Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    16 - වන්දනාකාර පියවරු

    එංගලන්ත ප්‍රතිසංස්කරණයේ යෙදි සිටියා වූ අය රෝමානු දහම් අතහැර දැමීමට ගිවිස ගත් නමුත් ඒ සභාවේ සමහර සාම්ප්‍රදායික පිළිවෙත් අතහැරියේ නැත. රෝමානුවේ බල අධිකාරියත් ඇය‌ගේ ඇදහිලි ප්‍රකාශනයත් ඉංග්‍රීසි ජාතිකයන් විසින් ප්‍රතික්ෂේප කළ නමුත් රෝමානුවේ සමහර චාරිත්‍ර සහ පූජා විධි මෙන්ම මංගල්‍ය විධි ද එංගලන්ත සභාවේ නමස්කාරයට ඇතුළු විය. මෙම දේවල් හෘදය සාක්ෂිය හා බැඳී නැතැයි තර්ක ඉදිරිපත් විය. එකී පැවතුම් සඳහා ශුද්ධ ලියවිලි අනුමැතියක් ලබාදී තිබුනේ නැත. ඒ දේවල් පැවැත්වීම තහනම් කර නැති නිසා ඒවා නපුරු යයි වර්ගීකරණය ද කළ නොහැකි විය. මෙම පැවතුම් පිලිගැනීම නිසා ප්‍රතිසංස්කෘත සභාවන් සහ රෝමය අතර පැවති වෙන්වීමේ පරතරය තරමක් දුරට අඩු වූයෙන් මෙම ක්‍රියාවේදයන් රෝමානුවන්ට ප්‍රොතැස්තන්ත ඇදහිල්ල පිළිගැනීමට හේතු කාරක විය හැකි යයිද අවධානයෙන් පවසන ලදී,GrHSin 327.1

    ගතානුගතික කල්පිත දැරූ අයට මෙන්ම, සමහර විශ්වාසයන් පාවා දීමන් වුවද සමාදානයෙන් යුත් පැවැත්මකට කැමැති වූ අයටද මෙම තර්ක කිරීම් තීරණාත්මක විය. නමුත් මෙයාකාරයෙන්ම කල්පනා නොකළ කණ්ඩායමක්ද සභාව තුළ සිටියේය. රෝමානුව සහ ප්‍රතිසංස්කරණය අතර වූ විශාල පරතරය හරහා පාලමක් ගොඩනගා ගැනීමට මෙම පිළිවෙත් සහ සම්ප්‍රදායානුකූල මංගල්‍යයන් පැවැත්වීම ඉවහල් වන බැවින් එම ක්‍රියාවේදයන්ට එරෙහි වීමට එයම සාධකයක් බව විරුද්ධ වූවන්ගේ මතය විය. තමා රෝමානුවන්ගේ වහල්කමින් මිදීම ලැබ සිටින නමුත් මෙ පිළිවෙත් පැවැත්වීම වහල්කමෙහි පදක්කමක් පැළඳීමට සමාන යයි ඔව්හු කල්පනා කළහ. එම තත්ත්වයට ආපසු යැමෙහි අදහසක් කිසිසේත් ඔවුන් තුළ නොවීය. දෙවියන්වහන්සේට නමස්කාර කිරීමෙහි නියාමනයක් දේව වචනය තුළ ස්ථාපිත කර ඇති නිසා එයට යමක් එකතු කිරීමට හෝ යමක් ඉවත් කිරීමට මිනිසාට කිසිදු අයිතියක් නැනැති ඔවුහු තර්ක කළෝය. ධර්මයෙන් ඉවත්ව යාමේ මුලාරම්භය වූයේ දෙවියන්වහන්සේගේ ආධිපත්‍යයට සභාවේ ආධිපත්‍යය එකමුසු කිරීමය. දෙවියන්වහන්සේ තහනම් නොකළ දෑ සභාවට අනුගත කිරීමට නියම කිරීමෙන් ආරම්භ වූ රෝමානුව කාලයාගේ ඇවෑමෙන් උන්වහන්සේ විසින් පැහැදිළි ලෙසින් නියම කළ දෑ පිළිපැදීම තහනම් කිරීමට කටයුතු කළාය.GrHSin 327.2

    කිතුණු සභාවේ මුලාරම්භයේදී තිබූ පවිත්‍රතාව සහ සරලතාව වෙතයාමට බොහෝ දෙනා අවංකවම ආශා කළෝය. එංගලන්ත සභාවෙහි ස්ථාපිත කර තිබූ බොහෝ සම්ප්‍රදායික සිරිත් විරිත් සහ පැවතුම් රූප වන්දනාවේ ස්මාරක බව ඔවුහු විශ්වාස කළෝය. ඇයගේ නමස්කාර මෙහෙයන්ට සහභාගී වීම හෘදය සාක්ෂියට එකඟව කළ නොහැකි බව ඔවුන්ගේ අදහස විය. සිවිල් පාලන අධිකාරියෙහි සහයෝගයෙන් පවත්වා ගෙන ගිය සභාව ඇය අනුගමනය කළ පිළිවෙත් ක්‍රමයට විරුද්ධව වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කිරීමට අවසර දීමට මැළි වූවාය. සභාවේ දේවස්ථාන තුළ පවත්වන්නාවූ නමස්කාර මෙහෙයන්ට පැමිණීම නීතියෙන් අනිවාර්ය විය. නීතියෙන් අනුමැතිය නොලැබූ කණ්ඩායම් සමග නමස්කාරයට එක්වීම තහනම් විය. මෙසේ කරන්නාවූ අයට නියමවූ දඬුවම නම් සිරගෙයි ලෑම හෝ රටින් පිටුවහල් කිරීම හෝ මරණය විය.GrHSin 328.1

    දහ හත්වන සියවස ආරම්භයේදී සිහසුනට පත් අලුත් රජතුමා පියුරිටන්වාදීන් යන නමින් හඳුන්වනු ලැබූ මේ මනුෂ්‍යයන් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට තිරණයක් ගත්තේය. ඔවුන් “රාජ්‍ය ආගම සමග අනුකූලතා දැක්වීම අනිවාර්යයෙන් සිදුවිය යුතුය. එසේ නොකරන්නේ නම් ඔවුන්ව දේශයෙන් පන්නා දැමිය යුතුය. එසේත් නැතිනම් එයට වඩා දරුණු ඉරණමකට මුහුණ දීමට ඔවුන්ට සිදුවෙනවා ඇත” යි පවසන ලදී. (Bancroft, George, “History of the United States of America,” part 1, Ch. 12, par. 6). දඩයම් කිරීම් වලට ලක්වෙමින් සිරගතව සිටි ඔවුන්ට, වඩා යහපත් වූ දවසක පොරොන්දුවක් කෙරේ බලා සිටීමට උපේක්ෂාවක් නොවීය. තමන්ගේ හෘදය සාක්ෂිය අනුව දෙවියන්වහන්සේට සේවය කිරීමට එංගලන්තය, අනාගතයේ කිසිම දවසක සුදුසු වාසස්ථානයක් වන්නේ නැහැ” යනු බොහෝ දෙනෙකුගේ ස්ථීර විශ්වාසය විය. (Palfrey, J. G, “History of New England, Ch. 3, Par 43), අන්තිමේදී සමහරෙක්, තමා ඕලන්දයේ සරණය පැතිය යුතු යයි තීරණය කරගත්තෝය. ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීමට බොහෝ බාධාවන් එල්ල විය. ඔවුන්ව සතුරන්ගේ හස්තයට පාවා දෙනු ලැබීය. නමුත් නොපසුබට ස්ථීරසාර අධිෂ්ඨානය අන්තිමේදී ජය ගත්තේය. ඕලන්ද ජනරජයේ හිතකාමී වෙරළ මොවුන්ට රැකවරණය ලබා දුන්නේය.GrHSin 328.2

    තම ගම රට හැර යන ගමනේදී ඔවුහු තමාගේ ගේදොර, බඩු මුට්ටු සහ ජීවත්වීමේ මාර්ගයද අතහැර දමා ජීවිතය පමණක් ආරක්ෂා කරගෙන පලා ගියෝය. ඔවුහු අලුත් දේශයක අමුත්තන් රැසක් වූහ. තමන් පැමිණි රටෙහි සිටි ජනතාව වෙනත් භාෂාවක් කථා කළෝය. ඔවුන්ගේ සිරිත් විරිත් ද‌ බොහෝ වෙනස් විය. එහිදී, ජීවිතය රැක- ගැනීම සඳහා නුපුරුදු රැකියාවන්හි යෙදීමට ඔවුන්ට සිදු විය. ජීවිතය පුරා බිම් කොටමින් වැඩ කළ තළත්තෑනි මනුෂ්‍යයන්ට යාන්ත්‍රික වෘත්තීන්හි යෙදීමට සිදුවිය. උදාවී ඇති යථාර්ථය සතුටින් යුතුව පිළිගැනීමට ක්‍රියාත්මක වූ මෙම සරණාගතයේ තමන්ගේ තත්ත්වය ගැන කනස්සල්ලට පත්වෙමින් නිකරුණේ කාලය ගත නොකළෝය. බොහෝ අවස්ථාවන්හිදී දුගී භාවයට මුහුණ දුන් ඔවුහු ඒ පිළිබඳව කිසි කෙඳිරීමක් නොකර ඔවුන් ලබන්නාවූ ආශිර්වාද ගැන දෙවියන්වහන්සේට ස්තූති කළෝය.පීඩාවන්ගෙන් තොරවූ ආත්මික සබැඳියාවන් තුළ ඔවුහු තම ප්‍රීතිය සොයා ගත්තෝය. “තමා වන්දනාකරුවන් බව ඔවුහු දැන සිටියහ. ලෞකික සම්පත් ගැන ඔවුන්ගේ වැඩි අවධානයක් නොවීය. තමන් ඉතා ඇලුම් කළ රට, රාජ්‍යය දෙසට එනම් සගය දෙසට නෙත් යොසු කළ ඔවුහු තමන්ගේ ආත්ම සැනසීමට පත් කර ගත්තෝය.” (Bancroft, Part 1, Ch. 12, par. 15).GrHSin 328.3

    පිටුවහල් කරන ලදුව, දුක් ගැහැට මධ්‍යයේ දිවි ගෙවුවද ඔවුන්ගේ ආදරය සහ ඇදහිල්ල ශක්තියෙන් ශක්තියට වර්ධනය විය. ඔවුහු දෙවි සමිඳාණන්ගේ පොරොන්දු කෙරෙහි සම්පූර්ණ විශ්වාසය රැඳවූහ. ඔවුන්ගේ අවශ්‍යතාවන්වලදී උන්වහන්සේ ඔවුන්ගේ විශ්වාසය කඩ නොකළ සේක. ඔවුන්ව දිරිමත් කිරීමටත්, ඔවුන්ට සහාය වීමටත් උන්වහන්සේගේ දේව දූතයෝ ඔවුන්ගේ වටා සිටියෝය. සමුදුරෙන් එපිට පිහිටි දේශයක් දෙසට ඔවුන්ව යොමු කරවමින් දේව හස්තය ඔවුන්ට යමක් පවසන බවක්, ඔවුන්ගේ සිත් තුළට කාවැදී ගියේය. එම දේශයෙහිදී ඔවුන්ට ස්ථිර වාසස්ථානයක් සාදාගෙන, එය උරුමයක් කොටගෙන, ඔවුන්ගේ දරුවන්ට ආගමික නිදහස සම්පතක් කොට ලබාදීමට දේවානුභාවයේ මගපෙන්වීමක් ඔවුන්ට ලැබුණේය. කිසිම පසුබෑමකින් තොරව පෙන්වා දෙනු ලැබූ මාර්ගයෙහි ඉදිරියටම යෑම ඔවුන්ගේ අධිෂ්ඨානය විය.GrHSin 329.1

    මිනිස් සත සඳහා වූ දෙවියන්වහන්සේගේ කරුණා භරිතවූද, දයාවන්තවූද අභිප්‍රාය සපුරා ගැනීම් වස් තම සෙනඟ සූදානම් කිරීමට විවිධ ආකාර පරීක්ෂාවන්ට මුහුණ පෑමට උන්වහන්සේ ඔවුන්ට ඉඩ හළ සේක; සභාව පහත් තත්ත්වයකට ඇද දමනු ලැබුවේ ඇයව ඉහළ ගෞරවාන්විත තලයකට පත්කිරීම උදෙසාය. ඇය වෙනුවෙන් අති මහත් බලසම්පන්න වූ තමන්වහන්සේගේ බල මහිමය ප්‍රදර්ශනය කිරීමක් ඉටු කිරීමට දෙවියන්වහන්සේ සූදානමින් සිටිසේක. තමන්වහන්සේ කෙරෙහි විශ්වාසය රඳවන්නාවූ අයව දෙවියන්වහන්සේ කිසිම දවසක අත් හැර දමන්නේ නැති බවට ලෝකයට තවත් සාක්ෂියක් ලබාදීමට උන්වහන්සේ කටයුතු සලසමින් සිටිසේක. තමන්ගේ උපායශීලී ක්‍රමවේදයද දුෂ්ට මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් හා සාතන්ගේ උදහස ද තමන්වහන්සේගේ තේජස්ශ්‍රීයේ මහිමය උදෙසා හරවාලීමට දෙවියන්- වහන්සේ ක්‍රියාත්මක වූ සේක. තමන්වහන්සේ‌ගේ ජනතාව ආරක්ෂා සහිත ක්ෂේම භූමියක් කරා, රැගෙන යාමට උන්වහන්සේ සැලසුම් කළ සේක. හිංසා පීඩා සහ රටින් පිටුවහල් කිරීම්, නිදහසට මාර්ගයක් විවෘත කරමින් ක්‍රියාකාරී විය.GrHSin 329.2

    එංගලන්ත සභාවෙන් වෙන්වීමට බල කරනු ලැබූ කල්හි පියුරිටන්වාදීහු එක්සත්ව ශුද්ධ වූ ගිවිසුමකට ප්‍රතිඥා දුන්හ. දෙවි සමිඳාණන් නිදහස් ජනතාවක් ලෙස, “තමන්ට මෙතෙක් එළිදරව් කර ඇති හෝ මතුවදී එළිදරව් කරන්නා වූ උන්වහන්සේගේ සියලු මාර්ගවල එක්සත්ව ගමන් කිරීමට ගිවිස ගන්නෙමු.” යයි ඔවුහු සම්මුතියක් පිහිටුවා ගත්තෝය. Brown, J. “The Pilgrim Fathers.” P. 74). ප්‍රතිසංස්කරණයේ සදාතන ආත්මය මෙය විය. ප්‍රොතැස්තන්ත සභාවේ ජීවමාන ප්‍රඥප්තිය මෙය විය. මෙම පරම අභිමතාර්ථය ඇතිව වන්දනාකාරයෝ ඕලන්දයෙන් නික්ම, අලුත් ලෝකයේ ක්ෂේම භූමියක් සොයා ගමන ආරම්භ කළෝය. ඔවුන්ගේ දේවගැතිවරයාවූ ජෝන් රොබින්සන් දිව්‍ය මගපෙන්වීමෙන්, ඔවුන් සමග යෑමේ වරප්‍රසාදයෙන් වලක්වාලනු ලැබීය. දේව සෙනගට ශුභ පැතීමට පැමිණි හෙතෙම ඔවුන් අමතා මෙසේ පැවසීය:GrHSin 330.1

    “සහෝදරවරුනි, මෙතැන් පටන් ඔබත් මමත් වෙන් වන්නෙමු. ඔබතුමන්ලාගේ මුහුණු වැත වරක් දැකගැනීමට මා ජීවත්ව සිටිනවා ඇත්දැයි දන්නේ දෙවි සමිඳාණන් පමණයි. මා මෙතෙක් දෙවි තුමාණන් අනුගමනය කළ ප්‍රමාණය දක්වා ඔබත් අනුගත වන ලෙස දෙවියන්වහන්සේ සහ ආශිර්වාදලත් දේව දූතයන් ඉදිරියෙහි ඔබගෙන් ඉල්ලා සිටිමි. වෙනත් මර්ගයකින් දෙවියන්වහන්සේ ඔබට තවත් දේ එළිදරව් කරන සේක් නම් එම දෙය පිළිගෙන අනුගමනය කරන්න. මාගේ සේවාව කරණකොටගෙන ඔබට එළිදරව් කළ දෑ විශ්වාස කිරීමට ඔබ ගිවිස ගත් ආකාරයෙන්ම දේව පණිවිඩකාරයෙකුගේ එළිදරව් කිරීම්ද පිළිගන්න. දේව වචන තුළින් තවත් සත්‍යතාවන් සහ ආලෝකය ඔබතුමන්ලාට ලබා දෙන්නට උන්වහන්සේ ක්‍රියාත්මක වන බව මට විශ්වාසයි.” (Martyn, Vol, v, p. 70).GrHSin 330.2

    “ප්‍රතිසංස්කරණයේ සභාවනය අයත් සභාවල තත්ත්වය ගැන ප්‍රමාණවත් ලෙස වැලපෙන්නට මට හැකියාවක් නැත. එම සභාවන් දැන් එක්තරා නැවතිමකට මුහුණ දී ඇත. ප්‍රතිසංස්කරණයක් කරා එම සභාවන්ට මගපෙන්වූ එකී ප්‍රතිසංස්කාරකයන් සිටි ආත්මික දැනුමට සහ මට්ටමට වඩා පෙරටුවට යාමට සභා සාමාජිකයන්ට හැකියාවක් නැත. ලූතර් දුටු දර්ශනයේ සීමාවට වඩා ඉදිරියට යාමට ලූතර්වාදීන්ට හැකියාවක් නැත ... දෙවියන්වහන්සේ උදෙසා සේවය කළ කැල්වින් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. එසේ වුවද, ඔහු සෑම සත්‍යයක්ම හොඳාකාරව දුටුවේ නැත. ඒ අනුව කැල්වින් වාදීන්ට යා හැකිවන්නේ ඔවුන්ගේ ප්‍රතිසංස්කාරක ගුරුතුමා පැමිණ සිටි මායිම දක්වා පමණකි. ඉන් ඔබ්බට නොවේ. මෙය විලාප දිය යුතු ශෝචනීය තත්ත්වයකි. ඔවුන්ගේ සේවා කාලය තුළ දී ඔවුන් ගිනි ගෙන දැවෙන්නා වූ ද, බැබලෙන්නාවූ ද ආලෝක වූවාට තර්කයක් නැත. එහෙත් ඔවුහු දෙවියන් වහන්සේගේ සියලු මන්ත්‍රණ පිළිබඳව සම්පූර්ණ දැනීමක් ලැබ නොසිටියෝය. නමුත් ඔවුහු අදත් ජීවත්ව සිටිත් නම් තමන්ට ලැබුණු ආලෝකය වැළඳ ගත්තාක් මෙන්ම වත්මන් කාලයේ දී ඔවුන්ට ලැබෙන්නා වූ වැඩිපුර ආලෝකය ද වැළඳ ගැනීමට කැමැත්තක් දක්වන බව නොඅනුමානය.” (New D,“History of the puritans,” Vol. 1, p. 265).GrHSin 330.3

    “සභාව සමඟ ඔබ ගත් ගිවිසුම අමතක කරන්න එපා. ඔබට දෙවි සමිඳාණන් පෙන්වා දී ඇති මඟෙහි හෝ ඉදිරියේ දී පෙන්වා දෙන මාර්ගයෙහි ද ස්වාමින්වහන්සේ සමඟ එක්ව යාමට ඔබ පොරොන්දු වූ බව අමතක කරන්න එපා. දෙවියන්වහන්සේගේ ලිඛිත වචනයෙන් ඔබට ඉදිරිපත් වන්නා වූ සෑම ආලෝකයක් සහ සත්‍යතාවක්ම පිළිගැනීමට ඔබ දෙවියන්වහන්සේ සමඟ හා එකිනෙකා සමඟ පොරොන්දු වී ඇති කරගත් ගිවිසුම මතක තබාගන්න. ඒ සමඟම මේ අවවාදයත් මතක තබාගැනීම ඉතා වැදගත්ය. ඔබගේ අවධානයට යම්කිසි සත්‍යතාවක් යයි කියන්නාවූ දෙයක් ඉදිරිපත් වූ විටෙක, එය පිළිගැනීමට පෙර, දේව වචනයේ වෙනත් පැහැදිලි කිරීම සමඟ සසඳා බලා, මැනවින් කිරා බලා, එයින් පසුව පමණක් එම ඉගැන්වීම සත්‍ය යයි භාරගන්න. ක්‍රිස්තියානි විරෝධි දහම් නමැති ඝන අන්ධකාරයෙන් පිටතට පැමිණි සභාවට එක්වරටම දැනුම පිළිබඳ සම්පූර්ණතාවකට පැමිණීම පහසු නොවෙනවා ඇත.” ( Martyn, Vol. v, pp. 70, 71).GrHSin 331.1

    අනතුරුදායක විපත් හා ගැටෙමින් නුපුරුදු මුහුදු තරණයක යෙදීමට මෙම වන්දනාකාර බැතිමතුන් පෙළඹවීමකට යොමු කළේ හෘදය සාක්ෂියේ නිදහසට ඇති ආශාවය. දිගු මුහුදු ගමනක යෙදෙමින් දුර කතරන යමින් දුක් ගැහැට සහ අනතුරු වලට මුහුණ දෙමින් අමෙරිකානු භූමි‍යේ පය ගැසීමට ඔවුහූ අවසානයේ දී සමත් වූහ. දෙවියන්වහන්සේගේ ආශිර්මාද ඇතිව බලවත් ජාතියක් උදෙසා අත්තිවාරමක් දැමීමට මෙසේ පැමිණි වන්දනාකාරයෝ සමත් වූහ. මෙම වන්දනාකරුවෝ දෙවියන්වහන්සේට ඉතා අධික ලෙස බිය පක්ෂපාතකම් දැක්වූවද සත්‍ය වශයෙන්ම අවංක වුවද ආගමික නිදහසෙහි ශ්‍රේෂ්ඨ ප්‍රඥප්ති සහ සිද්ධාන්ත මුඵමනින්ම අවබෝධ කරගැනීමට ඔවුහු අසමත් වූහ. මහත් කැපවීමකින් යුතුව, පූජාවීමකින් යුතුව ලබාගත් නිදහස පෙරළා තවත් අයට ලබාදීමට ඔවුහූ එතරම් රුචියක් නොදැක්වූහ. ‘‘ දහ හත්වැනි සියවසෙහි සිටි ප්‍රවීන බැතිමතුන් සහ සුචරිතවාදී න් අතරින් ඉතා ස්වල්ප දෙනෙකුට පමණක් ආගමික නිදහස කුමක්ද යන්න පිළිබඳව යථාර්ථවාදී වැටහීමක් තිබුණි. එම ‍ශ්‍රේෂ්ඨ ප්‍රඥප්තිය අලුත් තෙස්තමේන්තුව මගින් ඉදිරිපත් කළ සිද්ධාන්තයකි. දෙවියන්වහන්සේ වනාහි මිනිස් ඇදහිල්ලෙහි උත්තරීතර වූ ද, එකම වූද, විනිශ්චයකාරයාණන් බව පිළිගැනීම මත එම සිද්ධාන්තය පදනම් වී ඇත. (Martyn, Vol. P, 297).මිනිසාගේ හෘදය සාක්ෂිය පාලනය කිරීමේ අයිතිය සභාව සතුය යන දහමද ඒ සමග මිසදෙටු දහම් කවරේදැයි තීරණය කර ඒ සඳහා දඬුවම් පැමිණවීමේ අයිතියද ඇය සතුව ඇතැයි පැවසීම වනාහි පාප් සමයවාදී වැරැදි නිගමනයන්හි දැඩි ලෙස මුල්බැස ඇති වැරදි ඉගැන්වීමකි. රෝමානු ඇදහිල්ලෙහි සිද්ධාන්ත පිළිගැනීමට ප්‍රතිසංස්කරණවාදීන් ප්‍රතික්ෂේප කළද, වෙනත් අයගේ විශ්වාසයන් නොරිස්සීමේ රෝමානු ගතියද ඔවුන් තුළින් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස් තිබුණේ නැත. පාප් බල අධිකාරිය විසින් යුග ගණනාවක දිගු කාලයක් පුරා ඝන අන්ධකාරයෙහි සිරකර තිබූ ක්‍රිස්තියානි ප්‍රතිසංස්කරණයක් කරා යොමු වූ හමුදා, මේ වන විටත් පාප්වාදී ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම අත්හැර දමා තිබුණේ නැත. මැසවූසෙට් ජනපදයෙහි සේවය කළ එක්තරා ප්‍රමුඛ දේවගැතිවරයෙක් මෙසේ ප්‍රකාශයක් කළේය. “අනෙකුත් අයගේ ඉගැන්වීම් ඉවසා දරා සිටීමේ ක්‍රමවේදය නිසා ලෝකය කිතුණු දහමට විරුද්ධවාදීව ක්‍රියා කිරීමට දිරියක් ලබා ගත්තේය. මිසදෙටුවන් ලෙස දඬුවම් ලැබීම කිතුණුවන්ට භීතියක් ඉදිරිපත් නොකළේය.” (Martyn, Vol. 5, 335). ඇමෙරිකා භූමි තලයෙහි ජනපදයක් පිහිටුවා ගත් එංගලන්තයේ සිට පැමිණි වන්දනාකරුවේ තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කළ නීතියක් නම්, සභාවේ සාමාජිකයන්ට පමණක්ම ආණ්ඩු බලයේ කොටසක් ඇතිවිය හැකි බවය. මෙසේ එක්තරා ක්‍රමයක ආගමික රාජ්‍යයක් පිහිටුවා ගන්නා ලදි. දේවගැතිවරුන්ගේ නඩත්තුව සඳහා සාමාජිකයන් විසින් මුදල් ලබාදීම කළ යුතු විය. මිසදෙටු ඉගැන්වීම මැඩපැවැත්වීමට මහේස්ත්‍රාත්වරුන්ට බලය පවරනු ලැබීය. මෙසේ ජනතාව කෙරෙහි වූ පාලන බලය සභාව මත පැවරුණේය. මෙම ක්‍රමවේදය නිසා පැන නඟින්නාවු අනිවාර්ය ප්‍රතිඵලය වැඩිකලක් යාමට පෙර දැකගත හැකි විය. එය වධහිංසා පැමිණවීම විය.GrHSin 331.2

    ඇමෙරිකාවේ මුල්ම කොලනිය පිහිටුවා වසර එකොළහකට පසුව රොජර් විලියම්ස් අලුත් ලෝකයට පැමිණියේය. කලින් පැමිණි වන්දනාකරුවන් මෙන්ම මොහුද මෙහි පැමිණියේ ආගමික නිදහස භුක්ති විඳීමටය. එම යුගයේ දිවි ගෙවූ ඉතා ස්වල්ප දෙනෙක් පමණක් දුටු එක්තරා ක්‍රිස්තියානි සිද්ධාන්තයක් ඔහුගේ දසුන වෙලා ගත්තේ ය. එනම්, ආගමික නිදහස යනු සෑම අයෙකුම සතු වෙනස් කළ නොහැකි අයිතියක් යන්නය. පුද්ගලයෙකුගේ ඇදහිලි ක්‍රමය එයට බාධාවක් නොවන්නේය. රොජර් විලියම්ස් වනාහි සත්‍යය සොයා ගිය අවංක පුද්ගලයෙක් විය. දෙවියන්වහන්සේගේ වචනයෙහි අඩංගු සියලු ආලෝකය දැනටමත් එළිදරව් වී ඇත යන මතය ඔහු පිළිගත්තේ නැත. තවත් එළිදරව් වීම් ඇති බව රොබින්සන් මෙන්ම රොජර් විලයම්ස් ද පිළි ගත්තේ ය. ‘’හෘදය සාක්ෂියේ නිදහස යන සිද්ධාන්තය මත සිවිල් ආණ්ඩු ක්‍රමයක් නූතන ක්‍රිස්තියානි ලෝකයෙහි මුල් වතාවට ස්ථාපිත කිරීමේ ගෞරවය රොජර් විලියම්ස් සතු විය. නීතිය ඉදිරියෙහි මත ප්‍රකාශනයෙහි සම අයිතිය සියලු දෙනාටම අයිති විය යුතු බව ප්‍රකාශ කරන ලදි. ‘‘ (Bancroft part 1, ch. 15, 1 cr. 16). මහේස්ත්‍රාත්වරයෙකුගේ නිල රාජකාරී වගකීම නම් අපරාධ මැඩපැවැත්වීමට හෝ පිටුදැකීමට හෝ ක්‍රියාකාරී වීමය. එහෙත් හෘදය සාක්ෂිය පාලනය කිරීමේ කිසියම් ආකාර හෝ අයිතියක් ඔහු සතු නොවන්නේය. ඔහු මෙසේ පැවසීය; “මනුෂ්‍යයෙකුගෙන් තවත් මනුෂ්‍යයෙකුට ලැබිය යුතු දේ මොනවාදැයි මහජනතාවට හෝ මහේස්ත්‍රාත්වරයෙකුට තීරණය කළ හැකි වන්නේය. එහෙත් මනුෂ්‍යයෙකුගෙන් දෙවියන්වහන්සේට ලැබිය යුතු යුතුකම් ගැන තීරණයක් දීමට ඔවුහු වෑයම් කරත් නම්, එය වනාහී ඔවුන්ට අයිති දෙයකට අත පෙවීමකි. එවන් ක්‍රියාදාමයක ආරක්ෂාවක් තිබීමට නොහැකිය. මහේස්ත්‍රාත්වරයෙක් එක්තරා අදහසක් හෝ විශ්වාසයක් ගැන යම් විනිශ්චයක් අද ප්‍රකාශයට පත් කළ හැකිය. ඒ අතරම, වෙනත් විනිශ්චයක් හෙට ප්‍රකාශයට පත් කළ හැකිය. විවිධ රජවරුන් සහ රැජිනියන් විසින් මෙවන් විනිශ්චයන් එංගන්තයේ දී ප්‍රකාශයට පත් කර ඇත. එසෙම රෝමානුවේ පාප්වරුන් විසින් ද එම සම‍යේ බල මණ්ඩල විසින් ද එවන් පරස්පර තීන්දු ලබා දී ඇති බව ඉතිහාසය සාක්ෂි දරයි. ඉගැන්වීමක් හෝ දහමක් පිළිබඳව එවන් ද්වි - ප්‍රකාර තීන්දු ප්‍රකාශනයක දී එතැන ඉතිරි වන්නේ ව්‍යාකූල වික්ෂිප්ත පැවැත්මක් පමණක් ය. ” (Martyn, Vol. 5, p. 340).GrHSin 332.1

    ස්ථාපිත සභාවෙහි නමස්කාර මෙහෙයන්ට සහභාගි වීම නීතියෙන් අනිවාර්ය විය. නොපැමිණීමට දඬුවමක් වශයෙන් දඩ මුදලක් ගෙවීම හෝ සිරගෙයි ලෑම පැනවිණි. ඉංග්‍රීසි (එංගලන්ත) නීති සංග්‍රහයෙහි එක් වගන්තියක් මගින් දේව මෙහෙයනට සහභාගී වීම බලකරනු ලැබීය. මෙම නීතිය ශාපයකැයි විලියම්ස් තීන්දු කළේය. වෙනත් ඇදහිලි සංග්‍රහයක් ඇති අය සමඟ එක්වීමට යමෙකුට නීතියෙන් බල කරන්නේ නම් එය එම පුද්ගලයාගේ ස්වභාවික අයිතිවාසිකම් විවෘතව කඩ කිරීමකැයි රොජර් විලියම්ස් කියා සිටියේය. ප්‍රසිද්ධ නමස්කාර මෙහෙයක් සඳහා ආගමික ලැදියාවක් නැති අය සහ අකැමැති අයට බලහත්කාරයෙන් ඒවාට සහභාගි වීමට කිසිවෙකුට බල කරනු නොලැබිය යුතු බව විලියම්ස් ප්‍රකාශ කළේය. ඔහුගේ ප්‍රතිපත්ති මාලාව ගැන ඇසූ විරුද්ධවාදීහු මෙසේ ප්‍රශ්න කළහ. “මොනවා! සේවය කරන්නෙකුට ඔහුගේ කුළිය හිමි නැද්ද?” ” ඔව්, සේවකයාගෙන් වැඩගන්නා අයගෙන් ඔහුට හිමි වේතනය ලැබිය යුතුය” යනු රොජර්ගේ පිළිතුර විය. (Bancroft Part 1, Ch. 15, par 2).GrHSin 333.1

    බැතිමතුන්ගේ ප්‍රසාදයට සහ ගෞරවයට පාත්‍ර වූ රොජර් විලියම්සි විශ්වාසවන්ත දේවගැතිවරයෙක් විය. ඉතා දුර්ලභ කුසලතා ඔහු සතුව තිබුණේය. නොනැමෙන්නා වූ අචල ආත්මාභිමානයක් ඔහුට හිමිව තිබිණ. එහෙත් සභා පරිපාලනයෙහි දි සිවිල් මහේස්ත්‍රාත්වරුන්ට අධිකාරී බලයක් ලබා නොදිය යුතුය යන්න ඔහුගේ දැඩි ස්ථාවරය වුවද ආගමික නිදහස ගැන වූ ඔහුගේ මේ ඉල්ලීම් බොහෝ අයගේ නොරිස්සුමට භාජනය විය. මෙම නවක දහම ක්‍රියාත්මක වීම මගින් “දේශයේ රජය සහ මූලික පැවැත්ම විනාශකාරී විපර්යාසයකට ගොදුරු වීම වැලැක්විය නොහැකිය”යි දේශයේ නායකයෝ බලපෑම් ඇති කළෝය. (Bancroft, Part 1, Ch. 15, 1. Car 10). විලියම්ස්ව ජනපදයෙන් පිටුවහල් කළ යුතු යයි තීරණය විය අත්අඩංගුවට පත් වීම මග හරවා ගැනීම් වස් ඔහුට එම ජනපදයෙන් පලායාමට සිදුවිය. ශීත සෘතුවේ හිම කුණාටු තිබිය දී නොකපන ලද වනාන්තරයකට පලා යාමට ඔහුට සිදුවිය.GrHSin 334.1

    “සති දහහතරක් පුරා ශීත සෘතුවේ ඔබ මොබ යමින් ජීවත් වීම සඳහා මහත් සටනක යෙදුණෙමි. පාන් ගෙඩියක් හෝ ඇඳක් කියන්නේ මොනවාද යන්න මට සිහිනයක් විය. එහෙත් වනාන්තරයේ දී කපුටෝ මට කෑම ගෙනත් දුන්නා,” යයි ඔහු පැවසුවේය. ගසක බෙනයක් බොහෝ අවස්ථාවන්හිදී ඔහුට සෙවන ලබා දුන්නේය.” (Martyn Vol. 5, pp. 349, 350). හිම වැටී තිබූ බිම් තරණය කරමින් ද අඩි පාරක් පවා නොතිබූ වනාන්තර පසුකරමින් ද ඉදිරියටම ගමන් කළ ඔහුට යථා කාලයේ දී ඉන්දියානු ගෝත්‍රික කණ්ඩායමකගේ රැකවරණය ලැබීය. ඔවුන්ට ශුභාරංචියේ සත්‍යතාවන් ඉගැන්වීමට වෑයම් කිරීම තුළින් ඔහු එකී ගෝත්‍රිකයන්ගේ විශ්වාසය හා සෙනෙහස දිනාගෙන තිබුණි.GrHSin 334.2

    විවිධ තැන්හි සැරිසරමින් අනේක දේශගුණික තත්ත්වයන්ට මුහුණ දෙමින් රොජර් විලයම්ස් තම ගමන අවසන් කරමින් මුහුදු වෙරළක් කරා පැමිණියේය. එම ස්ථානය නැරගාන්සෙට් බේ යයි නම් විය. හෘදය සාක්ෂයට එකඟව සෑම පුද්ගලයෙකුටම තමන් කැමැති ආගම් ක්‍රමයක් ඇදහීමේ නිදහස ගැන දැඩි ස්ථාවරයක සිටීම නිසා ඔහුව මැසවූසෙට් ජනපදයෙන් පිටුවහල් කරන ලදී. දැන් ඔහුගේ විශ්වාසය අනුව ක්‍රියාකිරීමට ජනපදයක් ගොඩනගා ගැනීමට ඒ නව ස්ථානයේ දී ඔහු අඩිතාලම දැම්මේය. වර්තමනා කාලයට යෝග්‍ය අයුරින් ආරම්භ කළ මේ පෙදෙසෙහි පූර්ණ, ආගමික නිදහස කෙනෙකුගේ අයිතියක් ලෙස ව්‍යවස්ථාපිත විය. රොජර් විලියම්ස් විසින් පිහිටුවා ගත් කොලනියේ මූලික ප්‍රඥප්තියක් ලෙස මෙසේ සඳහන් විය. “සෑම මනුෂ්‍යයෙකු- ටම තමාගේ හෘදය සාක්ෂිය අනුව දෙවියන්වහන්සේට නමස්කර කිරීමේ නිදහස අයිති විය යුතුය.” (Martyn, Vol 5, p. 354). ඔහුගේ පුරෝගාමීත්වයෙන් පිහිටුවා ගන්නා ලද කොලනිය වූ රෝඩ් අයිලන්ඩ් පීඩාවට ගොදුරු වූවන්ට ක්ෂේම භූමියක් විය. එහි ජනගහණය වර්ධනය විය, දේශය ද සරුසාර විය. එම කොලනියේ පදනම වූ සිවිල් සහ ආගමික නිදහස යන ස්ථාවරය පසුකලෙක ඇමෙරිකා එක්සත් ජනපදය පිහිටුවීමේ දී ඇයගේ ව්‍යවස්ථාවේ මූලික අංගයක් විය.GrHSin 334.3

    නිදහස් නිවහල් රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාදායකයක් පිහිටුවා ගත් ඇමෙරිකාවට පැමිණි පුරෝගාමී ජනපද වාසීන්, තම අයිතිවාසිකම් පදනම් කරගත් නිදහසෙහි ප්‍රකාශනයක් නිකුත් කළහ. එහි මෙසේ සඳහන් වේ.” මෙහි අඩංගු සත්‍යතාවන් අපි විශ්වාස කරන්නෙමු. එනම් සෑම මනුෂ්‍යයෙක්ම සමානකමින් යුතුව මවන ලද බවය. කිසිවෙකුට පැහැරගත නොහැකි අයිතිවාසිකම් මැවුම්කාරයාණන් විසින් මිනිසාට දී තිබේ. එම අයිතීන් අතර ජීවිතය, නිදහස සහ සතුට සොයා යාමද ඇතුළත්ය.” ඒ සමඟම ව්‍යවස්ථාවට මිනිස් හෘදය සාක්ෂිය කෙළෙසා දැමීමට නොහැකි බවට ඒ දැඩි ක්‍රමවේදය සහතිකයක් ලබාදුන්නේය.” ඇමෙරිකානු එක්සත් ජනපදයෙහි රාජ තාන්ත්‍රික නිලයක් සඳහා අවශ්‍ය සුදුසුකම් අතරට, ආගමික ඇදහිලි ක්‍රමයකට, වැඩි වරප්‍රසාදයක් ප්‍රදානය කිරීමට හෝ යම්කිසි ඇදහිලි ක්‍රමයක් නිදහස්ව ක්‍රියාත්මක වීමෙහිදී එයට තහංචි පැනවීමට හෝ අදාළව නීති රීති ගෙන ඒමට ව්‍යවස්ථාවක් පිහිටුවනු නොලැබිය යුතුය.”GrHSin 335.1

    “දෙවියන්වහන්සේ සමඟ මනුෂ්‍යයෙකුට ඇති සබඳතාවය මිනිස් නීතියට ඉහළින් තිබිය යුතුය යන සදාතනික ප්‍රඥප්තිය ව්‍යවස්ථාව සැකසූ ප්‍රවීනයන්ගේ අවධානය දිනා ගත්තේය. තවද, මිනිසාගේ හෘදය සාක්ෂියේ අයිතිවාසිකම් වෙනත් කවරෙකු හට හෝ උදුරාගෙන නොහැකි යයි කියාද ව්‍යවස්ථාවට එක් කරනු ලැබීය. මෙම සත්‍යතාව සනාථ කිරීමට හේතු සාධක දැක්වීම අවශ්‍ය නොවීය. අපි හද පත්ලෙන්ම ඒ බව දැන සිටින්නෙමු. මිනිස් නීතිවලට එරෙහිව නැගී සිටිමින් වධ වේදනා සහ ගිනි දැල් විඳ දරාගැනීමට වේද සාක්ෂිකරුවන්ට ශක්තිය ලබා දුන්නේ මෙම විඥානයයි. මිනිස් නීතිවලට වඩා දෙවියන්වහන්සේට වූ තමන්ගේ යුතුකම සහ වගකීම උත්තරීතරය යනු ඔවුන්ගේ කල්පනය විය. තවද, තමන්ගේ හෘදය සාක්ෂියෙහි පිළිගැනීම්වලට ඉහළින් මිනිස් බලපෑම් ක්‍රියාත්මක කළ නොහැකි බව ඔවුන්ගේ විශ්වාසය විය. එය වනාහි මිනිසාගේ සිතෙහි උපතින්ම ස්ථාපිත කරනු ලැබූ ප්‍රඥප්තියකි. කිසිවකට හෝ එය මකා දැමිය නොහැකිය.” (Congressional Documents (U.S.A), Serial No:200, Document No.271).GrHSin 335.2

    තමා කරන්නා වූ ස්වකීය සේවාවන්ට නිසි ඵල ලබාගත හැකිවූ ද, තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ක්‍රියා කළ හැකි වූද, දේශයක් ඇත යන සුපුවත යුරෝපයේ රටවල් තුළ ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වන්නට විය. යුද්ධයෙන් හෝ සාගින්නේ ද, පීඩා කරන්නන්ගේ තාඩන පීඩනවලින් ද මිදීම ලබා ගැනීම සඳහා දහස් ගණන් ජනයා මේ අලුත් ලෝකයට ඇදී ගියහ. අත්ලාන්තික් මුහුදින් එතෙරට පියාසර කරන්නා වූ අයට තම කොලනියට කිසිම බාධාවකින් තොරව ඇතුල් වීමටත් මහජන මුදලින් ඔවුන්ට අතහිත දෙමින් උදව් කිරීමටත් විශේෂ නීතියක් මැසවුසෙට් කොලනියේ නීති පොත්වලට ඇතුළත් කරගන්නා ලදි. කවර හෝ ජාතියක කිතුණු බැතිමතුන්ට මෙම වරම විවෘත විය. “මෙසේ රහසින් හෝ බියෙන් හෝ පැන ආ අයගෙන් ද, පීඩාවට පත්වූවන්ගෙන් ද පොදු කොලනි ජනපදය නිර්මාණය විය.(Martyn, Vol. 5, p. 417). වන්දනාකාර පියවරුන් ප්ලිමත් වෙරළාසන්නව ප්‍රථම ජනපදය පිහිටුවා ගැනීමෙන් වසර විස්සක් ගතවූ විට වන්දනාකරුවෝ දහස් ගණනින් පැමිණ නව එංගලන්තයෙහි වාසස්ථාන පිහිටුවා ගත්හ.GrHSin 336.1

    තමන්ගේ අපේක්ෂිත අරමුණ අත්පත් කරගැනීම සඳහා ඔවුහු වෙහෙස මහන්සි වී වැඩ කරමින් ද අරපිරිමැස්මෙන් යුතු ජීවිත ගත කරමින් ද ජීවිතයට අත්‍යාවශ්‍ය දේ පමණක් ලබා ගැනීමෙන් ද සෑහීමකට පත් වූහ. තමන්ගේ ශ්‍රමයට ප්‍රමාණවත් ලාභයක් ලැබීම පමණක් ඔවුහූ භූමියෙන් අපේක්ෂා කළෝය. ස්වර්ණමය දර්ශනයකින් මුළාවට පත්වීමට ඔවූහූ උත්සාහ නොකළෝය.... තමන්ගේ සමාජීය ආණ්ඩු ක්‍රමයෙහි ඉතා මන්දගාමී එහෙත් තිරසාර ගමන කෙරෙහි ඔවුහු සෑහීමකට පත් වූහ. පාඵකරයේ පැවැති දුක් ගැහැට ඉවසිලිමත්ව විඳ දරාගත් ඔවූහු තමන්ගේ නිදහස නැමැති වෘක්ෂයට තමන්ගේම කඳුළින් ද, දහඩියෙන් ද ජලය ලබා දුන්නෝය. එම ගසෙහි මුල් පොළෝ ගැබ තුළටද, වටපිටාව තුළට ද, සිසාරා යමින් ශක්තිමත් වන තෙක් ඔවූහූ ඒකාග්‍රතාවකින් යුතුව ක්‍රියා කළෝය.GrHSin 336.2

    ඇදහිල්ලෙහි පදනම ලෙසද, ප්‍රඥාවෙහි උල්පත ලෙසද, නිදහසෙහි බලපත්‍රය ලෙසද, ශුද්ධ බයිබලය පිළිගන්නා ලදී. ශුද්ධ බයිබලයෙහි අඩංගු ප්‍රඥප්ති නිවසෙහිදී ද, පාසැලෙහිදීද, පල්ලියෙහිදීද මහත් උනන්දුවකින් යුතුව උගන්නවන ලදී. එහි ප්‍රතිඵලය සමාජය තුළ දැකගැනීමට හැකිවිය. එමගින් මිනිසා තුළ හැඩගැසුණා වූ සැකසුරුවම, බුද්ධිය, සාරධර්ම සහ අමද්‍යපය සමාජය පෝෂණය කළේය. පියුරිටන් ජනපද තුළ වසර ගණනාවක් පුරා ජීවිතය ගත කළ අතර, ඔවුන්ට බේබද්දෙකු දැකගැනීමටවත්, දිව්රන්නෙකු සම්මුඛ වීමටවත්, සිඟන්නෙකු මුණ ගැසීමටවත් අවස්ථාවක් නොලැබී යන්නට පුළුවන් විය.” (Bencroft, Part. 1, Ch. 19. 1. c. ar. 25). ජාතික අභිමානයේ ශ්‍රේෂ්ඨත්වය ආරක්ෂා කරන්නා වූ රැකවරණය වූයේ බයිබලයේ ප්‍රඥප්ති බව කදිමට තහවුරු විය. තැනින් තැන පිහිටි බෙලහීන කොලනි ඒකාබද්ධ වී බලවත් ජනපද සන්ධානයක් බිහි විය. පාප්වරයෙකු නැති සභාවක සහ රජ කෙනෙකු නැති රජයක පැවැති සාමය සඵලත්වය දෙස ලෝකයා බලා සිටියේ විශ්මිතවය.GrHSin 336.3

    ඇමෙරිකානු වෙරළබඩ පෙදෙස් කරා පැමිණෙන්නා වූ සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වර්ධනය වෙමින් පැවැතියේය. මුල් කාලවලදී පැමීණි වන්දනාකරුවන්ගේ අරමුණට වඩා වෙනත් බලාපොරොත්තු ඇතිව මෙම සංක්‍රමිකයෝ පැමිණියෝය. දේශය තුළ ආරම්භයේදීම රෝපණය කරනු ලැබූ පෞරාණික ඇදහිල්ල සහ ශුද්ධවන්ත සාරධර්ම මගින් පුඵල් වූ මිනිස් ජීවිත හැඩ ගැස්වීමේ අනුබලයක් තිබුණ ද එය කෙමෙන් හීන වන්නට විය. මක්නිසාද යත්, නවක සංක්‍රමිකයන්ගේ අභිමතාර්ථයන් සහ අරමුණු ලෞකික උන්නතිය කෙරෙහි නැඹුරු වී තිබීම එයට හේතු කාරක විය.GrHSin 337.1

    මුල්ම වන්දනාකරුවෝ තම ජනපදයන් හි පරිපාලන ව්‍යුහය සඳහා නීතිරීති සකස් කර ගත්තෝය. පාලන මණ්ඩලයට නිලධාරීන් තෝරා ගැනීමේ දී ඒ සඳහා ඡන්දය දීමේ අයිතිය දේවස්ථානයේ සාමාජිකයන්ට පමණක් සීමා විය. තවද, රජයේ නිලධාරීන් තෝරා ගැනීමේදී ද සභා සාමාජිකත්වය තිබීම අනිවාර්ය විය. එම ප්‍රතිපත්තිමය ක්‍රමාවේද විනාශකාරී ප්‍රතිඵල උදා කළේය. මෙම ක්‍රමවේදය පිළිගනු ලැබුවේ දේශය තුළ ශුද්ධ පවිත්‍රතාවය රඳවා ගැනීමේ අරමුණින් වුවද, එමගින් සිදුවුණේ සභාව දූෂ්‍ය වීම පමණකි. ඡන්ද බලයට හිමිකම් කීමට මෙන්ම රජයේ සේවය කිරීමටද දේවස්ථානයේ සාමාජිකත්වය තිබීම අනිවාර්ය වූ නිසාම නාමිකව ක්‍රිස්තියානිකාරයන් වූ අයගේ ගණන සුළුපටු නොවීය. සභාවේ සාමාජිකත්වය ලැබූ බහුතරයක් හදවතින් ක්‍රිස්තුස්වහන්සේව පිළනොගත්තෝය. කිතුණු ජීවිත රටාවකට ඔවුන්ගේ නැඹුරු වීමක් නොවීය. සාමාජිකත්වය ලැබූ අය තුළ හදවතින් නැගී ආ වෙනස් වීමක් නොවීය. උදාවූ තත්ත්වය තවත් සංකීර්ණ විය. පූජ්‍ය පක්ෂයේ අය පවා සම්පූර්ණයෙන් ම සයානුකූල හැරීමකට හිමිකම් නොකීහ. ඔවුන්ගේ විශ්වාස කිරීම් තුළ වැරැදි දහම් අඩංගු විය. ශුද්ධාත්මයාණන්වහන්සේගේ නව ප්‍රාණයක් දීමේ බලය පිළිබඳව ඔවුන් තුළ දැනුමක් ද නොවීය. මෙයින් සිදු ප්‍රතිඵල ඉතා භයානක විය. කොන්ස්තන්තීනූගේ දවස පටන් වර්තමානය දක්වා වූ සභා ඉතිහාසය මෙවන් දූෂණයන්ගෙන් ගහණ වී ඇත. රජයේ ආධාර ඇතිව සභාව ප්‍රවර්ධනය කිරීමට වූ වෑයම සෑම කලෙකම දැකගන්නට පුඵවන. ශුභාරංචිය ප්‍රචලිත කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීමට වෑයම් කිරීම මෙසේ එක යුගයකය පමණක් සීමාවූවක් නොවීය. ශුභාරංචිය ප්‍රකාශ කළ තැනැන්වහන්සේ පැවැසුවේ, “මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ” කියාය. (යොහන් 18:36). රජය සහ සභාව එකමුතු වීමෙන් සෙතක් සැලසේ යයි පෙනී යන නමුත්, යථාර්ථව සිදුවන්නේ ලෝකය සමීප වීම නොව, සභාව ලෝකයට සමීප වීමය.GrHSin 337.2

    රොබින්සන් සහ රොජර් විලියම්ස් යන පුරෝගාමීන් පිහිටා සිටි ප්‍රඥප්තියක් විය. එනම්, සත්‍යතාවය වනාහි වර්ධනය වන්නා වූ පද්ධතියකි. දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ වචනයෙන් විකාශනය වන්නා වූ සෑම ආලෝක දහරාවක්ම පිළිගැනීමට ක්‍රිස්තු භක්තිකයන් සූදානමින් මිටිය යුතු යනු පුරෝගාමීන්ගේ කල්පිතය විය. එහෙත් පසු පරම්පරාවල අයගෙන් දසුනින් මෙම කල්පිතය ගිලිහී ගියේය. ඇමෙරිකාවේ මෙන්ම යුරෝපයේ ප්‍රොතැස්තන්ත සභාවන්ද ප්‍රතිසංස්කරණ මාර්ගයේ ඉදිරියට යාමට එවන් උනන්දුවක් තිබුණේ නැත. කලින් කලට ස්වල්ප දෙනෙක් නැගිට අලුත් සත්‍යතාවන් ඉදිරිපත් කළෝය. සභා සාමාජිකයන් බොහෝ කලක් විශ්වාස කළ වැරැදි ඉගැන්වීම් ඔවුහු එළිදරව් කළෝය. එහෙත් ක්‍රිස්තුස්වහන්සේගේ කාලයේ සිටි යුදෙව්වන් මෙන්ද ලූතර්ගේ කාලයේ සිටි පාප් සමයවාදී කිතුණුවන් මෙන්ද ඇමෙරිකාවේ දිවි ගෙවූ පසු පරම්පරාවල අය තමන්ගේ ආදී මුතුන් මිත්තන් මෙන්ම ගතානුගතික සම්ප්‍රදායන් විශ්වාස කළෝය. ඔවුන් දිවි ගෙවූ ආකාරයෙන්ම ජීවත් වීමෙන් ඔව්හූ සෑහීමට පත් වූහ. මෙසේ, ආගම නැවත වරක් අභ්‍යන්තර ගුණධර්ම වගාවට වෑයමක් නොදරා, බාහිර චාරිත්‍ර විධීන්ට ගැති වන්නට විය. ආගමේ වැටීයාමක් නැවත වරක් උදා විය. දෙවියන්වහන්සේගේ වචනයෙහි ආලෝකය අනුව සභාව ඉදිරියට ගමන් කරමින් ක්‍රියා කළේ නම් වරක් ඉවත දැමූ වැරැදි සහ මිසදෙටු දහම් නැවතත් වැළඳ ගනිමින් ඒවා අගය කරන්නට වූහ. පුනරුදය මගින් ආනුභාවය ගෙන දුන් ආත්මය ක්‍රම ක්‍රමයෙන් නැති වී ගියේය. ලූතර්ගේ කාලයේ දී රෝමානු සභාව තුළ ප්‍රතිසංස්කරණයක් ඇතිවීම අත්‍යාවශ්‍ය භූමිකාවක් වූ ලෙසම මෙම වකවානුවේ දී ද ඉතා ප්‍රබල සහ ව්‍යාප්ත ප්‍රතිසංස්කරණයක් ප්‍රොතැස්තන්ත සභාවන් තුළ ඇති වීම ඉතා අවශ්‍යව තිබුණේය. මිනිස් මතවාදයකට ගරු කිරීමක් ද දෙවියන්වහන්සේගේ වචනයෙහි ඉගැන්වීම් වෙනුවට මිනිස් කාල්පනිකයන් සහ සිද්ධාන්ත ආදේශ කිරීමක් ද නැවත වරක් සභාව වෙළා ගත්තේ ය.GrHSin 338.1

    දහනව වන සියවසේ මුල් භාගයේ දී ශුද්ධ බයිබලය ඉතා සීඝ්‍රෙයන් ලොව පුරා අලෙවි වන්නට විය. එමගින් ලෝකය මත ඉතා ප්‍රබල ආලෝකයක් පතිත විය. නමුත් එම ක්‍රියාවේදයන්ට සමගාමීව එළදිරව් කරනු ලැබූ ආලෝකය බෙදා හැරීමක් සිදු නොවීය. නව ආලෝකය අත්හදා බැලීමක් ද සිදු නොවීය. දෙවියන් වහන්සේගේ වචනය මිනිසා අතට පත්වීම වළකාලීමට සාතන් විසින් ගත් උත්සාහය දැන් බිඳ වැටෙමින් තිබුණේය. මිනිසුන්ට දේව වචනය ඉතා අඩු තත්ත්වයකින් සැලකීමට ඔහු බොහෝ අයට මඟ පෙන්වීය. ශුද්ධ ලියවිලි ගවේෂණය කරමින් අධ්‍යයනය කිරීමට මිනිසුන් තුළ උදාසීනකමක් පැතිර ගියේය. එම නිසාම බයිබල් ඉගැන්වීම්වලට ව්‍යාජ අර්ථකථන ලබාදීමට මඟ පෑදුණේය. බයිබලය මත පදනම් නොවූ දහම් සතුටින් පිළිගැනීමට මිනිස්සු පෙළඹූණාහ.GrHSin 338.2

    වධහිංසා පැමිණවීමෙන් සත්‍යතාව මැඩ පැවැත්වීමට වූ තම වෑයම අසාර්ථක බව වටහාගත් සාතන් අන්‍යෝන්‍ය පාවාදීම් මගින් මධ්‍යම ප්‍රතිපදාවකට යාමට මිනිසුන්ව පෙළඹවීය. සත්‍ය‍යෙන් ඉවත්ව යාමට ද රෝම සභාව පිහිටුවනු ලැබීමටද මඟපෙන්වූයේ ද මේ ක්‍රියාදාමයය. ඔහු ක්‍රිස්තු භක්තිකයන්ට මඟ පෙන්වූයේ මිථ්‍යාදෘෂ්ටීන් හා සම්බන්ධව වීමට නොව, මේ ලෝකයේ දේවලට ඇලුම් වූ අයවලුන් හා සම්බන්ධ වීමටය. කැටයම් කර නෙළා ගත් රූප සහ පිළිම වන්දනවා මෙන්ම ලෝක දහමට නමස්කාර කිරීම එකම තලයේ වරදක් වන්නේ ය. පෙර යුගයන්හි තිබූ විනාශකාරී තත්ත්වය මෙන්ම නව උදාවද එයාකාරයෙන්ම විනාශදායක විය. ආගමේ සඵලත්වය මේ යයි ප්‍රකාශ කරමින් උඩඟුකම, අභිමානය සහ සැප සම්පතින් යුත් සුඛෝපභෝගිත්වය දිවි රටාවක් බවට පත්විය. සභාවන්ද මෙයින් දූෂ්‍ය වූවෝය. බයිබලයීය දහම් විකෘති කිරීමේ සාතන්ගේ වෑයම අඛණ්ඩව දිගටම පැවතිණි. දස දහස් ගණන් බැතිමතුන්ගේ විනාශය තීන්දු කරන්නා වූ සම්ප්‍රදායික ගතානුගතික ක්‍රමවේදයන් සභාව තුළ මුල් ඇදෙමින් ගැඹුරට කිඳා බසින්නට විය. ශුද්ධවන්තයින්ට වරක් ලබා දුන් ඇදහිල්ල ආරක්ෂා කරගෙන එය පෝෂණය කරනවා වෙනුවට සභාව මෙම සම්ප්‍රදායික වත් පිළිවෙත් රැකගැනීමටත් ඒවාට ප්‍රමුඛ ස්ථානය දීමටත් වෑයම් කළාය. ප්‍රතිසංස්කාරක පුරෝගාමීන් විසින් මහත් හිංසා පීඩා මැද ලොවට හඳුන්වා දුන් ප්‍රතිසංස්කෘත දහම් වේදය මෙයාකාරයෙන් අවමානයට ලක් කරන ලදී.GrHSin 339.1