත්මයන්ගේ හිරගෙයක්ද සියලු අපවිත්‍ර පක්ෂීන්ගේ හිරගෙයක්ද වූවා’ යයි කීවේය. බබිලෝනියේ වැටීම ගැන දෙවන දූතයා දුන් පණිවිඩය නැවත හඬ නගන්ට විය. 1844 න් පසුව සභාවලට එකතු වූ දූෂනයන්ද පණිවිඩයට එකතු කර තිබිණ. මෙම පණිවිඩය පැමිණියේ නියම වෙලාවටය. තුන්වන දූතයාට එකතුව අවසාන මහා මෙහෙය සඳහා වූ තුන්වන දූතයාගේ මහත් හඬට මෙය බලය එකතු කළේය. හැමතැනම සිටින දේව දරුවන්ව පරික්ෂාවේ පැය සඳහා එමගින් සුදානම් කරනු ලැබීය. මහත් ආලෝකයක් ඔවුන් අතර පැතිර තිබු අතර පණිවිඩය තුළ ඔවුන් හැමදෙනාම එකමුතු වූහ. භය නැතිව තුන්වන දූතයාගේ පණිවිඩය ප්‍රකාශ කළහ. GCSinh 69.1

    ඒ බලවත් දේව දූතයාට සහාය වන පිණිස ස්වර්ගයෙන් තවත් දූතයන්ව එවන ලදී. පණිවිඩයේ හඬ හැමතැනින්ම පැමිණෙනවා මම ඇසීමි. තවද ‘මාගේ සෙනඟනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට හසු නොවන පිණිසත් ඇගෙන් ඉවත්ව වරෙල්ලා’ යයි කියන වෙන හඬක් ස්වරයෙන් මට ඇසිණි. මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය. දෙවියන්වහන්සේද ඇගේ අපරාධ සිහි කළ සේක. 1844දි දෙවන දූතයාගේ හඬට මධ්‍යම රාත්‍රියේ හඬ එක්වූවාක් මෙන් මේ හඬ තුන්වන දේව දූතයාගේ හඬට තවත් විශේෂ කරුණු එක්කරමින් එකතු විය. ඉවසිල්ල ඇතුව බලා සිටි ශුද්ධවන්තයන් කෙරෙහි දේව මහිමය පතිත විය. ඔවුහු භය නැතිව අවසාන අනතුරු ඇඟවීමේ පණිවිඩය ප්‍රකාශ කළහ. බබිලෝනිය වැටීමද ඈ වෙත පැමිණෙන්ට යන මහා විනාශයෙන් ගැලවෙන පිණිසද තවමත් බබිලෝනිය තුළ සිටින දෙවියන්වහන්සේගේ සෙනඟට ඈ වෙතින් ඉවත්ව එන ලෙසද ඉල්ලා සිටියහ.GCSinh 69.2

    පැමිණි ආලෝකයෙන් බිඳක් හෝ ලබා සිටි අය වෙත මෙම මහත් ආලෝකය පැමිණි අතර මීට පෙර එවන ලද දේව දූතයන් තුන්දෙනාගේ පණිවිඩ එපා නොකළ අය මේ කැඳවීමට ප්‍රතිචාරය දක්වමින් ඇදහිල්ලෙන් වැටී තිබු සභාවල් අතහැර පිටතට පැමිණියහ. දේව දූතයන් තුන්දෙනාගේ පණිවිඩ වසර කීපයක්ක් තිස්සෙම අසා තිබු අයගේ වගකීම අති මහත්ය. ඔවුන් ඒ ගැන ගණන් දෙන්ට යෙදෙනවාය. දැන් ඔවුන්ට ජීවිතය හෝ මරණය තොරාගන්ට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත. සමහර අය ආඥා පවත්වමින් යේසුස්වහන්සේගේ පැමිණීම බලා සිටින්ට තෝරා ගත්හ. තුන්වෙනි දූතයාගේ පණිවිඩ මගින් ඇදහිලිවන්තයන් සෝදිසියකට භාජනය කර, වටිනා අයව සභාවල්වලින් පිටතට ගන්ට නියම කර තිබිණ. අවංක අය තුළ පෙළඹවීමේ බලයක් ක්‍රියාකරන්නට වූ අතර මේ අයට විරුද්ධව බාධා කිරීම් ඇති නොකරන ලෙස නෑයින් සහ මිත්‍රයින් කෙරෙහි විශේෂ දේව බලපෑමක් ක්‍රියාත්මක වන බව පෙනෙන්ට තිබිණ. අවසාන කැඳවීම දුප්පත් වහලුන් වෙතද පැමිණ ඔවුන් අතර දේව භය ඇතුව සිටි අය තමාගේ මිදීම පැමිණ තිබෙන බව දැන මහත් ප්‍රීතියෙන් කැඳවීම පිළිගත්හ. ස්වාමිවරු මහත් භීතියකට විශ්මයකද පත්ව සිටියෙන් ඔවුන්ට බාධා කළේ නැත. රෝගීන් සුව කිරීම් ආදී මහත් පුදුම හාස්කම් ඇදහිලිවන්තයන් මගින් කරන්ට යෙදිණි. මේ මහත් මෙහෙය සමග දෙවියන්වහන්සේගේ සිටින බැවින් කුමක් වුවත් භය නැතිව තම හෘද සාක්ෂියට එකඟව ඔවුහු දෙවියන්වහන්සේගේ ආඥා සියල්ලම පවත්වා සෙනඟ සමග එකතු වූහ. ඔවුහු තුන්වන පණිවිඩය බලයෙන් යුක්තව ප්‍රකාශ කළහ. මධ්‍යම රාත්‍රියේ හඬට වඩා මහත් බලයකින් යුතුව තුන්වන පණිවිඩය ප්‍රකාශ කරන බව මම දුටිමි.GCSinh 70.1

    ස්වර්ගීය බලයෙන් සරසනු ලැබූ දේව සේවකයෝ ආලෝක කරනු ලැබූ මුහුණුවලින් යුතුව ශුද්ධ කැපවීමකින් බබලමින් ස්වර්ගීය පණිවිඩය ප්‍රකාශ කළහ. සභාවල්වල විසිර සිටි දේව දරුවෝ කැඳවීමට ප්‍රතිචාර දැක්වූහ. විනාශයට කැපව සිටි සභාවලින් පිටතට ඔවුන්ව ඉක්මනින් ගෙනෙනු ලැබූහ. එය සොදොම් ගොමෝරා විනාශයෙන් ලොත්ව මුදාගතා හා සමානය. මහත් උතුම් තේජස මුදාගත් අය කෙරෙහි පැමිණ ඔවුන්ව ශක්තිමත්ව සුදානම් කෙරිණ. පරික්ෂා පැයේ අමාරුකම් දරාගන්ට හැකිවන පිණිස ඔවුන් හැඩගැන්වූහ. ‘දෙවියන්වහන්සේගේ ආඥා පවත්වා යේසුස්වහන්සේගේ ඇදහිල්ල රක්ෂා කරන ශුද්ධවන්තයන්ගේ ඉවසීම මෙහි’ යයි කියනෂබ්ද හැම පැත්තෙන්ම පැමිණෙනවා මට ඇසිණි.GCSinh 70.2

    ______________________________________
    බලන්න: උත්පත්ති 19; එළිදරව් 14: 12; 18: 2-5
    GCSinh 70.3