Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    17 - අරුණෝදයෙහි පෙරමඟ සිටි දූතයෝ

    අනාගතය පිළිබඳ පැහැදිලි වූද, සුවිශේෂ වූද සත්‍ය සිදුවීම පවසන්නා වූ ශුද්ධ වූ බයිබලයෙහි ප්‍රකාශ වී ඇති ගාම්භීර තේජාන්විත සත්‍යයක් වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන ඊම පිළිබඳව ඇත්තාවූ සත්‍යයයි. දේව ජනතාව දිගු කාලයක් පුරා “මරණ සෙවන මිටියාවතෙහි සෙවනැලි යටතේ” වන්දනාකරුවන් ලෙස මෙලොව සැරිසරමින් කල්ගත කර ඇත. එහෙත් ඔවුන්ට ඉතා මිහිරි, සිත් සතන් ප්‍රීතියෙන් උද්දාමයට පත් කරන්නා වූ බලාපොරොත්තුවක් දානය කර තිබේ. එනම් “ජීවනය සහ නැවත නැගිටීමේ” කතුවරයාණන් වන ක්‍රිස්තුස්වහන්සේ නැවත වරක් මෙලොව වෙත පැමිණෙන බවය. පළමුවන යුවළ ඒදන් උයනෙන් පිටමං කරනු ලැබූ තැන පටන් සිටින්නා වූ ඇදිහිලිවන්ත ජනතාව එක්රැස් කරගෙන ගෙදර රැගෙන යෑමේ කාර්යය එවිට ඉටුවන බවට උන්වහන්සේ දේව ජනතාවට බලාපොරොත්තුවේ පොරොන්දුවක් දෙවා වදාළ සේක. ශුද්ධ වූ ලියවිල්ලෙහි ඇතුළත් මූලික තේමාව නම් දෙවෙනි පැමිණීමේ මූලධර්මයයි. අපගේ මුල් දෙමාපිය යුවළ ඒදන් උයනෙන් ඉවතට යවනු ලැබීමේ ශෝචනීය දවසේ පටන් ඇදහිල්ලේ දරුවෝ නැවත වරක් පාරාදීසය හිමිවන්නා වූ දවස මහත් උපේක්ෂාවෙන් යුතුව බලා සිටියෝය. විනාශයෙහි අධිපතියාගේ බල පුඵවන්කාරකම් විනාශ කිරීමට හැකියාවක් ඇති තැනැත්වහන්සේගේ පැමිණීම සැමගේ බලාපොරොත්තුව විය. තමන්ගේ බලාපොරොත්තුව සම්පූර්ණ වන දවස දෙස එනම් මෙසියස්වහන්සේගේ තේජස්ශ්‍රීය මෙලෝ පහළ වීම කෙරෙහි, ඉතිහාසය පුරා දිව ගෙවූ ශුද්ධ මනුෂ්‍ය යෝ ආශාවෙන් බලා සිටියෝය. ඒදන් උයනෙහි දිවි ගෙවීමට වරම් ලැබූ ආදම් පටන් හත්වෙනියා වූ ඒතොක් හට මතු එන්නා වූ ගැළවුම්කාරයාණනගේ පැමිණීම දසුනින් දැකගැනීමට අවස්ථාවක් ලබාදෙන ලදි. මෙලොව දිවි ගෙවූ කාලයේ වසර තුන්සියය පුරා ඔහු දෙවියන්වහන්සේ සමඟ හැසිරුණේය. ඔහු මෙවන් අනාවැකියක් වදාළේය.” බලව, සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ට කරන්ටද ... ස්වාමින්වහන්සේ ස්වකීය දස දහස් ගණන් ශුද්ධවන්තයන් සමඟ” එන බව ඔහු පැවසුවේය. (යුදස් 14,15). වේදනාවෙන් මඩිනු ලැබ සිටි ආදී පිතෘවරයෙකු වූ යෝබ් එකී අත්දැකීම තුළින් ගමන් කරන්නා වූ රාත්‍රී සමයේ දී අචල විශ්වාසයකින් යුතුව ගැළවුම්කාරයාණන් ගැන මෙසේ ප්‍රකාශ කළේය. “මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද, අන්තිමේ දී උන්වහන්සේ පොළොව පිට සිටින බවද දනිමි. ....‍ මමම උන්වහන්සේ දකින්නෙමි. අන්‍යයෙක් නොව, මගේම ඇස් උන්වහන්සේ දකින්නේය.” ( යෝබ් 19:25-27).GrHSin 340.1

    ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමත් සමඟම ධර්මිෂ්ඨ රාජ්‍ය සමයක් පිහිටුවනු ලබන බව ශුද්ධ ලියවිලි රචකයන් නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. විවිධාකාර දිවැසිවරු මෙම උදාර සිදුවීම ගැන ප්‍රීතියෙන් යුතුව වර්ණනා කර ඇත. කවියන් එම සංසිද්ධිය වර්ණනා කර ඇත්තේ ඉතා උදාර පද රචනයෙනි. ඊශ්‍රායෙල් රජතුමාණන්ගේ බලපරාක්‍රමය දක්වමින් ගීතිකා රචකයා කාව්‍යලංකාර බසින් ප්‍රශස්ත ගී වැනුම් මෙසේ නිර්මාණ කර ඇත. “අලංකාරයේ සම්පූර්ණත්වය වූ සියොන්හි සිට දෙවියන්වහන්සේ බැබලූ සේක. අපේ දෙවියන්වහන්සේ වඩින සේක, නිශ්ශබ්ද නොවන සේක. උන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චය කරන පිණිස ඉහළ අහසටත්, පෘථිවියටත් හඬ ගසන සේක.” (ගීතාවලිය 50:2-4) ... “ආකාශය සන්තෝෂ වේවා, පොළොව ප්‍රීති වේවා ... මක්නිසාද උන්වහන්සේ එන සේක. පොළොව විනිශ්චය කරන පිණිස එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් පොළොවද, ස්වකීය සැබෑකමින් මනුෂ්‍ය වර්ගයන්ද විනිශ්චය කරන සේක.” (ගීතාවලිය 96:11,13).vGrHSin 341.1

    “යෙසායා අනාගතවක්තෘවරයා මෙසේ පවසා ඇත, ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න, මක්නිසාද ඔබගේ පිනි පලා ජාතිවල පිනි මෙන්ය. පොළොව හා මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වන සේක. “ඔබගේ මළාහූ ජීවත්වන්නෝය. මාගේ මළකඳන් නැගිටිනවා ඇත.” (යෙසායා 26: 19) “උන්වහන්සේ මරණය සදාකාලයටම ගිල දැමූ සේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුඵ පිසදමන සේක. මක්නිසාද ස්වාමින්වහන්සේ ඒක කීසේක. ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය. බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලා සිටියෙමුව, උන්වහන්සේ අප ගළවන සේක. ” (යෙසායා 25 :8,9).GrHSin 341.2

    දර්ශනයක වෙලී සිටි හබක්කුක් ගැළවුම්කාරයාණන්ගේ පැමිණීම දැක මෙසේ විස්තර කළේය. “දෙවියන්වහන්සේ තේමාන සිටද, ශුද්ධ තැනැන්වහන්සේ පාරාන් කන්දේ සිටද එනසේක. උන්වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරුණේය. උන්වහන්සේගේ දීප්තිය එළිය මෙන් විය.”(හබක්කුක් 3:3). “උන්වහන්සේ සිට, පොළොව සෙලවූසේක; උන්වහන්සේ බලා ජාතීන් වෙවු‍ළෙවූ සේක. සදාකාල කඳු විසුරුණේය. පුරාණ හෙල් ද නැමුණේය. උන්වහන්සේගේ ගමන් පුරාණෙහි මෙන් විය.”ඔබගේ අසුන් පිටද ගැළවීම නැමැති ඔබගේ රථවලද ඔබ නැගී ගියේ”ය.”කඳු ඔබ දැක භය වූය; ජල ධාරාව වැගුරුණේය. ගැඹුර සිය හඬ පවත්වා සිය අත් ඉහළ එසවීය.” “විහිදුණු ඔබගේ ඊගස්වල එළියටත් ඔබගේ දිලිසෙන සෙල්ලයේ දීප්තිමත්කමටත් ඉර සඳ ඒවායේ විමාවල නැවතී සිටියෝය.” ” ඔබගේ සෙනඟගේ .... ගැළවීමටත් ඔබ පිටත්ව ගොස්.... ඇරියසේක.” (හබක්කුක් 3:6,8,10,11,13)GrHSin 341.3

    ගැළවුම්කාරයාණන්වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන්ගෙන් වෙන්වී යාමේ කාලය ළංවූ විට උන්වහන්සේ තමා නැවත ඔවුන් වෙතට පැමිණෙන බව පවසමින් ඔවුන්ගේ කණගාටුවේදී ඔවුන් මෙසේ සැනසූ සේක. “නුඹලාගේ සිත් නොකැළඹේවා. .... මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය. .... නුඹලාට ස්ථානයක් පිළියෙල කරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙල කරම් නම් ... මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි,” (යොහන් 14:1-3) “මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමග තමන්ගේ තේජසින් එන කල ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳින සේක. එවිට සියලු ජාතීහූ උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය.” (මතෙව් 25:31,32).GrHSin 342.1

    ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගයට නැගුණාට පසුව ඔලිව් කන්ද මත මඳ වෙලාවක් සිටියා වූ දේවදූතයෝ, උන්වහන්සේ තමාගේ නැවත පැමිණීම ගැන ගෝලයන්ට දුන්නා වූ පොරොන්දුව නැවත මෙසේ පැවසූහ. “නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇත.” (ක්‍රියා 1:11) අපෝස්තුළු පාවුල් තුමාද දේවානුභාවයේ මඟපෙන්වීම අනුව මෙසේ පැවසුවේය. “ස්වාමීන්වහන්සේ ම මහත් ශබ්දයක් ද උත්තම දේවදූතයකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නා සේක. (1 තෙසලෝනික 4:16) පත්මොස්හි සිටි දිවැසිවරයා ද මෙසේ පැවසුවේය. “බලන්න, උන්වහන්සේ වළාකුල්වලින් එනසේක. සියලු ඇස් ද .... උන්වහන්සේව දකින්නෝය. (එළිදරව් 1:7).GrHSin 342.2

    “දෙවියන්වහන්සේ ලෝකයේ පටන් ගැන්මේ සිට තමන්ගේ ශුද්ධ වූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවුවාවූ සියලු දේ නැවත පිහටුවන්නා වූ කාලවල් දක්වා” උන්වහන්සේගේ තේජාන්විත පොරොන්දු රඳා පවතියි. (ක්‍රියා 3:21) එකල්හි දිගු කාලයක් පුරා පැවැති නපුරු පාලනය නිමාවක් දකිනවා ඇත. “එවිට ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේට ද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම් කරන සේක.” (එළිදරව් 11:16). “එවිට ස්වාමීන්වහන්සේගේ තේජස ප්‍රකාශ වන්නේය. සියලු මනුෂ්‍යයෝ එක්ව එය දකින්නෝය. ” (යෙසායා 40:5). “ස්වාමි වූ දෙවියන්වහනසේ ධාර්මිෂ්ඨකම් සහ ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වනවා ඇත.” (යෙසායා 61:11) “ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ තමන්ගේ ඉතිරි සෙනඟට අලංකාර ඔටුන්නක් ද දීප්තිමත් කිරීටයක්ද” වනසේක. ( යෙසායා 28:5)GrHSin 342.3

    එකල්හි දිගු කලක් මහත් බලාපෙරොත්තුවෙන් බලා සිටි මෙසියස්වහන්සේගේ සමාදානයේ රාජ්‍යය විශ්වයෙහි, ස්ථාපිත කරනු ලබන්නේය. “ස්වාමීන්වහන්සේ සියොත් සැනසූ සේක. උන්වහනසේ ඇගේ සියලු නටබුන් තැන් සකසා ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද, ඇගේ කාන්තාරය ස්වාමින්වහන්සේගේ උයන මෙනද කළසේක.”(යෙසායා 51:3) “ලෙබනොන්හි තේජසත් කර්මෙල් හා ෂාරොන්හි අලංකාරකමත් ඊට දෙනු ලබන්නේය.”(යෙසායා 35:2)”නුඹ අත්හරින ලද්දි යයි තවත් කියනු නොලබන්නේහිය. නුඹේ දේශයට පාඵ යයි තවත් නොකියන්නෝය. නුඹ හෙප්ශිබා කියාද නුඹේ දේශය බෙයුලා කියාද කියනු ලබන්නේ ය. ස්වාමින්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රසන්නය.” “මනමාලයා මනමාලි කෙරෙහි ප්‍රීතිවන්නාක් මෙන් නුඹේ දෙවියන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රීතිවනසේක. (යෙසායා 62:4,5)GrHSin 343.1

    සෑම යුගයකම දිවි ගෙවූ දෙවියන්වහන්සේගේ සත්‍යවාදී අනුගාමිකයන්ගේ බලාපොරොත්තුව වූයේ ක්‍රිස්තුස්වහනසේගේ දෙවැනි පැමිණීමය. ඔලීව කන්ද මස්තකයේ සිට ක්‍රිස්තුස්වහන්සේ තමන් ගෝලයන්ට ලබා දුන් පොරොන්දුව ඔවුන්ගේ සිත් සතන් ප්‍රබෝධමත් කිරීමට සමත් විය. තමන්වහන්සේ නැවත වරක් පැමිණෙන බවට දුන් ඒ පොරොන්දුව ගෝලයන්ගේ අනාගතය ආලෝකමත් කරමින්, බලාපොරොත්තු රඳවමින් ක්‍රියාත්මක වූ නිසා ශෝකයට, එම ප්‍රීතිය සහ සතුට නිවා දැමීමට නොහැකි විය. පරීක්ෂාවනට එය අඳුරු කිරීමට නොහැකි විය. වධ හිංසා සහ දුක් වේදනා මධ්‍යයේ ඒ සියල්ල විඳ දරාගෙන, “මහෝත්තම දෙවියන්වහන්සේගේ ද අපගේ ගැළවුම්කාර යේසුස් ක්‍රිස්තුස්වහනසේගේ ද තේජසේ ප්‍රකාශවීම” කෙරෙහි බලා සිටීම මේ සැමගේ “ආශිර්වාද ලත් බලාපොරොත්තුව” විය. ස්වාමීන්වහන්සේගේ පැමිණීම තමන්ගේ ජීවිත කාලය තුළදී සිදුවෙනවා ඇතැයි තෙසලෝනියෙහි විසු කිතුණුවෝ අපේක්ෂා කළෝය. ඔවුන් අතර ජීවත් වූ අයෙක් මරණයට පත් වූ විට භූමදාන කිරිමේ දී මෙම කිතුණු ජන කොටසෙහි සාමාජිකයන්ට මහත් දුක් වේදනාවක් දැනී යන්නට විය. ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම බලා සිටි අය මිය යාම ශෝචනීය අත්දැකීමක් විය. ඔවුන්ව සැනසීමට ක්‍රියා කළ පාවුල් ගැළවුම්කාරයාණන් දෙවැනි වර පැමිණෙන විට, සිදුවන්නා වූ සැදැහැවතුන් සමඟ ඔවුන් ද එක්ව සමිඳාණන් මුණගැසීම පිණිස අහසට ඔසවා ගනු ලැබෙති. “මෙසේ අපි නිතරම ස්වාමීන් සමඟ සිටින්නෙමු” යයි පාවුල් සැමට අවධාරණය කරයි. “මේ වචනවලින් එකිනෙකා සනසාගන්න” යැයි ඔහු සැමට අනුශාසනා කරයි. තෙසලෝනික 4:16-18.GrHSin 343.2

    පත්මොස් දිවයිනේ දඬුවම් කාලය ගත කරමින් සිටියා වූ , යේසුස්වහන්සේ වඩාත් ආදරය කළ ගෝලයාට, පොරොන්දුවේ මෙම වදන් ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා විය. “සැබැවින්ම මම ඉක්මණින් එමි”යි ඔහුට පවසන ලදී .එයට ප්‍රතිචාරය දක්වමින් ” ආමෙන්. ස්වාමි වූ යේසුස් වහන්ස වැඩිය මැනව!” කියා යොහන් තම අපේක්ෂාව සපථ කළේය.GrHSin 344.1

    මෙම අපේක්ෂාව සෑම යුගයකම සිටි භක්තිමත් කිතුණු වන්දනාකරුවන්ගේ එකම පැතුම විය. සත්‍යතාව උදෙසා සාක්ෂි දැරූ ශුද්ධවන්තයන්ගේ සහ වේද සාක්ෂිකරුවන්ගේ බලාපොරොත්තුව රැඳී පැවතියේ මෙම සිදුවීම කෙරෙහිය. බිම් ගෙවල සහ උමං ගෙවල සිටද, ගිනි කුඵ සහ පෝරකවල සිටද, මෙම උපේක්ෂා හඬ නද දුන්නේ, මරණය ඉදිරියෙහි පවා තම විශ්වාසය පාවා නුදුන් සැදැහවතුන්ගේ මුවිනි. මේ පිළිබඳව එක් කිතුණු බැතිමතෙක් මෙවන් ප්‍රකාශනයක් කර තිබුණේය. ” ක්‍රිස්තුස්වහන්සේ පුද්ගලිකව මළවුන්ගෙන් නැගිටි බවට ලබාදී තිබූ සහතිකයත්, උන්වහන්සේ නැවත පැමිණෙන විට තමා මළවුන්ගෙන් නැගිටින බවට වූ විශ්වාසයත් නිසා ඇදහිලිවන්තයෝ මරණයට මුහුණ දීමට බිය නොවුවෝ ය. ඔවුන්ගේ චින්තනය මරණයට වඩා ඉහළ තලයක ස්ථාපිත වී තිබුණේය. “(Taylor, Daniel T,“The Reign of Christ on Earth;or The Voice of the Church in All Ages,“p.33). ඔවුන් මිනී වළ වෙත කැමැත්තෙන්ම ඇතුඵ වුණේ, ” නිදහස් ලෙස මරණින් නැගිටීමටය.” “ස්වකීය පියාණන්වහන්සේගේ මහිමාන්විත තේජස්ශ්‍රීයෙන් යුතුව, යේසු සමිඳාණන් සගයේ සිට වළාකුඵ මත වඩිනු දැකීම” කිතුණුවන්ගේ පැතුම සහ බලාපොරොත්තුව විය. උන්වහන්සේ දැහැමි අය සඳහා රාජ්‍යයක් පිහිටුවනවා දැකීම ඔවුන්ගේ අභිලාෂය විය.” වොල්ඩන්සියන්වරුද මෙම විශ්වාසයම අගය කළෝය. ගැළවුම්කාරයාණන්ගේ නැවත පැමිණීම ක්‍රිස්තියානි සභාවේ බලාපොරොත්තුව බව වික්ලිෆ් ප්‍රකාශ කළේය. (Taylor, The Voice of the Church,“pp. 54; 129-132;132-134).GrHSin 344.2

    මෙම විෂය සම්බන්ධයෙන් ලූතර් මෙසේ පැවසීය. “තවත් වසර තුන්සියයක් ගතවෙන්නට පෙර දෙවියන්වහන්සේගේ විනිශ්චය ක්‍රියාත්මක විය යුතු බව මාගේ කල්පිතය වන්නේය. එයට වඩා දිග කාලයක් මෙම දූෂිත ලෝකය පැවැතීමට ඉඩ දෙන්නට දෙවියන්වහනසේට හැකියාවක් නැත. උන්වහන්සේ එසේ කරන්නේ ද නැත. මෙම පිළිකුල් අවකල් රාජධානිය විනාශ කර දමන්නා වූ සුවිශේෂ දවස උදාවීමට ඇත්තේ දිගු කාලයක් නොවන්නේය.” (Taylor,“The Voice of the Church,“pp. 158, 134). GrHSin 344.3

    මහළු වියට පත්ව ඇති මේ ලෝකයේ අවසානයට වැඩි කාලයක් නොමැතයි මෙලැන්ක්තන් පැවසීය. කැල්වින්ගෙන් කිතුණුවන්ට ලැබුණාවූ අනුශාසනාව වූයේ ” සියලු සිද්ධීන්ගේ ඉතාම ශුභදායක වූ නිමිත්ත ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමීණීමේ දවසට තැන ලබා දෙමින් එය උනන්දුවෙන් අපේක්ෂා කරන්න” යන්නය. ” එම දවස තම දර්ශන පථයෙන් ඉවත් නොකරගන්නා ලෙස සකල කිතුණු පවුලට අවධාරණය කරමි. ක්‍රිස්තුස්වහන්සේ ගැන අපට සාගින්නක් තිබීම වැදගත්ය. තමන්වහන්සේ රාජ්‍යෙය් මහිමශ්‍රීය තේජස පූර්ණාලංකාරයෙන් ප්‍රදර්ශනය කරන දවස උදාවන තෙක් අපි බලා සිටිය යුතු වෙමු. ඒ ගැන නිතරම සිහි කටයුතුය” යි හෙතෙම ප්‍රකාශ කළේය.GrHSin 345.1

    “අපගේ යේසු සමිඳාණෝ සඟයට ගිය අතරේ අපිගේ මාංසය සඟයට ගෙන ගියේ නැද්ද? උන්වහන්සේ නැවත වරක් මෙහි පැමිණෙන්නේ නැද්ද? උන්වහන්සේ එසේ පැමිණෙන බව අපි දනිමු. උන්වහන්සේගේ පැමිණීම කඩිනමින් සිදුවන බව දනිමු”යි ස්කොට්ලන්තවාදී පුනරුදවාදියෙකු වූ නොක්ස් උනන්දුවෙන් පැවසුවේය. සත්‍යතාව වෙනුවෙන් තම ජීවිත පූජා කළ රිඩ්ලි සහ ලැටිමර්, සමිඳාණන්ගේ පැමිණීම ඇදහිල්ලෙන් බලා සිටියහ. රිඩ්ලි තම අපේක්ෂාව මෙසේ ලේඛණ ගත කළේය.”ලෝකය ඉතා කඩිනමින් එහි අවසානය කරා ළඟා වෙමින් සිටී. මෙම කරුණ මම විශ්වාස කරන නිසාම එසේ පවසමි. දේව සේවකයා වූ යොහන් සමඟ අපගේ හිතැඟියාව මෙසේ පවසමු. “එන්න, යේසු සමිඳාණෙනි ඉක්මණින් එන්න.” (Taylor,“The Voice of the Church,“pp. 151, 145).GrHSin 345.2

    “සමිඳාණන්ගේ පැමිණීම පිළිබඳ චින්තනය මට ප්‍රබල මිහිරියාවක් ලබා දෙන්නේය, මාගේ ගත සහ සිත ප්‍රීතියෙන් පින යන්නේය”යි බැක්ස්ටර් ප්‍රකාශ කළේය. “එතුමාණන්ගේ පැමිණීම කෙරෙහි ආදරයෙන් යුතුව බලා සිටීම උන්වහන්සේගේ ශුද්ධවන්තයන්ගේ ඇදහිල්ලෙහි හරයත්, ස්වභාවයත්ය. මළවුන්ගෙන් උත්ථාන වීමෙහිදී විනාශ කර දමනු ලබන අවසාන සතුරා මරණය වන්නේ නම්, ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි ඊම කෙරෙහි උදක් බලාසිටීම සහ යාච්ඤා කිරීම බැතිමතුන්ගේ ප්‍රමුඛ අවධානයට භාජන විය යුතුය. සංග්‍රාමයෙහි සම්පූර්ණ වූද, ඉරණම් වූ ද ජයග්‍රහණය වන මේ දවස ගැන ඇදහිලිවන්තයන් සියලු දෙනාම ආශාවෙන් බලා සිටිය යුතුය. එය ඔවුන්ගේ ආත්මවල ආශාවද උත්සාහයද විය යුතුය.” (Baxter Richard, Wokers”.Vol. xvii, p. 555).”ස්වාමීනි මේ දවස ඉක්මණින් ඇතිවෙන්ට සලස්වන්න,“යනු අපෝස්තලික සභාවේ ආශාව විය. වනගතව සිටි සභාවේ පැතුමද එවැනිම විය, ප්‍රතිසංස්කරණවාදීන්ගේ අභිමතාර්ථයද එයම විය.GrHSin 345.3

    ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණීම සිදුවන ආකාරයත්, එහි මූලික පරමාර්ථයක් දිවැසි ප්‍රකාශන මඟින් කියාපාන අතරම එම උත්තරීතර සංසිද්ධියෙහි පෙර නිමිතිද, අප හමුවේ දිග හැර ඇත. එම සිද්ධියට ආසන්න වකවානුවේදී “ඉර සඳ හා තාරකා කෙරේ ලකුණු ..... වන්නේය.” (ලුක් 21:25). “ඉර අඳුරු වන්නේය. සඳ එළිය නොදෙන්නේය. තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය. අහසේ ඇති බලපරාක්‍රමයෝද සොලවනු ලබන්නෝය. එකල මනුෂ්‍ය පුත්‍රයා මහත් බලයෙන්ද තේජසින් ද යුක්තව වළාකුල්වල එනවා ඔව්හු දකින්නෝය.”(මාර්ක් 13:24-26). දෙවැනි ඊමේ පෙර නිමිත්තෙහි මුල් සලකුණක් ලෙස එළිදරව්කරුවා මෙසේ තතු ඉදිරිපත් කරයි. “මහත් භූමිකම්පාවක් විය. සූර්යයා කේශකම්බලයක් මෙන් කඵ විය. මුළු හඳද ලේ මෙන් විය.” ( එළිදරව් 6:12,13).GrHSin 345.4

    විසි එක්වැනි සියවසට පෙර මෙම ලකුණු දැක ගැනීමට බැතිමතුන්ට හැකි විය. දිවැසි ප්‍රසාදිවරුන් මඟින් දෙවියන්වහන්සේ ප්‍රකාශ කළ මේ අනාවැකි සනාථ කරමින් වසර 1755 දී වාර්තා වී ඇති දරුණුතම භූමකම්පාව ලිස්බන්හීදී සිදුවිය. එකී භූ චලනය ලිස්බන් භූමිකම්පාව ලෙස නම් කරනු ලැබුවද යුරෝපය, අප්‍රිකාව හා ඇමෙරිකාව වැනි රටවල් ද ඒ කම්පනයෙහි ප්‍රතිඵල භුක්ති වින්දේය. එහි කම්පනය ග්‍රීන්ලන්තය, බටහිර කොදෙව් දූපත් , මදෙයිරා දූපත, නෝර්වේ, ස්වීඩනය, මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය යන රටවල්ද සලිත කිරීමට හේතු කාරක විය. එහි බලපෑම වර්ග සැතපුම් කෝටි සතරක් පුරා විහිදී ගියේය. යුරෝපාකරයේ සිදු වූ කම්පනයේ ප්‍රබලත්වය එයාකාරයෙන්ම අප්‍රිකාවද කම්පනයට පත් කළේය. ඇල්ජීරියාවේ විශාල භූමි ප්‍රමාණයක් විනාශයට පත් විය. මොරොක්කෝව ආසන්නයෙහි පිහිටි ගම්මානයක් මුළුමනින්ම භූමිය විසින් ගිලගනු ලැබිණි. එහි ජීවත් වූ දස දහසක් පමණ ජීවිත විනාශයට පත් විය. භූමි කම්පවාව මඟින් ඇතිවූ සුනාමියෙන් ස්පාඤ්ඤයේ සහ අප්‍රිකාවේ මුහුදුබඩ පෙදෙස් විශාල රළ පහරකින් වැසී ගොස් අති විශාල විනාශයක් ඇති විය.GrHSin 346.1

    කම්පනයේ බියකරු විනාශයට වැඩියෙන්ම ගොදුරු වූයේ ස්පාඤ්ඤය සහ පෘතුගාලයයි. මුහුදුබඩ පිහිටි කාඩිස් නගරය කරා එල්ල වූ රළ පහර අඩි තිහක් පමණ උස්වූ බව වාර්තාගතය. “පෘතුගාලයේ තිබූ විශාල කඳු අත්තිවාරමේ සිට සොලවනු ලැබීය. සමහර කඳු කැබෙලි පහත පිහිටි කඳු බෑවුම් කරා මහත් පීඩනයක් සහිතව භූමියට පතිත විය. විවර වූ කඳු ශිඛරයන්ගෙන් ගිනි සිළු විහිදී ගිය බව වාර්තාවන් පවසයි.” (Lyell, Sir Charles,“Principles of Geology,“p. 495(ed 1858, N-Y).GrHSin 346.2

    ලිස්බන්හි සිදුවූ භූ චලනය පිළිබඳව මෙවන් වාර්තාවක් ඉදිරිපත් වී ඇත. “භූ ගර්භයේ හෙණයක් පුපුරන්නාක් වැනි හඬක් අසන්නට ලැබිණි. ඉක්බිතිව එම නගරයේ බොහෝ ගොඩනැගිලි බිමට සමතලා විය. විනාඩි හයක් වැනි සුළු කාලයක් තුළදී ජීවිත සැට දහසක් මරුමුවට පත් වූහ. මුහුදු ජලය දියඹට ඇදී ගොස්, මුහුදු පතුලේ විශාල ප්‍රමාණයක් දැකගන්නට හැකි විය. මෙම සිද්ධිය පැවැතියේ ඉතා ස්වල්ප වේලාවකි. ඉක්බිතිව මහා ජලස්කන්ධය සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩි පනසක් පමණ ඉහළට යමින් ඉතා අධික පීඩනයකින් යුතුව ගොඩබිම මත පතිත විය. “ලිස්බන්හි සිදුවූ මේ ඛේදවාචකය හා බැඳි ව්‍යසනය කරනකොටගෙන එහි ඉදිකර තිබූ නැව් තඩාඟ අංගනය සහමුලින්ම විනාශ විය. එම තඩාගය ඉදිකර තිබුණේ තනි කිරිගරුඬ ගලින්ය, ඒ සඳහා වූ වියදමද ඉතා අධික විය ආරක්ෂාව බලාපොරොත්තුවෙන් විශාල ජන සමූහයක් තඩාගය තුළට එක්රොක් වූහ. එය කම්පාව නිසා කඩා වැටෙන්නා වූ ගොඩනැගිලිවලින් ආරක්ෂිත ස්ථානයක් වූ නිසා ජනකාය තඩාග ගොඩනැගිල්ල වෙත ඇදී ආහ. එහෙත් හදිසියේම ඒ සම්පූර්ණ තඩාගයම එය මත සිටියාවූ සියලුදෙනා සමඟ මුහුදු පත්ලටම කිඳා බැස්සේය. අභාග්‍යයකට මෙන් මොවුන්ගේ එකම මළ සිරුරක්වත් පාවෙනවා දැකගත නොහැකි විය.”GrHSin 346.3

    “සිද්ධියෙන් හටගත් කම්පනය නිසා සෑම දෙව් මැදුරක් සහ සෑම කන්‍යාරාමයක්ම බිමට පතිත වීමට විනාඩියක්වත් ගතවූයේ නැත. සෑම උස ගොඩනැගිල්ලක්ම බිමට සමතලා විය. නගරයේ තිබූ ගෙවල්වලින් හතරෙන් කොටසක් විනාශයට පත් විය. කම්පනයෙන් පැය දෙකකට පසුව විවිධ දිශාවන්හි ගිනි සිළු නැගෙන්නට විය. මෙම ගින්න දවස් තුනක් පුරා විනාශයේ ගිනි දළු දසත විහිදුවා ඇරියේය. භූමිකම්පාව හට ගත්තේ ආගමික නමස්කාර දිනයකදීය. එම ඉරිදා නමස්කාරය සඳහා පැමිණි බැතිමතුන්ගෙන් දෙව් මැදුරු සහ කන්‍යාරාම පිරී පැවතියේය. දිවි ගළවාගත් අය අතළොස්සක් පමණ විය.” (Encyclopaedia Americana, art. Lisban note ed. 1831).” සෙනඟ තුළ හටගත් භීතිය සහ කම්පනය වචනයට නැගිය නොහැකිය. කිසිවෙක් හෝ හැඬුවේ නැත. කඳුළු සැලවීමට නොහැකි තරමට කම්පනය අතිශයින් ප්‍රබල විය. ජනතාව හිස් ලූ ලූ අත දිව යන්නට වූහ. ඔවුහු දුකින් මුහුණටත්, පපුවටත් ගසා ගත්තෝය. ඔවුහු භීතියෙන් මුසපත්ව සිටියෝය. “ලෝකාන්තිමය පැමිණ ඇත”යි ඔවුහු විලාප නගන්නට වූහ. මව්වරුන්ට තමන්ගේ දරුවන් අමතක විය. කුරුසිය සහිත සුරුවම් බදාගෙන ඔවුහු ඔබ මොබ දිව ගියෝය. අවාසනාවන්ත කාරණය නම් සුරක්ෂිත භාවය පතා බොහෝ අය දේවස්ථාන වෙත දිව ගිය බවය. අල්තාරය බදා ගත්තද ඔවුන්ගේ පැතුම සාර්ථක නොවීය. සුරුවම්ද, පූජකයන් සහ ජනතාවද යන සියල්ලම පස් යට වැළලී ගියේය. ” (Encyclopaedia Americana, art. Lisban ed. 1831). එම අවාසනාවන්ත දිනයේ දී ජීවිත අනූදහසක් පමණ අවසාන ගමන ගියහ. GrHSin 347.1

    අනාගතවාක්‍යයෙහි අන්තර්ගත තවත් ලකුණක් වසර විසිපහකට පසුව මිනිස් හදවත් තිගැස්සීමකට පත් කළේය. එය වනාහෘ ඉර සහ හඳ අඳුරු වූ දවසය. එය මිනිස් චින්තනය තුළ නොමියෙන සටහනක් සිත්තම් කළේය. මෙම සිද්ධියෙහි සිත් කාවදින කාරණය නම් මෙය සිදුවෙන වකවානුව නිශ්චිත ලෙස අනාවැකියෙහි සඳහන්ව තිබීමය. ඔලීව කඳු මස්තකයෙහි වැඩ සිටි ගැළවුම්කාරයාණෝ ඔලීව කන්ද උඩදී තම ගෝලයන් සමඟ කථාවක යෙදී සිටිසේක. සභාව මුහුණ දෙන්නා වූ දිගු කාලීන හිංසා පීඩා යුගය ගැන උන්වහන්සේ ඔවුන් දැනුවත් කළසේක. තමන්වහන්සේගේ ඊමට පෙරාතුව සභාවට මුහුණ දීමට සිදුවන්නාවූ වසර එක්දහස් දෙසීය හැටක හිංසා පීඩා කාලයක් ගැන උන්වහන්සේ ගෝලයන්ගේ අවධානය යොමු කළසේක. පාප බලධාරීන්ගේ අතවරවලට සභාව භාජනය වන පීඩාකාරී යුගය ගැන සඳහන් කළ උන්වහන්සේ එම කාලය ලුහුඬු කර කෙටි කරනු ලබන බවටද පොරොන්දු වූ සේක. තමන්වහන්සේගේ ඊමට මත්තෙන් හටගන්නා වූ සිද්ධීන් ගණනාවක් සඳහන් කළ උන්වහන්සේ එම සිදුවීම්වල පළමුවැන්න දැකගත හැකි නිශ්චිත වකවානුවද ස්ථිර වශයෙන්ම කියා පෑ සේක. “ඒ දවස්වලදී ඒ පීඩාවෙන් පසුව ඉර අඳුරු වන්නේය, සඳ එළිය නොදෙන්නේය. ” (මාර්ක් 13:24). වසර 1260 ක පීඩා කාලය 1798 දී නිමාවට පත්විය යුතුව තිබුණේය. එහෙත් උවදුරු වකවානුව මෙදිනට වසර විසිපහකට පමණ පෙර සම්පූර්ණයෙන්ම වාගේ නිමාව දැක්කේය. ක්‍රිස්තුස්වහන්සේගේ වචන අනුව මෙම පීඩා යුගයෙන් පසුව ඉර අඳුරු වීම සිදුවිය. වසර 1780 මැයි මස දහ නව වැනිදා මෙම අනාවැකිය සම්පූර්ණ විය. මෙවිට පුරා හඳ පැවැති හෙයින් මෙය සූර්යග්‍රහණයක් නිසා සිදුනොවූ බව පැහැදිලිය. එය ඇතිවූයේ වළාකුළු නිසා හෝ පරිසරය ඝනව පැවැති නිසා නොවීය. කුමක්හෙයින් ද අඳුර පැතිරී ගිය නමහර පෙදෙන්වල අහස කොපමණ පැහැදිලිව පැවතියේ ද යත් තාරුකා දැකගැනීමට පවා පුළුවන් විය. මෙය සිදුවීමට හේතුව විද්‍යාව මඟින් විස්තර කිරීමට නුපුළුවන් වූ බැවින් නක්ෂස්ත්‍ර විද්‍යාඥයෙක් වූ හර්ෂල් මෙසේ පැවසුවේය.GrHSin 348.1

    “වසර 1780 හි මැයි දහ නව වැනිදා සිදු වූ මේ දෙය පෙර නොවූ වීරූ ආකාරයේ සිදුවීමක් විය. එදින සිදු වූ ඉර අඳුරු වීම අද්භූත සිදුවීමක් විය. මෙම සිදුවීමේ යථාර්ථය ගැන තවමත් විද්‍යාව හේතු දක්වා නැත. හේතුවක් දැක්විය නොහැකි මෙම අඳුරුවීම නව එංගලන්ත ප්‍රාන්තයේ සම්පූර්ණ අහස මෙන්ම වටපිටාව ද ගිල ගත්තේය.” (Devens, R.M.; “Our First Centuary,” p. 89).GrHSin 348.2

    සිද්ධිය ඇසින් දුටු මැසවුසෙට්හි භවතෙක් එම පුදුමාකාර සිදුවීම මෙසේ විස්තර කරයි:GrHSin 348.3

    “සුපුරුදු පරිදි ඉර වෙනදා මෙන් පැහැදිලිව ආලෝකය පතුරුවා හරින්නට විය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් වළාකුළු පැමිණ ඉර වසා ගත්තේය. පහත අහස වළාවෙන් බර විය. ක්‍රම ක්‍රමයෙන් එම වළාකුළු කළු පැහැයට බර විය. යම්කිසි විනාශයක පෙර නිමිත්තක් එයින් කියා පෑවේය. විදුලි කෙටීමද, ගර්ජනා හඬද, අහස් කුස වැලඳ ගෙන තිබුණේය. වැසි පොදක් ද පැතිරී යන්නට විය. උදෑසන නවය පමණ වන විට වළාකුළු තුනී වන්නට විය. මුළු අහස් තලය තඹ හෝ පිත්තල පැහැයෙන් වර්ණවත් විය. මෙතුවක් කල් දැක නැති මෙම අරුම පුදුම අද්භූත ආලෝකයෙන් පොළොව, කඳු, ගල් තලා, තුරුලිය, ගොඩනැගිලි, ජල ධාරා මෙන්ම මිනිසුන් ද වෙනස් පැහැ ගත්හ. විනාඩි කිහිපයකට පසුව ඝන කළු වළාකුළු මුළු අහසම වසා ගත්තේය. ක්ෂිතිජය තුළ පමණක් ආලෝක වළල්ලක් විය. ගිම්හාන සෘතුවේ දී පවත්නා රාත්‍රී කාලය මෙන් මුළු පෙදෙසම අන්ධකාරයෙන් ගිලී ගියේය...GrHSin 349.1

    “මිනිසාගේ සිත භීතියෙන් කාංසාවෙන් සලිතව ගියේය. දොරකඩ සිටගත් කාන්තාවෝ අඳුරු වටපිටාව දෙස බලා සිටියෝය. කෙත්වල වැඩ කරමිනි සිටි පිරිමි වැඩ පසෙකලා, නිවෙස් කරා පැමිණියෝය. වඩු කාර්මිකයෝ තමන්ගේ ආයුධ ද, කම්මල්කරුවෝ තම කිනීරියද, වෙළෙඳ ව්‍යාපාරිකයෝ තම සේප්පුද වසා දමා ගෙවල් බලා පියමං කළෝය. පාසැල් වසා දැමූ අතර සිසුවෝ බියෙන් ගැහෙමින් නිවෙස් කරා දිව ගියෝය. සංචාරකයෝ කිට්ටුවෙන්ම පිහිටි ගොඩනැගිල්ලක් කරා ඉක්මණින් ගමන් කළෝය. “සිදුවෙන්ට යන්නේ කුමක්දැ?”යි සෑම හදවතක්ම ප්‍රශ්න කළේය. සෑම දෙතොලක්ම එම බිය, වචනයට නැගුවෝය. චණ්ඩ මාරුතයක් රට හරහා හමායතැයි සිත් සතන් භීතියෙන් සලිත විය. එසේත් නැත්නම් මෙම සිදුවීම මේ යුගයේ අවසානය දැයි යන සිතුවිල්ල ද බොහෝ අය වචනයට නැගුවෝය.GrHSin 349.2

    සෑම නිවෙසකම ඉටිපන්දම් දල්වනු ලැබිණි. සරත් සෘතුවේ සැඳෑ සමයක සිදුවන්නාක් මෙන් ලිපවල්වල ගිනි අවුළවනු ලැබිණි ... සැවුලන් තම කැදලි කරා ගොස් නිදන්නට විය. තණ බිම්වල සිටි ගවයෝ ගාල් වෙත දිව යමින් තප්පුලන්නට විය. මැඬියෝ එළිමහනට පැමිණ කෑගසන්නට වූහ. සියොතුන් තම සැඳෑ ගී ගයන්න පටන් ගත්හ. නිශාචර පක්ෂීහූ පියාසර කරන්නට පටන් ගත්හ. එහෙත් රාත්‍රිය පැමිණ නැති බව මිනිස්සු පමණක් දැන සිටියෝය ...GrHSin 349.3

    “සාලෙම්හි කූඩාරම් දේවස්ථානයේ ආචාර්ය නතානියෙල් විට්ටෙකර් දේවගැතිතුමා උදා නමස්කාර මෙහෙය පවත්වමින් සිටියේය. ඔහු තම දේශනාව මඟින් අවධාරණය කළේ මෙය අන්ධකාර ලෝකෝත්තර බලවේගයක ක්‍රියාකාරීත්වයක් ලෙසය. සෑම දෙව් මැදුරකින්ම නිකුත් වූ හඬ වූයේ මෙම අඳුර අනාවැකි හා සබඳකමක් ඇති බවය....දහවල් එකොළහෙන් පසුව, අන්ධකාරය ඉතා ඝන විය” (“The Essex Antiquarian,“Salem Mass, April 1899). බොහෝ පෙදෙස්හි ඝනඳුර කෙතරම් දැඩි වීද යත්, එය දහවල් කාලය වුවද, වේලාව දැනගැනීමට ඔරලෝසුවේ කටු බලාගැනීමට එළියක් නැතිව පවා නොහැකි විය. කෑම ගැනීමට හැකිවන ආකාරයේ ආලෝකයක් පවා තිබුණේ නැත......GrHSin 349.4

    “අඳුර විහිදී ගිය පරාසය විශ්වාස කළ නොහැකි තරම් විය. නැගෙනහිර දෙසට එය ප්ලිමත් තෙක් විහිදී පැවැතුණි. බටහිර දෙසින් එය කොනෙක්ටිකට් සහ ඇල්බනියේ ඈත මායිම් දක්වා පැතිර තිබුණේය. දකුණු මුහුදු වෙරළ දක්වාම අන්ධකාරය පැතිර තිබූ අතර උතුරුකරයේ පිහිටි ඇමෙරිකානු වාස භූමි කරාද එය ව්‍යාප්තව තිබිණි.” (Gorden, Dr. Wm.”History of the Rise, progress and Establishment of the Independence of the U.S.A.,“Vol. iii, p. 57).GrHSin 350.1

    සැදෑ සමය උදාවීමට පැයක් හෝ දෙකක් තිබිය දී ඝනඳුර පහව ගියේය. දීප්තිමත් නිල් අහසක් දැකගත හැකි විය. ඉරද බැබළෙන්නට විය. කාලවර්ණ මීදුමක් තැනින් තැන පැතිර තිබුණේය ... “ඉර බැස යාමත් සමඟම වළාකුළු නැවත වරක් ඝනව දැඩිව අහස වසා ගත්තේය. නැවත වරක් දැඩි අන්ධකාරයක් පැතිර ගියේය. ” “එදින සඳ පසළොස්වක සඳ මෙන් පායා තිබුණේය. රාත්‍රියේ පැවැති අන්ධකාරය දහවල් කාලයේ පැවැති අඳුර මෙන් දැඩිව තිබුණේය. පැවැති තත්ත්වය අස්වාභාවික වූද, භය උපදවන්නා වූ ද ගතියක් පෙන්නුම් කළේය. කෘත්‍රිම ආලෝකයක් නැතිව කිසිම ද්‍රව්‍යයක් දැක හඳුනා ගැනීමට අපහසු විය. අසල පිහිටි ගෙවල් සහ වෙනත් ගොඩනැගිලි බලන්නා වූ අයට හැඟී ගියේ එය මිසර අන්ධකාරයේ සෙවනැල්ලක් නැවත පතිත වී ඇති සැටියක් ලෙසය. එදින හිරු රැස් හෝ සඳ රැස් පසාරු කරගෙන යාමට වළාකුළු කිසිසේත් ඉඩ දුන්නේ නැත.” Thomas,“Massachusettes Spy; or American Oracle of Liberty, ” Vol x, No 472 (May 25 1780). මෙම දසුන පිළිබඳව ඇසින් දුටු සාක්ෂිකරුවෙක් මෙසේ ප්‍රකාශ කළේය. “මට හැඟී ගියේ මෙවන් සිතුවිල්ලකි. එය නිවැරැදි යයි මම විශ්වාස කරමි. මට සිතුණේ සකල විශ්වයේම ඇති ආලෝකය විහිදුවන වස්තූන් සියල්ලක්ම තම ආලෝකය විහිදුවීමේ ක්‍රියාවලිය තාවකාලිකව නවතා දමා ඇතැයි කියාය. ආලෝකය නිපදවන වස්තූන් සියල්ල ඝනදුර විසින් ගිලගෙන ඇති බව මට හැඟී ගියේය. “( Letter by Dr. Samuel Tenney, of Exeter, N. H. December 1785). රාත්‍රියේ නවය හෝරාව වන විට සඳ මුළුමනින්ම අහස් කුස ආලෝක කරමින් බැබළෙන අයුරු දැකගත් හැකිවිය. එහෙත් අඳුරු සෙවනැලි මුළුමනින්ම පළවා හැරීමට සඳ සමත් වූයේ නැත. මධ්‍යම රාත්‍රිය වන විට අඳුර සම්පූර්ණයෙන්ම පහව ගියේය. සඳ ද දැකගත හැකි විය. පුදුමයට මෙන් සඳ ලේ පැහැයක් ගත්තේය.GrHSin 350.2

    1780 මැයි මස 19 වැනිදා “අඳුරු දිනය” වශයෙන් ලෝක ඉතිහාසයට එකතු විය. මෙවන් විශාල පෙදෙසක් පුරා මෙතරම් දිගු කාලයක් පැවැති අඳුරු දිනයක් මෝසෙස්ගේ කාලයෙන් මෙපිට සිදු නොවීය. මෙදින පැවැති අඳුර පිළිබඳව ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ මෙයට බොහෝ කාලයකට පෙර යෝවෙල් දිවැසිවරයා තුළින් දෙව් සමිඳානන් කළ ප්‍රකාශයට වැඩි වෙනසක් නොවීය. මේ ගැන යෝවෙල් කළ අනාවැකිය ප්‍රකාශ කළේ මෙදිනට වසර දෙදහස් පන්සියයකට පෙරාතුවය. ඒ මෙසේය, “ස්වාමීන්වහන්සේගේ මහත් වූ භයානක වූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳරු වන්නේය. හඳ ලේ වන්නේය.” (යෝවෙල් 2: 31).GrHSin 351.1

    තමන්වහන්සේගේ පැමිණීමේ පෙර නිමිති කෙරෙහි අවදිව බලාසිටින ලෙස ක්‍රිස්තුස්වහන්සේ ස්වකීය ජනතාවට අනුශාසනා කළසේක. එම සිද්ධීන් ඉටුවනවා දකින විට ඒ පිළිබඳව ප්‍රීති වන්නැයිද, උන්වහන්සේ ජනතාව දිරිමත් කළසේක. පැමිණෙන්නාවූ රජතුමාණන්ගේ වැඩීම සැමට ප්‍රීතිමත් සිද්ධියක් වෙනවා නොඅනුමානය. කිතු සමිඳාණෝ මෙසේ පැවැසූ සේක. “මේ දේ සිදුවන්නට පටන් ගන්නා කල නුඹලාගේ මිදීම ළංවූ බැවින් ඉහළ බලා හිස් ඔසවන්න. “( ලූක් 21:28). වසන්තයේ දළු ලමින් මලින් පිරී වෘක්ෂයන් දෙසට අවධානය යොමු කළ උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක. “ඒවා දළු ලන විට ඒ දැක ග්‍රීෂ්ම කාලය දැනටම ළඟ බව නුඹලා දන්නහුය. එලෙසම මේ දේ සිදුවෙනවා දකින කල, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළඟ බවත් දැනගන්න.”( ලූක් 21: 30, 31).GrHSin 351.2

    සභාව තුළ ස්ථාපිතව පැවතිය යුතු යටහත් පහත් භාවයේ සහ භක්තියේ ආත්මය යටපත් කර, අහංකාරය සහ බාහිර චාරිත්‍ර විධීන්ට ගරු කිරීම පැවතුණි. ක්‍රිස්තුස්වහන්සේ උදෙසා වූ ආදරයත්, උන්වහන්සේගේ පැමිණීම කෙරෙහි වූ ඇදහිල්ලක් අභාවයට යමින් තිබිණි. ලෞකිකත්වයේ සහ සැපසෙල්ලම් ඇගයීමේ ක්‍රමවේදයන්හි නියැලුණූ දේව ජනතාව තමන්වහන්සේගේ පැමිණීමේ පූර්ව ලකුණු පිළිබඳව ගැළවුම්කරයාණන් ලබාදුන් අනුශාසනා පිළිබඳව අන්ධව සිටියෝය. දෙවැනි ඊමේ මූලධර්මය නොසලකා හැර තිබුණේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැක්වූ ශුද්ධ ලියවිලි පාඨයන්ට වෙනත් අර්ථකථන ගෙන දෙමින් යථාර්ථය අඳුරු වළාවෙත දවටා එම ප්‍රකාශන නොසලකා හැර අමතක කර දමන තත්ත්වයක් පැවතුණි. විශේෂයෙන් අමෙරිකාවේ තිබූ සභාවන් තුළ පැවැති තත්ත්වය මෙයාකාර විය. සමාජයේ සියලු මට්ටමේ පුරවැසියන්ට නිදහස සහ සුව පහසුකම් නොඅඩුව භුක්ති විඳීමේ අවස්ථාව හිමි වී තිබුණේය. ධනය සහ සුඛෝපභෝග සැප සම්පත් සොයා යෑම සැමගේ ආශාව විය. ධනය උපයා ගැනීමේ පහසු මං සොයමින් බොහෝ අය වෙහෙස මහන්සි වූහ. ජනප්‍රියතාව සහ බලය ලබාගැනීමේ අභිලාෂය පසුපස බොහෝ අය දුව ගියෝය. මේ සියලු දෙයක්ම ලබාගැනීමට සෑම අයෙකුටම හැකියාවක් පැවතුණි. එම නිසා සෑම අයෙකුගේ ආභාෂයන් සහ පරමාභිලාෂයන් මේ ලෝකයෙහි සම්පත් ලබාගැනීම කෙරෙහි යොමු වී තිබුණේය. වර්තමානයේ පවතින සියලු ක්‍රමවේදයන් සහ ක්‍රියාකාරකම් පහව යන දවසක් පැමිණෙන්නේය. එම ගාම්භීර දවස අමතක කර දමා, වත්මන් දිවියේ වින්දනය ගැන පමණක් සැමගේ අවධානය යොමු වී තිබුණේය.GrHSin 351.3

    තමන්වහන්සේගේ දෙවැනි ඊමේ ලකුණු පිළිබඳව ගැළවුම්කාරයාණන්වහන්සේ තම අනුගාමිකයන්ට කරුණු ඉදිරිපත් කළ සේක. දෙවැනි පැමිණීම ආසන්න වන විට දේව ජනතාව ප්‍රතිපත්ති කඩ කරමින්, ඇදහිල්ලෙන් වැටී යන බව උන්වහන්සේ අවධානය ලක් කළ සේක. යුගාන්තයේ දිවි ගෙවන්නා වූ ජනතාව නෝවාගේ කාලයේදී මෙන්ම ලෞකික ව්‍යාපාරයන්හි යෙදෙමින් ද සැප සම්පත් සොයා යමින් ද, ඉමහත් වෙහෙසක් දරන බව ක්‍රිස්තුස්වහන්සේගේ අනුශාසනාවට ඇතුළත් විය. ඔවුහු විවිධ දෑ මිලදී ගනිමින් හා විකුණමින්ද, ගස් සිටුවමින් සහ ගොඩනැගිලි ඉදි කරමින් ද, අවාහ කරගනිමින් සහ විවාහ කර දෙමින්ද දිවි ගෙවූහ. දෙවියන්වහන්සේ පිළිබඳව හෝ අනාගත ජීවිතය පිළිබඳව උනන්දුවක් ඔවුන්ගෙන් බැහැර ගොස් ඇති බවක් දැකගත හැකිවිය. මෙම කාලයේ දිවි ගෙවන්නා වූ ජනතාවට වූ ක්‍රිස්තුස්වහන්සේගේ අනුශාසනාව නම් මෙයයි, “එහෙත් ඒ දවස මළපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස අධික කෑමෙන්ද බීමත් කමින් ද මේ ජීවිතයේ වෙහෙසින් ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.” “එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිස ද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිස ද කන්නලව් කරමින් සෑම කාලයේ දීම අවදිව හිඳින්නැයි කීසේක.” (ලූක් 21:34,36).GrHSin 352.1

    වත්මන් සභාවෙහි ස්වභාවය පිළිබඳව මිදුම්කාර සමිඳාණන් පැවසු වදන් එළිදරව් පොතෙහි මෙසේ අන්තර්ගතය. “නුඹ ජීවත්ව සිටින බවට නාමයක් ඇතුව සිටින නුමුත් නුඹ මැරිලාය.”(එළිදරව් 3:1). සැලකිල්ලෙන් තොරව ආරක්ෂිත යයි කල්පනයෙන් යුතුව නිදිබරව සිටින්නා වු සභාවට උන්වහන්සේගේ ගාම්භීර අනතුරු ඇඟවීම නම්, “නුඹ අවදිව නොසිටින්නෙහි නම්, සොරෙකු මෙන් එන්නෙමි. මා නුඹ කරා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැන සිටිනවා ඇත.”(එළිදරව් 3: 3) යන්නය.GrHSin 352.2

    පරිවාස කාලයෙහි අවසානය ළඟ ළඟම පැමිණේ. එහෙත් මිනිසා ඒ පිළිබඳව සිටින්නේ නිදිබර ස්වභාවකය. යුගාන්තය හා බැඳි සිදුවීම අවබෝධ කරගැනීමට සහ ඒවාට මුහුණ දීමට සූදානම් වීමට මිනිසාව අවදි කළ යුතුය. සමිඳාණන්ගේ දිවැසිවරයා මෙසේ ප්‍රකාශ කරයි, “ස්වාමීන්වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකාරව තිබේ. එය දරන්ට කාට පුළුවන්ද?” (යෝවෙල් 2:11). “නපුර බලන්ට බැරි තරම් පවිත්‍ර ඇස් ඇත්තාවූ” වැරැදි කරන අය නුරුස්සන දෙවි සමිඳාණන් මෙලොව වෙත නැවත වඩින කල්හි එය ඉදිරියෙහි නැඟී සිටින්නට හැකිවන්නේ කවරෙකුටද ? (හබක්කුක් 1:13) “මාගේ දෙවියන්වහන්ස, .... අපි ඔබ හඳුනමුව කියා” හඬ ගසන්නාවූ අය උන්වහන්සේගේ ගිවිසුම කඩ කර තිබේ. ඔවුහූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරැළි ගසා ඇත. ඔවුහූ වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඇත. (හොෂෙයා 8:1,2) තමන්ගේ අපරාධ හදවත්හි සඟවා ගෙන සිටින්නාවූ අයට, අදමිටුකමේ මාර්ගයන් ඇලුම් කරන්නාවූ අයට, “ස්වාමීන්වහන්සේගේ දවස එළිය නොව අඳුර නොවන්නේ ද? දීප්තියක් නැතිව ඉතා කළුවරව නොතිබෙන්නේද?’ (ආමොස් 5:20).දෙවි සමිඳාණෝ මෙසේ පවසන සේක. “ඒ කාලයේ දී මම පහන් දල්වා යෙරුසලම සෝදිසි කරන්නෙමි. .... ස්වාමීන්වහන්සේ යහපතවත් නපුරවත් කරන්නේ නැතැයි සිත් තුළ සිතාගන්නාවූ මනුෂ්‍යයන්ට දඬුවම් කරන්නෙමි.”(ශෙපනියා 1:12)” මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම් නිසාත් දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම් නිසාත්, දඬුවම් කරන්නෙමි. දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම් නිසාත්, දඬුවම් කරන්නෙමි. උඩඟු අයගේ අහංකාරය නවත්වා බලාත්කාර කරන්නන්ගේ ආඩම්බරය පහකරන්නෙමි.” (යෙසායා 13:11). ඒ දවසේදී “ඔවුන්ගේ රිදී නිසාවත්, රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන.” “ඔවුන්ගේ සම්පත් කොල්ලයක්ද ඔවුන්ගේ ගෙවල් පාළුවක්ද වන්නේය.”(ශෙපනියා 1:18,13).GrHSin 352.3

    පැමිණෙන්නාවූ බියකරු දවස ගැන කම්පිතව යෙරමියා මෙසේ හඬ නැඟීය; “මගේ සිත තුළ වේදනා විඳිමි. මාගේ සිත මා තුළ කැළඹෙන්නේය; මට නිශ්ශබ්දව සිටින්ට බැරිය; මක්නිසාද හොරණෑ හඬත් යුද්ධ ඝෝෂාවත් අහෝ මාගේ ආත්මය නුඹට ඇසුණේය. නාස්තියක් පිට නාස්තියක් ප්‍රකාශ කරනු ලබන්නේය.” (යෙරෙමියා 4:19,20).GrHSin 353.1

    “ඒ දවස වනාහි උදහස් දවසක්ය. දුක්ඛිත විපත්ති දවසක්ය. නාස්ති වීමේ හා සුනත්වීමේ දවසක්ය. අන්ධකාර වූ කළුවර වූ දවසක්ය. වළාපටලද ඝනාන්ධකාරය ද ඇති දවසක්ය” (ශෙපනියා 1:15,16). “දේශය පාළු කර එහි සිටින පව්කාරයන් එයින් නැතිකර දමන පිණිස ස්වාමීන්වහන්නේගේ දවස .... එන්නේය.” (යොසායා 13:9). GrHSin 353.2

    පැමිණෙන්නා වු ඒ දවස පිළිබඳව දේව වචනය ඉතා සිත් කාවදින ගාම්භීර වදනින් පව්කරුවා අමතයි. දේව ජනතාව තමන්ගේ ආත්මික නිදිමතින් අවදි වී, පසුතැවිල්ලෙන් සහ යටහත් පහත්කමින් යුතුව දෙවියන්වහන්සේගේ පිළිගැනීමස සොයන ලෙස දේව වචනය බැතිමතුන් දිරි ගන්වයි.” සියොන්හි හොරණෑව පිඹ, මාගේ ශුද්ධ වූ කන්දෙහි මහත් ශබ්දයක් පවත්වන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙයි, ඒක ළංව තිබේ.” “සියොන්හි හොරණෑව පිඹ, ශුද්ධ වූ උපවාසයක් ද, රැස්වීමක් ද ප්‍රසිද්ධ කරන්න. සෙනඟ රැස් කර, ශුද්ධ වූ සභාවක් පවත්වන්න. මහල්ලන් එකතු කර, ළමයින්ද කිරි දරුවන්ද එක්කාසු කරන්න. මනමාලයා තමාගේ ගෙයිනිද, මනමාලී ඇගේ ඇතුල් ගෙයින්ද, පිටතට එත්වා. ස්වාමින්වහන්සේගේ සේවක වූ පූජකයෝ ද්වාර මණ්ඩපය සහ පූජාසනය අතරෙහි සිට අඬමින් .... කියත්වා.” “එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින් ද නිරාහාරව සිටීමෙන් ද ඇඬීමෙන් ද වැලපීමෙන් ද මා වෙතට හැරී එන්නැයි ස්වාමින්වහන්සේ කියන සේක. එසේය, නුඹලාගේ වස්ත්‍ර නොව නුඹලාගේ සිත් ඉරාගත නුඹලාගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න. මක්නිසාද උන්වහන්සේ දයාවනත්වූ, අනුකම්පාවෙන් පූර්ණ වූ, ඉවසිලිවන්ත වූ , ඉතා කරුණාවන්ත වූ කෙනෙක්ය.” (යෝවෙල් 2:1, 15-18,12,13).GrHSin 353.3

    දෙවි සමිඳාණන්ගේ උදාර දවසෙහිදී උන්වහන්සේ ඉදිරියෙහි නැඟී සිටීමට නම් විශාල පරිමාණයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් ඉටුවීම අවශ්‍ය වේ. දෙවියන්වහන්සේගේ දරුවන් යයි කියාගන්නා වූ බොහෝ දෙනෙක් සදාතනය උදෙසා ජීවිත ගොඩ නඟන්නේ නැති බව උන්වහන්සේගේ දර්ශන පථයට හසු විය. නිමග්න වී සිටින්නා වු නිදිබර ස්වභාවයෙන් ඔවුන්අවදි කිරීමට අනතුරු ඇඟවීමේ පණිවිඩයක් යැවීමට දෙවියන්වහන්සේ අදහස් කළසේක. උන්වහන්සේ මෛත්‍රී කරුණාව නිසාම එවැන්නක් කිරීමට දෙවි සමිඳාණෝ උත්සුක වූසේක. සමිඳාණන්ගේ පැමිණීම සඳහා සූදානම් වීම් වස් බැතිමතුන්ට මගපෙන්වීම උන්වහන්සේගේ අභිප්‍රාය විය.GrHSin 354.1

    එකී අනතුරු ඇඟවීමේ අනුශාසනාත්මක පණිවිඩය එළිදරව් 14 හි එළි දක්වා තිබේ. සගයේ දේව දූතයන් මගින් විකාශනය වන කොටස් තුනකින් යුත් එම පණිවිඩය ලෝවැසි ජනතාව වෙත යොමු කර තිබේ. එම පණිවිඩය ප්‍රකාශ කර හමාර වූ පසු, මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දෙවැනි ඊම සිදුවීම නියතය. උන්වහන්සේ පැමිණෙන්නේ පොළොවේ අස්වැන්න නෙළා ගැනීමටය. අනතුරු ඇඟවීමෙහි පළමු ප්‍රකාශනයෙන් පැමිණෙන්නාවූ විනිශ්චය පිළිබඳව පුවත අප ඉදිරියේ දිග හැරේ. අහස මැද පියාසර කරන්නා වූ දූතයෙකු දිවැසිවරයාට දැකගන්නට ලැබිණි. “පොළොවේ වසන්නන්ටත්, සියලු ජාතීන්ටත්, ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත් ප්‍රකාශ කරන පිණිස සදාකාල ශුභාරංචියක් ඇතුව, සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසර කරනවා දුටිමි. ඔහු මහත් ශබ්දයකින් කථා කරමින්, “දෙවියන්වහන්සේට භය වී, උන්වහනසේට ගෞරව දෙන්න, මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුනේය. අහසත් පොළොවත්, මුහුදත් ජල උල්පතුත් මැවූ තැනැන්වහන්සේට නමස්කාර කරන්න.” (එළිදරව් 14:6,7).GrHSin 354.2

    මෙම පණිවිඩය “සදාතන ශුභාරංචියෙහි” කොටසක්බව ප්‍රකාශ වේ. ශුභාරංචිය ප්‍රචාරය කිරීමේ කාර්යය භාරදී ඇත්තේ දේව දූතයන්ට නොව මනුෂ්‍යයන්ටය. මෙම කර්තව්‍යය හැසිරවීම සඳහා දේව දූතයන් ක්‍රියා කර තිබේ. මිනිසුන්ගේ ගැළවීම සඳහා වූ ක්‍රියාකාරකම් මෙහෙයවීම ශුද්ධ වූ දූතයන්ගේ වැඩ කොටසට අයත් වේ. නමුත් පොළොව මත ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ සක්‍රිය වැඩ කොටස ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයන් විසින් ඉටුකළ යුතුය. GrHSin 354.3

    දෙවි පියාණන්ගේ ආත්මයාණන්වහන්සේගේ පෙළඹවීම් වලටද, උන්වහන්සේගේ වචනයේ අඩංගු ඉගැන්වීමවලට ද කීකරු වන්නා වූ විශ්වාසවන්ත බැතිමතුන්ට මෙම අනතුරු ඇඟවීමේ පණිවිඩය ලෝකයාට ප්‍රකාශ කිරීමේ කර්තව්‍යය භාරදී තිබේ. විශේෂ වූ මෙම ජන කොටස වනාහි සත්‍ය බවට ඔප්පු වූ දිවැසි වදන් හෘදයාංගමව පිළිගෙන එම දෙව් වදනේ ප්‍රකාශන, පහන් තරුව පායන තෙක් අඳුරු තැනක බබළන පහනක් ලෙසින් අවධානය යොමු කළ අය වන්නාහ. සඟවා ඇති වස්තු සම්පත්වලට වඩා ඔවුන් තම අවධානය යොමු කළේ දෙවියන්වහන්සේ පිළිබඳව දැනුම් සම්භාරයක් ලබා ගැනීමටය. ප්‍රඥාව හා නුවණ ලබාගත් විට එහි ප්‍රයෝජනය රිදීවල ප්‍රයෝජනයටත් එහි ලාභය රනටත් වඩා හොඳ බව ඔවුන්ගේ ඇගයීමට ලක් විය. රාජධානියෙහි විශිෂ්ට දේ දෙවි සමිඳාණෝ ඔවුන්ට එළිදරව් කළසේක. ” ස්වාමීන්ගේ රහස උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් සමඟය. උන්වහන්සේ ස්වකීය ගිවිසුම ඔවුන්ට දක්වන සේක.” (ගීතාවලිය 25:14).GrHSin 355.1

    මෙම සත්‍යතාව වටහා ගෙන එම දැනුම පතුරුවා හැරීමට ක්‍රියා කළා වූ අය උපාධිධාරි දේව ධර්මාචාර්යවරු නොවූහ. ධර්මාචාර්යවරු විශ්වාසවන්ත රැකවලුන් ලෙස ක්‍රියා කළෝ නම්, දැඩි උනන්දුවකින් හා යාච්ඤාවෙන් යුතුව ශුද්ධ ලියවිල් සොයා බලමින් අධ්‍යයනය කළෝ නම්, ගතවෙමින් පවතින්නේ දේව කාලසටහනෙහි කුමන හෝරාවදැයි ඔවුන්ට දැනගැනීමට ලැබෙනවා ඇත. ක්‍රියාත්මක වීමට ආසන්න සිදුවීම පිළිබඳව වූ අනාවැකි ඔවුන්ට විවෘත කර දෙනු ලබනවා ඇත. මෙම ස්ථාවරය කරා පැමිණීමට ඔවුන් අපොහොසත් වු නිසා මෙම පණිවිඩය නිහතමානී වූවන්ට පවරා දෙන ලදි. “අන්ධකාරය නුඹලා කරා වහාම නොපැමිණෙන පිණිස නුඹලාට ආලෝකය තිබෙන කළ ඇවිදින්න.”(යොහන් 12:35) යි යේසුස්වහන්සේ පැවසූ සේක. ආලෝකයේ මාර්ගයෙන් ඉවතට හැරී ගමන් කරන්නා ද, ආලෝකයට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව තිබියදී ඒ ගැන සැලකිලිමත් නොවෙන්නාද අඳුරේ පසුවෙනවා ඇත. ගැලවුම්කාරයාණන්වහන්සේ මෙසේද ප්‍රකාශ කරන සේක. “මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය.” (යොහන් 8:12). දෙවි සමිඳාණන්ගේ කැමැත්ත කිරීමේ ඒකායන අරමුණින් යුතුව ක්‍රියා කරන්නා වූ තැනැත්තේ තමාට ලැබී ඇති ආලෝකයට අනුගත වීමට වෑයම් කරයි. ඒ අතරම යථා කාලයේ දී ඔහුට තවත් ප්‍රබල ආලෝක දහරාවන් ලබා දෙනු ලැබේ. එකී බැතිමතාට සම්පූර්ණ ආලෝකය කරා මඟ පෙන්වීමට ස්වර්ගීය ප්‍රභාවෙන් යුතු යම්කිසි තාරකාවක් එවනු ලබනවා ඇත.GrHSin 355.2

    ක්‍රිස්තුස්වහන්සේ පළමුවෙන් මෙලොව දිවි ගෙවූ සමයේ දී ශුද්ධ නගරයේ පූජකවරුන්ට සහ දහම් පඬිවරුන්ට දෙවියන්වහන්සේගේ වචන රැකවල් කිරීමේ භාරය පවරා දී තිබිණි. කාලයාගේ ලකුණු අවබෝධ කරගැනීමේ යටිතල පහසුකම් ඔවුන්ට දානය කර තිබිණි. පොරොන්දු වූ තැනැන්වහන්සේගේ පැමිණීම ප්‍රකාශයට පත්කිරීමට ඔවුන්ට පුළුවන්කම තිබුණි. මීකා දිවැසිවරයා උන්වහන්සේ උපදින්නා වූ ස්ථානය ප්‍රකාශ කර තිබුණේය. (මීකා 5: 2). දානියෙල් දිවැසිවරයා උන්වහන්සේ මෙලොව ජනිත වන වකවානුව සඳහන් කර තිබුණේය. (දානියෙල් 9:25). දෙවියන්වහන්සේ මෙම අනාවැකි යුදෙව් නායකයන්ට භාර කළසේක. මෙසියස්වහන්සේගේ පැමිණීම අත ළඟ බව දැන එම පුවතින් ජනතාව දැනුවත් නොකිරීම පිළිබඳව යුදෙව් නායකයන්ට නිදහසට කරුණු දැක්වීමට හැකියාවක් නොතිබුණි. පව්කරුවන් අවදි කිරීමේ කාර්ය භාරය අතපසු කිරීමෙහි ප්‍රතිඵලය වූයේ ඔවුන් කාලෝචිත ලෙස යථා තත්ත්වය නොදැන සිටීමය. මරා දමන ලද ප්‍රොපේතවරුන් සඳහා යුදෙව්වෝ ස්මාරක ඉදි කරමින් වෙහෙසුණාහ. ලෞකික ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට ගෞරවය දැක්වීම මගින් ඔවුහු සාතන්ගේ සේවකයන්ට පුද සත්කාර පැවැත්වූහ. යුදෙව් නායකයෝ ජනතාව අතර ජනප්‍රියතාව සහ ස්වාභිමානය පුළුල් කරගැනීම සඳහා සමාජයේ ප්‍රභූ තනතුරු සහ බලය සොයමින් වෙහෙසුණෝය. එසේ කිරීම කරණකොටගෙන සගයේ රජතුමාණන් විසින් දානය කිරීමට පුල පුලා සිටි දිව්‍ය ගෞරවය ගැන ඔවුන්ගේ අවධානය ගිලිහී ගියේය.GrHSin 356.1

    ලෝක ඉතිහාසයෙහි ශ්‍රේෂ්ඨතම සිදුවීම වන්නේ, මිනිසාට ගැළවීම ලබා දීමට දේව පුතුණුවන්ගේ පැමිණීමය. උන්වහන්සේ මෙලෝ ජනිත වන ස්ථානය, කාල වකවානුව එම සිද්ධිය හා බැඳි පරිබාහිර සිදුවීම් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදීම ඊශ්‍රායෙල් නායකයන්ගෙන් බලාපොරොත්තු වන ලදී. හෘදයාංගම විචක්ෂණයකින් සහ දුර්වාබෝධ ආගමික භක්තියකින් ද, එසේ කරනු ලැබීම ආගමික නායකයන්ගේ කාර්යභාරය විය. ලෝක ගැළවුම්කාරයාණන් පැමිණි විට අනෙකුත් අයට වඩා පළමුවෙන් උන්වහන්සේව පිළිගැනීමට දේව ජනතාව සෝදිසියෙන් යුතුව බලා සිටීම අපේක්ෂිත විය. නමුත් ඛේදයකි, එවැනි දෙයක් සිදුවූයේ නැත. නාසරෙත්හි කඳුකරයේ සිට බෙත්ලෙහෙම කරා පැමිණෙන විඩාපත් යුවලක් අප නෙත ගැටේ. ඔවුහු බෙත්ලෙහෙමෙහි පටු වීථී දිගේ යමින් නවාතැන් පොළක් ලබාගැනීමට වෙහෙසුණහ. විඩාව නිවා ගැනීමට සහ රාත්‍රිය ගතකිරීමට තැනක් සොයමින් ඔවුහු එම ගම්මානයේ නැගෙනහිර ඈත කෙළවරටම ගමන් ගත්හ. ඔවුන්ට නවාතැන් ගැනීමට එකම ගෙයක් දොරක් හෝ විවෘත නොවීය. ගව මඩුවක ඈත කොණක සකසාගත් ස්ථානයක ලෝකයේ ගැළවුම්කාරයාණෝ මෙලොව බිහි වූ සේක.GrHSin 356.2

    භෞතික ලෝකයේ උපතට පෙර දේව පුත්‍රයාණෝ ස්වකීය පියාණන් වූ දෙවි සමිඳාණන් සමඟ සගයේ රජකම ඉසිලූ සේක. මෙම දසුන දේව දූතයන්ගේ පැසසුමට ලක් විය. දේව පුතණුවන් මිනිසෙකු ලෙස මෙලෝ උපත ලබන්නා වූ අවස්ථාවේ දී සකල ලෝවාසීන් සුවිශේෂ ප්‍රීතියට පත්වනු ඇතැයි දේව දූතයෝ මහත් උනන්දුවකින් සහ අපේක්ෂාවකින් බලා සිටියෝය. දේව පුතණුවන්ගේ ලෝ පහළ වීම අපේක්ෂාවෙන් සිටි අයට එම සුපුවත රැගෙන යාමට දේව දූතයන් තෝරා ගන්නා ලදී. ඔවුන් තුළින් එම පුවත ලෝවාසී ජනතාවට ලබාදීම ඒ සිද්ධියේ තවත් අංගයක් විය. මිනිසාගේ ස්වභාවය දරාගැනීමට ක්‍රිස්තුස්වහන්සේ තමන් වරප්‍රසාද සහ පදවි තානාන්තර අත්හැර දැමූසේක. පාපය උදෙසා පූජාවක් ලෙස තමන් ජීවිතය ඔප්පු කිරීමේ දී දුක් වේදනාවන්ගේ අනන්ත බරක් දැරීමට උන්වහන්සේට නියම විය. දේව දූතයෝ මේ බව දැන සිටියහ. මනුෂ්‍ය පුත්‍රයාණන් අධික නින්දා සහගත අවමානයකට ලක් කරනු ලැබිය යුතු වුවත්, මිනිසුන් අතරට ඊමේදී තමන්වහන්සේ චරිත ගුණාංගවලට අනුරූපි අභිමානවත් උතුම් බවකින් සහ තේජසකින් යුතුව උන්වහන්සේ පැමිණීම දේවදූතයන්ගේ ආශාව විය. උන්වහන්සේ මෙලොවට එන්නා වූ අතරේදී ද, පොළොවේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෝ උන්වහන්සේව පිළිගැනීමට ඊශ්‍රායෙල් අගනුවරට රැස්ව සිටිත්ද? බලාපොරොත්තුවෙන් සිටි ප්‍රභූවරුන්ට මනුෂ්‍යපුත්‍රයාණන්ව හඳුන්වා දීම දේව දූතයන් දහස් ගණනකින් සමන්විත කණ්ඩයාමක් විසින් සිදුකරනු ලබන්නේ ද?GrHSin 357.1

    යේසුස්වහන්සේව පිළිගැනීමට සූදානමින් සිටින්නාවුන් සොයා බැලීමට දේව දූතයෙක් පොළොව කරා පැමිණේ. එවන් බලාපොරොත්තුවක් ඇතිව මිනිසුන් උපේක්ෂා සහගතව බලාසිටින බවක් ඔහුගේ නිරීක්ෂණයට හසු නොවීය. මෙසියස්වහන්සේගේ පැමිණීමේ හෝරාව ළං ළංව උදාවන බව සමරමින් පැසසුමෙහි සහ ජයග්‍රහණයෙහි හඬක් නොනැඟෙන බව ඔහුට සපථ විය. යුගයන් ගණනාවක් පුරා දිවා අභිමුඛයෙහි තේජස රැඳී පැවැති තෝරාගත් නගරයට හා දේව මාළිගාවට ඉහළින් පියාසර කරමින් පැමිණි දූතයා ටික වේලාවක් එහි රැඳී සිටියේය. මෙසියස්වහන්සේගේ ලෝ පහළ වීම ගැන එතැන්හීදී උනන්දුවක් තිබෙන බවක් ඔහුට දැකගත නොහැකිවිය. මහත් අභිමානයෙන් යුතුව උදාර ලෙස හැසිරෙමින් පූජකයෝ දේව මාළිගාවෙහි පූජාසනය මත දූෂ්‍ය වූ පූජා ඔප්පු කරමින් සිටියහ. එරිසිවරු මහත් හඬින් සෙනඟට කථා කරමින් සිටියහ. නැතහොත් ඔවුහු මංසන්ධිවල සිටගෙන පාරට්ටු කිරීමේ යාච්ඤාවන් පවසමින් සිටියහ. ගැළවුම්කාරයාණෝ ලෝ පහළ වීමේ නිමිත්ත ඉතා කඩිනමින් සිදුවන්නට තිබුණි. මෙම විස්මපත් පුවත ඇසීමෙන් සකල ස්වර්ගයම ප්‍රීතියෙන් සහ ප්‍රශංසාවෙන් පිරී ගියේය. කරුණු එසේ වුවද, රජවරුන්ගේ මළිගාවල, දර්ශනවාදි විද්වතුන්ගේ රැස්වීම්වල, ආගමික ගුරුවරුන්ගේ පාසල්වල, මේ විස්මපත් සුපුවත ගැන කිසිම හඬක් අසන්නට ලැබුණේ නැත. සගය උද්දාමයට පත් කළ පුවත ගැන මිහිතලයෙහි මිනිසාට කිසිම වැදගැන්මක් නොතිබුණි.GrHSin 357.2

    ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින බවට කිසිම සාක්ෂියක් නොතිබුණි. ජීවනයේ කුමාරයාණන් පිළිගැනීමට කිසිම සූදානමක් හෝ තිබුණේ නැත. මෙම අවමාන සහගත ලජ්ජාශීලී ශෝචනීය පුවත රැගෙන සගය කරා ආපසු යෑමට දේව දූතයා සැරසෙත්ම, ඔහුගේ නෙත එඬේරුන් කණ්ඩායමක් වෙත යොමු විය. ඔවුහු රාත්‍රී කාලයේ තමන්ගේ රැළවල් බලාගනිමින් සිටියහ.ඔවුහු තරු පිරි අහස දෙස බලමින් මෙසියස්වන්සේගේ පැමිණීමේ අනාවැකි පිළිබඳව ආවර්ජනය කරමින් සිටියහ. ලෝකයේ ගැළවුම්කාරයාණන්ගේ පැමිණීම කෙරෙහි ඔවුහු මහත් ලැදියාවකින් බලා සිටියෝය. මෙන්න!ස්වර්ගීය සුබසුන ලැබීමට සුදුසු බැතිමතුන් කණ්ඩායමක්. මොහොතකින් දේව දුතයා ඔවුන් ඉදිරියෙහි පෙනී සිටියේය. ප්‍රීතිය උතුරා යන ඒ දෙවි බිළිඳාණන්ගේ උපතෙහි පුවත ඔවුන්ට ප්‍රකාශ කරනු ලැබීය. සග මහමශ්‍රීය තැන්න පුරා පැතිර ගියේය.දේව දූතයන් සමූහයක් එහි සිටිනවා දැකගත හැකි විය. ඔවුහු ජය ගීයක් ගායනා කරමින් සිටියහ. මෙම ආගමික ගීතය ගැළවීම ලබන සියලු දෙනාම මතු දිනකදී එක හඬින් ගායනා කරනවා ඇත. ඒ මෙසේ විය, “ඉතා උසස් තැන්හි දෙවියන්වහන්සේට මහිමය ද පොළොවෙහි උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවා.” (ලූක් 2:14).GrHSin 358.1

    මෙම විස්මපත් බෙත්ලෙහෙම් කථාන්තරයෙහි ඇත්තේ කෙතරම් දන මන පිනවන පාඩමක් ද! අප තුළ පවත්නා අවිශ්වාසයට, අපගේ අහංකාරකමට, බාහිර උපකාරයක් අවශ්‍ය නැත යන චින්තනයට මෙම සංසිද්ධිය කෙතරම් මහත් තරවටුවක්ද. මෙම සිද්ධිය හා බැඳි ආගමික නායකයන්ගේ ධර්මාචාර්යවරුන්ගේ සහ බැතිමතුන්ගේ නොදැනීම සහ සූදානම් නැතිකම අපට කිනම් ආකාරයේ පාඩමක්ද! බෙත්ලෙහෙම් උපත අපට අනතුරු අඟවයි. අපගේ සාපාරාධි උදාසීනකම නිසා කාලයාගේ ලකුණු තේරුම් ගැනීමට අපද පසුබට වන්නට පුළුවන.එසේ වුවහොත්, විපාකය පැමිණෙන්නා වූ දවස පිළිබඳව දැනගැනීමට අපගෙන් ගිලිහී යනවා නියතය.GrHSin 358.2

    මෙසියස්වහන්සේගේ මෙලෝ වැඩීම අපේක්ෂාවෙන් සිටින්නවුන් සොයා ගිය දූතයාට එවැනි අය මුණගැසුණේ යුදා කඳුකරයේ සිටි එඬේරුන් අතරේ පමණක් නොවේ. දෙවියන්වහන්සේට නමස්කාර නොකළ මිසදෙටු දේශයේ පවා මෙසියස්වහන්සේව අපේක්ෂා කළ අය නොසිටියේ ද නොවේ. එවැනි අය අතර සිටි බුද්ධිමතුන් කණ්ඩායමක් ගැන වාර්තා වී ඇත. ඔවුහු පොහොසත්, බුද්ධිමත් සහ වංශවත් අය වූහ. ඔවුහු පෙරදිග ලෝකයේ පඬිවරු වූහ. දෙවියන්වහන්සේගේ හස්ත කර්මාන්ත තුළින් උන්වහන්සේව හැඳින ගෙන සිටි ඔවුහු සොබා දහමේ සිසුන් වූහ. යාකොබ්ගෙන් නැඟී එන්නා වු තාරකාව ගැන ඔවුහු හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි අධ්‍යයනයෙන් හදාරා තිබුණේය. එම ප්‍රකාශනය කෙරෙහි විශ්වාසය තැබූ ඔවුහු උන්වහන්සේගේ පැමිණීම බලා සිටියෝය. අපේක්ෂා කළ තැනැන්වහන්සේ, “ඊශ්‍රායෙල්හි සැනසීම” පමණක් නොව, අන්‍යජාතීන්ට එළිදරව් වන පහනක් සහ “ලොව හැම කෙළවරකටම ගැළවීමේ මාධ්‍යය වන තැනැන්වහන්සේය” යන්න ඔවුන්ගේ විශ්වාසය විය. ඔවුහු ආලෝකය සොයන්නා වූ අය වූහ. දෙවියන්වහන්සේගේ සිහසුනෙන් නිකුත් වූ ආලෝකය ඔවුන්ගේ පාදවලට එළිය ලබාදුන්නේය. සත්‍යතාවේ භාරකරුවන් සහ ඒවා පැහැදිලි කරදෙන්නවුන් වූ යෙරුසලමෙහි පුජකවරුන් සහ ගුරුවරුන් අඳුරෙහි ඇලී ගැලී සිටි අතර අලුත උපන් රජතුමාණන්ගේ උපන් ස්ථානය වෙත යෑමට සගයෙන් එවනු ලැබූ තාරකාව මෙම අන්‍යජාතික අමුත්තන්ට මගපෙන්වීය. GrHSin 358.3

    “බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සේත්, උන්වහන්සේගේ ඊම බලා සිටින්නන්ට ගැළවීම පිණිස පාපය නැතුව දෙවැනි වර ප්‍රකාශ වනසේක.” (හෙබ්‍රෙව් 9:28) ගැළවුම්කාරයාණන්ගේ උත්පත්තිය පිළිබඳ පණිවිඩය මෙන්ම, උන්වහන්සේගේ දෙවන ඊමේ පණිවිඩයද ජනතාවගේ ආගමික නායකයන්ට භාරකොට නැත. ඔවුහු දෙවියන්වහන්සේ සමග තිබිය යුතු සම්බන්ධතාව ආරක්ෂාකර ගැනීමට අපොහොසත් වූහ. ඔවුහු සගයේ ආලෝකය එපා කළෝය. එහෙයින්, අපෝස්තුළු පාවුල් විසින් මෙසේ විස්තර කර ඇති කණ්ඩායමට ඔවුහු ඇතුළත් නොවෙති, “නුමුත් සහෝදරයෙනි, ඒ දවස සොරෙකු මෙන් නුඹලා කොරේ පැමිණෙන්ට නුඹලා අන්ධකාරයෙහි සිටින්නෝ නොවෙති. කුමක්හෙයින් ද නුඹලා සියල්ලෝ ආලෝකයේ ද දවාලේද පුත්‍ර යෝය. අපි රාත්‍රියටවත් අන්ධකාරයටවත් අයිති නොවෙමු.” (1 තෙසලෝනික 5:4,5).GrHSin 359.1

    ගැළවුම්කාරයාණන්ගේ මෙලොව පැමිණීමේ සුපුවත මුල්ම වතාවට දැනගැනීමේ කාර්ය භාරය හිමිව තිබුණේ සියොන්හි පවුර මත මුරකාවල් කළ සේවකයන්ටය. උන්වහන්සේගේ පැමිණීම කඩිනම් බව මුල් වතාවට හඬ ගා කීම භාර දී තිබුණේ ඔවුන්ටය. උන්වහන්සේගේ පැමිණීම සඳහා සූදානම් වන්නැයි ජනතාව මුලින්ම අවදි කළ යුතුව තිබුණේ ඔවුන්ය. නමුත් ඔවුහු විවේකීව හිඳිමින් සාමය සහ ආරක්ෂාව ගැන සිහින මවමින් සිටියෝය. ඒ අතර ජනතාව තමන්ගේ පාපවල නිදා සිටියෝය. තමන්ගේ සභාව ඵල රහිත අත්තික්කා ගසක් හා සමානව සිටින බව යේසුස්වහන්සේ දුටුසේක. එම ගසෙහි රැවටිලිකාර කොළ පමණක් තිබිණි. අගනා ගෙඩි කිසිවක් නොවීය. ආගමික වතාවත් සහ තේවාවන් අකුරටම ක්‍රියාත්මක කරන බව සභාව ආඩම්බරයෙන් යුතුව දැක්වූවාය. එහෙත් දෙවියන්වහන්සේ විසින් පිළිගන්නා වූ සත්‍යවාදී යටහත් පහත්කමේ පශ්චාත්තාපයේ සහ ඇදහිල්ලෙහි ආත්මය ඔවුන් තුළ දැකගැනීමට පවා නොමැති විය. ආත්මයාණන්වහන්සේගේ මෛත්‍රී, කරුණා අනුග්‍රහයන් වෙනුවට සභාව තුළ අරක් ගෙන තිබුණේ අහංකාරය, සම්ප්‍රදායන්ට නතු වීම, නිෂ්ඵල තේජස, ආත්මාර්ථකාමිත්වය සහ අන්‍යයන් පාලනය කිරීමේ ආශාව යන ගුණාංගයන්ය. ප්‍රතිපත්ති කඩිනමින් විනාශය කරා යන්නා වූ සභාව කාලයාගේ ලකුණුවලට ඇස් වසාගෙන සිටියාය. එහෙත් දෙවියන්වහන්සේ ඔවුන්ව අත්හැර නොදැමූ සේක. තමන්වහන්සේගේ විශ්වාසවන්තකම අත් නොහැරිය සේක. එහෙත් දේව ජනතාව උන්වහන්සේගේ ආදරයෙන් වෙන් වූහ. ලබා දී ඇති කොන්දේසි හා සමඟ අනුගතවීම ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. එම නිසාම උන්වහන්සේගේ පොරොන්දු ඔවුන්ට ඉටු නොවීය.GrHSin 359.2

    දෙවියන්වහන්සේ ලබා දෙන්නා වු ආලෝකය සහ වරප්‍රසාද අතපසු කිරීමෙන් ඒවා වර්ධන කර ගැනීම අතපසු කිරීම නිසා උදාවන්නා වු ප්‍රතිඵල එයාකාර වන්නේය. විවෘත වන්නාවූ දේව මගපෙන්වීම් අනුගමනය කිරීමට සභාව සූදානමින් සිටීම වැදගත්ය, ලැබෙන්නා වු සෑම ආලෝක දහරාවක්ම පිළිගත යුතුය. එළිදරව් වන්නා වු සෑම වගකීමක්ම ඉටු කළ යුතුය. සභාව එසේ නොකරන්නී නම් එය වත්පිළිවෙත් පමණක් ඉටු කිරීමේ තත්ත්වයකට ඇද වැටෙනවා නොඅනුමානය. ඒ අතරම ජීවමාන දැහැමි භක්තියෙහි ආත්මය අතුරුදහන් වී යනවා වැළැක්විය නොහැකිය.මෙහි සත්‍යතාව සභා ඉතිහාසයෙහි නැවත නැවතත් සිදු වී තිබේ. ලබා දී ඇත්තා වු ආශිර්වාද සහ වරප්‍රසාද අනුරූපීව ඇදහිල්ලෙහි සහ කීකරුකමෙහි ක්‍රියාදාමයන් සිදුවෙනවා දැකීම දෙවියන්වහන්සේ අපේක්ෂා කරන සේක. කීකරුකම ක්‍රියාත්මක කිරීමට පූජාවක් කිරීම අවශ්‍යය. එම පූජාවීමේ ක්‍රියාදාමයට කුරුසියක්ද ඇතුළත්ය. මෙසේ නොවීම නිසාම ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරනාවා යයි කියන්නාවූ බොහෝ අය සගයෙන් එන්නා වූ ආලෝකය ලැබීම ප්‍රතික්ෂේප කළහ. ආදි කාලයේ දිවි ගෙවු යුදෙව්වන් මෙන්ම මෙම බැතිමත්හුද ඔවුන්ට ලබා දුන් මිදීමේ අවස්ථාව හැඳින නොගත්හ. (ලූක් 19: 44). යුදෙව්වන් තුළ තිබූ අහංකාරය සහ අවිශ්වාසය නිසා දෙවි සමිඳාණෝ ඔවුන් මගහැර යමින් බෙත්ලෙහෙමේ එඬේරුන් වැනි අයට තමන්වහනසේගේ සත්‍යතාව එළිදරව් කළසේක. මෙම එඬේරුව් මෙන්ම පෙරදිග පඬිවරුද තමාට ලැබුණ සියලු ආලෝක දහර පිළිගත් නිසා ඔවුන්ට තව තවත් ආලෝකය ලබාදීමට දෙවියන්වහන්සේ ක්‍රියා කළසේක.GrHSin 360.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents