Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    30 - මිනිස් වර්ගයා සහ සාතන් අතර සතුරුකම

    “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.” (උත්පත්ති 3:15) මිනිසා, පාපයට ගොදුරු වීමෙන් පසුව දෙවියන්වහන්සේ සාතන්ට විරුද්ධව තීන්දුවක් ප්‍රකාශයට පත් කළසේක. එම ප්‍රකාශය අනාගතවාක්‍යයද විය. කාලයේ අවසානය දක්වා වූ සෑම යුගයකටම එය බල පැවැත්වෙන බවත් එහි අඩංගුව ඇත. මිහිතලය මතු පිට ජීවත් වන්නා වූ සෑම ජාතියකටම අයිති මනුෂ්‍යයන් මුහුණ දිය යුතු මහත් අරගලය එමගින් දැක්වෙයි.GrHSin 585.1

    “මම සතුරුකම තබන්නෙමි”යි දෙවියන්වහන්සේ ප්‍රකාශ කරන සේක. මෙම සතුරුකම ස්වභාවයෙන්ම පවතින විෂයක් නොවේ. මිනිසා දිව්‍ය ආඥාවන් කඩ කළ අවස්ථාවේදී ඔහුගේ ස්වභාවය දුෂ්ටකම බවට පත් විය. එම ජීවිත රටාව සාතන්ගේ ක්‍රියා කලාපයට අනුකුල වූවා මිස වෙනස්කමක් පැවතුණා නොවීය. පව්කාර මනුෂ්‍යයා හා පාපයේ නිර්මාතෘවරයා අතර ස්වභාවික සතුරුකමක් නොපවතී. දෙවියන්වහන්සේගේ සැලැස්මට විරුද්ධව ක්‍රියා කිරීමෙන් දෙදෙනාම නපුරේ සාමාජිකයන් වූහ. දිව්‍ය සැලැමෙන් ඉවත්ව කටයුතු කරන්නාට විවේකයක් නැත, සැනසුමක් නැත. ඔහුට සැනසීමක් හා තෘප්තියක් ලැබෙන්නේ තමා සමග එකඟ වීමට සහාය දක්වන්නා වූ අයගේ අනුකම්පාව සහ සහයෝගය ලැබෙන විට පමණක්ය. මෙම හේතුව නිසා වැටී ගියාවූ දේව දූතයෝ සහ දුෂ්ට මිනිස්සු බලාපොරොත්තු සුන්වූ කණ්ඩායමක් ලෙස එකමුතු වෙති. දෙවියන්වහන්සේ විශේෂ ආකාරයකින් මැදිහත් නොවූ සේක්නම් සාතන් සහ මිනිස් වර්ගයා සගයට විරුද්ධව සන්ධාන ගතවී, මිතුරු ගිවිසුමකට එළඹී ක්‍රියා කරනවා ඇත. එසේ වූයේ නම් සමස්ත මිනිස් වර්ගයාම සාතන්ට සතුරුකම් පානවා වෙනුවට දෙවියන්වහන්සේ විරුද්ධව නැගී සිටීමට ඔහු සමග එකතු වන්නට පුළුවන්කම තිබුණි.GrHSin 585.2

    දෙවියන්වහන්සේ විරුද්ධව කැරැළි ගැසීමට දේව දුතයන් පෙළඹවූ ආකාරයෙන්ම සාතන් මිනිසාටද පව් කරන්නට පරික්ෂා ගෙන ආවේය. සගයට විරුද්ධ වී ඔහු ගෙන ගිය යුද්ධයට සැමගේ සහයෝගය ලබාගැනීම ඔහුගේ අභිමතාන්තරය විය. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වූ වෛරය පිළිබඳව සාතන් සහ වැටී ගියා වූ දූතයන් අතරේ ආකල්ප වෙනස්කමක් තිබුණේ නැත. වෙනත් කරුණු පිළිබඳව ඔවුන් අතරේ එකඟතාවක් නොතිබුණ ද විශ්වයේ පාලක බලධාරියාණන්ගේ ආධිපත්‍යයට ඔවුන් සැවොම විරෝධය පළ කිරීමට එකඟ වූහ. තමා සහ ස්ත්‍රිය අතරේද තමාගේ වංශය හා ස්ත්‍රියගේ වංශය අතරේ ද සතුරුකමක් පවතින්ට යන බවට වු ප්‍රකාශය ඇසූ සාතන් තමාගේ වෑයම කඩාකප්පල් වන බවට එම ප්‍රකාශයෙහි අනතුරු ඇඟවීමක් අන්තර්ගත බව දැනගත්තේය. මිනිස් ස්වභාවය පාපිෂ්ඨත්වයෙන් කෙලසා දැමීමට වූ තමාගේ උත්සාහයට බාධා පමුණුවනු ලබන බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය. තමාගේ බලය යෙදවීමේදි එයට විරුද්ධව නැගී සිටීමට මිනිසාට උපකාර වීමට යම්කිසි ක්‍රමවේදයක් ඉදිරිපත් වන බව ඔහුට පෙනී ගියේය.GrHSin 585.3

    ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ආදරයත් මෛත්‍රී කරුණාවත් මිනිසාට හිමි වන බව පෙනී ගිය විට සාතන්ගේ සතුරුකම ප්‍රබෝධමත් විය. මිනිසාගේ ගැළවීම සඳහා වූ දිව්‍ය සැලැස්ම කඩාකප්පල් කිරීමට ඔහුට උවමනා විය. දෙවියන්වහන්සේගේ හස්ත කර්මාන්තය විරූපී කරමින්ද කෙලෙසා දමමින්ද උන්වහන්සේට අගෞරවය පමුණුවා ලීමට ඔහු ආශා කරන්නට විය. එම ක්‍රියාදාමය මගින් සගයේ දොම්නස ඇති කිරීමත් පොළොවෙහි දුක සහ බලවත් ශෝකය ඇති කරමින් අසරණ බව ව්‍යාප්ත කිරීමත් ඔහුගේ අරමුණ විය. දෙවියන්වහන්සේ විසින් මිනිසා මැවීම නිසා මේ සියළු විපත් සිදුව ඇතැයි ඔහු පවසයි.GrHSin 586.1

    දෙවියන්වහන්සේ මිනිසා තුළ තැන්පත් කරන්නාවූ කරුණා අනුග්‍රහය මගින් සාතන්ට එරෙහිව මෙම සතුරුකම නිර්මාණය වන්නේය. මෙම සිත් හරවන්නාවූ කරුණා - අනුග්‍රහය සහ එමගින් ලැබෙන්නාවූ නව බල ශක්තිය නොලැබෙන්නේ නම් මිනිසා තවදුරටත් සාතන්ගේ දාසයෙකු ලෙස ක්‍රියා කරනවා ඇත, ඔහුගේ අණ ක්‍රියාත්මක කිරීමට සෑම විටෙකම සැදී පැහැදී සිටින සේවකයෙකු බවට පත්වෙනවා ඇත. නමුත් පුද්ගලයෙකුගේ සිතේ පවතින අලුත් ප්‍රතිපත්තිය ඔහු තුළ සාමය වෙනුවට අරගලයක් ඇති කරයි. ක්‍රිස්තුස්වහන්සේ දෙන්නා වූ මෙම බලය මගින් මිනිසාට තමා ආණ්ඩු කරන්නා වූ මේ සාතනික බලයට විරුද්ධව නැගී සිටීමට ශක්තිය ලැබෙන්නේය. පාපයට ඇලුම් නොවී එය පිළිකුල් කරන්නාවූ තැනැත්තාද , තමාව ග්‍රහණය කරගෙන තිබූ මාංශික තෘෂ්ණාවගෙන් ජය ගන්නාවූ තැනැත්තාද ඒවා මගින් දක්වන්නේ , ඉහළින් පැමිණෙන්නාවූ බලයක් ක්‍රියාත්මක වන බවය.GrHSin 586.2

    ක්‍රිස්තුස්වහන්සේ ගේ ආත්මය සහ සාතන් ගේ ආත්මය අතරේ පවතින්නාවූ බලවත් එදිරිවාදිකම, ලෝකයා විසින් ක්‍රිස්තුස්වහන්සේව පිළිගත් ආකාරයෙන් මනාව විද්‍යමාන වන්නේය. යුදෙව්වන් විසින් උන්වහන්සේ පිළිනොගැනීමට හේතු කාරක වූයේ උන්වහන්සේට ලෞකික ධන සම්පත්, මහිමය හා තේජස නොතිබූ නිසා නොවීය. බාහිරින් දිවෙන මේ දේවල් නොතිබුණද උන්වහන්සේට ඉමහත් බලයක් තිබෙන බව ඔවුන්ට පෙනී ගියේය. නමුත් උන්වහන්සේ තුළ පැවති පවිත්‍රතාවය හා පරිශුද්ධතාවය නිසා අදේව භක්තිකයන්ගේ ඊර්ෂ්‍යාවට සහ වෛරයට ක්‍රිස්තුස්වහන්සේ ගොදුරු වූ සේක. උඩඟුකමින් මත් වූ ඉඳුරන් පිනවීමෙහි ඇලී ගැලී කටයුතු කළ මේ ජනතාවට ආත්ම පරිත්‍යාගයෙන් පූර්ණ වූ උන්වහන්සේගේ පාප රහිත නොකැළැල් ජීවිතය නිරන්තර තරවටුවක් බවට පත් විය. දේව පුත්‍රයාණන්ට විරුද්ධව සතුරුකමක් නිර්මාණය කිරීමෙහි ලා මිනිසුන්ගේ සිත් සතන් ප්‍රකෝපවත් කළේ මෙම ආකල්පයයි. මෙම සතුරුකම උන්වහන්සේට විරුද්ධව මෙහෙය වීමට සාතන් සහ ඔහුගේ දුෂ්ට දූතයෝ නපුරු මිනිසුන් සමග අත්වැල් බැඳ ගත්තෝය. සත්‍ය දහමට විරුද්ධව ක්‍රියා කළ සෑම බලවේගයක්ම සැබෑකමෙහි වීරවරයාණන්ට එරෙහිව ක්‍රියාත්මක විය.GrHSin 586.3

    තම ස්වාමියාණන් වූ ක්‍රිස්තුස්වහන්සේට එරෙහිව දියත් කළ සතුරුකමම උන්වහන්සේගේ අනුගාමිකයන්ට විරුද්ධවද එලෙසින්ම ක්‍රියාත්මක වෙයි. පාපයෙහි පිළිකුල් උපදවන්නා වූ ස්වභාවය දකින්නා වූ තැනැත්තෙක් ඉහළින් ලැබෙන්නාවූ ශාන්තිය උපකාර කරගෙන පරික්ෂාවන්ට එරෙහි වීමට වෙර දරන්නේ නම්, ඔහුට විරුද්ධව සාතන්ගේ සහ ඔහුගේ යටත්වාසීන්ගේ උදහස අනිවාර්යයෙන්ම එල්ල වන බව නියතය. පාපය සහ පව්කාරයන් ජීවත්වන තාක් කල් සත්‍යතාවෙහි පාරිශුද්ධ ප්‍රතිපත්ති පිළිපදිමින් ඒවා අන්‍යයන්ට කියා දෙන්නා වූ අයට එරෙහිව ඔවුන්ගේ ද්වේෂය ඇවිලෙමින් ප්‍රහාර පවා එල්ල වන්නේය. ඔවුන්ට අවලාද නැගීමටද, අපහාස එල්ල කිරීමටද වධ හිංසා පැමිණවීමටද සාතන්ගේ අනුගාමිකයෝ නිරතුරුවම සූදානමින් සිටිති. ක්‍රිස්තු අනුගාමිකයන්ට සහ සාතන්ගේ සේවකයන්ට, එකඟතාවකින් යුතුව කටයුතු කිරීමට හැකියාවක් නැත. කුරුසියේ පූජාවට විරුද්ධව පවතින අමනාපය නිමාවට පත්වී ඇති බවක් නොපෙනේ. “එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ භක්තිවන්ත ලෙස ජීවත් වන්ට කැමති සියල්ලෝම පීඩා විඳින්නෝය.” (2 තිමෝති 3:12)GrHSin 587.1

    සාතන්ගේ රාජ්‍යය ගොඩ නැගීමත්, ඔහුගේ බල අධිකාරිය ස්ථාපිත කිරීමටත් ඔවුන්ගේ නියෝජිතයෝ නිරතුරුවම ඔහුගේ අණසක යටත්තේ ක්‍රියා කරමින් සිටිති. දෙවියන්වහන්සේගේ රාජ්‍යයට විරුද්ධව තමන්ගේ රාජ්‍යය පිහිටුවීම සාතන්ගේ වෑයම වන්නේය. මෙම උත්සාහය සාර්ථක කරගනිමින් ක්‍රිස්තු අනුගාමිකයන් මුළා කිරීමට ඔව්හු වෙර දරති. තමන්ගේ අරමුණු ඉටු කරගැනීම් වස් සාතන් මෙන්ම ඔහුගේ සේවක ජනතාවද ශුද්ධ ලියවිලි විකෘති කරමින් ඒවාට අසත්‍ය වූ ද අපැහැදිලි වූ ද අර්ථකථන ගෙන දෙමින් බැතිමතුන්ව මුළා කිරීමට ප්‍රබල උත්සාහයක යෙදෙති. සාතන් දෙවියන්වහන්සේට විරුද්ධව නින්දාත්මක අවලාද එල්ල කළාක් මෙන්ම ඔහුගේ නියෝජිතයන් ද දේව ජනතාව අපකීර්තියට පත් කිරීමට සෑම අවස්ථාවකදීම මහත් ප්‍රයත්නයක යෙදෙති. ක්‍රිස්තුස්වහන්සේව මරා දැමීමට ක්‍රියාත්මක වූ ආත්මයම උන්වහන්සේගේ බැතිමතුන්ව විනාශ කර දැමීමට දුෂ්ටයන් මෙහෙයවයි. මෙකී කාරණා සියල්ල “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි” යනුවෙන් ඒ මුලින් දෙන ලද අනාවැකියෙහි (උත්පත්ති 3:15) ඇතුළත් විය. කාලයේ අවසානය දක්වාම මෙම සතුරුකම නිරතුරුවම පවතිනවා ඇත.GrHSin 587.2

    සාතන් තෙමේ තම හමුදාවන් කැඳවමින් තමාගේ සියලු බලය මේ සටන සඳහා යොදවන්නේය. ඔහුගේ ක්‍රියාදාමයන්ට විරුද්ධව නැගී සිටීමට කිසිම කණ්ඩායමක් ඉදිරිපත් වන්නේ නැත්තේ මන්ද? ක්‍රිස්තුස්වහන්සේගේ සොල්දාදුවන් නිදිබරව කිසිම තැකීමක් නැතිව උදාසීනව සිටින්නේ මන්ද? එයට හේතුව වන්නේ ක්‍රිස්තුස්වහන්සේ සමග ඔවුන්ට ඇත්තාවූ සබැඳියාව ඉතා අල්පව තිබීමය. ඔවුන් උන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ සබඳතාවයෙන් ඈත්ව ගොස් සිටින නිසා ක්‍රිස්තුස්වහන්සේ මෙන් ඔවුන් පාපයේ පිළිකුල් භාවයද, නීව භාවයද ඒත්තු ගන්නේ නැත. පාපයට විරුද්ධව ක්‍රිස්තුස්වහන්සේ තීරණාත්මක සහ අධිෂ්ඨානශීලී විරුද්ධතාවයකින් යුතුව නැගී සිටි නමුත් උන්වහන්සේගේ අනුගාමිකයන් හට එවන් චින්තනයක් නැත. පාපයේ ඇත්තා වූ අති දරුණු දුෂ්ටකමත් උග්‍ර මරණිය භාවයත් ගැන හැඟීමක් ඔවුන්ට නැත. තවද අන්ධකාරයේ කුමාරයාගේ චරිත සොබාව සහ ඔහුගේ විපුල බලය ගැන බොහෝ කිතුනුවන්ට නිසියාකාර අවබෝධයක් නැත. ඒ පිළිබඳව ඔවුහු අන්ධව සිටිති. සාතන් සහ ඔහුගේ ක්‍රියාකාරකම් ගැන ඔවුන්ට ඇත්තේ ඉතා සුළු සතුරුකමකි. සාතන්ගේ බලය සහ දුෂ්ට නපුරු අභ්‍යාස ගැන ඔවුන්ගේ දැනුවත්කම ඉතා අල්පය. ක්‍රිස්තුස්වහන්සේට මෙන්ම උන්වහන්සේගේ සභාවටද විරුද්ධව ඔහු ක්‍රියාත්මක කර ඇති විශාල යුද්ධ ක්‍රමෝපායන් ගැන ඔවුන්ට වැඩි වැටහීමක් නැත. විශාල ජන සමූහයක් මේ මගින් මුළාවට පත්ව සිටිති. තමන්ගේ සතුරා ප්‍රබල සෙන්පතියෙකු බව ඔවුහු නොදනිති. හෙතෙම තම දුෂ්ට දූතයන්ගේ මනස් පාලනය කරයි. පරිණත වූ සැලසුම් මගින්ද නිපුණ වූ මෙහෙයුම් මගින්ද මිනිසුන්ගේ ගැළවීම උදෙසා ක්‍රිස්තුස්වහන්සේන්ගේ වැඩ පිළිවෙත කඩාකප්පල් කිරීමට සාතන් ඔවුන්ව මෙහෙයවයි. ඔහුගේ වෑයම පිළිබඳ බොහෝ ජනයාට වැඩි දැනුමක් නැත්තේය. කිතුණු බැතිමතුන් යයි කියාගන්නා වූ අය අතරත්, සමහර අවස්ථාවන්හිදී දේවගැතිවරුන් අතරත් සාතන් ගැන සඳහන් වන්නේ පවා ඉතාම අඩු වශයෙනි. දේශනා කූඩුවෙන් පවා ඔහුගේ නම කියැවෙන්නේ ඉතා කලාතුරකිනි. සාතන්ගේ නිරන්තර උපායශීලී ක්‍රියාකාරකම් සහ ඔහු ලබන්නාවූ ජයග්‍රහණයන් කිතුණුවන්ගේ දෑසට හමු නොවේ. ඔහුගේ දක්ෂ කපටිකම් පිළිබඳ අනතුරු ඇඟවීම් පිළිබඳ වඩාත් සැලකිල්ලක් දැක්වීම අවශ්‍යය යන්නට බැතිමත්හු තමන් අවධානය යොමු නොකරති. බොහෝ කිතුණුවෝ සාතන්ගේ පැවැත්ම නොතකා හරින බවක් පෙනෙයි.GrHSin 588.1

    සාතන්ගේ සුක්ෂම ක්‍රියාකාරකම් පිළිබඳව මනුෂ්‍යයන් නොදැනුවත්ව සිටින අතර ඉතා පරික්ෂාකාරීව සිටින්නා වූ මෙම සතුරා මිනිසුන්ට සමීප වී ඔවුන්ව තම දැලේ අසුකර ගනී. හෙතෙම සෑම ගෘහයක හා සෑම වීථියකද, සෑම දෙව් මැදුරක, ජාතික මන්ත්‍රණ සභාවන්හි සහ අධිකරණ නඩු ශාලාවන්හිද පවතිමින් සෑම දෙපාර්තමේන්තුවකටද ඇතුල් වෙමින් එම ස්ථානයන්හි වැඩ කටයුතු අවුල් කරයි. සෑම තැනකම වියවුල් ඇති කරමින්, මුළා කරමින් මිනිසුන් නොමඟ යවමින් ක්‍රියා කරන්නාවූ සාතන්, පුරුෂයන්ගේ, ස්ත්‍රීන්ගේ සහ ළමයින්ගේ ආත්ම සහ ශරීර විනාශය කරා යොමු කරයි. තවද පවුල් කඩා ඉහිරවමින් ද්වේෂය වපුරමින් පවුල්වල සාමාජිකයන් අතර තරගකාරී අවස්ථාවන් ඇති කරමින්, ගැටුම් පවා නිර්මාණය කරමින්, කැරැළි ගැසීම් වලට පොළඹවමින් මිනී මැරුමට පවා ඔහු අත්වැල් සපයයි. මෙම ක්‍රියාදාමයන් දෙවියන්වහන්සේගේ සැලැස්ම අනුව සිදුවන්නේ යයි උපකල්පනය කරන්නා වූ කිතුණු ලෝකය ඒ අනුව මෙම දේවල් පැවතිය යුතු යයි නිගමනය කරයි.GrHSin 589.1

    ලෝකයා සහ කිතුණුවා වෙන් කරන්නාවූ බාධක බිඳ හෙලමින් දේව ජනතාව පරාජය කිරීමට සාතන් නිරතුරුවම මාන බලමින් සිටියි. මිසදෙටු ජනතාව සමග සමාගම් පැවැත්වීම දෙවියන්වහන්සේ විසින් තහනම් කරනු ලැබ තිබියදී එවන් සබඳතා ඇති කරගැනීම නිසා පුරාණ ඊශ්‍රායෙලික ජනතාව පාපයට පොළඹවනු ලැබිණ. “නොඇදහිලිකාර වූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබලෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය. (2 කොරින්ති 4:4). ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කිරීමට තීරණාත්මක ලෙස එකඟතාවක් නොදක්වන්නා වූ සැවොම සාතන්ගේ සේවකයෝ වන්නෝය. නැවත උත්පාදනය නොලැබූ හදවතෙහි පාපයට යොමු වීමක් ඇත, ඇලුම්කමක් ඇත, පව්කාර ක්‍රියාවන් වෙනුවෙන් නිදහසට හේතු දක්වමින් එයට ඉඩ දීමට ආශාවක් පව්කාරයාට ඇත. නැවත උත්පාදනය ලැබු හදවතෙහි පාපයට ද්වේෂයක් ඇත. එයට විරුද්ධව නැගී සිටීමේ තීරණාත්මක අධිෂ්ඨානයක්ද ඔහු සතුව පවතී. අදේව භක්තිකයන්ගේ සහ නොඇදහිලිවන්තයන්ගේ සමාගම තෝරා ගන්නවූ ක්‍රිස්තු භක්තිකයෝ පරික්ෂාවන්ට දොර විවෘත කර ගනිති. රහසිගතවී ක්‍රියාත්මක වන්නාවූ සාතන් ඔවුන්ගේ ඇස් හමුවෙහි රැවටිලිකාර වැස්මක් යොදන්නේය. මෙවන් මිතුරු කණ්ඩායමක් තමන්ට අනතුරු කිරීමට පෙළ ගැසී සිටිතැයි ඔවුහු කල්පනා නොකරති. තම චරිතයෙන්, වදනින් සහ ක්‍රියාවගෙන් ලෝකය හා බද්ධ වන්නා වූ ඔවුහු ක්‍රම ක්‍රමයෙන් ආත්මික අන්ධ භාවයට පත්වෙති.GrHSin 589.2

    ලෝකයේ සිරිත් විරිත් හා සමග අනුකූලතාව දක්වන්නා වූ කිතුණු සභාව ලෝකයේ කොටස්කරුවෙකු බවට පත්වන්නීය. මෙවන් අනුකූලතාවයක් මගින් ලෝකය කිසිම දිනක ක්‍රිස්තුස්වහන්සේ වෙත දිනාගනු නොලබන්නේය. පාපය සමග සබඳතාවයක් පැවැත්වීම නිසා එයට පිළිකුලක් ඇති වීමේ හැකියාව අනිවාර්යයෙන්ම හීන වී යන්නේය. සාතන්ගේ සේවකයන් සමග සබඳතා ඇති කරගැනීමට තෝරා ගන්නා වූ අය තුළ තමන්ගේ ස්වාමියා කෙරෙහි වූ බිය ක්‍රම ක්‍රමයෙන් පහවී යන්නේය. රජ මැදුරේදි දානියෙල්, තම වගකීම් සහ යුතුකම් ඉටුකිරීම නිසා, අධිකරණ නියෝගයකට මුහුණ දී දඬුවමක් අත් විඳින්නට පවා සිදුවිය. එහෙත් දෙවියන්වහන්සේ මැදිහත් වී ඔහුට සරණ වූ සේක. ආගමික වගකීම් ඉටු කිරීමේදී සමහර විටෙක අපටද අනතුරුවලට මුහුණ පෑමට සිදුවිය හැකිය. එවන් අවස්ථාවන්හිදී දෙවියන්වහන්සේ අපව රැකබලා ගන්නා බව නියතය. එහෙත් අපි උවමනාවෙන්ම පරික්ෂාවන් පිරි මාර්ගයන්හි ගමන් කරන්නෙමු නම් අපද යම්කිසි දවසක වැටෙනවා නියතය.GrHSin 590.1

    තමා සාතන්ගේ පාර්ශ්වකරුවන් යයි කිසිවිටෙක නොසිතන්නාවූ අය කරණකොටගෙන සාතන් ඉතා සාර්ථක ලෙස ක්‍රියා කරන්නේය. කුසලතා සහ උගත්කම ඇති අය නිරතුරුවම ගෞරවයට සහ ප්‍රණාමයට භාජනය වන්නේ දෙවියන්වහන්සේට භය වීම නොමැති වුවද ඒවා උන්වහන්සේ ඉදිරිපිට පිළිගනු ලබමින් ඔවුන්ට උන්වහන්සේ කරුණාව ලබාදෙන ගුණාංග වූවා සේය. කුසලතා සහ සාරධර්ම වනාහි දෙවියන් වහන්සේ දෙන්නා වූ දීමනාවය. එහෙත් මෙම තිළිණ යමෙකුගේ භක්තිය සහ ශ්‍රද්ධාව වෙනුවට යොදාගනු ලබන්නේ නම්, එම ගුණාංග මගින් ඔහුව දෙවි සමිඳාණන් වෙතට සමීප කරනවා වෙනුවට උන්වහන්සේගේ මාර්ගයෙන් ඉවත්ව යෑමට ක්‍රියාකාරී වන්නේ නම් එකී තෑගි එම තැනැත්තාට ශාපයක් සහ මළපතක් බවට පත්වීම වැළැක්විය නොහැකිය. ආචාරශීලීත්වය සහ ශිෂ්ට ලාලිත්‍යය ප්‍රගුණුව පෙන්නුම් කරන්නාවූ සැවොම එක්තරා ආකාරයකින් ක්‍රිස්තුස්වහන්සේගේ පාර්ශ්වකරුවන් යයි බොහෝ අය කල්පනා කරති. මෙයට වඩා බිහිසුණු මුසාවක් තවත් නැත. මෙම චරිත ගුණාංග සෑම කිතුණුවෙකුම තුළම තිබිය යුතුය; මක්නිසාදයත් එම ගුණාංග සත්‍යය වූ ආගම වෙනුවෙන් ප්‍රබල අනුබලයක් දරන්නේය. එසේ වුවද එම ගුණාංග දෙවියන්වහන්සේට කැප කළ යුතු වේ. එසේ නොවන්නේ නම් එම ගුණාංග නපුරෙහි බලයන් බවට පත්වන්නේය. සාමාන්‍ය ලෙස පෙනෙන්නා වූ අයුරින් දුරාචාරයට ගැති නො වූ ද, ආචාරශීලීවූද, පාපී ක්‍රියාවන්හි නොයෙදෙන්නා වූ බුද්ධිමත්වූ ද බොහෝ අය වනාහි සාතන්ගේ හස්තයෙහි ඔප දැමූ ආයුධ වන්නේය. එවන් අයගේ සැඟවුණු චරිත ස්වභාවය මගින් දරන්නා වූ අනුබලයද ඔවුන්ගේ ආදර්ශයද ක්‍රිස්තුස් වහන්සේගේ වැඩ සැලැස්මට භයානක සතුරෙකු බවට නිතැතින්ම පත්වන්නේය. ඔවුන්ගේ අනුබලය, වඩා උගත්කමක් නොමැති දියුණු සභ්‍යත්වයකට හිමිකම් නොකියන්නා වූ අයගේ අනුබලයට වඩා භයානක විය හැකිය.GrHSin 590.2

    අවංක යාච්ඤාවෙන් යුතුව දෙවියන්වහන්සේ කෙරෙහි ගැති වෙමින් සාලමොන් ලබාගත් විශිෂ්ට බුද්ධි ප්‍රඥාව ලෝකයාගේ විස්මයටත් ප්‍රණාමයටත් හේතු කාරක විය. එසේ වුවද ඔහු තම ශක්තියේ මූලාශ්‍රයෙන් ඉවතට හැරී ස්වකීය අභිමානය කෙරෙහි විශ්වාසය රඳවමින් ක්‍රියාත්මක වීමත් සමගම ඔහු බලවත් පරික්ෂාවන්ට ගොදුරු විය. ලොව දිවි ගෙවූ ඉතාමත් ප්‍රඥාවන්ත රජතුමා වූ මොහු මත දානය කරන ලද විශ්මිත බලමහිමය, මිනිසුන්ගේ විරුද්ධවාදියාගේ කාර්යක්ෂම නියෝජිතයෙකුගේ බලශක්තීන් බවට පත්විය.GrHSin 591.1

    යථාර්ථය අවබෝධ කරගැනීමෙන් ක්‍රිස්තියානි බැතිමතුන්ගේ මනස් අඳුරෙහි නිමග්න කර තැබීමට සාතන් නිරතුරුවම ක්‍රියා කරන්නා වූ අතර ඔවුන් මෙම කරුණු අමතක කළ යුතු නොවේ: ” මක්නිසාද අපේ පොර බැඳීම වනාහි මාංසයට හා රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත්, පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධ විය.” (එපීස 6:12). දේව ආනුභාවයෙන් දෙන ලද අනතුරු ඇඟවීමේ ලියවිලි අද දක්වාම අපටද වලංගුය. ඒ මෙ‌සේය”සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලි දෝ හෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.” (1 පේතෘස් 5:8). “යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳ ගන්න.” (එපීස 6:11).GrHSin 591.2

    ජනතාව හිංසා පීඩනයන්ට භාජනය කරමින් ඔවුන්ව විනාශ මුඛය කරා තල්ලු කිරීමට අපගේ ප්‍රබල සතුරා ආදම්ගේ දිනවල පටන් අද දක්වාම තමන්ගේ බලශක්තිය විහිදුවමින් ක්‍රියාත්මකව සිටී. සභාවට විරුද්ධවූ තම තීරණාත්මක අවසන් සටන මෙහෙයවීම සඳහා ඔහු දැන් සූදානම් වෙමින් සිටී. යේසුස්වහන්සේව අනුගමනය කිරීමට සොයන්නාවූ සෑම බැතිමතෙකුටම මේ කුරිරු සතුරා සමග ගැටුමකට මුහුණ දීමට සිදුවන්නේය. යම් අයෙකු දිව්‍ය ආකෘතිය අනුකරණය කිරීමට කෙතරම් සමීප වන්නේද ඔහු එවන් ආකාරයෙන්ම සාතන්ගේ ප්‍රහාරයන්ට ඉලක්කය වන්නේය. ක්‍රියාත්මක ලෙස දෙවියන්වහන්සේගේ සේවයෙහි යෙදෙන්නා වූ අය සාතන්ගේ උදහසට ලක් වන්නෝය. ඔවුහු අනිවාර්යයෙන්ම නපුරාගේ මුළා කිරීම් සහ රැවටිලිකාරකම් හෙළිදරව් කරනු නියතය. එසේ කරමින්ම ඔවුහු ක්‍රිස්තුස්වහන්සේ ජනතාව ඉදිරියෙහි ඔසවා තබන්නෝය. පාවුල්ගේ සාක්ෂි දැරීමට පංගුකාරයන් වීමට ඔවුන්ටද පුළුවන. මනසෙහි යටහත් පහත්කමින් යුතුවද බොහෝ කඳුළින් යුතුවද පරික්ෂාවන්ට මුහුණ දෙමින්ද තමා දෙවියන්වහන්සේගේ සේවයෙහි යෙදෙන බවට ඔවුහු සාක්ෂි දරති.GrHSin 591.3

    යේසුස් ක්‍රිස්තුස්වහන්සේට එරෙහිව සාතන් තමාගේ ඉතා දරුණු වූ ද ඉතා කපටි වූ ද ප්‍රහාරයන් ක්‍රියාත්මක කළේය. එහෙත් ඒ සියලු ප්‍රහාරයන්හිදී සාතන් අසාර්ථක විය. උන්වහන්සේ එම ප්‍රහාරයන්ට මුහුණ දුන්නේ අප උදෙසාය. උන්වහන්සේ එම සතුරු ප්‍රහාරයන්ගෙන් ලබාගත් ජය තුළින් අපටද ජයග්‍රහණය උදාකර ගැනීමට හැකියාව ලැබෙන්නේය. ජයගැනීම සඳහා ශක්තිය සහ ආධාර ඉල්ලන්නාවූ සැමට ක්‍රිස්තුස්වහන්සේ එය ලබා දෙන සේක. තමන්ගේ කැමැත්ත දීමෙන් එකඟතාව ප්‍රකාශ නොකරන්නා වූ කිසිම මනුෂ්‍යයෙකුගෙන් ජයගැනීමට සාතන්ට හැකියාවක් නැත. පව් කරන්ට එකඟ වෙමින් අනුමැතිය දීමෙන් පමණක් කෙනෙක් පරීක්ෂාවට වැටෙන්නේය, යමෙකුගේ කැමැත්ත පාලනය කිරීමටත් බලහත්කාරයෙන් පව් කරන්ට සැලැස්වීමටත් සාතන්ට කිසිම බල අයිතියක් නැත. කෙනෙකුව පීඩාවට පත්කරන්ට, විපතට පත් කරන්ට සාතන්ට හැකියාව ඇත. එහෙත් කෙනෙකුව කිළිටි කරන්නට, අපවිත්‍ර කරන්නට ඔහුට අවසර නැත. කෙනෙකුව දුක් වේදනාවට පත් කරන්නට ඔහුට හැකියාව ඇත. එහෙත් එවන් තැනැත්තෙකු කෙලෙසීමට ඔහුට හැකියාවක් නැත. ක්‍රිස්තුස්වහන්සේ යක්ෂයාව අන්ත පරාජයට පත්කර විජයග්‍රහණය කර ඇති සේක. එහි ආනුභාවය කරණකොටගෙන කිතුණු අනුගාමිකයන්ට පාපයටත් සාතන්ට එරෙහිව නිර්භීත ලෙස සටන් කිරීමට දිරියක් ලැබෙනවා ඇත.GrHSin 592.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents