Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    3 - ධර්මයේ මාවතින් ඉවත්ව යාම

    ඇදහිල්ලෙන් වැටීයාමේ ප්‍රතිඵලයක් වශයෙන් පාප් බල අධිකාරිය ඇතිවීම පිළිබඳ පාවුල් විසින් තෙසලෝනිකවරුන්ට යැවූ දෙවන ලිපියෙහි සඳහන් කර ඇත. ඒ මෙසේය:” ඇදහිල්ලෙන් වැටී යාමත්, විනාශයේ පුත්‍රයා වන පාපයේ මනුෂ්‍යයා එළිදරව් වීමත් පළමුවෙන් වුනොත් මිස ඒක නොපැමිණෙන්නේය. ඔහු, දෙවියන්වහන්සේ යැයි කියනු ලබන්නා වූ නොහොත් නමස්කාර කරනු ලබන්නාවු සියල්ලන්ට විරුද්ධව සිට, ඒ සියල්ලන්ට වඩා තමාම උසස් කරගෙන, දේව මාළිගාවෙහි වාඩි වී හිඳ, තමා දෙවිව සිටින්නේ යැයි පෙන්වන්නේය” තවද,ඔහු තම සහෝදරයන්ට අනතුරු ඇඟවීමක් ද කරමින්; ” නොපනත්කමේ අභිරහස දැනටම ක්‍රියා කරන්නේය“යි පවසා තිබේ.(2 තෙසලෝනික 2:3,4,7) එවැනි මුල් දවස් වලදී පවා සභාව තුළට වැරදි ඉගැන්වීම් ක්‍රම ක්‍රමයෙන් ඇතුළු වී පාප් බල අධිකාරියෙහි වර්ධනයට පසුබිම සකස් වන බව දුටුවේය.GrHSin 38.1

    මුලදී රහසිගතවද, කූට අයුරින් ද සුළු වශයෙන්ද අරම්භ වූ මෙම ව්‍යාජ දහම් සභාවට ඇතුල්වී පසුව එම ක්‍රියාදාමය ශක්තිමත් වී එළිපිටම මිනිස් මනස පාලනය කිරීමට සමත් විය. මෙම “නොපනත්කමේ අභිරහස” තම මුළාකිරීම් සහ දේව අපහාසාත්මක ක්‍රියාකිරීම් ඉදිරියටම කරගෙන ගියේය. කිතුණු බැතිමතුන්ට තේරුම් ගත නොහැකි අයුරින් මිත්‍යාදෘෂ්ටික වත්පිළිවෙත් සහ පූජා ක්‍රම ක්‍රිස්තියානි සභාව තුළට ඇතුළු විය. සභාව මිථ්‍යාදෘෂ්ඨිකයන්ගෙන් පැමිණි දරුණු පීඩා දරාගත් අතර වෙනත් ඇදහිලි ක්‍රම පිළිගැනීම කලකට නොපැවතුණි. පීඩා සමය නිමවීමත් සමගම කිතුදහම රජවරුන්ගේ මාළිගාවලට සහ විනිශ්චය ශාලාවලටද ඇතුළු විය. එවිට සභාව ක්‍රිස්තුස්වහන්සේ තුළ සහ අපෝස්තුළුවරුන් තුළ පැවති සරල නිහතමානීභාවය අත්හැර දමා මිත්‍යාදෘෂ්ටික රජවරුන්ගේ සහ පූජකයන්ගේ උදාරම් අලංකාරයෙන් සැරසුණේය. දෙවියන්වහන්සේ විසින් නිර්දේශ කළ නියෝගයන් වෙනුවට මිනිස් සංකල්පයන් සහ සම්ප්‍රදායන් සභාව ඈඳා ගත්තේය. සතර වැනි ශත වර්ෂයේ මුල් භාගයේ දී කොන්ස්තන්තීනු රජතුමා නාමිකව ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීම බොහෝ දෙනෙකුගේ ප්‍රීතියට හේතුවක් විය. එක්තරා ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයකින් සැරසී ගත් ලෝකය සභාව අභ්‍යන්තරයටම පැමිණියේය. සභාව තුළ දූෂණය ඉතා සීග්‍රයෙන් වර්ධනය වන්නට විය. මිත්‍යාදෘෂ්ඨිය පරාජයට පත්වූ විලාශයන් පෙන්නුම් කළ ද,මිත්‍යාදෘෂ්ඨික දේවතා ඇදහිලි ක්‍රම ජයග්‍රහණය කළේය. මිත්‍යාදෘෂ්ඨික ආත්මය සභාව පාලනය කළේය. ඇයගේ ධර්මතාවන්, පූජා ක්‍රම, මංගල්‍යයන් සහ මිත්‍යා ඇදහිලි ක්‍රම ක්‍රිස්තියානි ඇදහිල්ලට සහ ක්‍රිස්තුස්වහන්සේගේ විශේෂිත වූ අනුගාමිකයන්ගේ නමස්කාරය තුළට ඒකාබද්ධ කරනු ලැබීය.GrHSin 38.2

    කිතු දහම සහ මිත්‍යාදෘෂ්ටික දහම් පිළිවෙත් අතර සිදු වූ ඒකාබද්ධතාව කරණකොටගෙන “පාපයේ මනුෂ්‍යයා” වැඩෙන්නට විය. මොහු පිළිබඳව අනාවැකි පළ වී තිබුණේය. ඔහු දෙවියන්වහන්සේට විරුද්ධව නැගී සිටිමින් උන්වහන්සේට වඩා ඉහළින් තමා ම උසස් කර ගැනීමේ එම ආගමික ඇදහිලි ක්‍රමය වූකලී සාතන්ගේ බලයෙන් අග්‍ර ශ්‍රේෂ්ඨ නිර්මාණයක් විය. ස්වකීය කැමැත්ත අනුව ලෝක පාලන අධිකාරිය සියතට ගෙන, සිංහාසනාරූඪ වීමේ ප්‍රයත්නයේ ස්මාරකයක් ලෙස මෙම නමස්කාර ක්‍රමය ආරම්භ විය.GrHSin 39.1

    ක්‍රිස්තුස්වහන්සේ සමග සම්මුතියක් ඇතිකර ගැනීමට සාතන් වරක් වෑයම් කළේය. ඒ වනාන්තරයේ දී ඔහු මනුෂ්‍ය පුත්‍රයාණන් පරීක්ෂා කරන පිණිස උන්වහන්සේ වෙතට පැමිණියේය. මෙලොව රාජධානි සහ ඒවායේ තේජශ්‍රීය උන්වහන්සේ ඉදිරියෙහි පෙන්නුම් කරමින් අඳුරේ කුමාරයාගේ ආධිපත්‍ය පිළිගන්නේ නම් එකී රාජධානි සියල්ලම ක්‍රිස්තුස්වහන්සේගේ භාරයට පත් කරන බවට ඔහු පොරොන්දු විය. තමාව පරික්ෂා කිරීමට පැමිණි තැනැත්තාට තරවටු කළ ක්‍රිස්තුස්වහන්සේ ඔහුව පළවා හැර දැමූ සේක. එහෙත්, මෙම පරීක්ෂාව මිනිසුන්ට ඉදිරිපත් කිරීමේදී ඔහු විශාල ජයග්‍රහණයක් අත්කර ගන්නේය. ලෞකික සම්පත්, තාන්න මාන්න, ගරු සත්කාර ලැබීමට සභා තොමෝ පොලොවේ බලවතුන්ගේ අනුග්‍රහය සහ උපකාර සෙවීමට මග පෙන්වනු ලැබුවාය. මෙසේ සභාව ක්‍රිස්තුස්වහන්සේව ප්‍රතික්ෂේප කරමින් සාතන් ගේ නියෝජිතයා වන රෝමයේ(බිෂොප්) පූජා ප්‍රසාදිතුමාට පක්ෂපාතකම් දැක්වීමට පොළඹවනු ලැබුවාය. GrHSin 39.2

    පාප් වනාහී ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වීය සභාවෙහි දෘශ්‍යමාන නායකයාය යන්න රෝම සභාවේ මූලික ධර්මතාවයකි, ප්‍රධාන පිලිගැනීමකි. ලොව පුරා දේව සේවය කරන්නා වූ දේවගැතිවරුන් සහ අගරදගුරුන් කෙරෙහි ප්‍රධානත්වය සහ ආධිපත්‍යය පාප් වරයාට බාර දී ඇතැයි රෝමානු බැතිමත්හු විශ්වාස කරති. එපමණක්ද නොවේ, පාප් වරයාට දිව්‍යත්වයේ තනතුරු නාමද ලබාදී තිබේ. ඔහුව හැඳින්වීමට ” ස්වාමිවු දෙවියන්වහන්සේ අති උතුම් පාප් වහන්සේ” යන නාමය භාවිතා කෙරේ. ඔහුට වරදින්නේ නැති බවද ඔහු වරදක් කරන්නේ නැතැයිද ප්‍රකාශ කර තිබේ. ඔහු සියලු මිනිසුන්ගේ නමස්කාර පූර්ව ගෞරවය තමාට දීමට ඔවුන්ට බල කරයි. පාළුකරයෙදි සාතන් ඉදිරිපත් කළ අයිතිවාසිකම්ද ඉල්ලීම්ද ඔහු අද රෝම සභාව කරණකොටගෙන බැතිමතුන්ට ඉදිරිපත් කරයි. ඔහුට නමස්කාරය පුද කිරීමට මහත් ජන සමූහයක් සූදානමින් සිටිති.GrHSin 39.3

    කපටි රැවටිලිකාර සතුරාගේ යෝජනාව වූ කලී සගයට එල්ල වූ තර්ජනයකි. තමාට පොළවේ ආධිපත්‍ය ඇතැයි පවසමින් නමස්කාරය ඉල්ලා සිටීම දේව අපරාධයකි. එහෙත්, දෙවියන්වහන්සේට භයව උන්වහන්සේට නමස්කාර කරන්නාවූ අය ක්‍රිස්තුස්වහන්සේගේ සතුරාට මුහුණ දුන් ආකාරයටම ස්වර්ගය අභියෝගයට ලක් කරන මෙම ප්‍රකාශනයට මුහුණ දෙන්නේය. මෙවන් අවස්ථාවන්හිදී “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාර කරව, උන්වහන්සේට පමණක් සේවය කරව”(ලූක් 4:8) යනුවෙන් ඔවුහු තම ඇදහිල්ල ප්‍රකාශ කරති. සභාවෙහි නායක අධිපති තනතුර දැරීමට කිසිම මිනිසෙකු පත්කරන බවට දෙවියන්වහන්සේගේ වචනයේ දක්වා නැත. පාප් බල අධිකාරියෙහි නායකත්වය සහ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ ඉගැන්වීම ශුද්ධ ලියවිල්ලෙහි ඉගැන්වීම් වලට එක එල්ලේම විරුද්ධය. අයථා ලෙස පැහැර ගැනීමෙන් විනා අන් කිසි අන්දමකින් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව කෙරෙහි නායකත්ව බලයක් දැරීමට පාප්තුමාට කිසි අයිතියක් නැත.GrHSin 40.1

    බයිබලීය ඉගැන්වීම් වලට විරුද්ධව දුර්ලබ්ධි දහම් අදහනවා යයිද,සත්‍ය සභාවෙන් ඕනෑකමින්ම වෙන් වූවා යයිද කියා රෝමානු සභාව ප්‍රොතැස්තන්ත බැතිමතුන්ට චෝදනා කරයි. එහෙත් මෙම චෝදනා අදාළ වන්නේ ඔවුන්ටමය. ” ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල”( යුදස් 3) අත්හැර දමා එයින් බැහැරව ගොස් ක්‍රිස්තුස්වහන්සේගේ ධජය බිම හෙළා ඇත්තේ ඔවුන්මය.GrHSin 40.2

    තමන් ගෙන එන්නාවූ මුලාවන් වටහාගෙන, එම බලයන්ට විරුද්ධ වීමට මිනිසුන්ට ශුද්ධ ලියවිලිවලින් සහාය ලැබෙන බව සාතන් හොඳාකාරව දැන සිටියි. ලෝකයේ ගැලවුම්කරුවාණන් පවා සාතන්ගේ ප්‍රහාරයනට විරුද්ධව නැගී සිටියේ දේව වාක්‍ය යේ උපකාරයෙන්ය. ” මෙසේ ලියා තිබේය”යි කියමින් ක්‍රිස්තුස්වහන්සේ සදාකාලික සත්‍යතාවේ පළිහ සාතන්ගේ සෑම ප්‍රහාරයක දී ම ඉදිරියට දැමූ සේක. විරුද්ධවාදියාගේ සෑම යෝජනාවක දීම උන්වහන්සේ එයට විරුද්ධතා පෙන්නුම් කළේ දේව වාක්‍යයේ ප්‍රඥාව සහ බලය යොදා ගැනීමෙන්ය. මිනිසා කෙරෙහි තම අධිකාරී බලය පවත්වා ගැනීමට මෙන්ම අයථා ආකාරයෙන් බලය උදුරා ගත් පාප් බල අධිකාරිය ස්ථාපිත කිරීමටද සාතන් මනුෂ්‍යයාව දේව වචනය හැදෑරීමෙන් වැළැක්විය යුතුය. බයිබලය විසින් දෙවියන් වහන්සේව උසස්කර, සීමා සහිත මිනිස් වර්ගයාට හිමි නියමිත ස්ථානය පෙන්වා දෙයි. එම නිසා ඔහු එහි අන්තර්ගත වන පාරිශුද්ධ වූ සත්‍යතාවන් සඟවා තබා ඒවා යටපත් කර තැබීම අවශ්‍ය විය. මෙම තර්කය රෝමානු සභාව විසින් පිළිගනු ලැබීය. වසර සිය ගණනාවක් පුරා බයිබලය බෙදා හැරීම තහනමට ලක්විය.බැතිමතුන් විසින් බයිබලය කියවීම මෙන්ම එය ස්වකීය නිවෙස්වල තබාගැනීමද තහනම් විය.ඒ අතරම ,ප්‍රතිපත්ති ගරුකිරීමක් නැති පූජකයන් සහ නායක පූජකවරුන් විසින් තමන්ගේ ව්‍යාජ ඉගැන්වීම් තහවුරු වන පරිදි බයිබලයේ ඉගැන්වීම්වලට සාවද්‍ය අර්ථකථන පවා ලබා දෙනු ලැබීය.සභාව සහ රජය කෙරෙහි ආධිපත්‍යය පාප්වරයාට පවරා දී ඇතැයි යන්න සභාවෙහි ඉගැන්වීම විය.මෙයාකාරයෙන් පාප් තුමා මුළු පොළොවේම,දෙවියන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින තැනැත්තා බව ලෝවැසි බහුතරයක් පිළිගත්හ.GrHSin 40.3

    වරද හෙළිදරව් කරන මාර්ගය ඉවත් කර දැමීමෙන් පසුව සාතන් තම කැමැත්තට අනුව ක්‍රියා කළේය.පාප් අධිකාරී බලය විසින් “කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස් කරන්නට සිතන්නේ” යයි (දානියෙල් 7:25) අනාවැකි ප්‍රකාශ කර තිබුණේය.මෙම අනාවැකි කල්පිතය ඉක්මණින් ක්‍රියාත්මක විය.නමස්කාරය සඳහා රූප සහ පිළිම භාවිතා කළ මිත්‍යාදෘෂ්ඨික බැතිමතුන් නාමික කිතුණු ඇදහිලිවන්තයන් බවට පත්වීමේදී ඔවුන්ගේ නැමදීම සඳහා සුරුවම්වලට සහ රූපවලට ගෞරවය දැක්වීම ක්‍රම ක්‍රමයෙන් ක්‍රිස්තියානි නමස්කාරයට හඳුන්වා දෙනු ලැබීය. නයිසි යන ස්ථානයේ පැවති පූජක විධායක සම්මේලනයක දී කරන ලද නියෝගයකින් මෙම රූපවලට සහ සුරුවම්වලට වැඳීම සභාව තුළ තීරණාත්මක ලෙස ස්ථාපිත කරන ලදි.ආගම කෙලසීමෙහි ක්‍රියාවේදය සම්පූර්ණ කිරීම සඳහා රූප වැඳීම තහනම් කරන දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි දෙවෙනි ආඥව ඉවත් කර දැමීමට රෝමය සිතා ගත්තේය.ව්‍යවස්ථාවෙහි ආඥා දසය සම්පූර්ණ කිරීම පිණිස දසවෙනි ආඥාව ආඥා දෙකක් වශයෙන් බෙදා වෙන් කිරිමට තිරණය විය.GrHSin 41.1

    මිත්‍යාදෘෂ්ඨික ආගමට මෙසේ ලැබුණ ඉඩකඩ නිසා ස්වර්ගයෙහි බල අධිකාරිත්වයට විරුද්ධව තවදුරටත් ක්‍රියා කිරීමේ මාර්ගයක් විවෘත විය.සභාවෙහි නායකත්වය දැරූ කැපවිමක් නැති පුද්ගලයන් තුළින් ක්‍රියාත්මක වූ සාතන් සතරවෙනි ආඥාව කෙලසීමටද අත තැබීය.දෙවියන්වහන්සේ විසින් ආශිර්වාද කර විශුද්ධ කළ පෞරාණික සබත් දවස(උප්පත්ති 2:2,3) ඉවත් කිරිමටද ඔහු මෙසේ වෑයමක් දැරුවේය.බැතිමතුන්ගේ උත්සව දවසක් වූ මහත් භක්ති ආදරයට පත් හිරුගේ දවස උසස් කරන ලදි.මෙම වෙනස් කිරීම මුලදී එළිපිටම නොකරන ලදි.පළමු සියවස්වලදී සියලුම කිතුණු බැතිමතුන් සැබෑ සබත රක්ෂා කළෝය.දෙවියන්වහන්සේගේ ගෞරවය ගැන මහත් භක්තියක් සහ ලැදියාවක් දැක් වූ ඔවුහු උන්වහන්සේගේ ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකි බව විශ්වාස කරමින් ජ්වලිතයෙන් යුතුව එම ආඥාවන්හි ශුද්ධභාවය ආරක්ෂා කළෝය.එහෙත්,තමන්ගේ කැමැත්ත ඉටු කරගැනීමට සාතන් තම නියෝජිතයන් තුළින් ඉතා කපටි ලෙස ක්‍රියාත්මක විය.බැතිමතුන්ගේ අවධානය ඉරිදා දවසට යොමුකර ගැනීම සඳහා එම දවස ˝ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම˝සැමරීමේ මංගල්‍යය දවස ලෙස නම් කරන ලදි. එම දවසෙහිදී ආගමික නමස්කාර මෙහෙයන් පැවැත්විණ.එහෙත් එම දවස විනෝදය සඳහා වෙන් වු දවසක් ලෙස සලකන ලදි.ඒ අතරම සැබෑ සබතද ශුද්ධ කොට පැවැත්විණ.GrHSin 41.2

    තමා සැලසුම් කළ කර්තව්‍යය ඉටුකර ගැනීමට මාර්ගය සූදානම් කරගැනීම සඳහා සාතන් යුදෙව්වන් තුළින් එම කටයුත්ත ආරම්භ කළේය.ක්‍රිස්තුස්වහන්සේ මෙලොව පැමිණීමටත් පෙර යුදෙව් නායකයන් තුළින් ක්‍රියාත්මක වූ සාතන් ඔවුන් ලවා සබත් දවස සඳහා දැඩි නීති රීති පනවමින් එය පැවැත්වීමට උග්‍රවූ ද, බරපතලවූ ද බරක් බවට පත් කළේය.සබත බරක් ලෙස සැලකීමට යොමු කිරීමෙන් වැරදි ආලෝකයක් ලබා දෙමින් අත් කරගත් වාසියක තත්ත්වයෙන් ප්‍රයෝජනය ගත් සාතන් සබත වනාහි යුදෙව් චාරිත්‍රයකැයි අපහාසයට ලක්කළේය.ඉරිදා දවස විනෝදාස්වාදයේ දවසක් ලෙස කිතුණුවන් විසින් තවදුරටත් පවත්වා ගෙන යනු ලැබීය.යුදෙව් ජනතාව කෙරෙහි වු වෛරය පෙන්වීම සඳහා සබත නිරාහාරව සිටීමේ දවසක් ලෙස,දුකෙහි සහ දොම්නසෙහි දිනයක් ලෙස සැලකීමට සාතන් ඔවුන්ට මගපෙන්නුවේය.GrHSin 42.1

    සිව් වැනි ශත වර්ෂයේ මුල් භාගයේදී කොන්ස්තන්තීනු අධිරාජයා ඉරිදා දිනය ප්‍රසිද්ධ මංගල්‍ය දිනයක් කොට අණඥාවක් නිකුත් කළේය.එය මුළු රෝම අධිරාජ්‍ය පුරා බල පැවැත්විණ.රෝම ජාතික මිත්‍යාදෘෂ්ඨික රටවැසියේ හිරුගේ දවස ආගමික පූජා පැවැත්විමේ දවසක් ලෙස එයට ගරු කළෝය.එම දවස කිතුණුවනුන්ගේද ගෞරවයට පාත්‍ර වු දිනයක් විය.මිත්‍යාදෘෂ්ටික ඇදහිලි ක්‍රම සහ කිතුදහම අතර තිබූ විරෝධතාවන් ගැන සම්මුතියක් ඇතිකිරීම අධිරාජ්‍යයාගේ ප්‍රතිපත්තිය විය.මෙසේ කරන්නැයි සභාවේ නායකයන් අධිරාජයාට පෙරැත්ත කළෝය. මෙවන් ඉල්ලීමක් තුළ ඔවුන්ගේ (බිෂොප්වරු) යටි අදහස වුණේ බලයට වූ කෑදරකමත් බල ලෝභීකමත්ය.කිතුණුවන් සමග මිත්‍යාදෘෂ්ඨිකයන් එකම දවසක් නමස්කාරය වෙනුවෙන් කැප කරන්නේ නම් ,මිත්‍යාදෘෂ්ඨිකයන් විසින් නාමික වශයෙන් හෝ කිතුදහම වැළඳ ගෙන එය කරණකොටගෙන සභාවේ බලය සහ මහිමය වර්ධනය වනවා ඇතැයි සභා බලධරයෝ විශ්වාස කළෝය.දේව භය ඇති බොහෝ කිතුණුවන් ඉරිදා දවස තුළ යම්කිසි ශුද්ධතාවක් ඇති බවට ක්‍රම ක්‍රමයෙන් සිතීමට පුරුදු වූහ.එසේ වුවද ඔවුන් සැබෑ සබත ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දවස ලෙස සලකමින් එය පැවැත්වුහ.සතර වැනි ආඥාවට අනුකූලව ඔවුහූ එයට කීකරු වෙමින් සබත ශුද්ධ කොට පැවැත්වූහ.GrHSin 42.2

    මුළා කිරිමේ මහා රැවටිලිකාරයා තම වැඩ කොටස හමාර කර තිබුණේ නැත.සියලු ක්‍රිස්තියානි බැතිමතුන් තමාගේ ධජය යටතට ගෙන තමා ක්‍රිස්තුස්වහන්සේගේ නියෝජිතයා යයි අයිතිවාසිකම් ඉදිරිපත් කළ අහංකාර පාප්වරයා තුළින්,තම බලය ක්‍රියාවට නැංවීමට ඔහු තීරණය කරගෙන සිටියේය.අර්ධ ලෙසින් කිතු දහමට හැරුණා වූ මිත්‍යාදාෂ්ඨිකයන් තුළින්ද, බල ලෝභි ආගමික දේව සේවකයන් තුළින්ද ලෞකික සැප සම්පත් ලොල් කල සාමාජිකයන් තුළින්ද ඔහු තම අභිමතාර්ථය ඉටු කරගත්තේය.සමස්ථ ලෝකයෙන්ම පැමිණි ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් මහා පරිමාණයේ සම්මන්ත්‍රණ විටින් විට පවත්වනු ලැබීය.මෙම සෑම සමුළුවකදීම දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කරනු ලැබූ සබත ක්‍රම ක්‍රමයෙන් පහත් තලයකට පමුණුවනු ලැබූ අතර එයට සමාන්තරව ඉරිදා ඉහළ තලයකට ඔසවා තබන ලදි.මෙලෙස අන්තිමේදී මිථ්‍යාදෘෂ්ඨික මංගල්‍යය දිව‍්‍ය නියමයක් ලෙස ගෞරවයට භාජන විය.ඒ අතර,බයිබලීය සබත යුදෙව් කෞතුක වස්තුවක් ලෙස සලකන ලදි.එය රක්ෂා කරන්නෝ ශාප ලද්දෝ යයි ප්‍රකාශයට පත්විය.GrHSin 43.1

    “දෙවියන්වහන්සේ යයි කියනු ලබන්නාවු නොහොත් නමස්කාර කරනු ලබන්නාවූ” (2 තෙසලෝනික 2:4) සියල්ලන්ට වඩා තමාම උසස් කරගැනීමට වූ වෑයමෙහිදී සාතන් ජය ගත්තේය.සත්‍යයවූද,ජීවමානවූද දෙවියන්වහන්සේ වෙතට සකල මිනිස් වර්ගයාම නිවැරදිව යොමු කරන්නාවූ දිව්‍ය ව්‍යවස්ථාවේ එකම ආඥාව වෙනස් කිරීමට තරම් ඔහු එඩිතර විය.අහස සහ පොළොව මැවූ මැවුම්කාරයාණන් ලෙස දෙවියන්වහන්සේව හතරවෙනි ආඥාවෙහි එළිදරව් කර ඇති අතර මේ නිසාම අනෙකුත් සෑම බොරු දෙවිවරුන්ගෙන් උන්වහන්සේව වෙන් කොට දක්වනු ලැබේ.මැවීමේ කර්තව්‍යෙයහි ස්මාරකයක් ලෙස හත්වෙනි දින විශුද්ධ කර නිවාඩු දවසක් ලෙස මිනිසාට පවරා දී තිබේ.ගෞරවය සහ නමස්කාරය හිමි තැනැන්වහන්සේ හැටියටද මනුෂ්‍ය පැවැත්මේ උල්පත හැටියටද මිනිස් මනස් ඉදිරියේ ජීවමාන දෙවියන්වහන්සේව නිතර ඔසවා තැබීම පිණිස සබත නිර්මාණය විය.දෙවියන් වහන්සේට පක්ෂපාතිත්වය පුද කිරීමෙන් සහ උන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු විමෙන් මිනිසාව ඉවතට හැරවීමට සාතන් ඉමහත් ප්‍රයත්නයක යෙදී සිටී.එමනිසා දෙවියන්වහන්සේව මැවුම්කාරයාණන් යයි පෙන්නුම් කරන්නාවූ අඥාවට විරුද්ධව තම ප්‍රහාරක කටයුතු එල්ල කිරීමට සාතන් විශේෂ අවධානයකින් ක්‍රියා කරයි.GrHSin 43.2

    ක්‍රිස්තුස්වහන්සේ ඉරිදා මළවුන්ගෙන් නැගිටි බැවින් ඒ දවස ක්‍රිස්තියානි සබත බවට පත්වන්නේ යැයි ප්‍රොතැස්තන්තවරු අවධාරණය කරති.එහෙත් ඒ සඳහා ශුද්ධ ලියවිලි සාක්ෂි නොමැත.එම දවස සඳහා ක්‍රිස්තුස්වහන්සේ විසින් හෝ උන්වහන්සේගේ අපෝස්තුළුවරුන් විසින් හෝ කිසිම ගෞරවයක් ලබා දී නැත.ක්‍රිස්තියානි ආයතනයක් ලෙස ඉරිදා දවස ශුද්ධ කර පැවැත්වීමෙහි ආරම්භය “නොපනත්කමෙහි අභිරහස “(2 තෙසලෝනික 2:7) තුළ සම්මත වු එකකි.පාවුල්තුමාගේ දවස්වලදී පවා එහි ක්‍රියාකාරිත්වය ආරම්භ වී තිබුණේය.පාප් බල අධිකාරියේ මේ දරුවා ස්වාමීන්වහන්සේ දරුකමට හදා වඩා ගැනීම සිදුකළේ කොහේදී ද? කවදාද? ශුද්ධ ලියවිලි අනුමත නොකරන්නාවු වෙනස් කිරිමක් සඳහා කුමන වැදගත් හේතු සාධක ඉදිරිපත් කළ හැකිවේද?GrHSin 43.3

    සය වැනි ශත වර්ෂය වන විට පාප් බල අධිකාරිය ඉතා ශක්තිමත් ලෙස ස්ථාපිත වී තිබුණේය.එහි බල කේන්ද්‍රය වූ රාජකීය අගනුවර පිහිටුවා තිබුණේ රෝමයේ විය; එහි සිටියාවූ බිෂොප්වරයා සකල කිතුණු සභාවේ නායකයා ලෙස ප්‍රකාශයට පත්කරන ලදි. පාප් බලය මිථ්‍යාදෘෂ්ඨික ඇදහිලි ක්‍රමවල ස්ථානය ගත්තේය. ˝මහා සර්පයා තමාගේ පරාක්‍රමයත් ,තමාගේ සිංහාසනයත් මහත් බලයත්˝ මෘගයාට ලබා දුන්නේය. (එළිදරව් 13:2) දානියෙල් සහ එළිදරව් පොත් වල පල කර තිබූ පාප් බල අධිකාරියේ බල පැවැත්වීමේ වසර 1260 ක කාලය මෙවිට ආරම්භ විය. (දානියෙල් 7:25, එළිදරව් 13:5-7. ) සැබෑ කිතුණුවන්ට තම ආගමික පක්ෂපාතීත්වය පිළිබඳව වූ තිරණාත්මක මොහොතක් උදාවිය. පාප් ඉදිරිපත් කළ ආගමානූකූල මංගල්‍යයන් සහ නමස්කාරය පිළිගනිමින් තම ආත්මාභිමානය පාවා දෙනවාද නැතහොත් තමන්ගේ ජීවිත අඳුරු බිම් ගෙවල ක්ෂයවී යෑම, වධකාගාරවල හිංසනයට ගොදුරුවීම, කෝටුමස් කරනු ලැබීමට භාජනවීම, වධකයාගේ පොරෝ පහරට ගෙල දීම යනාදිය තෝරාගන්නවාද කියා තීරණය කිරීමට ඔවුන්ට සිදුවිය.GrHSin 44.1

    මේ පිළිබඳව යේසුස්වහන්සේ පැවසු මේ වචන දැන් සම්පූර්ණ විය. “එහෙත් මවු පිය සහෝදර නෑ මිත්‍රයන් විසින්ම නුඹලා භාර දෙනු ලබන්නහුය; ඔවුහු නුඹලාගෙන් සමහරෙකු මරණයට පත් කරවන්නෝය. මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛර වන්නෝය. “(ලූක් 21:16,17) මීටපෙර කිසිම අවස්ථාවක නොවූ විරූ වධහිංසා විශ්වාසවන්ත බැතිමතුන්ට එරෙහිව ආරම්භ විය. මුළු ලෝකයම යුද්ධ පිටියක් බවට පත්විය. සිය වස් ගණනාවක් පුරා ක්‍රිස්තුස්වහන්සේගේ සභාව අප්‍රසිද්ධියේද, හුදෙකලාවද රැකවරණය වූවාය. අනාගතවක්තෘවරයා මෙසේ පවසයි: “ස්ත්‍රී ද කාන්තාරයට පලාගියාය. එක්දහස් දෙසිය සැට දහසක් ඈ පෝෂණය කරන පිණිස දෙවියන්වහන්සේ විසින් පිළියෙල කරන ලද ස්ථානයක් ඈට එහි තිබුණේය.”(එළිදරව් 12:6)GrHSin 44.2

    රෝම සභාව බලයෙන් පූර්ණ වීමත් සමඟ අඳුරු යුගය ආරම්භ විය. ඇයගේ බලය වැඩිවත්ම අන්ධකාරයද වර්ධනය විය. සත්‍ය අත්තිවාරම වන ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහිවූ ඇදහිල්ල රෝමයේ පාප්වරයා වෙතට මාරු කරනු ලැබීය. පව් කමාව හා සදාකාලික ගැළවීම උදෙසා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි විශ්වාස කරනවා වෙනුවට ජනතාව පාප්වරයා සහ ඔහු විසින් බලය පවරා දුන් පූජකයන් සහ ප්‍රසාදිවරුන් වෙතට යොමු විය.මිනිස් සත වෙනුවෙන් මෙලොව සිටින්නාවූ මැදහත්කාරයා පාප්වරයා බවත් එතුමා තුළින් මිස කිසිම අයෙකුට දෙවියන්වහන්සේ වෙතට ළඟාවීමට නොහැකි බවත් මිනිසුන්ට උගන්වනු ලැබීය.ඔහු මිනිසුන් ඉදිරියේ දෙවියන්වහන්සේ උදෙසා පෙනී සිටින බවත්,එම නිසා ඔහුට අචල කීකරුකම ලබා දිය යුතු බවත් පවසන ලදි.යමෙක් ඔහුගේ නියමයන්ගෙන් වෙනතකට යොමු වූයේ නම් ඒ වරදකරවන්ගේ සිරුරට සහ ආත්මයට දැඩි දඬුවම් ලැබීමට එය ප්‍රමාණවත් හේතුවක් වනවා ඇත.මෙයාකාරයෙන් මිනිසුන්ගේ මනස් දෙවියන්වහන්සේගෙන් ඉවතට හරවා ඒවා පව්කාර,වරද කරන සුළු,කුරිරු මිනිසුන් වෙත හා මෙම මිනිසුන් තුළින් ක්‍රියාත්මක වූ අඳුරෙහි කුමාරයා වෙතට යොමු කරවන ලදි.පාපය ශුද්ධ වූ වස්ත්‍රයකින් ආවරණය කරනු ලැබීය.ශුද්ධලියවිලි යටපත් කර දමා තමා ශ්‍රේෂ්ඨ යැයි මිනිසා සිතීමට පටන්ගත් කල එතැන පවතින්නේ වංචාව ,මුළාව සහ නීච අධමකම පමණකි.මිනිස් ආඥාවන්ට හා සම්ප්‍රදායන්ට මුල්තැන දීමෙන් ක්‍රියාකළ විට ප්‍රකාශ වූයේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඉවත දමා ක්‍රියාකරන සෑම විටම ඇතිවිය හැක්කේ කෙබඳු දූෂිත තත්ත්වයක්ද යන්නය.GrHSin 44.3

    ඒම දවස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට උපද්‍රව සහිත කාලයක් විය.ඇත්තෙන්ම විශ්වාසවන්තව සිටි අය ස්වල්ප දෙනෙක් පමණක් වූහ.සත්‍යය උදෙසා සාක්ෂි දරන්නා වූ අය සිටියා වුවද ,සමහර අවස්ථාවලදී, වරද සහ මිත්‍යා ඇදහිලි සම්පූර්ණයෙන් බලපවත්වන්‍ට යන බවත් ,සත්‍ය ආගම පොළොවෙන් සදහටම තුරන් කර දමනු ලැබිය හැකි බවත් පෙනී ගියේය.ශුභාරංචිය නොතකා හැර තිබුණි.එහෙත් ආගමික චාරිත්‍ර වාරිත්‍ර බහුලව පැවතියේය. ඒ අතර බැතිමතුන් මත දරාගත නොහැකි උග්‍ර වූ නියමයන් පටවන ලදි.GrHSin 45.1

    තමන්ගේ මැදිහත්කාරයා ලෙස පාප්වරයා කෙරෙහි බලා සිටින්නැයි ඔවුන්ට ඉගැන්වීමට පමණක් නොව ,තමන්ගේ පාප සඳහා සමගි කිරිමක් සලසා දීමට තමන්ගේ පුණ්‍ය ක්‍රියාවන් කෙරෙහි විශ්වාසය තබන ලෙසද ජනතාව දැනුවත් කරනු ලැබීය.ඒවා නම් දිගු කාලීන වන්දනා ගමන් බිමන්,පාප නිසා තමන්ට දඬුවම් කර ගැනීම්,පූජ්‍ය ධාතු නමස්කාරය ,දෙව් මැදුරු,පූජනීය ස්ථාන සහ අල්තාර ඉදිකිරීම,සභාවට විශාල මුදලක් ගෙවීම යනාදියයි. මෙබඳු තවත් බොහෝ සාමාන්‍ය ක්‍රියාවන් මගින් දෙවියන්වහන්සේගේ උදහස තුනී කර උන්වහන්සේගේ අනුග්‍රහය ලබා ගැනීමට හැකියාවක් උදාකර ගත හැකි බව උගන්වන ලදි.දෙවියන්වහන්සේ සුළු දෙයක් ගැන කෝපයට පත්වන මනුෂ්‍යයන් හා සමාන බවද ,තෑගි භෝග දීමෙන් ,තමන්ටම දඬුවම් කරගැනීමෙන් හෝ දුෂ්කර ක්‍රියා කිරිමෙන් දේව උදහස පහ කර ගත හැකි බවක්ද මෙසේ දක්වනු ලැබීය.GrHSin 45.2

    රෝමානු සභාවේ නායකයන් අතර පවා නපුර පැවති නමුත් සභාවේ බලපැවැත්මේ නිත්‍ය වර්ධනයක් පවතින බව පෙනුණි.අටවැනි සියවසේ අවසන් කාලයේදී පාප් බලධාරීන් තමන් සතු බලය ගැන නව අදහසක් ඉදිරිපත් කළෝය.දැන් තමන් සතුව ඇති ආත්මික බලය ක්‍රිස්තියානි යුගයේ මුල් කාලවලදී රෝමයේ රදගුරු ප්‍රසාදීන් භුක්ති විඳි ආත්මික බලයම බවට ඔවුහු අයිතිවාසිකම් ඉදිරිපත් කළහ.මෙම අයිතිය සහතික කිරීම සඳහා එයට අධිකාරී බලයක් ඇතැයි පෙන්නුම් කිරීමට යම් කිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළයුතු විය.බොරුවේ පියා මෙම ක්‍රමවේදය පිළිබඳව කඩිනම් යෝජනාවලියක් ලබා දුන්නේය.ආගමික පූජකවරු පැරණි දිනවල යෙදූ ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කළෝය.පෙර කිසිම දවසක අසන්නට නොලැබූ සම්මන්ත්‍රණ වාර්තා සොයාගත් බව නිවේදනය විය.මුල් කාලයේ පටන්ම පාප්වරයා හට විශ්වීය ආධිපත්‍යයක් ,ශ්‍රේෂ්ඨත්වයක් තිබූ බව මෙම ව්‍යාජ ලේඛණ මගින් සනාථ විය.සත්‍යය එපා කළ සභාව මෙම වංචාකාරී වැඩ පිළිවෙල මහත් ආශාවෙන් පිළිගත්තාය.GrHSin 46.1

    සත්‍ය වූ අත්තිවාරම (1 කොරින්ති 3:10,11) මත ගොඩ නැගෙමින් සිටි විශ්වාසවන්ත සුළු පිරිස සත්‍යය ඝාතනය කරමින් ව්‍යාප්ත වන්නා වූ බොරු ධර්මතාවන් නිසා තමන්ගේ වැඩ කටයුතුවලට බාධා පැමිණීමෙන් අවුල් සහගත තත්ත්වයකට පත්වූහ.නෙහෙමියාගේ දවස්වලදී යෙරුසලමෙහි පවුරු ගොඩ නගමින් සිටි අය මෙන්ම වත්මනදී අවුලට පත්ව සිටි අයද, මෙසේ පවසන්නට සූදානමින් සිටියහ:˝බර ගෙන යන්නන්ගේ ශක්තිය හීන වී තිබේ;පස් ගොඩ ගැසී තිබේ.එබැවින් අපට පවුර ගොඩ නගන්නට බැරිය.˝(නෙහෙමියා 4:10)ශුභාරංචිය පතුරුවා හැරීමේ කාර්යයෙහි යෙදී සිටි අයගේ සේවා ව්‍යාප්තියට අකුල් හෙලීමට සාතන් විවිධ අවහිරකම් ඇති කළේය. වධ වේදනා, හිංසා පීඩා ,වංචාව, ප්‍රයෝගය,අපරාධ, අයුක්තිය යනාදියට එරෙහිව නිතරම සටන් වැදීමට සිදු වූ නිසා වෙහෙසට පත් සත්‍යවාදී දහම් ප්‍රචාරය කරන්නෝ සිතින් අධෛර්යයට පත්ව සමාදානය,තම දේපල හා ජීවිත,ආරක්ෂා කර ගැනීම සඳහා සත්‍ය වූ පදනමෙන් ඉවතට හැරී දිවි ගෙවන්නට වූහ.ඒ අතරම තවත් සමහර අය සතුරාගේ විරුද්ධතාවන්ගෙන් නොසැලී අභීතව මෙසේ ප්‍රකාශ කළෝය.˝ඔවුන් ගැන භය නොවන්න. මහත්ව භයංකරව සිටින ස්වාමීන්වහන්සේ ˝ සිහිකර ගන්න.(නෙහෙමියා 4:14).ඔවුහූ තම තමාගේ කඩුව ඉඟටියේ බැඳගෙන තම වැඩකටයුතු තවදුරටත් ඉදිරියටම කරගෙන ගියෝය.(එපීස 6:17)GrHSin 46.2

    සත්‍යයට වෛර කළ,එයට විරුද්ධවාදිකම් දැක්වූ ආත්මයම සෑම යුගයකම සිටි දෙවියන්වහන්සේගේ සතුරන් දිරිමත් කළේය. ඒ අතරම උන්වහන්සේගේ සේවකයන් තුළද ආකාරයේම අවදිව හිදීමත් පක්ෂපාතීකමක් සහ වෙහෙස නොබලා සේවය කිරීමත් අවශ්‍ය විය.තමන්වහන්සේගේ මුල් ගෝලයන්ට ක්‍රිස්තුස්වහන්සේ පැවසු මේ වදන් ලෝකාන්තිමය දක්වා උන්වහන්සේගේ අනුගාමිකයන්ටද එක සේ අදාළ වනවා ඇත:˝මම නුඹලාට කියන දේ සියල්ලන්ටම කියමි- අවදිව සිටින්න.˝(මාර්ක් 13:37)GrHSin 47.1

    අන්ධකාරය තවදුරටත් වර්ධනය වන බව පෙනී ගියේය.පිළිම වන්දනාව සාමාන්‍ය තත්ත්වයකට පත්විය.රූප ඉදිරියෙහි ඉටිපන්දම් දැල්වෙන්නට විය.එම රූපවලට යාච්ඤා ඔප්පු වන්නට විය.මිථ්‍යාදෘෂ්ඨිකවූ ද ,හාස්‍යජනකවූ ද අන්ධ විශ්වාසයෙන් යුතුවූ ද ඇදහිලි ක්‍රම පොදුවේ පැවතිණ.මිනිසුන්ගේ මනස් මිත්‍යා විශ්වාසයන් මගින් කෙතරම් ප්‍රබල ලෙස පාලනය කරනු ලැබුවේද යත් ඔවුන් තුළ පැවතිය යුතුවූ තෝරා බේරා ගැනීමේ හැකියාව සහමුලින්ම නැති වී ගොස් ඇතැයි පෙනෙන්නට විය.පූජකවරුන් සහ රදගුරුවරුන් සැප සෙල්ලමට ලොල්ව අනුරාගයෙන් කුල්මත්ව,දූෂිත ජීවිත ගත කරද්දී බැතිමතුන්ගෙන් බලාපොරොත්තු විය හැකිවන්නේ ආගමික දේ පිළිබඳව දැනුමක් නැතිකමය. මගපෙන්වීම සඳහා ආගමික නායකයන්ගේ සහාය පැතූ බැතිමතුන් නොදැනුවත්කමෙහි සහ දුරාචාරයෙහි පතුලට කිඳා බසින්නේය.GrHSin 47.2

    පාප් බල අධිකාරියේ ඉගැන්වීම් තවත් පියවරක් ඉදිරියට යමින් රෝමානු සභාව සර්ව සම්පූර්ණ යැයි හත්වන ග්‍රෙගරි පාප්වරායා එකොළොස් වන ශත වර්ෂයේදී නිල ප්‍රකාශයක් නිකුත් කළේය.ඔහු ඉදිරිපත් කළ යෝජනාවන්ගෙන් එකක් තුළින් ඔහු තහවුරු කළේ සභාව කිසිම කලෙක ශුද්ධ ලියවිලිවලට විරුද්ධව වරදක් කර නැති බවත් ඉදිරියෙහිදීද කිසිම දවසක වරදක් කරන්නේ නැති බවත්ය.එහෙත් ,තම ප්‍රකාශනය ඔප්පු කිරීමට ශුද්ධ ලියවිලි පාඨ ඉදිරිපත් කිරිමට ඔහුට පුළුවන් වූයේ නැත.ඔහු තවත් උදාරම් බස් දොඩමින් තවත් අයිතිවාසිකම් ගණනාවක්ද කියා පෑවේය.තමාගේ නිල බලය යොදවමින් අධිරාජ්‍යයන් සිහසුනෙන් පහ කිරිමට හැකි බවත් ,තමා නිකුත් කළ දඬුවම් ප්‍රකාශනයක් තවත් කවර අයෙකුට හෝ අවලංගු කළ නොහැකි බවත් ,වෙනත් අයෙකු විසින් නිකුත් කරන ලද ඕනෑම නියෝගයක් වෙනස් කිරීමේ බලයක් තමාට හිමි බවත් ඔහු ප්‍රකාශ කළේය.GrHSin 47.3

    හතරවැනි හෙන්රි නම් ජර්මානු අධිරාජයාට දෙනු ලැබූ සැලකිල්ල තුළ,වරදක් කළ නොහැකි යයි කියන්නා වූ අයෙකු ක්‍රියා කළ ආකාරය තුළ දුෂ්ටවූ ද,කුරිරු වූ ද ස්වභාවයක උදාහරණයක් පෙන්නුම් කෙරේ.පාප්වරයාගේ අධිකාරී බලයට අවනත නොවුයේය යන අනුමාන පදනම මත ඔහු රජතුමාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කර ,ඔහුව සිංහාසනයෙන් ද පහ කර දැම්මේය.රජතුමා යටතේ සිටි කුමාරවරුන්ද ඔහුව අතහැර දමා ඔහුට විරුද්ධව තර්ජනද එල්ල කර පාප්වරයාගේ නියෝගයෙන් ඔහුට විරුද්ධව කැරලි ගැසීමට යොමු කරනු ලැබූ නිසා මහත් භීතියට පත් වූ රජතුමාට ,රෝමය සමග සාමය පතා සම්මුතියකට එළඹීම අවශ්‍ය යයි හැගී ගියේය.තමාගේ බිරින්ද සහ විශ්වාසවන්ත සේවකයෙකුද සමග හෙන්රි, පාප්වරයා බැහැ දකින්නට තීරණය කළේය.ශීත සෘතුවේ මැද භාගයේ දී මෙම කණ්ඩායම ඇල්ප්ස් කඳුවැටිය හරහා යමින් බලාපොරොත්තු වූණේ පාප්වරයා ඉදිරියේ යටත්භාවය කියාපෑමටය.ඔහු පාප්වරයාගේ මාළිගාව වෙත පැමිණි අවස්ථාවේදී රජතුමෙකුට සුදුසු අයුරින් ඔහුව පිළිගනු ලැබුවේ නැත.ඔහුගේ පරිවාර ආරක්ෂක භටයන් විරහිතව රජතුමාව පිටත මළුවක රඳවා තිබීම පාප්වරයාගේ නියමය විය.ඔහුට සිටින්නට සිදුවුණේ හිස් වැස්මක් නැතිව, පා ආවරණ නැතිව,ශීත සෘතුවකට ඔරොත්තු නොදෙන ඇඳුමක්ද සහිතවය.පාප්ව මුණ ගැසීමට රජුට අවසර ලැබුණේ මෙසේ දුක් ගැහැට විඳිමින් ,නිරාහාරව,පව් කියාදෙමින් තුන් දවසක් ගත කිරීමෙන් පසුවය.පාප්වරයා ඔහුට සමාව දීමට තීරණය කළේ ඔහුට කොන්දේසියක්ද පනවමිනි.එනම් ,රජු ඔහුගේ රාජකීය නිල කටයුතු ආරම්භ කිරිමට පෙර පාප්වරයාගේ අනුමැතිය ලබාගත යුතු බවය.මෙම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ග්‍රෙගරි පාප්වරයා රජවරුන්ගේ අහංකාරය බිමට ඇද දැමීම තමාගේ වගකීම යැයි උදම් ඇනුවේය.GrHSin 47.4

    අහංකාරයෙන් හිස උදුම්මාගත් මෙම පාප්වරයාගේ ක්‍රියා කලාපය සහ ක්‍රිස්තුස්වහන්සේගේ මුදු මොළොක් නිහතමානීකම අතර ඇත්තේ කෙතරම් වෙනසක්ද ,මිනිස් හදවත්හි දොරටුව අසල රැඳී සිටිමින් එහි ඇතුළුවීමට ආයාචනා කරන්නෙකු ලෙස ක්‍රිස්තුස්වහන්සේව පෙන්වා දී තිබේ.මිනිසාට කමාව සහ සමාදානය ලබා දීමට හදවත තුළට පැමිණිමට උන්වහන්සේ අපේක්ෂාවෙන් රැඳී සිටින සේක;උන්වහන්සේ තම ගෝලයන්ට මෙසේ ඉගැන්වූ සේක.˝නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය.˝(මතෙව් 20:27) GrHSin 48.1

    වර්ෂයන් ගෙවී යත්ම රෝමය විසින් ඉදිරිපත් කළ වැරදි ධර්මතාවයන් නිරතුරුවම වැඩිවන්නට විය.පාප් බල අධිකාරිය පිහිටුවීමට පෙරදී පවා මිථ්‍යාදෘෂ්ඨික දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් සභාවේ අවධානයට භාජනය වී සභාවට බලපෑමක් ඇති කළේය.කිතු දහම වැළඳ ගත්තා යයි පැවසූ නාමික ලෙස හැරුණු බොහෝ පුද්ගලයෝ ඔවුන්ගේ මිථ්‍යාදෘෂ්ඨික ඇදහිලි ක්‍රමවල තවදුරටත් එල්ලී සිටිමින් ක්‍රියාත්මක වූවා පමණක් නොව වෙනත් මිථ්‍යාදෘෂ්ඨීන්ටද බලපෑමක් ඇතිකිරීම පිණිස ඒවායේ පැවතීමට අන්‍යයන්ටද බල කළහ.භායානක වැරදි ඉගැනිවීම් මෙසේ ක්‍රිස්තියානි ඇදහිල්ලට හඳුන්වා දෙනු ලැබිණ.මෙසේ කිතුණු සභාවට ඇතුළු වු ප්‍රධාන විශ්වාසකයන්ගෙන් එකක් වූණේ මනුෂ්‍යයා ස්වභාවයෙන්ම අමරණීය බවත්,මරණයේදී ඔහුගේ සිහි බුද්ධිය අඛණ්ඩව පවතින බවත්ය.රෝමය ස්ථාපිත කළ ශුද්ධවන්තයන්ගෙන් පිහිට ඉල්ලා යාච්ඤා කිරීම ද කන්‍යා මරිය තුමියට නමස්කාර කිරීමද සඳහා අඩිතාලම දැමීමට මෙම ධර්මතාවය පිටුවහලක් විය.පසුතැවිලි නොවු පව්කරුවා සදහටම ගින්නෙන් දැවෙන්නේය යන වැරදි ඉගැන්විමද මෙයින් පැන නැගුණු අතර එය මුල් දවස්වලම පාප්වාදී ඇදහිල්ලට ඒකාබද්ධ විය.GrHSin 48.2

    තවත් මිත්‍යාදෘෂ්ඨික නිර්මාණයක් හදුන්වා දීමට එවිට මාර්ගය සැලසිණ.රෝමය එයට “ශුද්ධ ගිනි ස්ථානය “යැයි නම් තැබීය.මිත්‍යා ක්‍රමවේදයන් විශ්වාස කළ විශාල ජනකායක් භීතියට පත් කිරීමට මෙය උපයෝගී කරගන්නා ලදී.මිය ගිය තැනැත්තාට වධහිංසා පමුණුවන්නා වු ස්ථානයක් ඇති බව මෙම ඉගැන්වීම සාක්ෂාත් කළේය.නිරයට තීන්දු වීමට තරම් සුදුසු නැති ආත්ම තම පව් වලට දඩුවම් විඳ පවිත්‍ර වනතුරු “ශුද්ධ ගිනි” ස්ථානයේ සිටීමට පසුව ඔවුන්ගේ ආත්මය ස්වර්ගයට ඇතුළු කරගනු ලබන බව විශ්වාස කෙරිණ.GrHSin 49.1

    තම අනුගාමිකයන් බියට පත්කර ඔවුන්ගේ ඇදහිලි ක්‍රම තුළින් ලාභ ප්‍රයෝජන ලබාගැනිම සඳහා රෝමය‍ තවත් ප්‍රබන්ධයක් ගොතා ගන්නට අවශ්‍ය විය.පව්කමාව මුදලට විකිණිමේ ධර්මතාව එය පිරිමැසිය.පාප් අධිකාරියේ සීමා මායිම් පුළුල් කරගැනීම සඳහා පාප්තුමාගේ අණින් වු “යුද්ධ” වල‍ට හවුල් විමෙන් එම තැනැත්තාගේ අතීත, වර්තමාන,අනාගත සියලු පාප වල‍ට සම්පුර්ණ සමාව ඔහුට ලබාගත හැකි විය. සියලු වේදනාවන්ගෙන් සහ දඬුවමින් ඔහුට නිදහස ලැබෙන බවට පොරොන්දු දෙන ලදි. සභාවේ සතුරන්ට දඬුවම් දීමෙන්ද පාප්තුමාගේ ආත්මික අධිකාරි බලය එඩිතරව ප්‍රතික්ෂේප කරන අයව විනාශ කර දැමීමෙන්ද මෙම භාග්‍යයට හිමිකම් කීම‍ට හැකියාව ලැබෙන බව පවසන ලදි.සභාවට මුදල් ගෙවීමෙන් කෙනෙකුට ඔහුගේ පව් වලට සමාව ලබාගත හැකි බවද එමෙන්ම එමගින්,හිංසාකාරි නිරා ගින්නෙන් පීඩා විදින්නාවු මිතුරන්ගේ ආත්ම එම ස්ථානයෙන් නිදහස් කර හැරිමට හැකි බවද උගන්වනු ලැබිය.මෙයාකාරයෙන් රෝමානු සභාව තම භාණ්ඩාගාරය මුදලින් පුරවා ගත්තේය.තමන්ට හිස තබන්නටවත් තැනක් නැතැයි පැවසු තැනැන්වහන්සේගේ නියෝජිතයන් යයි කියාගන්නාවු අය තම සුඛෝපභෝගි ජීවිත සඳහා මුදල් උපයා ගත්තේ මෙවන් කූට උපක්‍රමයන්ගෙන්ය.GrHSin 49.2

    ස්වාමින්වහන්සේගේ අන්තිම රාත්‍රි භෝජනය සැමරිමේ ක්‍රමය ගැන වූ ශුද්ධ ලියවිලි ඉගැන්විම් යටපත් කරමින් රූප නමස්කාරයට සම්බන්ධ මිත්‍යාදෘෂ්ටික පුජා ක්‍රමය ස්ථාපිත කරන ලදි.සත්කර්ම පුජාව සඳහා භාවිතා කරන ලද රොටී සහ මිදියුෂ රෝමානු පුජකයන්ගේ රැවටිලිකාර රඟපෑමක් මගින් ක්‍රිස්තුස්වහන්සේගේ නියම “ශරීරය සහ රුධිරය “බවට පත්වන බව රෝම සභාවේ ඉගැන්වීමය.(උපුටා ගැනිම නො. 1Cardinal Wiseman’s Lectures on “the Real Presence,” Lecture 8, par.26.). දේව අපහාසාත්මක චින්තනයෙන් යුත් රෝමානු පූජකයෝ සියල්ලෙහි මැවුම්කාර වූ තැනැන්වහන්සේව තමන්ගේ හස්තයෙන් නිර්මාණය කරන්නට තමන්ට බලය ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෝය.ස්වර්ගයට නිගා දෙවන්නාවූ මෙම වැරදි විශ්වාසයන් අදහන බවට පොරොන්දු වීමට කිතුණු බැතිමතුන්ට නියම විය. එසේ නොකරන්නේ නම් මරණීය වධහිංසා පමුණුවනු ලබන බවට තර්ජන එල්ල විය.මෙම විශ්වාසය පිළිගැනිම ප්‍රතික්ෂේප කළ මහත් සමුහයක් ගින්නට දමා විනාශ කරනු ලැබීය.GrHSin 50.1

    පාප් අධිකාරියේ ඉතාම භයංකාර වූ මරණීය යාන්ත්‍රණය දහතුන්වැනි ශතවර්ෂයේ එළි දැක්කේය.සභාවේ ඉගැන්වීම් පිළිනොගන්නා වු අය විනිශ්චය කර ඔවුනට දඬුවම් පැමිණවීම එම යාන්ත්‍රනයෙහි කාර්ය භාරය විය.අන්ධකාරයෙහි කුමාරයා පාප් බල අධිකාරියේ නායකයන් සමග එක්ව ක්‍රියා කළේය.ඔවුනට රහසිගත රැස්විම්වලදී සාතන් සහ ඔහුගේ දූතයෝ දුෂ්ට මිනිසුන්ගේ මනස් පාලනය කළෝය.ඔවුන් අතර අදෘශ්‍යමානව සිටි දෙවියන්වහන්සේගේ දූතයෙක් විනිශ්චයෙහි බියකරු තීන්දු වාර්තා ගත කළේය.මිනිස් ඇසට දැකීමෙන් පවා ඇඟ කිළි පොලා යන දරුණු ක්‍රියාවන් ඉතිහාස වාර්තාවට එකතු කරනු ලැබීය. “මහා බබිලෝනිය ” ශුද්ධවන්තයන්ගේ... ලෙයින් මත් වී” සිටියාය. තළා පොඩි කරනු ලැබූ ,කෑලි කෑලිවලට ඉරා දමනු ලැබූ දස දහස් සංඛ්‍යාත වේද සාක්ෂිකයන‍්ගේ ලේ මෙම විරුද්ධවාදීන්ගෙන් පළිගන්නැයි දෙවියන්වහන්සේට හඬ නැගූහ.GrHSin 50.2

    පාප් අධිකාරිය ලෝකයේ පාලන බලය බවට පත්වී තිබිණ.රෝම පාප්වරයාගේ අණසක ඉදිරියේ රජවරු සහ අග රජවරු හිස නැමූහ.මෙම කාලය සඳහා මෙන්ම සදාතනය සඳහාද මිනිසුන්ගේ ඉරණම නියම කිරීම ඔහුගේ පාලනය යටතේ පවතින්නේ යැයි පෙනී ගියේය.සියවස් ගණනාවක් පුරා රෝමානු ධර්මතාවන් සම්පූර්ණ වූ ද නිත්‍යවූද අයුරින් පිළිගනු ලැබීය.එම සභාවෙහි ආගමික වතාවන් භක්තියෙන් යුතුව ඉටුකරන ලද අතර ආගමික මංගල්‍යයන් බොහෝ සේ සමරන ලදි.ඇයගේ පූජක පක්ෂයට ගෞරව පුද කොට ඔවුන‍්ගේ නඩත්තුව සඳහා නිර්ලෝභීව දීමනාවන් පුදකරන ලදි.මෙතෙක් කිසිම කලෙක රෝමානු සභාව මෙවැනි ගෞරවයකට පාත්‍ර වූණේද, ශ්‍රී විභූතියකට භාජන වුණේද, බලයක් හිමි කර ගත්තේද නැත.GrHSin 50.3

    “පාප් බල අධිකාරියෙහි මධ්‍යහ්නය ලෝකයේ මැදියම් රාත්‍රිය විය.”(උපුටා ගැනීම නො. 2Wylis, “History of Protentantism,” book1, Chapter.Q) බැතිමතුන්ට මෙන්ම පූජකයන්ටද ශුද්ධලියවිලි දැනුම නැති වී ගොස් තිබුණි.බොහෝ පුරාණයේ විසූ එරිසිවරුන් මෙන් පාප් සමවාදී නායකයෝ ද තමන්ගේ පාප එළිදරව් කරන ආලෝකයට ද්වේෂ කළෝය.ධර්මිෂ්ඨකමෙහි ප්‍රමිතිය වන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ඉවත් කර තිබූ නිසා රෝමානූ නායකයෝ සීමාවකින් තොරව තම බලය පාවිච්චි කළෝය,කිසිම තහනමක් නැතිව දුරාචාරයෙහි යෙදුණාහ.වංචාව ,ධන තෘෂ්ණාව සහ දුරාචාරය බහුලව තිබියදී ධන සම්පත් තනතුරු ලබාගැනීම සඳහා කවර ආකාර හෝ අපරාධයක් කරන්නට මිනිසා පසුබට නොවීය.පාප්වරුන්ගේ සහ නායක පූජකයන්ගේ මාළිගාවන් අධම සල්ලාලකම් වලින් පිරී තිබුණි.සමහර පාප්වරු ඉතා දූෂිත අපරාධවලට වරදකරුවන් වූහ.ඔවුන්ව එම තනතුරුවලින් පහ කිරීමට සමහර රාජ්‍ය පාලකයන් වෑයම් කළේ ඔවුන් සමාජය විසින් ඉවසිය නොහැකි තරමට දූෂිත වූ සහ අධම වූ අයවලුන් වූ බැවිනි.සියවස් ගණනාවක් පුරා යුරෝපාකරය තුළ ඉගෙනීම,කලාව හා ශිෂ්ඨාචාරය යන ක්ෂේත්‍රයන්හි කිසිම දියුණුවක් සිදු නොවීය.අධ්‍යාත්මික සහ බුද්ධිමය පක්ෂාඝාත රෝගයෙන් කිතුණු ලෝකය පෙලෙන්නට විය.GrHSin 51.1

    රෝමානු බල අධිකාරිය යටතේ වූ ලෝක තත්ත්වය හොෂෙයා අනාගතවක්තෘවරයා විසින් අනාවැකියෙහි බියකරු ඉටුවීමක් පෙන්නුම් කළේය.හොෂෙයා මෙසේ පවසා තිබුණේය. “මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමෙන් නාස්ති වී සිටිති.නුඹ දැනගැන්ම එපා කළ නිසා මට පූජකකම් කිරීමෙන් මමත් නුඹ එපා කරන්නෙමි.නුඹ නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව මතක නැති කළ නිසා මමත් නුඹේ දරුවන් මතක නැතිකරන්නෙමි.” “සැබෑකමවත් ,කරුණාවටත් දෙවියන්වහනසේ ඇඳින ගැනීමවත් දේශයෙහි නැති හෙයින් ...දෙස් තිබීමද බොරු කීමද මිනීමැරීමද සොරකම් කිරිමද කාමමිථ්‍යාචාරයද මිස වෙන කිසිවක් නැත.; ලේ වැගිරවිම් පිට ලේ වැගිරවීම වෙයි.” (හොෂෙයා 4:6,1,2) දේව වචනය ඉවත දැමීමෙන් සිදුවන විපාක මේවාය.GrHSin 51.2

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents