Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    24 - අති ශුද්ධස්ථානය

    දේව ජනතාව 1844 දී මුහුණ දුන් බලාපොරොත්තු කඩවීමේ අභිරහස හෙළිදරව් කිරීමට,ශුද්ධස්ථානය පිළිබඳ වූ විෂයෙහි නව අරුත් ගැන්වීම් තුළින් ආලෝකය උදා විය.එමඟින් සත්‍යතාව පිළිබඳ සම්පූර්ණ ක්‍රියා පද්ධතියක් පෙනී ගියේය. එහිදී ඇඩ්වෙන්ටිස්ත මෙහෙයුමට දෙවියන්වහන්සේගේ ශ්‍රී හස්තය සෘජුවම මඟපෙන්වූ ආකාරය මනාව දැකගැනීමට හැකි විය. ඒ සමඟම උන්වහන්සේගේ ශුද්ධවූ අනුගාමිකයන්ගෙන් බලාපොරොත්තු වන්නාවූ කාර්ය සාධනයත් ඔවුන්ගේ තත්ත්වය පිළිබඳවත් වත්මන් වගකීම එම අධ්‍යයනය මගින් තහවුරු විය. යේසුස්වහන්සේගේ ගෝලයන් සත්‍යතාවයෙන් සහ සිතේ උග්‍ර වේදනාවෙන්ද, සංවේගයෙන් සහ බලාපොරොත්තු කඩවීමෙන්ද අමිහිරි රැයක් ගත කළ නමුත්, ˝ස්වාමින්වහන්සේ දැකීමෙන් ප්‍රීතියට˝ පත් වූහ. එසේම, ක්‍රිස්තු සමිදාණන්ගේ දෙවන ඊම ගැන බලාපොරොත්තුවෙන් ඇදහිල්ල රඳවා සිටි බැතිමත්හුද සත්‍ය අනාවරණය වීමත් සමගම උද්දාමයට පත් වූහ. ස්වකීය සේවකයන්ට තිළිණ ලබාදීම පිණිස ක්‍රිස්තුස්වහන්සේ තේජසින් යුතුව පැමිණෙනවා ඇතැයි ඔවුහු අපේක්ෂා කළෝය. තම බලාපොරොත්තු සුන්වී යාමත් සමගම ඔවුන්ගේ සිත්වලින් යේසුස්වහන්සේගේ දසුන අහෝසි වී ගියේය. ඔවුන් ස්වාමීන්වහන්සේව සොහොන් ගෙයින් අහක් කොට ගෙන ගොස් තිබේ. උන්වහන්සේව කොතැන තැබුවාද කියා අපි නොදනිමු යි කියමින් හිස් වු සොහොන් ගෙය අසල සිටි මරිය හඬමින් වැලපුණාක් මෙන්, බලාපොරොත්තු සුන්වූ බැතිමතුන්ගේ දර්ශනයට යේසුස්වහන්සේව හමු නොවීය. නමුත් දැන් සගයේ අති ශුද්ධස්ථානයේ උන්වහන්සේ වැඩසිටිනවා ඔවුන්ගේ දසුනට යොමු විය. උන්වහන්සේ වනාහි මහා කාරුණික උත්තම පූජකයාණෝය. ළඟදීම වඩින්නාවූ ගැළවුම්කරුවාණෝය. මහෝත්තම රාජාධි රාජ රජාණෝය. ශුද්ධස්ථානය පිළිබඳ අධ්‍යයනය බැතිමතුන්ගේ අතීතයත්, වර්තමානයත්, අනාගතයත් ආලෝකමත් කළේය. නොවරදින්නාවු මගපෙන්වීම තුළින් දෙවියන්වහන්සේ ඔවුන්ට ගෙනැවිත් ඇති බව ඔව්හු දැනගත්හ. තමන් දේශනා කළ පණිවිඩය හරියාකාරව අවබෝධ කරගැනිමට මුල් කාලින ගෝලයන්ට නොහැකිවූවාක් මෙන් ඔවුන්ටද එම පණිවිඩය හරියාකාර නොවැටහුණ නමුත්,එය සෑම පැතිකඩකින්ම සත්‍යවූ ප්‍රකාශනයක් විය. එම පණිවිඩය ප්‍රකාශ කිරීමෙන් ඔවුහු දේව අරමුණ ඉටුකළෝය. ඔවුන්ගේ ක්‍රියාකාරී සේවාව සමිඳුන් තුළ නිෂ්ඵල වෑයමක් නොවීය. දෙවියන්වහන්සේ ඔවුන්ට ˝ජීවන බලාපොරොත්තුවක්˝ දුන්සේක. එවිට ඔව්හු කියා නිම කළ නොහැකිවූ තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුවෝය.˝GrHSin 485.1

    ˝රෑ දවල් දෙදහස් තුන්සියයක් පසුවන තුරුය.එකල ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේය.˝ යන දානියෙල් 8:14 හි අනාවැකියත් ˝දෙවියන්වහන්සේට භයවී උන්වහන්සේට ගෞරව දෙන්න; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුණෝය.˝ යන එළිදරව් 14:7 හි පළමුවන දේවදූතයාගේ පණිවිඩයක් පෙන්නුම් කෙළේ ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගීය ශුද්ධස්ථානයේ අති ශුද්ධ මණ්ඩපයේ කරන්නා වූ මෙහෙවරය පිළිබඳවය. මෙම විනිශ්චය නම් සෝදිසි කිරීමේ විනිශ්චයයි. මේ අනුව පසන් වූයේ ශුද්ධස්ථානය පවිත්‍ර කිරීම යන්න ක්‍රිස්තුස්වහන්සේ තමන්වහන්සේගේ සෙනඟට මිඳීම ලබාදෙන පිණිසද, දුෂ්ටයන් විනාශ කරන පිණිසද උන්වහන්සේ දෙවැනි වරට මෙලොවට පැමිණීම නොවූ බවය.දිවැසි ප්‍රකාශන කාල පරිච්ඡේදයේ අවසානය පිළිබඳව වූ නිගමනයෙහි කිසිම වරදක් සිදුවී නොතිබුණි. එහෙත් අර්ථකථනය සැපයීමේදී දවස් දෙදහස් තුන්සියයේ අවසානයේදී භූමිකාවක් මවන්නාවූ සංසිද්ධිය පිළිබඳව වැරදි නිගමනයක් ඇතිවී තිබුණි. මේ වරද නිසා බැතිමතුන් විශාල බලාපොරොත්තු භංගත්වයකට පැමිණියෝය, පීඩා වින්දෝය ,අසහනයට පත් වූවෝය. එසේ වුවද දිවැසි ප්‍රකාශනයෙහි අඩංගු සියල්ල නියමාකාරයෙන් ඉටුවිය.ශුද්ධ ලියවිල්ලෙන් බලාපොරොත්තුව දැනුවත් කිරීම් ද නිවැරැදිව ඉටුවී තිබිණ. තමන්ගේ බලාපොරොත්තු සුන්වී යයි දෙවෙනි ඊම අපේක්ෂා කළ බැතිමත්හූ සෝ සුසුම් හෙලමින් ලතවූ අතර, පණිවිඩයෙන් ප්‍රකාශ කළ සිද්ධිය ඉටුවී තිබුණි. ක්‍රිස්තු සමිඳාණන් පැමිණ තම දාසයන්ට තිළිණ ප්‍රදානය කිරීමට පෙරාතුව විනිශ්චය සිදුවීම අනිවාර්ය විය.GrHSin 486.1

    ක්‍රිස්තුස්වහන්සේ පැමිණියේ ඔවුන් බලාපොරොත්තු වූ පරිදි පොළොව වෙත නොව සගයේ දේව මාළිගායෙහි අති ශුද්ධස්ථානය වෙතටය. දානියෙල් මෙසේ පවසයි:˝ මම රාත්‍රී දර්ශන වලදී දුටිමි: බලව අහසේ වළාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනැන්වහන්සේ වෙතට පැමින්නේය.˝ (දානියෙල් 7:13). මෙහි පවසා ඇත්තේ මනුෂ්‍ය පුත්‍රයාණෝ මේ ලොව වෙත නොව පුරාතන තැනැන්වහන්සේ වෙත පැමිණෙනවා ඇතැයි කියාය. GrHSin 486.2

    මෙම පැමිණීම පිළිබඳව මලාකි දිවැසිවරයාද මෙසේ සඳහනක් කර තිබේ. ˝නුඹලා සොයන ස්වාමින්වහන්සේ හදිසියෙන් තමන් මාළිගාවට එනසේක. එසේය, නුඹලා ආශාවන ගිවිසුමේ දූතයා එන්නේ යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක.˝(මලාකි 3:1). ස්වාමීන්වහන්සේ තමන් මාළිගාවට පැමිණීම හදිසියේ, බලාපොරොත්තු නොවූ දවසක සිදුවිය.ඔවුන් උන්වහන්සේ එතැන සිටිනවා දැකීමට බලාපොරොත්තු නොවූහ. ඔවුන් බලාපොරොත්තු වූණේ ˝යේසුස්වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දුතයන් සමග ඇවිලෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව් වී .... ශුභාරංචියට කීකරු නොවෙන්නටත් ප්‍රතිඵල ˝දීමට පැමිණෙන බවය.( 2 තෙසලෝනික 1:6,7)GrHSin 486.3

    කෙසේ වුවද, තම ස්වාමීන්වහන්සේව මුණගැසීමට ජනතාව සූදානමින් නොසිටියෝය. සූදානම් වීම් වස් ඉටු කළ යුතු තවත් වැඩ කොටසක් තිබිණ. ඔවුන්ගේ මනස් සගයේ පිහිටි දෙවියන්වහන්සේගේ මාළිගාව වෙත යොමු කිරීමට ආලෝකය ලබා දිය යුතුව තිබුණේය. එහි මෙහෙවර කරන්නා වූ තමන්ගේ උත්තම පූජකයාණන් සමග ජනතාවද ඇදහිල්ලෙන් එහි යන අතර ඔවුන් විසින් කළ යුතුවූ අළුත් රාජකාර්යයන් ඔවුන්ට පවරා දෙනු ලැබිය යුතු විය. අවවාද කිරීමේ තවත් පණිවිඩයක්ද අළුත් උපදෙස් මාලාවක්ද සභාවට ලබාදීම අවශ්‍යතාවක් විය.GrHSin 487.1

    දිවැසිවරයා මෙසේ ප්‍රකාශ කරයි:˝ උන්වහන්සේගේ ඊමේ දවස දරන්ට පුළුවන් කාටද? උන්වහන්සේ පෙනෙන කළ සිටින්ට පුළුවන් කාටද? මක්නිසාද උන්වහන්සේ රන් කරුවෙකුගේ ගින්නද අපුල්ලන්නන්ගේ සබන්ද මෙන්ය. උන්වහන්සේ රිදී උණු කර පිරිසුදු කරන කෙනෙක් මෙන් සිට, ලෙවී පුත්‍රයන් ධර්මිෂ්ඨකමෙන් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පු කරන්නන්ව සිටින පිණිස ඔවුන් පිරිසිදු කර රන් රිදී මෙන් ඔවුන් පවිත්‍ර කරන සේක.˝( මලාකි 3:2,3). සගයේදී ක්‍රිස්තුස්වහන්සේ විසින් ඉටුකරන්නාවූ මෙහෙවරය අවසාන වීමෙන් පසුව පවතින්නාවූ කෙටි කාලයේදී මිහිතලය මත දිවි ගෙවන්නාවූ අය මැදිහත්කාරයාණන් කෙනකු නැතිව ශුද්ධවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි කල් ගෙවිය යුතුය. ඔවුන්ගේ සළු කැළැල් රහිත විය යුතුය. ලේ ඉසීමක් තුළින් ඔවුන්ගේ චරිත පාපයෙන් පාරිශුද්ධ කර තිබිය යුතුය. දෙවියන්වහන්සේගේ කරුණා -අනුග්‍රහය කරණකොටගෙනද ඔවුන්ගේම උත්සාහවන්ත කඩිසර වෑයම් කිරීම කරණකොටගෙනද නපුර සමග කරන සටනේදී ඔවුන් ජයග්‍රාහක විය යුතුය. සෝදිසි කිරීමේ විනිශ්චය හෙවත් පූර්ව ආගමන විනිශ්චය සගයේ සිදුවෙමින් තිබියදී, පසුතැවෙන්නාවූ බැතිමතුන්ගේ පාප සගයේ වාර්තා වලින් ඉවත් කෙරෙමින් පවතින අතරේදී, පවිත්‍ර කිරීමේ විශේෂාකාර ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතුය. එමගින් මිහිපිට ජීවත් වන්නා වූ දේව සෙනඟගේ ජීවිත තුළින් පාපය සම්පූර්ණයෙන්ම බැහැර කිරීම අනිවාර්ය වන්නේය. මෙම ක්‍රියාදාමය වඩා පැහැදිලි ලෙස එළිදරව් 14හි පණිවිඩ මගින් ඉදිරිපත් කර ඇත.GrHSin 487.2

    මෙම ක්‍රියාදාමය නිමවූ විට ක්‍රිස්තු අනුගාමිකයෝ උන්වහන්සේගේ පැමිණීමට සූදානම්ව සිටිනවා ඇත.˝එකල යුදාහිද යෙරුසලමේද පූජාව පුරාණ දවස්වලදීත් පළමු අවුරුදු වලදීත් මෙන් ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේය.˝ (මලාකි 3: 4). තමන්වහන්සේගේ පැමිණීමේදී සභාව ˝ශුද්ධව, කැලැලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතිව˝ පවතිනවා ඇත.( එපීස 5 :26). එවිට ඇයගේ බල මහිමය මෙසේ වර්ණනා කළ හැකිය. එය ˝අරුණාලෝකය මෙන් නැගී එන්නාවු, සඳ මෙන් රුව ඇත්තාවු, ඉර මෙන් දිළෙන්නාවූ කොඩි ගත් සේනාවක් මෙන් බලසම්පන්න˝ වනවා ඇත. (සාල මොන්ගේ ගීතිකා 6: 10).GrHSin 487.3

    ස්වාමීන්වහන්සේ තමන්ගේ දේව මාළිගාවට පැමිණීම ගැන විස්තර කිරීමට පසුව මලාකි දිවැසිවරයා උන්වහන්සේගේ දෙවෙන පැමිණිම ගැනද, එසේ පැමිණෙන්නේ විනිශ්චය ප්‍රකාර දඬුවම් පැමිණවීමට බවද මෙසේ විස්තර කරයි. ˝තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත් මන්ත්‍රකාරයන්ටද, කාමමිථ්‍යාචාරිකයන්ටද, බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත්,වැන්දඹුවටත්, පියා නැත්තාටත් ,ප්‍රයෝග කරන්නන්ටද, විදේශියාගේ යුක්තිය පෙරලන්නන්ටද විරුද්ධව ශිඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියන සේක˝ (මලාකි 3:5). යුදස් මේ දසුන විස්තර කරන්නේ මෙසේය. ˝බලව සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ට කරන්ටද, සියලු අභක්තීන් විසින් අභක්තිවන්ත ලෙස කළාවු ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත් ... ඔවුන් වරදට පත්කරන්නටද ස්වාමීන්වහන්සේ ස්වකීය දස දහස් ගණන් ශුද්ධවන්තයන් සමග˝ පැමිණෙන බව දැක්විය. (යුදස් 14 :15). මෙම පැමිණීමත් සමිදානන් ස්වකීය මාළිගය වෙත පැමිණීමත් ප්‍රත්‍යක්ෂවූද, වෙන්වූ ද සිදුවීම් දෙකක් විය.GrHSin 488.1

    අපගේ උත්තම පූජකයාණන් වූ ක්‍රිස්තුස්වහන්සේ ස්වර්ගීය ශුද්ධස්ථානයට පවිත්‍ර කිරීම සඳහා අති ශුද්ධස්ථානයට පැමිණීම පිළිබඳව දානියෙල් 8 :14 වාර්තා කරයි. පුරාතන තැනැන්වහන්සේ වෙත මනුෂ්‍යපුත්‍රයාණන්ගේ පැමිණීම දානියෙල් 7: 13 ඉදිරිපත් කරයි. දෙවි සමිදාණන් තමන්ගේ දේව මාළිගාවට පැමිණීම ගැන මලාකිගේ වාර්තාව මෙම සිද්ධිය ගැනවූ තවත් සඳහන් කිරීමකි. මතෙව් 25 හි දැක්වෙන අන්දමට කන්‍යාවන් දසදෙනා පිළිබඳ උපමාවද මංගල්‍යය උදෙසා මනාලයාගේ පැමිණීම පිළිබඳව ක්‍රිස්තුස්වහන්සේම ලබාදුන් තවත් විස්තරයක්ය.GrHSin 488.2

    ˝අන්න මනමාලයා එනවා˝ යයි මහත් හඬින් වූ ප්‍රකාශයක් 1844 ගිම්හාන හා සරත් සෘතුවලදී ගුවනට මුසු විය. එහි විස්තර වන පරිදි බුද්ධිමත් සහ අඥාණ යන කණ්ඩායම් දෙකක් පිළිබඳ විග්‍රහයක් ගොඩ නැගිණ. එක් පාර්ශවයක් ක්‍රිස්තු සමිඳාණන්ගේ ආගමනය මහත් උපේක්ෂාවෙන් යුතුව අපේක්ෂා කරමින් ඒ සඳහා මහත් උනන්දුවකින් සූදානම් වූවන්ගෙන් සමන්විත විය. අනෙක් පාර්ශවය බියෙන් පොළඹවනු ලැබ හැඟීම් වලට බරව ක්‍රියාකරමින්, සත්‍යතාව ඉදිරිපත් කළ සිද්ධාන්ත පිළිගත් නමුත් ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ කරුණා-අනුග්‍රහය ක්‍රියාත්මකව නොතිබුණි. උපමාව අනුව මනාලයා පැමිණි විට ˝සෑදී සිටියෝ ඔහු සමග සරණ මංගල්‍යයට ඇතුල් වූවෝය.දොරද වසන ලද්දේය.˝ මෙම උපමාවෙහි අන්තර්ගත විස්තරය මනමාලයා පැමිණෙන්නේ මංගල්‍යයට පෙරාතුවය. මංගල්‍යයෙන් පෙන්නුම් කරන්නේ තමන්- වහන්සේගේ රාජ්‍යය ක්‍රිස්තුස්වහන්සේ විසින් පිළිගැනීමය. ශුද්ධවූ නගරය අළුත් යෙරුසලම රාජ්‍යයේ අගනුවර වන්නේය. එය වනාහි මනාලිය, එසේය, බැටළු පෝතකයාණන්ගේ මනමාලිය ලෙස හඳුන්වා දීමක් කර තිබේ. දේව දූතයා යොහන්ට මෙසේ පවසයි, ˝එන්න, බැටළු පැටවාණන්ගේ භාර්යාව වන මනමාලි නුඹට පෙන්නන්නෙමියි කීවේය. ඔහු මහත්වූ කන්දකට ආත්මයාණන්වහන්සේගේ ආනුභාවයෙන් මා ගෙන ගොස් ශුද්ධ නුවර වූ යෙරුසලම.... දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේය.˝ (එළිදරව් 21: 9, 10). මනාලියගෙන් නියෝජනය වන්නේ ශුද්ධ නගරය බව මෙයින් පැහැදිලිය. මනාලයා හමුවීමට පෙරමගට යන්නාවූ කන්‍යාවන්ගෙන් නියෝජනය වන්නේ සභාවය. එළිදරව් පොත විස්තර කරන ආකාරයට, දේව ජනතාව හඳුන්වා දී ඇත්තේ සරණ මංගල්‍යයේ රාත්‍රී භෝජනයට ඇරයුම් ලද්දවුන් හැටියටය. ඇරයුම් ලද්දවුන් නම් ඔවුන් මනාලිය ලෙසත් නියෝජනය විය නොහැකිය.( එළිදරව් 19:9). සගයේ වැඩවසන පුරාතන තැනන්වහන්සේ වෙත එන්නාවූ ක්‍රිස්තුස්වහන්සේට ˝ආණ්ඩු බලයද, ගෞරවයද, රාජ්‍යයක්ද˝ පවරා දෙනු ලබන්නේය.(දානියෙල් 7:14). එම රාජ්‍යයේ අගනුවර අළුත් යෙරුසලමය. එම නුවර වනාහි ˝තමාගේ පුරුෂයාට සරසන ලද මනාලියක්˝ වන්නේය.( එළිදරව් 21:2) රාජ්‍යය හිමි වීමෙන් අනතුරුව තම ජනතාවගේ මිදීම සලසා දීම සඳහා රාජාති රාජාණන් ලෙසද ස්වාමීන්ගේ ස්වාමීන්ද්‍රයාණන් ලෙසද ක්‍රිස්තුස්වහන්සේ තේජස්ශ්‍රීයෙන් යුතුව පැමිණෙන සේක. ඉක්බිතිව රාජ්‍යෙයහි පුරවැසියන් වීමට සුදුසුකම් ලැබූ මිදීම ලැබූ දේව සෙනඟ ˝ආබ්‍රහම්ද, ඊසාක්ද, යාකොබ්ද˝ සමගින් උන්වහන්සේගේ රාජ්‍යයෙහි උන්වහන්සේ හා එක මේසයේ වාඩි වී ස්වර්ගයේ පැවැත්වෙන බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍ය ප්‍රිය සාදයට එක්වී රාත්‍රී ආහාරය භුක්ති විඳින්නාහ.( මතෙව් 8: 11; ලූක් 22:30).GrHSin 488.3

    ˝අන්න මනමාලයා එනවා˝ යයි 1844 හි ගිම්හානයේදී ප්‍රකාශයට පත්වූ ආත්මික නවෝදයේ ඉගැන්වීමට සමගාමීව ක්‍රිස්තු සමිදාණෝ මෙලොව වඩිනවා ඇතැයි දහස් ගණන් බැතිමත්හු සංඛ්‍යාවක් බලා සිටියෝය. දිගුකාලීන අනාවැකිය අවසාන වූ නියමිත දවසෙහිදී උන්වහන්සේ පැමිණි සේක. එහෙත් ඒ මනුෂ්‍යයන් බලාපොරොත්තු වූ ලෙස උන්වහන්සේ පොළොවට පැමිණියේ නැත.එදින උන්වහන්සේ සගයෙහි වැඩවසනා පුරාතනයාණන්වහන්සේ වෙතට පැමිණ ස්වකීය රාජ්‍යය ලබාගෙන සරණ මංගල්‍යයට සහභාගි වූසේක.ඒ උපමාව අනුව˝සෑදි සිටියෝ සරණ මංගල්‍යයට ඇතුල් වුවෝය.දොරද වසන ලද්දේය˝(මතෙව් 25:10).දේව ජනතාව සරණ මංගල්‍යයට සහභාගි විමේ වරප්‍රසාදය හිමි නොවිය.මක්නිසාදයත් එය සිදුවුයේ සගයෙහිදීය, සෙනඟ සිටියේ පොළොවෙහිය.ක්‍රිස්තු අනුගාමිකයෝ විවාහ උත්සවයෙන් පසු තම ස්වාමියාණන් පෙරලා පැමිණෙන තෙක් උපෙක්ෂාවෙන් යුතුව බලා සිටිය යුත්තාහ.ඒ අතර ඔවුහු ඇදහිල්ලෙන් උන්වහන්සේ අනුව යමින් දෙවියන්වහන්සේගේ අභිමුඛයට යා යුත්තේය.ඔවුන්ට සරණ මංගල්‍යයට සහභාගි විමට හැකිවන්නේ මෙයාකාරයෙනි,එසේය,ඇදහිල්ලෙනි.GrHSin 489.1

    පහන් රැගෙන පෙරමඟට ගිය අය අතර,පහන් සමග තෙල් රැගෙන ගිය අය පමණක් මගුල් සාදයට සහභාගි වූ බව උපමාව පෙන්වා දෙයි.ශුද්ධ ලියවිල්ලෙන් ලබාගත් සත්‍යතාව පිළිබඳ දැනුම අතැතිව ශුද්ධාත්මයාණන්වහන්සේගේ සහ දෙවියන්වහන්සේගේ කරුණා අනුග්‍රහයෙන් සුවඳවත් අඳුරු කටුක පැයේදී එයට මුහුණ දෙමින් මෙම පිරිස සත්‍යතා දහම් මගහැර පියා නොගියෝය.ඔවුහු තවත් පැහැදිලි දසුනක් සොයා ශුද්ධ බයිබලය හදාරන්නට වුහ.එසේ කිරිමේදි ඔවුන්ට සගයේ පිහිටුවා තිබු ශුද්ධස්ථානය පිළිබඳව දහම් අවබෝධයක් ලබාගත හැකි විය. ඒ සමගම ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙවරෙහි වෙනස් විමක්ද ඔවුන්ට දැකගත හැකි විය.ඉහළ පිහිටි ශුද්ධස්තානයෙහි ක්‍රිස්තුස්වහන්සේ ඉටු කරන්නාවු තේවා භාරයේදි ඔවුහු ඇදහිල්ලෙන් උන්වහන්සේව අනුගමනය කරමින් සගයේ දේව මාළිගයට ඇතුළු වුහ.ශුභාරංචියෙහි සාක්ෂීන් හා එම සත්‍යතාවන් පිළිගෙන,මැදහත්කාරකම් කිරිමේ තමන්වහන්සේගේ අන්තිම වැඩ කොටස ක්‍රියාත්මක කිරීම ක්‍රිස්තුස්වහන්සේ සගයේ වැඩ සිටින්නාවු දෙවියන්වහන්සේ ඉදිරියට පැමිණි ආකාරයෙන් කිතුණුවෝද ඇදහිල්ලෙන් සගයට පැමිණීම යන සියල්ල මංගල්‍යයට යෑමෙන් නියෝජනය වෙයි.GrHSin 490.1

    මතෙව් 22 හි උපමාවෙහිද මංගල්‍යය පිලිබඳ එම රූපකයම ඉදිරිපත් කර තිබේ.සෝදිසි කිරිමේ විනිශ්චය සිදුවන්නේ මංගල්‍යයට පෙරාතුව බව එහි පැහැදිලි ලෙසම ඉදිරිපත් කෙරේ.මඟුල් චාරිත්‍ර ආරම්භ කිරිමට පෙර අමුත්තන් බැහැදැකීමට රජතුමා පැමිණේ.(මතෙව් 22:11)සෑම අයෙක්ම රජතුමා විසින් සපයා දුන් මගුල් ඇඳුම ඇඟලා නම් බැටළු පෝතකයාණන්ගේ රුධිරයෙන් සෝදා සුදු කරගත් කැළැල් රහිත චරිත සළුවයි.එවන් ඇදුමක් පැළද නොසිටි තැනැත්තා ශාලාවෙන් පිටතට දමනු ලැබේ.සෝදිසි කිරිමේදි නියමිත මගුල් සළු පැළඳ සිටින තැනැත්තන් දෙවියන්වහන්සේ විසින් පිළිගනු ලැබේ.තවද,එම තැනැත්තන්ට රාජ්‍යයේ කොටසක්ද උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳ ගැනිමට වරමක්ද පවරා දෙනු ලැබේ.සගයෙහි පිහිටි ශුද්ධස්ථානයේ අවසන් වැඩ කොටස වන්නේ සෝදිසි කිරිමේ විනිශ්චයයි.මෙම විනිශ්චයේදි කිතුණුවන්ගේ චරිත සෝදිසියකට ලක් කෙරේ.එහි ගුණාගුණ අනුව දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුමක්කාරයන් විමේ භාග්‍යය ඇති අය තෝරා ගනු ලැබේ.එය ශුද්ධස්ථාන සේවයේ අවසාන ක්‍රියාවය.GrHSin 490.2

    සෝදිසි කිරිමේ කාර්ය භාරය අවසන් වි තමා ක්‍රිස්තු අනුගාමිකයන් යයි පැවසු සියල්ලන්ගේ තත්ත්වය සෝදිසි කරනු ලැබු විට,පරිවාස කාලය නිමාව දකින්නේය.මෛත්‍රි - කරුණාවේ දොරද වසනු ලබන්නේය.සුදානම්ව සිටි කන්‍යාවෝ පස්දෙනා මනමාලයා සමග මංගල සාදයට පිවිසියෝය.දොරද වසන ලදි.ගැළවුම්කාරයාණන්ගේ අන්තිම මෙහෙවරය සමග මිනිසා උදෙසා වු ගැළවිමේ දේව සැලැස්මද නිමාව දකින්නේය.GrHSin 491.1

    සගයේ ශුද්ධස්ථානයේ සේවාවන් පිළිබඳ සංකේත සේවාවක් වු භෞමික පුජ්‍ය - ස්ථානයේ සමගි කිරිමේ සේවාවන් සිදුවු දිනයේදි උත්තම පූජක තැන අති - ශුද්ධස්ථානයට ඇතුළු වත්ම මුල් මණ්ඩපයේ මෙහෙ කිරිම නිමාවට පත්විය.උත්තම පුජකයා ශුද්ධස්ථානයෙහි සමගිකමක් කරන්ට ඇතුල් වන අවස්ථාවේ සිට සමගිකමක් කොට පිටතට එන තුරු කිසිවෙක් සම්මුඛ විමේ කුඩාරමෙහි නොසිටිය යුතු විය.(ලෙවි කථාව 16:17). එසේම ,සමගි කිරිමේ තේවාවන් ඉටුකිරිම සදහා ක්‍රිස්තුස්වහන්සේ අති ශුද්ධස්ථානයට ඇතුළු විමත් සමගම මුල් මණ්ඩපයේ මෙහෙවර සේවා නිමාවට පැමිණියේය.මුල් මණ්ඩපයේ මෙහෙවර සේවාව අවසාන වත්ම දෙවන මණ්ඩපයේ මෙහෙවර සේවාව ආරම්භ විය.සමගි කිරිමෙහි දවසේදි උත්තම පුජකයා මුල් මණ්ඩපය පසුකොට දෙවන මණ්ඩපයට ඇතුළු වුණේ පසුතැවිලිවූ ඊශ්‍රායෙලිකයන් උදෙසා ඉදිරිපත් විමටය.එම පුජාවෙහි ලේ රැගෙන ඔහු දෙවියන්වහන්සේ ඉදිරියට ගොස් එය ඔප්පු කළේය.අපගේ මැදහත්කාරයාණන් ලෙස ක්‍රිස්තුස්වහන්සේ නිමකර තිබුනේ සැලැස්මෙහි එක කොටසක් පමණකි.පියාණන්වහන්සේ ඉදිරියෙහි පව්කාරයන් උදෙසා කමාව ඉල්ලා ආයාචනා කරන්නට උන්වහන්සේට තවත් වැඩකොටසක් ඉතිරිව තිබුණේය.GrHSin 491.2

    1844 දි ඇඩ්වෙන්ටිස්තවරුන් හට මෙම විෂය පිළිබදව මනා වැටහිමක් නොවීය.ගැළවුම්කාරයාණන් පැමිණෙකැයි බලාපොරොත්තු වූ දිනය ඉකුත් වූ පසුද උන්වහන්සේ ඉතා ආසන්න දවසක පැමිණෙතැයි ඇඩ්වෙන්ටිස්තවරු තවදුරටත් බලාපොරොත්තු වූහ.පව්කාරයන් වෙනුවෙන් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි කරන්නාවු මැදහත්කාරකමේ මෙහෙය නිමාවට පත්ව ඇතැයි ඔවුහු විශ්වාස කළෝය.සගයේ වළාකුළු මත වැඩ හිඳිමින් ක්‍රිස්තු සමිඳාණන් පැමිනිමේ දවසට ටික කලකට පෙර මිනිසාගේ පරිවාසය නිමවන බව බයිබලය උගන්වන්නේය යනු ඔවුන්ගේ මතය විය.මෛත්‍රි - කරුණාවෙහි දොරටුව අබියස සිටිමින් මනුෂ්‍යයෝ දොරටුව විවෘත කරන්නැයි හඬති,තට්ටු කරති,ආයාචනා කරති,එහෙත් දොරටුව නම් විවෘත වන්නේ නැත.මෙවන් දවසක් පැමිණෙන බව ශුද්ධ ලියවි‍ල්ලෙහි දක්වා ඇත යනු ඔවුන්ගේ චින්තනය විය.ක්‍රිස්තුවහන්සේගේ ආගමනය නිශ්චිතව සිදුවන්නේය යන්න ඔවුන්ගේ විශ්වාසය විය. ආගමනය නොව වෙනත් සිද්ධියක් එදින සිදුවිමට නියමිතව තිබුණ බවද සෝදිසි කිරිමේ විනිශ්චය එම සිද්ධිය විය හැකි බවද ඔවුන්ගේ කල්පනාවට යොමු විය.තමා විනිශ්චයේ පණිවිඩය ලෝකයාට ලබාදුන් නිසා තමන්ගේ කාර්ය භාර්ය ඉටුවි ඇතැයි ඔවුහු කල්පනා කළෝය.එම නිසා පව්කරුවන්ගේ ගැළවිම උදෙසා ඔවුන් තුළ තිබු වගකිමේ බර ඔවුන්ගෙන් තුනී වී ගියේය.ඒ අතර ගරහන්නන්ගේ එඩිතර සහ දේව අපහාසාත්මක වදන් අධික විම යන්න පෙන්වන්නේ දෙවියන්වහන්සේගේ ආත්මය,උන්වහන්සේගේ මෛත්‍රි - කරුණාව ඔවුන්ගෙන් ඉවත් කරගෙන ඇති බව යයි ඔවුහු කල්පනා කළෝය.මෙම කරුණු සැලකිල්ලට ගෙන ඔවුන් තීරණය කළේ පරිවාසය හමාර වී ඇත, එසේත් නැතිනම් මෛත්‍රි - කරුණාවේ දොර වසනු ලැබ ඇත යන්නය.GrHSin 491.3

    නමුත් ශුද්ධස්ථානය පිළිබඳව ප්‍රශ්නය වැඩිදුරටත් විමර්ශනය කිරිමත් සමගම වඩා පැහැදිලි ආලෝකයක් උදා විය.දවස් 2300 දිගුකාලීන අනාවැකිය 1844 දි නිමාවට පත්වු බවත් එය වැදගත් සිද්ධියක් දැක්වු බවත් ඔවුන්ට පෙනී ගියේය.වසර එක්දහස් අටසියයක කාලයක් පුරා දෙවියන්වහන්සේ වෙතට ළඟාවිමේ බලාපොරොත්තුවේ සහ මෛත්‍රි - කරුණාවේ දොරටුව මේ අවස්ථාවේදි වසා දමනු ලැබු බව සත්‍යයක් වු නමුත් මිනිසාට කමාව ලබාගැනිමට වෙනත් දොරටුවක් විවෘත කරනු ලැබිණ.එම ක්‍රමවේදය අනුව පව් කමාව ලබාදිම සිදුවන්නේ ක්‍රිස්තුස්වහන්සේ අතිශුද්ධස්ථානයේ කරන්නාවු මැදහත්කම් කිරිමේ තේවාව කරණකොටගෙනය.ක්‍රිස්තුස්වහන්සේ මෙහෙවරයෙහි දෙවන ක්‍රමවේදය සදහා පළමු සේවය නිමාව දැක්කේය.ස්වර්ගීය ශුද්ධස්ථානය වෙත ළඟාවිමට වෙනත් ˝විවෘත දොරක්˝ ක්‍රියාත්මකව තිබිණ.එහි ක්‍රිස්තුස්වහන්සේ මනුෂ්‍යයා උදෙසා සේවය කරමින් සිටින සේක.GrHSin 492.1

    මේ කාලයේ පවතින්නාවු සභාවට ක්‍රිස්තුවහන්සේ යොමු කළ වචන එළිදරව් පොතෙහි මෙසේ සඳහන්වේ.˝ශුද්ධවු,සැබෑවු,දාවිත්ගේ යතුර ඇත්තාවු,කිසිවෙක් නොපියන ලෙස අරින්නාවු,කිසිවෙක් නාරින ලෙස පියන්නාවු තැනැන්වහන්සේ මේ කාරණා කියන සේක.එනම්,මම නුඹේ ක්‍රියා දනිමි.(මෙන්න කිසිවෙකුට පියන්ට බැරිවු ඇරපු දොරක් නුඹ ඉදිරියෙහි මා විසින් තබා තිබේ.˝(එළිදරව් 3:7,8).GrHSin 492.2

    අද කිතු සමිඳාණෝ සමගි කිරිමේ විශිෂ්ඨතම වු මෙහෙවරයක් සිදුකරමින් සිටින සේක.උන්වහන්සේව අනුගමනය කරමින් සගයේ අති ශුද්ධස්ථානයට ඇදහිල්ලෙන් ඇතුළු වන්නාවු අයට එම සේවයේ ප්‍රයෝජන ලැබෙන්නේය.ඔවුන් වෙනුවෙන් ක්‍රිස්තු සමිඳාණෝ සගයේ අති ශුද්ධස්ථානයෙහි කරන්නාවු සමගි කිරිමේ මෙහෙයේ ප්‍රතිඵල ඔවුන් සතු වන්නේය.උන්වහන්සේ කරන්නාවු මෙහෙයෙන් එන්නාවු ආලෝකය ප්‍රතික්ෂේප කරන අයට එහි ප්‍රයෝජන අත්වන්නේ නැත.ක්‍රිස්තු සමිඳාණන් මෙලෝ වැඩි අවස්ථාවේදි ලබාදුන් සහන් එළිය යුදේව්වෝ ප්‍රතික්ෂේප කළෝය.තවද,උන්වහන්සේ ලෝකයේ ගැළවුම්කාරයාණන් ලෙස පිළිගැනිමද ඔවුහු ප්‍රතික්ෂේප කළෝය.එම නිසා ඔවුන්ට ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන පව් කමාව ලැබෙන්නේ නැත.ස්වර්ගාරෝහණයේදි ක්‍රිස්තුස්වහන්සේ තමන් වහන්සේගේම ශ්‍රි රුධිරය රැගෙන එහි කුසලතාවෙහි ආනිසංසය කරණකොටගෙන සගයේ ශුද්ධස්ථානයට ඇතුළු වුසේක.එසේ කළේ තමන්වහන්සේගේ මැදිහත්විමේ ආශිර්වාද තමන් ගෝලයන්ට ලබාදිමටය.එවිට යුදෙව්වෝ තම ඵල රහිත පුජාවන් සහ වතාවත්හි යෙදෙමින් අඳුරේ සිටියහ.ආදර්ශයක් ලෙසද,ඡායාවක් මෙන්ද වූ පූජා සහ වත්පිළිවෙත් නිමාවට පත්වී තිබුණි.දෙවියන්වහන්සේ වෙතට ළගා වීම සඳහා එතෙක් විවෘතව තිබූ දොරටුව එවිට වැසී ගියේය.උන්වහන්සේව හමුවීමට තිබු එකම දොරටුව තුළින් පිවිසීමට යුදෙව්වෝ ප්‍රතික්ෂේප කළෝය. එසේ කළ හැකිවු එකම මාර්ගය නම් සග ශුද්ධස්ථානයේ කළ මෙහෙවරය කරණකොටගෙන පමණකි. එම නිසා යුදෙව්වන්ට දෙවියන්වහන්සේ සමග සන්නිවේදන මාර්ගයක් නැති විය.ඔවුන්ට දොරටුව වැසී ගියේය.ක්‍රිස්තුස්වහන්සේ වනාහි අව්‍යාජ පූජාව ලෙසින්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින එකම මැදහත්කාරයාණන් ලෙසින්ද වූ දැනුම යුදෙව්වන් සතු නොවීය.එම නිසා උන්වහන්සේගේ මැදහත්කාරකමෙහි ප්‍රතිලාභ ඔවුන්ට ලබාගත නොහැකි විය.GrHSin 493.1

    අපගේ කරුණාහරිත උත්තම පුජකයාණන්ගේ මැදහත්කාරකමෙහි සේවාව යුදෙව්වන් විසින් ප්‍රත්කෂේප කළ නිසා ඔවුන්ගේ තත්ත්වය ශෝචනීය විය.භයානක විය. අපගේ උත්තම පූජකයාණනගේ සේවය ගැන නොසැලකිලිමත්ව සිටිමින් ඒ බව විශ්වාස නොකරන්නාවූද, නොසැලකිලිමත් ලෙස තමා කිතුණුවන් යයි කියාගන්නාවූද අයගේ තත්ත්වය යුදෙව්වන්ගේ තත්ත්වයට සමානය.‍GrHSin 493.2

    භෞමික දේව මාළිගයේ සේවා කටයුතු සඳහා උත්තම පූජකයා අති ශුද්ධස්ථානයට ඇතුළුවූ අවස්ථාවේදී මුළු ඊශ්‍රායෙලිත ජනතාවම ශුද්ධ ස්ථානය වටා රැස්ව සිටින්න යයි විධාන විය.දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිහතමානීව සිටිමින් තම තමාගේ පාප ගැන පසුතැවිලි වෙමින් හෘදයාංගම ලෙස පව් කියාදීම සැමගෙන් බලාපොරොත්තු විය. එසේ නොකරන්නාවූ අයව සාමාජිකයන් අතරෙන් කපා හරිනු ලැබීය.සගයේ සිදුවන්නාවූ ප්‍රතිදර්ශන සේවාවෙහිදී සමගි කිරීමේ තොවා කටයුතු සිදුවෙමින් පවතින අතරවාරයේදි අපගේ උත්තම පූජකයාණන්ගේ මෙහෙවරය ගැන මනා අවබෝධයකින් යුතුව සිටීම කෙතරම් වැදගත් වන්නේද? අපගෙන් බලාපොරොත්තු වන්නා වූ වගකිම්ගැන අවධියෙන් සිටිම කෙතරම් වැදගත්ද?GrHSin 494.1

    දෙවියන්වහන්සේ ස්වකීය මෛත්‍රි - කරුණාව නිසාම දෙවා වදාරන්නාවු අනතුරු හැඟවීමේ අනුශාසනා යම් අයෙකු එපා කරන්නේ නම් ඔහුට දඬුවම් නොලබා එසේ කරන්නට හැකි නොවේ.නෝවාගේ දවස්වලදී සගයේ සිට පනිවිඩයක් මෙලෝ ජනතාවට ලබාදෙන ලදි.එම පණිවිඩවයට ප්‍රතිචාරය දැක්වු ආකාරය මත ඔවුන්ගේ ගැළවිම රඳා පැවතුණි.ඔවුන් එම අනතුරුව ඇඟවිමේ පණිවිඩය ප්‍රතික්ෂේප කළ නිසා ඒ පව්කාරයන්ගේන් ශුද්ධාත්මයාණන් ඉවත් කර ගනු ලැබිණ.ඔවුහු ගලා ආ ජලස්කන්ධයට හසු වී විනාශ වුහ.ආබ්‍රහම්ගේ කාලේයේදි සොදොම් දේශයේ ජනතාව මෛත්‍රි - කරුණාවේ අනුශාසනාව පිළිනොගත් නිසා ටලාත්ද,ඔහුගේ බිරිද සහ දියණියන් දෙදෙනාද හැරෙන්නට අනෙක් සැවොම අග්නි ජාලයට මැදිවි විනාශ වුවෝය.ක්‍රිස්තුස්වහන්සේගේ දවස්වලදි යුදෙව් ජනතාවට තිබුණාවු අවිශ්වාස ආකල්පය ගැන දේව පුත්‍රයාණෝම ඔවුන්ට මෙසේ පැවසු සේක. ˝ බලව! නුඹලාගේ ගෘහය පාළුකොට අත්හරිනු ලැබේ.˝ (මතෙව් 23:38).අන්තිම කාලයේ පවතින්නාවු තත්වය ගැන එම අනන්ත බලයම මෙසේ පැවසු සේක.එකල වසන්නාවු ජනතාව˝ ගැළවෙන පිණිස ඔවුහු සැබෑකමට ප්‍රේමවිම පිළිනොගත්තෝය.මේ නිසා සැබෑව විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප්‍රසන්නවු සියල්ලන්ම විනිශ්චය කරනු ලබන පිණිස,බොරුව විශ්වාස කරන හැටියට දෙවියන්වහන්සේ මුළාවේ ක්‍රියා කිරිමක් ඔවුන්ට එවන සේක.˝ (2 තෙසලෝනික 2:10-12).මිනිසුන් උන්වහන්සේගේ ඉගැන්විම ප්‍රතික්ෂේප කරන අතරේදි කරණකොටගෙන ඔවුන් ප්‍රේම කරන මුළාවන්ට ගොදුරු විමට ඔවුන්ට ඉඩ හරින සේක.GrHSin 494.2

    එසේ වුවද,ක්‍රිස්තුස්වහන්සේ තවදුරටත් මිනිසා වෙනුවෙන් මැදිහත්කාරකම් කරන සේක.සොයන්නාවූ අයට උන්වහන්සේ ආලෝකය ලබාදෙන සේක.මුල් කාලයේදීම මෙම කාරණය අවබෝධ කරගැනිමට ඇඩ්වෙන්ටිස්තවරු අසමත් වුහ.නමුත් පසුව ඔවුන්ට කරුණු පැහැදිලි කරදෙන ලදි.ඔවුන්ගේ සත්‍ය තත්ත්වය ශුභාරංචිය තුළින් හෙළිදරව් විමත් සමගම යථාර්ථය පැහැදිලි විය.GrHSin 495.1

    වසර 1844 ගෙවි ගිය විට,දෙවෙනි ඊම කෙරෙහි තවදුරටත් ව්ශ්වාසය රඳවා ගෙන සිටි අයට මහත් පීඩාවන්ට සහ පරික්ෂාවන්ට මුහුණ දිමට සිදුවිය.සියලු පීඩා මධ්‍යයේ ඔවුන්ට සැනසිම ලබාදිමට ආලෝක දහරාවක් වුයේ සගයේ ශුද්ධස්ථානය පිළිබදව වු එම දසුනින් ඔවුන්ගේ යථා තත්වය ස්ථාපිත විමය.සමහර අය සියලු විශ්වාසයන් හැර දමා එහි මහත් අනුබලයක් වූයේ ශුද්ධාත්මයාණන් වහන්සේ නොව මානුෂික හෝ සාතනික බලවේගයන් යයි පැවසුහ.තවත් කණ්ඩායමක් තම විශ්වාසය පාවා නුදුන්නෝය.අතීතයේදි වු සිද්ධින් තුළ දෙවි සමිඳාණන් ඔවුන්ට මගපෙන්වු බව ඔව්හු විශ්වාස කළෝය.ඔවුන් බලා හිදිමින්,යාචිඤා කරමින් දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගැනිමට උපේක්ෂාවෙන් සිටි කල්හි ඔවුන්ගේ අති උත්තම නායක පුජකයාණන් තමන් මෙහෙයෙහි තවත් සේවාවක් ආරම්භ කළ බව ඔවුන්ට දැකගත හැකි විය.ඇදහිල්ලෙන් උන්වහන්සේව අනුගමනය කිරිමෙහිදි සභාවෙහි අන්තිම වැඩකොටස ඔවුන්ගේ දර්ශනයට හසු විය.පළමුවන හා දෙවන දුතයන්ගේ පණිවිඩ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔවුන් සතු විය.එළිදරව් 14 හි තුන්වන දුතයාගේ ගාම්භිර පණිවිඩය ලැබිමට සහ එය ලෝකයාට දිමටද ඔවුහු සුදානමින් සිටියහ.GrHSin 495.2