Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    හැඳින්වීම

    පාපය ඇතුල්වීමට පෙර දෙවියන්වහන්සේ සමඟ මුහුණට මුහුණ ලා කථා කිරීමේ භාග්‍යය මිනිසා සතුව තිබුණේය. ආදම් ස්වකීය මැවුම්කාරයාණන් සමග බාධාවකින් තොරව කතාබහ කළේය. පව් කිරීමෙන් මිනිසා සහ දෙවියන්වහන්සේ අතර වෙන්වීමක් ඇති වූ නිසා මිනිස් වර්ගයාට මෙම විශේෂ වරප්‍රසාදය අහිමි විය. එසේ වුවද, මිදීමේ සැලැස්ම කරණකොටගෙන මිනිසාට සහනය ලැබුණේය. මෙලොව මනුෂ්‍යයන්ට සගය සමග තවදුරටත් සම්බන්ධතාව පවත්වාගෙන යෑමට මඟක් එමගින් විවෘත විය. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ මගින් මනුෂ්‍යයන් සමග සබඳතාවය පවත්වන සේක. උන්වහන්සේගේ තෝරාගත් සේවකයන් මගින් දිව්‍ය ආලෝකය මිනිස් සතහට එළිදරව් කරනු ලැබීය. “මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොළඹවනු ලැබ දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථා කළෝය‍.” 2 පේතෘස් 1:21.GrHSin .0

    මිනිස් ඉතිහාසයෙහි මුල් වසර දෙදහස් පන්සියයක් ගතවනතුරු, දේව එළිදරව් කිරීම් ලිඛිතව තිබුණේ නැත. දෙවියන්වහන්සේ පිළිබඳව ඉගෙනීමක් ලැබූ අය තම දැනුම අනෙකුත් අය සමග බෙදා ගත්තෝය. පරම්පරා ගණනාවක් පුරා පියා තම දරුවාට එම දැනුම ලබා දුන්නේ ය. දේව පණිවිඩ ලියා තැබීම පටන් ගත්තේ මෝසෙස්ගේ කාලයේදීය. දේවානුභාවයෙන් දෙන ලද එළිදරව් කිරීම් දේවානුභාවයෙන් යුත් පොතක ලියා තබන ලදි. මෙම පිළිවෙත වසර එක්දහස් හය සියයක කාලයක් පුරා පැවතුණේය. මැවීමේ සහ නීති පද්ධතියේ ඉතිහාසඥයා වන මෝසෙස්ගේ කාලයේ සිට ශුභාරංචියේ අති උදාර සත්‍යතාවන් වාර්තා කරන යොහන් දක්වා වූ කාලය පුරා, දේව එළිදරව් කිරීම් වාර්තා ගත කරනු ලැබීය.GrHSin .0

    ශුද්ධ වූ බයිබලයේ නියම කතුවරයා‍ණෝ දෙවියන්වහන්සේ බවට එහි ම ප්‍රකාශ කිරීම් ඇතුළත් ය. එහෙත් එම ශුද්ධ වූ පොත ලියන ලද්දේ මිනිස් හස්තයෙන්ය. බයිබලයේ වූ විවිධ පොත් තුළ එකිනෙකට වෙනස් වූ රචනා ශෛලියන් දැකගැනීමට පුළුවන. රචකයන් ගණනාවකගේ විවිධ චරිතාංග එය තුළින් විකාශනය වන්නේය. එසේ වුවද, එළිදරව් කර ඇති සත්‍යතාවන් සියල්ල “දේවානුභාවයෙන්’’ 2 තිමෝති 3:16 ලබා දී තිබේ. එහෙත් එම වදන් ප්‍රකාශ වී තිබෙන්නේ මිනිස් වචන වලින්ය. අනන්ත වූ තැනැන්වහන්සේ තමන්වහන්සේගේ ශුද්ධ වූ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන තම සේවකයන්ගේ මනස් සහ හදවත් තුළට ආලෝකය දෙවා වදාළ සේක. උන්වහන්සේ ඔවුන්ට සිහින හා දර්ශන මගින්ද, ලකුණු සහ රූපක මගින් ද පණිවිඩ ලබා දුන්සේක. මෙසේ සත්‍යතාවය එළිදරව් කරනු ලැබූ අය එකී පණිවිඩ මිනිස් වචන මගින් ලියා තැබුවෝය.GrHSin .0

    දෙවියන්වහන්සේම ස්වකීය මුඛයෙන් දසපනත ප්‍රකාශ කළ සේක, තමන්වහන්සේගේම ඇඟිලිවලින් ඒවා ලියූ සේක. එම වචන දිව්‍යමය වදන්ය, නමුත් මිනිසා විසින් රචනා කරන ලද නිර්මාණයක් නොවේය. මිනිස් භාෂාවෙන් විස්තර කර ඇති දෙවියන්වහන්සේ විසින් දෙනු ලැබූ සත්‍යතාවන් අඩංගු ශුද්ධ වූ බයිබලය දිව්‍ය මිනිස් සබඳතාවන් ගෙනහැර දක්වන්නේය. මෙවන් එකමුතුකමක්, ඒකත්වයක්, ක්‍රිස්තුස්වහන්සේගේ ස්වභාවය තුළ ගැබ් වී තිබුණේය. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ අතරම මනුෂ්‍ය පුත්‍රයා ද වූසේක. ‍ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධව එවැන්නක් සත්‍ය වූවා සේම බයිබලය පිළිබඳ එය සැබෑවකි. මෙසේ “වාක්‍යයාණෝ මාශවත් වී … අප අතරෙහි වාසය කළ සේක.” යොහන් 1:14.GrHSin .0

    නොයෙක් කාලවල, විවිධ තරාතිරම්වලව වූ, විවිධ වෘත්තීන්වල යෙදුණු පුද්ගලයන් විසින් බයිබලය රචනා කරන ලදී. ඔවුන්ගේ මානසික සහ ආත්මික කුසලතා විවිධාකාර විය. මහත් සේ වෙනස්වූ රචනා ශෛලියන්ද, මහත් සේ වෙනස් වූ තේමාවන් ද බයිබලය තුළ දැකගැනීමට හැකිය. යම්කිසි විෂයක් ගැන ලේඛකයෙක් තවත් ලේඛකයෙකුට වඩා සිත් ඇදගන්නා ලෙස ගළපා සත්‍යතාවන් ඉදිරිපත් කර තිබේ. විවිධ ලේඛකයෝ වෙනස් වෙනස් දෘෂ්ටිකෝණවලින් සහ වෙනස් පැතිකඩ වලින් යම් කිසි විෂයක් ගැන කරුණු ඉදිරිපත් කර ඇත්තාහ. ගැඹුරු ලෙස හදාරන්නේ නැති, සැලකිල්ලෙන් යුතුව අධ්‍යයනය කරන්නේ නැති, අවිචාර සිතුවිල්ලක් ඇති පුද්ගලයකුට ශුද්ධ බයිබලය තුළ එකිනෙකට වෙනස්වූ ද පරස්පර විරෝධීවූ ද ප්‍රකාශන ඇතැයි පෙනී යා හැකිය. එසේ වුවද, විමර්ශණශීලී මනසක් ඇති ගෞරව භක්තිය ඇති සිසුවෙකුට එහි අන්තර්ගතය තුළ එකඟතාවක්, එකම කල්පිතයක් ඇති බව පැහැදිලිවම දැකගැනීමට හැකිය.GrHSin .0

    විවිධ පුද්ගලයන් කරණකොටගෙන ඉදිරිපත් කර ඇති, ශුද්ධ බයිබලයේ ඇතුලත් වී ඇති සත්‍යතාවන් විවිධාකාරයෙන් ඉදිරිපත් කර ඇත. එක්තරා විෂයයක් පිළිබඳව යම්කිසි පැතිකඩක් එක් ලේඛකයෙකුට සුවිශේෂ වූයේය. ඔහු එකී කරුණු ඉදිරිපත් කරන්නේ තමාගේ අත්දැකීම් සහ අවබෝධ කරගැනීමේ ශක්තිය සමග සාපේක්ෂිතවය. ඒ අතර තවත් ලේඛකයෙක් එම විෂයෙහි තවත් පැතිකඩක් ඉදිරිපත් කරයි. ඔව්හු ශුද්ධාත්ම ආනුභාවය තුළින් තමාගේ මනසට ඉතා හොඳින් කාවැදී ගිය කරුණු ඉදිරිපත් කළහ. එසේ වුවද මෙම සියලු කරුණු තුළ අනුකූලතාවක් පවතී. මෙයාකාරයෙන් ඉදිරිපත් කර ඇති සියලු සත්‍යතාවන් සම්පූර්ණ වූ ඒකකයක් ලෙස මිනිසාට ඉදිරිපත් කර තිබේ. ඒවා ජීවිතයේ සියලු අත්දැකීම්වලදීද, සියලු අවශ්‍යතාවන්වලදීද මිනිස් වුවමනාවන්ට සහාය විය හැකි ලෙස සුවිශේෂ කාර්ය සාධනයක් ඉටු කරයි.GrHSin .0

    තමන්වහන්සේගේ සත්‍යතාව ලෝකයට ලබාදීමට මිනිස් නියෝජනය භාවිතා කිරීමට දෙවියන්වහන්සේ ප්‍රසන්න වූසේක.උන්වහන්සේම තමන් ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් පුද්ගලයන් තෝරාගෙන, මෙම කාර්යය ඉටුකිරීමට ඔවුන්ට හැකියාව ලබා දුන්සේක. ඔවුන් විසින් ප්‍රකාශ කළ යුතු දේ සහ ලේඛණ ගත කළ යුතු දේ තෝරා බේරාගැනීමට දෙවියන්වහන්සේ ඔවුන්ගේ මනසට මගපෙන්වූ සේක. සත්‍යථාවයේ සම්පත භූමික බඳුන්වලට පවරනු ලැබුණේ වුවද එය ස්වර්ගයෙන් විය. මිනිස් භාෂාවේ අසම්පූර්ණ වූ පද යෙදීම් සහ විස්තර කිරීම් මගින් දේව සාක්ෂිය ප්‍රකාශ කෙරිණ. එහෙත් එය දෙවියන්වහන්සේගේ සාක්ෂිය වන්නේය. ශුද්ධ බයිබලයේ අඩංගු දෑ කියවන්නාවූ කීකරු විශ්වාසී දේව දරුවෙකුට එය තුළ දිව්‍ය බලයක තේජස්ශ්‍රීයක් දැකගැනීමට පුළුවන. එය තුළ අනුග්‍රහය සහ සත්‍යයාව අනූන බව ඔහු දකින්නේය.GrHSin .0

    මිනිසාගේ ගැළවීම සඳහා අවශ්‍ය වන්නාවූ දැනුම දෙවියන්වහන්සේ විසින් ස්වකීය වචනය තුළ බහා ඇත. ශුද්ධ ලියවිල්ල වනාහි දෙවියන්වහන්සේගේ කැමැත්ත අධිකාරි බලයෙන් යුතුවද වැරදිය නොහැකි ලෙසද එළිදරව් කිරීමකි.එය එසේ පිළිගත යුතුය. මෙම ශුද්ධ ලියවිල්ලෙහි අඩංගු ප්‍රඥප්ති සහ අණපනත් චරිතයෙහි ප්‍රමිතිය වන්නේ ය, ධර්මතාවයන්හි ප්‍රකාශනය වන්නේ ය, අත්දැකීම් වල පරීක්ෂණ වන්නේය. “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස” දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත්, තරවටුවටත්, හික්මවීමටත්, ධර්මිෂ්ඨ කම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.” 2 තිමෝති 3:16,GrHSin .0

    මෙසේ දේව වචනය තුළින් දෙවියන්වහන්සේ සිය කැමැත්ත මිනිසාට එළිදරව් කර ඇත. එසේ වුවද, ශුද්ධාත්මයාණන්වහන්සේගේ නිති පවතින්නාවූ අඛණ්ඩ වැඩසිටීම සහ මගපෙන්වීම අවශ්‍ය නැතැයි එයින් පසක් නොකෙරේ. තමන්වහන්සේගේ සේවකයන් හට වචනය විවෘත කරමින් ඔවුන්ව ආලෝකමත් කිරීම සඳහාත් එහි ඉගැන්වීම් අදාළ කිරීම සඳහාත් සත්‍ය වශයෙන්ම ශුද්ධාත්මයාණන්වහන්සේ අප සමග සිටින බවට අපගේ මිදුම්කරුවාණෝ පොරොන්දු වූසේක. ශුද්ධ බයිබලය ලිවීමේදී ඒ සඳහා ආනුභාවය සපයා දුන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය. එම නිසා කිසිම අවස්ථාවකදී උන්වහන්සේගේ ඉගැන්වීම් දේව වචනයට විරුද්ධ වන්නේ නැත.GrHSin .0

    බයිබලය අභිභවා යෑම සඳහා ශුද්ධාත්මයාණන්වහන්සේව දානය කර නැත, එසේ වන්නේද නැත. මක්නිසාදයත් සියලු ඉගැන්වීම් සහ අත්දැකීම් පිරික්සීමේ ප්‍රමිතිය දේව වචනය බව ශුද්ධ ලියවිලි නිසැකවම ප්‍රකාශ කරයි. අපෝස්තුළු යොහන් මෙසේ පවසයි:“බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින්, සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන්වහන්සේගෙන් දැයි පරික්ෂා කරන්න.“(1 යොහන් 4:1). ඒ අතර යෙසායාද මෙසේ ප්‍රකාශ කර තිබේ:” ව්‍යවස්ථාව ද සාක්ෂිය ද වෙතට යමු! ඒ වචනයේ හැටි ඔවුන් නොකීවොත් ඔවුන්ට පහන් වීමක් නැත.” යෙසායා 8:20GrHSin .0

    දෙවියන්වහන්සේගේ වචනයේ මගපෙන්වීම තවදුරටත් අවශ්‍ය නැතැයි ද, තමන්ට ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලෝකමත් කිරීම් ලැබී ඇතැයි ද පවසන්නාවූ බැතිමතුන් පිරිසක් වෙති. මේ අයගේ වැරදි ඉගැන්වීම් කරණකොටගෙන ශුද්ධාත්මයාණන්වහන්සේගේ ක්‍රියාකාරිත්වයට මහත් අගතියක් සිදුවී ඇත. තමන්ගේ ආත්මයෙහි ඇතිවන්නාවූ හැඟීම් සහ සංකල්ප දෙවියන්වහන්සේගේ හඩ යයි ඔවුහු විශ්වාස කරමින් ඒ අනුව ක්‍රියාකරති. එහෙත් ඔවුන්ව පාලනය කරන්නාවූ ආත්මය වූකලී දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නොවේ. ශුද්ධ ලියවිල්ල අමතක කර දමා සිතුවිලි වලට සහ හැගීම්වලට වහල් වී ක්‍රියාකිරීම කරණකොටගෙන වියවුල, මුළාව සහ අන්තිමේදී විනාශයද පමණක්ම ඇතිවන්නේය. එමගින් සිදුවන්නේ නපුරාගේ( සාතන්ගේ) සැලසුම් ව්‍යාප්ත කිරීමක් පමණකි. ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට ශුද්ධාත්මයාණන්ගේ මෙහෙවරය ඉතා වැදගත්ය. එම නිසා ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකාරිත්වය කෙරෙහි නිග්‍රහ කිරීමක් පැමිණවීම සාතන්ගේ උපක්‍රමයකි. හැඟීම්වලට යටත්ව ක්‍රියා කරන්නා වූ මෙම ආගමික අන්තවාදීන් ගේ වැරදි ඉගැන්වීම් සහ ක්‍රියාකිරීම් නිසා ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකිරීම නොතකා හැරීමට දෙවියන්වහන්සේගේ ජනතාව යොමු වී තිබේ. කිතුනු බැතිමතාව ශක්තිමත් කරන්නාවූ මාධ්‍යයක් ලෙස ස්වාමීන්වහන්සේ විසින් සපයා දී ඇති මෙම ක්‍රමය අතපසු කරන්නට බැතිමතුන්ව යොමු කිරීම සාතන්ගේ උපක්‍රමය වන්නේ ය.GrHSin .0

    දෙවියන්වහන්සේගේ වචනයට අනුකූලව ශුද්ධාත්මයාණන්වහන්සේ ස්වකීය කාර්ය භාරය ඉටුකිරීම ශුභාරංචි සේවයේ අවසානය දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මකව පවත්වාගෙන යා යුතු ව තිබුණේ ය. පරණ තෙස්තමේන්තුව සහ අලුත් තෙස්තමේන්තුව ලිවීමේ කාලවලදී ශුද්ධාත්මයාණන්වහන්සේ සෘජුවම ලේඛකයන් සමග ක්‍රියා කළසේක. එම කාලවලදී ශුද්ධාත්මයාණන්වහන්සේ යම් යම් පුද්ගලයන්ගේ මනස්වලට ආලෝකය ලබාදීම දිගටම ඉටු කළසේක. ශුද්ධ ලියවිලිවල අඩංගු එළිදරව් කිරීම්වලට අමතරව ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිනිසුන් හට අනතුරු ඇඟවීම්, තරවටු කිරීම්, අනුශාසනා කිරීම් සහ ගුරු හරුකම්ද ලබාදුන් බව ශුද්ධ වූ බයිබලය සවිස්තරව දක්වයි. තවද විවිධ යුගයන්හි විසූ අනාගතවක්තෘන් ගැන ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව ඇති නමුත්, ඔවුන් කියන ලද දේවල් ගැන කිසිම සඳහනක් නැත. ශුද්ධ බයිබලය සැකසීම සඳහා පොත පත එක්රැස්කර හමාර කිරීමෙන් පසු කාලවලදී පවා ශුද්ධාත්මයාණන්වහන්සේ තම වැඩ කොටස දිගටම කරගෙන යමින් දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මනස් ආලෝකමත් කරමින්, ඔවුන්ට අනතුරු අඟවමින්, ඔවුන්ට සැනසීම ලබා දෙමින් ක්‍රියාත්මක වීම අදහස් කරන ලදී.GrHSin .0

    යේසුස්වහන්සේ තමන් ගෝලයන්ට මෙසේ පොරොන්දු වූසේක. “මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවන සේක.” ” උන්වහන්සේ, එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මගපෙන්වන සේක…. උන්වහන්සේ… පැමිණෙන්නට තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරන සේක.” යොහන් 14:26, 16:13. මෙම පොරොන්දු අපෝස්තුළුවරුන්ගේ කාලයට පමණක් සීමා නොවීය. සෑම යුගයකම වූ කිතුණු සභාව උදෙසා මෙම පොරොන්දු සහතික බව ශුද්ධ ලියවිලි පැහැදිලිවම උගන්වයි. මිදුම්කරුවාණන් තම අනුගාමිකයන්ට මෙසේ පොරොන්දුවූ සේක: ” මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි.” මතෙව් 28:20. ආත්මයාණන්වහන්සේගේ දීමනා සහ ප්‍රකාශවීම් සභාවට ලබා දී ඇති බව පාවුල් තුමා පවසයි. ඒවා ලබා දී ඇත්තේ “ඇදහීමේද දෙවියන්වහන්සේගේ පුත්‍රයා දැන ගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ පුරුෂකමටත්, ‍ක්‍රිස්තුස්වහන්සේගේ සම්පූර්ණවූ උස මහ‍තේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙන තෙක්, ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත් ය.” එපීස 4:12,13.GrHSin .0

    එපීසියෙහි ඇදහිලිවන්තයන් උදෙසා අපෝස්තුළුවරයා මෙසේ යාච්ඤා කළේය. “එසේ කරන්නේ මහිමයේ පියාණන් වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ ගැන දැනගැනීමට ප්‍රඥාවේ ද එළිදරව් කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත්, උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියාත්, ශුද්ධවන්තයන් තුළ වූ උන්වහන්සේගේ උරුමයේ මහිමයේ සම්පත කිමෙක් ද කියාත්, අදහන්නාවූ අප කෙරෙහි උන් වහන්සේගේ බලයේ මහත්කම කිමෙක් ද කියාත්, නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමැති ඇස් පහදන ලෙසත්ය.” එපීස 1:17-19 . දිව්‍ය ආත්මයාණන්වහන්සේගේ මෙහෙවරය වනාහි දැනගැනීම ආලෝකමත් කිරීමත්, දෙවියන්වහන්සේගේ වචනයෙහි ගැඹුරු දේ මනසට විවෘත කිරීමත්, අවබෝධ කරගැනීමෙහි ප්‍රඥාව ලබාදීමත්ය. එපීසියෙහි සභාව වෙනුවෙන් පාවුල් තුමා ඉල්ලා සිටි ආශිර්වාදය මෙය වන්නේය.GrHSin .0

    පෙන්තකොස්ත දවසෙහිදී ශුද්ධාත්මයාණන්වහන්සේගේ විස්මිත ප්‍රකාශ වීමෙන් පසුව, පේතෘස්තුමා ශ්‍රාවකයන් උනන්දු කළේ පව් කමාව ලබාගන්නා පිණිස පසුතැවිලි වී ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබාගන්නා ලෙසය. “එවිට ශුද්ධාත්ම දීමනාව නුඹලා ලබන්නහුය. මක්නිසාද ඒ පොරොන්දුව නුඹලාටත් නුඹලාගේ දරුවන්ටත් අපගේ ස්වාමිවූ දෙවියන්වහන්සේ යම් පමණ දෙනෙකු උන්වහන්සේ වෙතට කැඳවන සේක්ද දුර සිටින්නාවූ ඒ සියල්ලන්ටත් යයි කියා” පේතෘස් තුමා පැවසුවේය. ක්‍රියා 2:38,39.GrHSin .0

    දෙවියන්වහන්සේගේ මහත් දවසෙහි සිදුවීම් සම්බන්ධව ස්වාමින්වහන්සේ තමන්වහන්සේගේ ආත්මයාණන්ගේ විශේෂ ප්‍රකාශවීමක් සිදුවන බව යෝවෙල් දිවැසිවරයා මගින් පොරොන්දු වී ඇත. යෝවෙල් 2:28. මෙම අනාගතවාක්‍යයෙහි කොටසක් පෙන්තකොස්ත දවසෙහිදී සිදු වු ශුද්ධාත්ම වැගිරීමේදී ඉටු විය. ශුභාරංචි මෙහෙවරය අවසන් වීමේ කාලය සමඟ අත්වැල් බැඳ ක්‍රියාත්මක වන්නාවූ දිව්‍ය අනුග්‍රහය පහළ වීමේදී යෝවෙල්ගේ මෙම අනාවැකියේ පූර්ණ ඉටුවීම සිදුවේ.GrHSin .0

    කාලයාගේ අවසානය කරා ලෝකය යොමුවත්ම යහපත සහ නපුර අතර පවතින්නාවූ මහා අරගලය ඉතා දැඩිව ක්‍රියාත්මක වේ. ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට එරෙහිව සාතන්ගේ උදහස සෑම යුගයකම ක්‍රියාත්මක වී ඇත. නපුරාගේ බලයට විරුද්ධව නැගී සිටීම සඳහා තමන්වහන්සේගේ සෙනග ශක්තිමත් කිරීමට දෙවියන්වහන්සේ තම අනුග්‍රහය සහ ආත්මයාණන්වහන්සේ ඔවුන්ට ලබා දී ඇත, වගුරුවා ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය උන්වහන්සේගේ අපෝස්තුළුවරුන් විසින් ලෝ පුරා ප්‍රකාශ කිරීමේදී ද, අනාගත පරපුර සඳහා එකී සිදුවීම් වාර්තා කර තැබීමේදී ද ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් වූ ප්‍රඥාව ලබාදීම සහ මනස ආලෝකමත් කිරීම ඔවුන්ට නොඅඩුව ලැබී තිබුණේය. එහෙත් සභාව ඇයගේ අවසන් මිදීම කරා ළඟාවත්ම සාතන්ද තම ක්‍රියාකාරිකම් මහත් බලයෙන් යුතුව සිදු කරනවා ඇත. ” යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව” මිනිස් වර්ගයා වෙත බැස එන්නේය. එළිදරව් 12:12. ” බොරු වූ සියලු ආකාර ආශ්චර්යවලින්ද, ලකුණුවලින්ද, පුදුමවලින්ද” ඔහු ක්‍රියා කරන්නේය. 2 තෙසලෝනික 2:9. දෙවියන්වහන්සේගේ දූතයන් අතර එක් කලෙක උසස් වූ ප්‍රඥාවන්තයාවූ සාතන් වසර හය දහසක් පුරා තමාගේ සෑම අවධානයක්ම යොමු කළේ මුලාව සහ විනාශය උදාකිරීම සඳහාය. අරගලය පැවති යුගයන් පුරා සාතන් විසින් ප්‍රගුණ කළ ඉතා සියුම් කූට මායාකාරී ක්‍රියාවේදයන් සියල්ලම ඒකරාශී කර අරගලයේ අන්තිම ප්‍රහාරයේදී දෙවියන්වහන්සේගේ සෙනඟට විරුද්ධ ව මුදා හැරේ. මෙම කාලය මහත් උපද්‍රව සහිත යුගයක් වන අතර කිතුණු අනුගාමිකයන්ගේ වැඩ කොටස වන්නේ ස්වාමීන්වහන්සේගේ දෙවෙනි ඊමේ පණිවිඩය අනතුරු ඇඟවීමක් ලෙස ලෝකවාසීන් හට ප්‍රකාශ කිරීමය.” කැලැල් රහිත, නිදොස්,” ජනතා කණ්ඩායමක් සූදානම් කිරීම ඔවුන්ගේ කාර්යභාරය වන්නේය. 2 පේතෘස් 3:14. මෙම විශේෂිත ජන කොටස දෙවෙනි ඊමේදී උන්වහන්සේ ඉදිරියෙහි නැගී සිටිනවා ඇත. මෙම කාලයේදී අපෝස්තුළුවරුන්ගේ දවස්වලට වඩා නොඅඩුව දිව්‍ය අනුග්‍රහය සහ බලය ඔවුන්ට අවශ්‍ය වනවා ඇත.GrHSin .0

    ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවය කරණකොටගෙන යහපතෙහි සහ නපුරෙහි දිගු කාලීන සංග්‍රාමික සිදුවීම් මේ පොතේ පිටු ලියූ තැනැත්තිය වන මා ඉදිරියෙහි විවෘතව දර්ශනය විය.මිදීමේ කර්තෘවරයාණන් වූද, ජීවනයේ කුමාරයාණන්වූද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මුල්වරට බිඳ දැමුවාවූද, පාපයේ නිර්මාතෘ වූද, නපුරු කුමාරයා වූද සාතන් අතර නොයෙක් යුගවල පැවති මහා අරගලයේ ක්‍රියාකාරකම් කලින් කලට දැකගැනීමේ අවසරය මා හට ලබාදෙන ලදි. ක්‍රිස්තුස්වහන්සේට එරෙහිව සාතන් තුළ තිබූ වෛරය උන්වහන්සේගේ අනුගාමිකයන් කෙරේ එල්ල විය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ප්‍රඥප්තිවලට විරුද්ධව එම වෛරයම ක්‍රියාත්මක වෙමින් එම ආකාරයේ මුලාකිරීම් මගින් බොරුව සත්‍යතාව ලෙසින් පෙන්වා දීමට වෑයමක් විය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ආඥා වෙනුවට මිනිස් අණපනත් ආදේශ කර ඇත. මැවුම්කාරයාණන්ට නමස්කාර කිරීම වෙනුවට මැවිල්ලට නමස්කාර කිරීමට සෑම යුගයක් පුරාම මනුෂ්‍යයන්ට මගපෙන්වා ඇති බව ඉතිහාසය කියා පාන්නේය. දෙවියන්වහන්සේගේ චරිතය වැරදි ආකාරයෙන් හුවා දැක්වීමට සාතන්ගේ උත්සහයන් මැවුම්කාරයාණන් පිළිබඳව ව්‍යාජ ආකල්පයක් මිනිසුන් තුළ ඇති කරවාලීමට හේතු විය. උන්වහන්සේට ප්‍රේම කිරීම වෙනුවට බියෙන් සහ වෛරයෙන් යුතුව එලෙස ක්‍රියා කිරීමට ඔහු ඔවුන්ට සලස්වා තිබේ. ඔහු දිව්‍ය ව්‍යවස්ථාව පසෙක ලමින් එහි ඉල්ලීම් වලින් තමා නිදහස් යයි සිතීමට සලසා මිනිසුන් නොමග යවයි. ඔහුගේ මුළාවන්ට විරුද්ධව ක්‍රියා කරන්නන්ට සෑම යුගයකදීම නිරතුරුව හිංසා පීඩා පමුණුවා ඇත. මේ දේවල් සියල්ලක්ම ලෝක ඉතිහාසයේ ආරම්භයේ පටන්ම සිදුවී ඇත. ආදී පීතෘවරුන්ගේද, අනාගතවක්තෘවරුන්ගේද, අපෝස්තුළුවරුන්ගේද, වේදසාක්ෂිකාරයන්ගේද, ප්‍රතිසංස්කරණ වාදීන්ගේද ජීවිතවල එම සිදුවීම් දක්නට ඇත.GrHSin .0

    අවසන් මහා සටනෙහිදී සාතන් විසින් එම ප්‍රතිපත්තියම අනුගමනය කරනවා ඇත, එම ස්වභාවයම පෙන්වනවා ඇත, පෙර යුගවල මෙන්ම එම අරමුණම කරා ලඟාවීමට ක්‍රියා කරනවා ඇත. ඈත අතීතයේදී සිදුවූ දැයම නැවතත් සිදු වෙනවා ඇත. එහෙත් අනාගත සැලසුම්, බලයෙන් සහ පරිමාණයෙන් විශාල වන්නේ ය. එකල්හි සිදුවන ක්‍රියාකාරිත්වය ලෝක ඉතිහාසයේ මින් පෙර කිසිම දවසක සිදු වී නැත. සාතන්ගේ මුළාවන් හා ප්‍රහාර වඩාත් සූක්ෂම හා තීරණාත්මක වන්නේය. හැකිනම්, ඔහු තෝරාගනු ලැබූවන් පවා මුළා කරන්නේ ය. මාර්ක් 13:22.GrHSin .0

    දෙවියන්වහන්සේගේ වචනයෙහි ඉතා අගනා සත්‍යතාවන් උන්වහන්සේගේ ආත්මයාණන් විසින් මාගේ මනසට එළිදරව් කරදී ඇත. අතීතයේදී සිදුවූ සිද්ධීන් මෙන්ම අනාගත සිදුවීම් පිළිබඳ දර්ශන මා හට ලබා දී එලෙස එළිදරව් කළ දේ පිළිබඳව අනෙකුත් අයව දැනුවත් කරන්නැයි දෙවියන්වහන්සේ මගෙන් ඉල්ලූ සේක. පසුගිය යුගයන්හි සිදුවූ මහා අරගලයෙහි ඉතිහාසය සොයා බලා ඒවා ඉදිරිපත් කර අනාගතයේදී පැමිණෙන්නාවූ ගැටළු පිළිබඳව මනුෂ්‍යයන් ආලෝකමත් කිරීම දේව අභිප්‍රාය වේ. මෙම අභිමතාර්ථය ඉටුකිරීම උදෙසා සහා ඉතිහාසයෙහි සනිටුහන් වී ඇති සමහර සිදුවීම් තෝරාගැනීමට හා එක්කාසු කිරීමට මා උත්සාහ කර ඒවා සූදානම් කළෙමි. විවිධ අවස්ථාවන්හිදී ලෝකයට දෙනු ලැබූ විශිෂ්ට අගනා සත්‍යතාවන් එළිදරව් කරනු ලැබූ ආකාරය කියාපෑමට කරුණු ගොනු කිරීම අවශ්‍ය විය. මෙකී සත්‍යතාවන් එළිදරව් කිරීම ගැන සාතන්ගේ උදහසද ලෝකයට ප්‍රේම කරන සභාවේ වෛරය ද ඒ සත්‍යයන්ට විරුද්ධව නැගී සිටියේය. සත්‍යයට ඇලුම් කළ අය එය රැකගැනීම උදෙසා තම ජීවිත පවා පූජා කළෝය.GrHSin .0

    මෙම වාර්තාවල අපට දැකිය හැකිවන්නේ ඉදිරි අනාගතයේදී සිදුවන්නාවූ ගැටුමෙහි පෙරනිමිත්තකි. දෙවියන්වහන්සේගේ වචනය හා ශුද්ධාත්මයාණන්ගේ ආලෝකමත් කිරීම තුළින් අනාවරණය කර ඇති උපක්‍රමයන් මගින් නපුරාගේ උපක්‍රමයන් අපට දැකගත හැකි වේ. ස්වාමින්වහන්සේගේ පැමිණීමෙහිදී ” කිසිම වරදක් නැති” වූ අය විසින් මෙවන් අන්තරාකාරී දේවල් එපා කළ යුතුය.GrHSin .0

    අතීත යුගයන්හිදී ප්‍රතිසංස්කරණයෙහි වර්ධනය පිළිබඳව වූ විශිෂ්ට සිද්ධීන් හා බැඳි වාර්තා සටහන් දැන් ඉතිහාසයේ පිටු වල ලේඛණ ගත කර තිබේ. ප්‍රොතැස්තන්ත ලෝකය එම වාර්තාවන් පිළිබඳව හොඳින් දැනගෙන සිටියි. එම සිද්ධීන් ලෝකයට රහසක් ද නොවේ. මෙම සත්‍යකරුණු වලට විරුද්ධව කතා කිරීමට කිසිවෙකුට නොහැකිය.GrHSin .0

    මෙම පොතෙහි අරමුණ සාක්ෂාත් කරගැනීමට එම ඉතිහාසය සංක්ෂිප්කව ඉදිරිපත් කොට ඇත. එම කරුණු භාවිතයට ගැනීමේදී මහත් සැලකිල්ලක් යොදා ඇත. එම කරුණු අදාළ කිරීමේදී මනා අවබෝධයක් ලබාගැනීම පිණිස යම් යම් සත්‍ය කරුණු ඉතා කෙටියෙන් සුළු ඉඩ ප්‍රමාණයන්ට ගැලපෙන සේ යොදා ඇත. ඉතිහාසඥයකු විසින් කරුණු ගොනුකර සාරාංශය ඉදිරිපත් කර ඇති සමහර අවස්ථාවන්හිදී, එකී පාඨ ඔහුගේම වචනවලින් මෙම පොතෙහි ඇතුළත් කර තිබේ. එසේ වුවද, සමහර අවස්ථාවන්හිදී උපුටා ගැනීම් පිළිබඳ සඳහනක් කර නැත. එම උපුටා ගැනීමේ පරමාර්ථය එම සිද්ධියෙහි තතු ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති විෂයක් එවන් කතුවරයකු විසින් ප්‍රමාණවත් ලෙස විස්තර කර දී තිබේ නම්, එය මෙම පොතට ඇතුළත් කර තිබේ. අපගේ කාලයේදී ප්‍රතිසංස්කරණ වැඩ කටයුතුවල නියැලී සිටින්නා වූ අයගේ අත්දැකීම් සහ අදහස් ඉදිරිපත් කිරීමේදී ඔවුන්ගේ ප්‍රකාශන එලෙසින්ම උපුටාගෙන මෙම පොතෙහි ඇතුළත් කර තිබේ.GrHSin .0

    ඈත අතීතයේදී සිදුවූ ගැටුම් පිළිබඳ අලුත් දෙයක් ඉදිරිපත් කිරීම මෙම පොතෙහි පරමාර්ථය නොවන අතර, මතු පැමිණෙන්නා වූ සිදුවීම් කෙරෙහි බලපාන්නාවූ කරුණු සහ ප්‍රඥප්ති අදාළ කරගෙන විස්තර සැපයීම එහි පරමාර්ථයයි. ආලෝකයේහි බලවේගයන් සහ අඳුරෙහි බලවේගයන් අතර පවතින්නාවූ අරගලයෙහි විවිධ පැතිකඩ ලෙසින් වූ පූර්ව වාර්තාවන්වල අලුත් වැදගත්කමක් තිබෙන බව පෙනී යන්නේය. එම සිදුවීම් කරණකොටගෙන අනාගතය ආලෝකමත් කිරීමත් පැහැදිලි ලෙස දැකගත හැකි වේ. අතීතයේ සිටි ප්‍රතිසංස්කරණවාදීන් මෙන්ම මතු දවසක දී ද මෙවන් ප්‍රතිසංස්කරණයන්ට මුහුණපෑමට සිදු වන්නා වූ අයට ශක්තිමත් ව සිටීමට උපකාරයක් වන පිණිස ඈත යුගයන්හි ඉතිහාසය දක්වා ඇත. ලෞකික සියලු සම්පත් පරදුවට තබා, ” දෙවියන්වහන්සේගේ වචනය සහ යේසුස්වහන්සේගේ සාක්ෂිය” උදෙසා නොසැලී සිට සාක්ෂි දැරීමට ඔවුන්ව කැඳවනු ලබනවා ඇත.GrHSin .0

    මෙම ග්‍රන්ථයෙහි අරමුණ වන්නේ සත්‍යය හා වරද අතර ඇති මහා අරගලයේ දර්ශන විවෘත කිරීමය; සතන්ගේ කපටි උපක්‍රම එළිදරව් කිරීම හා ඔහුට විරුද්ධව නැගී සිට ජයග්‍රාහීව ඔහුව පරාජය කිරීමට උපකාරයක් වන ක්‍රම ඉගෙනීමය; නපුර නමැති මහා ගැටළුවට සතුටුදායක විසඳුමක් ඉදිරිපත් කරමින් පාපයේ ආරම්භය හා අවසානය පිළිබඳ විශාල ආලෝකයක් විහිදුවා එය සකල විශ්වයෙන්ම තුරන් කරන ආකාරයද දෙවියන් වහන්සේ තම මැවිල්ල සමග සාධාරණ හා පරිත්‍යාගශීලීව කටයුතු කරන ආකාරය හා උන්වහන්සේගේ ශුද්ධවූ ව්‍යවස්ථාවේ වෙනස් නොවන ස්වභාවය පෙන්නුම් කිරීම ද මෙම ග්‍රන්ථයේ අදහසය. මෙම ග්‍රන්ථයෙහි බලපෑමෙන් මනුෂ්‍යයන් අඳුරේ බලවේගයෙන් මුදනු ලැබ ආලෝකයේ ශුද්ධවන්තයන්ගේ උරුමයට ඔවුන් පංගුකාරයන් වී අපට ප්‍රේම කළා වූ අප උදෙසා තමන්ව දුන්නාවූ උන්වහන්සේට ප්‍රසංසාව පැමිණවීම කතුවරියගේ උද්යෝගීමත් යාච්ඤාවයි.GrHSin .0

    එලන්. වයිට්.

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents