Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    15 - ශුද්ධ වූ බයිබලය සහ ප්‍රංශ විප්ලවය

    විවෘත බයිබලයක් ජනතාවට ඉදිරිපත් කරමින් දහසය වැනි සිය වසරේදී ආගමික ප්‍රතිසංස්කරණය යුරෝපයේ සෑම රටකටම ඇතුළු වීමට අභිලාෂයක් දැක්වීය. සමහර රටවල් ප්‍රතිසංස්කරණයේ පණිවිඩය මහත් සතුටින් පිළිගත්තේ සගයේ සිට පැමිණි පණිවිඩකරුවෙකු ලෙසය. සමහර රටවලට මෙම දහම් පණිවිඩය ඇතුළුවීම වලක්වාලීමට පාප් සමයවාදීහූ සමත් වූහ. මිනිස් දිවිය ඉහළට ඔසවා තැබිමේ බලපෑමක් ඇති කළ හැකි බයිබලීය දැනුමේ ආලෝකය එම රටවලින් සම්පූර්ණයෙන්ම වළක්වන ලදී. එක්තරා රටකට ඇතුළු වීමට දහම් ආලෝකය සමත් වුවද, එහි පැවති අන්ධකාරයට ආලෝකය තේරුම් ගැනීමේ හැකියාක් නොවීය. සියවස් ගණනාවක් පුරා ජයගැනීමේ අභිලාෂයෙන් සත්‍යතාව සහ අඳුර අතර අරගලයක් එහි පැවැතියේය. අන්තිමේදී නපුර ජය ගත්තේය, සගයේ සත්‍යතාව ඉවතට විසි කරනු ලැබීය. “විනිශ්චය නම් මෙය - ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත් මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම් වූ බවය. ” (යොහන් 3:19). තමන තෝරාගත් මාර්ගයෙහි ගමන් කිරීමේ ප්‍රතිඵල නෙලා ගැනීමට එම ජාතියට සිදුවිය. තමන්වහන්සේ දානය කළ කරුණා - අනුග්‍රහය එපා කළ ජනතාවකගෙන් දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලය ඉවත් කරන ලදී. නපුරට ඵල දැරීමට කාලය දෙනු ලැබීය. ස්වකීය කැමැත්තෙන්ම ආලෝකය ප්‍රතික්ෂේප කිරීමේ විපාකය ලොවටම දැකගැනීමට හැකි විය.GrHSin 299.1

    ප්‍රංශය විසින් සියවස් ගණනාවක් පුරා බයිබලයට විරුද්ධව ගෙනගිය යුද්ධය කෙළවරක් කරා පැමිණයේ විප්ලවයක් මගින්ය. එම විපත්තිදායක භයානක විප්ලවය ඇති වූයේ, රෝමානුව විසින් ශුද්ධ ලියවිලි යටපත් කිරීම නිසාය. පාප් සමයවාදී ප්‍රතිපත්ති මත වූ ක්‍රියාවේදයන් අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවූ මෙම විප්ලවය ඒවා අනුගමනය කිරීම මගින් සිදුවන්නාවූ ඉරණම ලොවට හඬ ගා කීමට සමත් විය. වසර දහසකටත් වැඩි කාලයක් පුරා රෝමනු සභාවේ ඉගැන්වීම් අනුගමනය කිරීමේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස මෙම විප්ලවය හඳුන්වා දීමට පුළුවන.GrHSin 299.2

    පාප් සමයවාදී ආධිපත්‍යය මගින් ශුද්ධ ලියවිලි යටපත් කරනු ලබන බව දිවැසිවරුන් විසින් ප්‍රකාශ කර ඇත. “නොපනත්කමේ මිනිසාගේ” හෙවත් “පාපයේ මනුෂ්‍යයාගේ” පරිපාලන ආධිපත්‍යය යටතේ, විශේෂයෙන්ම ප්‍රංශයට සිදුවූ මහත් හානිදායක ප්‍රතිඵල පිළිබඳව එළිදරව්කාරයා අතීතයේදී ප්‍රකශ කර තිබුණේය.GrHSin 299.3

    දෙවි සමිඳාණන්ගේ දූතයා මෙසේ පැවසීය: “ඔවුහු ශුද්ධවූ නුවර සතළිස් දෙමාසයක් පයින් පාගා දමන්නෝය., තවද මාගේ සාක්ෂි කාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි. ඔවුහු එක්දහස් දෙසිය හැට දවසක් ගෝනි රෙදි හැද අනාගතවාක්‍ය කියන්නෝය ... ඔවුන් තමනුගේ සාක්ෂිය නිම කළ විට පාතාලයෙන් නැගී එන මෘගයා ඔවුන්ට විරුද්ධව යුද්ධ කොට ඔවුන්ගෙන් ජයගෙන ඔවුන් මරන්නේය. ඔවුන්ගේ මළ කඳක් වානහි සොදොම සහ මිසරයත් යයි ආත්මික අර්ථයෙන් කියනු ලබන ඔවුන්ගේ ස්වාමීන්වහන්සේ කුරුසියෙහි ඇණ ගසන ලද මහත් නුවර වීථීයේ තිබෙනවා ඇත. ... මේ ප්‍රොපේතවරුන් දෙදෙන පොළොවේ වසන්නන්ට වධ කළ නිසා, පොළොවේ වසන්නෝ ඔවුන් ගැන ප්‍රීතිව සන්තෝෂ වෙමින් එකිනෙකාට තෑගි යවන්නෝය. ඒ දවස් තුනහමාරට පසු ජීවන හුස්ම දෙවියන්වහන්සේගේ ඔවුන් තුළට පැමිණ, ඔවුහු නැගිට සිටියෝය. ඔවුන් දුටුවන් කෙරෙහි මහත් භය පැමුණුනේය. ” (එළිදරව් 11:2 — 11).GrHSin 300.1

    මෙහි සඳහන් කාල නිර්ණයන් වූ “සතළිස් දෙමාස” කාලය සහ “දවස් එක්දහස් දෙසිය හැට” කාලය යන යෙදුම් දෙකම එකම කාලපරිච්ජේදයක් හැඳින්වීම සඳහා භාවිතා කොට ඇත. මෙම කාලය තුළදී ක්‍රිස්තුස්වහන්සේගේ සභාව රෝමානු බලධරයන්ගේ තාඩන පීඩනවලට ලක්වන්නට තිබුණි. වසර 1260 ක කාල වකවානුව ක්‍රි: පූ. 538 දී ආරම්භව ක්‍රි: ව. 1798 දක්වා පැවැතියේය. එම අවසාන වසරේදී ප්‍රංශ හමුදාව රෝමයට ඇතුළු වී පාප්ව සිරකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත්තේය. ඔහු විදේශ රටකදී මරණයට පත්විය. හිස්වූ පදවියට අලුත් පාප්වරයෙකු පත්කරනු ලැබූ නමුත් එතෙක් රෝම සමය සතුව තිබූ බලය නැවත වරක් එම තත්ත්වයමට පමුණුවා ගැනීමට රෝමයට පුළුවන් නොවීය.GrHSin 300.2

    සභාවට එරෙහිව හිංසා පීඩා පැමිණවීම් අවුරුදු එක්දහස් දෙසිය හැටක් පුරාම පැවතුණේ නැත. තමන්වහන්සේගේ ජනතාවට වූ මෛත්‍රී කරුණාව නිසා දෙවියන්වහන්සේ එම කාලය කෙටි කළසේක. සභාව මත පතිත වන්ට තිබුණාවූ මේ “මහත් පීඩාකාරී” වකවානුව ගැන සඳහන් කරන්නාවූ ගැළවුම්කාර සමිඳාණෝ මෙසේ වදාළ සේක. “ඒ දවස් ලුහුඬු නොකරන ලද්දේවී නම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබුවන් උදෙසා ඒ දවස් ලුහුඬු කරනු ලබන්නේය. ” (මතෙව් 24:22) ප්‍රතිසංස්කරණයේ බලපෑම් කරණකොටගෙන 1798 ට ටික කලකට පෙර පීඩාවන් නිමාවට පත්විය.GrHSin 300.3

    මෙම සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධව දිවැසිවරයා තවදුරටත් මෙසේ පවසයි. “මොවුහු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරිපිට සිටින ඔලිව් ගස් දෙකද පහන්රුක් දෙකද වෙති. ” ඒ අතරේදී ගීතිකාකාරයා මෙසේ පවසයි. “ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය. ” (එළිදරව් 11:4;ගීතාවලිය 119:105). සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් නියෝජනය වන්නේ පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම වන ශුද්ධ ලියවිලිය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි පටන්ගැන්මත් එහි පැවැත්මත් පිළිබඳව අගනා සාක්ෂි දෙක මේ ගිවිසුම් දෙක වන්නේය. ගැළවීමේ සැලැස්මෙහි අගනා සාක්ෂිකරුවන් වන්නේද මෙම ගිවිසුම් දෙකය. පරණ ගිවිසුමේ අඩංගු පුද පූජා විධි සහ අනාවැකි පැමිණෙන්නාවූ ගැළවුම්කරුවාණන් දෙසට අවධානය යොමු කරයි. සංකේත සහ අනාවැකි මගින් පෙන්වා දී තිබූ ආකාරයෙන්ම ගැළවුම්කාරයාණන්වහන්සේ පැමිණ ඇති බව ශුභාරංචි සහ අලුත් ගිවිසුමෙහි යැවුම්පත් සාක්ෂාත් කරයි.GrHSin 301.1

    “ඔවුහු එක්දහස් දෙසිය සැටදවසක් ගෝනි රෙදි හැඳ අනාගතවාක්‍ය කියන්නෝය, ” මෙම කාල පරාසයේ විශාල කාලපරිච්ජේදයක් තුළ දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවෝ අප්‍රසිද්ධියෙන් සිටියෝය. සත්‍යතාවේ වචන මිනිසුන්ගෙන් වසන් කර තැබීමට පාප් බලධරයෝ වෑයම් කළෝය. සාක්ෂිකරුවන්ගේ දහම් ප්‍රකාශනවලට විරුද්ධවූ ඉගැන්වීම් යොදා ගනිමින් ඒවා මිනිසුන් ඉදිරියේ තබමින් සත්‍යතාව නැතිකර දැමීමට රෝමානුවෝ වෑයම් කළෝය. ආගමික සහ ලෞකික බලවේග මගින් ශුද්ධ බයිබලය තහනම් කරන ලදී. බයිබලයේ ඉගැන්වීම් අනිසි ලෙස යොදා ගනිමින් වැරැදි අරුත් ඉදිරිපත් කරන ලදී. මිනිස් මනස බයිබල් දහම් කෙරෙන් ඉවතට යොමු කිරීම සඳහා යොදාගත හැකි සෑම උපක්‍රමයක්ම ක්‍රියාත්මක විය. මෙම විධි සහ ක්‍රම මිනිසුන්ගේ මෙන්ම යක්ෂයින්ගේද නිර්මාණ විය. බයිබලයේ අඩංගු ශුද්ධ වූ සත්‍යතාවන් ප්‍රචාරය කිරීමට අභිතව ඉදිරිපත් වූ අය පසුපස වධකයෝ ලුහුබැඳ ගියෝය. ඔවුන්ට පාවා දෙනු ලැබීය. වධ හිංසාවනට පාත්‍ර කරනු ලැබීය, බිම්ගෙවල කුටි තුළ භූමිදාන කරනු ලැබීය, ඇදහිල්ල නිසා ඝාතනය කරනු ලැබීය, තවත් අය මිදීම පතා කඳුකරයේ ආරක්ෂා ස්ථාන කරා පලා ගියෝය. බිම් ගුහාවල රැකවරණය ලබා ගත්තෝය. මෙලෙස සාක්ෂිකරුවෝ ගෝනි රෙදි හැඳගෙන අනාවැකි කීවෝය. කෙසේ වුවද ඔවුහු තම සාක්ෂි දැරීම අවුරුදු එකදහස් දෙසීය හැටක් පුරාම පවත්වාගෙන ගියෝය. ඉතා අඳුරු වකවානුවලදී පවා දෙවියන්වහන්සේගේ වචනයට ආදරය කළ, උන්වහන්සේගේ ගෞරවය කෙරෙහි උනන්දුවක් දැක්වූ විශ්වාසවන්ත පුද්ගලයෝ සිටියහ. මෙම අයට මේ කාලය පුරාම දෙවියන්වහන්සේගේ සත්‍යතාව ප්‍රකාශ කිරීමට බලය, අධිකාරිත්වය සහ ප්‍රඥාව සගයෙන් සකසා දෙන ලදී.GrHSin 301.2

    “යමෙක් ඔවුන්ට අනතුරු කරන්නට කැමති වේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම ඔවුන්ගේ සතුරන් විනාශ කරයි. යමෙක් ඔවුන්ට අනතුරු කරන්ට කැමති වන්නේ නම් ඔහු මෙලෙස මරනු ලබන්ට ඕනෑය.” (එළිදරව් 11:5). දඬුවම් නොවිඳ දෙවියන්වහන්සේගේ වචනය පාගා දමන්ට මනුෂ්‍යයන්ට නුපුළුවන. මෙවන් ආකාර ඵලදීමක් පිළිබඳව එළිදරව් පොතෙහි අවසන් පරිච්ජේදයෙහි මෙසේ විග්‍රහ කර ඇත. මේ පොතේ අනාගතවාක්‍ය වචන අසන සියල්ලන්ට මෙසේ සහතික ලෙස කියමි. එනම් යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම්, දෙවියන්වහන්සේ මේ පොතෙහි ලියන ලද පීඩා ඔහුට එකතු කරන සේක. යමෙක් මේ අනාගතවාක්‍ය පොතේ වචන වලින් යමක් අහක් කරන්නේ නම් මේ පොතෙහි ලියා තිබෙන ජීවන වෘක්ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන්වහන්සේ ඔහුගේ කොටස අහක් කරන සේක යනුයි.” (එළිදරව් 22: 18-20).GrHSin 302.1

    තමන්වහන්සේ විසින් එළිදරව් කර ඇති විවෘත කර ඇති යම් දෙයක් වේද, ඒවා වෙනස් කිරීමට තැත් කරන්නාවූ අයගෙන් තමන් වචන ආරක්ෂා කරගැනීමට දෙවියන්වහන්සේ දී ඇති අනතුරු ඇඟවීම් එයාකාරය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවලිය සුළුකොට තැකීමට තමන්ගේ අනුබලය මගින් තවත් කෙනෙකු හට පෙළඹීමක් කරන්නාවූ යමෙක් වේද හෙතෙම මෙම භයානක චෝදනාව ලක්වෙයි. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු වීම එතරම් වැදගත්කමක් නැති දෙයකැයි නොසැලකිලිමත් ලෙස පවසන්නාවූ අය මෙම අනතුරු ඇඟවීම් දැකීමෙන් පවා භීතියට පත්විය යුතුය, අසහනයට පත්විය යුතුය. දිව්‍ය එළිදරව් කිරීම්වලට ඉහළින් තමන්ගේ නිගමනයන්ට තැන දෙන්නාවූ අයද, තමන්ගේ වාසියට ශුද්ධ ලියවිල්ලේ සරල අදහස් වෙනස් කරන්නාවූ අයද, ලෝකය හා සමග අනුකූලතාව දැක්වීම පිණිස ශුභාරංචි ඉගැන්වීම් වෙනස් කරන්නාවූ අයද තමන් මත භයානක වගකීමක් පවරා ගන්නෝය. දෙවියන්වහන්සේගේ ලිඛිත වචනය, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව වනාහි, නොවරදින සුළු මෙම මිනුම් දණ්ඩ මගින් යමෙකුගේ තත්ත්වය අඩු බව පෙනී යන්නේ නම් ඔහුව වරදට පත්කරනු ලැබේ.GrHSin 302.2

    “ඔවුන් තමන්ගේ සාක්ෂිය නිම කළ විට” යන්න මෙසේය: මෙම සාක්ෂිකරුවන් දෙදෙනා ගෝනි හැඳ අනාවැකි කීමේ කාලය 1798 දී නිමාවට පත්විය. තමන්ගේ අප්‍රසිද්ධ කාර්ය භාරය අවසානය කරා පැමිණෙමින් තිබියදී “පාතාලයෙන් නැගී එන මෘගයා”ගෙන් පෙන්නුම් කරනු ලබන්නාවූ බල අධිකාරිය ඔවුන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන බවය. යුරෝපයේ බොහෝ ජාතීන් අතර ශත වර්ෂ ගණනාවක් පුරා රාජ්‍ය බලය සහ ආගමික බලය පාලනය කළේ සාතන්ය. ඔහු පාප් බලය තුළින් මෙම පාලනය ක්‍රියාවන්ට නැංවීය. නමුත් සාතන්ගේ බලය යෙදවීමේ නව ප්‍රදර්ශනය වීමක් මෙහිදී ඉස්මතුව පෙනෙන්නේය.GrHSin 302.3

    ශුද්ධ බයිබලය සම්බන්ධව රෝමානුවේ ප්‍රතිපත්තිය වූයේ භාවිතයේ නොපවත්නා බසකින් එය විලංගු දමා බැඳ තබා ජනතාවගෙන් දේව වචනය වසන්කර තැබිමය. මෙසේ කළේ ශුද්ධ බයිබලයට ගෞරවය දැක්වීම උදෙසා යිය ඔවුහු ඒ ගැන පැවසුවෝය. ඇයගේ පාලන සමය තුළදී සාක්ෂිකරුවන් දෙදෙනා “ගෝනි රෙදි හැඳගෙන” අනාවැකි කීවෝය. තවත් බලයක්, එනම් පාතාලයෙන් නැගී ආ මෘගයා දෙවියන්වහන්සේගේ වචනයට එරෙහිව විවෘතව සටන් වැදුණේය.GrHSin 303.1

    සාක්ෂිකාරයන් දෙදෙනා මරා දැමූ මෘගයා විසින් ඔවුන්ගේ මළකඳන් මහා නගර වීථියෙහි හොවා දමන ලදී. මෙම නගරය “ආත්මික ඊජිප්තුව” ලෙස හැඳින්වේ. බයිබලීය පුරාවෘත්තියෙහි සඳහන් ජාතීන් අතර, මිසරය හෙවත් ඊජිප්තුව ජීවමාන දෙවියන්වහන්සේගේ පැවැත්ම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළාය. උන්වහන්සේගේ ආඥාවලට විරුද්ධව ක්‍රියා කළාය. මිසරයේ රජු මෙන් සගයේ අධිකාරී බලයට එරෙහිව එළිපිටම කැරැළි ගැසූ වෙනත් නරපතියෙක් තවත් නොවීය. දෙවිසමිඳාණන්ගේ නාමයෙන් මිසරයේ ඵාරාවෝ වෙතට පණිවිඩයක් මෝසෙස් විසින් රැගෙන ගිය අවස්ථාවේදී උඩඟු ඵාරාවෝ මෙසේ පැවසීය, “ඊශ්‍රායෙල්වරුන්ට යන්ට හරින ලෙස මා විසින් ස්වාමීන්වහන්සේගේ බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද? මම ස්වාමීන්වහන්සේ නාඳුනමි. ඇරත්, ඊශ්‍රායෙල්වරුන්ට යන්ට නොහරින්නෙමි. ” (නික්මයාම 5:2). මෙය දෙවි කෙනෙකු නැතැයි කියන අදේව වාදයේ මූල ධර්මයකි. ජීවමාන දෙවියන්වහන්සේගේ ඉල්ලීම් එයාකාරයෙන් ප්‍රතික්ෂේප කරන්නාවූ මිසරය වැනි වෙනත් බල අධිකාරියක් අවිශ්වාසය සහ විරුද්ධව ක්‍රියාකිරීමේ ආත්මයක් පෙන්නුම් කරයි. මෙම “මහත් නගරය” ආත්මික වශයෙන්ද සොදොමට සමාන කර ඇත. සොදොම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කිරීම පෙන්නුම් කළේ සල්ලාලකම්වල යෙදීමෙන්ය. මෙම ශුද්ධ ලියවිලි කොටසෙහි අඩංගු විශේෂිත චරිත ගුණාංග පෙන්නුම් කරන්නාවූ ජාතිය තුළ සල්ලාලකමේ සහ අනාචාර හැසිරීම්හි අඩුවක්ද නැත්තේය.GrHSin 303.2

    දිවැසි අනාවැකි වදන් අනුව 1798 වර්ෂයට ස්වල්ප කලකට පෙරාතුව සාතන්ගේ ප්‍රභවයෙන් සහ චරිත ගුණාංගවලින් යුතු බලයක් නැගී එන්නේය. එම බලය ශුද්ධ වූ බයිබලයට විරුද්ධව යුද්ධ කරන්නේය. දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් දෙදෙනාගේ හඬ නිශ්ශබ්ද කරන්නාවූ දේශය තුළ ඵාරාවෝගේ අදේව දෘෂ්ටියත් සොදොම්හි සල්ලාලකමත් කැපී පෙනෙනවා ඇත.GrHSin 303.3

    මෙම අනාවැකියෙහි යථාර්ථයවූ ද, සත්‍යවූ ද ඉටුවීමක් ප්‍රංශ ඉතිහාසය දක්වයි. ප්‍රංශ විප්ලවය පැවති විට 1793 දී පැවැති සම්මේලනයක් ගැන මෙසේ වාර්තා වී ඇත. “මෙවන් රැස්වීමක් ලෝකයේ පැවැති මුල්ම අවස්ථාව මෙය වන්නේය. මෙයට සහභාගිවූ මනුෂ්‍යයෝ ශිෂ්ටාචාරය තුළ උපත ලබා යහපත් අධ්‍යාපනයක් ලැබූ අය වූහ. යුරෝපාකරයේ ඉතා ප්‍රබල ජාතියක් පාලනය කිරීමේ කාර්යය තමාට අයිති බව ඔව්හු දැක්වූහ. මිනිස් ආත්මයට ලබාගත හැකි ඉතා ගාම්භීර වූ සත්‍යතාව එක හඬින් ප්‍රතික්ෂේප කරමින් දෙවියන්වහන්සේ කෙනෙකු කෙරෙහි විශ්වාසයත් උන්වහන්සේට නමස්කාර කිරීමත් සම්පූර්ණයෙන්ම අත්හැර දැමීම මෙම සම්මේලනයේ ඒකමතිකව තීරණය විය.” (Scott, Sir Walter, “Life of Napoleon Buonaparte, Vol, 1. Ch. 17). විශ්වාසය තැබිය හැකි වාර්තාවක් අනුව දැකගත හැකිවන්නේ විශ්වයේ කතුවරයාණන්ට එරෙහිව එළිපිටම කැරලි ගැසූ ලොව සිටි එකම ජාතිය ප්‍රංශය පමණක් වන බවය. දේව අපහාස කරන්නන්ද මිථ්‍යා දෘෂ්ටිකයන්ද එකල මෙන්ම අදත් සිටිති. ඔවුහු එංගලන්තයේ, ජර්මනියේ සහ ස්පාඤ්ඤයේ මෙන්ම වෙනත් රටවලද වෙසෙති. එහෙත් මන්ත්‍රී මණ්ඩලයේ පනතක් මගින් දෙවි කෙනෙකු නැතැයි නීතිගත කළ එකම රට ප්‍රංශයය. මුළු විශ්වයේම මැවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේට විරුද්ධව සිය හස්තය ඔසවමින් අභියෝග කළ වෙනත් කිසිම රටක් පිළිබඳව ඉතිහාසයේ වාර්තා වී නැත. මෙම නීතිය සම්මත වීමත් සමගම පැරිසියේ නගරවාසීහූ ඔල්වරසන් හඬ නැගූහ. පැරිසියේ මුළු මහත් ජනතාව මෙන්ම රාජ්‍යයෙහි වෙනත් ප්‍රදේශවල විසූ බහුතරයක්ද මෙම නීතිය සම්මත වීමත් සමගම එය පිළිගනිමින් ප්‍රීතියෙන් කුල්මත්ව කෑගසමින් නටන්නට වූහ. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම එය පිළිගනිමින් ඒකාකාරව නැටුමට සහ ගැයුමට එක් වූහ. (Black Wood’s Magazine, November 1870).GrHSin 303.4

    සොදොම් නගරයේ පැවති අශීලාචාර ජීවිත රටාව ප්‍රංශය තුළද පැතිර පැවැතියේය. තැනිතලා පෙදෙස්හි වූ ඒ නරගයන්හි පැතිර පැවැති දුරාචාරය, දූෂිතතාව සහ අධයාත්මික අපචාර, ප්‍රංශය පුරාද ක්‍රියාත්මකව තිබූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. තැනිතලා පෙදෙස්හි තිබූ විෂමාචාර ක්‍රියාදාමයන් නිසා එම නගර දෙවියන්වහන්සේගේ උදහසට ලක්ව විනාශකර දමනු ලැබීය. ප්‍රංශයේ පැවැති අදේව ධර්ම විශ්වාසයන් සහ සදාචාර විරෝධී ක්‍රියාදාමයන් ගැන එක් ඉතිහාසඥයෙක් මෙසේ පවසා ඇත. “ආගම කෙරෙහි ඉතා සමීපව බලපාන්නාවූ නීති සමගම විවාහය පිළිබඳව බලවත්නා නීතිද සැහැල්ලුවට පත්විය. විවාහය වනාහි මිනිසුන් අතර බැඳීමක් ඇති කළ හැකි ශුද්ධ වූ සම්මුතියකි. එහි ස්ථිරවූ කඩා දැමීය නොහැකි බැම්ම සමාජයේ ස්ථාවරයට ප්‍රබල අත්වැලකි. එම අන්‍යෝන්‍ය බැඳීම සිවිල් ගනුදෙනුවක තත්ත්වයට සීමා කරනු ලැබීය. එහි පැවැත්ම තාවකාලික විය. කැමැති වේලාවක එම ගිවිසුම අහෝසි කර දැමීමට නීතියෙන් අවසර ලැබී තිබුණේය. ගෘහස්ථ ජීවිත පැවැත්මෙහි ඉතා ගරු කටයුතුවූද, ඉතා සුන්දරවූ ද, දිගු කල් පවත්නාවූ ද කසාද බැම්ම අත්සනට පමණක් සීමා කරමින් එය විනාශ කර දැමීමට මාර්ගයක් සෙවීම යක්ෂ බලවේගයේ ඉතා සූක්ෂම සොයා ගැනීමක් විය. එයින් නොනැවතුණු ඔවුහු එය පරම්පරාවෙන් පරම්පරාවට උරුමයක් කරදීමටද වගබලා ගත්තෝය. කසාද සංස්ථාව විනාශ කර දැමීමට වූ යක්ෂ කුමන්ත්‍රණය ප්‍රංශයෙන් ආරම්භ වී ජයග්‍රාහී සාර්ථකත්වයක් ලබා ගත්තේය ... හාස්‍ය රසය සහිත කියමන් ප්‍රකාශ කිරිමේ දක්ෂතාවක් තිබුණාවූ ජනප්‍රිය නිළියක් වූ සොෆී ආර්නල්ට් මෙසේ ප්‍රකාශ කළාය. “රජයේ ලියාපදිංචි කරනු ලබන්නාවූ විවාහය වනාහි කාමමිථ්‍යාචාරයේ ශුද්ධවූ පූජාවකි.” (Scott, Vol, 1. Ch. 17).GrHSin 304.1

    “යේසු සමිඳාණන් කුරුසිපත් කළ ස්ථානයේ” යනුවෙන් අනාවැකියෙහි ඇතුළත් වූ මෙම විශේෂාංගය ප්‍රංශය තුළ සම්පූර්ණ ලෙසින් ඉටුවිය. ප්‍රංශය මෙන් ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධකම් පෑ තවත් රටක් ඉතිහාසයෙහි හමු නොවේ. ප්‍රංශයේදී මෙන් වෙනත් කිසිම රටක සත්‍යතාවට ඉතා දරුණු ලෙස විරුද්ධතාවන් දැක්වූ කුරිරු ලෙස සත්‍යතාවට පහර ගැසූ වෙනත් රටක් නැත. ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කළ අයට විරුද්ධව ප්‍රංශ රජය විසින් ගෙන ගිය හිංසාකාරී විපත් මගින්ද උන්වහන්සේගේ අනුගාමිකයන්ට වධ දීමෙන්ද ඇය ක්‍රිස්තුස්වහන්සේව කුරුසිපත් කළාය.GrHSin 305.1

    ශත වර්ෂයෙන් ශත වර්ෂයටම ශුද්ධවන්තයන්ගේ රුධිරය හෙලනු ලැබුවේය. පීඩ්මොන්ට් කඳුකරයේදී වොල්ඩන්සියානු වාදියෝ දෙවියන්වහන්සේගේ වචනය උදෙසාද ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය උදෙසාද තම ජීවිත පූජා කළෝය. සත්‍යය උදෙසා මෙවැනිම සාක්ෂි දැරීමක් ප්‍රංශයේ ඇල්බිජෙන්සියන් වාදීහුද ඉටු කළෝය. ප්‍රතිසංස්කරණය රජ කළ වකවානුවේදී එකී ඇදහිලිවතුන්ට දස වධ දී ඔවුන් මරා දමනු ලැබීය. රජවරුන් සහ රදළයන්ද, කුලවත් කතුන් සහ සියුමැලි යුවතියන්ද, ජාතියේ ප්‍රෞඩත්වය සහ ධීරවීර භාවය හිමි අයද යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල නිසා දිවි පිදූ වේදසාක්ෂිකයන්ගේ දුක් අඳෝනා සහ දුක් විඳීම් අසමින්, බලමින්, තම ඇස් සහ කන් පිනවා ගත්හ. මිනිස් හදවත ආදරය කරන්නාවූ ශුද්ධවූ අයිතිවාසිකම් උදෙසා සටන් කළ වීර හියුගනෝවරු යුද්ධ පිටියෙදී තමන්ගේ රුධිරය පූජාවක් මෙන් ඔප්පු කළෝය. ප්‍රොතැස්තන්තවරුන් නීතියේ රැකවරණයෙන් ඉවත් කර දමන ලදී. ඔවුන්ගේ හිස්වලට මිලක්ද නියම විය. දඩයක්කාරයන් වල් සතුන් ලුහුබැඳ යන්නාසේ, ඔවුන් පසුපස ප්‍රංශ භටයෝ හඹා ගියෝය.GrHSin 305.2

    තම පියවරුන්ගේ ඇදහිල්ල අත් ´නොහැර එය´ ආදරයෙන් රැකබලා ගත් පැරණි කිතුණුවන්ගෙන් පැවත ආ බැතිමත්හූ ස්වල්ප දෙනෙක් දහඅට වෙනි සියවසරේදී ප්‍රංශයේ දිවි ගෙවූහ. ප්‍රංශයේ දකුණු දිශාවේ කඳුකරයේ සැඟවි සිටි මොවුහු “පාළුකරයේවූ දේව සභාවේ ” නමස්කාර මෙහෙයන්ට සහභාගී වූහ. කඳුකරය ආරක්ෂිත යයි සිතූ ස්ථානයන්හිදී රාත්‍රී කාලයේ රැස්වීම් සඳහා බැතිමතුන් පැමිණි විට ඔවුන් පසුපස හඹා ගිය අශ්වාරෝහක යුද්ධ භටයෝ ඔවුන් ඇදගෙනවිත් ජීවිතාන්තය දක්වා වහල්කමෙහි යෙදවූහ. ප්‍රංශයේ දිවි ගෙවූ ඉතා සදාචාරමත් ජීවිත ගත කළ අය, ඉතා දැහැමි අය, ශිෂ්ට සම්පන්න අය සහ ප්‍රවීණ බුද්ධිමත් අයද දම්වැල්වලින් බැඳ දමා සොරුන් සහ මිනීමරුවන් සමග එක්ව වධහිංසාවන්ට භාජන කරන ලදී. තවත් අයට වෙඩි තබා මරා දමන ලදී. ඔවුන් සතුව අවි ආයුධ නොවීය, පිටස්තර අයගේ පිහිටද නොවීය. වධකයන් ඉදිරිපිට දෙවියන්වහන්සේට යාච්ඤා කිරීමට දණින් වැටුණු ඔවුන්ට වෙඩි තබන ලදී. වැඩිවිය පත් මිනිසුන්, අනාරක්ෂිත ස්ත්‍රීන් සහ අසරණ දරුවන් ද ඔවුන් නමස්කාර කිරීම සඳහා රැස්වූ ස්ථානයන්හිදීම කුරිරු ඝාතනයට ලක් විය. ඔවුන් රැස්වූ කඳු පෙදෙස් සහ කැළෑ වදුලු හරහා ගමන් කරන්නේ නම්, “සෑම පියවර හතරක් පාසාම තණබිම්හි හරහා ගමන් කරන්නේ නම්, “සෑම පියවර හතරක් පාසාම තණබිම්හි මළ මිනී දැකගැනීම සුලභ දසුනක් විය. ඒ අතරතුර ගස්වල එල්ලෙමින් තිබුණු ප්‍රාණය නිරුද්ධ මෘත ශරීරද දැකගැනීම හැකි විය. කඩුවෙන් අත් පොරොවෙන් සහ දර මිටි මත වූ පූජාසනයන්ගෙන් ඔවුන්ගේ දේශය පාළුවට ගොස් තිබුණේය. “මෙම දාමරික පාපිෂ්ඨ ක්‍රියාදාමයන් සිදුවූයේ අඳුරු යුගයේදී නොව XIV වන ලුවී රජතුමාගේ දීප්තිමත් පාලන යුගයකදීය. මෙම ඓතිහාසික යුගයේදී විද්‍යා‍වේ දියුණුවට හොඳ තැනක් සැකසී තිබුණේය. ලිවීම දියුණු වී තිබුණේය. රජ මැඳුරේ නීති සම්පාදයන් මෙන්ම නගර සභාවේ පරිපාලකයෝ ද උගතුන් සහ දක්ෂයන් වූහ. මෘදු මොලොක් කරුණා ගුණය සහ ත්‍යාගශීලීතාව රජකරන බව බොරුවට පෙන්වීමට වෑයමක්ද විය.” (Wylie, b. 22, Ch. 7).GrHSin 305.3

    අපරාධ ලැයිස්තුවේ ඉතා දරුණුතම සංසිද්ධිය ලෙස ලෝක ඉතිහාසයෙහි තද කළු පැල්ලම් සනිටුහන් කළ අවස්ථාව ලෙස ශාන්ත බර්තොලමිච් සංහාරය සඳහන් කළ හැකිය. යක්ෂ වෙස්ගත් තිරිසන් පාලකයන් සියවස් ගණනාවක් පුරා සිදුකළ සාපරාධි අධම ක්‍රියාදාමයන් සියල්ල අභිබවමින් xiv වන ලුවීගේ පාලන සමයේදී තිබූ භීෂණය මුල් තැන ගත්තේය. එදා සිදුවූ බියගුළු අශීලාචාර ඝාතනය ගැන සිහිවත්ම බොහෝ අයගේ හදවත් බිරාන්තව තැති ගන්නේය. රෝමානු පූජකයන්ගේ සහ බල අධිකාරීනගේ උපදෙස් අනුව ක්‍රියා කළ ප්‍රංශ රජතුමා මෙම බියකරු මිනිස් ඝාතනයට තම අනුමැතිය ලබා දුන්නේය. අන්ධකාරය රජ කළ රාත්‍රීයේදී නද දුන් සීනු හඬ ඝාතනය ආරම්භ කිරීමට සංඥාව ලබා දුන්නේය. තමන්ගේ ගෙවල නිදා සිටි දහස් ගණන් ප්‍රොතැස්තන්තයන් කිසිම දැනුම් දීමකින් තොරව එළියට ඇදගෙන විත් අමු අමුවේ ඝාතනය කරන ලදී. මේ සියල්ල සිදුවූණේ ජනතාවට රැකවරණය ලබාදීමට වූ රජතුමාගේ පොරොන්දුව කෙරෙහි තැබූ විශ්වාසය උල්ලංඝනය කරමින්ය.GrHSin 306.1

    මිසරයේ වහල් කමින් තමන්ගේ ජනතාව මුදවාගත් ක්‍රියාදාමයේදී අදෘශ්‍යමාන ලෙස ක්‍රියාත්මක වෙමින් එයට නායකත්වය ලබා දුන්නේ ක්‍රිස්තුස්වහන්සේය. වේද සාක්ෂිකරුවන් වැඩි කිරීමේ මෙම භීෂණකාරී විනාශය කිරීමට තම අනුගාමිකයන් මෙහෙය වූ අදෘශ්‍යමාන හස්තය වූයේ සාතන්ය. දවස් තුන පුරා මෙම ඝාතනය පැරීසිය පුරා පැවතුණේය. පළමුවන දවස් තුන පුරා දැකගන්නට හැකි වූ වියරුව වචනයෙන් විස්තර කිරීමට පවා නොහැකිය. මෙම රුදුරු ඝාතනය නගරයට පමණක් සීමා නොවීය. රජතුමාගේ විශේෂ නියෝගයක් මත ප්‍රොතැස්තන්ත අයවලුන් විසූ හැම පළාතක් සහ නගරයක් කෙරෙහිද විනාශ කර දැමීමේ නියමය ක්‍රියාත්මක විය. සාතන්ගේ ක්‍රියාවට වයස් භේදයක් හෝ ස්ත්‍රී - පුරුෂ භේදයක් හෝ නොවීය. අසරණ ළදරුවා මෙන්ම පැසුණු හිසකෙස් ඇති මහල්ලාද එකසේ ඝාතනයට ලක් වූහ. වංශාධිපතීන් මෙන්ම ගොවීන්ද බාල මහලු අයද මව්වරුන් සහ දරුවන්ද එකට කපා දමනු ලැබුවෝය. ප්‍රංශය පුරා මෙම මිනිස් ඝාතන මාස දෙකක් පුරා පැවතුණේය. දේශයේ මල්කඩක් වූ සැත්තෑ දහසක ජනකායකගේ ජීවිත විනාශයට පත්විය. GrHSin 307.1

    සමූහ ඝාතන පුවත රෝමයේ පැවිද්දන්ගේ කණ වැටුණු වහාම xiii ග්‍රෙගරි පාප්වරයාගේ ප්‍රීතියෙහි නිමක් නැති විය. ලොරේන්හි බැසිලිකාවෙහි කාර්දිනල්වරයා පණිවිඩය ගෙන ආ පුද්ගලයාට කුරුම දහසක් තෑගි කළේය. එහි වටිනාකම සිලිම් පන්දහසක් විය. ශාන්ත ඇන්ජෙලෝ ආසන දෙව් මැදුරෙහි අගරදගුරු තුමා ප්‍රීතියෙන් උද්දාමයට පත්ව ප්‍රංශ වැසියන්ට ප්‍රණාම ආචාරයක් පිළිගැන්වීය. සෑම දෙව් මැදුරක්ම සීනු හඬින් ඒක නාද විය. තැනින් තැන දල්වාලු ගිනි මැළ තුළින් නිකුත් වූ ආලෝකය රාත්‍රී කළුවර පළවා හැර දවාලක එළිය ලබා දුනනේය. xiii ග්‍රෙගරි පාප්වරයා, කාර්දිනල්වරුන් මෙන්ම තවත් ආගමික සභා පාලක පූජකවරුන්ද සමග දිගු පෙරහැරකින් ශාන්ත ලුවී දෙව් මැදුර වෙත පැමිණයේය. එහිදී ලොරේන්හි කාර්දිනල්වරයා දෙවි සමිඳාණන් හට විශේෂ ස්තෝත්‍රස්වයක් පැවසුවේය. සමූල ඝාතනය පැවතීම ගැන විශේෂ පදක්කමක්ද නිකුත් කරන ලදී. මේ අතර බිතු සිතුවම් තුනක්ද නිර්මාණය විය. මෙම බිතු සිතුවම් අදත් වතිකානුවෙහිදී දැකගැනීමට පුළුවන. රජතුමා මන්ත්‍රී මණ්ඩලයත් සමග සමූල ඝාතනය සැලසුම් කිරීම්, සමූල ඝාතනය සිදුකිරීම, සහ නාවික හමුදාපති සමග සටන, මෙම බිතු සිතුවම් තුළින් විද්‍යාමාන විය. චාර්ල්ස් රජතුමා තම යුතුකම් ඉටු කළ බව දක්වමින් ඒ ගැන ඔහුට ප්‍රශංසා කරන පිණිස ග්‍රෙගරි විසින් චාර්ල්ස්ට ස්වර්ණ රෝස මල ප්‍රදානය කළේය. මාස හතරකට පසුව හෙතෙම ප්‍රංශ බසින් කළ දේශනාවකට ඇහුම්කන් දුන්නේය. මුළු නමස්කාර මෙහෙය පවත්වන ලද්දේ ප්‍රංශ පූජකවරයෙකු විසින්ය. ඔහුගේ දේශනාවට පාදක වූණේ, ප්‍රංශයේ සිදුකරන ලද ඝාතන රැල්ලයි. එම සිද්ධියෙහි ඌන පූර්ණය ඔහු මෙසේ විස්තර කළේය. “එදින ප්‍රීතිය උතුරා ගිය දවසකි. සතුට සීමා ඉක්මවා ගියේය. අති උත්තම ශුද්ධ වූ පියතුමාට සුපුවත අසන්නට ලැබුණු විගසින්ම ඔහු ගාම්භීර භක්තියක් රඳවා ගනිමින් දෙවියන්වහන්සේටද ශාන්ත වූ ලුයිස්ට තුති පැසසුම් දීමට අල්තාරය වෙත පියවර නැගීය. ” (White, Henry, “The Massacre of St. Bartholomew,” Ch. 14, par. 34).GrHSin 307.2

    ශාන්ත බර්තොලමිච් සමූල ඝාතනය පිටුපස ක්‍රියාත්මක වූ නායක ආත්මයම විප්ලවයෙහි අනෙකුත් සාපරාධවලද සැලසුම්කරුවා විය. යේසුස්වහන්සේ බලහත්කාරයෙන් ඉදිරිපත් වන්නෙකු ලෙස හඳුන්වා දෙන ලදී. ප්‍රංශ අදේව දෘෂ්ටිකයන්ගේ එකම හඬ වුණේ, “කාලකණ්ණි නීචයා විනාශ කර දමනු” යන්නය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔවුන් තුළ නිර්මාණය කර තිබූ කල්පිතය එයාකාර විය. සගය පවා නොඋසුලන්නාවූ දේව අපහාසද ඉතා පිළිකුල් සහගත සාපරාධී ක්‍රියාද අත්වැල් බැඳ ක්‍රියාත්මක විය. කුරුරිකමට සහ දූෂිත අපරාධවලට නම් දරූ සමාජ විරෝධී පුද්ගලයන් ඉහළට ඔසවා ප්‍රභූ තත්ත්වයට පත්කරනු ලැබීය. මේ සියල්ලෙහි උත්තරීතර වන්දනය සාතන්ට පුදකරන ලදී. එමගින් සත්‍යය, පාරිශුද්ධත්වය සහ පරාර්ථකාමී ආදරය මූර්තිමත් කළ ක්‍රිස්තුස්වහන්සේව කුරුසිපත් කරන ලදී.GrHSin 308.1

    පාතාලයෙන් නැගී එන මෘගයා ඔවුන්ට පහරදී, ඔවුන්ගෙන් ජයගෙන, ඔවුන් මරා දමනු ඇත.” විප්ලවය පැවැති වකවානුව තුළදී ප්‍රංශයේ රාජ බලය හෙබ වූ අදේවදෘෂ්ඨ බලය දෙවියන්වහන්සේටත්, උන්වහන්සේගේ ශුද්ධවූ වචනයටත් විරුද්ධව එවන් යුද්ධයක් පවත්වා ගෙන ගියේය. එවැනි භීෂණ සමයක් ලෝකයේ තවත් නොවූ විරූය. ජාතික මන්ත්‍රී මණ්ඩලය විසින් දෙවියන්වහන්සේට නමස්කාර කිරීම අවලංගු කරන ලදී. ශුද්ධ වූ බයිබල් පිටපත් එකතු කරගත් විරුද්ධවාදීහූ එම පිටපත් ප්‍රසිද්ධියේම ගිනිබත් කළෝය. සෑම ආකාර නින්දාවක්ම එකතු කිරීමට අමතක නොකරන ලදී. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව පයින් පාගා දමනු ලැබීය. බයිබල් ආයතන තහනමට ලක් විය. සතියේ නිවාඩු දිනය ඉවත් කරන ලදී. ඒ වෙනුවට මාසයේ දසවෙනි දිනය දේව අපහාස කිරීම්වලට සහ ප්‍රීති උත්සව පැවැත්වීමට වෙන් කරනු ලැබීය. බව්තීස්මය සහ ශුද්ධ රාත්‍රී භෝජනය සිහිකිරීමේ මෙහෙය තහනම් විය. භූමදාන සිදුකිරීම් කළ ස්ථානයන්හි සැමටම දැකගත හැකිවන පරිදි එල්ලා තිබූ දැන්වීම් හඬගා කියාපෑවේ මරණය සදාතනික නින්දක් බවය.GrHSin 308.2

    මෙතෙක් කල් මිනිසුන් විසින් පිළිගෙන තිබුණේ දෙවියන්වහන්සේට බිය වීම ප්‍රඥාවේ පටන්ගැන්මය කියාය. එහෙත් එය මෝඩකමෙහි ආරම්භය ලෙසට හඳුන්වනු ලැබීය. සෑම අන්දමේම ආගමික නමස්කාර මෙහෙයන් තහනමට ලක් විය. එහෙත් නිදහස සහ රට වෙනුවෙන් එම තහනම බල නොපෑවේය. රදගුරු තුමාට පැරිසියේ ජාතික මන්ත්‍රී මණ්ඩලය ඉදිරියට එන ලෙස කැඳවීමක් ලැබුණේය. එසේ පැමිණි හෙතෙම එහි ප්‍රධාන භූමිකාවක් රඟ පෑවේය. එදා පැවැති රැස්වීම ඉදිරියෙහි ඔහු ඉතා අලජ්ජිතවූ ද, අවිනීතවූ ද, නින්දිත ප්‍රහසනයක් හෙවත් විකාර රඟපෑමක් ඉදිරිපත් කළේය. පෙරහැරකින් මන්ත්‍රී මණ්ඩලය ඉදිරිපිටට කැඳවා ගෙනැවිත් ඔහුට ප්‍රකාශයක් කිරීමට අවස්ථාවක් ලබාදෙන ලදී. තමා වසර ගණනාවක් ඉගැන්වූ ආගම සෑම ආකාරයකින්ම පූජකයින්ගේ කෛරාටික ප්‍රබන්ධයක් බවත්, එයට කිසිම ආකාරයක පදනමක් ඓතිහාසික ලෙස හෝ ශුද්ධ වූ සත්‍යතාවයක් ලෙස හෝ නොතිබූ බවත් ඔහු පැවසීය. තමාව කැප කරනු ලැබූ නමස්කාරයෙහි ප්‍රස්තූතය වූ දෙවියන්වහන්සේ ජීවමාන දෙවි කෙනෙකු නොවන බව ගාම්භීර දැඩි ස්ථාවරයකින් යුතුව ඔහු සහතික කළේය. තමා අනාගතයේදී නිදහසට, සමානතාවට, සාර ධර්මවලට සහ සදාචාරයට සිරස නමා ගෞරවය පුදකරන බව ඔහු සපථ කළේය. තමාගේ ආගමික පදක්කම් සහ සැරසිලි ගළවා ඔහු ඒ සියල්ල මේසය මත තැබුවේය. එම සම්මේලනයේ සභාපතිගෙන් සහෝදරත්ව සිප ගැනීමක් ඔහුට ලැබුණේය. තවත් බොහෝ පූජකවරු තම දේව ඇදහිල්ල ප්‍රතික්ෂේප කරමින් රදගුරු තුමාගේ ආදර්ශය අනුගමනය කළෝය. (Scott, Vol. 1, Ch. 17).GrHSin 308.3

    “මේ ප්‍රොපේතවරුන් දෙදෙන පොළොවේ වසන්නන්ට වධ කළ නිසා, පොළොවේ වසන්නෝ ඔවුන් ගැන ප්‍රීතිව සන්තෝෂවෙමින් එකිනෙකාට තෑගි යවන්නෝය.” (එළිදරව් 11:10) සාක්ෂිකරුවන් දෙදෙනාගේ විවේචනාත්මක පැවරීමේ හඬ නිශ්ශබ්ද කිරීමට අදේව දෘෂ්ටි ප්‍රංශය සමත් වූවාය. සත්‍යතාවේ වචනය මහ නගර වීථි විනාශකර තිබුණි. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මගින් ඉල්ලා සිටි ප්‍රමිතීන්ද, එමගින් වූ තහංචි පැනවීම්ද ගැන ද්වේෂ සිතින් විරුද්ධ වූ අය එය නිශ්ශබ්ද කරනු ලැබීම ගැන ප්‍රීති ප්‍රබෝධයට පත්වූහ. මනුෂ්‍යයෝ ප්‍රසිද්ධියේම සගයේ රජතුමාණන්ට විරුද්ධකම් පෑවෝය, අභියෝග එල්ල කළෝය. පුරාණයේ සිටි ඵාරාවෝ ලෙස ප්‍රංශ වැසියෝද කෑ මොර දෙමින් මෙසේ ප්‍රශ්න කළෝය: “දෙවියන් වහන්සේ කෙසේ දන්නා සේක්ද? මහෝත්තමයාණන්ට දැනුම ඇද්ද? ” (ගීතාවලිය 73:11).GrHSin 309.1

    දේව අපහාසාත්මක දිරියකින් යුතුව නව සම්ප්‍රදායෙහි පූජකයෙක් කළ මේ ප්‍රකාශය විශ්වාස කිරීමට පවා අසීරුය. “දෙවියන්වහන්ස, ඔබ ජීවත්ව සිටිනවා නම්, ඔබේ නාමයට සිදුවී ඇති අනර්ථදායක තත්ත්වය සලකා බලා පුළුවන් නම් එය සිදුකළ අයට දඬුවම් කරන්න. එසේ කරන ලෙස මම අභියෝග කරනවා. ඔබ නිශ්ශබ්දව සිටිනවා. මීට පස්සේ ඔබ ජීවත්ව සිටිනවා යයි විශ්වාස කරන්නේ කව්ද?” (Lacretelle’s “History,” Vol. xi, p. 309). “යෙහෝවංවහන්සේගේ හඬට කීකරුවීමට උන්වහන්සේ කවරෙක්ද? මම උන්වහන්සේව හඳුනන්නේ නැහැ. ” යනුවෙන් ඵාරාවෝ පැවසූ අභියෝගයෙහි දෝංකාරයක් මෙයින් දැක්වෙනවා නොවේද?GrHSin 309.2

    “ආඥානයා දෙවි කෙනෙක් නැතැයි සිතින් කීය.” (ගීතාවලිය 14: 1). සත්‍යතාව විකෘති කරන්නවුන් ගැන දෙවි සමිඳාණෝ මෙසේ ප්‍රකාශ කරන සේක. මොවුන්ගේ අනුවණකමත් සියල්ලන්ට ප්‍රකාශ වෙනවා ඇත. ” (2 තිමෝති 3: 9). “උසස් වූ, උත්කෘෂ්ට වූ සදාකාලයෙහි වසන්නාවූ තැනැන්වහන්සේ” වන ජීවමාන යෙහෝවංවහන්සේව ප්‍රංශය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ඉතා පහත් මට්ටමේ රූප වන්දනාවට ඇබ්බැහි වීමට ඇයට වැඩි කාලයක් ගත වුණේ නැත. හේතු බුද්ධිකතාවේ දෙවඟනගේ නමස්කාරයට ප්‍රංශ ජනතාව යොමු වූවෝය. මෙම දේවතාවිය නිරූපණය කරනු ලැබුවේ දුරාචාර ස්ත්‍රීයකගේ විලාශයෙනි. මෙම නමස්කාර ක්‍රමය සඳහා අනුමැතිය ලබා දුන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් මෙන්ම සිවිල් සහ අධිකරණ අධිකාරිය විසින්ය. ඉතිහාසඥයෙක් මෙසේ පවසයි: “වියරු වැටී ක්‍රියා කළ මෙම කාලයේදී සිදුවූ එක්තරා රාජ්‍ය උත්සවයකදී ඇති වූ සිදුවීම් න්‍යාය විරෝධී, හාස්‍ය ජනක, අශ්‍රද්ධාවෙන් පිරී අංගයක් වූ අතර එවන් සිදුවීම් මින් පෙර කිසිම දවසක සිදුවී නොතිබුණේය. මණ්ඩලයේ සැසි වාරයේ දොරටු විවෘත විය. සංගීත කණ්ඩායමක් පෙරටු කරගෙන මහා නගර සභා මන්ත්‍රීවරු පෙරහැරකින් සභා ගැබට පිවිසුණෝය. ඔවුහු විමුක්තියේ ගීයක් ගායනා කරමින් සිටියෝය. තමන්ගේ අනාගත නමස්කාරයේ ප්‍රස්තූතය ලෙස මුහුණ දුහුල් පටකින් වසාගත් කාන්තාවක්ද පෙරහැරෙහි අංගයක් විය. ඇය හේතු බුද්ධිකතාවේ දේවතාවිය ලෙස හඳුන්වා දෙනු ලැබීය. සමුළුවේ මුලසුන වෙත ගෙනඑනු ලැබූ මෙම තරුණිය මහත් හරසරෙන් යුතුව මුහුණු වැස්ම ඉවත්කර සභාපතිගේ දකුණු පසින් නැගී සිටීමට සලස්වනු ලැබීය. සංගීත නාට්‍යයක නළඟනක් ලෙස, රැස්ව සිටි අය ඇයට හඳුනා ගත්හ... ප්‍රංශ ජනාතව නමස්කාර කළ හේතු බුද්ධිකතාවේ දෙවඟනගේ නියෝජිතයෙකු ලෙස මම නළඟනට ප්‍රංශ මන්ත්‍රී මණ්ඩලය ප්‍රසිද්ධියේ ගෞරවය දැක්විය. ශ්‍රද්දාවක් නොමැතිවූ ද, හාස්‍ය ජනකවූ ද මෙම කෝලම් නාටකය රඟ දැක්වීමේදී එක්තරා විලාසිතාවක් එයට පණ දුන්නේය. බුද්ධිකතාවේ දේවතාවිය නිල වශයෙන් පිහිටුවීමේ මංගල්‍යය රට පුරාම උත්සව ශ්‍රීයෙන් ස්ථාපිත කරනු ලැබීය. විප්ලවයේ උච්ඡතම ක්‍රියාදාමයට නමක්ද දෙනු ලැබීය. එම ක්‍රියාදාමයට එක සිතින් එකඟ වන බව කියා සිටි ජන කොටසක් යම් තැනක සිටියෝද, එවන් තැන්හි බුද්ධිකතාවේ දේවතාවිය පිහිටුවාලන ලදී. Cott, Vol, 1. Ch. 17).GrHSin 310.1

    බුද්ධිකතාවේ නමස්කාරය හඳුන්වා දෙමින් ආරම්භක කථිකයා මෙවන් දෙසුමක් කළේය. “නීති සම්පාදකයෙනි! ධර්මෝත්වාදය යල් පැනගිය එකකි. ඒ වෙනුවට දැන් එතැන තර්ක බුද්ධිය රජ කරයි. ආලෝකයේ දීප්තිය ඉදිරියේ ආගමික අන්ධකාරයට තැනක් නැත. ගොතික් සම්ප්‍රදාය අනුව සෑදූ ආරුක්කු සහිත මේ ගොඩනැගිල්ලෙහි රැස්ව සිටින අති විශාල ජනකාය ඉතිහාසයේ ප්‍රථම වතාට අද දින සත්‍යතාවේ මූල ධර්මය මේ යැයි ජයඝෝෂා පතුරුවති. ප්‍රංශ ජනතාව අද අදමසම වූ සත්‍ය නමස්කාරය උත්සවාකාරයෙන් සමරති. මෙම ජනරජයේ පාලන හස්තයෙහි සමෘද්ධිය සඳහා අපි අඩිතාලම දැමුවෙමු. ජීවිතය නැති රූප වැඳීම අතහැර දමා අපි තර්ක බුද්ධියට පණ දී ඇත්තෙමු. ස්වභාව ධර්මයේ මුදුන් මල්කඩ වූ ජීවමාන රූපයට අපි ප්‍රණාමය දක්වමු.” (Thiers, M. A. History of the French Revolution,” Vol ii pp. 370, 371).GrHSin 310.2

    රැස්වීම් මන්දිරයට දෙවඟන කැඳවා ගෙන එනු ලැබීය. කථිකයා ඇයගේ සුරත රැගෙන රැස්ව සිටි අය දෙසට හැරී මෙසේ පැවසුවේය. “මැරෙන සුළු මනුෂ්‍යයනි, බිය නිසාම ඔබ සිතින් නිර්මාණය කරගෙන ඇති දෙවියන්වහන්සේ කෙනෙකුගේ ගර්ජනා හඬ ඉදිරියෙහි ගැහෙමින් සිටීම නතර කරන්න. මින්පසු බුද්ධි තර්කය හෝ හේතු කාරණා හැර වෙනත් දෙවි කෙනෙකුට නමස්කාර කරන්න එපා. එහි අති උතුම්වූ ද, ශුද්ධ වූ ද රූපය මම ඔබට ඉදිරපත් කරමි. පිළිමවලට වන්දනා කිරීම අවශ්‍ය නම් මෙවන් රූප ඉදිරියෙහි පමණක් පූජාවන් ඔප්පු කරන්න. සම්භාවනීය ප්‍රතාපවත් නිදහසේ බල අධිකාරිය ඉදිරයෙහි දණ නමන බුද්ධි තර්කය නමැති තිරය ඉදිරියෙහි වැඳ වැටෙන්න. GrHSin 311.1

    “ජනාධිපති තුමා මෙම දෙවඟන වැළඳ ගෙන සිප ආචාර දැක්වීමෙන් පසුව සරසන ලස මෝටර් රථයක ඇය හිඳුවන ලදී. විශාල ජන සමූහයක් මධ්‍යයේ නෝර්ටාඩාම්හි ආසන දෙව් මැදුර වෙත ගෙන යන ලදුව එහිදී ඇය දෙවි සමිඳුන් ලෙස නමස්කාරයට යොමු කරවනු ලැබීය. ඇයව උස් අල්තාරයක් මත වැඩම කරවන ලදුව පැමිණ සිටි සැමගේ වන්දාභිමානයට පාත්‍ර කරන ලදී. “(Alison, Vol, 1. Ch. 7).GrHSin 311.2

    මෙම සංසිද්ධියෙන් වැඩ කලක් ගතවීමට පෙර ශුද්ධ බයිබලය ප්‍රසිද්ධියේ ගිනිබත් කරන ලදී. එක් අවස්ථාවකදී ප්‍රංශයේ මෙම “කෞතුකාගාරය ජනප්‍රිය සංගමය” නගර සභා ශාලාව වෙත පැමිණියේය. “බුද්ධි තර්කය බොහෝ කල් දිනේවා” යයි හඬ නගමින් ඔවුහු ශාලාවට කඩා වැදුණෝය. ඔවුන් අත දිගු දණ්ඩක් විය. එහි මුදුණේ අඩක් ගින්නෙන් දැවුණු පොත් කිහිපයක ඉතිරි කොටස් විය. එහි ශුද්ධ බයිබල් පිටපත්ද විය. මානව ජාතියට ඉටුකරන්නට අණ කළ සියලු ආකාර ක්‍රියාවන්ට වන්දි ගෙවන ආකාරය මෙන්න” යි කියමින් සභාපති තුමා අඩක් ගිනිබත් වූ අලුත් සහ පරණ ගිවිසුම් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. (Journal of Paris, 1793, No. 318).GrHSin 311.3

    අදේව භක්තීන් විසින් සම්පූර්ණ කරමින් තිබුණේ පාප් සමය විසින් ආරම්භ කරන ලද ක්‍රියාවේදයයි. සමාජීයවූද, දේශපාලනික වූද, ආගමික වූද මෙම තත්ත්වය උදාකළේ රෝමයේ ප්‍රතිපත්ති ව්‍යුහයයි. කඩිනම් විනාශයක් කරා යෑමට ප්‍රංශයට අත හිත දුන්නේ රෝමයේ ක්‍රියා කලාපයයි. විප්ලවයේ භීෂණ සහ අවිචාර ක්‍රියාදාමයන් ගැන ලේඛකයෙක් මෙසේ පැවසුවේය. “මේ සීමා රහිත බිහිසුණු ක්‍රියාවන්ට වගකිව යුත්තේ සිංහාසනය හා සභාවය.” සාධාරණ ලෙස සභාව මේ සියල්ලටම වගකිව යුතුය. ප්‍රතිසංස්කරණට එරෙහිව රජවරුන්ගේ මනස් තුළ විරෝධතාවේ වස තැන්පත් කළේ රෝම අධිකාරී බලපෑම්ය. පුනරුදය වනාහී ඔයුන් නැතිකර දැමීමට වූ උගුලක් ලෙසද, ජාතියේ සාමයට මෙන්ම සහජීවනයටද මරු පහරක් එල්ල කිරීමට වූ ප්‍රයත්නයක් ලෙසද රෝම සමයවාදීහු ප්‍රබල ප්‍රචාරක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළෝය. ඉතා දරුණු වූද, කටුක සහ ඛේදජනක වූද වධහිංසා ක්‍රියා කිරීම එක එල්ලේම සිංහාසනයෙන්ම නිකුත් කිරීමට බලපෑම් ඇති කළේ රෝමයේ දක්ෂතාවයයි. GrHSin 312.1

    නිදහසේ ආත්මය ශුද්ධ බයිබලය සමග අත්වැල් බැඳ ගත්තේය. ශුභාරංචිය පිළිගත් සෑම අවස්ථාවකදීම එම අයගේ මනස් පිබිදීමකට පත්විය. ඔවුහු නොදත්කම, දූෂිත භාවය, දුරාචාරය සහ මිත්‍යා මත, නමැති වහල්කමට තමා බැඳ තිබූ බැමි බිඳ දමමින් ආගම ඇදහීමෙන් වූ නිදහස අත්විඳීමට පටන් ගත්හ. මිනිසුන් ලෙස සිතමින් මිනිසුන් ලෙස ක්‍රියාකිරීමට ඔවුහු පටන් ගත්තෝය. රජවරුන්ගේ අවධානය ඔවුන් කෙරෙහි යොමු විය. තමන්ගේ අත්තනෝමතික ස්වෛරී පාලනය ගැන ඔවුහු භීතියෙන් තැති ගත්තෝය. GrHSin 312.2

    තමන්ගේ ඊර්ෂ්‍යා සහගත භීතියට ගිනි අවුළුවා ලීමට වූ අවස්ථාව රෝමය මඟහැරියේ නැත. පාප්වරයා ප්‍රංශයේ වැඩ බලන රජතුමාට 1523 දී මෙසේ පැවසුවේය. “මෙම ප්‍රොතැස්තන්ත උන්මාදය විසින් වියවුල් කර විනාශ දමන්නේ ආගම පමණක් නොවේ. රජවරුන්, වංශාධිපතීන්, නීති පද්ධතිය, සම ක්‍රම පටිපාටියද ප්‍රතිසංස්කරණය විසින් විනාශ මුඛයට ඇද දමනු ලබනවා ඇත.” :Felice, G, de History of the Protestan France,” b’ 1, Ch. 2, ts of Par. 8). මින් වසර කිහිපයකට පසුව පාප්ගේ දූතයෙක් රජතුමාට මෙවැනි අනතුරු ඇඟවීමක් කළේය. “ඔබ තමාගේ රාජකීයත්වය රැකීමට කැමැති වන්නෙහි නම්, ජාතිය නිශ්චලතාවයෙන් ඔබට පක්ෂපාතව තබාගැනීම ඔබගේ කැමැත්ත නම්, පුරුෂ ශක්තියෙන් කතෝලික ඇදහිල් රැකවරණය කරන්න. ඔබගේ අවි ආයුධ මගින් එහි සියලු සතුරන් යටපත් කරන්න.” (D. Aubigne, “History of the Reformation in the time of Calvin, b. 2, Ch. 36). නිවැරදි සමය තෝරා ගැනීමේ දෝලනාත්මක මනසකින් යුතුව සිටි ජනතාවට දේව ධර්මාචාර්යවරු මෙවන් මතයක් ඔවුන්ගේ සිත් තුළට ඇතුළු කළහ. බැතිමතුන්ගේ හැඟීම් කෙරෙහි ආයාචනයක් කළ ඔවුහු ප්‍රකාශ කෙළ් ප්‍රොතැස්තන්ත ආගම “අලුත් වැඳුම් පිදුම් ක්‍රම සහ අනුවණ ක්‍රියාදාමයන් කෙරෙහි බැතිමතුන් රැවටීමට පත්කර මිනිසුන් නොමඟ යන්නාවූ ක්‍රමවේදයක් වන බවය. එම ආගම ඇදහීම නිසා යටහත් කීකරු වැසියන්ගේ භක්ති ආදරය රජතුමාට නොලැබී යනවා ඇත. එයින් රජයට මෙන්ම දේවස්ථානයටද විනාශ ඇතිවීම සහතිකය” යි පවසන ලදී. ප්‍රතිසංස්කරණයට එරෙහිව ප්‍රංශ ජනතාව පෙළ ගැස්සවීමට රෝමානුව මෙවන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළේය. “සිංහාසනය නඟ සිටුවීමටත්, වංශාධිපතීන් ආරක්ෂා කර ගැනීමටත් රටේ නීතිය පවත්වා ගෙන යෑමටත්, ප්‍රංශය මෙසේ පළමුවරට හිංසා පීඩාවේ අසිපත ලෙළ දීම ආරම්භ කළේය.” (Wylie, b. 13, Ch. 4).GrHSin 312.3

    රටේ අනාගත ඉරණම සැසුම් කළ එම අත්තනෝමතික ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ප්‍රතිඵල ගැන දූරදර්ශී දැකුමක් ප්‍රංශ පාලකයන් හට තිබුණේ නැත. යුක්තිය, සාධාරණත්වය, පමණ දැන ක්‍රියාකිරීම, සත්‍යතාව, සමානතාව සහ ත්‍යාගශීලී ආත්මය යනාදී ගුණාංග ජීවිතය තුළ පැවැත්ම සඳහා බයිබලයේ ඉගැන්වීම් උපකාරයක් වෙනවා ඇත. ශුද්ධ බයිබලයට තැනක් දුන්නේ නම් මෙකී ගුණදාමයන් මිනිසුන්ගේ මනස්හි සහ හදවත්හි මුල්බැස ගැනීමට හේතුකාර වනවා ඇත. මෙම මහඟු ප්‍රඥප්ති ජාතියක අභිවෘද්ධියට අත්තිවාරමක් වනවා නියතය. ශුද්ධ බයිබලය මෙසේ පවසයි: “ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය.” (හිතෝදේශ 14:34; 16:12; යෙසායා 32:17) දිව්‍ය ව්‍යවස්ථාවට කීකරුකම දක්වන්නා තම දේශයේ නීති පද්ධතියට අනිවාර්යෙන්ම කීකරු වනවා ඇත. දෙවියන්වහන්සේට භය පක්ෂපාතකම දක්වන්නා රජතුමා ක්‍රියාත්මක කරන්නා වූ සාධාරණ සහ නීත්‍යනුකූල බල අධිකාරියට අවනත වනවා සහතිකය. නමුත් ප්‍රීතිය රජ නොකළ ප්‍රංශය බයිබලය තහනම් කළාය, දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ සේවයට තහංචි පැනවූවාය. එහෙත් ප්‍රතිපත්ති පාවා නොදී අභිමානය රැකගෙන ක්‍රියා කළ අයද තියුණු බුද්ධියක් දැරූ අයද අධ්‍යාත්මික දිරියක් තිබූ අයද තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කරමින් සත්‍යය උදෙසා නැගී සිටියෝය. ශත වර්ෂයක් පාසා ශත වර්ෂයක් පුරා ඔවුහු සත්‍යතාව වෙනුවෙන් දුක් විඳීමට තරම් ඇදහිල්ලකින් පූර්ණ වූ අය වූහ. මෙම බැතිමත්හු තම විශ්වාසය පාවා නොදීම නිසා නැව්වල හබල් ගෑම සඳහා වහලුන් ලෙස සේවය කළෝය, කණුවලට තබා ගිනි දල්වා ඝාතනය කරනු ලැබුවහුය, බිංගෙවල කුටි තුළ ජීවිත පූජා කළෝය. දස දහස් ගණන් ප්‍රංශ බැතිමත්හු තම ජීවිත ඇදහිල්ල වෙනුවෙන් පූජා කළෝය. තවත් දහස් ඝනන් බැතිමත්හු තම රට, ගේ දොර හැර දමා විදෙස් අභය භූමි කරා පලා ගියෝය. ප්‍රතිසංස්කරණය ආරම්භ වී වසර දෙසිය පණහක් පුරා මේ තත්ත්වය පැවතියේය. GrHSin 313.1

    “හිංසා පීඩා පමුණුවන්නන් ගෙන් බේරී පලා යන්නා වූ ශුභාරංචි ගෝලයන් නොදුටු ප්‍රංශ පරම්පරාවක් මෙම දීර්ඝ කාලය තුළ නොසිටියේය. රට හැර දමා ගිය මොවුහු තමන් සමග රටෙහි සම්පත්ද පිටතට රගෙන ගියාහුය. ප්‍රඥාව, බුද්ධිය, උගත්කම, කලාවන්, කාර්මික හුරුව සහ තාක්ෂණය රටින් ඉවතට ගියේය. ඔවුහු තමන් රැකවරණය ලැබූ දේශයන්හි මෙම සම්පත් මගින් එම රටවල් පෝෂණය කළෝය. ඔවුහු තමන්ගේ හැකියාවන්ගෙන්, තාක්ෂණ ශිල්පීන් දැනුමෙන් තමන්ට පිළිසරණ සැපයූ රටවල් සශ්‍රීක කළෝය. මෙම වසර තුන්සියය පුරා ප්‍රංශයෙන් බැහැඑ ගිය සම්පත් තම මව් බිමෙහි රඳවා ගන්නට හැකියාවක් වී නම්, මෙම වසර තුන්සියය පුරා රටින් පිටව ගිය අයගේ කාර්මික කුසලතා මව්බිම අස්වැද්දීමට යොදාලනු ලැබී නම්, මෙම වසර තුන්සියය පුරා රට හැර ගියවුන්ගේ කලා කුසලතාවන් මව් බිමේ නිෂ්පාදනයන් සඳහා යොදා ගත්තේ නම්, මෙම තුන්සිය වසර පුරා මොවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් සහ විහ්ලේෂණාත්මක කෘතීන් තම මව් රටෙහි සාහිත්‍යයට සහ විද්‍යාවට පිළිසරණ කරගත්තේ නම් කෙතරම් මහඟු උන්නතියක් උදාකර ගන්නට ප්‍රංශය සමත් වනවා ඇද්ද! ඔවුන්ගේ ප්‍රඥාව සහ බුද්ධිය රටෙහි පරිපාලන ව්‍යුහයට එක්වී නම්, ඔවුන්ගේ වීරත්වය ඇයගේ සටහන්වලට එකතු වූවා නම්, ඔවුන්ගේ සාධාරණ විනිශ්චය රටෙහි නීති සැලසුමට දායකත්වය දුන්නේ නම් බයිබලීය ආගම ප්‍රංශයේ ජනතාවගේ බුද්ධිය වර්ධනය කරමින් මිනිසුන්ගේ හෘදය සාක්ෂිය පාලනය කළේ නම් වර්තමාන ප්‍රංශය කෙතරම් තේජස්ශ්‍රීය මහිමාන්විත රාජ්‍යයක් වනවා ඇද්ද! අනික් ජාතීන්ට කෙතරම් මහඟු ආදර්ශයක් වනවා ඇද්ද! ශ්‍රේෂ්ඨවූ ද, භාග්‍යමත්වූ ද, ප්‍රීතිමත් රාජ්‍යයක් වීමට ඇය සමත් වනවා ඇද්ද!GrHSin 314.1

    එහෙත් සුචරිතයෙහි සෑම ගුරුවරයෙක්ම, ක්‍රමානුකූල ක්‍රියාවේදයක් සඳහා ඉදිරිපත් විය හැකි සෑම ශූරයෙක්ම, රාජ්‍යය රැකගැනීම සඳහා ඉදිරිපත් විය හැකි සෑම ශූරයෙක්ම, රා‍ජ්‍යය රැක ගැනීම සඳහා පෙරමග ගත හැකි සෑම අවංක ආරක්ෂකයෙක්ම රට තුළ රජකම් කළ අන්ධ වූද, අනුකම්පා විරහිතවූ ද, අවිචාර පාලනය මගින් රටින් පළවා හරිනු ලැබූහ. පොළෝ තලයෙහි අතිශයින් විශිෂ්ට කීර්තිමත් ශ්‍රී විභූති රටක් ලෙස පවතින්නට හැකියාවක් තිබූ රටක් වූ ප්‍රංශය එකල පැවැති අවිචාරාත්මක පාලනය නිසා අපකීර්තියෙහි පත්ලටම කිඳා බැස්සාය. නැණවත්වූ බුද්ධිමතුන්ට තෝරා ගැනීමට ඉතිරිව තිබූ ඉරණම නම් ගිනි මැළයට පූජාවීම හෝ රටින් බැහැරව යාමය. කාලයත් සමගම දේශය ද විනාශ මුඛයට ප්‍රවිෂ්ඨ වූවාය. හෘදය සාක්ෂිය අනුව අභීතව නැගී සිටි දූ පුතුන් දේශයේ ඉතිරිව නොසිටියෝය. ගිනි මැළ කරා ඇදගෙන යා හැකි බැතිමතුන් තවත් නොසිටියෝය, ජාත්‍යාලයෙන් ඔද වැටී ගිය හිතෛෂියෝ දේශයේ නොසිටියෝය.” (Wylie, b. 13, Ch. 20). සංත්‍රාසය රජ කළ විප්ලවය මේ සියල්ලෙහි වැළැක්විය නොහැකි ඉරණම විය. GrHSin 314.2

    “හියුගනෝවරුන් රටෙන් ඉවත්ව යෑමත් සමගම ප්‍රංශය ආගාධය කරා යෑමේ ගමන ආරම්භ කළාය. දියුණුවෙන් සමෘද්ධිමත් නිෂ්පාදන කර්මාන්ත ශාලා නෂ්ඨාවශේෂ බවට පත්විය. සරුසාර දිස්ත්‍රික්ක වනලැහැබ් බවට පත්විය. බුද්ධිය පහත බැසීම සහ සාරධර්ම පරිහානිය මගින් රට නොපැතූ වෙනත් ආකාර ප්‍රගතියක් උදා විය. සකල පැරිසියම සිඟන්නන්ගෙන් පිරී එකම රාජධානියක් බවට පත්විය. ප්‍රංශ විප්ලවය ආරම්භ වීමත් සමගම රජතුමන්ගෙන් හිඟමන් ඉල්ලා සිට ජන සංඛ්‍යාව දෙලක්ෂයක් පමණ වී යයි එක්තාරා වාර්තාවක සඳහන් වේ. මේ සියල්ලෙහිදී ජෙසුයිට් නිකාය පමණක්ම දියුණුවේ සහ සමෘද්ධියේ හිණිමගේ ඉහළටම ඇදෙමින් වැජඹුණේය. ජාතිය විනාශයේ ප්‍රපාතයකට පියවර මනිමින් සිටියේය. පාසැල් සහ සභාවන් ජෙසුයිට් නිකාය කල්ලියේ කුරිරු පාලනය යටතේ පැවතුණි. සිරගෙවල දැමූ නාවික කබල්කාරයන් කරනු ලැබූ වහල්ලු දූෂිත රෝමානු ආගමික බලධරයන්ගේ ආධිපත්‍යයට යටත්ව විසූහ.GrHSin 315.1

    රජතුමාගේ නිපුණතාවන්ද ව්‍යවස්ථාවන්ද, අන්දමන්ද කරමින් ප්‍රංශය දේශපාලනික සම සමාජීය වියවුලකට ඇද දැමූ ගැට සහගත තත්ත්වය හරිගැස්සීමට ශුභාරංචියට හැකියාව තිබුණේය. එහෙත් එම පිලියම පිළිගැනීමට අකැමැති වූ ප්‍රංශ මාතාව මුළු ජාතියම විනාශයේ කෙළවරටම ඇද දැම්මාය. රෝම ආධිපත්‍ය යේ යදමින් බැඳ සිටි ජනතාවට ආත්ම පූජා සහ පරාර්ථකාමී ආදරය පිළිබඳව ගැළවුම්කාරණාන් දුන්නාවූ වටිනා පාඩම් අහිමි වූ බවක් පෙනෙන්නට තිබුණේය. වෙනත් අයගේ යහපත උදෙසා වූ ආත්ම දමනයේ ත්‍යාගශීලී පුරුදු ජනතාවගෙන් ඉවතට යොමුකර තිබුණේය. දුප්පතුන්ට නිසියාකාර ඇගයීමක් කරනු ලැබුවේ නැ. ඔවුන් දිවි ගෙවන්නාව ූ නින්දා සහගත තත්ත්වයෙන් ගොඩ ඒමට ඔවුන්ට කිසිවකුගෙන් හෝ අතහිත දීමක් සිදු නොවීය. ධනවතුන්ගේ බලවතුන්ගේ හා වංශාධිපතීන්ගේ වස්තු තණ්හාව සහ දුරාචාර ක්‍රියාදාමයන් හේතුවෙන් ගොවීන්ට මහත් පීඩාවන් විඳීමට සිදුවිය. සියවස් ගණනාවක් පුරා පැවැති මෙම ශෝචනීය ක්‍රමවේදයෙහි ප්‍රතිඵලය වූයේ ධනවතුන් දිළින්දන්ට අකරුණාවන්ත ලෙස සැලකීමත් දුප්පතුන් පොහොසත් අයට වෛර කිරීමත්ය.GrHSin 315.2

    බොහෝ පළාත්හි තිබූ විශාල වතුපිටි වංශාධිපතීන් සතු විය. ඒ අතර එම වතුවල සේවය කළ අය කුලී පදනමක් මත වැඩ කළෝය. ඔවුන්ගේ පැවැත්ම ඉඩම් හිමියන්ගේ කරුණාව මත පදනම් විය. ඉඩම් හිමියන් කළ සීමාන්තික්‍රාන්ත අසාධාරණ ඉල්ලීම්වලට අවනත වීම හැර කුලී කම්කරුවන්ට වෙනත් විකල්පයක් නොවීය. රජයත් දේස්ථානයත් පවත්වාගෙන යෑමේ විය හියදම් දැරීම මධ්‍යම පංතිකයන්ගේ සහ පහළ මට්ටමේ ආදායම් ලාභීන්ගේ කරමත වැටී තිබුණේය. මෙම පංතිකයන්ගේ ආදායමෙන් විශාල කොටසක් සිවිල් බලධරයන්ට හා පැවිද්දන්ට බදු වහෙන් ගෙවීමට සිදුව තිබුණේය. “වංශාධිපතීන්ගේ සුඛ විහරණය උත්තරීතර නීතිය ලෙස ගණන් ගන්නා ලදී. ගොවියා සහ අතවැසියා නිරාහාරව සිටියද ඒ ගැන කිසිම හැඟීමක් ඉඩම් හිමියන්ට නොවීය. සෑම අවස්ථාවකදීම ඉඩම් හිමියාගේ අභිවෘද්ධිය සොයා බලා කටයුතු කිරිම ගොවියාගේ පරම යුතුකම විය. ගොවි කරමාන්තයෙහි නියැලි කම්කරුවනගේ ජීවිත තෙරක් නැති වැඩකිරීම්වලට සීමා විය. එවුන්ගේ ජීවිත දුක්ඛිත කාලකණ්ණි පැවැත්මක පමණක් විය. ඔවුන්ගෙන් යම් අයෙකු වැඩ කටයුතු පිළිබඳව චෝදනා කිරීමට අභීතව ඉදිරිපත් වුවත් එම පැමිණිලි කිසිම වගවිභාගයකින් තොරව ඉවත දමන ලදී. ඉඩම් හිමියකුට විරුද්ධව ගොවියෙක් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ විටෙකදී නඩුකාරයා සැමවිටකම ඉඩම් හිමියාගේ පැත්ත ගත්තේය. විනිසුරුවෝ නින්දිත ලෙස අල්ලස් ගැනීමෙහි නිරත වූහ. අත්තනෝමතික වංශාධිපතීන්ගේ පාර්ශවයට නීතිය පක්ඹපාත විය. විශ්වීය දූෂිත භාවයේ සැලැස්ම නිසා ධනවතුන් සැමවිටම ජයග්‍රාහකයන් විය. මහ අධිපතීන් සහ පූජකයන් විසින් පොදු ජනතාවගෙන් තලා පෙළ මිරිකා ගත්තාවූ බදු මුදලින් අඩක්වත් රජයේ හෝ ආගමේ හෝ භාණ්ඩාගාරවල ඇතුළත් වූයේ නැත. ඉතිරිබදු මුදල් දුරාචාර ක්‍රියාදාමයන් සඳහා පුද්ගලයන්ගේ සාක්කුවලට ඇතුළු විය. තමන්ගේ සහායක බැතිමතුන්ගේ මුදල් අයථා ලෙස බලෙන් ලබාගත් අය කිසිවිටෙක හෝ බදු මුදල් සඳහා බිල්පත් නිකුත් කළේ නැත. ඔවුන්ට රජයේ තනතුරුවලට පත්වීමට වරම් ද හිමි විය. මෙසේ වරප්‍රසාද හිමි වූ අය එක් ලක්ෂ පනස් දහසක් පමණ විය. ඔවුන්ගේ තෘෂ්ණාවන් සපුරාලීම සඳහා ලක්ෂ ගණනින් වූ ජනකායකගේ ජීවිත කාලකණ්ණි බවට පත් කරනු ලැබීය. GrHSin 316.1

    උසාවිය සුඛෝපභෝගී ස්ථානයක් වූ අතර එය දුරාචාරයට යොමු විය. ජනතාව සහ පාලකයන් අතර පැවැතියේ ඉතා අල්ප විශ්වාසයකි. රජයේ සෑම ක්‍රියාදාමයක් පිළිබඳ සැකයේ ඇස එල්ල වී තිබුණේ ඒවා උපක්‍රමයන් හා ආත්මාර්ථකාමී ක්‍රියාවන් වූවා සේය. විප්ලවය දියත් න්නට අඩසිය වසකට පෙර XV වන ලුවී රජතුමා ප්‍රංශ සිහසුනට පැමිණ කිරුළ දැරීම ආරම්භ කළේය. එම විෂමාකාර දවස්වලදී පවා රජුගේ ගුණ චරිතාංග ලෙස කැපී පෙණුනේ ඔහු ඉතා අලස, නිරර්ථක ක්‍රියාදාමයන්හි යෙදුනු, ඉන්ද්‍රියයන් පිනවීමේ අභිරුචියක් දැක්වූ පුද්ගලයෙකු බවය. දූෂ්‍ය වූ ද, කුරිරුවූ ද, රදළ පාලනයක් යටතේ පැවැති රජය තුළ පහළ පංතියේ සේවක ජනතාව දිවි ගෙව්වේ බලවත් කෝපයකින් යුතුවය. රටේ ආර්ථිකය බිඳ වැටී තිබුණේය. මහත් ව්‍යසනයක් අත ළඟම ඇතැයි පැවසීමට දිවැසිවරයකු අවශ්‍ය නොවීය. පුරෝහිතවරුන් රජතුමාට අනුශාසනා කළ අවස්ථාවන්හිදී රජතුමා සෑම විටෙකම පිළිතුරු දුන්නේ මෙසේය. “මා ජීවත්වන තාක් කල් මේවා මෙසේම ඉදිරියටත් කරගෙන යන්න. මාගේ මරණයෙන් පසුව කුමක් සිදුවුත් කම් නැහැ.” ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව නිෂ්ඵලයේ පවසනු ලැබීය. නපුර සහ අගතිය රජතුමානට දැකගන්නට ලැබුණු නමුත් එයට මුහුණ දීමට ඔහුට ශක්තියක් නොවීය. ධෛර්යයක් නොවීය. සියල්ල ඉදිරියෙහි ඔහුගේ පිළිතුරු වුණේ “මාගෙන් පස්සේ විප්ලවයක් පැමිණියදෙන්” යන්නය. ප්‍රංශයේ අඳුරු ශෝචනීය ඉරණම ගැන රජතුමාගේ පිළිතුර මනා පෙරවදනක් සැපයුවේය.GrHSin 316.2

    තත්ත්වය මෙසේ පැවතුණු අතර රෝමානුව තම උපක්‍රමශීලී ක්‍රියාවේදය පණගැන්වීය. රජතුමා සහ පාලක පක්ෂය අතර තිබූ ඊර්ෂ්‍යාව ප්‍රයෝජනයට ගනිමින් ජනතාව වහල්කමෙහි සිරකර තැබීමට රෝමය බලපෑම් ඇති කළාය. මෙම ක්‍රමවේදය මගින් රාජ්‍ය පාලන තන්ත්‍රය දුර්වල කළ හැකි බව ඇය හොඳාකාරය දැන සිටියාය. ප්‍රතිඵලය ලෙස ඇය අපේක්ෂා කළේ පාලකයන් සහ පාලිතයන් තමන්ගේ අණසක යටතේ තබාගැනීමය. රෝමය සතුව දූරදර්ශී සැලැස්මක් විය. මිනිසුන්ව කාර්යක්ෂම ලෙස වහල් භාවයේ රඳවා තැබීමට නම් ඔවුන් මත විලංගු තදකොට බැඳ දැමිය යුතුය, කිසිම ආකාරයකින් හෝ නිදහස ලබාගැනීමට මිනිසුන්ට අල්ප වූ ඉඩකඩක් හෝ තැබීම අනුවණය. ඇයගේ ප්‍රතිපත්තිමය ක්‍රියාවේදය මගින් පැන නැගි ප්‍රතිඵලය නම් හිංසා පීඩනයනට වඩා සදාචාරය බිඳවැටීමය. ශුද්ධ බයිබලය මිනිසුන්ගෙන් ඈත් කොට අවිචාර බුද්ධියෙහි සහ ආත්මාර්ථයෙහි ඉගැන්වීම තුළ මිනිසුන් අතරමං කොටගෙන ගිය පාලන සමයෙන් ජනතාව නොදැනුවත්කමෙහි සහ මිථ්‍යා ඇදහිලි තුළ පෝෂණයක් ලැබුවෝය. ඔවුහු අවකල් ක්‍රියාවන්හි පත්ලමට කිඳා බැස්සෝය. මෙවන් පරිසරයක් තුළ ස්වයං පාලන ක්‍රමයක් ක්‍රියාකිරීමේ සුදුසුකමක් ඔවුන්ට නොවීය.GrHSin 317.1

    එසේවුවද, රෝමය අපේක්ෂාකළ ආකාරයෙන් ප්‍රතිඵල ඇතිවූයේ නැත. තමන්ගේ චිරන්තන දෘෂ්ටියට ජනාව අන්ධ ලෙස බැඳ තබාගැනීම ඇයගේ චින්තනය විය. විරුද්ධ මතයක් ඉවසීම ප්‍රතික්ෂේප කළ ඇය තමන් පවසන්නා වූ සිද්ධාන්ත ජනතාව විසින් එකහෙලාම පිළිගත යුතුය යන දැඩි කල්පිතයෙහි පිහිටා සිටියාය. ක්‍රිස්තියානි ආගම කෙරෙහි වූ භක්තිය සහ විශ්වාසය බිඳවැටී ජනතාව ආගමක් කෙරෙහි විශ්වාසයක් නැතිවූ අදේවදෘෂ්ටීන් හා විප්ලවකාරීන් බවට පත්වූහ. රෝමානු ආගම වනාහි පූජකයන්ගේ උපායශීලී ක්‍රමවේදයක් ලෙස සැලකීමට ජනතාව පෙළ ගැසුණෝය. තමන් විඳින්නාවූ තාඩන පීඩනවලට හේතුකාරක පාර්ශවය ලෙස රෝමානු පූජකයන් සැලකීමට ඔවුහු පෙළඹුණෝය. ඔවුන් දැන සිටි එකම දෙවියන් වූයේ රෝමයේ දෙවිඳුන්ය. ඇයගේ ඉගැන්වීම් ඔවුන්ගේ එකම ආගම විය. ඇය තුළ තිබූ කෑදරකම් සහ කුරිරුකම් බයිබලය මත පදනම් වූ නීත්‍යනුකූල ගුණාංග යයි කල්පනා කළ ජනතාව ශුද්ධ බයිබලය සමග කිසිම සම්බන්ධතාවක් තබාගැනීම එපා කළහ.GrHSin 317.2

    දෙවියන්වහන්සේගේ චරිතය වැරදි ලෙස මුවා දැක්වීමට රෝමානුව ක්‍රියාකර තිබුණාය. ඇය උන්වහන්සේගේ ඉල්ලීම විකෘති කර තිබුණාය. මෙම කල්පිතයන් මධ්‍යයේ ජනතාව ශුද්ධ බයිබලයත් එහි කර්තෘවරයාණන්වත් ප්‍රතික්ෂේප කිරීමට උනන්දු වූයෝය. රෝමානුවේ චිරන්තව දෘෂ්ටියට අන්ධානුකරණයෙන් අනුගත වන්නැයි ඇය බලකර සිටියාය. ඒ සඳහා ශුද්ධ ලියවිල්ලෙහි අනුමැතියක් ලැබී ඇති බවට ඇය සාධක ඉදිරිපත් කළාය. මෙයට ප්‍රතිචාර දක්වමින් වොල්ටෙයාර් සහ ඔහුගේ මිතුරෝ දෙවියන්වහන්සේගේ වචනය සම්පූර්ණ ලෙසින්ම ඉවත දැමුවෝය. ඒ අතරම ඔවුහු අදේව භක්තියේ විෂමතා ඵල සෑම තැනකම වැගිරෙව්වෝය. තමාගේ යකඩ පාදය යටතේ ජනතාව පාගාගෙන සිටීමට රෝමය ක්‍රියාකර තිබිණි. තමන්ගේ ආත්ම ගෞරවය බිඳ හෙළා අවමානයට පත්කර තිබූ ජන සමූහයා රෝමානුවේ අනුකම්පා විරහිත දුෂ්ට පාලනයට එරෙහිව නැගී සිටිමින් එහි බැඳීම් කඩා බිඳ දැමූහ. තමන් මෙතෙක් කලක් ප්‍රණාමය පුද කරමින් පූජා සත්කාර කළ දිළිසෙන් වංචාවේ යථාර්ථය ගැන කෝපාකූල වූ ජනකාය සත්‍යය මෙන්ම ව්‍යාජ ඉගැන්විම්ද ප්‍රතික්ෂේප කළහ. නිදහස යනු කැමැති ආකාරයෙන් හිතුමතේ ක්‍රියාකිරීම යැයි ව්‍යාජ චින්තනයකින් උද්දාමයට පත් වූ මහා ජනකාය නොපැකිළ දුරාචාර ක්‍රියාදාමයන්හි නිරත වූහ. තමන් දිතූ ආකාර නිදහස මේ වයි ඔවුහු විශ්වාස කළෝය.GrHSin 318.1

    විප්ලවයේ ආරම්භයේදී මෙතෙක් රාජ්‍ය පාලනය හෙබවූ වංශාධිපතීන්ගෙන් සහ පූජකයන්ගෙන් සැදුම්ලත් පරිපාලන ඒකකයේ බලය බිඳිමින් එම ඒකකයට මහජන නියෝජිතයන්ද පත්කර ගැනීමට රජතුමා තීරණය කළේය. වංශාධිපතීන්ගෙන් සහ පූජකයන්ගෙන් සමන්විත පරිපාලන ඒකකයේ මුළු සංඛ්‍යාවට වඩා වැඩි නියෝජනයක් මහජනතාවට හිමි කරන ලදී. මෙසේ පරිපාලනයේ බල තුලනය පොදු ජනාතාවගෙන් සැදුම්ලත් නියෝජිතයන් අතට පත්විය. එහෙත් තමන් ලද වරප්‍රසාද බුද්ධිමත් ලෙස සහ පමණ නොඉක්මවා කළමණාකරණය කිරීමේ හැකියාවක් මහජන නියෝජිතයන් සතු නොවීය. තමන්ට මෙතෙක් විඳින්නට සිදුවූ අක්‍රමිකතා සහ ගැහැට නවතාලීමේ ප්‍රයත්නයක් ලෙස සමාජය ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යයට අතගැසීමට ඔවුහු තීරණය කර ගත්තෝය. මෙතෙක් තමන්ට විඳන්නට සිදුවූ කටුක දුක් ගැහැටද, තම සිත්හි පැසව පැවා තිබූ වැරැදි ක්‍රියාවන්ද නිසා වියරු වැටී සිටි මහජනයා තවදුරටත් එවන් අත්දැකීම් විඳ දරා ගැනීමේ අවස්ථාවන් ඇතිවීමට ඉඩ නොතැබීමට විප්ලවීය හැඟීමකින් පිබිදීමට අවතීර්ණ වූහ. තමන්ට දුක් ගැහැට වේදනාවන් ගෙනදුන් පාර්ශවයන්ගෙන් පලිගැනීම මහජනතාව තුළ කැළඹීමක් විය. කුරිරු අධම පාලනයක් යටතේ පීඩාවට ලක්වූ අය ආපසු හැරී තමන්ට පීඩා කළවුන්ට අඩන්තේට්ටම් කිරීමට පෙරමුණ ගත්තෝය. GrHSin 318.2

    තමන් වැපිරූ බීජයෙහි අස්වැන්න රුධිරයෙන් යුක්තව නෙළා ගැනීමට අවාසනාවන්ත ප්‍රංශයට සිදුවූවාය. රෝමයේ පාලන බලයට යටත් වීෆම් ප්‍රතිඵල ඉතා භයානක විය. ප්‍රතිසංස්කරණයේ ආරම්භයේදී රෝම අනුබලය යටතේ ප්‍රංශය තම මුල්ම මිනිස් ඝාතක ගිනි ටැඹ ඉදි කළාය. විප්ලවයේ ආරම්භයේදීම ප්‍රංශය නැවතත් හිස් ගසා දැමීමේ යන්ත්‍රයක් ක්‍රියාත්මක කළාය. දහසය වන සියවසේදී ප්‍රොතැස්තන්ත බැතිමතුන් සිය ඇදහිල්ල නිසා ගිනිබත් කරනු ලැබූ ස්ථානයේදීම දහ අටවන සිය වසරේදී වරදට අසුවූ අයගේ හිස් ගසා දමන ලදී. ප්‍රංශයට සුවය ලබා දීමට හැකියාව තිබූ ශුද්ධ බයිබලය ඉවතට වීසි කිරීම නිසා ඇය මිසදෙටු මිථ්‍යාචාරයට සහ ගරා වැටීමට දොරටු විවර කළාය. මිනිසා මත සීමා පැනවීමේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව එපා කරනු ලැබූ විට මිනිසාගේ තෘෂ්ණාවෙන් පාලනය කළ හැකි ප්‍රමාණවත් නීති රීති පැනවීමට කිසිවෙකු හට හෝ හැකියාවක් නොලැබෙන බව පෙනී ගියේය. එකල කැරළි ගැසිම සහ රාජ්‍ය පාලනයෙන් ඈත් වීම පැවතුණි. ශුද්ධ බයිබලයට විරුද්ධව දියත් වූ යුද්ධයත් සමගම ඇරඹි කාලවකවානුව ලොක ඉතිහාසයෙහි නම් කර ඇත්තේ “ඉමහත් භීතියක් රජ කළ සමය” යනුවෙනි. නිවෙසින් සහ මිනිස් හදවතින් සාමටය සහ ප්‍රීතියට ඉඩකඩක් නොවීය. කිසිවෙකුට හෝ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් නොවීය. ජයග්‍රාහකයකු ලෙසින් අද පිළිගනු ලැබූ තැනැත්තේ හෙට සැකයට භාජනව වරදකරුවෙකු යයි තීරණය විය. සාහසිකම් සහ කාම තෘෂ්ණාවන් සංසිඳුවා ගැනීම දෛනික ජීවිතයේ සාමාන්‍ය දෙයක් විය.GrHSin 319.1

    වියරුවෙන් කුපිත වී පළිගැනීමේ චේතනාවෙන් උද්දාමයට පත්ව සිටි ජනතාවගේ දාමරික සහ සාහසික ක්‍රියාවන්ට යටත් වීමට රජතුමාටත්, පූජකයන්ට සහ රදළවරුන්ටත් සිදුවිය. ඔවුන්ගේ පළිගැනීමේ චේතනාව සංසිඳුවිය හැකිවූයේ රජතුමාගේ ප්‍රාණය නැසීමෙන් පමණකි. වැඩිකලක් ගතවීමට පෙර රජතුමාගේ මරණය තීන්දු කළ අයද මරණයට මුහුණ දුන්හ. විප්ලවයට විරුද්ධ වු යම් අයෙක් වූයේ නම් එම තැනැත්තා මරණයෙන් වන්දි ගෙවීය. විරුද්ධවාදින්ගෙන් හිරගෙවල් පිරී ගියේය. එක් අවස්ථාවකදී සිරගෙය සිටි පිරිස ලක්ෂ දෙකකටත් වඩා වැඩි විය. රාජ්‍යයේ නගර පුරා භීතිය සහ සන්ත්‍රාසය රජ කළේය. විප්ලවීය එක් කණ්ඩයමක් තවත් කණ්ඩායමකට විරුද්ධ වූහ. ජයග්‍රහණය අපේක්ෂාවෙන් ඇණ කොටා ගන්නා වූ පක්ෂවලට අයත් ජනයාගෙන් ප්‍රංශයේ වීදි පිරී ගියේය. තමන්ගේ සිත් තුළ කැකෑරෙමින් පැවැති තෘෂ්ණාවන් සංසිඳුවා ගැනීමට සෑම අයෙක්ම දැඩි වෙහෙසක් දරන බවක් පෙනී ගියේය. “පැරීසියෙහි එක කැරැල්ලක් පසුපස තවත් කැරැල්ලක් හඹා ආවේය. ප්‍රංශ වැසියෝ විවිධ සංවිධාන යටතේ බෙදී ගියෝය. එකිනෙකා විනාශකර දැමීමේ අරමුණ හැර වෙනත් චින්තනයක් ඔවුන් සතු නොවීය. “මෙම ශෝචනීය කාලකණ්ණි දුක්ඛිත සිදුවීම්වලට අමතරව මෙම ජාතිය යුරෝපයේ බලවත් ජාතීන් සමග විනාශකාරී දිගුකාලීන යුද්ධයකද පැටලී සිටියේය. “දේශය බංකොලොත් භාවයෙහි එළිපත්ත උඩට පැමිණ තිබුණේය. තමන්ගේ හිඟ පඩි ඉල්ලා හමුදා භටයෝ උද්ඝෝෂණය කරන්නට වූහ. පැරීසියේ නගරවාසීහු ආහාර අහේනියකට මුහුණ පා සිටියෝය. කොල්ලකරුවෝ ප්‍රාදේශීය වාසීන්ගේ දේපළ බලහත්කාරයෙන් අත්පත් කර ගත්තෝය. හිතුමතේ ක්‍රියාකිරීමේ ආදීනය නිසා ශිෂ්ටාචාරය වඳවී යන තර්ජනයකට මුහුණ පා සිටියේය.GrHSin 319.2

    රෝමය විසින් මහත් උපේක්ෂාවෙන් ඉගැන්වූ කුරිරුකමෙහි සහ වධහිංසා පැමිණවීමෙහි පාඩම් ජනතාව විසින් මනාව අධ්‍යයනය කර තිබුණේය. විපාක ලැබීමේ දිනය උදාවී තිබිණ. යේසු සමිඳාණන්ගේ ගෝලයන්ව බලෙන් ඇදගෙන ගොස් පොළොව යට පිහිටි දඟ ගෙවල දැමීම හෝ කනුවලට බැඳ ගිනිලෑමක් හෝ මෙම සමයේ නිමිත්තක් නොවීය. ඉකුත්ව ගිය සමයේදී මොවුහු මරණයට පත්කරනු ලැබුහ. නැතිනම් රටින් පිටුවහල් කරනු ලැබුවෝය. ලේ වැගිරවීමේ ක්‍රියාදාමයෙහි රුචිකත්වයක් ඇති කරමින් එම ක්‍රියාදාමය පණ ගැන්වීමට රෝමය විසින් පුහුණු කරනු ලැබූ අයගේ මාරාන්තික බලය තන්ට විරුද්දව අත් ඔසවන බව අනුකම්පා විරහිත රෝමානුවන්ට දැකගන්නට හැකිවිය. “වසර ගණනාවක් පුරා ප්‍රංශයේ පූජකයන් විසින් ප්‍රදර්ශනය කළ වධහිංසා පැමිණවීමේ සන්ත්‍රාසයේ ආදර්ශය දැන් ඔවුන්ටම එරෙහිව දැඩි ශක්තියෙන් යුක්තව ක්‍රියාත්මක වන්නට විය. මරණීය පලංචිය පූජකයන්ගේ රුධිරයෙන් රක්ත වර්ණයෙන් පැහෑගැන්වී තිබිණ. වරක් හියුගනෝවරුන්ගෙන් පිරී තිබූ හිරගෙවල් සහ නාවික වහල් හබලකරුවන්ගේ ස්ථාන දැන් ඔවුන්ට වින කළ අයගෙන් පිරී යන්නට විය. බංකුවකට යදමින් බඳිනු ලැබ, දැඩි වෙහෙසින් යුක්තව හබල් ක්‍රියාත්මක කරමින් සේවයේ යෙදීමට රෝමානු කතෝලික පූජකයන්ට සිදුවිය. තමන් අසරණ බැතිමතුන් මිසදෙටුවන් යැයි හංවඩු ගසා ඔවුන්ට සිදුකළ වධහිංසා දැන් තමන්ටම විඳින්නට සිදුවී ඇති බව ඔවුහු අත්දැකීමෙන්ම දැනගත්හ.GrHSin 320.1

    ත්‍රී පුද්ගල මිලේච්ඡ විනිසුරු මඬුල්ලක් විසින් අති මිලේච්ඡ අයුරින් පරිපාලන නීති රීති හසුරුවන යුගය උදාවිය. කෙනෙක් තමාගේ අසල්වැසියාට ශුභ පැතිමක් හෝ පුද්ගලික යාච්ඥා කිරීමක් වුවද මරණ දඬුවමක් දිය හැකි අපරාධයක් සේ විග්‍රහ කරන ලදී. සෑමම අස්සක් මුල්ලක් පුරාම චර පුරුෂයෝ ස්ථානගතව සිටියෝය. යාන්ත්‍රික පිහි තලය උදෑසනය තම වැඩකටයුතු ආරම්භ කළේය. වහන් අහුරා තිබූ නැව් තට්ටුවක් ලෙස සිරගෙවල් තුළ වරදකරුවවන් කොටුකර තිබුණේය. කාණු දිගේ ගලා ගිය උණසුම් රුධිරය සීන් ගංගාවේ ජලයට මුසු විය ... ඉරණමට මුහුණ දීමට වරදකරුවන් කරනු ලැබූ අය දිනපතාම පැරීසියේ වීථි දිගේ රථ වාහන තුළ පුරවාගෙන යෑම සුලභ දසුනක් විය. රාජකීය නියමය පරිදි පත්කරුනු ලැබූ ප්‍රාදේශීය ආණ්ඩුකාරවරුන් තමන්ගේ බල ප්‍රදේශවලට පැමිණි වරදකරුවන්ට ඉතා කුරිරු ලෙස වධ හිංසා දීමට පසුබට නොවූහ. අගනුවරදී පවා මෙවන් අධිකතර වධහිංසා ගැන අසන්නටවත් ලැබී තිබුණේ නැත. හිස කඳින් වෙන් කිරීමේ යන්ත්‍රයට තිබූ ඉල්ලුමේ වේගයට අනුව ක්‍රියාකිරීමට යන්ත්‍රයට හැකියාවක් නොවීය. තුවක්කු තුළින් පිටවූ මූනිස්සම් මගින් දහස් ගණනකගේ ප්‍රාණය වා තලයට එකතු විය. පේළි ගස්වා ඔවුන් ඝාතනය කරන ලදී. සමූහ මිනී වළවල් සෑම තැනකම දිස් විය. ජනාකීර්ණ ලියොන් නරය පාළු මුඩු බිමක් බවට හරවනු ලැබීය. සිරකරුවෙකුට කඩිනම් මරණයක් ලැබීමේ වාසනාව පවා අර්හාස් යන ස්ථානයේදී අහිමි විය. එකට බැඳ තිබූ නිර්වස්ත්‍ර මළකඳන් කපුටන්ට සහ උකුස්සන්ට රාජ භෝජන සැපයීය. ලෝයර්හි වීදි දිගේ හෝමර් සිට මුහුදු තීරය දක්වා මෙම දසුන සුලභ විය. ස්ත්‍රී පුරුෂ වේවා, බාල මහළු වේවා කිසිවෙකුටත් කිසිම කරුණාව දැක්වීමක් හෝ නොවීය. දහහත්වන වියෙහි වූ තරුණ තරුණියන් සිය ගණනින් මරා දමන ලදී. මව් තුරුළෙන් ඇදගත් ළදරුවන් බිම සිටුවා තිබූ උල් යකඩ කූරු මතට විසි කරන ලදී.” වසර දහයක් වැනි කෙටි කාලයක් තුළදී සිදුවූ ජනතා සංහාරය ඉතා ඉහළ සංඛ්‍යාවක් පෙන්නුම් කළේය.GrHSin 321.1

    සාතන් අපේක්ෂා කළ ආකාරයෙන් මේ සියල්ලක්ම සිදුවෙමින් පැවතියේය. යුග ගණනාවක් පුරා ඔහු උත්සාහ කළේ මෙවන් තත්ත්වයක් ඇති කිරීමටය. මළපත් මගින් මිනිසුන්ව මුළාකිරීම ඔහුගේ වෑයමෙහි ප්‍රධාන එල්ලය වූයේය. මිනිසුන් දුකට සහ කාලකණ්ණිකමට පත්කිරීම ඔහුගේ අරමුණ විය. දෙවියන්වහන්සේගේ උත්කෘෂ්ට මැවිල්ලෙහි මුහුණත විරූපී කර එය දූෂ්‍ය බවට පත්කිරීම ඔහුගේ යටි අදහස විය. ත්‍යාගශීලීත්වයෙහි සහ ආදරයෙහි දිව්‍ය අභිමතාර්ථය අවතක්සේරුවකට පත්කොට දුක්මුසු වාතාවරණයක් නිර්මාණ කිරීමට ඔහු තම ශක්තිය යෙදවීය. සාතන් තම මුළාකිරීමේ ක්‍රමවේදයන් මගින් මිනිසුන්ගේ මනස අන්ධ කරමින් තමා ක්‍රියාත්මක කළ දූෂිතයන් දෙවියන්වහන්සේ මත පැටවීට මිනිසුන්ව යොමු කරන්නේ ලෝකයේ පවතින්නාවූ සෑම ආකාර විපත්තියකටම හේතුව මැවුම්කාරයාණන්ගේ සැලැස්මෙහි ප්‍රතිඵලයක් යයි මිනිසුන්ට ඒත්තු ගැන්වීමට සලස්වමිනි. මෙවන් චින්තනයකට නතුවන්නා වූ අය ආත්ම අභිමානයෙන් පහත් මට්ටමකට ඇද වැටී තිරිසනුන් ලෙස සිතීමට ස ක්‍රියා කිරීමට පටන් ගනිති. සාතන්ගේ කුරිරු පාලනයෙන් ඔවුන්ට නිදහස ලැබුණ විට ඔහුගේ ළෙඹවීම් යටතේ පමණ ඉක්මවා ක්‍රියා කිරීමටත්, දාමරිකකම් කිරීමටත් එහු ඔවුන් යොමු කළේය. මෙවන් ශෝචනීය යථාර්ථයක් පැවතීම නිදහසේ ප්‍රතිඵලයක් යයි දාමරිකයෝ සහ පීඩා කිරීමෙහි නිරත වූවෝ ප්‍රකාශ කරති.GrHSin 321.2

    යම්කිසි ආකාරයකින් ආවරණය කරන ලදුව ඉදිරිපත් කරන්නාවූ වැරැදි ක්‍රමවේදයක් එහි සත්‍ය තත්ත්වය හෙළිදරව් වීමෙන් පසුව සාතන් එම වැස්ම ඉවත්කර වෙනත් වැස්මකින් එම වරදම ඉදිරිපත් කරයි. එවිට බොහෝ දෙනෙක් එය වැරැදි යයි නොසිතා මහත් උනන්දුවවකින් එම වරද හරි දෙයක් යයි උපකල්පනය කරමින් පිළිගනිති. රෝමානුව මුළාවකැයි විශාල ජනතාවකට දැකගත හැකිවිය මෙම ක්‍රමවේදයන් මගින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට මිනිසුන්ව තවවදුරටත් යොමු කළ නොහැකි බව දුටු සාතන් ජනතාව වෙනත් මාර්ගයකට යොමු කළේය. සෑම ආගමක්ම වංචනිකබවත් ශුද්ධ බයිබලය අධ්‍යාත්මික මිථ්‍යා ප්‍රබන්ධයක් බවත් කියමින් ජන හද තුළට එය කාවැද්දීම ඔහුගේ නව උපාය මාර්ගය විය. මෙසේ දිව්‍ය ව්‍යවස්ථාව අනවශ්‍ය දෙයක් සේ සලකා එය ඉවත දැමීමට සැලැස්වීමත් සමගම අපරාධය සහ අයුක්තිය සිමා මායිම් සිඳ දමා රජකරන්නට විය.GrHSin 322.1

    ප්‍රංශයේ ජනතාවට මෙතරම් දුක්ඛිත යුගයක් උදා කළ මරණීය වදර වනාහි එක්තරා ප්‍රබල සත්‍යතාවකට තැන නොදීමය. එම සත්‍යය වන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි සීමා තුළ ජීවිතය පවත්වාගෙන යෑම තුළ නියම නිදහස ඇති බවය. “අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද, නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළි මෙන්ද වන්නේය.” “දුෂ්ටයන්ට සමාදානය නැතැයි ස්වාමින්වහන්සේ කියන සේක.” “නමුත් මට ඇහුම්කන් දෙන තැනැත්තේ සුවසේ වාසය කොට, විපතට භය නොවී, නිශ්චලව සිටින්නේය.” (යෙසායා 48:18,22; හිතෝපදේශ 1:33).GrHSin 322.2

    දෙවිකෙනෙක් නැතැයි පවසන්නාද, මිථ්‍යා දෘෂ්ටිකයාද, ධර්මයට පිටුපා ක්‍රියා කරන්නාද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට එරෙහිව ක්‍රියා කරමින්ද, එය ප්‍රතික්ෂේප කරමින්ද කටයුතු කරයි. එහෙත් ඔවුන්ගේ අනුබලයෙහි ප්‍රතිඵලය කියාපාන්නේ මිනිසාගේ යහපත් පැවැත්ම බැඳී ඇත්තේ දිව්‍ය ව්‍යවස්ථාවට දක්වන්නා වූ කීකරුකම මතය යන සත්‍යතාවයයි. දෙවියන්වහන්සේගේ වචනයෙන් පාඩම් ඉගෙනගන්නේ නැති අයට එය ජාතීන්ගේ ඉතිහාසයෙන් කියවීමට අණ කරනු ලැබෙයි.GrHSin 322.3

    මිනිස් සත දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු වීමෙන් වලක්වා ලීමට සාතන් රෝමානු සභාව කරණකොටගෙන ක්‍රියා කළේය. ඔහුගේ ක්‍රියා කිරීමේ මාධ්‍යය ආවරණය කරගනිමින් කටයුතු මෙහෙයවූ හෙතෙම එයින් සිදුවූ අනර්ථකාමී විනාශයට සම කාලකණ්ණිකමට වූ වගකීම පවා රහස්‍ය ලෙස රැකගැනීමට සමත් විය. විනාශකාරී තත්ත්වයට හේතුව සාතන්ගේ ක්‍රියාකාරීත්වය බව තේරුම් ගැනීමට බහුතර ජනතාවට හැකි නොවීය. මේ සියල්ල සිදුව ඇත්තේ දේව ව්‍යවස්ථාව කඩකිරීම නිසා බව දැකගන්නට නොහැකි වන සේ ඔහු කරුණු වසන්කර තබා ගත්තේය. ඔහුගේ වෑයම ඔහු සිතූ තරමට මල්ඵල දැරීමට නොහැකි වූයේ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ ක්‍රියාකාරිත්වය ඔහුගේ බලයට විරුද්ධව නැගී සිටීම නිසාය. උදාවී ඇති යථාර්ථ තත්ත්වය හේතුව සොයා යෑමට මහජනයා උත්සාහ කළේ නැත. මෙම කාලකණ්ණි ඉරණම උදාකළ මාධ්‍යය සොයා ගැනීමට ඔවුහු වෑයම් නොකළෝය. විප්ලවය මගින් සිදුවූ ප්‍රබලතම ප්‍රතිඵලය නම් ජාතික නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කිරීමය. එය පසෙක ලෑමය. එයත් සමඟ නැගී ආ භීෂණ සමය පැවැති කාලයේදී එය ඇතිවීමට හේතුව සහ එහි ප්‍රතිඵල සැමට දැකගත හැකිවිය. GrHSin 323.1

    ප්‍රසිද්ධියේ දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කර ශුද්ධ බයිබලය භාවිතයෙන් ඉවත් කළ ප්‍රංශයට අත්වූ ඉරණම භයානක විය. දුෂ්ට මනුෂ්‍යයෝ අන්ධාකරයේ දුෂ්ටාත්ම සමග එකතු වී ඔවුන් බොහෝ කල් ප්‍රාර්ථනා කළ අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීම ගැන උත්සුක වූහ. ඔවුන්ගේ පැතුම වූයේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නොවන්නාවූ අනුකූලතාව නොදක්වන්නා වූ රාජ්‍යයකි. අපරාධයකට හනික දඬුවම් ලැබෙන්නේ නැති නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ “සිත් නපුර කිරීමට එවුන් තුළ නිර්භීත වන්නේය.” (දේශනාකාරයා 8:11). එහෙත් සාධාරණීය වූද, ධාර්මික වූද නීති මාලාවක් උල්ලංඝනය කිරීම නිසා කාලකණ්ණි භාවය සහ විනාශය සිදුවීම වැලැක්විය නොහැකිය. මිනිසාගේ දුෂ්ට වූ ද, නපුරුවූ දපාප කර්මයකට ක්ෂණික දඬුවම් ලැබුණේ නැති වුවද, එමගින් අත්වන්නා වූ සදාතනික විනාශය සහ සංහාර ඔවුන් මත පතිත වීමට සූදානම් වෙමින් තිබුණේය. වසර ගණනාවක් පුරා දහම් මාවතින් ඉවත්ව යමින් සිදුකළ දුෂ්ට ක්‍රියාදාමයන්ට විපාක දීමේ දවස තීරණය වෙමින් පැවැතියේය. තමන්වහන්සේගේ උදහස මුදා හැරීමට දෙවියන්වහන්සේ ඉක්මන් නොවී ඉතා ඉවසීමෙන් යුතුව බලා සිටින සේක. තවත් ඉවසා සිටිය නොහැකි තත්ත්වයකට මිනිසාගේ පාප කර්ම පැමිණි විය උන්වහන්සේගේ විපාක දීම අනිවාර්යයෙන්ම සිදුවනවා ඇත. දිව්‍ය ඉවසීමේ කාලය ගෙවී යාමට ඉඩදීම ඉතා භයානක බව දෙවියන්වහන්සේ ප්‍රතික්ෂේප කළාවූ අය අවබෝධ කරගන්වා විට ඔවුන් පමා වූවා වැඩිය. සාතන්ගේ කුරිරු බලවේගයන් ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට තහංචි පනවමින් සිටි දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලය විශාල ප්‍රමාණයකින් ඉවත්කර ගනු ලැබුවේය. ඉක්බිතිව මිනිසාගේ ජීවිත ඉතා අසරණ භාවයකට පත්විය. එයින් දැඩි තෘප්තියක් ලබන්නා වූ සාතන්ට ඔහුගේ අභිප්‍රාය ඉටුකර ගැනිමට අවසර දෙනු ලැබීය. කැරැල්ලෙහි පංගුකාරයන් වීමට තෝරාගත් අයට තම තමාගේ ක්‍රියාවන්හි ප්‍රතිඵල භුක්ති විඳීමට අවස්ථාව උදා වෙමින් තිබුණේය. වචනයෙන් කිව නොහැකි තරම් දුෂිත ක්‍රියාවන්ගෙන් දේශය පිරී ගියේය. වැනසී පාළුවට ගිය ග්‍රාමීය පෙදෙස්වලින් මෙන්ම ගරා වැටුණු නගරවලින්ද ඉතා ශෝචනීය බියකරු හඬක් නැගී ආවේය. ඒ හඬ නම් හදවත් කම්පා කරන්නාවූ දුකින් බර වේදනාත්මක ප්‍රලාපයකි. භූමිකම්පාවක් නිසා වන්නාවූ කම්පනයක් මෙන් ප්‍රංශය තිගැස්සීමකට පත් වූවාය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව අත එසවූ පාපී බලවේග විසින් ආගම, නීතිය, සාමය පැවැත්ම, පවුල, රජය සහ සභාවද බිඳ දමනු ලැබීය. ප්‍රඥාවන්තයාගේ ප්‍රකාශය සැබැවින්ම සත්‍යයක් බවට පත්විය. “දුෂ්ටයා තමාගේම දුෂ්ටකමෙන් වැටෙයි.” (හිතෝපදේශ 11:5). “පව්කාරයෙක් සියවරක් නපුර කර, බොහෝ කල් ජීවත් වුණත්, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට එනම් උන්වහන්සේ ඉදිරියෙහි භව වෙන්නන්ට යහපත සිද්ධ වෙන බව සැබැවින්ම දනිමි. නමුත් දුෂ්ටයා [ට] යහපත සිද්ධ වෙන්නේ .... නැත.” (දේශනාකාරයා 8:12,13). “මක්නිසාද ඔවුහු (දුෂ්ටයෝ) දැනගැන්මට ද්වේෂ කොට, ස්වාමින්වහන්සේ කෙරෙහි භයවීම තෝරා නොගෙන සිටියෝය.” “එබැවින් ඔවුහු තමුන්ගේම ක්‍රියාවල ඵල ලබන්නහුය. තමුන්ගේම මන්ත්‍රණවලින්ද තෘප්තියට පැමිණෙන්නාහුය.” (හිතෝපදේශ 1:29,31).GrHSin 323.2

    පාතාලයෙන් නැගී එන මෘගයා විසින් දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත සාක්ෂිකාරයන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්කරන ලද නමුත් එම දෙදෙනා බොහෝ කාලයක් නිශ්ශබ්දව සිටීම එවිට පැවැති සැලසුම නොවීය. “ඒ දවස් තුන හමාරට පසු ජීවන හුස්ම දෙවියන්වහන්සේගෙන් ඔවුන් තුළට පැමිණ, ඔව්හු නැගී සිටියෝය. ඔවුන් දුටුවන් කෙරෙහි මහත් භයක් පැමිණුනේය. (එළිදරව් 11:11). බයිබලය පසෙක ලෑම ප්‍රංශ පාර්ලිමේන්තුව 1793 දී සම්මත කළේය. ඒ නීතිය පනවා වසර තුන හමාරකට පසු එම නීතිය අවලංගු කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් සලකා බැලීමෙන් පසුව එම නීතිය අවලංගු කරන ලදී. ශුද්ධ ලියවිල්ලෙහි පැවැත්ම නීත්‍යනුකූල කොට තීරණයක් නිකුත් විය. ශුද්ධ වූ ලියවිලි ප්‍රකාශනය ප්‍රතික්ෂේප කිරීම නිසා උදවූ වරදෙහි විශාලත්වය දුටු ලෝකය විශ්මිතව භීතියෙන් පිරී ගියේය. ශුද්ධ චරිතයෙහි සහ අධ්‍යාත්මික ගුණාත්මකයෙහි පදනම ලෙස දෙවියන්වහන්සේ කෙරෙහිද උන්වහන්සේගේ ව්‍යවස්ථාව කෙහෙරිද ඇදහිල් දැක්වීමෙහි අවහ්‍යතාව මිනිසා හට පිළිගැනීමට සිදුවිය. දෙවි සමිඳාණෝ මෙසේ පවසන සේක, “නුඹ නින්දා කළෙත්, අපහාස කළෙත් කාටද? නුඹ හඬ නැගුවේත්, උඩඟුවෙන් නුමේ ඇස් එසවූවෙත් නාට විරුද්ධවද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ වූ තැනැන්වහන්සේට විරුද්ධවය.” (යෙසායා 37:23). “එබැවින් මෙන්න, මේ වතාවේ පමණක් ඔවුන්ට දැනගන්නට සලස්වන්නෙමි. මාගේ හස්තයත්, මාගේ පරාක්‍රමයත් දැනගන්ට සලස්වන්නෙමි. මාගේ නාමය යෙහෝවඃවහන්සේ බව ඔවුහු දැනගන්නෝය.”(යෙරෙමියා 16:21).GrHSin 324.1

    සාක්ෂිකාරයන් දෙදෙනා පිළිබඳව දිවැසිවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශකරයි. “මෙහි නැගී එන්නැයි ස්වර්ගයෙන් තමුන්ට කියන මහ හඬක් ඔවුන්ට ඇසුණේය. ඔව්හුද වළාකුලෙන් ස්වර්ගයට නැගී ගියෝය. ඔවුන්ගේ සතුරෝද ඔවුන් දුටුවෝය.”(එළිදරව් 11:12). දෙවි සමිඳාණන්ගේ සාක්ෂිකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රංශය යුද්ධ කර තිබූ නිසා පෙර තිබූ තත්ත්වයට වඩා උසස් තලයක පිහිටුවනු ලැබීමෙන් ඔවුහු ගෞරවයට පාත්‍ර වූහ. බ්‍රිතාන්‍ය සහ විදේශ බයිබල් සමාගම 1804 දී ස්ථාපිත කරනු ලැබීය. මේ සමග ශාඛා විශාල ගණනාවකින් යුත් බයිබල් සමාගම් යුරෝපය පුරා ස්ථාපිත කරන ලදී. 1816 දී අමෙරිකානු බයිබල් සමාගම උපත ලැබීය. බ්‍රිතාන්‍ය බයිබල් සමාගම උපත ලැබූ විට ශුද්ධ බයිබලය භාෂා පනසකින් මුද්‍රණය කර බෙදා හරින ලදී. වර්තමානය වන විට ශුද්ධ බයිබලය සහ එහි කොටස් භාෂා සහ ව්‍යවහාරික උප භාෂා සිය ගණනකට පරිවර්තනය කර තිබේ.GrHSin 325.1

    වසර 1792 ට පෙර වූ වසර පනහ තුළ විදේශීය දහම් ප්‍රචාරයට වැඩි අවධානයක් යොමු වී තිබුණේ නැත. නව සංවිධාන ආරම්භ කරනු ලැබුවේ නැත. කිතුණු ආගම ගැන දැන නොසිටි මිසදෙටු දේශාන්තරයන්හි කිතුණු දහම ප්‍රචලිත කිරීමට වෑයමක් දරන ලද්දේ නිකායන් කිහිපයක් විසින් පමණකි. එහෙත් දහඅට වැනි සියවසේ අන්තිම කාලයේදී විශාල වෙනසක් දැකගැනීමට හැකි විය. පැවැති යථාර්ථ ප්‍රතිඵල තුළින් සෑහීමට පත් නොවූ මනුෂ්‍යයෝ දිව්‍ය එළිදරව්වෙහි සහ අත්හදා බැලිය හැකි ආගමක් සොයා ගැනිමෙහි අවශ්‍යතාවයෙන් පෙළෙන්නට වුහ. කැපවීමෙන් යුක්ත වු කේරි නමැති තැනැත්තා 1793 දී ඉන්දියාවට ගිය පළමුවන ඉංග්‍රීසි මිෂනාරිවරයා විය. ඔහු මිෂනාරි සේවය ගැන එංගලන්තයේ ප්‍රබෝධාත්මක ගින්න අලුත් කළේය. වසර විස්සකට පසුව අමෙරිකාවේ ශිෂ්‍ය සමාජයක් මිෂනාරි සේවය ගැන උනන්දු වූ විට ඇඩොනිරම් ජඩ්සන් ඔවුන් අතර සිටියේය. පිටරට මිෂනාරි සේවයේ අමෙරිකානු මණ්ඩලය මේ අවස්ථාවේදී පිහිටුවනු ලැබීය. ඒ මණ්ඩලයේ මගපෙන්වීම අනුව ජඩ්සන් අමෙරිකාවේ සිට බුරුමයට ගියේ මිෂනාරි සේවය සඳහාය. විදේශීය දහම් ප්‍රචාරක කටයුතු කෙරෙහි අවධානය යොමු වීමත් සමග පෙර නොවූ විරූ ප්‍රගතියක් පෙනී යන්නට විය.GrHSin 325.2

    මුද්‍රණ ශිල්පය දියුණු වීමත් සමඟම බයිබලය පතුරුවා හැරීමෙහි වැඩ කටයුතු විශාල ප්‍රගතියක් ලැබීය. ලෝකය පුරා පැවැති විවිධ පෙදෙස් කරා දෙවියන්වහන්සේගේ වචනය ඇතුළු වීමට එදා පැවති දියුණු තත්ත්වයන් හේතු සාධක විය. විවිධ රටවල් අතර සන්නිවේදනය සඳහා පහසුකම්වල දියුණුවක් උදා විය. විවිධ ජාතීන් අතර පැවැති අවිචාරක හැඟීම් සහ චින්තනද, ජාතික මමත්වයද, බිඳ වැටෙන්නට විය. පාප්ගේ ලෞකික පාලන බලය නිම විය. දේව වචනයට ඇතුළු වීමට නොදි අගුලා තිබූ පෙදෙස්හි යට කී හේතු සාධක නිසා, දොරටු විවෘත වන්නට විය. කිසිදු බාධකයකින් තොරව ශුද්ධ බයිබලය රෝමයේ වීදිවල විකුණනු ලැබීය. ලෝකයේ සෑම ජන කොටසක් වෙතට සම්පූර්ණ ශුද්ධ බයිබලය හෝ එහි කොටස් දැන් ළඟා වෙයි.GrHSin 326.1

    දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිනොගත් වොල්ටෙයාර් වරක් මෙසේ සාක්ෂි දැරුවේය. “මිනිසුන් දොළොස් දෙනෙකු විසින් ක්‍රිස්තියානි ආගම ස්ථාපිත කළේ යයි කියනු ඇසීමෙන් මට එය දැන් අප්‍රිය මාතෘකාවක් වී ඇත. එම ආගම බිඳ හෙලීමට අවශ්‍ය වන්නේ එකම එක මිනිසෙක් බව මම ඔප්පු කර පෙන්වන්නම්.” ඔහු මෙසේ පවසා දැනට අවුරුදු සියයකට වඩා ගතවී ඇත. ශුද්ධ බයිබලයට විරුද්ධව ලක්ෂ ගණන් මිනිසුන් යුද්ධ ප්‍රකාශ කර ඇත. එහෙත් බයිබලය විනාශ කර දැමීමට කිසිම අයෙකු හෝ සමත් වී නැත. වොල්ටෙයාර්ගේ කාලයේදී තිබුණේ ශුද්ධ බයිබල් පිටපත් සියයක් පමණ විය හැකිය. එහෙත් අද ශුද්ධ බයිබල් පිටපත් දස ලක්ෂ ගණනින් භාවිතයෙහි පවතී. මුල් කාලීන ප්‍රතිසංස්කාරකයෙක් සභාව ගැන මෙසේ පවසා ඇත. “බයිබලය ඉතා ශක්තිමත් කිණිහිරයකි. එයට පහර දීමෙන් බොහෝ මිටි ගෙවී ගොස් ඇත. එහෙත් කිණිහිරය තවමත් ශක්තිමත්ව පවතී.” මෙම කරුණ පිළිබඳව යෙසායා දිවැසිවරයා මෙසේ පවසා ඇත: “නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චය කිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත.” (යෙසායා 54:17).GrHSin 326.2

    “අපේ දෙවියන්වහන්සේගේ වචනය සදාකාලේටම පවතින්නේය.” “උන්වහන්සේගේ පනත් සියල්ල නියතය.ඒවා නිතරම සදාකාලයටම පිහිටුවා තිබේ. ඒවා සැබෑකමෙන් හා අවංක කමින් කරන ලද්දේය.” (යෙසායා 40:8; ගීතාවලිය 111:7,8). මනුෂ්‍යයාගේ ආධිපත්‍යය මත ගොඩනගන ලද කවර දෙයක් වුවද බිඳ දමනු ලබනවා ඇත. එහෙත් දෙවියන්වහන්සේගේ නිත්‍ය වූ වෙනස් නොවන්නාවූ වචනය වන සදාතනික පර්වතය මත ගොඩ නගන ලද යමක් වේද එය සදාතනය පුරා පවතින්නේය.GrHSin 326.3