Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    21 - අනතුරු ඇඟවීමක් ප්‍රතික්ෂේප කෙරේ

    දෙවන ඊම පිළිබඳ දහම දේශනා කිරීමේදී විලියම් මිලර් සහ ඔහුගේ සහයක සේවකයන් ක්‍රියා කළේ විනිශ්චය සඳහා මිනිසුන් සූදානම් කිරීමේ ඒකායන අරමුණකින් යුතුවය. සභාවෙහි සත්‍ය වූ බලාපොරොත්තුවත්, ඒ සඳහා ගැඹුරු ක්‍රිස්තියානි අත්දැකීමක අවශ්‍යතාවත් උදෙසා ආගම අදහනවා යයි කියූ ජනතාවක් පුබුදුවා ලීමට දේව සේවකයෝ වෑයම් කළෝය. සභාව තුළ හැරීමකට භාජන නොවූ අයව කඩිනම් පසුතැවීමකට පොළඹවා දෙවියන්වහන්සේ වෙතට ඔවුන්ව යොමු කරන්ට ක්‍රියා කිරීමට දේව සේවකයෝ උනන්දුවක් දැක්වූහ. යම්කිසි ආගමික නිකායකට හෝ කණ්ඩායමකට හෝ ඔවුන්ව හැරවීම ඔවුන්ගේ උත්සාහය නොවීය. එහෙයින් ඔව්හු සෑම ආකාර ලබ්ධීන්ට සහ නිකායන්වලට අයත් වූවන් අතර සේවය කළෝය. සේවය ලැබූ අයගේ සංවිධානයට හෝ ශික්ෂණයනට කිසිම ආකාරයකින් මැදිහත් වීමට ඔවුන් තුළ ආශාවක් නොවී ය.”GrHSin 429.1

    විලියම් මිලර්ගේ හද බැඳි චින්තනය මෙසේ ප්‍රකාශ කෙරේ.” පවතින්නාවූ සභාවන්ගෙන් බාහිරව වෙනත් සංවිධානයක් නිර්මාණය කිරීම හෝ එක සංවිධානයකට හානි සිදු කරමින් වෙනත් සංවිධානයකට ප්‍රයෝජනවත් වන අයුරින් ක්‍රියා කිරීම කිසි විටෙක මාගේ ආශාව නොවීය. සියල්ලන්ට ආශිර්වාදයක් වීම මාගේ අදහස විය. ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ගැන දැනගැන්ම සෑම අයකුගේම ඉමහත් සතුටට හේතු වේ යයි මම කල්පනා කළෙමි. මාගේ චින්තනයට අනුකූලව යථාර්ථය දැකීමට නොහැකිවූ අය, දහම වැළඳ ගන්නාවූ අයට අඩුවෙන් ආදරේ කිරීමට යෙදෙනවා ඇතැයි මම කල්පනා නොකෙළෙමි. එහෙයින් එක් එක් කොටසට වෙනම රැස්වීම් තැබීම අවශ්‍ය වන බවක් මට පෙනුනේ නැත. මාගේ පරමාර්ථය වූයේ ආත්ම දෙවියන්වහන්සේ වෙතට හැරවීමය. පැමිණෙන්නාවූ විනිශ්චයන් ගැන ලෝකයට දැනුම් දීමය. තවද මාගේ සහෝදර ජනතාවට සමාදානයෙන් යුතුව දෙවියන්වහන්සේව හමුවීම සඳහා හදවත් සූදානම් කර ගැනීමට උදව් වීම මාගේ ආශාව විය. මාගේ සේවය කිරීම යටතේ සංවර්ධනය වූ බොහෝ අය පවතින්නාවූ සභාවන් හා එක් වූහ.” (Bliss, Meirs of Wm, Miller” p.328)GrHSin 429.2

    ඔහුගේ වෑයම නිසා සභාවන් හි සාමාජිකත්වය වර්ධනය වන්නට විය. කලක් එයට සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණි. එහෙත් දේවගැතිවරුන් සහ ආගමික නායකයන් දෙවන පැමිණීමේ දහමට එරෙහිව තීරණයක් ගැනීම නිසාද එම විෂය පිළිබඳ සියලු ආකාර පිබිදීම් යටපත් කර දැමීමට කැමති වූ නිසාද දෙවන ඊම උගන්වන්නා වූ රැස්වීම්වලට සහභාගි වීමට සාමාජිකයන්ට තහංචි පැනවිණි. දේවස්ථානයේ කිසිම රැස්වීමකදී හෝ තමන්ගේ බලාපොරොත්තුව පිළිබඳව කථා කිරීම පවා ඔවුන්ට තහනම් විය. එහෙයින් බැතිමතුන්ට ව්‍යාකූල ගැටලු වලට මුහුණදීමට සිදුවිය. ඔවුහු තම සභාවන්ට ආදරය කළෝය; ඒවායින් ඉවත්වීමට ද කැමති නොවූවෝය. එහෙත් දේව වචනයෙහි සාක්ෂිය යටපත් කර දමනු ලැබ දිවැසි වැකි සෝදිසි කර බැලීමේ අයිතිය ඔවුන්ට තහනම් වූ විට සභාවේ ඉල්ලීම්වලට අවතන වීම දෙවියන්වහන්සේට වූ පක්ෂපාතිකම ප්‍රතික්ෂේප කිරීමක් බව ඔවුන්ට හැඟී ගියේය. දේව වචනයේ සාක්ෂි මැඩ පැවැත්වීමට ක්‍රියා කරන්නාවු අය ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සමාජිකත්වය දැරීමට සුදුසු අය නොවන බව ඔවුන්ගේ කල්පිතය විය. ක්‍රිස්තුස්වහන්සේගේ සභාව වනාහි ” සත්‍යයේ අත්තිවාරම සහ කුළුණ” විය. එහෙයින් සභාවන් සමග තමාට තිබුණාවූ සම්බන්ධකම් අත්හැරදැමීම යුක්ති සහගත යයි ඔවුහු කල්පනා කළහ. 1844 ගිම්හාන කාලයේදී සාමාජිකයන් පනස් දහසක් පමණ තමන් සිටි සභාවන්ගෙන් ඉවත් වූහ.GrHSin 429.3

    මෙම වකවානුවේදී අමෙරිකා එක්සත් ජනපදයේ තිබූ කිතුණු සභාවන් හි කැපී පෙනෙන වෙනසක් දැකගත හැකි විය. බැතිමතුන් ලෞකික ක්‍රියාවේදයන්ට අනුකූලතාව දක්වමින් ආත්මික ජීවිතයෙන් අඩු බවට පත්වීමක් පැවතුණි. මේ තත්ත්වය වසර ගණනාවක් පුරා සිදුවෙමින් පැවතියේය. ඒ අතර වසර 1844 දී කැපී පෙනෙන්නාවූ පරිහානියක් සහ පසුබෑමක් සෑම සභාවක් තුළ ම විද්‍යාමාන විය. මෙයට හේතුව කුමක් දැයි පැවසීමට කිසිවෙක් හෝ සමත් නොවීය. නුමුත් මේ තත්ත්වය පිළිබඳව පුවත්පතින් සහ දේශනා කූඩුවෙන් ප්‍රමාණවත් ලෙස පැහැදිලි කිරීම් වලින් නම් අඩුවක් නොවීය.GrHSin 430.1

    පිලඩෙල්පියාවෙහි පැවැති පාලක සභා වැඩිමහල්ලන්ගේ රැස්වීමකදී එකල බහුලව පරිහරණය කරනු ලැබු බයිබල් අටුවාවක කතුවරයාද එම නගරයෙහි ප්‍රමුඛ ස්ථානයක් දැරූ දේවස්ථානයක දේවගැතිවරයාද වූ බාර්න්ස් මහතා මෙවන් ප්‍රකාශයක් කළේය. තමා වසර විස්සක් දේවගැතිවරයකු ලෙස සේවය කර ඇති බවත් සත්කර්ම මෙහෙය පවත්වනු ලැබූ සෑම අවස්ථාවකදීම අළුත් සාමාජිකයින් සභාවට බදවා ගනු ලැබු බවත් ඔහු පැවසීය. එහෙත් පසුගිය වතාවේදී කිසිම අළුත් සාමාජිකයෙකු බඳවා ගැනීමක් සිදු නොවීය. එය ඔහුගේ විමතියට හේතු විය. ඒ දවස් වලදී කිසිම ආකාරයක ආත්ම පිබිදීම්ද වාර්තා නොවීය. මිනිසුන් ආගමට හැරීමක් සිදු නොවීය. තමන්ගේ ගැළවීම උදෙසා කරුණු දැනගැනීමට කිසිවෙක් හෝ ඔහුගේ බයිබල් පංති වලට පැමිණියේ නැත. ලෞකික ව්‍යාපාරයන්හි දියුණුවක් සිදු විය, වෙළහෙළදාම් සහ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රගතියක් පෙන්නුම් කළේය. අනාගතය දීප්තිමත් යයි සියල්ලක්ම හඬ ගා පැවසීය. ලෞකික දේවල් පිළිබඳව ආශාවෙහි මානසිකත්වය ඉතා ඉහළ මට්ටමක පැවතියේය. සෑම නිකායකම තත්ත්වය මේ ආකාරම විය.” (Congregational Journal, May 23, 1844).GrHSin 430.2

    එම වසරේම පෙබරවාරි මාසයේදී ඔබර්ලින් විද්‍යාලයේ සිටි ෆිනී නමැති මහාචාර්යවරයා මෙසේ පැවසීය. “මෙම යුගයේ සියලු ආකාර සදාචාර ප්‍රතිසංස්කරණයන්ට අපගේ රටේ ප්‍රොතෙස්තන්ත සභාවන් දක්වන්නේ උදාසීන වූ ද, විරෝධී වූද ආකල්පයක් බව අපට පෙනෙයි. වෙනස් වූ ආකල්ප දරන්නා වූ ස්වල්ප කොටසක් නැත්තේ ද නොවේ. පොදුවේ පවතින තත්වය මේ යැයි පවසා සිටීමට මේ ස්වල්ප කොටස ප්‍රමාණවත් නොවේ. තවත් තහවුරු කළ යුතු කරුණක්ද ඇත. කිසිම සභාවක ආත්මික පිබිදීමකට බලපෑමක් නැති බව තර්ක විරහිතව පැවසිය හැකිය. ආත්මික උදාසීන තාවය සෑම තැනකම පවතී. එය ඉතා භයානක ගැඹුරු කමක් පෙන්නුම් කරයි. ආගමික මුද්‍රිත මාධ්‍ය මේ ගැන සාක්ෂි දරයි. සභා සාමාජිකයෝ විලාසිතා ලෝකයේ ප්‍රබල අනුගාමිකයන් බවට පත්වෙමින් සිටිති. ඔවුන් අන්‍ය ආගමිකයන් සමග අත්වැල් බැඳගෙන සැප සෙල්ලම්හි යෙදෙමින් ප්‍රිය සම්භාෂණයන්ටද බාල් නැටුම්වලටද මංගල උත්සවයට ද සහභාගි වෙති. මෙම වේදනාකාරි විෂය පිළිබඳව දිගින් දිගටම කතා කිරීම තවත් යෝග්‍ය නොවේ. ලැබෙන්නාවූ සාක්ෂි පවසන්නේ සෑම සභාවක්ම පාහේ දුක්මුසු ලෙසින් පිරිහෙමින් පවතින බවය. ඔවුහු ස්වාමීන්වහන්සේගෙන් බොහෝ ඈතට ගොස් සිටිති. උන්වහන්සේ ද ඔවුන්ගෙන් ඉවත්ව සිටින සේක.” GrHSin 431.1

    ආගමික දුරදක්නය නමැති සඟරාවේ ලේඛකයෙක් මෙසේ සාක්ෂි දරා ඇත. ” වර්තමාන කාලයේ දී පවතින අන්දමින් ආගමික පසුබෑමක් ගැන අපට මීට පෙර අසන්නට පවා ලැබුනේ නැත. ඇත්ත වශයෙන්ම සභා තුමා අවදි වී මෙම විපත්තියට හේතු කාරණා මොනවාදැයි සොයා බැලිය යුතුය. සියොන්ට ආදරය කරන්නා වූ සෑම අයෙක්ම මේ ගැන විමසිලිමත් වීම වැදගත්ය. සත්‍යවාදීව සභාව වෙත හැරෙන්නා වූ අයගේ සංඛ්‍යාව ඉතා සුළු ප්‍රමාණයක් බවත් එය සිදුවන්නේ විශාල කාල පරාසයක් තුළ බවත් අපගේ චින්තනයට ඇතුළු වේ. එයට සමගාමීව පව්කරුවන්ගේ නොහික්මුණු ජීවිත රටාවන් ඔවුන්ගේ දඩබ්බරතාවන් දකින විට අපගේ මුවින් ඉබේටම පිටවන්නා වූ වචන නම් ” කරුණා අනුග්‍රහය දැක්වීමට දෙවියන් වහන්සේට අමතකව ගොස් තිබේද? උන්වහන්සේගේ මෙමත්‍රී කරුණා වේ දොරටුව වැසීගොස් තිබේ ද? යන්නය.(Congregational Journal, May 23, 1844).GrHSin 431.2

    එවන් තත්ත්වයක් සභාව තුළ නිර්මාණය වීමට සභාව තුළ ම හේතුවක් තිබීම අනිවාර්යය. ජාතීන්, සභාවන් හෝ පුද්ගලයන් මත ආත්මික අඳුර පතිත වීමට හේතුව දෙවියන් වහන්සේගේ පාර්ශ්වයෙන් දිව්‍ය කරුණා අනුග්‍රහය ඉවත් කර ගැනීම නොව, මිනිසාට දානය කළ දිව්‍ය ආලෝකය ඔහු විසින් එපාකිරීම හෝ නොසලකා හැරීම නිසා උද්ගත වන ප්‍රතිඵලයයි. ක්‍රිස්තුස්වහන්සේ මෙලොව දිවි ගෙවූ සමයෙහි යුදෙව් ජනතාවගේ ඉරණමට හේතු කාරකවූ සිද්ධීන් මගින් මෙම කාරණාව ඉතිහාසයෙන් දර්ශනය කළ හැකිය. ලෝකය අනුගමනය කිරීමත් දෙවියන්වහන්සේව සහ උන්වහන්සේගේ ශ්‍රී වචනය අමතක කර දැමීමත් නිසා ඔවුන්ගේ විචක්ෂණ ශක්තිය හීන වී තිබුණි. ඔවුන්ගේ අවබෝධ කරගැනීමේ හැකියාවද අඳුරු විය. ඔවුන්ගේ හදවත් ලෞකිකත්වයට බරවී කාමුක ආශාවන් ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණේය. මෙසේ ඔව්හු මෙසියස්වහන්සේගේ පැමිණීම පිළිබඳව දැනුමක් නැතිව සිටියෝ ය. අභිමානයෙන් උදම්ව අවිශ්වාසයට යොමුව සිටි ඔවුහු ගැලවුම්කාරයා නම් මෙලොව වැඩි අවස්ථාවේදී උන්වහන්සේව ප්‍රතික්ෂේප කළෝය. ඒ අවස්ථාවේදි වුවද, දෙවියන්වහන්සේ යුදෙව් ජාතිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප නොකළ සේක. ගැලවීමෙහි ආශිර්වාද පිළිබඳව දැනුම ලබා ගැනීමටත්, ආශිර්වාද ලබාගැනීමටත් වූ මාර්ගය එම ජාතියට තවදුරටත් විවෘත කර තැබීමට උන්වහන්සේ පසුබට නොවූ සේක. එහෙත් සත්‍යතාව එපා කළ පුද්ගලයන්ට සගයේ තිළිණය ගැන තිබූ සෑම ආශාවක් ම නැති වී ගියේය. ඔවුහු ” එළිය වෙනුවට අඳුරත්, අඳුර වෙනුවට එළියත්” පිළිගෙන තිබුණි. අන්තිමේදී ඔවුන් තුළ තිබූ එළිය අඳුර බවට පත්විය. ඒ අඳුර කෙතරම් භයානකද !GrHSin 431.3

    මනුෂ්‍යයන් ආගමික චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් නාමික ලෙස පවත්වන අතර ඔවුන් තුළ ජීවමාන, භක්තිමත්, ධාර්මික ජීවිත රටාවක ආත්මයක් නැති වීම සාතන්ගේ ක්‍රමවේදයට සමීපය. යුදෙව්වෝ ශුභාරංචිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවද තමන්ගේ පුරාණ ආගමික වත්පිළිවෙත් මහත් ජ්වලිතයකින් පවත්වා ගෙන ගිය නමුත්, අනෙකුත් අයගෙන් වෙන් වූ ජාතික අනන්‍යතාවත් රැකගත් නමුත්, දෙවියන්වහන්සේගේ අභිමුඛය තවදුරටත් තමන් සමග පවතින්නේ නැති බව ඔවුහු දැන සිටියෝය. කිසිම අවිනිශ්චිත තාවයකින් තොරව, මෙසියස්වහන්සේගේ පැමිණීමේ දවස දානියෙල් දිවැසිවරයා විසින් පවසා තිබුණේය. උන්වහන්සේගේ මරණය ගැනද සෘජුව ප්‍රකාශ කර තිබුණේය. ඒ පිළිබඳ ඉගෙන ගැනීමට යුදෙව්වන්ට කිසිම දිරිගැන්වීමක් විවෘත වී නොතිබිණ. යේසුස්වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ වූ සිද්ධීන් අලළා දින වකවානු ගණන් බැලීමට යමෙක් වෑයම් කළහොත් ඔවුන් මත ශාපයක් ප්‍රකාශ කිරීමට යුදෙව් පූජකයෝ තීරණයක පිහිටා සිටියෝය. ශුභාරංචි ආශිර්වාද සමඟ ගැලවීමේ කරුණාබර දීමනාව ගැන වසර එක්දහස් අටසියයක් පුරා යුදෙව්වරු කිසි තැකීමක් නොකළහ. අන්ධකාරයෙහි ජීවත්වෙමින් පසුතැවිලි වීමෙහි ඡායා මාත්‍රයකුදු නැතිව ඊශ්‍රායෙල් ජනතාව ශුභාරංචියෙහි ආශිර්වාද ගැන කිසිම හැඟීමක් නොවූ ජීවමාන රිද්මයක් අනුකරණය කරමින් කල් ගෙවූ නිසා ඔවුන්ට අත්වූ සෝචනීය ඉරණම වත්මන් බැතිමතුන්ටද අනතුරු අඟවයි.GrHSin 432.1

    සත්‍යතාව ප්‍රතික්ෂේප කිරීමක් යම් තැනක සිදුවේද එහි ප්‍රතිඵලද එයාකාරම වන්නේ ය. තමන්ගේ සිතැඟියාවන් සපුරා ගැනීමට වෑයම් කිරීමේදී සිය හෘදය සාක්ෂිය එයට විරුද්ධව හඬක් නගන විට සමහරෙක් එම හඬ උවමනාවෙන්ම මැඩ පවත්වා කටයුතු කරති. එවන් පුද්ගලයකුට නම් කාලයාගේ ඇවෑමෙන් සත්‍යතාව සහ වරද අතර වෙනස තෝරා බේරා ගැනීමක් කිරීමට ඇති හැකියාව නැතිව යන්නේය. එවන් අයෙකුගේ වටහා ගැනීම අඳුරු වන්නේය. හෘදය සාක්ෂිය අනුකම්පා රහිත වන්නේය. හදවත දැඩි වන්නේය. අන්තිමේදී ආත්මය දෙවියන්වහන්සේගෙන් වෙන් කරනු ලබන්නේය. දිව්‍ය සත්‍යතාවේ පණිවිඩය සුළු ලෙස ප්‍රතික්ෂේප කෙරේ නම් සභාව අන්ධකාරයෙන් වසා ගනු ලබනවා ඇත. ඇදහිල්ල සහ ප්‍රේමය ශීතලව යනවා ඇත. සභා සාමාජිකයෝ තම අවධානය සහ ශක්තිය ලෞකික ව්‍යාපාර සහ විනෝදාස්වාදයන් දෙසට යොමු කෙරෙති. ඒ අතර පව්කාරයෝ පසුතැවිලි වීම නොසලකා හැර පාපයෙහිම ගිලී විනාශය කරා යොමු වෙති.GrHSin 433.1

    එළිදරව් 14 හි පළමු දේව දූතයාගේ පණිවිඩය දෙවියන්වහන්සේගේ විනිශ්චයේ පැය පිළිබඳව නිවේදනයක් නිකුත් කරයි. උන්වහන්සේට භය වී නමස්කාර කරන්නැයි එම නිවේදනය ඉල්ලා සිටී. එම පණිවිඩයෙහි අරමුණ වන්නේ දෙවියන්වහන්සේගේ සෙනග ලෝකයේ දූෂණයන්ගෙන් ඉවත් කර ගැනීමය, ඔවුන් තුළ පවත්නා ලෞකිකත්වයේ බලපෑමෙන් ඉවත්ව ක්‍රියා කිරීමේ සත්‍යවාදී යථාර්ථය පෙන්නුම් කරදීමය. මෙම පණිවිඩය මගින් දෙවියන්වහන්සේ සභාවට අවවාදාත්මක අනතුරු ඇඟවීමක් නිවේදනය කළ සේක. එම පණිවිඩය සභාව විසින් පිළිගන්නා ලද්දේ නම්, දෙවියන්වහන්සේගෙන් ඇයව වෙන් කරනු ලැබූ දුෂ්ටවූ ද, අයහපත්වූ ද තත්වයෙන් ඇයව මුදවා ශුභ ඵලදායි තත්වයකට ඇයව ගෙන එනු ලබනවා ඇත. සභා සාමාජිකයෝ සගයෙන් එවනු ලැබූ පණිවිඩය පිළිගත්තෝ නම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි තම හදවත් යටහත් පහත් තත්ත්වයකට පත්කරගනිමින් උන්වහන්සේගේ අභිමුඛය ඉදිරියෙහි පෙනී සිටීම සඳහා අවංක වූ සූදානම් වීමක් කළෝ නම්, ඔවුන් අතරෙහි ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහ දෙවියන්වහන්සේගේ බලය ද දැක ගැනීමට හැකි වනවා ඇත. එසේ වූයේ නම්, අපොස්තුළුවරයන්ගේ දවස්වලදී සභාව තිබූ තත්ත්වයට, පණිවුඩය ලැබූ සභාවද පත්වනවා ඇත. එම ආශිර්වාද තත්ත්වය යටතේ එක්සත්කම, ඇදහිල්ල සහ ප්‍රේමය රජ කරනවා ඇත. එකල සභාවෙහි සිටි, ” අදහාගත් සමූහයා එක සිතකින් හා එක ආත්මයකින් යුක්ත වූහ.” දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කතා කළෝය.” “ස්වාමීන්වහන්සේ වනාහි ගැළවෙන්නාවූ අය දවස්පතා ඔවුන්ට එක් කළසේක.” (ක්‍රියා 4:32,31;2:47).GrHSin 433.2

    දෙවියන්වහන්සේගේ වචනය තුළින් විකාශනය වන්නාවූ ආලෝකය දෙවියන්වහන්සේ කෙරෙහි අදහන්නාවූ ජනතාව පිළිගනිත් නම්, ක්‍රිස්තුස්වහන්සේගේ යාඥාව තුළින් ඉල්ලා සිටි එක්සත්කම සභාව විසින් භුක්ති විඳිනවා නියතය. අපෝස්තුළුවරයා එම බැඳීම විස්තර කරන්නේ “සමාදානයේ බැම්මෙන් ආත්මයාණන්ගේ එකමුතුකම” පවත්වා ගැනීම හැටියටය. ඔහු තවදුරටත් මෙසේ පවසයි: “ඇත්තේ එක ශරීරයත් එක ආත්මයාණන්වහන්සේත් එක ස්වාමීන්වහන්සේත් එක ඇදහිල්ලත් එක බව්තීස්මයත්…… සියල්ලන්ට එකම පිය වූ දෙවියන්වහන්සේත්ය.” (එපීස 4:3-5).GrHSin 434.1

    නැවත පැමිණීමේ පණිවිඩය පිළිගත්තාවූ අයගේ අත්දැකීම වූයේද එවන් ආශිර්වාදලත් ප්‍රතිඵලයන්ය. මොවුහු තමන් සිටි විවිධ නිකායන් අතහැර දමා ක්‍රිස්තුස්වහන්සේගේ දෙවෙනි ඊමට සහභාගී වීමට පැමිණියහ. ඔවුන්ගේ නිකායන් මගින් පනවා තිබූ බාධක ඔවුහු පොළවට විසි කළෝය; මත ගැටුම් වලට ලක්වූ ඇදහිලි ප්‍රකාශන ඉවත් කළෝය. මෙලොව පැවතීමට යන්නාවූ සහස්‍ර වර්ෂ කාලය වැනි ශුද්ධ ලියවිලි මත පදනම් නොවූ දහමේ ඉගැන්වීම් ඔවුහු අතහැර දැමූවෝය, ප්‍රතික්ෂේප කළෝය. දෙවැනි පැමිණීම පිළිබඳව වූ සාවද්‍ය මත ඔවුහු නිවැරදි කර ගත්තෝය. ලෝකයේ ක්‍රියාදාමයන් සමග අනුගත වීම සහ අහංකාරකම ඔවුහු අතහැර දැමූවෝය. කළ වැරදි ක්‍රියාවන් නිවැරදි කරගනු ලැබීය. ඉතා සුමිහිරි සහභාගීකමකින් ඔවුන්ගේ හදවත් වෙලී තිබුණේය. ප්‍රේමය සහ ප්‍රීතිය ඔවුන්ගේ සිත් තුළ රජ කරන්නට විය. මෙම දහම් පණිවිඩය පිළිගත් ස්වල්ප දෙනාට එවන් අත්දැකීමක් ලබා ගන්නට හැකියාවක් ලැබුණේ නම්, එම පණිවිඩය පිළිගත් සියලු දෙනාටමත් එවන් ආසිරි අත්පත් කර ගත හැකිවනවා නියතය.GrHSin 434.2

    එසේ වුවද, සෑම සභාවක්ම පොදුවේ එම අනතුරු ඇඟවීමේ පණිවිඩය පිළිගත්තේ නැත. ” ඊශ්‍රායෙල්වරුන්ගේ ගෘහයෙහි මුරකරුවන් ලෙසට” පත් කරනු ලැබ සිටි දේවගැතිවරුන් අනෙකුත් අයට වඩා ඉක්මණින් යේසුස්වහන්සේගේ පැමිණීමෙහි නිමිති තේරුම් ගත යුතුව තිබුණි. ඔවුහු සත්‍යතාව ඉගෙනීමට අසමත් වූහ. තත්ත්වය අවබෝධ කර ගැනීම සඳහා ඔවුන්ට දිවැසිවරුන්ගේ සාක්ෂි තිබුණේය, කාලයාගේ ලකුණු තිබුණේය. එහෙත් ඔවුන්ගේ හදවත් පිරී තිබුණේ ලෞකික බලාපොරොත්තු සහ බලය හිමිකර ගැනීමේ ආශාවන්ගෙන්ය. එම නිසාම දෙවියන්වහන්සේ කෙරෙහි ආදරයත්, උන්වහන්සේගේ වචනය කෙරෙහි ඇදහිල්ල ඔවුන් තුළ සීතලවී තිබුණේය. ඒ අවස්ථාවේදී ක්‍රිස්තුස්වහන්සේගේ ඉක්මනින් පැමිණීමේ දහම් පණිවිඩය ප්‍රකාශ කරනු ලැබූ විට එයට ඔවුන්ගේ විරුද්ධතාවකුත් එම පණිවිඩය ගැන අවිශ්වාසයකුත් ඇතිවිය. මෙම දහම් පණිවිඩය විශාල වශයෙන් දේශනා කළේ ගිහි සාමාජිකයෝය. එම නිසාම එයට විරුද්ධ වීමට එම කරුණත් සාධකයක් විය. ආදී කාලවලදි මෙන්ම දෙවියන්වහන්සේගේ වචනයෙන් සරල සාක්ෂි දැරීමක් ඉදිරිපත් වූ විට ඒ සම්බන්ධව මෙවන් ප්‍රශ්නයක්ද විමසනු ලැබීය. ” එරිසිවරුන් හෝ කිසියම් නායකයෙක් මෙම ඉගැන්වීම් විශ්වාස කරනවද?” දිව්‍ය ප්‍රකාශනවල කාලවකවානු සම්බන්ධව ඉදිරිපත්වූ තර්ක බිඳ හෙළීමට බොහෝ ආගමික ගුරුවරුන් අසමත් වූ නිසා තම ලැජ්ජාව වසා ගැනීමට ඔවුහු වෙනත් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන්නට වූහ. දිවැසි ප්‍රකාශන අධ්‍යයනය අධෛර්යයට පත් කිරීමට ඔවුහු වෑයම් කළෝය. එකී දිවැසි පොත මුද්‍රා කර ඇති බවත්, තේරුම් නොගත යුතු බවත්, ප්‍රචාරය කෙරිණ. තව දේවගැතිවරුන් කෙරෙහි අචල විශ්වාසයක් තැබූ විශාල සමූහයක් අනතුරු ඇඟවීමේ දහම් පණිවිඩයට ඇහුම්කන් දීම පවා ප්‍රතික්ෂේප කළෝය. තවත් අය එම පණිවිඩය සත්‍ය බව දැන දැනත් “සිනගෝගයෙන් නෙරපා දමනු ලැබේය” යන බියෙන් තම විශ්වාසය ප්‍රකාශ නොකර සිටියෝය. සභාව පිරික්සීමත්, පවිත්‍ර කිරීමත් අරමුණු කර ගෙන දෙවියන්වහන්සේ විසින් එවනු ලැබූ මෙම දහම් පණිවිඩය ප්‍රබල මෙහෙයක් ඉටු කළේය. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි නොව ලෝකය කෙරෙහි තම හිතෛෂීභාවය සහ ආදරය රඳවා ඇති බැතිමතුන් සංඛ්‍යාව කෙතරම් වූයේ දැයි ඒ පණිවිඩයට දැක්වූ ප්‍රතිචාරයන්ගෙන් දැකගත හැකි විය. ඔවුන් ලෝකයට සම්බන්ධ කල බැමි ස්වර්ගය වෙතට ඔවුන් ව ඇද ගැනීමට යොදා තිබූ පෙළඹීම් වලට වඩා ශක්තිමත් විය, බලසම්පන්න විය. ලෝක ප්‍රඥාවේ වදන්වලට ඇහුම්කන් දීම තෝරාගත් ඔවුහු සත්‍යතාවය හදවත විමසන්නා වූ පණිවිඩයෙන් ඉවත්ව ගියෝය.GrHSin 434.3

    පළමු දේව දූතයාගේ අනතුරු ඇඟවීමේ පණිවිඩය ප්‍රතික්ෂේප කිරීමෙන් එම මනුෂ්‍යයෝ ඔවුන්ව නැවතත් ජීවන මාර්ගයට ගෙන යන පිණිස සගයෙන් එවනු ලැබූ ක්‍රමවේදය නැති කරගත්තෝය; දෙවියන්වහන්සේගෙන් වෙන් කරන්නා වූ සියලු ආකාර නපුරෙහි මාර්ගයන්ගෙන් ඔවුන්ව යහමඟට යොමු කළ හැකි වූ කරුණාබර පණිවිඩය ගෙන ආ තැනැත්තාව එපා කළෝය. එසේ කරමින් ඔවුහු ලෝකයේ මිත්‍රත්වය ලබා ගැනීමට මහත් උනන්දුවෙන් ක්‍රියා කරන්නට වූහ. මේ තත්ත්වය නිසා 1844 දී ක්‍රිස්තියානි සභාවන්හි ලෞකිකත්වයක්, දහම් මගින් ඉවත්ව යෑමක්, සහ ආත්මික මරණය නමැති භයානක තත්ත්වයක් පැවතුණි.GrHSin 435.1

    එළිදරව් 14 පරිච්ඡේදය අනුව පළමු වන දේවදූතයා පසුපස දෙවන දේව දූතයෙක් ද පැමිණියේය. ඔහු ප්‍රකාශයට පත්කළ පණිවිඩය මෙයයි. ” තමාගේ වේශ්‍යාකමේ කෝපය නමැති මුද්‍රිකපානය සියලු ජාතීන්ට පෙව්වාවූ මහත් බබිලෝනිය වැටුණේය, වැටුණේය” යන්නය. ( එළිදරව් 14:8). “බබිලෝනිය” යන වචනය “බාබෙල්” යන වචනයේ නිරුක්තියකි. එහි අර්ථය “වියවුල” යන්නය. ව්‍යාජ වූද සත්‍ය වූ භක්තියෙන් ඉවත්ව ගියාවූද ආගම් හැදින්වීම පිණිස ශුද්ධ ලියවිල්ලෙහි බබිලෝනිය යන නම යොදා ඇත. එළිදරව් 17 හි බබිලෝනිය නියෝජනය කිරීමට කාන්තාවකගේ ලාංඡනය යොදා ගෙන ඇත. සභාවක් සංකේත කිරීම සඳහා ශුද්ධ බයිබලය යොදාගෙන ඇත්තේ ස්ත්‍රියකගේ සංකේතයයි. පාරිශුද්ධ සභාව පෙන්නුම් කර ඇත්තේ නිර්මල යුවතියක් ලෙසිනි. ධර්මයට පිටුපා ක්‍රියා කරන්නාවූ සභාව හැඳින්වීමට, පිළිකුල්කමින් යුත් ස්ත්‍රියක් යොදාගෙන ඇත.GrHSin 435.2

    ක්‍රිස්තුස්වහන්සේ සහ සභාව අතර පවතින්නා වූ ශුද්ධවූද, ස්ථිරවූද, චරිත ගුණාංග පෙන්නුම් කිරීමට සරණ මංගල්‍යයක ඇත්තාවූ එක්සත්කම භාවිතයට ගෙන ඇත. දෙවි සමිඳාණන් තමන්වහන්සේගේ ජනතාව තමාටම අමරණීය ගිවිසුමක් මගින් සම්බන්ධ කර ගන්නා සේක. උන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන බවට ප්‍රතිඥා දී තිබේ. උන්වහන්සේගේ සෙනඟද තමා අයිති වන්නේ එම දෙවියන්වහන්සේට පමණක් වන බවට ප්‍රතිඥා ප්‍රකාශ කළ යුතුය. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක.” මම නුඹ සදාකාලයටම පාවා ගන්නෙමි; එසේය, ධර්මිෂ්ඨකමද, විනිශ්චයද, කරුණාවද, අනුකම්පාවද ඇති ව පවා ගන්නෙමි.” (හොෂෙයා 2:19). නැවත වතාවක් උන්වහන්සේ මෙසේ පවසන සේක. ” මම නුඹලාට ස්වාමිපුරුෂයෙක්ය.” ( යෙරමියා 3:14). මෙම භාෂාලංකාරයම අළුත් තෙස්තමේන්තුවේ යොදා ගන්නා පාවුල් මෙසේ පවසයි. ” පිරිසිදු කන්‍යාවකු මෙන් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ වන එක පුරුෂයකුට පාවා දීම පිණිස……. දිව්‍යවූ ජ්වලිතයකින් නුඹලා ගැන මම ජ්වලිතව සිටිමි.” (2 කොරින්ති 1:2).GrHSin 436.1

    ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි තබා තිබූ විශ්වාසය සහ ප්‍රේමය පසෙකට යොමුකොට ලෞකික සම්පත්වලට තමා ආත්මයේ භාරකාරත්වය පුදකොට සභා තොමෝ ක්‍රියාකිරීම විවාහ ප්‍රතිඥාව කඩකිරීමක් ලෙස හඳුන්වාදී තිබේ. ඊශ්‍රායෙල් ජනතාව දෙවි සමිඳාණන්ගෙන් ඉවත්ව යෑම මෙම රූපාලංකාරයෙන්ම විස්තර කර දී ඇත. ඒ අතරම ඔවුන් එපා කළ දෙවියන්වහන්සේගේ පුදුමාලංකාර ආදරය මෙසේ සිත් ඇදගන්නා අයුරින් ඉදිරිපත් කර ඇත.” නුඹට දිවුරුම්දී නුඹ සමග ගිවිසුමක් කරගත්තෙමි. නුඹද මට අයිති වූයෙහි යයි ස්වාමි වූ දෙවියන්වහන්සේ කියන සේක.” නුඹ අතිශයින්ම ලක්ෂණ වී, රාජ්‍යයක් වෙන හැටියට වර්ධනය වූවෙහිය. නුබේ ශෝභනකම නිසා නුඹේ කීර්තිය ජාතීන් අතර පැතිර ගියේය. මක්නිසාද මා විසින් නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා ඒක සම්පූර්ණව තිබුණේ යයි ස්වාමි වූ දෙවියන් වහන්සේ කියන සේක. නුමුත් නුඹේ සෝබනකම කෙරේ නුඹ විශ්වාස කොට, නුඹේ කීර්තිය නිසා වේශ්‍යාකම් කරමින් ලඟින් යන එක්නෙකාටම නුඹේ වේශ්‍යාක‍ම වැගිරෙව්වෙහිය.” ” ‍ඉශ්‍රාය‍ලේ වංශය භාර්යාවක් ඇගේ පුරුෂයාට ද්‍රෝහිකම් කරන්නාක් මෙන්, නුඹලා මට විරුද්ධව ද්‍රෝහිකම් කළහු යයි ස්වාමීන්වහන්සේ කියන සේක.” නුඹ ” කාමමිත්‍යාචාරය කරන භාර්යාවක්ය. තමාගේ පුරුෂයා වෙනුවට අන්‍යයන් ගන්න ස්ත්‍රිය‍ක්ය!” (එසකියෙල් 16:8,13-15;32; යෙරෙමියා 3:20).GrHSin 436.2

    දෙවියන්වහන්සේට ඇලුම් කරනවාට වඩා ලෝකයාගේ මිත්‍රත්වය සහ පහස සොයා එන්නාවු නාමික කිතුණුවන්ව හඳුන්වාදීමට අලුත් තෙස්තමේන්තුවේද යට කී ආකාර වදන් භාවිතා කර ඇත. යාකොබ් අපෝස්තුළුවරයා මෙසේ පවසයි. කාමමිථ්‍යාචාරික (තැනැත්තෙනි) තැනැත්තියෙනි, ලෝකය සමග මිත්‍රකම දෙවියන්වහන්සේට සතුරුකම බව නුඹලා දන්නේ නැද්ද? එබැවින් කවරෙක් නුමුත් ලෝකයට මිත්‍ර ‍වෙන්ට කැමැත්තේ නම්, ඔහු දෙවියන්වහන්සේට සතුරෙක් වන්නේය.”GrHSin 437.1

    එළිදරව් 17 හි ස්ත්‍රිය (බබිලෝනිය) වර්ණනා කර ඇත්තේ ” රත්නිල් සහ රතුපාට වස්ත්‍ර පැළඳ රනින්ද අනර්ඝ ගල් සහ මුතුවලින් ද සැරසී” සිටින්නියක් හැටියටය.” පිළිකුල්කම්වලින්ද ඇගේ වේශ්‍යාකමේ අපවිත්‍රකම්වලින්ද පූර්ණවූ රන් කුසලානයක් ඇගේ අතේ තිබුණේය. ඇගේ නළල පිට: රහසක්ය, මහා බබිලෝනිය, පොළොවේ වේශ්‍යාවන්ගේද පිළිකුල්කම්වලද මවුය යන නාමයක් ලියා තිබුණේය. ඒ ස්ත්‍රී ශුද්ධවන්තයන්ගේද, යේසුස්වහන්සේගේ වේද සාක්ෂිකයන්ගේද ලෙයින් මත්වී සිටිනවා දුටිමි“යි දිවැසිවරයා ප්‍රකාශ කරයි. ” පොළොවේ රජුන් කෙරෙහි රජකම් කරන මහත් නුවර” ලෙසද බබිලෝනිය හඳුන්වාදී ඇත. (එළිදරව් 17:4-6,18). ක්‍රිස්තියානි ලෝකයේ රජවරුන් කෙරෙහි අත්තනෝමතික ලෙස පාලන බලයක් දැරූ එකම බල අධිකාරිය රෝමයයි. රතු සහ රත් නිල් පැහැයෙන්ද, රත්රන්, සහ අගනා මුතු මැණික් වලින් සැදී පැහැදී සිටීමෙන්ද පෙනීයන්නෙ රාජ්‍ය පාලනයෙන්ද අභිමානයෙන්ද උදම් වූ පාප් අධිකාරී බලයයි. “ශුද්ධවන්තයන්ගේද, වේදසාක්ෂිකයන්ගේද ලෙයින් මත්වී” සිටී යැයි කිව හැක්කේ කිතුනු ආගමිකයන්ට ඉතා කුරිරු ලෙසින් වධහිංසා පැමිණ වූ රෝම සභාවට හැරෙන්නට අන් කවරෙකුට ද? පොළොවේ රජවරුන් සමග අයථා සබඳතාවන් පවත්වා ගැනීමේ පාපය ගැනද ඇයට චෝදනා එල්ල වී තිබේ. දෙවි සමිදාණන්ගේ ඇසුරින් ඈත්වී මිසදිටුවන් සමග සන්ධානගත වීමෙන් යුදෙව් සභාව වෙසඟනක් බවට පත් වූවාය. රෝම සභාව ද එසේම, ලෞකික බලධරයන්ගේ ආධාර උපකාර ලබා ගැනීමෙන් තම ආධිපත්‍ය තර කර ගත් නිසා වරදට පත් කරනු ලැබුවාය.GrHSin 437.2

    “වේශ්‍යාවන්ගේ මව” යයි බබිලෝනිය ගැන පවසා තිබේ. ඇයගේ ධර්මතාවන්, අනේක චාරිත්‍ර සහ සම්ප්‍රදායන් අනුගමනය කරන්නාවූ සභාවන් ඇයගේ ( බබිලෝනියෙහි) දරුවන් යැයි හඳුන්වා දීමට පුළුවන. ඔවුහු මවගේ ආදර්ශය අනුව යමින් සත්‍යතාව ද දෙවියන්වහන්සේගේ අනුමැතිය ද පාවා දී ක්‍රියා කරති. ලෝකය සමඟ අනිසි සන්ධානයක් ඇති කරගැනීමට එම සභාවන් තම මව් සභාව අනුගමනය කරති. බබිලෝනියෙහි වැටීම ගැන එළිදරව් 14 හි පවසන්නා වූ පණිවිඩය අදාල වන්නේ වරක් ශුද්ධව පවිත්‍රව සිට ක්‍රම ක්‍රමයෙන් දූෂිත වූ සභාවන් බවට පත්වූ නිකායන් සහ ලබ්ධි වලටය. විනිශ්චය පිළිබඳ අනතුරු ඇඟවීමෙන් පසුව බබිලෝනියෙහි වැටීම හා සම්බන්ධ පණිවිඩය නිකුත් වූ නිසා එම වැටීම අන්තිම කාලයේදී සිදු වීම අනිවාර්ය වන්නේය. එම නිසා එම පණිවිඩය රෝමානු සභාවට පමණක් අදාල වන්නේ නැත. මක්නිසාදයත්, රෝම සභාව ඒ වනවිටත්, වැටී ගොස් ශතවර්ෂ ගණනාවක් ගෙවී ගොස් තිබිණි. ඒ අතර දහ අට වැනි පරිච්ඡේදයෙහි අන්තර්ගත පණිවිඩයෙන් ඉල්ලා සිටින්නේ දේව ජනතාවට බබිලෝනියෙ න් ඉවතට පැමිණෙන ලෙසය. මෙම ශුද්ධ ලියවිලි පාඨය මගින් සපථ කරන්නේ දේව දරුවන් බොහෝ දෙනෙක් එතෙකුත් බබිලෝනියෙහි සිටින්නා වූ බවයි. ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් බහුතරයක් බැඳී සිටින්නා වූ කිතුනු ආගමික සංවිධාන මොනවාද? සැකයකින් තොරව පවසන්නට හැකි වන්නේ ඒ ආගමික සංවිධාන වනාහී ප්‍රොතැස්තන්ත ඇදහිලි වේදය අනුගමනය කරන සභාවන් බවය. මෙම කිතුනු නිකායවල් ස්වකීය මූලාරම්භයේදී දෙවියන්වහන්සේටත්, සත්‍යතාවටත් අනුගැති වෙමින් ඒ උදෙසා නැගී සිටින බව ප්‍රකාශ කළෝය. උන්වහන්සේගේ ආශිර්වාද ඔවුන් මත විය. ශුභාරංචිය‍යෙහි ප්‍රඥප්ති පිළිගැනීම නිසා එහි අනුගාමිකයන්ට යහපත් ප්‍රතිඵල ඇති වූ බව පිළිගැනීමට දෙවියන්වහන්සේ විශ්වාස නොකළ ලෝකයට වුවද සිදුවිය. දිවැසිවරයා ඊශ්‍රායෙල් ජනතාවට මෙසේ ප්‍රකාශ කළේය: ” නුඹේ ශෝභනකම නිසා නුඹේ කීර්තිය ජාතීන් අතර පැතිර ගියේය; මක්නිසාද මා විසින් නුඹ කෙරෙහි තැබූ මගේ තේජස නිසා ඒක සම්පූර්ණ තිබුණේ යැයි ස්වාමි වූ දෙවියන් වහන්සේ කියන සේක.” එසේ වුවද, ඊශ්‍රායෙලිතයන්ගේ සාපය සහ විනාශය බවට පත්වූ එම ආශාවන් කෙරේ කිතුනු නිකායන් ද යොමු වූහ. එම ආශාව වනාහී දේව භක්තිය නැති අදේව දෘෂ්ටීන්ගේ වත් පිළිවෙත් අනුගමනය කිරීමත් එම අයගේ මිත්‍රත්වයේ පහස ලැබීමත්ය. ” නුමුත් නුඹේ ශෝභනකම කෙරේ නුඹ විශ්වාස කොට, නුඹේ කීර්තිය නිසා වේශ්‍යාකම් ” කළෙහිය. (එසකියෙල් 16:14,15).GrHSin 438.1

    බොහෝ ප්‍රොතැස්තන්ත සභාවන් රෝමය ආදර්ශ කොට ගනිමින් පොළොවේ රජවරුන් සමග දුෂ්ටවූද, අධමවූ ද සබඳතාවයන් පවත්වති. මෙම විවිධ නිකායන් මෙන්ම ලබ්ධිද තමන්ගේ මූලධර්මයන්හි පදනම ශුද්ධ බයිබලය බව පවසති. එහෙත් ඔවුහු විවිධ කණ්ඩායම්වලට බෙදී සිටිති. ඔවුන්ගේ ඇදහිලි වේදය සහ පිළිගත් ධර්මතාවන් මෙන් ම පිළිගත් සිද්ධාන්තද අතර ඇත්තේ ඇදහිය නොහැකි ගැටුම් සහගත වෙනස්කම්ය. “බබිලෝනිය” සඳහා වූ “වියවුල” නමැති පදය මොවුන්ට යොදනු ලැබේ.GrHSin 438.2

    රෝමයෙන් වෙන්ව ගියා වූ සභාවන්, ලෝකය සමග සන්ධානගත වීමේ පාපය ට අමතරව මව් සභාවේ වෙනත් චරිතාංග ද අත්හැර දමා නැත.GrHSin 439.1

    රෝමානු කතෝලික කෘතියක් මෙවන් තර්කයක් ඉදිරිපත් කරයි. ” රෝමානු කතෝලික සභාව, ශාන්තුවරයන් කෙරේ දක්වන්නාවූ නමස්කාරය නිසා රූප වන්දනය පිළිබඳව වූ ආඥාව කඩකිරීමෙහි වරදකරුවන් වන්නේ නම් ඇයගේ දියණියක් වන එංගලන්ත සභාවද, එම පාපයටම වරදකාරියක් වන්නීය. ඔවුන්ගේ එක් දේවස්ථානයක් ක්‍රිස්තුස්වහන්සේට කැප කර ඇති අතර තවත් දේවස්ථාන දහයක් මරියාට කැප කර ඇත. (Dr. Challoner, “The Catholic Christian Instructed,” Perface pp.21,22 Ed. 1897).GrHSin 439.2

    සහශ්‍ර වර්ෂය පිළිබඳව ශාස්ත්‍රීය ග්‍රන්ථයක් රචනා කළ ආචාර්ය හොප්කින්ස් මෙසේ ප්‍රකාශ කරයි. “රෝමානු සභාව ලෙස අද හඳුන්වනු ලබන කිතුනු සභාවට පමණක් ඇයගේ ක්‍රියාදාමයන් ගැන දොස් පැවරීමට නුපුළුවන. ප්‍රොතැස්තන්ත සභාවලද ‍ක්‍රිස්තු විරෝධී ක්‍රියාවේදයන් එමට ඇත. එම සභාවන්ද දූෂිතයෙන් සහ පාපිෂ්ට ක්‍රියාවන්ගෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී නැත.” (CH. Hopkins, Samuel, “Works” Vol. ii p. 328).GrHSin 439.3

    රෝම සභාවෙන් ප්‍රෙස්බිටීරියන් සභාව ඉවත්වීම ගැන අදහස් දක්වන ආචාර්ය ගුත්රි මෙසේ පවසයි: ” වසර තුන්සියයකට පෙර අපගේ සභාව රෝමයේ දොරටු තුළින් පිටතට පැමිණියාය. ඇයගේ ධජය, විවෘත ශුද්ධ බයිබලයක් පෙන්නුම් කළේය. ඇයගේ හස්තයෙන් තිබූ ලියවිල්ලේ ” ශුද්ධ බයිබලය සොයන්න. ” යන උපදේශ වාක්‍ය මුද්‍රා කොට තිබිණ.” ඉක්බිතිව ආචාර්යවරයා මෙම වැදගත් පැනය අසා සිටි. ” ඔවුන් බබිලෝනියෙන් සර්ව සම්පූර්ණ ලෙසින් ඉවත් ආවේද ?” (Guthrie,John, “The Gospel in Ezekiel,” p.237).GrHSin 439.4

    ස්පර්ජන් මෙවැනි අදහසක් පළ කරයි.: “එංගලන්ත සභාව සක්‍රමේන්තු පිළිපදින්නන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇත. සත්‍යයෙන් ඈත්වීම සභාව තුළ ගැටලුවක් බවට පත්ව ඇත. තවද, ඇයගේ දර්ශනය මිථ්‍යාචාරය හා සංකලනය වී ඇත. සභාවේ ඇදහිලි වේදය වූ මුල් ධර්මතාවන් තුළ ස්ථාපිතව සිටිතැයි අප සිතූ අය අතරෙන් එකිනෙකා එම දහම් මාලාවෙන් ඉවත් ව යන බව පැහැදිලිව දැකගැනීමට පුළුවන නින්දනීය මිත්‍යාදෘෂ්ටික වේදය මගින් එංගලන්ත හදවතේ සෑම අංශුවක්ම සිදුරු වී ඇත. දෙවි සමිඳාණන් කෙරෙහි වූ භක්තිය අප සභාව තුළින් සිඳී ගොස් ඇති බව පෙනෙයි මෙයින් නොනැවතුණු ද්‍රෝහිකම දේශනා කූඩුවේදීද එඩිතර ලෙස පවසන්නේ තමා ක්‍රිස්තු භක්තිකයන් බවය.” GrHSin 439.5

    භක්තිය හැරදමා එයින් ඉවත්ව යෑමේ ආරම්භය වූයේ කුමක්ද? ශුභාරංචියෙහි සරල පැවැත්මෙන් සභාව මුලින්ම ඉවතට හැරී ක්‍රියාත්මක වූයේ කෙසේද ? මිත්‍යා දෘෂ්ටිකයන් කිතු දහම පිළිගත් විට ඔවුන්ට උපකාරයක් වන පිණිස මිත්‍යාදෘෂ්ටික සිරිත් විරිත් සහ පුරුදුවලට සභාවට ඇතුල්වීමට ඇය ඉඩ හැරියා ය. මේ සියල්ල සිදුකළේ අන්‍ය ආගමික බැතිමතුන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම සඳහාය.“නොපනත්කමමේ අබිරහස දැනටමත් ක්‍රියා කරන්නේය.” (2තෙසලෝනික 2:7) යයි පාවුල් එදා ඔහුගේ කාලයේදී පවසා ඇත. අපෝස්තුළුවරුන් ජීවත්ව සිටි කාලයේ දී සභාව තුළ යම්කිසි ආකාරයක පාරිශුද්ධතාවක් පැවතුණි. එහෙත් “දෙවන ශතවර්ෂයේ අග භාගය වන විට සෑම සභාවක්ම වෙනස් පැවැත්මකට යොමු විය; මුලින් පැවති චාම්භාවය නැතිවී ගියේය. කාලය ගෙවී යත්ම මහලු වියට පත්ව සිටි ගෝලයෝ සමාදානයෙන් සැතපුණෝය. ඒ අතර ඔවුන්ගේ දරුවන් සහ අලුතෙන් සභාවට එකතු වූ බැතිමතුන් එක්ව ආගම නවීකරණයට ලක් කළෝය.” (Robinson, Robert,“Ecclesiastical Reasearches” Ch.16, lcar 17). අන්‍ය ආගමික බැතිමතුන් කිතුනු දහමට හරවා ගැනීමේ ක්‍රමෝපායක් ලෙස කිතුණු ඇදහිල්ලෙහි ප්‍රමිතීන් පහත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් “මිසදුටු ජලගැල්මක් සභාව කරා ගලා ආවේ ඇයගේ සිරිත්, චාරිත්‍ර, වත්පිළිවෙත් සහ දේවතා රූපද සමගය” (Garazzi’s Lectures, p.278(ed1854)). ලෞකික නරපතීන්ගේ ආධාර සහ අනුග්‍රහය කිතුනු සභාවට ලැබුණු විට එම රජයන් යටතේ සිටි පුරවැසි ජනතාවද නාමික ලෙස කිතුනු භක්තිය පිලිගත්තෝය. බාහිර පෙනුමෙන් මෙම අය කිතුනු යැයි පෙනී ගිය නමුත් බොහෝ අය මිසදෙටු ඇදහිලි ක්‍රම වේදයන් අතහැර දැම්මේ නැත. ඔවුහු දිගට ම රහසේ තම දෙවි දේවතාවුන්ගේ රූපවලට නමස්කාර කිරීමේ යෙදී සිටියෝය.” (Garazzi’s Lectures, p.278).GrHSin 440.1

    තමා ප්‍රොතැස්තන්ත යයි කියා ගන්නා වූ සෑම සභාවක් මෙම ක්‍රමවේදය අනුගමනය නොකෙරෙත්ද? ප්‍රතිසංස්කරණයේ සත්‍යවාදී ආත්මය තිබූ නිකායන්හි නිර්මාතෘවරයන් අභාවයට යෑමත් සමගම ඔවුන්ගෙන් පැවත එන්නෝ ඉදිරියට පැමිණ “සභාව නවීකරණය කිරීමට” යොමුවූහ. තම පියවරුන්ගේ ඇදහිලි ප්‍රකාශන අන්ධානුකරණයෙන් අල්ලාගෙන තමන් දකින්නාවූ සත්‍යතාවය වැඩිපුර ආලෝකය පිළිගැනීමට නොකැමැති ව ප්‍රතිසංස්කරණයන්ගේ දරුවෝ පියවරුන් තුළ තිබූ යටහත් පහත්කම, ආත්ම පරිත්‍යාගය සහ ලෞකික දේවලට හිමිකම අත්හැර දැමීම යන ගුණාංගයන්ගෙන් ඉවත්ව ගියෝය. මෙසේ “මුල් සරලතාව නැතිවී ගියේය” සභාව කරා ගලා ආ මිසදෙටු ජල කඳ ඇයගේ සිරිත් විරිත්, චාරිත්‍ර, වත්පිළිවෙත් සහ දේවතා රූප නමස්කාරයද සභාව තුළ තැන්පත් කළා ය.GrHSin 440.2

    “දෙවියන්වහන්සේ සමඟ සතුරුකමක් ඇති කරන්නා වූ” ලෝකය සමඟ මිතුරු කම අගය කරන්නා වූ කිතුණු ආගමිකයෝ කෙතරම් භයංකාර ලෙස සභාවන් තුළ ව්‍යාප්ත වෙමින් ක්‍රියා කරත්ද! නිරහංකාරය, ආත්ම-පූජාව, සරලතාව සහ දේව ගතිගුණ ඇති ජීවිතය යන බයිබලීය ප්‍රමිතීන්ගෙන් කිතුනු ලොවේ ජනප්‍රිය සභාවන් කොතෙක් දුරට බැහැරව ගොස් තිබේද! මුදල් පරිහරණයේ නිවැරදි ක්‍රමය පිළිබඳ කථා කරමින් ජෝන් වෙස්ලි මෙසේ පැවසුවේය. “ඔබ සතු මුදල් දෙවියන්වහන්සේ ලබා දී ඇති තලෙන්තයකි. එවන් වටිනා දීමනාවක් ඇසෙහි තෘෂ්ණාව සංසිදවා ගැනීම සඳහා හෝ අලංකාර වස්ත්‍රාභරණ සඳහා හෝ අනවශ්‍ය සැරසිලි සඳහා හෝ පාවිච්චි කරන්න එපා. ඔබගේ ගෙදර අලංකාර කිරීම පිණිස, අනවශ්‍ය දැයින් එය සරසන පිණිස මුදල් වැය කරන්න එපා. අත්‍යාධික හෝ අධික වියදම් සහිත ගෘහ භාණ්ඩ සඳහා මුදල් වියදම් කරන්න එපා. අභිමානය උදෙසා මිල අධික පින්තූර, චිත්‍ර සහ බාහිරාලංකාරයෙන් ඔපදැමූ කැටයම් භාණ්ඩ වලින් ගේ දොර සරසන පිණිස මුදල් වියදම් කරන්න එපා. ජීවිත අභිමානය පෙන්නුම් කිරීමට කිසිවක් හෝ කරන්න එපා. ඔබ යහපත් ක්‍රියා කරනවා නම් මිනිසුන් ඔබගේ ගුණ කියනවා ඇත. ඔබ රත් නිල් වස්ත්‍රයෙන් සහ සිහින් හණ නූලෙන් නිමි ඇඳුම් ඇඳ හැමදාම රස නහර පිනා යන කෑම බීම ආහාරයට ගන්නේ නම්, සුඛෝපභෝගී දිවි පැවැත්මක් ගත කරන්නේ නම්, ඔබගේ ශෝභනත්වය, දාන පාරමිතාව සහ ත්‍යාගශීලීත්වය ගැන බොහෝ අය ඔබට පැසසුම් කරනවා ඇත, ඔබේ යශෝරාවය ගයනවා ඇත. ඔවුන්ගේ අත්පොළසන් සහ යශෝරාවය ලබා ගන්නා පිණිස මුදල් වියදම් කරන්න එපා. ඒ වෙනුවට දෙවියන්වහන්සේගෙන් පැමිණෙන්නාවූ ගෞරවයෙන් සෑහීමට පත්වන්න. (Wesley’s Works, Sermon50, “Theuse of money”). නුමුත් අපගේ බොහෝ දේවස්ථානවල මෙම ඉගැන්වීම් වලට තැනක් නැත, ඒවා ක්‍රියාත්මක කිරීමට කැමැත්තක් නැත .GrHSin 441.1

    තවදුරටත් මෙසේද පවසා තිබේ. ” තමන් යම්කිසි ආගමික අනුගාමිකයන් යයි පැවසීම අද ජනප්‍රිය විලාසිතාවක් බවට පත්වී ඇත. රාජ්‍ය පාලකයන්, දේශපාලනඥයන්, නීති වේදීන්,ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන් සභාවට බැඳී සාමාජිකත්වය ලබාගන්නෙ සමාජයේ ගෞරවය සහ විශ්වාසය ලබා ගන්නා පිණිස ය. ඔවුන්ගේ අරමුණ වන්නේ තමන් කරන්නාවූ සියලු ආකාර අදමිටු ගනුදෙනු ක්‍රිස්තියානි නාමය යටතේ සඟවා තබා ගැනීමය. බව්තීස්මය ලැබූ මෙවන් පුද්ගලයන්ගේ වස්තුවෙන් සහ ආනුභාවයෙන් බලවත් කරනු ලැබූ ආගමික කොටස්, ජනප්‍රියතාව සහ අනුග්‍රහය පසුපස හඹා යති. විශිෂ්ඨ අලංකාරයෙන් ප්‍රශස්ථ වූ ශෝභාවසම්පන්න දෙව් මැදුරු ජනප්‍රිය වීථිවල ඉදිකරනු ලැබේ. නමස්කාරය සඳහා පැමිණෙන අය මිල අධික වූද, නව විලාසිතාවන්ගෙන් අනූන වූ ද, ඇඳුමින් සහ පැළඳුම්වලින් සැරසී සිටිති. ජනතාව පිනවීමටත්, තවත් විශාල ජනකායක් දේවස්ථානය වෙත ඇද ගැනීමටත් හැකි වන්නා වූ දේවගැතිවරයකුට ඉතා අධික වැටුපක් ගෙවනු ලැබේ. ජනතාව අතින් සිදුවන්නාවූ පව් ගැන කතා නොකර කනට මිහිරි සුමුදු දේශනාවන් ඉදිරිපත් කිරීම ඔහුගේ කාර්ය භාරයයි. මෙසේ නව විලාසිතාවන්ට හිමිකම් කියන පව්කරුවන් සභාවේ නාමලේඛනයට ඇතුළත් වී තිබේ. දේව භක්තිය නමැති කඩතුරාවෙන්, නවීන විලාසිතාවන්ට අනුව පවතින පව් වසා දමනු ලැබ තිබේ.”GrHSin 441.2

    ලෝකය හා සම්බන්ධව කිතුනුවන් යයි කියන්නා වූ අයගේ ආකල්පය විග්‍රහ කරන්නාවූ අනාගමික සඟරාවක් මෙසේ පවසයි: “වත්මන් යුගයේ තත්ත්වයට සභාව යටත් වී ඇත. ඇයගේ නමස්කාර ක්‍රමවේදය වත්මන් ඉල්ලීම් අනුව හැඩගස්වා ගෙන ඇත. ආගම ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීමට උපකාර කරන්නාවූ සෑම දෙයක්ම සභාව තම ක්‍රමයට ඈඳාගෙන ඇත.” මෙතෝදිස්ත සමයේ පිළිබඳව නිව්යෝර්ක් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතෙහි ලේඛකයෙක් මෙවන් විග්‍රහයක් පල කොට ඇත. “දේව භක්තිකයන් සහ එසේ නොවන්නාවූ අය අතර ඇත්තාවූ වෙන් කිරීමේ රේඛාව ඡායා මාත්‍රයක් තරමට තුනී වී ඇත. දෙපාර්ශවයේම සිටින්නා වූ අය තමන්ගේ ක්‍රියාදාමයන් සහ විනෝදාස්වාදය අතර ඇති වෙනස්කම් අතුගා දමන්නට ජ්වලිතයෙන් යුතුව ක්‍රියාත්මකව සිටිති. වගකීම් පිළිබඳ හැඟීමක් නොකොට ප්‍රතිලාභ පමණක් බලාපොරොත්තුවෙන් ජනප්‍රිය ආගමික කණ්ඩායම් කරා එන්නාවූ සාමාජිකයන්ගේ ගණන ඉතා විශාලය.”GrHSin 442.1

    හවර්ඩ් ක්‍රොස්බි නම් දේශන වේදියා මෙසේ පවසයි. “දෙවි සමිදාණන්ගේ සැලැස්ම ඉටු කිරීමෙහිලා ක්‍රිස්තියානි සභාව ගෙන යන ක්‍රියාදාමයන් ගැන අපට ඇත්තේ සතුටු විය හැකි තත්ත්වයක් නොවේ. පෙර යුගයන්හි සිටි යුදෙව් ජාතිකයෝ රූප වන්දනීය ජාතීන් සමග සුහද සබඳතා පවත්වමින් ඔවුන්ගේ හදවත් දෙවියන්වහන්සේගෙන් සොරා ගැනීමට ඉඩ දුන් ආකාරයෙන්ම වත්මන් යේසුස්වහන්සේගේ සභාවද, අදේව භක්තිය ලෝක ජනතාව සමග ව්‍යාජ හවුල්කාරත්වයක් පවත්වා ගෙන යමින් සත්‍යවාදී ජීවිතය හා බැඳී දිව්‍යමය ක්‍රමවේදයන් පාවා දෙමින් ක්‍රියා කරති. ඒ සමඟම සත්‍ය මෙන් පෙනෙන නමුත්, කිතුනු සමාජයක නොතිබිය යුතු විනාශදායක හුරු පුරුදුද ඔව්හු දෑත් යොමා වැළඳ ගනිති. තමන්ගේ ක්‍රියාදාමයන් නිවැරදි යයිද තමන් ගන්නා වූ තීරණ හරි යයිද ඔවුහු තර්ක කරති. එසේ වුවද, ඔවුන්ගේ තීරණ ගැනීම් දෙවියන්වහන්සේගේ එළිදරව් කිරීම් වලට පටහැනිය, අනුග්‍රහය තුළ වැඩිවීමේ සෑම පද්ධතියකටම එක එල්ලේ ම විරුද්ධ ය. (The healthy Christian: an appeal to the church” PP 141, 142).GrHSin 442.2

    ලෝකය සමඟ මිතු දමින් වෙලී සැප සෙල්ලම් සොයා යෑමේ රැල්ල නිසා ආත්ම පරිත්‍යාගය සහ ආත්ම පූජාව ද සම්පූර්ණයෙන් ම නැති ව ගොසින්ය. ” අද සභාවේ ක්‍රියාකාරී ජීවිතය ගතකරන්නාවූ පුරුෂයන් සහ ස්ත්‍රීන් වනාහී තම ළමා කාලයේ දී ක්‍රිස්තුස්වහන්සේ උදෙසා යමක් දීමට හෝ යමක් කිරීමට ද පූජාවන් දීමට ද මඟ පෙන්වනු ලැබූ අය වූහ.” නමුත් “අද ප්‍රතිපාදන සහ අරමුදල් අවශ්‍ය නම් ඒ සඳහා සම්මාදම් සහ දීමනා කරන්නැයි කවරෙකුට වුවද ඉල්ලීමක් කරනු ලබන්නේ නැත. එසේ කරන්න එපා. කරන්නට අවශ්‍ය වන්නේ සල්පිලක් සංවිධානය කිරීම, චිත්‍රාභිමනයක් හා යම්කිසි සිද්ධියක් ජීවමාන සිද්ධියක් මගින් දැක්වීම, කවටකමින් පිරි නඩු විභාගයක් පැවැත්වීම, පුරාවස්තු ප්‍රදර්ශනයක් පැවැත්වීම නැතිනම් කුමන ආකාරයේ හෝ සංග්‍රහයක් පැවැත්වීම යනාදී ක්‍රමයක් මගින් මුදල් උපයා ගැනීමයි. කළ යුතු වන්නේ පැමිණි අය විනෝදයට පැමිණවීම සඳහා කුමක් හෝ කිරීමය,” යනුවෙන් පවසනු ලැබේ.GrHSin 443.1

    විස්කන්සින් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය දැරූ වොෂ්බර්න් තම ජාතිය අමතමින් නිකුත් කළ වාර්ෂික පණිවිඩයෙහි ඔහු මෙසේ ප්‍රකාශනයක් නිකුත් කළේ 1873, ජනවාරි 9 වනදාය. “සූදූවට ඔට්ටු තබන්නාවූ අයට පුහුණුවක් ලබාදෙන්නාවූ ආයතන විසුරුවා හැරීම සඳහා නීති සම්පාදනය කර ක්‍රියාත්මක කළ යුතුය. මෙම ස්ථාන බොහෝ තැන්හි විසිර පවතින්නේය. දේවස්ථාන පවා සමහර අවස්ථාවන්හිදී යක්ෂයගේ වැඩවලට යොදවනු ලබන බව දැකගැනීමට හැකිවේ. තෑගි පිරිනමන විවිධ ප්‍රසංග, තෑගි ලබා දෙන සූදු ක්‍රීඩා හා ලොතරැයි යනාදී සූදූව දේවස්ථානයේ අනුග්‍රහය යටතේ පැවැත්වේ. මෙම මුදල් ඉපයිමේ ක්‍රීඩාවන් ආගමික හෝ සමාජ සේවා හෝ ආධාර දීම සදහා පැවැත්වේ. එසේ වුවද, බොහෝ අවස්ථාවන්හිදී මුදල් ගැරීම ඒවායේ අරමුණ වන්නේය. ලොතරැයි, ටිකට්පත් විකුණා තෑගී ඇදීම, යනාදී සියළුම ආකාර විනෝදාංශ සඳහා සෑම අයෙකුට මුදලට සරිලන කිසිවක් හෝ නොලැබේ. මහන්සි වී වැඩ නොකර මුදල් හෝ ද්‍රව්‍යමය භාණ්ඩ හෝ ලබාගැනීම දේව න්‍යායට ගැළපෙන්නේ නැත. මෙවැනි දෑ යොවුන් පරපුර දුෂිත භාවයට පත්කරන්නාවූ සාතන්ගේ උපක්‍රම වන්නේය. අහම්බෙන් ත්‍යාගයක් ලැබෙන මෙවන් ක්‍රීඩාවන්හි යෙදෙන්නාවූ වැදගත් නම්බුකාර උදවිය තමන්ගේ හෘද සාක්ෂිය සමනය කරගන්නේ මෙම මුදල් යහපත් ව්‍යාපෘතියක් සඳහා යොදවා ගන්නවාය යන චින්තනයෙහි පිහිටා සිටිය. ඒ අතර දේශයේ තරුණ පරපුර මෙම ක්‍රීඩාවල යෙදීම පුරුද්දක් කර ගනිති. එම ක්‍රීඩාවන්හි යෙදීමෙන් ලැබෙන ආශ්වාදජනක වින්දනය අවසන් වන්නේ විපත්තියක් සමගය.”GrHSin 443.2

    ලෞකික දැයට අනුකූලතාවය දැක්වීමේ ආත්මය කිතුණු ලෝකයේ සභාවන් පවා ආක්‍රමණය කරමින් පවතී’ ලන්ඩන්හි දෙව්මැදුරක දේශනාවක් කළ රොබට් ඇට්කින්ස් එංගලන්තයේ සිදුවෙමින් පවතින ආත්මික ගරා වැටීම ගැන අපූරු චිත්‍රයක් මෙසේ පින්තාරු කළේය. “සැබෑ දැහැමි අය පොළොවෙහි අඩුවෙමින් පවතී. ඒ ගැන කිසිවකු හෝ සිතන්නටවත් ඉදිරිපත් වන්නේ නැත. ආගමක් අදහනවා යයි කියන්නා වූ වර්තමාන ජනතාව, ඔවුන්ගේ නිකාය හෝ ලබ්ධිය හෝ කුමක් වුවද, ඔවුහු ලෝකයට බොහෝ සේ ඇලුම් කරති. ලෝකයේ හුරුපුරුදු සහ විනෝදාංශ සමග අනුගත වෙති. ඔවුන්ට අවශ්‍ය වන්නේ සුවපහසු දිවි පැවැත්මක් හා සමාජයේ ගෞරවනීය ස්ථානයක්ය. කිතුණුවන් කැඳවා ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ සමඟ දුක් විඳීමටය; එහෙත් මොවුහු දෝෂාරෝපණය කිරීමට හෝ අවලාදයකට හෝ මුහුණ දීමට මැලි වෙති. සෑම දේවස්ථානයක් ඉදිරියෙහි කැටයම් කර ඇති වචන පේළිය නම් “භක්තිය හැරයාම, භක්තිය හැරයාම, භක්තිය හැරයාම” යන්නය. ඔවුන් ඒ බව දන්නේ නම්, ඔවුන්ට ඒ බව හැඟී යන්නේ නම්, ඔවුන්ට බලාපොරොත්තුවක් තිබීමට පුළුවන. නමුත් අහෝ ඔවුන්ගේ හඬ වන්නේ, මම ධනවත්මි. මම ධනය අත්කරගෙන සිටිමි. මට කිසිවකින් අඩුවක් නැත.” යන්නය. (Second advent Library, Tract No 39).GrHSin 444.1

    බබිලෝනියට එරෙහිව ඉදිරිපත් වී ඇති අධි චෝදනාව වන්නේ ඇය පොළොවේ වැසියන්ට ඇගේ වේශ්‍යාකම නැමති මුද්‍රික පානයෙන් පෙවීම පිළිබඳ පාපයයි. ඇය ලෝකයාට පිළිගන්වන්නාවූ මත්ද්‍රව්‍ය අඩංගු කුසලාන වනාහී පොළොවේ බැතිමතුන් සමඟ ඇයගේ වූ සම්බන්ධකම්වල ප්‍රතිඵල ලෙසින් ඇය පිළිගත් බොරු ධර්මතාවන්ය. ලෝකය සමග වූ මිත්‍රකම ඇයගේ ඇදහිල්ල දූෂ්‍ය කළාය. එයට සමගාමීව ඇය ලෝකයා කෙරෙහි විෂමාකාර බලපෑමක් කරන්නේ ඇයගේ ධර්මතාවයන් ලෝකයාට උගන්වමින්ය.එම ඉගැන්වීම් ශුද්ධ බයිබලයේ ප්‍රකාශනයන්ට විරුද්ධය.GrHSin 444.2

    මනුෂ්‍යයන්ට ශුද්ධවූ බයිබලය පරිහරණය කිරීම තහනම් කළ රෝමය ඒ වෙනුවට ඇයගේ ඉගැන්වීම් පිළිගැනීමට ඔවුන්ට නියම කළාය.දෙවියන්වහන්සේගේ වචනය මිනිසුන්ගේ අතට නැවත පත්කිරීම ප්‍රතිසංස්කරණයේ ප්‍රමුඛතම කාර්යභාරය විය. එහෙත් අද තත්ත්වය එතරම් සතුටුදායක නොවේ. වත්මන් කාලයේ ඇති සභාවන් බැතිමතුන්ට උගන්වන්නේ ඔවුන්ගේ ඇදහිල්ල හා විශ්වාසය සභාව විසින් උගන්වන දහම් මත සහ සභාවෙහි ඇදහිල්ලේ ප්‍රකාශනය මත රැදවීමට නොවේද? එහෙත් කළ යුතු වන්නේ ඇදහිල්ල දෙවියන්වහන්සේගේ වචනය මත පමණක් රැදවීමය. ප්‍රොතැස්තන්ත සභාවන් ගැන ප්‍රකාශයක් නිකුත් කරන චාර්ල්ස් බීවර් මෙසේ පවසා තිබේ: “ඔවුහු සභාවෙහි ඇදහිලි ප්‍රකාශයන්ට විරුද්ධව එක වචනයක් හෝ කීමෙන් වැළකී සිටීමට වෙර දරති. එවැනි වචනයක් කීමට බිය වෙති. එසේම ඔවුන්ගේ පියවරුද නැගී එන්නාවු ශාස්තෘවරයාණන්ගේ හා සහ වේද සාක්ෂිකරුවන්ගේ නමස්කාරයට විරුද්ධව එක වචනයක් හෝ කීමෙන් වැළකී සිටියෝය. විරුද්ධ වීමකට නොව නමස්කාරයෙහි යෙදීමට ඔවුන්ගෙන් ලැබුණේ අනුබලයකි…. දහම් ප්‍රචාරක ප්‍රොතැස්තන්ත නිකායන් විසින් කොපමණ දුරට මනුෂ්‍යයන්ගේද ඔවුන්ගේමද අත් බැඳ තබා ඇත්තේද යත් දහම් ප්‍රචාරක කටයුතු වල යෙදෙන තැනැත්තන් එසේ කරන්නට පෙර ශුද්ධ බයිබලය හැර වෙනයම් පොතක්ද පිළිගත යුතු ය යන්න නියම කර තිබේ. ප්‍රොතැස්තන්ත සභාවන්ද රෝමය මීට පෙර කළා වූ අන්දමටම බයිබලය පරිහරණය කිරීම තහනම් කර ඇත්තේය යන්න මන:කල්පිත ප්‍රකාශයක් නොවේ.”GrHSin 444.3

    යම් යම් විශ්වාසවන්ත ගුරුවරු ඉදිරියට පැමිණ දෙවියන්වහන්සේගේ වචනය පැහැදිලි කර දෙන්නට ආරම්භ කළ වහාම, වියතුන් මෙන්ම ශුද්ධ ලියවිලි තේරුම් ගැනීමේ ප්‍රවීනයන් යයි කියාගන්නා දේවගැතිවරුද නැගිට ඉදිරිපත්ව ඇති නිරවද්‍ය දහම මිථ්‍යා ප්‍රබන්ධයක් යැයි හෙළාදැකීමට ක්‍රියා කළහ. ඒ අනුව සත්‍යතාව පිළිබඳව විපරම් කරන්නන් වෙනත් පසෙකට යොමු කරනු ලැබිණ. බබිලෝනියේ මුද්‍රික පානයෙන් ලෝකයා මත්වී නොසිටියෝ නම් සත්‍යතාවයේ සරල දහම් සිතට කාවැදී යෑම මගින් බොහෝ අය දෙවියන්වහන්සේගේ වචන‍යේ සත්‍යය අනුව ගැලවුම්කාරයානණ් පිළිගන්නවා ඇත. එසේ වී නමුත් ආගමික ඇදහිල්ල කෙතරම් දුරට වියවුල් කොට විසංවාදී වී තිබුණේද යත් සත්‍යය ලෙස විශ්වාසය තැබිය යුත්තේ කුමක් කෙරෙහි දැයි යන්න තෝරා ගැනීමට ජනතාවට හැකියාවක් නොවීය. පසුතැවිලි නොවන ලෝකයාගේ පාප, සභාවේ දොරටුව ඉදිරියෙහි ලැගුම්ගෙන සිටි.GrHSin 445.1

    එළිදරව් 14 හි සඳහන් දෙවන දේව දූතයාගේ පණිවිඩය මුල් වතාවට දේශනා කරනු ලැබුවේ 1844 ගිම්හානයේදීය. එය විශේෂාකාරයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ දේවස්ථාන වලට බලපෑවේය. විනිශ්චය තේමා කරගත් පණිවිඩය බහුලව ප්‍රචලිත කරනු ලැබුවේ එම රටෙහිය. එසේ එම පණිවිඩය එරට ජනතාව බහුතරයක් වශයෙන් ප්‍රතික්ෂේප කළහ. ඒ අතරෙහි එම වකවානුව තුළ සභාවන්හි තත්ත්වය බොහෝ සේ පහළ බැස්සේය. එසේ වුවද දෙවන දේව දූතයාගේ පණිවිඩය 1844 දී සම්පූර්ණ වශයෙන් ඉටු නොවීය. දෙවෙනි ඊමේ පණිවිඩයෙහි ආලෝකය ප්‍රතික්ෂේප කළ නිසා සභාවන් තුළ ආධ්‍යාත්මික පිරිහීමක් දළුලා වැඩෙන්නට විය. එහෙත් එම අවස්ථාවේදීද සම්පූර්ණ වැටීයාමක් සිදු නොවීය. කාලයාගේ අවශ්‍යතාවයන් සඳහා විශේෂ ආලෝක දහරා එවන ලදුව එම පණිවිඩ පිළිනොගැනීම දිගටම කරගෙන ගිය නිසා ඔවුන් තව තවත් පහළට කිඳා බසින්නට විය. මේ වනතුරුත් “බබිලෝනිය වැටි ගියේය” යි පැවසීමේ අවස්ථාව උදා වී නැත. ඇයගේ වෙශ්‍යාකමේ මුද්‍රික පානයෙන් ඇය තවමත් මුළු ලෝකයම මත් කරවන්නට ක්‍රියාත්මක වී නැත. ලෝකය සමඟ අනුගතවීමේ ආත්මයක්ද අපගේ කාලයට අත්‍යාවශ්‍ය වූ සත්‍යතාවන් නොසලකා හැරීමක්ද සෑම රටකම ඒකාකාරව සිදු වෙමින් පවතියි. කිතුනු රාජ්‍යයේ ප්‍රොතැස්තන්ත ඇදහිල්ල රජකරවන රටවල ද එම අහිතකර තත්ත්වය ප්‍රබල ලෙස වර්ධනය වේ. දෙවන දේව දූතයාගේ පණිවිඩය වූ භයානක තරවටුවට මෙම සභාවන් ද ඇතුලත්ය. එසේ වුවද, නිමල දහමට විරුද්ධව ක්‍රියා කිරීමේ වැඩය මෙතෙක් උච්ච ස්ථානය කරා පැමිණ නැත.GrHSin 445.2

    ක්‍රිස්තු සමිදාණන්ගේ ආගමනය සිදු වීමට පෙර සාතන්ගේ මුලා කිරීමේ ප්‍රයත්නයක් ගැන ශුද්ධ බයිබලය අනාවරණය කරයි.” ආකාර ආශ්චර්ය වලින්ද, ලකුණුවලින් ද, පුදුම වලින්ද……. අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලි වලින්ද” සාතන් ක්‍රියා කරනවා ඇත. “ඔවුන් එසේ විනාශ වන්නේ ශුභාරංචියේ සත්‍යයට ප්‍රේම කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ගැලවීම නොලද බැවින්ය.” මෙවන් අයට සිදුවන්නේ මුසාවේ බලයෙහි ක්‍රියාකාරීත්වය නිසා තත්ත්වය වෙනුවට බොරුව විශ්වාස කිරීමටය. (2 තෙසලෝනික 2:9-11). මෙම තත්වය උදාවන තෙක්ද කිතුණු ලෝකය පුරා සභාව සහ ලෝකය පූර්ණ ලෙස එක්සත් වීමක් සිදුවන තෙක්ද බබිලෝනියහි වැටීම සම්පූර්ණ නොවන්නේය. මෙම වෙනස ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නකි. එළිදරව් 14 හි අනාවැකිය ඉටු වන්නේ ඉදිරි කාලයකදී ය.GrHSin 446.1

    බබිලෝනිය නමැති සන්ධානයෙහි පාර්ශවකරුවන් වන සභාවන් ආත්මික අන්ධකාරයෙහි ගිලී දෙවියන්වහන්සේගෙන් ඉවත් වී කටයුතු කළද, ‍ක්‍රිස්තු සමිදාණන්ගේ සත්‍යවාදී අනුගාමිකයන්ගෙන් සැදුම්ලත් බැතිමතුන් විශාල සංඛ්‍යාවක් ඔවුන් අතරෙහි සිටිති. වත්මන් කාලය සඳහා දෙනු ලැබූ විශේෂ සත්‍යතාවන් පිළිබඳව කිසිම දැනුමක් හෝ නැති බොහෝ අයද, මේ අතර සිටිති. පවතින්නාවූ වත්මන් තත්ත්වය ගැන සෑහීමකට පත් නොවූ බොහෝ දෙනෙක් පැහැදිලි ආලෝකයක් බලාපොරොත්තුවෙන් උපේක්ෂාවෙන් යුතුව බලාසිටිති. තමන් සහභාගීකම් පවත්වන්නා වූ සභාවන් තුළ ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රතිරූපය දැක ගැනීමට ඔවුහු නිරර්ථකයේ වෙහෙසති. මෙම සභාවන් සත්‍යතාවයෙන් ඉවතට හැරී තව තවත් ඈතට යමින් ලෝකයට තව තවත් ලං වෙමින් සන්ධානගතව වෙත්ම පක්ෂ දෙක අතර වෙනස්කම් හි පරතරය විශාල වේ. මෙම ක්‍රියාදාමය කරණ කොට ගෙන සිදු වන්නා වූ ප්‍රතිඵලය වන්නේ සත්‍යවාදී බැතිමත්හු තමන් මෙතෙක් සිටි සභාවන් ගෙන් ඉවතට පැමිණීමය. උත්තරීතර ලෙස දෙවියන්වහන්සේට ආදරය කරන්නා වූ අයට තවදුරටත් “නවීකරණය වූ” ලෝකයට ගැති සභාවන් සමග එක්ව නමස්කාර කරන්නට නොහැකි කලක් උදා වෙනවා ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සභාවන් ගෙන් වෙන් වෙනවා ඇත. සභාවේ අය ” දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නෝව දේව භක්තියේ වේසය දරණ නමුත් එහි බලය එපා කළ අය” වන බැවින් තවදුරටත් ඔවුන්ට සම්බන්ධව සිටීමට මේ බැතිමතුන්ට නුපුළුවන් වනවා ඇත.GrHSin 446.2

    එළිදරව් 14:6-12 හි අනතුරු ඇඟවීමේ පණිවිඩය පිළි නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස දෙවන දූතයා සඳහන් කරන තත්ත්වයට සභාව පැමිණීමත් සමඟම, සත්‍යවාදී බැතිමතුන්ට සභා වලින් ඉවත්ව පිටතට පැමිණෙන්නැයි එළිදරව් 18 හි පණිවිඩයෙන් කියැවේ. මෙතෙක් කලක් ඔවුහු බබිලෝනිය සමඟ සමාගම් පැවැත්වු නමුත්, තවත් එසේ සිටීමට නොහැකි වන නිසා වෙන් වීමට ඔවුහු තීරණය කර ගනිති. ලෝකයට ලැබෙන්නට යන අන්තිම පණිවිඩය මෙය වනවා ඇත. එම පණිවිඩය සිය කාර්ය භාරය ඉටු කරනවා ඇත. ‍ය විශ්වාස නොකොට දුෂ්ටකම තුළ ප්‍රීති ප්‍රමෝද වූ අය මහත් මුලා කිරීමට පත්වී මුසාවක් විශ්වාස කිරීමට සැලසෙනවා ඇත. එවිට සත්‍යතාව පිළිගැනීමට තමන් හදවත් විවෘත කර සිටින අය මත සත්‍යයේ ආලෝකය පතිත වනවා ඇත. ඒ වනතුරු බබිලෝනියේ සිටින්නාවූ දෙවි සමිදාණන්ගේ දරුවන් ” මාගේ සෙනඟෙනි….. ඇගෙන් ඉවත් වී එන්න” (එළිදරව් 18:4) යන කැඳවීම පිලිගන්නවා ඇත.GrHSin 447.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents