Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    13 - නෙදර්ලන්තය සහ ස්කැන්ඩිනේවියාව

    නෙදර්ලන්තය රෝමයේ කුරිරු ඒකාධිපති පාලනයට එරෙහිව නැගී සිටියේය. මාටින් ලූතර් විසින් පුනරුදය ආරම්භ කිරීමට වසර හත්සියයකට පෙර නෙදර්ලන්තය රෝමයට විරුද්ධව නැගී සිටියාය. නෙදර්ලන්ත රජය විසින් ඇයගේ රදගුරු ප්‍රසාදීන් දෙදෙනෙකු තානාපති ගමනක් සඳහා රෝමයට යැව්වාය. එහිදී ඔවුන්ට “ශුද්ධාසනයෙහි” නැතහොත් පාප් බල අධිකාරී ව්‍යුහයේ නියම තත්ත්වය නියමාකාරයෙන් දැක බලාගැනීමට හැකි විය. මේ පිළිබඳව ඔවුන්ගේ වාර්තාවෙහි මෙසේ සඳහන් වේ. “දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ රාජකීය අනාගත මනමාලිය ලෙස සභාව තෝරාගත් සේක. ඇයගේ පවුලේ සාමාජිකයන් උදෙසා උදාරවූ ද, සදාතනිකවූ ද, අවශ්‍යතාවන් සඳහා උවමනා කරන්නාවූ සියල්ල උන්වහන්සේ සපයා දුන් සේක. ඇයට දායාද කර ඇති දේ කාලයගේ ඇවෑමෙන් නැති වී නොයන්නේය, ජරාවට පත් නොවන්නේය. උන්වහන්සේ ඇයට සදාතන ඔටුන්නක් සහ රාජකීය සෙංකෝලයක් හිමි කර දුන් සේක ... කතෝලික සභාවේ නායකයන් වන ඔබලා විසින් මේ සියල්ල සොරා ගෙන අත්පත් කරගෙන සිටිනවා. මේ ආශිර්වාද සාමාජිකයන් අතට පත්වීම දේව සැලැස්ම වන්නේය. ඔබ දෙවියන්වහන්සේගේ සේවයට කැප වූ දේව සේවකයෙකි. දේව සභාවේ පාලකයා වන ඔබ (පාප් තුමා) දේව මාළිගාවේ වැඩ සිටින්නේ දෙවියන්වහන්සේ ලෙසිනි. එඬේරෙකු ලෙස ක්‍රියා කරන්නේ නැතිව ඔබ ඔවුන්ට වෘකයෙකු බවට පත්ව ඇත. උත්තරීතර බිෂොප් ලෙස ඔබ කෙරෙහි විශ්වාස කිරීම ඔබ අපගේ බලාපොරොත්තු වෙනවා. එහෙත් ඔබ ක්‍රියා කරන්නේ කුරිරු පාලකයෙකු වාගේය. ... ඔබ සේවකයන්ගේ සේවකයෙක් විය යුතුය. තමා එසේ යයි ඔබම ඔබ ගැන පවසනවා. එහෙත් ඔබගේ වෑයම ස්වාමිවරුන්ගේ ස්වාමියා වීමටයි, ... ඔබ දෙවියන්වහන්සේගේ ආඥා නිග්‍රහයට පත් කරනවා. ... මෙම පොළෝ තලයෙහි වූ සියලුම සභාවන් ගොඩ නගන්නාවූ තැනැන්වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේය. ... අපගේ දෙවියන්වහන්සේගේ නගරය සගයේ ඇති සෑම ප්‍රදේශයක් වෙතම ව්‍යාප්තව පවතී. අපි එම නගරයේ පුරවැසියන් වෙමු. ශුද්ධ වූ දිවැසිවරුන් විසින් බබිලෝනිය යයි නම් කර ඇති නුවරට වඩා දෙවියන්වහන්සේගේ නගරය ඉතා විශාලය. තමන් දිව්‍යම යයි බබිලෝනිය සිතනවා. ඇය ස්වර්ගයට හිමිකම් කියනවා. තම ප්‍රඥාව සදාතනික යයි ඇය පුරසාරම් දොඩවනවා. එනම් ඇය කවදාවත් වරදක් කර නැති බවත්, කවරදාවත් එසේ කරන්නට බැරි බවත් ඇය ප්‍රකාශ කරනවා. (Brandt, History of the Reformation in and about the Low Countries’’ b. 1, p. 6).GrHSin 265.1

    මෙම විරුද්ධතාව දෝංකාර කරමින් සෑම යුගයකම බැතිමත්හු ශතවර්ෂයෙන් ශතවර්ෂයට ඉදිරිපත් වූහ. මුල් යුගයේ විසූ මෙම ගුරුවරු විවිධ රටවල සංචාරය කරමින් විවිධ නම්වලින් හඳුන්වනු ලදුව, වෝඩෝ (වොල්ඩන්සියානු) ධර්මදූතයන්ගේ චරිතාංග අනුව යමින් ශුභාරංචියෙහි දැනුම සෑමතැනකම පතුරුවා හැරියෝය. ඔවුහු නෙදර්ලන්තයටද පැමිණියෝය. ඔවුහු වොල්ඩන්සියානු බයිබල් පිටපත නෙදර්ලන්තයේ බසට පරිවර්තනය කළෝය. ඔවුහු මෙසේ ප්‍රකාශ කළෝය. “එමගින් විශාල වාසියක් අත්පත් වේ. එහි කිසිම ආකාරයක නර්මාලාස නොහොත් විහිළු අන්තර්ගත නොවේ. මිථ්‍යා ප්‍රබන්ධ ඇතුළත්ව නැත. නොවටිනා දැයින් හානි සිදුවීමක් වී නැත, රැවටිලිකාර මුසාවන් එහි නැත, එහෙත් එහි ඇති අන්තර්ගතය වන්නේ සත්‍යතාවේ වචනය පමණක්ය. එහි තැනින් තැන ඝන වූ පිට පොත්තක් තිබිය හැක, නමුත් සත්‍යයවූද යහපත්වූද දේ පහසුවෙන් සොයා ගැනීමට පුළුවන. (Brandt, b. 1, p. 14). දොළොස් වැනි සිය වසරෙහි විසූ ආදිකාලීන ඇදහිල්ලෙහි මිතුරන් මෙසේ පවසා තිබේ.GrHSin 266.1

    රෝමානු හිංසා පීඩා ඇරඹුණි. ජීවිත නාශක ගිනි මැලය හා හිංසා පීඩා මධ්‍යයේ වුවද බැතිමතුනගේ සංඛ්‍යාව වැඩි වන්නට විය. ආගම සඳහා වූ එකම නොවරදින සුළු අධිකාරි බලය බයිබලය පමණක් බව ඔවුහු නොසැලෙන බසින් මෙසේ ප්‍රකාශ කළෝය: “විශ්වාස කිරීම පිණිස කිසිම අයෙකු හට බලහත්කාරකම් පෑමක් සිදු නොකළ යුතුය. දේශනා කිරීම් තුළින් ඔවුන්ව දිනාගගත යුතුය.” (Martyn, Vol. II, p. 57).GrHSin 266.2

    ලූතර්ගේ ඉගැන්වීම්වලට නෙදර්ලන්තය සුදුසු භූමියක් විය. ශුභාරංචිය දේශනා කිරීමට නිපුණත්වයක් තිබූ අවංක සේවකයෝ ඉදිරිපත් වූහ. ඕලන්දයේ එක් ප්‍රාන්තයකින් මෙනෝ සිමන්ස් ඉදිරියට පිවිසියේය. රෝමානු කතෝලිකයෙකු ලෙසින් අධ්‍යාපනය ලැබ, පූජකයෙකු ලෙස අභිෂේකය ලැබූ ඔහුගේ බයිබල් දැනුම ඉතා අල්ප විය. මිථ්‍යා දෘෂ්ටිය පිළිගැනීමට පෙළඹවීම් ඇති වේ යයි බියෙන් ඔහු ශුද්ධ බයිබලය කියවීම ප්‍රතික්ෂේප කළේය. සත්‍ය සම්මුඛ භූතිය මාංශය බවටත් නියම රුධිරය බවටත් පරිවර්තනය වන්නේය යන දහම් ඔහුගේ අනුමානයට භාජනය විය. එම අනුමාන සිතුවිල්ල සාතන්නේ පැමිණි පරීක්ෂාවක් යයි ඔහු සිතන්නට විය. එය ඔහුගේ සිතට බරක විය. එයින් මිදීම සඳහා ඔහු පාපෝච්චාරණය කිරීමෙන්ද, යාච්ඤාවන් ඔප්පු කිරීමෙන්ද වෑයම් කළ නමුත් සියල්ල නිෂ්ඵල විය. හෘදය සාක්ෂියෙහි වරද පැටවීම් යටපත් කර තැබීම සඳහා හෙතෙම අනේකාකාර ක්‍රියාවන්හි යෙදුණේය. එහෙත් එයින්ද සහනයක් උදා නොවීය. ටික කලකට පසුව ඔහු අලුත් තෙස්තමේන්තුව කියවීමට පටන් ගත්තේය. එය අධ්‍යයනය කිරීම සහ ලූතර්ගේ කෘති කියවීම මගින් හෙතෙම ප්‍රතිසංස්කරණයේ දහම වැළඳ ගත්තේය. ප්‍රතිසංස්කරණයේ-බව්තීස්මයක් ලබාගැනීම නිසා එක් පුද්ගලයෙකු හිස ගසා දැමීමේ දඬුවමට ගොදුරු වූ සිද්ධියක් අසල ගම්මානයකදී ඔහුට දැක ගන්නට ලැබුණේය. මෙම සිද්ධිය අසල ගම්මානයකදී ඔහුට දැක ගන්නට ලැබුණේය. මෙම සිද්ධිය තුළින් ඔහුව යොමු වුණේ ළදරු බව්තීස්මය ගැන ශුද්ධ බයිබලයෙන් සත්‍යය දැන ගැනීමටය. එහෙත් ළදරු බව්තීස්මය පිලිබඳව කිසිම සාධකයක් ශුද්ධ බයිබලයෙන් සොයා ගැනීමට ඔහුට නොහැකි විය. බව්තීස්මය ලැබීමට පෙර පසුතැවිලිවීම සහ ඇදහිල්ල අනිවාර්ය බව ඔහුට වැටහුණේය.GrHSin 266.3

    මෙනෝ රෝමානු සභාවෙන් ඉවත් විය. තමා ලද සත්‍යතාවන් ඉගැන්වීමට ඔහු තම කාලය මිඩංගු කළේය. ජර්මනියේ සහ නෙදර්ලන්තයේ එක්තරා ආගම් උමතුවන් කණ්ඩායමක් සෙනඟ අතර කැළඹීම් ඇති කරමින් සිටියේය. ඔවුහු නිරර්ථකවූ ද, රාජද්‍රෝහීවූ ද පොළඹවමින් ක්‍රියා කරන්නට වූහ. මෙම ක්‍රියාවේදයන් නිසා සිදුවිය හැකි භයානක ප්‍රතිඵල ගැන තැති ගත් හෙතෙම මේ අයගේ සාවද්‍ය ඉගැන්වීම් වලට සහ කූටෝපාය සැලසුම් වලට එරෙහිව දැඩි තීරණයක පිහිටා ක්‍රියා කරන්නට විය. එසේ වුවද, මෙම ආගමික උන්මන්තකයන්ගේ වසඟයට අවනතවී සිටි බොහෝ දෙනෙක් මෙම විනාශදායක දහම් අත්හැර දැමුවෝය. වොල්ඩන්සියානු දහම් සහ ඉගැන්වීම් වැළඳගත් අයගේ පැවත එන බොහෝ අය මෙම වකවානුවේ ජීවත්ව සිටියෝය. එම ජනතාව අතර මෙනෝ ඉතා සාර්ථක ලෙස ජ්වලිතයෙන් යුතුව සේවය කළේය.GrHSin 267.1

    උග්‍ර පීඩා සහ අග හිඟකම් විඳ දරා ගනිමින්, ජීවිතයේ අවදානම් තත්ත්වය සහ තර්ජන මධ්‍ය‍යේ ඔහු තම බිරිඳ සහ දරුවන් සමඟ වසර විසි පහක් තැනින් තැන යමින් සේවය කළේය. නෙදර්ලන්තයේ සහ උතුරු ජර්මනියේ බොහෝ පෙදෙස් තරණය කරමින් මන් කළ හෙතෙම කාර්මික සහ කම්කරු පංතියේ ජනතාව අතර ප්‍රබල සේවයක් කරමින් විශාල වශයෙන් විහිදී ගිය අනුබලයක් දැක්විය. සීමිත අධ්‍යාපනයක් ලැබුවද, කථාවෙහි දක්ෂයෙකු වූ හෙතෙම නොසැලෙන්නාවූ ආත්මාභිමානයක් තිබූ අයෙක් විය. ඔහු නිහතමානී ආත්මයකින්ද, මුදු මොළොක් හැසිරීම් රටාවකින්ද නිපුණවූ, අවංකවූ, අව්‍යාජ භක්තියකින් සැදුම්ලත් අයෙක් විය. ඉගැන්වූ සාර ධර්ම සහ අණ පණත් වලට අනුකූලව තමාගේ ජීවිතය හැඩගස්වා ගෙන ක්‍රියා කළ හෙතෙම ජනතාවගේ විශ්වාසය දිනා ගත්තේය. ඔහුගේ අනුගාමිකයෝ බොහෝසේ විසිරී සිටියහ. ඔවුහු තාඩන පීඩනවලට ලක් වූහ. ඔවුන්වද ආගම් උන්මන්තකයන්වූ “මන්ස්ටරයිට් වරුන්” ලෙස හැඳින්වීම නිසාම මෙනෝගේ අනුගාමිකයෝ මහත් සේ හිංසා පීඩාවලට ලක් වූහ. එහෙත් මොහුගේ සේවයේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනෙක් ප්‍රොතැස්තන්ත ආගම වැළඳ ගත්තෝය.GrHSin 267.2

    ප්‍රතිසංස්කරණයේ දහම් පිළිගත්තාවූ රට රාජ්‍යයන් නෙදර්ලන්තය ප්‍රමුඛව සිටින්නීය. මේ දහම් වැළඳ ගත් වෙනත් රටවලට වැඩියෙන් මේ රටෙහි මහත් හිංසා පීඩාවන් පැවතුණි. ජර්මනියේ V වන චාර්ල්ස් රජ ප්‍රොතැස්තන්ත ධර්මය තම රට තුළ ඇදහීම තහනම් කළේය. එම ආගමේ බැතිමතුන් සෑම අයෙකුම ඝාතනය කර දැමීමට මේ රජතුමා අදහස් කළ නමුත් එම රාජ්‍යෙයහි කුමාරවරු මෙවැන්නක් කිරීමට විරුද්ධව නැගී සිටියෝය. ඔහුගේ කුරිරු අපේක්ෂාව එයින් මහත් සේ ප්‍රබල විය. හිංසා පීඩා පැමිණවීමෙහි රාජකීය ආඥාවන් නිරතුරුවම නිකුත් විය. ශුද්ධ බයිබලය කියවීම, එයට ඇහුම්කන් දීම, හෝ දේශනා කිරීම පමණක් නොව ඒ ගැන කථා කිරීමද මරණීය දඬුවම් ලැබිය හැකි අපරාධ ලෙස හඳුන්වමින් රජ මැදුරෙන් ආඥා නිකුත් විය. රහසිගතව දෙවියන්වහන්සේ යාච්ඤා කිරිම, සුරුවමකට හිස තබා ආචාර නොකිරීම, ගීතිකාවක් ගායනා කිරීම, මරණයට අත වැනීමක් විය. තමන්ගේ වරද දිවුරා අත් හැරිය අයද, සත්‍යයට විශ්වාස අයද දඬුවමට යටත් කරන ලදී. පිරිමි පක්ෂය වධකයාගේ කඩු පහරට යටත් විය. ස්ත්‍රී පක්ෂය පණ පිටින් වළලා දමන ලදී. චාර්ල්ස් රජතුමාගේද II පිලිප් රජතුමාගේද පාලනය යටතේ දහස් ගණන් බැතිමත්හු ජීවිතක්ෂයට පත් වූහ.GrHSin 268.1

    වරක් එක පවුලක සෑම සාමාජිකයෙක්ම ධර්මාධිකරණය ඉදිරියට පමුණුවනු ලැබූහ. ඔවුන්ට විරුද්ධව එල්ල වූ චෝදනාව නම් දිව්‍ය පූජාවට සහභාගි නොවීමත්, ගෙදර සිට නමස්කාර කිරීමත්ය. රහසින් ඔවුන් කළාවූ දේවල් ගැන ඔවුන්ගෙන් කරුණු විමසීමේදී බාල පුත්‍රයා මෙසේ උත්තර දුන්නේය. “දෙවියන්වහන්සේ අපගේ මනස් ආලෝකමත් කරන ලෙසත්, අපගේ පාපවලට කමාව දෙන ලෙසත් ඉල්ලා අපි දණින් වැටී යාච්ඤා කරනවා. අපගේ රජතුමා උදෙසාත්, අපි යාච්ඤා කරනවා. ඔහුගේ රාජ්‍ය පාලනය සමෘද්ධිමත් වන ලෙසත්, ඔහුගේ ජීවිතය ප්‍රීතිමත් එකක් වන ලෙසත් අපි යාච්ඤා කරනවා. දෙවියන්වහන්සේ අපගේ නඩුකාර තුමන්ව ආරක්ෂා කරන ලෙසත් අපි උන්හන්සේගෙන් ඉල්ලා සිටිනවා.” (Wylie, b. 18, Ch. 6). නඩුකාරවරුන්ගේ හදවත් මහත් සේ කම්පනයට පත්විය. එහෙත් පියා සහ එක් පුතෙක් මරණ දඬුවමට පත් කරනු ලැබූහ. GrHSin 268.2

    අනෙකුත් අය වධ හිංසාවට පත්කරන්නාවූ අයගේ උදහස් වියරුව, වේදසාක්ෂිකයන්ගේ ඇදහිල්ලට සම විය. පිරිමි අය පමණක් නොව, සුකොමල කාන්තාවෝ සහ සියුමැලි තරුණියෝද පසුබට නොවන ධෛර්යයක් පෙන්නුම් කළෝය. “ස්වකීය සැමියන් ගිනි මැලය තුළ දැවෙන්නාවූ අතරේදී බිරින්දෑවරු හැකි ප්‍රමාණයෙන් ඔවුන්ට සමීප වී සැනසීමේ බස් දෙඩූහ. ඔවුන්ව උද්‍යෝගිමත් කිරීමට ගීතිකා ගායනා කළෝය. මේ අතර තරුණියන් තමා බිලි ගන්නා මිනී වළවල සැතපුණේ රාත්‍රියේ නිදි යහනේ නිදිගන්නා විලාශයෙනි. ඔවුන් ගිනි මැළය තුළට පා නැගුවේ මනමාලියන් ලෙස සැරසී තම විවාහ මංගල්‍යයට පා තබන්නාවූ ආකාරයෙනි. (Wylie, b. 18, Ch. 6).GrHSin 269.1

    මිථ්‍යා දෘෂ්ටි දෙවි දේවතාවන් ඇදහීම සිදුවූ කාලයේදී ශුභාරංචිය විනාශ කර දැමීමට ක්‍රියා කිරීමෙහිදී සිදුවූ ලෙසම, මේ කාලයෙහිදීද කිතුණුවන්ගේ රුධිරය කිතුණු දහම රෝපණය කිරීමේ බීජය විය. (Tertullian’s Apology, pa, 50). සත්‍යතාව වෙනුවෙන් වු සාක්ෂි කරුවන්ගේ සංඛ්‍යාව වර්ධනය කිරීමට හිංසා පීඩා, වධ වේදනා සහ මරණයට පත්කිරීම් හේතු කාරක විය. බැතිමතුන්ගේ අධිෂ්ඨාන ශක්තිය බිඳ දැමීමට රජතුමා කොතෙක් උත්සහ කළද, ඒ සියල්ල ව්‍යර්ථ විය. බැතිමතුන්ගේ නොපසුබස්නා උට්ඨාන ස්ථාවරය නිසා වියරු වැටුණු රජතුමා දැඩි දඬුවම් ක්‍රියාත්මක කළද, බැතිමතුන් එයින් සලිත නොවීය. ඔරේන්ජ්හි විලියම් විසින් දියත් කළ විප්ලවය නිසා දෙවියන්වහන්සේට නමස්කාර කිරීමේ නිදහස ඕලන්දයට උදාවිය. GrHSin 269.2

    පීඩ්මොන්ට්හි කඳුකරයේද, ප්‍රංශයේ තැනිතලා බිම්හිද, ඕලන්දයේ මුහුදුබඩ පෙදෙස්හිද ශුභාරංචි ව්‍යාප්තිය සටහන් වූයේ එම බැතිමතුන්ගේ රුධිරයෙන්ය. ඒ අතර උතුරේ පිහිටි රටවලට ශුභාරංචිය ඇතුළු වුණේ සාමකාමී ලෙසින්ය. විටන්බර්ග් සරසවියෙහි අධ්‍යාපනය ලැබූ සිසුහූ පුනරුද ඇදහිල්ල ස්කැන්ඩිනේවියාවට රැගෙන ගියෝය. ලූතර්ගේ ලියවිලිද ආලෝකය පතුරුවා ලීමට උපකාර විය. සරල ජීවිතයක් ගත කළ ශක්තිමත් මනුෂ්‍යයන් වූ උතුරේ ජනතාව රෝමානු සභාවේ තිබූ දූෂණ, ආටෝපය සහ මිථ්‍යා චාරිත්‍රයන්ගෙන් ඉවතට හැරී බයිබලයේ අඩංගු ජීවනය ලබා දෙන්නාවූ සත්‍යතාවත්, පාරිශුද්ධතාවත්, සරලත්වයත් ඉතා ආදරයෙන් පිළිගත්තෝය.GrHSin 269.3

    “ඩෙන්මාර්කයේ ප්‍රතිසංස්කරණයේ පුරෝගාමියා වූ ටෝසන් ගොවියෙකුගේ පුත්‍රයෙක් විය. තමා බුද්ධි මහිමය දායාද කරගත් අයෙකු බව ඔහු ළමා වියෙහි පටන් පෙන්නුම් කළේය. අධ්‍යාපනය ලැබීමට ඔහු තුළ පිපාසාවක් තිබූ නමුත්, එම ආශාව සපුරා ගැනීමට ඔහුගේ දෙමාපියන්ගේ ආර්ථිකය හරස් විය. එහෙයින් ඔහු තාපසාරාමයකට ඇතුළු විය. තාපසාරාමය තුළ ඔහු ගත කළ ජීවිතය පිරිසිදු චින්තනයක පැහැදිලි ප්‍රදර්ශනයක් විය. ඉගෙනීමට තිබූ උනන්දුවත්, කඩිසරකමත්, පෙන්නුම් කළ පක්ෂපාතකමත් නිසා ගුරුවරුන්ගේ ප්‍රසාදය දිනාගැනීමට ඔහු සමත් විය. තරඟ විභාගවලදී දැක්වූ සමත්කම් නිසා ඔහු අනාගත දවසක සභාවට විශාල සේවයක් කළ හැකි කෙනෙක් බව බලධාරීන්ට පෙනී ගියේය. එම නිසා ඔහුට උසස් අධ්‍යාපනයක් ලබාදීමට අදහස් කළ සභා නායකයෝ ඔහුව ජර්මනියෙහි හෝ නෙදර්ලන්තයෙහි විශ්ව විද්‍යාලයකට යැවීමට තීරණය කර ගත්තෝය. විටන්බර්ග්හි විශ්ව විද්‍යාලය හැරෙන්නට වෙනත් අවශ්‍ය සරසවියක් තෝරා ගැනීමට ඔහුට අවසර ලැබුණේය. සභාවෙහි සිසුවා මිසදිටු දහම් මගින් දූෂ්‍ය නොවීමට බලධරයෝ සෑම පියවරක්ම ගත්තෝය. පැවිද්දෝ මෙයාකාරයෙන් පැවසූහ. “සභාවෙහි දක්ෂ සිසුවනට මිථ්‍යා දෘෂ්ටික වස විෂ ඇතුළුවීමට ඉඩ දිය නොහැකිය.”GrHSin 269.4

    අධ්‍යාපනය ලැබීම සඳහා ටෝසන් කොලෝන් නගරය වෙත ගියේය. එම නගරය රෝමානු ආගමේ බලකොටුවක් විය. එහි සිටියාවූ පාසල්වල ආචාර්යවරුන්ගේ ගුප්ත ජීවිත රටාව ගැන මේ තරුණ ශිෂ්‍යයා කලකිරීමකට පත් විය. මේ වකවානුවේදීම ලූතර්ගේ ප්‍රකාශන ඔහු අතට පත්විය. විශ්මයෙන් සහ ප්‍රීතියෙන් යුතුව ඔහු එම ප්‍රකාශන කියෙව්වේය. ප්‍රතිසංස්කාරකයාගෙන් පුද්ගලිකව ගුරුහරුකම් ලබාගැනීමේ ආශාවක් ඔහු තුළ ඇති විය. එසේ කරන්නේ නම් ඔහුට තම ආරාමයේ නායක තාපසයාට විරුද්ධව කටයුතු කරන්නට සිදු වන්නේය. ඔහුට ලැබෙන්නාවූ සියලු ආධාර එවිට නවතින්නේය. අනාගතය පිළිබඳව ඔහු තීරණයකට පිවිසියේය. වැඩි දිනක් යන්නට පෙරාතුව හෙතෙම විටන්බර්ග්හි සිසුවෙකු බවට පත් විය.GrHSin 270.1

    ඩෙන්මාර්කය කරා නැවත පැමිණි හෙතෙම නැවත වරක් තම ආරාම කුටිය වෙත ගියේය. ඔහු ලූතර්වාදියෙකු යයි කිසිවෙකු හෝ සැක කළේ නැත. ඔහු තම රහස හෙළිදරව් කළේද නැත. තම සහචරයන්ගේ විරුද්ධවාදිකම් අවුස්සන්නේ නැතිව ඔවුන්ව වඩාත් පිරිසිදු ඇදහිල්ලක් වෙතටද වඩාත් ශුද්ධවූ ජීවිතයක් වෙතටද මගපෙන්වීම ඔහුගේ අරමුණ විය. ශුද්ධ බයිබලය විවෘත කළ හෙතෙම එහි යථාර්ථ අදහස තේරුම් කර දුන්නේය. පව්කාරයාගේ ධර්මිෂ්ඨකමත්, ගැළවීම අත්පත් කරගැනීමේ එකම බලාපොරොත්තුවත් ලෙස ඔහු ක්‍රිස්තුස්වහන්සේව හඳුන්වා දෙමින් දේශනා කළේය. මේ බව දැනගත් තාපසාරාමාධිපතිවරයා කෝපයෙන් දැවෙන්නට විය. රෝමානු ආගමේ ආරක්ෂකයෙකු ලෙස මෙම සිසුවා සමත්වනු ඇතැයි ඔහු මහත් බලාපොරොත්තු තබාගෙන සිටියේය. ඔහු සිටි තාපසාරාමයේ සිට වෙනත් තාපසාරාමයක් වෙත ටෝසන්ව මාරු කර යවන ලදී. ආරාම කුටියෙන් පිටතට යෑම ඔහුට තහනම් විය.GrHSin 270.2

    ටෝසන්ගේ අලුත් ආරක්ෂකයන් මවිතයට සහ තැති ගැන්මට පත්කරමින් එම ආරාමයේ සිටි තාපසවරුන් කිහිප දෙනෙක්ම තමා ප්‍රොතැස්තන්ත දහම පිළිගත් බව ප්‍රසිද්ධියේ කියා සිටියෝය. තම කුටියෙහි පොලු අතරින් තම සගයන් සමග කථා බස් කළ හෙතෙම ඔවුන්ට සත්‍යතාව පිළිබඳ දැනුම ලබා දුන්නේය. සභාවේ ධර්මතාවනට විරුද්ධවූ දහම් උගන්වන්නාවූ අය මිසදිටුවන් යයි රෝමානු සභාව හෙළා දැක ඇත. මිසදිටු දහම් පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සභාවේ සැලැස්ම නියමිත ආකාරයෙන් ඩෙන්මාර්ක් ආගමික පියවරුන් ක්‍රියාත්මක කළේ නම්, ටෝසන්ගේ හඬ සදහටම නිශ්ශබ්ද කරනු ලබනවා ඇත. ඔහුට අඳුරු බිම් ගුහාවක තනිවම කල් ගෙවීමට සිදුකරනවා වෙනුවට ඔහුට දඬුවම් දීමක් වශයෙන් බලධරයන් කළේ ඔහුව තාපසාරාමයෙන් පන්නා දැමීමය. තවදුරටත් ඔහු කෙරෙහි රෝම අධිපතීන්ට පාලන බලයක් නොවීය. අලුත් දහම උගන්වන්නාවූ ගුරුවරුන්ට රාජ්‍ය රැකවරණ නිවේදනය නිකුත් වීමත් සමගම ටෝසන් දේශනා කරන්නට පටන් ගත්තේය. ඔහුට දේශනා කිරීමට දේවස්ථාන විවෘත විය. ඔහුට සවන් දීමට විශාල ජනකායක් දේවස්ථාන කරා ඇදී එන්නට විය. වෙනත් අයද දෙවියන්වහන්සේගේ වචනය දේශනා කරන්ට පටන් ගත්තෝය. ඩෙන්මාර්ක් බසින් වූ අලුත් තෙස්තමේන්තු පිටපත බොහෝ දෙනාගේ අත්වලට පත්විය. අලුත් දහම් ව්‍යාප්තිය නතර කිරීමට පාප්වාදීන් ගත් උත්සාහයේ අතුරු ඵලයක් වශයේන ශුභාරංචි දහම් ප්‍රචාරය සීඝ්‍ර ලෙස වර්ධනය විය. වැඩි කලක් යාමට මත්තෙන් ඩෙන්මාර්කය ප්‍රතිසංස්කරණයේ ඇදහිල්ල පිළිගත් රටක් බවට ප්‍රකාශයට පත්විය.GrHSin 271.1

    විටන්බර්ග් ජල උල්පතින් දහම් රස බැලූ ස්වීඩන් ජාතික තරුණයෝද ජීවනයේ වතුර තම මව් රටට ගෙන ගියෝය. මෙම අය අතුරෙන් ඕලාෆ් සහ ලෝරෙන්ටියස් පෙට්රි සහෝදරයන් දෙදෙනා කැපී පෙනේ. ඔරෙබ්‍රෝ ගම්මානයේ කම්මල්කරුවෙකුගේ පුතුන් වූ මේ සොහොයුරන් දෙදෙනා ලූතර් සහ මෙලැන්ක්තන් යටතේ ශුභාරංචි දහම් ඉගෙන ගත්තෝය. තමා ඉගෙනගත් සත්‍යතාවන් අන් අයටත් ඉගැන්වීමට ඔවුන් තුළ පැවැතියේ මහත් උනන්දුවකි. ඕලාෆ්ගේ ක්‍රමවේදය ලූතර්ට සමාන විය. තමාගේ ජ්වලිත භාවයෙන් සහ කථිකත්වයෙන් ඔහු ජනතාව පුබුදු කළේය. ඔවුන් බලාපොරොත්තුව සහිත උනන්දුවක් ඇති කළේය; මේ අතර ලෝරෙන්ටියස් තම ගුරුවරයා වූ මෙලැන්ක්තන් අනුව යමින් උගත්කම දියුණු කරගෙන, සිතා බලා ක්‍රියා කරන්නාවූ වැඩි කලබලකාරී නොවූ ජීවිත රටාවක් ගෙන ගියේය. සහෝදරයන් දෙදෙනාම දැඩි භක්තිය හිමි කරගත් අයවූ අතර දේව ධර්මය පිළිබඳව ඔවුන් ඉතා ඉහළ මට්ටමේ දැනුමක් අත්පත් කරගෙන සිටියෝය. සත්‍යතාව බෙදා හැරීමට ඔවුන් තුළ පැවැතියේ පසුබට නොවන නිර්භීතකමකි. පාප් වාදී විරුද්ධතාවන්ගෙන් අඩුවක් නොවීය. කතෝලික පූජකයෝ මිථ්‍යා දෘෂ්ටිය වතාවත්හි ඇලී ගැනී සිටි වැඩි දැනුමක් නැති ජනතාව කළඹා ශුභාරංචියට විරුද්ධව ක්‍රියා කරන්නට ඔවුන් පෙළඹවූහ. ඕලාෆ් පෙට්රිට සැහැසි ජනයාගෙන් නිතරම අතවර සිදුවිය. කිහිප වතාවක්ම ඔහු තම ජීවිතය බේරා ගත්තේ මහත් අසීරුවෙන්ය. එහෙත්, මේ පුනරුදවාදීන් රජතුමාගේ අනුග්‍රහයට භාජනව ඔහුගේ රැකවරණ ලැබූහ.GrHSin 271.2

    රෝම සභාවේ පරිපාලනය යටතේ ජනතාව දරිද්‍රතාවෙන් පීඩිතව සිටියෝය. දැඩි පීඩනයට ලක් වූවෝය. ශුද්ධ ලියවිලි පිළිබඳව දැනුමක් ඔවුන්ට නොවීය. ඔවුන් තුළ පැවැතියේ වතාවත් සහ සම්ප්‍රදායික විශ්වාසයන් මත පදනම්වූ ආගමකි. එම නමස්කාර ක්‍රමය තුළින් මනසට කිසිම ආලෝකයක් ලැබුණේ නැත. ඔවුහු තම පැරැන්නන්ගේ මිථ්‍යා දෘෂ්ටික විශ්වාසයන් සහ පුරුදු කරා ක්‍රම ක්‍රමයෙන් නැඹුරු වෙමින් සිටියෝය. තරඟකාරී පාර්ශ්ව දෙකක් මැද ජාතිය අතරමං වී සිටියේය. ඔවුන්ගේ නිරන්තර ගැටුම් නිසා මහත් කාලකණ්ණිකමක් ජාතිය ගිල ගත්තේය. රජයේ සහ ආගමේ ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමට රජතුමා දැඩි ස්ථාවරයක පිහිටා සිටියේය. රෝමානුවන්ට විරුද්ධව දියත් කළ සටනට ආධාර කිරීමට ඔහු මේ දක්ෂ සහායකයන් සතුටින් පිළිගත්තේය.GrHSin 272.1

    රජතුමා සහ ස්වීඩනයේ නායකයන්ද ඉදිරියෙහිය ඕලාෆ් පෙට්රි පුනරුද ඇදහිල්ලේ ධර්මතාවන් ඉදිරිපත් කර ඒවා රැකගත්තේය. කතෝලික පියතුමන්ලාගේ ඉගැන්වීම් පිළිගත යුත්තේ එම ඉගැන්වීම් ශුද්ධ ලියවිල්ලට අනුකූලතාවක් දක්වන්නේ නම් පමණක් යයි ඕලාෆ් කියා සිටියේය. සැම පුද්ගලයෙකුටම තේරුම් ගත හැකිවන පරිදි ඇදහිල්ලෙහි ඉතා අවශ්‍යවූ දහම් පැහැදිලි ලෙසද සරල ලෙසද ශුද්ධ ලියවිල්ලෙහි ඇතුළත් කර තිබෙන බව ඔහු දැක්වූයේය. ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පවසා තිබේ: “මාගේ ඉගැන්වීම් මාගේ නොව මා එවූ තැනැන්වහන්සේගේය. ” (ශු.යොහන් 7:16). එසේම, පාවුල්ද මෙසේ පැවසුවේය: “අප විසින් නුඹලාට ප්‍රකාශ කළ ශුභාරංචිය හැර වෙන ශුභාරංචියක් ... නුඹලාට ප්‍රකාශ කරතොත් ඔහු ශාප ලද්දෙක් වේවා! ” (ගලාති 1: 8). ඉක්බිතිව පුනරුද වාදියා මෙවන් ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. “එසේනම් සමහර අය තමන්ගේ අභිමතාර්ථය පරිදි ආගමික සිද්ධාන්ත නිර්මාණය කර ගැළවීම සඳහා එම ඉගැන්වීම් පිළිපැදිය යුතු යයි නියෝග කරන්නේ කෙසේද? (Wyhlie, b. 10, Ch. 4). සභාව විසින් පනවන ලද අණ පනත් දෙවියන්වහන්සේගේ ආඥාවන්ට පටහැනි නම් සභාවේ අණ පනත් වලංගු නැති බව ඔහු පෙන්වා දුන්නේය. ඇදහිල්ලෙහි සහ පැවැත්මෙහි එකම නීති මාලාව “බයිබලය සහ බයිබලය පමණක්” යයි ප්‍රකාශ කරන්නාවූ ප්‍රොතැස්තන්ත සභාවෙහි ශ්‍රේෂ්ඨ ප්‍රඥාප්තිය ආරක්ෂා කරමින් ඔහු එය දරා සිටියේය.GrHSin 272.2

    වඩාත් ප්‍රසිද්ධ නොවූ ස්ථානයක පිහිටි වේදිකාවක පැවැත්වූ මෙම විවාදය අප හමුවේ ප්‍රකාශ කරන්නේ පුනරුද හමුදාවේ භට කණ්ඩායමේ සිටි අයගේ බයිබල් දැනුම සහ ස්ථාවරය කෙබඳු ආකාර වූයේද කියාය. ඔවුහු නූගත් අයද නිකායකට ගැතිවූ අයද නොවූහ. ඝෝෂාකාරී අරගලවාදීහූ ද නොවූහ. ඔවුහු දේව වචනය උගත් අය වූහ. බයිබලය මගින් සපයා දෙන්නාවූ අවි ආයුධ භාවිතා කරන අන්දම ගැනද ඔවුන් මනා සේ පුහුණුව ලබා සිටියෝය. සමකාලීනයන් අතර ඔවුන්ගේ පාණ්ඩිත්‍යය ඉතා ඉහළින කැපී පෙනුණේය. අපගේ අවධානය විටන්බර්ග් සහ සූරිච් යන සුවිශේෂ මධ්‍යස්ථාන වෙත යොමු කරන කල්හි ලූතර් සහ මෙලැන්ක්තන් ද, ස්වින්ග්ලි සහ එකොලැම්පේඩියස් ද යන සත් කීර්තිමත් පුද්ගලයන් අපගේ මතකයට නැගේ. මෙම අය ප්‍රොතෙස්තන්ත ව්‍යාපෘතියේ නායකයන් ලෙස නිරායාසයෙන්ම පිළිගැනීමට අපට සිදු වේ. ඔවුන් වනාහි පුදුමාකාර බලයක් තිබූ, විශාල බයිබල් දැනුමක්ද අත්පත් කරගෙන තිබූ පුද්ගලයන් ලෙස පිලිගැනීමට අපට සිදුවේ. ඔවුන්ග් ගෝල බාලයන් දෙස බලමු. ස්වීඩනයේ අප්‍රකට රඟහලකට අවධානය යොමු කරමු. ඕලාෆ් සහ ලෝරෙන්ටියස් පෙට්රි සහෝදරයන් දෙදෙනා තුළ අපට දැකගත හැකිවන්නේ කුමක්ද? මෙම සොහොයුරන් දෙදෙනා ශබ්ද නගා තර්ක ලැබූ අය වුහ. ශුභාරංචි සත්‍යතාවන්ගේ සම්පූර්ණ ව්‍යුහය පිළිබඳව ඔවුන් ඉතා ගැඹුරින් හදාරා තිබුණි. රෝමානුවන්ගේ වියතුන් සහ බොරුවට තර්ක කරන්නන් අන්ත පරාජයට පත්කිරීමට ප්‍රතිසංස්කරණයේ මේ වියතුන් සමත් වූහ. (Wylie, b. 10. Ch. 4).GrHSin 273.1

    මෙම විවාදයෙහි ප්‍රතිඵලයක් වශයෙන් ස්වීඩනයේ රජතුමා ප්‍රොතැස්තන්ත ඇදහිල්ල පිළිගත්තේය. වැඩි කලක් ගතවීමට පෙර ස්වීඩනයේ ජාතික නියෝජිත මණ්ඩලය තමා ප්‍රොතැස්තන්ත දහමට පක්ෂපාතී බවට නිවේදනයක් නිකුත් කළේය. ඕලාෆ් පෙට්රි අලුත් තෙස්තමේන්තුව ස්වීඩනයේ රාජ්‍ය භාෂාවට පරිවර්තනය කළේය. රජතුමාගේ ආරාධනයක් පරිදි මුළු බයිබලයම ජාතියේ මව් බසට පරිවර්තනය කිරීමට පෙට්රි සහෝදරයන් දෙදෙනා සමත් වූහ. මෙසේ පළමු වතාවට ස්වීඩන් ජාතිකයන්ට තමන්ගේ මව් බසින් දේව වචනය කියවීමේ භාග්‍යය උදා විය. රට තුළ සිටින්නාවූ දේවගැතිවරුන් විසින් ශුද්ධ ලියවිලි පහදා දිය යුතු යයිද, පාසල් සිසුන්ට බයිබලය කියවීමට ඉගැන්විය යුතු යයිද නීතිගත කරමින් පාර්ලිමේන්තුවේදී පනතක් සම්මත විය.GrHSin 273.2

    නොදත්කමේ සහ මිසදිටු ඇදහිල්ලේ අන්ධකාරය ක්‍රම ක්‍රමයෙන්ද ස්ථිර වශයෙන්ද දුරු කිරීමට ශුභාරංචියේ ආශිර්වාද ලත් ආලෝකයට හැකියාව ලැබුණේය. රෝමානු ආධිපත්‍යයේ පීඩනයෙන් නිදහස ලැබූ ස්වීඩනය මෙතෙක් නොවූ විරූ ඇදහිල්ලේ ප්‍රාකාරයක් බවට පත් විය. ශත වර්ෂයකට පසුව, ඉතා වේදනාකාරී උපද්‍රව සහිත අවස්ථාවකදී මෙම කුඩාවූ ද, ශක්තිමත් නොවූ ද, රාජ්‍යය ජර්මනියට ආධාර කරන්නට ඉදිරිපත් වූවාය. මේ වන විට ජර්මනිය වසර තිහක් පුරා යුද්ධයක පැටලී සිටියාය. ඇයට පිහිට විමට යුරෝපයේ එකම රටක් හෝ ඉදිරිපත් නොවීය. ජර්මනියට උපකාර කරන පිණිස ඉදිරිපත් වුණේ ස්වීඩනය පමණකි. රෝමානුවන්ගේ ජයග්‍රහණයේ රැල්ල මැඩලීමට යුද්ධයේදී ප්‍රොතැස්තන්ත සභාවට - කැල්වින්වරුන්ට මෙන්ම ලූතර්වරුන්ටද - සහනශීලීව සැලකීමේ අවසර හිමි විය. එසේම ප්‍රතිසංස්කරණ ධර්මයන් පිළිගත් රටවල අයට හෘදය සාක්ෂිය අනුව ක්‍රියාකිරීමේ නිදහස නැවත උදා විය. GrHSin 274.1