Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    2 - මුල් ශත වර්ෂයන්හිදී පැවති හිංසා පීඩා

    යේසුස්වහන්සේ තමන් ගෝලයන්ට, සෙරුසලමෙහි ඉරණම සහ උන්වහන්සේගේ දෙවන පැමිණීමේ දර්ශන එළිදරව් කළ විට, තමන් වහන්සේ ස්වර්ගයට ඔසවාගනු ලැබීම සහ තම ජනතාව මුදාගැනීම සඳහා බලයෙන් සහ තේජසින් යුතුව පැමිණීමත් අතර කාලයේ දී තමන්වහන්සේගේ ජනතාවට මුහුණපාන්නට සිදුවන අත්දැකීම් ගැන උන් වහන්සේ දිවැසින් පැවසූ සේක. අපෝස්තලික සභාව මත නුදුරු අනාගතයේදී පතිත වන්නාවූ කරදර සහ හිංසා පීඩාකාරී සිද්ධීන් ඔලීව කන්දෙහි වැඩ සිටි ගැළවුම්කරුවාණන්ට දර්ශනය විය. උන්වහන්සේගේ දෑස අනාගතයට ගැඹුරින් එබී බලත්ම අනාගත අඳුරු යුගයන්හි සිදුවන දෑ දැකගැනීමට උන්වහන්සේට හැකිවිය. තම අනුගාමිකයන් මත පතිත වන්නට යන්නාවූ දරුණු විනාශකාරී වධ හිංසා දෙස උන්වහන්සේගේ දසුන යොමු විය. ලෝක බලධාරීන් විසින් දෙවියන්වහන්සේගේ සභාව වෙත එල්ල කරන්නට යන්නා වූ භයංකාර දේවල් ගැන යේසුස්වහන්සේ වචන ස්වල්පයකින් සංක්ෂිප්ත කර වදාළ සේක. ( මතෙව් 24:9, 21,22) තම ස්වාමියාණන් ගමන් කළ මාර්ගයේම ක්‍රිස්තු අනුගාමිකයන් ද ගමන් කළ යුතු වන්නේය. එම මාර්ගය තුළ නින්දාව, ලජ්ජාව, දොස් නැගීම අවලාද සහ දුක්විඳීම් බහුලය. ඔවුන් ඒවා විඳ දරා ගත යුතුය. ලෝකයේ මිදුම්කරුවාණන්ට එරෙහිව පුපුරා ගිය සතුරුකම උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහන්නන්ට විරුද්ධවද ක්‍රියාත්මක වනවා ඇත. GrHSin 26.1

    ගැළවුම්කරුවාණන්ගේ වචන සැබෑ ලෙස ඉටු වූ බව මුල් කාල සභා ඉතිහාසය සාක්ෂි දරයි. පොළොවේ සහ නිරයේ සියලු බලවේගයන් එකමුතුව ක්‍රිස්තුස්වහන්සේට එරෙහිව නැගී සිටියේ උන්වහන්සේගේ අනුගාමිකයන්ට එල්ල කළ පීඩා තුළිනි. යම්කිසි අයුරකින් ශුභාරංචිය ජයග්‍රහණය කළහොත් එහි ප්‍රතිඵලයක් ලෙස තම දේවාල සහ පූජාසන නැත්තටම නැතිවෙනවා ඇතැයි මිත්‍යාදෘෂ්ඨිකත්වය දුර තියා දැන සිටි නිසා කිතුනු දහම විනාශ කරන්නට ඇය තම බලවේග කැඳෙව්වාය. හිංසා පීඩා වධ බන්ධන ගිනි දැල් අවුලුවාලනු ලැබීය. කිතුණුවා සතු ඉඩකඩම් ගේදොර, සම්පත් ඔවුන්ගෙන් බලෙන් අත්පත් කරගෙන ඔවුන්ගේ නිවෙස් වලින් ඔවුන්ව පන්නා දමන ලදී. ඔවුහු ” දුක් නමැති මහත් පොර බැඳීමක්” ඉසුලුවෝය. (හෙබ්‍රෙව් 10:32) ඔවුහු ” සරදම් වලින්ද, පහරවලින්ද, එසේය බැඳුම් වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරික්ෂා කරනු ලැබූවෝය.” (හෙබ්‍රෙව් 11:36) බොහෝ දෙනෙක් තම රුධිරයෙන් තමන්ගේ සාක්ෂි මුද්‍රා කළෝය. වංශාධිපතීන් මෙන්ම වහලුන් ද, පොහොසත් අය මෙන්ම දුප්පතුන්ද, උගතුන් මෙන්ම නූගතුන් ද එක සේ කරුණා විරහිතව ඝාතනය කරනු ලැබූහ.GrHSin 26.2

    මෙම හිංසා පීඩා ආරම්භ වූයේ නීරෝගේ පාලන කාලයේදීය, පාවුල්තුමා වේද සාක්ෂිකරුවෙක් වශයෙන් ජීවිතය පූජා කළ සමයේ දී ය. එය ශතවර්ෂ ගණනාවක් පුරා ප්‍රබල අයුරින් හෝ සුළු අයුරින් හෝ පැවතියේ ය. ඉතා දරුණු අපරාධ, කිතුනුවන් මත ව්‍යාජ ලෙස පටවන ලදී. විවිධාකාර විපත්ති, එනම් සාගත, වසංගත සහ භූමිකම්පාවලට හේතුව කිතුණුවන් යැයි ප්‍රකාශයට පත්කරන ලදි. පොදු ද්වේෂයට සහ සැකයට භාජනය වීම කිතුණුවන්ගේ කොටස විය. එවන් තත්ත්වයක් යටතේ අසරණයින් පාවා දී යමක් ලබා ගැනීමට තොරතුරු සපයන්නෝ සැදී පැහැදී සිටියහ. අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගසන්නන් ලෙස කිතුණුවන් වරදකරුවන් බව තීන්දු කරන ලදී. ආගමේ විරුද්ධවාදීන් සමාජයේ වසංගතයක් ලෙස වරදකරුවන් කරනු ලැබූහ. නාට්‍ය ශාලාවල දී බොහෝ කිතුණුවන් සතුන් විසින් මරා කන පිණිස උන්ට ගොදුරු කරන ලදී. එසේ නැතිනම් ඔවුන්ට පණ පිටින් ගිනි තබන ලදී. තවත් සමහරෙකු කුරුසිපත් කරන ලදී. තවත් අයට වනසතුන්ගේ හම් අඳවා රංග පීඨවලදී බල්ලන් ඉදිරියට දමන ලදී. මෙම දඬුවම් දීමේ ක්‍රියාවලිය මහජනයාගේ විනෝදය පිණිස ප්‍රධාන අංගයක් විය. විශාල මහජන සමුදායක් මෙම දර්ශන නැරඹීමට පැමිණ මරණීය වේදනාව විඳින්නන් දෙස බලා ප්‍රීතියෙන් අත්පොලසන් දෙමින් විනෝද වූහ.GrHSin 27.1

    කිතුනු අනුගාමිකයන් රැකවරණය සෙවූ අතර විවිධ තැන්වල ගොදුරු සොයමින් සතුන් දඩයම් කරන්නාක් මෙන් විරුද්ධවාදීහු කිතුනුවන් දඩයමේ යෙදුණාහ. සැඟවී සිටීම පිණිස ඔවුහු ජනශූන්‍ය පෙදෙස්වල සහ හුදෙකලා තැන්හි රැකවරණය පැතූහ. ” ඔවුහු අසරණකමද, පීඩාද, නපුරුකමද විඳිමින්….. ඔබ මොබ ගියෝය. ඔවුහු කාන්තාරවල ද, කඳුවල ද, ගුහා වලද, පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටනේය.“(හෙබ්‍රෙව් 11:37-38) පොළව යට තැනූ බිංගෙවල්, දහස් ගණනාවකට රැකවරණය ලබා දුන්නේය. රෝම නගරයෙන් පිටත වූ කඳු යට ඉතා දිගු බිම්ගෙවල් හාරා තිබුණේය. මෙම අඳුරු දිගු බිම්ගෙවල් ජාලය පස් සහ ගල් හාරා සෑදූ කුහර තුළින් නගරයෙන් සැතපුම් ගණනාවක් ඈත පෙදෙස් කරා යොමුවී තිබුණේ ය. පොළෝ මට්ටමෙන් යට පිහිටි මෙම ආරක්ෂිත ආලින්ද තුළ කිතුනු අනුගාමිකයෝ මරණයට පත් තම හිතමිතුරන් තැන්පත් කළෝය. සැකයට ලක් වී සමාජ තහංචිය ලැබූ අයට මෙම බිංගෙවල් තම වාසස්ථාන විය. යහපත් යුද්ධයෙහි නිරත වූ අයව ජීවනදායකයාණන් නින්දෙන් පුබුදුවාලන අවස්ථාවේදී මෙම අඳුරු බිම්ගෙවල් තුලින් බොහෝ වේද සාක්ෂිකරුවන් පිටතට පැමිණෙනවා ඇත.GrHSin 27.2

    දරුණු වධහිංසා මධ්‍යයේ මෙම සාක්ෂිකරුවෝ යේසුස්වහන්සේ උදෙසා තමන්ගේ ඇදහිල්ල කැළැල් නොකර ආරක්ෂා කරගෙන සිටියෝ ය. සැප පහසුකම් කිසිවක් නැතිව හිරු රැස් වැටෙන්නේ නැති බිම්ගෙවල ජීවත් වෙමින් භූමිය ඇතුළෙහි තම නිවෙස් සාදා ගනිමින් ජීවත් වූ මොවුන් කිසිම දොස් පැවරීමක් කළේ නැත. අගහිඟකම් සහ දුක් පීඩා මධ්‍යයේ ජීවත් වූ නමුත් ඔවුහු ඇදහිල්ලේද ඉවසීමේ හා බලාපොරොත්තුවේ ද වචනවලින් එකිනෙකා දිරිමත් කළෝය. සෑම ලෞකික ආශිර්වාදයක්ම අහිමි වුවද, ඔවුන් තුළ තිබූ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල අත්හැර දැම්විමට ඒ කිසිවක් සමත් නොවීය. විඳ දරන්නට සිදු වූ පරික්ෂා සහ හිංසා පීඩා වනාහි ඔවුන්ගේ නිවාඩුව සහ තෑග්ග වෙත ඔවුන් ලඟා කරන්නාවූ පියවර විය.GrHSin 28.1

    පුරාණයේ විසූ දේව සේවකයන් මෙන් “වෙන අය වඩා උතුම් නැවත නැගිටීමක් ලබන පිණිස, මිදීම පිළිනොගෙන වධ කරනු ලැබුවෝය.” (හෙබ්‍රෙව් 11:35) මෙම වධ හිංසා මධ්‍යයේ ඔවුන්ගේ මනසට ළඟා වුණේ තම ස්වාමීන්ද්‍රයාණන් පැවසූ වදන්. ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පීඩා කරනු ලබන විට ඔවුන් මහත් සේ ප්‍රීති විය යුතු බව උන්වහන්සේ පැවසූ සේක. ඒ මක්නිසාදයත් ස්වර්ගයේදී ඔවුන්ට ලැබෙන්නට යන්නාවූ තෑග්ග ඉතා අගනා වන නිසාය. එම වකවානුවට ඉහත කාලවලදී ද අනාගතවක්තෘවරු වධ හිංසා පීඩාවලට මුහුණ පෑවෝය. ‍සත්‍යතාව වෙනුවෙන් දුක් විඳීමට ඔවුන් යෝග්‍ය යයි තෝරාගෙන තිබීම ගැන ඔවුහු ප්‍රීති වූහ. ගිනි පිපිරෙන හඬ මධ්‍යයේ ඔවුන්ගේ ජයග්‍රහණයේ ගී හඬ ස්වර්ගය කරා යොමුවිය. ඉහල අහසට ඇදහිල්ලෙහි දෙනෙත් යොමු කළ ඔවුන්ට ක්‍රිස්තුස්වහන්සේ සහ දේව දූතයන් ස්වර්ගයේ කවුළු තුළින් ඔවුන් දෙස බලාගෙන සිටිනවා දැක ගන්නට පුළුවන් විය. මහත් සැලකිල්ලකින් තමන් දෙස බලා සිටින සග පිරිස ඔවුන්ගේ ස්ථිරතාවය ගැන අනුමැතිය පළකරන බව දැන ඔවුහු ප්‍රීති වූහ. දෙවියන්වහන්සේගේ සිහසුනින් ඔවුන් වෙතට පැමිණියේ “මරණය දක්වා විශ්වාසව සිටින්න. එවිට මම ජීවනයේ ඔටුන්න ඔබට දෙන්නෙමි.” ( එළිදරව් 2:10) යන වචනය.GrHSin 28.2

    අඩම්තේට්ටම් සහ සැහැසිකම් කිරීමෙන් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව විනාශ කර දමන්නට සාතන් ගත් උත්සාහය අසාර්ථක විය. යේසුස් වහන්සේගේ ගෝලයන් තම ජීවිත පූජා කළ ඒ මහත් අරගලයේ කාලය විශ්වාසවන්ත ලෙස දෙවියන්වහන්සේ උදෙසා ජීවත්වූ අයවලුන්ගේ දිවි පිදීමත් සමග අවසන් නොවීය. දෙවියන්වහන්සේගේ සේවකයන්ව මරාදමනු ලැබූ නමුත් ඒ පරාජය කරණකොටගෙන ඔවුහු ජයග්‍රාහක වූහ. උන්වහන්සේගේ සේවය අඛණ්ඩවම ඉදිරියට ගියේය. ශුභාරංචිය ව්‍යාප්තව පැතිරෙන්නට වූ අතර, එය පිළිගෙන, ජීවිත රටාව ඒ අනුව හැඩගස්වා ගත් සංඛ්‍යාව ද වර්ධනය වන්නට විය. සාමාන්‍යයෙන් ඇතුළු විය නොහැකි තැන් වලට පවා පණිවිඩය ව්‍යාප්ත විය. රෝමයේ රාජාලින්ට පවා ඇතුළු විය නොහැකිවූ ස්ථාන තුළද ගැළවීමේ ශුභාරංචි පණිවිඩය සටහන් තැබීය. වද හිංසා, හිංසා පීඩා දේශය පුරා ව්‍යාප්ත කළ යුතු යැයි නිර්දේශ කළ මිත්‍යාදෘෂ්ටික පාලකයන් සමග තර්ක කළ එක්තරා කිතුණු බැතිමතෙක් පවසා සිටියේ මෙවැන්නකි.” ඔබට අපව මරා දමන්නට පුළුවන. අපට වධ වේදනා පමුණුවන්නට හැකියාව ඔබට ඇත. අපව වරදට පත්කරන්නට බලය ඔබ සතුය... එහෙත් ඔබගේ අයුක්ති සහගත ක්‍රියා සාක්ෂි දරන්නේ අප නිර්දෝෂී බවයි... ඔබගේ කුරිරුකම් ඔබට යහපතක් සලසා දෙන්නේ නැත. වෙනත් අයටත් සත්‍ය උදෙසා නැගී සිටීමට එය ප්‍රබල ඇරයුමක් වන්නේය. අපව බිමට සමතලා කරදමන්නට ඔබ වැඩි වැඩියෙන් උත්සහ කරන විට අපිද වැඩි වැඩියෙන් ගණනින් වර්ධනය වෙමු. කිතුනු බැතිමතුන්ගේ රුධිරය බීජය වන්නේය” Tertullion, Apology, Paragraph 50.GrHSin 28.3

    කිතුනුවන් දහස් ගණනින් සිරගත කර මරා දැමුවද, මරණයට පත්වන අයගේ “ස්ථාන” පිරවීමට වෙනත් අය කිතු දහම වැළඳ ගත්තෝය. තම ඇදහිල්ල වෙනුවෙන් දිවි පිදූ අය ක්‍රිස්තුස්වහන්සේට භාරකරන ලදුව ඔවුන් ජයග්‍රහකයන් ලෙස උන්වහන්සේ විසින් ගණන් ගන්නා ලදී. ඔවුහු යහපත් සටනේ යෙදී සිටියෝය. ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙන විට තේජසේ කිරුළ ඔවුන් ලබනවා ඇත. කිතුණුවෝ විඳ දරා ගත් දුක් වේදනා තුළින් ඔවුහු එකිනෙකා වෙතද මිදුම්කරුවාණන් වෙතද සමීප බැඳීමකට යොමු වූහ. ඔවුන්ගේ ජීවත් වීමේ ආදර්ශයත් මරණ මංචකයේ සාක්ෂියත් සත්‍යතාවය වෙනුවෙන් කැපී පෙනෙන සාක්ෂියක් විය. බලාපොරොත්තු නොවූ ස්ථානයන්හි විසූ සාතන්ගේ යටත් වැසියෝ ඔහුට ගැති වූ සේවය අත්හැර දමා ක්‍රිස්තුස්වහන්සේගේ ධජය යටතේ සේවයට බැඳුණෝය.GrHSin 29.1

    මේ සංසිද්ධීන් නිසා දෙවියන්වහන්සේගේ රාජ්‍යය පාලන තන්ත්‍රයට එරෙහිව වඩාත් සාර්ථක ලෙස යුද්ධ කිරීම සඳහා සැලසුම් දියත් කිරීමට තීරණය කළ සාතන් තමන්ගේ ධජය ක්‍රිස්තියානි සභාව ඇතුළත තැන්පත් කිරීමට අදිටන් කර ගත්තේය. කිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ව මුළා කරන්නට හැකි වේ නම්, එමගින් ඔවුන්ගේ ජීවිත රටාව සහ ක්‍රියාකලාපය දෙවියන්වහන්සේ ඉදිරියෙහි අප්‍රසාදයට පත් වනවා නියතය. එවිට ඔවුන්ගේ ශක්තියත්, ආරක්ෂාවත්, ස්ථිරව සිටීමත් බිඳ වැටෙනවා ඇත. එකල්හි ඔවුන් පහසුවෙන් ම සාතන් ගේ ග්‍රහණයට නතු වෙනවා ඇත.GrHSin 29.2

    බලය යෙදවීමෙන් ලබාගැනීමට නොහැකි වූ දේ දැන් මායා ප්‍රයෝග මගින් ලබාගැනීමට ප්‍රබල එදිරිවාදියා උත්සාහ දැරීය. වධහිංසා පැමිණ වීම නතර විය. ඒ වෙනුවට ලෞකික සමෘද්ධියත්, ලෝක ගෞරවයත් යන භයානක මායාවන් ඇතුළු විය. කිතුණු ඇදහිල්ලෙහි කොටස්කරුවන් වීමට රූප වන්දනා කරන්ට යොමු වූවන්ට මග පෙන්වන ලදී. ඔවුහු කිතු දහම වැළඳ ගත්තද එහි සමහර වැදගත් සත්‍යතාවන් ප්‍රතික්ෂේප කළෝය. යේසුස්වහන්සේ වනාහි දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව තමන් පිළිගන්නවා යයිද, උන්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම කෙරෙහි තමා විශ්වාස කරනවා යැයිද ඔවුහු කියා සිටියෝය. එසේ වී නමුත් පාපය පිළිබඳ නිශ්චිත වැටහීමක් ඔවුන්ට දැනුණේ නැත. පසුතැවිලි වීමේ උවමනාවක් හෝ ජීවිත රටාව වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ඔවුන්ට තිබුණේ නැත. මෙසේ කිතු දහම් වැළඳ ගැනීමට ඉදිරිපත් වූ මිසදෙටුවෝ තමන්ගේ සමහර විශ්වාස ක්‍රම අතහැර දැමීමට කැමති බව ද, ඒ අතරම කිතුණුවන් ද තමන් දැඩිව අල්ලාගෙන සිටින සමහර ඇදහිලි ක්‍රම අතහැර දැමිය යුතු යයිද ඔවුහු යෝජනා කළහ. එයට හේතුව වශයෙන් ඔවුන් දැක්වූයේ එවිට දෙපාර්ශවයේම අයට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන එකම වේදිකාවක් මත සිටින්නට හැකි වන බවය.GrHSin 30.1

    දැන්, කිතුණු සභාව මහත් අර්බුදකාරී විපතකට මුහුණ පා සිටියාය. මේ හා සංසන්දනය කිරීමේදී, සිරගෙය, වධ හිංසා, ගිනිමැලය සහ කඩුව ආශිර්වාදයන් විය. තමා කිසිම ඇදහිල්ලක් පාවා දෙන්නේ නැතැයි කියමින් සමහර කිතුණු ස්ථිරතාවයකින් නැගී සිටියෝය. තවත් අය තම විශ්වාසයන් පාවා දීමට කැමැත්ත පළ කළෝය. තවත් අය තමන්ගේ ඇදහිලි ප්‍රකාශනයේ සමහර විශේෂ ලක්ෂණ වෙනස් කිරීමට කැමති වූහ. මේ පිළිබඳව ඔවුහු එක්තරා තර්කයක් ද ඉදිරිපත් කළෝය. එනම්, මෙයාකාරයෙන් ඔවුන් කිතුණු ඇදහිල්ලෙහි සමහර අංග පිළිගැනීම නිසා, පසු දවසක සම්පූර්ණ හැරීමකට යොමු විය හැකි බවය. ‍ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍යය අනුගාමිකයන්ට මෙම කාලය සිත් වේදනාවෙන් සහ සන්තාපයෙන් පිරීගිය සමයක් විය. කිතුනු දහම වැළඳ ගන්නවා යැයි ව්‍යාජ ලෙස පවසන්නා වූ බැතිමතුන් කරණකොටගෙන සාතන් උපායශීලීව සභාව ඇතුලට රිංගා ගත්තේය. ඇදහිල්ල දූෂ්‍ය කරමින් සභාවේ අනෙකුත් බැතිමතුන්ගේ මනස් සත්‍යතාවයෙන් ඉවතට හරවමින් ක්‍රියා කිරීම ඔහුගේ අභිමතාර්ථය විය.GrHSin 30.2

    අන්තිමේදී තමන්ගේ ප්‍රමිතිය පහත හෙලීමට බොහෝ කිතුණු කැමැත්ත පළකළෝය. මෙසේ කිතු දහම සහ මිථ්‍යාදෘෂ්ටික ඇදහිලි ක්‍රම අතර සන්ධානයක් ඇති විය. දේවතා පිළිම වලට සහ රූපවලට වන්දනා කළ අය තමා කිතු දහම වැළඳ ගත් බව පවසා සභාවට එකතු වුවත් තවදුරටත් තමන් වන්දනා කරන්නාවූ ප්‍රතිමා සහ පිළිම තමන්ගේ නමස්කාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් නොකළෝය. ඔවුන් කළේ තමන් වන්දනා කළ රූප වෙනුවට යේසුස්වහන්සේගේ ප්‍රතිමා ද මරියතුමියගේ මෙන්ම ශාන්තුවරයන්ගේ පිළිමද නමස්කාරය සඳහා යොදා ගැනීමය. රූප වන්දනාවේ පිළිකුල් දූෂිත මුහුන් මෙසේ සභාව තුළ නොකඩවාම ක්‍රියා කළේය. පදනම් විරහිත ධර්මතාවන්, මිත්‍යා ඇදහිලි ක්‍රම සහ රූප වන්දනීය මංගල්‍යයනුත් සභාවේ ඇදහිල්ලට සහ නමස්කාරයට එකතු විය. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් රූප වන්දනීය බැතිමතුන් සමග සන්ධානගතවීමත් සමගම ක්‍රිස්තියානි ආගම දූෂ්‍ය භාවයට පත් විය. ඒ අතර සභාව තමන්ගේ පාරිශුද්ධතාවයද, බලයද නැති කරගත්තීය. මෙම රැවටිලි මගින් මුළාවට පත් නොවූ අයද සිටියහ. ඔවුහු තවදුරටත් සත්‍යතාවයේ නිර්මාතෘවරයාණන්ට තම, පක්ෂග්‍රාහීකත්වය දක්වමින් උන්වහන්සේට පමණක් නමස්කාර කළෝය.GrHSin 31.1

    ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන්නා වූ බැතිමතුන් කණ්ඩායම් දෙකකි. මෙය මුල පටන්ම පැවත එන්නකි. එක් කණ්ඩායමක් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය අධ්‍යයනය කරති. ඔවුහු උන්නාන්සේගේ ජීවිත ආකෘතිය තම ජීවිත හා අනුකූලතාවක් ඇති කරගැනීම් වස් තමන්ගේ වැරදි සහ අඩු ලුහුඩුකම් නිවැරදි කර ගනිති. ඒ අතර අනෙක් කණ්ඩායම තමාගේ වැරදි පෙන්වා දෙන්නා වූ ප්‍රායෝගික සරල සත්‍යතාවයන් එපා කරති. සභාව ඉතා උපරිම ගුණාත්මකභාවයෙන් පැවති වකවානුවේදී පවා සභාවේ බැතිමතුන් සෑම අයෙක්ම සත්‍ය වූද, පාරිශුද්ධවූ ද අවංක වූ ද අය නොවූහ. දැන දැන පාපයෙහි ඇලී ගැලී ජීවත් වන්නාවූ අය සභාවට එකතු කරන්න එපා යැයි ගැලවුම්කාරයාණෝ ඉගැන්වූ සේක. එසේ වුවද, උන්වහන්සේ චරිත දුර්වලකම් තිබුණා වූ අය ඇසුරු කළ සේක. ඔවුන්ට උන්වහන්සේගේ ඉගැන්වීම් වල ප්‍රයෝජන සහ ආදර්ශය ලබා දුන්සේක. එමගින් උන්වහන්සේ බලාපොරොත්තු වුණේ ඔවුන්ට තම තමන්ගේ වරද දැක ගන්නට අවස්ථාවක් ලබාදී එම වරද හරිගස්වා ගැනීමට ඉඩ ප්‍රස්ථාවක් ලබාදීමය. යේසුස්වහන්සේගේ ගෝලයන් දොලොස් දෙනා අතර තම ස්වාමියාව පාවා දුන් ද්‍රෝහියෙක් ද විය. උන්වහන්සේ යූදස්ව පිළිගත්තේ ඔහුගේ චරිතය තුළ වැරදි දේ තිබුණු නිසාම නොවීය. එවැනි දේ තිබියදීත් උන්වහන්සේ ඔහුව ගෝලයන් අතරට බාරගත් සේක. තමන්වහන්සේගේ ගුරුහරුකම් සහ ආදර්ශය කරණකොටගෙන ක්‍රිස්තියානි චරිතයක ගුණාංග ඔහු ඉගෙන ගන්නවා ඇතැයි උන්වහන්සේ විශ්වාස කළ සේක. මෙමගින් ඔහුගේ වැරදි පෙනී යාමට සලස්වා ඔහුව පසුතැවීමට යොමුකර දිව්‍ය අනුග්‍රහයේ උපකාරයෙන් “සත්‍යතාවට කීකරු වීම තුලින්” ඔහුගේ ආත්මය පිරිසිදු කිරිම ක්‍රිස්තුස්වහන්සේගේ අභිප්‍රාය විය. එහෙත් යුදස් ඔහුට ලබා දුන් ආලෝකය තුළ ගමන් නොකළේය. හෙතෙම පාපය තුළ ජීවත් වෙමින්, තමා පරික්ෂා කිරීමට සාතන්ට ඉඩ සලසා දුන්නේය. ඔහු තුළ තිබූ නපුරෙහි චරිතාංග ඉස්මතුවිය. අඳුරේ බලවේගයනට ඔහුගේ මනස පාලනය කරන්නට ඔහු ඉඩ හැරියේය. වැරදි පෙන්වා දෙනු ලැබූ අවස්ථාවන්හිදී ඔහු කෝපයට පත් විය. අන්තිමේදී ඔහු තමාගේ ස්වාමියාණන්ව පාවාදීමේ භයානක ද්‍රෝහීකම කරන්නට යොමු විය. භක්තිමත් අය යැයි පවසමින් පාපිෂ්ට ක්‍රියාවන් ඇලුම් කරන්නාවූ සැවොම, තමන්ගේ වැරදි ක්‍රියා මාර්ගයන්හි වරද පෙන්වා දෙන විට, තමාගේ සමාදානයට බාධා කළා යැයි ඒ අයට ද්වේෂ කරති. තමාගේම යහපත සඳහා තම වරද ගැන තරවටු කළ අයට ඔවුහු දොස් පවරති. වඩා යෝග්‍ය අවස්ථාවක් උදා වූ කල්හි ඔවුහුද යුදස් කළාක් මෙන්, තරවටු කළ අයව පාවා දෙති.GrHSin 31.2

    රහසිගත ලෙස පාපය ඇලුම් කරමින් තමා දේව භක්තික සුදනන් යැයි පවසන්නා වූ අය සභාවේ සිටිනවා ගෝලයන්ට දැකගත හැකි විය. අනනියස් සහ සප්පිරා රැවටිලිකාර කොටසක් රඟ දැක්වූහ. දෙවියන්වහන්සේට සම්පූර්ණ පූජාවක් කරන බව පෙන්වීමට ඔවුහු ක්‍රියා කළෝය. එහෙත් ඔවුහු ලෝබකමින් යුතුව, විකිණීමේ මුදලින් කොටසක් තමන් වෙත තබා ගත්තෝය මෙම රැවටිලිකාරයන් ගේ නියම තත්ත්වය සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ප්‍රේරිතයන්ට එළිදරව් කළ සේක. සභාවේ පිරිසුදුතාවට සහ නිර්මලතාවට පිළිකුල් ලපයක් සනිටුහන් කළ මෙම ක්‍රියාවට දායක වූ අය දේව විනිශ්චයන් මගින් ලොවින් තුරන් කර දමන ලදී. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ මෙකී කරුණු විචාරීමේ ආත්මය සභාව තුළ සිටි වංචාකාරයන්ටත් නපුරු ක්‍රියා කරනවුන්ටත් මහත් භීතියක් ඇති කළේය. තමන්ගේ ක්‍රියා කලාපයෙන්ද එහි පුරුදු තුළින්ද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ නියෝජිතයන් යැයි පෙන්නුම් කළ අය සමග වංචාකාරයන්ට වැඩිකලක් සමගි සමාගම් පවත්වන්නට නොහැකි විය. උන්වහන්සේගේ අනුගාමිකයන් කරා දරුණු පරික්ෂා සහ පීඩා පැමිණි විට සත්‍ය වෙනුවෙන් සිය සම්පත් අතහැර දැමීමට කැමති වූ අය පමණක් ක්‍රිස්තු අනුගාමිකයන් වීමට ආශා කළහ. මෙලෙස හිංසා පීඩා, වධ වේදනා පැවති තාක් කල් සභාව සෑහෙන ප්‍රමාණයකට පාරිශුද්ධව සිටියාය. එම තත්ත්වය සිඳී ගිය කල්හි, වඩාත් අවංක නොවූ අය, දැහැමිතාවට වැඩි තැකීමක් නැති අය, සභාවට එක්වූහ. සභාව තුළ බලපෑමක් කිරීමට සාතන්ට අවකාශයක් උදා විය.GrHSin 32.1

    එහෙත්, ආලෝකයේ කුමාරයාණන් සහ අඳුරේ කුමාරයා අතර සබඳතාවයක් නැත්තේය. තවද, එම දෙපාර්ශ්වයේ අනුගාමිකයන් අතරද එකමුතුකමක් නොතිබිය හැකිය. මිත්‍යදෘෂ්ටික ඇදහිලි ක්‍රමවලින් නියම හැරීමක් නොමැති අය සමග එකතු වීමට කිතුණු බැතිමත්හු කැමැත්ත පළ කළ විට සත්‍යයෙන් ඈත්ව යන්නාවූ මඟකට ඔවුහු ඇතුළු වූවෝ ය. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් එතරම් විශාල සංඛ්‍යාවක් රැවටීමට හැකිවීම ගැන සාතන් මහත් ප්‍රීතියට පත් විය. ඉක්බිතිව මෙම අය මත තම බලය වඩාත් පූර්ණ ලෙස යෙදවීමට ඔහු ක්‍රියාත්මක විය. දෙවියන්වහන්සේට සත්‍යවාදීව සිටින්නා වූ අය මත පීඩා පැණවීමට ඔහු තම බලය යටතට පත්ව සිටියා වූ අය පෙළඹවීය. කලක් කිතුණු සභාවේ ආරක්ෂකයන් ව සිටි අයට තරමට වෙනත් අයට සත්‍ය වූ ක්‍රිස්තියානි ඇදහිල්ලට විරුද්ධ වීම ගැන මනා අවබෝධයක් තිබුණේ නැත. දහම හැර ගියාවූ මෙම අය අඩ හැරීමකට භාජනය වූ මිථ්‍යාදෘෂ්ටිකයන් හා එක්වෙමින් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මතාවයන්හි ඉතා වැදගත් මූල අංගවලට එරෙහිව තමන්ගේ සංග්‍රාමය එල්ල කළෝය.GrHSin 33.1

    සභාව තුළට මායාකාර රැවටිලි සහ අතිශයින් පිළිකුල් ක්‍රමවේදයන් ඇතුළු විය. ව්‍යාජ පෙනුමකින් සත්‍ය වසන් කර, සමහර අවස්ථාවන්හිදී පූජක ඇඳුමින් සඟවාගෙන, මෙම ව්‍යාජ ධර්මතා සභාවට හඳුන්වා දෙනු ලැබීය. මෙවන් ව්‍යාජ ක්‍රමයනට විරුද්ධව නැගී සිටීමේදී සත්‍යයට විශ්වාසවන්තව සිටි අයට මහත් පොර බැඳීමකට මුහුණ දීමට සිදුවිය. ඇදහිල්ලෙහි ප්‍රමිතිය ලෙස ශුද්ධවූ බයිබලය පිළිගනු ලැබුවේ නැත. ආගමික නිදහස යන දහම ආගම් විරෝධීත්වය ලෙස සලකන ලදී. එම දහමට ගරු කළ අයට ද්වේෂ කර ඔවුන්ව එපා කරන ලදී. ඔවුන්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන ලදී.GrHSin 33.2

    අසත්‍ය ඇදහිලි ක්‍රමවේදයන් සහ රූප වන්දනාව අත්හැර දැමීම සභාව තවදුරටත් ප්‍රතික්ෂේප කළොත්, වැඩි දිගු අරගලයකින් පසු ව වුව ද ඇදහිලිවන්ත සුළු කණ්ඩායම, දහමට පිටුපා ක්‍රියා කරන්නා වූ සභාව සමග තිබූ සිය සබඳතා අත්හැර දැමීමට තීරණය කළහ. තමා දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වෙනවා නම් වෙන් වීම අනිවාර්ය බව ඔවුන්ට පෙනී ගියේය.තමන්ගේ ආත්ම වලට මරණීය තර්ජන එල්ල කරන්නාවූ බොරු ඉගැන්වීම් තවත් ඉවසා දරා සිටීමට ඔවුහු කැමති නොවූහ. තමන්ගේ දරුවන්ගේද දරුවන්ගේ දරුවන්ගේද ඇදහිල්ල අන්තරායට පත්කිරීමට හේතුකාරක වන ආදර්ශයක් තැබීමට ඔවුහු කැමති නොවූහ. සාමය සහ එකමුතුකම රැකගැනීමට අවශ්‍ය වන්නාවූ කුමන ආකාර හෝ සහනයක් ලබාදීමට ඔවුන් තුළ සූදානමක් විය. එහෙත් දෙවියන්වහන්සේට වූ අචල භක්තියේ පක්ෂපාතී කම තුළ පමණකි. එහෙත් සාමය ලබාගැනීම සඳහා මූලධර්ම පාවාදීමට සිදුවනු ඇතැයි ඔවුන්ට හැඟුණි. එක්සත්කම ලබාගත හැක්කේ සත්‍ය සහ ධර්මිෂ්ඨකම පාවාදීමෙන් පමණක් නම් දෙපක්ෂය අතර වෙනස්කම් සහ යුද්ධ තිබුණාට කම් නැතැයි ඔවුහු තීරණය කළහ.GrHSin 33.3

    ස්ථිර බැතිමත්හු ක්‍රියාකාරී තත්වයට පත්කළ, එම ඇදහිල්ලේ ප්‍රතිපත්ති දෙවියන්වහන්සේගේ විශේෂිත වූ ජනතාවගේ හදවත් තුළ පුනර්ජීවනයක්, යළි පිබිදීමක් ඇති කරන්නේ නම් එය සභාවටත් ලෝකයටත් විශාල යහපතක් වනවා ඇත. කිතුණු ඇදහිල්ලෙහි ප්‍රධාන ධර්මතාවන් පිළිබඳව අද ඇත්තේ බිය උපදවන සුළු නොසැලකිල්ලකි, උදාසීනතාවකි. මෙම ධර්මතාවන් එතරම් වැදගත් නැතැයි යන කල්පිතයක් ව්‍යාප්ත වෙමින් පවතී. මේ පිරිහීම සාතන් ගේ නියෝජිතයින්ගේ අත් ශක්තිමත් කරයි. ව්‍යාජ මත හා මරණීය මායාවන් හේතුකොටගෙන ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් යයි කියාගන්නා වූ දහස් ගණන් අය අද ඒවා පිළිගැනීමට පත්වී ඇත.මෙම සිද්ධාන්ත සහ ව්‍යාජ මත වලට එරෙහිව පැරණි ඇදහිලිවන්තයන් නැගී සිටියේ තම ජීවිත පවා පරදුවට තබමින්ය.GrHSin 34.1

    පුරාණයේ විසූ කිතුණුවෝ ඇත්තෙන්ම පුදුමාකාර පිරිසක් වූහ. ඔවුන් තුළ වූ නිර්මල ජීවිත රටාවත්, හැසිරීමත්, නොසැලෙන ඇදහිල්ලත් පව් කරුවාගේ සමාදානයට බාධා කරන්නා වූ නිරන්තර වරද තැබීමක් විය. ධන සම්පත්, රාජ්‍යතාන්ත්‍රික නිලතල සහ ගෞරවනීය සම්මාන සතු නොවූ මෙම කිතුණුවන්ගේ සංඛ්‍යාව ස්වල්පයක් වුවද, ඔවුන්ගේ චරිත සොබාවත්, වුන් දැරූ ආගමික දහම් මාලාවත් යම් තැනක ප්‍රචලිත වීද ඒවා නපුර කරන්නන්ට බිය ඇති කළේය. දේව භය නො තිබූ කායින් තම සහෝදර ආබෙල්ට ද්වේෂ කළාක් මෙන් නපුරු අය සත් ගුණවත් දැහැමි ජීවිතයක් ගත කළ අයට ද්වේෂ කළෝය. කායින් විසින් ආබෙල්ව මරා දැමූ අයුරින්ම ශුද්ධාත්මයාණන්ගේ හික්මවීම සහ මැඩපැවැත්වීම නොරිස්සූ අය දේව ජනතාව මරා දැමූහ. ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතයෙහි ශුද්ධතාව යුදෙව්වන්ගේ ජීවිත තුළ දැකගන්නට තිබූ ආත්මාර්ථකාමීත්වයටත් දූෂිත භාවයටත් තරවටු කිරීමක් වූ නිසා ඔවුහු උන්වහන්සේව ප්‍රතික්ෂේප කර කුරුසිපත් කළෝය. ක්‍රිස්තුස්වහන්සේගේ කාලයේ පටන් අද දක්වාම උන්වහන්සේගේ ඇදහිලිවන්ත ගෝලයන්, පාපයේ ක්‍රියා මාර්ගයන් අනුගමනය කරන්නාවූ, එම ක්‍රමයට ප්‍රිය මනාපයක් දක්වන්නාවූ අය තුළ ද්වේෂයක් සහ විරුද්ධතාවක් පුබුදුවා ඇත.GrHSin 34.2

    එසේ නම් ශුභාරංචියට සාමදානයේ පණිවිඩය යැයි කිව හැක්කේ කෙසේද? මෙසියස්වහන්සේගේ උපත ගැන අනාවැකි ප්‍රකාශ කළ යෙසායා උන්වහන්සේට “සාමදානයේ කුමාරයාණෝය” යන තනතුරු නාමය යොදා තිබුණේය. ක්‍රිස්තුස්වහන්සේගේ උපත දේවදූතයන් විසින් එඬේරුන්ට සැලකළ අවස්ථාවේදී බෙත්ලෙහෙමේ තැනිතලා පෙදෙස් ඉහළින් දේව දූතයන්ගේ ප්‍රශස්ත ගී හඬ දෝංකාර විය. ඔවුන්ගේ ගී හඬ ප්‍රකාශ කළේ - “ඉතා උසස් තැන්හි දෙවියන්වහන්සේට මහිමය ද පොළවෙහි උන්වහන්සේට ප්‍රිය වූ මනුෂ්‍යයන් අතරෙහි සාමදානයද වේවා” යි කියාය. ( ලුක් 2:14) මෙම අනාවැකි ‍ප්‍රකාශන සහ ක්‍රිස්තුස්වහන්සේ වදාළ වදන් අතර පරස්පර විරෝධතාවක් දැකගත හැකි වේ. “පොළොවෙහි සමාදානය දෙන්නට මම ආවෙමියි නොසිතන්න. සමාදානය නොව කඩුවක් දෙන්නට ආවෙමි“යි( මතෙව් 10.34) ‍ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කළ සේක. යථාර්ථවාදී ව අවබෝධ කරගන්නේ නම් ප්‍රකාශන දෙක අතර ඇත්තේ සම්පූර්ණ එකඟතාවකි. ශුභාරංචි පණිවිඩය සාමයේ පණිවිඩයකි. මනුෂ්‍යයන් ක්‍රිස්තියානිය නැමැති විධිමත් ඇදහිලි පද්ධතිය පිළිගෙන එයට කීකරු වන්නේ නම් එයින් සාමය, ප්‍රීතිය, සුහදතාවය සහ එකමුතුකම ලෝපුරා ව්‍යාප්ත වනවා ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ ආගම පිළිගන්නා වූ සැවොම සහෝදරත්ව බැම්මකින් සමීප එකමුතුතාවයකට පත් කරනු ලබති. මිනිසුන්ව දෙවියන්වහන්සේ සමගත් එකිනෙකා සමඟත් සමගි කිරීම යේසුස්වහන්සේගේ මෙහෙය වේ. එහෙත් බහුතර ලෝක ජනතාව ක්‍රිස්තුස්වහන්සේගේ පරම සතුරා ගේ පාලනය යටතේ කල් ගෙවති. ජීවිතයේ ශුභවාදී ප්‍රතිපත්ති ශුභාරංචිය මගින් ඉදිරිපත් කෙරේ. එම ප්‍රතිපත්ති ඔවුන්ගේ පුරුදු වලට සහ ආශාවන්ට සම්පූර්ණයෙන්ම වෙනස්ය. එම නිසා ඔවුන් ශුභාරංචියට විරුද්ධව කැරැලි ගසමින් නැඟී සිටිති. ඔවුන්ගේ පාප එළිදරව් කරන්නාවූ හෙල දකින්නාවූ පවිත්‍රතාවයට ඔවුහු ද්වේශ කරති. ශුභාරංචියෙහි සාධාරණවූ ද, ශුද්ධ වූ ද අයිතිවාසිකම් පිළිගැනීමට ඔවුන්ව යොමු කරමින් ඔවුන් උනන්දු කරන විට ඔවුහු එවන් අයට එරෙහිව නැගී සිට ඔවුන්ට පීඩා කොට ඔවුන් විනාශ කර දමති. ශුභාරංචිය උත්කෘෂ්ඨ සත්‍යතාවයන් ගෙන හැර දක්වන නිසා එම පණිවිඩය සමහර අයගේ ද්වේෂයට සහ සමහර විටක සටනට පවා හේතු වේ. මෙම හේතුන් මත, ශුභාරංචිය කඩුවක් යයි නම් කර ඇත.GrHSin 35.1

    දුෂ්ටයන්ගේ අතින් ධර්මිෂ්ඨයන් පීඩාවට පත් කිරීමට අවසර දෙන අද්භූත දේව ක්‍රියාකාරීත්වය ඇදහිල්ලෙහි දුර්වල වූ බොහෝ අයට සැක උපදවන මහත් අවුලක් බවට පත්ව ඇත. අධම ගති ඇති සදාචාර සම්පන්න නොවූ පුද්ගලයෝ සමෘද්ධිමත් ජීවිත ගත කරති, සැප සම්පත් භුක්ති විඳිති. ඒ අතර ධර්මිෂ්ඨවූ ද, ඉතා යහපත් වූද බැතිමත්හු දුෂ්ටයන්ගේ කෘර ක්‍රියාකාරීත්වය නිසා හිංසා පීඩා විදිති, දුක් ගැහැටවලට මුහුණ දෙති. මෙම ගුප්ත ක්‍රියාදාමය නිසා සමහර අය දෙවියන්වහන්සේ කෙරෙහි තිබූ විශ්වාසය අතහැර දැමීමට පවා සූදානම්ව සිටිති. සාධාරණ වූද, කාරුණික වූද, එසේම සර්ව බලධාරී බලය ඇත්තා වූද තැනැන්වහන්සේ කෙනෙක් අසාධාරණ වූ ද, මෙවන් බලවත් වූද, හිංසා පීඩා පැමිණවීම් ඉවසා දරා සිටින්නේ කෙසේද? මෙම ප්‍රශ්නය පිළිබඳව අපට කළ හැකි දෙයක් ඇත්තේම නැත. තමන්වහන්සේගේ ප්‍රේමය ගැන දෙවියන්වහන්සේ ප්‍රමාණවත් සාක්ෂි අපට ලබා දී ඇත. ඒ අතර දේවාරක්ෂාව සහ දේව මගපෙන්වීම ක්‍රියාත්මක වන ආකාරය අපට තේරුම් ගත නොහැකිය. මේ නිසා උන්වහන්සේගේ යහපත්කම ගැන අපි අනුමාන නොකළ යුතු වෙමු. පරීක්ෂාවෙන් පිරි අඳුරු දවස්වලදී ගෝලයන්ගේ ජීවිතවල ඇතිවන සැකය කල්තියා දුටු ගැලවුම්කරුවාණෝ ඔවුන්ට මෙසේ පැවසූ සේක “දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේ යැයි නුඹලාට මා කී වචනය සිහි කරන්න. ඔවුහු මට පීඩා කළෝ නම් නුඹලාටත් පීඩා කරන්නෝ ය” ( යොහන්15.20) දුෂ්ඨ මිනිසුන්ගේ කුරිරුකම් කරණකොටගෙන යේසුස්වහන්සේගේ අනුගාමිකයන් අතරෙන් සමහර අයට පමුණුවනු ලබන්නාවූ දුක් පීඩාවලට වඩා වැඩි පරිමාණයේ දුක් යේසුස්වහන්සේ අප උදෙසා වින්ද සේක. වද හිංසා පීඩා විඳීම සහ ඇදහිල්ල උදෙසා දිවි පිදීම උදෙසා කැඳවනු ලැබූ අය කරන්නේ දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් ගිය මාර්ගයෙහි ගමන් කිරීමය.GrHSin 36.1

    “ස්වාමීන්වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාදව නොවන සේක.“(2 පේතෘස් 3.9) උන්වහන්සේ තම දරුවන් අමතක නොකරන සේක, නොසලකා පැහැර නොහරින සේක. දුෂ්ටයන්ට ඔවුන්ගේ නියම චරිතය එළිදරව් කරන්නට උන්වහන්සේ අවසර දෙන සේක. එමගින් උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ තමන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට ආශාවක් දක්වන්නාවූ කවරෙක් හෝ දුෂ්ටයන් පිළිබඳව මුළාවට නොපැමිණීමය. ධර්මිෂ්ඨයන් පවිත්‍ර කරන පිණිස වධ බන්ධන නැමැති ගිනි උඳුනට ඔවුන්ව යොමු කරනු ලැබේ. ඔවුන්ගේ ආදර්ශය මගින් ඇදහිල්ලේ සහ භක්තිවන්තකමේ යථාර්ථය අනෙකුත් අය ඒත්තු ගත යුතුය. තවද, ඔවුන්ගේ අවංකවූ නොසැලී සිටීමේ ක්‍රියාමාර්ගය කරණකොටගෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස නොකරන්නා වූ අය සහ අධර්මිෂ්ඨයන්ව වරදකරුවන් බවට පත් කරනු ලැබේ.GrHSin 36.2

    දෙවියන්වහන්සේ දුෂ්ටයන්ට දියුණු වී සඵලත්වයට පත්වී උන්වහන්සේ කෙරෙහි ඔවුන් තුළ ඇති සතුරුකම හෙළිදරව් කිරීමට ඔවුන්ට අවසර දෙන සේක. මෙමගින් ඔවුන්ගේ අපරාධකමෙහි කුසලාන සම්පූර්ණ වී පිරී ඉතිරී යන විට ඔවුන්ගේ සම්පූර්ණ විනාශයේදී දෙවියන්වහන්සේගේ සාධාරණය සහ කරුණාවත් සැමට දර්ශනය වන්නේය. දේව උදහසෙහි පලිගැනීමේ දවස කඩිනමින් පැමිණේ. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ සහ උන්වහන්සේගේ සෙනඟට වද හිංසා කළ සැවොම තම තමාගේ ක්‍රියා අනුව සාධාරණ වන්දි ගෙවීමක්(දඬුවමක්) ලැබීමට නියමිතය. දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත සෙනඟට කළ සෑම ආකාර කුරිරුකමක් උදෙසා ද සෑම අසාධාරණ ක්‍රියාවක් උදෙසාද වරදකරුවන් වන්නාවූ සැමට දඬුවම් පමණුවනු ලබනවා ඇත. එකී සතුරු ක්‍රියාදාමයන් සලකනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධව කළ කුරිරු කම් ලෙසය!GrHSin 37.1

    වත්මන් සභාවන්ගේ අවධානයට යොමු විය යුතු වඩා වැදගත් ප්‍රශ්නයක් ද ඇත. “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්ත ලෙස ජීවත් වන්නට කැමැති සියල්ලෝ ම පීඩා විඳින්නෝ,” යි (2 තිමෝති 3.12) පාවුල්තුමා ප්‍රකාශකර ඇත. එසේ නම් දේව දරුවන්ට හිංසා පීඩා කිරීම් ඇල්මැරුණු විලාශයක් දරන්නේ ඇයි? මෙයට දිය හැකි එකම හේතුව ලෙස දැක්විය හැක්කේ වත්මන් සභාව ලෝකයේ ප්‍රමිති සහ ප්‍රතිපත්ති සමග අත්වැල් බැඳ සිටින බැවින් විරුද්ධවාදිකම් පැන නගින්නේ නැති බවය. ක්‍රිස්තුස්වහන්සේගේ සහ අපෝස්තුළුවරුන්ගේ දවස්වල තිබූ කිතුණු ඇදහිල්ල පිරිසිදු එකක් විය, ශුද්ධ එකක් විය. එහෙත් අද පවතින ක්‍රිස්තියානි ඇදහිල්ල තුළ එම ගුණාංග දැක ගැනීමට හැකි වන්නේ ඉතා අල්ප වශයෙන්ය. අද ඇත්තේ පාපය සහ එකඟතාවයෙන් කටයුතු කිරීමකි. මෙම ප්‍රතිපත්තිය කරණකොටගෙන දේව වචනයේ අඩංගු වැදගත් සත්‍යතාවන් උදාසීන ලෙසින් සැලකීමට භාජනය වී ඇත. සභාව තුළ ජීවමාන දේව භක්තියත්, දේව ගරුත්වයත් ඇත්තේ මඳ වශයෙන්ය. කිතු දහම අද ලෝකයේ ජනප්‍රියව ඇත. මුල් කාලීන සභාවේ තිබූ ඇදහිල්ල සහ බලය පිළිබඳව පිබිදීමක් සභාව තුළ වේවා; එවිට හිංසා පීඩාවේ ගිනි දැල් හිස ඔසවනවා ඇත. පීඩා කිරීමේ ගින්නද නැවත දැල්වෙනවා ඇත.GrHSin 37.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents