Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    35 - පාප් බලයේ ස්වභාවය හා අරමුණු

    වර්තමානයේදී ප්‍රොතෙස්තන්තවරු රෝම සභාව සලකන්නේ ඉහත අවුරුදුවලදී සැලකුවාට වඩා මහත් ප්‍රසන්නතාවයෙන්ය. කතෝලික සභාව දියුණුව නොපවතින්නාවූ රටවල පාප් සභිකයෝ අනුබලයක් ලබාගැනීමට උනන්දුවෙන් ක්‍රියා කරති. ඒ රටවල, නවෝත්පාදය අනුව පිහිටුවන ලද සභාවල් පාප් සභාවේ ඉගැන්වීම් වලින් ඉවත් වූ නමුත් දැන් ඒ. ඉගැන්වීම් ගැන ඔවුන් එපමණ උනන්දුවෙන් සැලකිලිමත් නොවෙති. ඔවුන් සිතු තරමට, වැදගත් ධර්මයන් පිළිබඳව වැඩි වෙනසක් නැත යන්න දැන් දැන් වැඩි වැඩියෙන් පිළිගනු ලබයි. තමා මඳ වශයෙන් යටහත් වුවහොත් තමාට රෝම සභාව සමග වඩා හොඳ සබඳතාවයක් පවත්වාගත හැකිය යන අදහස දැන් පවතියි. හෘදය සාක්ෂියේ නිදහස සඳහා අධික මිලක් ගෙවා එය ලබාගනු ලැබූ අතර එය බොහෝ සේ අගය කරනු ලැබූ කාලයක් තිබුණි. ඔවුන් තමාගේ දරුවන්ට ඉගැන්වූයේද පාප් සභාව එපා කිරීමටය, රෝම සභාව සමග ඒකත්වයක් ඇතිකරගැනීම වනාහි දෙවියන්වහන්සේට අපක්ෂපාත වීමක් බවය. නමුත් දැන් පවතින අදහස ඊට වඩා කොපමණ වෙනස්ද?GrHSin 658.1

    පාප් සභාව රැකවරණය කරන අය පවසන්නේ ඒ සභාවට අකරුණාවන්ත ලෙස සලකා තිබෙන බවය; ප්‍රොතැස්තන්ත ලෝකය මේ කියමන පිළිගැනීමට යොමු වෙති. නොදැනුවත්කමේ හා අන්ධකාරයේ කාලයේදී ඒ බලය විසින් කරන්නට යෙදුණා වූ නුසුදුසුවූ ද අප්‍රසන්න වූද ක්‍රියාවන් අනුව දැන් ඒ සභාව විනිශ්චය කිරීම අසාධාරණ යයි බොහෝ අය පවසති. සභාවේ භයානක කෘෘරත්වය පැවතුණේ ඒ කාලයේ පැවති රළු ශිෂ්ටාචාරයේ ප්‍රතිඵලයක් වශයෙන් යයි පවසමින් ඒ ක්‍රියාවන් නොතකා හරිනු ලැබේ. නවීන ශිෂ්ටාචාරයේ බලපෑම ඒ සභාවේ ක්‍රියා පිළිවෙල වෙනස්කර ඇත්තේ යයි ඔහු කියා සිටිති.GrHSin 658.2

    තමා වරද කිරීමෙන් තොරව සිටින්නන් යයි මේ උඩඟු බලය වසර අටසියයක් මුළුල්ලේ පැවසු බව ඔවුන්ට අමතක වී තිබෙන්නේද? මේ තත්ත්වය නැති වී යනවා වෙනුවට, දහනම වන ශත වර්ෂයේදී පෙරටත් වඩා මහත් අවධානයෙන් ඔවුන් මේ බව කියා සිටිති. ඔවුන් කිසිවිටෙක වරද නොකළ බවත්, ඔවුන්ට වරදක් කිරීමට නුපුළුවන් බවත් ඔවුන් කියා සිටින බැවින්, අතීතයේදී ඔවුන්ගේ ක්‍රියාවන්ට මගපෙන්වූ ප්‍රතිපත්ති වැරදි යයි සැලකීමට ඔවුන්ට පුළුවන් වන්නේ කෙසේද?GrHSin 658.3

    පාප් සභාව තමාට කිසිවිටෙක වැරදි කිරීමට නුපුළුවන යන ප්‍රකාශනය ඉවත් කරගන්නේ නැත. ඇගේ ඉගැන්වීම් එපා කළ අයට පීඩා කිරීම වරදක් නොවුණු බව සභාව තවදුරටත් පවසයි. ඒ ක්‍රියාවන් නැවත කිරීමට අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඔවුන් එසේ නොකරනවා ඇද්ද? දේශපාලනික නීති මගින් ඉදිරිපත් කර ඇති තහනම ඉවත් කරනු ලැබ රෝම සභාවට අතීතයේදී තිබුණාවූ බලය නැවත දෙනු ලැබුව හොත් ඇගේ පීඩාකිරීම හා ප්‍රචණ්ඩකාරිත්වය නැවත ප්‍රබෝධමත් වෙනවා ඇත.GrHSin 659.1

    “හෘදය සාක්ෂියේ නිදහස ගැන පාප් බලයේ ආකල්පය පිළිබඳවද ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් එමගින් අමෙරිකා එක්සත් ජනපදයට ඇතිවිය හැකි තර්ජනය ගැනද සුප්‍රකට ලේඛකයෙක් මෙසේ ලියා තිබේ: අමෙරිකා එක්සත් ජනපදයේ රෝමානු කතෝලික සභාව ඇතිවීම ගැන සමහර අය තුළ බියක් ඇතිවීම ළමා අදහසක් හා තමාගේම ධර්මයන්ට එල්බගෙන සිටීමක්ය.’ රෝම සභාවේ ආකල්පය හා ස්වභාවය අපගේ නිදහස් සංවිධානයන්ට සතුරුකමක් විය හැකි බවක් හෝ එහි වර්ධනයන් කරදරයක් ඇති විය හැකි බවක් එබඳු අයට පෙනෙන්නේ නැත. එහෙයින් අපි දැන් අපගේ ආණ්ඩුවේ ප්‍රමුඛ ප්‍රතිපත්ති කතෝලික සභාවේ ප්‍රතිපත්ති සමග සමානකර බලමු.GrHSin 659.2

    “එක්සත් ජනපදයේ ආණ්ඩු ක්‍රමය අනුව හෘදය සාක්ෂියේ නිදහස සම්පූර්ණ ලෙස මනුෂ්‍යයාට දෙනු ලබන බවට ස්ථිර පොරොන්දුවක් තිබේ. මෙය ඉතාම අගනේය, ප්‍රමුඛය. ix පියස් පාප් තුමා 1854 අගෝස්තු 15 දින යවන ලද ලිපියක මෙසේ කියා තිබේ. හෘදය සාක්ෂියේ නිදහස ගැන තිබෙන්නාවූ නුසුදුසු වැරදි ඉගැන්වීම ඉතාම කරදරකාර වරදකි, අනික් සියල්ලට වඩා අප්‍රසන්න දෙයකි. එය දේශයක ඇත්තාවූ ඉතාම වැඩියෙන් බියගන්වන එපා කරනු ලැබිය යුතු දෙයකි.” එම පාප්වරයාම 1864 දෙසැම්බර් 8 දින යවන ලද ලිපියකින් ආගමික නමස්කාරය පිළිබඳව ද හෘදය සාක්ෂිය පිළිබඳවද නිදහස තිබිය යුතු යයි පවසන අයටද ‘සභාවට බලහත්කාරයෙන් ක්‍රියා කිරීමට නුපුළුවනැයි පවසන අයටද විරුද්ධව කරුණු ඉදිරිපත් කළේය.GrHSin 659.3

    “අමෙරිකා එක්සත් ජනපදයෙහි රෝම සභා දක්වන සාමකාමී ස්වභාවය මගින් සිත වෙනස්වීමක් දක්වනු ලබන්නේ නැත. තමාට උපකාර රහිත තත්ත්වයක් පවතින විට ඒ සභාව එම තත්ත්වය ගැන ඉවසිලිවන්තව ක්‍රියා කරයි. බිෂොප් ඔකොනොර් මෙසේ පවසයි: “ආගමික නිදහස ඉවසනු ලබන්නේ කතෝලික සභාවට කරදරයක් නොමැතිව, එහි විරුද්ධ පැත්ත ක්‍රියාත්මක කිරීමට පුළුවන් වන තුරු පමණය. සෙන්ට් ලුවී යන ස්ථානයේ නායක බිෂොප්වරයා වරක් මෙසේ පැවසුවේ: ධර්මයන්ට විරුද්ධව ක්‍රියාකිරීම හා අවිශ්වාසය, අපරාධයන්ය. සියළු දෙනාම කතෝලික සභාවට අයිති වන ඉතාලිය හා ස්පාඤ්ඤය වැනි රටවල, කතෝලික ආගම දේශයේ අණපනත් වලද වැදගත් ස්ථානයක් ගන්නා බැවින් මේ වැරදිවලට වෙනත් අපරාධයන්ට මෙන්ම දඬුවම් කරනු ලැබිය යුතුය.”GrHSin 659.4

    “කතෝලික සභාවේ සෑම කාදිනල්වරයෙක් හා නායක බිෂොප්වරයෙක්ම තමා පාප්ට පක්ෂපාත වන බවට පොරොන්දුවකට ඇතුල් වෙයි. ඒ පොරොන්දුවට මේ වචන ඇතුළත්ය: අපගේ පාප් ස්වාමින්ගේ හෝ ඔහුට පසුව ඔහුගේ ස්ථානය ගන්නවා යයි පවසන ලද තැනැත්තාගේ ඉගැන්වීම්වලට විරුද්ධ වන්නා වූ, ඒවා අනුව ක්‍රියා නොකරන්නාවූ, කැරළි ගසන්නා වූ අයට විරුද්ධව ක්‍රියාකිරීමට හා ඔවුන්ට පීඩා කිරීමට මම මට හැකි පමණ දුරට ක්‍රියාකරමි.” (Josiah Strong D. D. In Our Country p. 46-48)GrHSin 660.1

    රෝමානු කතෝලික සාමාජිකයන් අතර නියම ක්‍රිස්තු භක්තිකයන් සිටින බව සැබෑය. ඒ සභාවේ සිටින දහස් ගණන් ජනයා තමාට ලැබී තිබෙන ආලෝකය අනුව තමාට හැකි පමණ හොඳින් දෙවියන්චහන්සේට සේවය කරති. ඔවුන්ට දේව වචනය ලබාගැනීමට නුපුළුවන; එහෙයින් ඔවුන්ට සත්‍යය වටහාගැනීමට නුපුළුවන. ප්‍රබෝධමත් හදවතකින් කරන සේවයද, වත් පිළිවෙත් හා උත්සවයක් පැවැත්වීමද අතර වෙනස ඔවුන් කිසිවිටෙක දැක නැත. දෙවියන්වහන්සේ සානුකම්පිත මෘදුකමින් මේ අය දෙස බලන සේක. ඔවුන් ඉගනගෙන තිබෙන්නේ සෑහීමක් ලබා නොදෙන රැවටිලිකාර ඇදහිල්ලක්ය. ඔවුන් අවට පවතින තද අන්ධකාරය පසාකරන පිණිස උන්වහන්සේ ඔවුන්ට අලෝක ධාරාවක් දෙනවා ඇත. උන්වහන්සේ ඔවුන්ට යේසුස්වහන්සේ තුළ ඇත්තාවූ සත්‍යයන් එළිදරව් කරනවා ඇත. එවිට බොහෝ අය උන්වහන්සේගේ සෙනඟගේ පක්ෂයට පැමිණෙනවා ඇත.GrHSin 660.2

    එහෙත්, සංවිධානයක් හැටියට, රෝම සභා එහි ඉතිහාසයේ සියලු කාලවලදී පැවතුණා වූ අන්දමට මෙන්ම දැන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය සමග එකඟත්වයක් වන්නේ නැත. ප්‍රොතෙස්තන්ත සභාවෝ මහත් අන්ධකාරයකින් වැසී සිටිති; නැතහොත් ඔවුන්ට කාලයාගේ ලකුණු වටහාගැනීමට පුළුවන් වෙනවා ඇත. රෝම සභාව එහි සැකසුම් හා ක්‍රියා පිළිවෙල යොදවන්නේ දූරදර්ශී ලෙසය. ඇගේ අනුබලය පතුරුවමින් ඇගේ බලය වර්ධනය කරගන්නා පිණිස ඈ තමාට හැකි සෑම උපක්‍රමයක්ම යොදවයි. ඈ එසේ කරන්නේ නැවත ලෝකයේ බලය ලබාගැනීමට, පීඩා කිරීම නැවත ක්‍රියාත්මක කිරීමට හා ප්‍රොතැස්තන්ත සභාව විසින් කරන්ට යෙදුණාවූ සියල්ල නැතිකර දැමීමටය. කතෝලික සභාව සෑම පැත්තකින්ම දියුණු වෙමින් පවතියි. ප්‍රොතෙස්තන්ත රටවල අදට තිබෙන්නා වූ දේවස්ථාන හා නමස්කාර ස්ථාන කොපමණ දැයි බලන්න. ප්‍රොතැස්තන්ත ආගම් බොහෝ සේ පවතින අමෙරිකාවේ ඇයට තිබෙන විදුහල් හා සෙමනේරිවල ජනප්‍රියතාවය දෙස බලන්න. එංගලන්තයේ එහි චාරිත්‍ර වාරිත්‍ර වර්ධනය වීම දෙසද කතෝලික සභාව වෙත ඇතිවන යොමුවීම් දෙසද බලන්න. ශුභාරංචියේ පිරිසිදු ප්‍රතිපත්ති අගය කරන සියල්ලන් තුළ මේ කාරණා ගැන කනස්සල්ලක් පුබුදුවනු ලැබිය යුතුය.GrHSin 660.3

    ප්‍රෝතැස්තන්ත සභාවන් පාප් සභාව සමග ගැටෙමින් එයට සම්බන්ධවීද තිබේ. ඔවුන් යම් කාරණා ගැන එකඟතාවයකට පැමිණෙමින් යම් දේවල් පිළිගෙන තිබේ. පාප් සභිකයන් පවා මේ දේවල් ගැන විස්මයට පත්වෙති; ඔවුන්ට ඒ දේවල් වටහාගැනීමට පවා නුපුළුවන. මනුෂ්‍යයෝ රෝම සභාවේ නියම තත්ත්වයටද ඇගේ දියුණුවෙන් ඇතිවිය හැකි අන්තරාවන්ට ද ඇස් පියාගනිති. දේශපාලනික හා ආගමික නිදහසට ඉතා මහත් අන්තරාවක් විය හැකි මේ සතුරාගේ වර්ධනයට විරුද්ධව සිටීමට මනුෂ්‍යයන් පුබුදුවනු ලැබිය යුතුය.GrHSin 661.1

    බොහෝ ප්‍රොතැස්තන්තවරු කල්පනා කරන්නේ කතෝලික ආගම සිත් ගන්නා එකක් නොවන බවය, එහි නමස්කාරය උනන්දුවක් හෝ අර්ථයක් නැති චාරිත්‍ර පිළිවෙලක් බවය. මෙය. වරදකි. රෝම සභාව රැවටීම් මත පදනම් වී තිබෙන නමුත් එය රළු අශෝභන ක්‍රියා පිළිවෙලක් නොවේ. රෝම සභාවේ ආගමික මෙහෙයන් වනාහි සිත් ගන්නා පිළිවෙතක්ය. එහි අලංකාර දර්ශනද, ගාම්භීර චාරිත්‍ර වාරිත්‍රද මනුෂ්‍යයන් ප්‍රීතියට පමුණුවමින්, කරුණු බේරාගැනීමේ හැකියාවද, හෘද සාක්ෂියද නිශ්චල කරයි. ඇසට ඉමහත් ප්‍රසන්නතාවයක් ඇති වෙයි. ඉතා අලංකාර දේවස්ථාන, හොඳාකාර සකසන ලද පෙරහැරවල්, රන් පූජාසන, ආභරණ වලින් සරසන ලද රූප, අලංකාර චිත්‍ර හා ඉතා අලංකාර කැටයම් යන සියල්ල අලංකාරයට ආශාවන සිතට කථා කරයි; සවනද ප්‍රසන්න කරනු ලබයි. ඒ තූර්යවාදනය අන්කිසිවකින් පරදවනු ලැබීමට නුපුළුවන. ගැඹුරු රාවයක් ඇත්තාවූ සංගීත භාණ්ඩවල රාවය බොහෝ අයවලුන්ගේ ගීත නාදය හා එක්වෙමින් ඒ ඉතා අලංකාර ගොඩනැගිලි තුළ පැතිරී යයි. ඒවා මගින් මනසට ගරුසම්පන්නතාවයක් හා බියමුසු ගරුත්වයක් ඇතිවන බව ස්ථිරය.GrHSin 661.2

    පිටතින් පවතින්නා වූ මේ අනර්ඝත්වය, අලංකාරය හා උත්සවාකාරය වනාහි පාපයෙන් ලෙඩවූ ආත්මයන්ට සරදම් කරන්නක් හා සමාන තත්ත්වයකි. එය අභ්‍යන්තරික දූෂණයක් ප්‍රත්‍යක්ෂ කරන්නකි. ක්‍රිස්තුස් වහන්සේගේ ආගම පිළිගනු ලබන පිණිස එය එපමණ සිත් ඇදගන්නා අන්දමින් පැවතීම අවශ්‍ය නොවේ. කුරුසියේ පූජාවෙන් නිකුත් වන ආලෝකය අනුව, ක්‍රිස්තියානි ආගම් කොපමණ පවිත්‍රව අලංකාරව දර්ශනය වන්නේද යත් පිටස්තර සැරසිලි මගින් එහි සැබෑ වටිනාකම වැඩි කරනු ලබන්නේ නැත. දෙවියන්වහන්සේ ඉදිරිපිට වටිනාකම් ඇත්තේ ශුද්ධකමේ අලංකාරයටය, මොළොක් ගුණයෙන් යුත් සන්සුන් ආත්මයකටය.GrHSin 661.3

    දීප්තිමත් භාවයක් මගින් පවිත්‍ර උතුම් සිතුවිලි පවතින බවක් නිශ්චය වශයෙන්ම දක්වනු ලබන්නේ නැත. උසස් කලාත්මක අදහස්ද, සියුම් උතුම් ආශාවන්ද නිතර පවතින්නේ ලෞකික වූද තෘෂ්ණාවගෙන් යුක්ත වූ මනසකය. නිතරම සාතන් ඒවා පාවිච්චි කරන්නේ ආත්මයේ අවශ්‍යතාවයන් අමතක කිරීමටද, අනාගත සදාකාල ජීවනය දර්ශනය කිරීමෙන් වැලකීමටද, ඔවුන්ගේ සදාකාලික සහායකයාණන් අමතක කිරීමටද මනුෂ්‍යයන්ට මගපෙන්වමින් මේ ලෝකය උදෙසා පමණක්ම ජීවත්වීමට ඔවුන් යොමු කිරීමටය.GrHSin 662.1

    පිටස්තර අලංකාරයෙන් යුත් ආගමක් ගැන ආශාවක් ඇතිවන්නේ අලුත් කරන ලද හදවත් නොමැති අයටය. කතෝලික සභාවේ උද්‍යෝගිත්වය හා චාරිත්‍රානුකූල භාවය තුළ සිත් ඇදගන්නා බලයක් තිබෙන බැවින් බොහෝ අය එමගින් රවටනු ලබති. රෝමානු සභාව වනාහි ස්වර්ගයට යොමුකරන දොරටුව යයි කල්පනා කිරීමට ඔව්හු පෙළඹෙති. එහි අනුබලයෙන් බේරී සිටිය හැක්කේ සත්‍යයේ පදනම මත ස්ථිර ලෙස පිහිටා සිටින්නාවූ ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන සිත් අලුත් කරනු ලැබුවා වූද අයට පමණය. ක්‍රිස්තුස්වහන්සේ ගැන අත්දැකීමෙන් යුත් දැනගැන්මක් නොමැති දහස් ගණන් ජනයා බලයෙන් තොරවූ දේවභක්තිකකමේ ස්වභාවය පිළිගැනීමට මගපෙන්වනු ලබනවා ඇත. බොහෝ දෙනා ආශා වන්නේ එබඳු ආගමකටය.GrHSin 662.2

    පව් කමාව දීමට සභාවට පුළුවන්කම තිබෙන බවට ඇති ප්‍රකාශනය මගින් රෝම සභිකයෝ තමාට පව්කිරීමට නිදහස තිබෙන බවක් කල්පනා කරති. පව් කියාදීමෙන් තොරව පව් කමාව දෙනු නොලැබීමද නපුර කිරීමට අවසර දීමක් වෙයි. පාපයට වැටුණා වූ මනුෂ්‍යයෙකු ඉදිරිපිට දණගසා තමාගේ රහස් සිතුවිලිද හදවතේ සිතැඟියාවන්ද විවෘත ලෙස කියාදීම වනාහි ඔහුගේ පුරුෂත්වය පහත් කිරීමකි, ඔහුගේ ආත්මයේ ඇත්තාවූ සෑම උසස් පෙළඹීමක්ම පහත් කිරීමකි. තමාගේ ජීවිතයේ පාපයන් පූජකයෙකුට විවෘත කිරීම - එනම් වැරදි කරන්නා වූ, පාපිෂ්ට මනුෂ්‍යයෙකුට, නිතර මිදි යුෂින් හා දුසිරිතෙන් නරක් වන්නා වූ තැනැත්තෙකුට විවෘත කිරීම වනාහි ඔහුගේ චරිතය පහත් කිරීමකි; ඒ අනුව ඔහුගේ ජීවිතය අපවිත්‍ර කරනු ලැබේ. දෙවියන්වහන්සේ ගැන ඔහුට ඇත්තාවූ සිතුවිලි පාපයට වැටුණාවූ මනුෂ්‍යයාගේ සමානත්වයට පමුණුවනු ලැබේ. කුමක් හෙයින්ද පූජකයා දෙවියන්වහන්සේ වෙනුවට පෙනී සිටියි. මනුෂ්‍යයෙක් මනුෂ්‍යයෙකුට මේ අන්දමට පව් කියාදීම ලෝකය අපවිත්‍ර කරන්නා වූ නපුර ගලාඑන්ට සලසන රහස් උල්පතක් වී තිබේ. එමගින් ලෝකය ඒ අවසාන විනාශයට සූදානම් කරනු ලැබේ. එහෙත් ආත්මාර්ථකාමිත්වයට ආශාවන කෙනෙකුට තමාගේ ආත්මය දෙවියන්වහන්සේට විවෘත කිරීමට වැඩියෙන් සහකාර මනුෂ්‍යයෙකුට පව් කියා දීම ප්‍රසන්නය. පාපය අත්හැරීමට වැඩියෙන් පාපය උදෙසා දඬුවම් විඳීම මනුෂ්‍ය ස්වභාවයට ප්‍රසන්නය; මානුෂික තෘෂ්ණාවත් කුරුසිපත් කිරීමට වැඩියෙන් ගෝනි රෙදි ඇඳගෙන කටු හා දම්වැල් වලින් මාංසය යටත් කරගැනීම මනුෂ්‍යයාට ප්‍රසන්නය. ක්‍රිස්තුස්වහන්සේගේ වියගහ ඉදිරිපිට නැමෙනවාට වැඩියෙන් මාංසික හදවත කැමති වන්නේ බරින් වැඩි වියගහක් දැරීමටය.GrHSin 662.3

    ක්‍රිස්තුස්වහන්සේ පළමුවරට මේ ලෝකයට පැමිණි විට පැවති යුදෙව් සභාව ද රෝම සභාව ද බොහෝ දුරට එක හා සමානය. යුදෙව්වරු රහසින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ සෑම ප්‍රතිපත්තියක්ම පෑගූ අතර, ඔහු පිටස්තරින් එහි ප්‍රතිපත්ති පැවැත්වීමේදී උනන්දුවෙන් ක්‍රියා කළහ. ඔව්හු වෙනත් අවශ්‍යතාවයන් හා මනුෂ්‍යයන්ගේ නියෝග මගින් ඒවා පුරවමින් ඒවා පැවැත්වීම වේදනාත්මක බරක් වෙන්ට සැලැස්වූහ. තමා ව්‍යවස්ථාවට ගරු කරනවා යයි යුදෙව්වරුන් පැවසු අන්දමටම රෝම සභාව තමා කුරුසියට ගරුත්වය දක්වන බව පවසයි. ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ දුක් විඳීමේ සංකේතය නඟාලන අතර එයින් දක්වනු ලබන තැනැන්වහන්සේ ඔවුන්ගේ ජීවිතවලින් එපා කරති.GrHSin 663.1

    පාප් සභිකයෝ ඔවුන්ගේ දේවස්ථාන වලද, ඔවුන්ගේ පූජාසන මතද ඔවුන්ගේ ඇඳුම් වලද කුරුස තබති. කුරුසියේ සලකුණ සෑමතැනකම දකින්නට පුළුවන. පිටස්තරින්, සෑමතැනදීම එයට ගරුකර එය නඟාලනු ලැබේ. නමුත්, අර්ථ රහිත නියෝග මගින්ද, තදබල නියමයන් මගින්ද ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් වළලා දමනු ලැබේ. ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට ස්ථිරව සිටි යුදෙව්වරුන්ට ගැළවුම්කාරයාණන්වහන්සේ පැවසු වචන වඩාත් බලවත් ලෙස රෝම සභාවේ නායකයන්ට අදාළ වේ. උන්වහන්සේ මෙසේ පැවසූ සේක: “එසේය ඔහු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති.” (මතෙව් 23:4) අවංකව හෘද සාක්ෂිය අනුව ක්‍රියාකරන අය තමා දෙවියන්වහන්සේ අප්‍රසන්නතාවයට පැමිණ වූ බැවින් උන්වහන්සේගේ උදහස තමා පිටට පැමිණෙනවා ඇතැයි නිතරම මහත් බියකින් පසුවෙති; ඒ අතර, සභාවේ නායකයෝ සෞභාග්‍යය හා ශාරීරික විනෝදය ඇතිව ජීවත් වෙති.GrHSin 663.2

    රූපවලට වන්දනා කිරීමද, ශුද්ධවන්තයන්ට යාච්ඤා කිරීමද, පාප නගාලීමද සාතන් සකසා තිබෙන උපක්‍රමයන්ය. ඒවා මගින් මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ කෙරෙන්ද උන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙන්ද ඉවතට යොමු කිරීමට ඔහු ක්‍රියා කරයි. ඔවුන් විනාශ කරන පිණිස සාතන් ඔවුන්ගේ අවධානය දෙවියන්වහන්සේ කෙරෙන් ඉවතට යොමු කිරීමට ක්‍රියා කරයි. එහෙත් ඔවුන්ට ගැළවීම ලබාගත හැක්කේ උන්වහන්සේ තුළින් පමණය. “වෙහෙස වන්නා වූ, බර උසුලන්නා වූ සියල්ලෙන් මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි” (මතෙව් 11:28) යනුවෙන් පැවසු තැනැන්වහන්සේ කෙරෙන් ඔවුන්ගේ අවධානය ඉවත්කර උන්වහන්සේ වෙනුවට ඉදිරිපත් කළ හැකි ඕනෑම දෙයකට ඔහු ඔවුන් යොමු කරයි.GrHSin 664.1

    සාතන් නිතරම උත්සාහ කරන්නේ දෙවියන්වහන්සේගේ චරිතයද, පාපයේ ස්වභාවයද, මහා අරගලයේ පවතින වැදගත් කාරණාද වරදවා දැක්වීමටය. ඔහුගේ ඉගැන්වීම් අනුව දිව්‍ය ව්‍යවස්ථාව කෙරෙහි මනුෂ්‍යයාට ඇති වගකීම් අඩු කරනු ලබන අතර පව් කිරීමට ඔහුට අවසර දෙනු ලැබේ. ඒ අතරම ඔහු මනුෂ්‍යයන්ට මගපෙන්වන්නේ දෙවියන්වහන්සේ ගැන වැරදි අදහස් ඇතිකර ගැනීමටය. මෙසේ ඔවුන් උන්වහන්සේට ප්‍රේම කරනවා වෙනුවට උන්වහන්සේ ගැන බියෙන් හා ද්වේෂයෙන් සැලකීම ඔහුගේ අදහසය. ඔහුගේම චරිතයේ ඇත්තා වූ කෲරභාවය මැවුම්කාරයාණන්වහන්සේගේ ගුණාංගයක් බව ඔහු දක්වයි. එය ආගමික ක්‍රියාකාරිත්වයෙන් දක්වනු ලබන අතර නමස්කාර කිරීමේ ක්‍රමයන්හිදී එය ප්‍රකාශ කරනු ලැබේ. මෙසේ මනුෂ්‍යයන්ගේ සිත් අන්ධ කරනු ලැබ සාතන් ඔවුන් යොමු කරන්නේ දෙවියන්වහන්සේට විරුද්ධව සටන් කරන පිණිස ඔහුගේ ඒජන්තවරුන් වීමටය. දිව්‍ය ගුණාංග වැරදි අන්දමට දක්වනු ලැබීම මගින් අන්‍ය ජාතිකයන් විශ්වාස කරන්නට යෙදුණේ දිව්‍යත්වයේ කරුණාව දිනාගන්නා පිණිස මානුෂික පූජාවන් ඔප්පු කරනු ලැබිය යුතු බවය. රූප වන්දනාවේ අනේකාකාර පිළිවෙලවල් මගින් භයානක කෲරකම් කරනු ලැබේ. රෝම සභාව අන්‍යජාතිකත්වයේ හා ක්‍රිස්තියානි සභාවේ පිළිවෙත් එක්කරයි. මෙසේ, එය අන්‍යජාතිකයන් මෙන් දෙවියන්වහන්සේගේ චරිතය වරදවා දක්වමින් එයාකාරවම කෲර කැරළිකාර පළපුරුදු ක්‍රියාත්මක කරන්නට යොමු වෙයි. රෝම සභාව උසස් තත්ත්වයෙන් සිටියදී, ඇගේ ධර්මයන් අනුව ක්‍රියාකිරීමට මනුෂ්‍යයන්ට බලකරන පිණිස පීඩා කිරීමේ අවි ආයුධ පාවිච්චි කරනු ලැබීය. ඇගේ නියමයන්ට කීකරු නොවන අය කණුවකට බැඳ පිච්චීමේ පිළිවෙත පැවතුණේ. විනිශ්චය දවසේදී එළිදරව් කරනු ලබන තුරු ප්‍රකාශ කරනු නොලබන සමූල ඝාතන පැවතුණි. සභාවේ නායකයෝ ඔවුන්ගේ ස්වාමියා වූ සාතන් යටතේ ඉගෙන ගත්තේ තමාගේ ගොදුරේ ජීවිතය විනාශ නොකර ඔවුන්ට හැකි පමණ මහත් වධ වේදනා පැමිණවීමටය. මෙසේ පීඩා කිරීම ඉමහත් ප්‍රමාණයකින් මනුෂ්‍ය ශරීරයට දරාගැනීමට දෙනු ලැබීය. අවසානයේදී මනුෂ්‍ය ස්වභාවය ඒ පොරබැදීම අත්හැර දමා මරණය පිළිගත්තේ සුමිහිරි නිදහසක් හැටියටය.GrHSin 664.2

    රෝම සභාවට විරුද්ධ වූවන්ගේ තත්ත්වය මෙයාකාර විය. ඇගේ අනුගාමිකයන් හික්මවීම සඳහා කස පහරවල් දීම, සාගින්නේ තැබීම, ඉතා අප්‍රසන්න අන්දමට ශාරීරික පීඩාවන් දීම යනාදිය මෙහෙයවන ලදී. ස්වර්ගයේ කරුණාව දිනාගන්නා පිණිස, සොබාදහමේ නීති කඩකිරීමෙන් දෙවියන්වහන්සේගේ නීති කඩකළ අය පසුතැවිලි වීමට පමුණුවනු ලැබිය යුතු විය. මනුෂ්‍යයාගේ මෙලෝ ගමන ප්‍රීතියට පමුණුවන්නාවූද ඔවුන්ට ආශිර්වාදයක් වන්නා වූ ද සියලු සබඳතාවයන් බිඳ දැමීමට ඔවුන්ට උගන්වන ලදී. තමාගේ ස්වභාවික ප්‍රේමය යටපත් කිරීමටද සහකාර මනුෂ්‍යයන් කෙරෙහි තමා තුළ ඇති හැඟීම් දෙවියන්වහන්සේට අප්‍රසන්නය කියා ඒවා යටපත් කිරීමටද උත්සාහ කරමින් තම ජීවිත කාලය ගතකළ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ සිරුරුවලින් පල්ලිවල වතු පිරී තිබේ.GrHSin 665.1

    වසර සිය ගණනක් මුළුල්ලේ සාතන් දෙවියන්වහන්සේ ගැන කිසිවිටෙක අසා නොමැති අයවලුන් තුළ නොව, ක්‍රිස්තියානි රටවල් මුළුල්ලේ සිටින මිනිස් හදවත් තුළ ක්‍රියාත්මක කරන ස්ථිර කෲරතාවය වටහාගැනීමට කැමති වෙමු නම් අප විසින් බැලිය යුත්තේ රෝම සහාවේ ඉතිහාසය දෙසය. රැවටිලිකාරකමෙහි මේ විශාල ක්‍රියා පිළිවෙල මගින් නපුරේ කුමාරයා දෙවියන්වහන්සේ අගෞරවයට පත්කිරීමටද මිනිසා කාලකණ්ණිකමට පත්කිරීමටද ක්‍රියා කරයි. ඔහු තමාගේ නියම ස්වභාවය සඟවාගෙන, සභාවේ නායකයන් තුළින් තමාගේ අභිලාෂය ඉටුකරගන්නවා අප දකින විට, ඔහු බයිබලයට මෙපමණ ද්වේෂ කරන්නේ ඇයි දැයි අපට වටහාගැනීමට පුළුවන. ඒ පොත කියවනු ලබන්නේ නම්, දෙවියන්වහන්සේගේ දයාව හා ප්‍රේමය ප්‍රකාශ වෙනවා ඈත; උන්වහන්සේ මෙබඳු බර මනුෂ්‍යයන් පිට තබන්නේ නැති බව පෙනී යනවා ඇත. උන්වහන්සේ ඉල්ලන්නේ තැළුණු බිඳුණු හදවතක් හා යටහත් කීකරු ආත්මයක් පමණය.GrHSin 665.2

    ස්වර්ගයට යාමට සුදුස්සන් වන පිණිස ස්ත්‍රී පුරුෂයන් ආරාමයකට ඇතුල් විය යුතු බවට කිසි ආදර්ශයක් යේසුස්වහන්සේ තමන්වහන්සේගේ ජීවිතයෙන් ඉදිරිපත් නොකළ සේක. ප්‍රේමය හා දයාව යටපත් කරනු ලැබිය යුතු යයි උන්වහන්සේ කිසිවිටෙක ඉගැන්වූයේ නැත. ගැළවුම්කාරයාණන්වහන්සේගේ හදවත ප්‍රේමයෙන් ඉතිරී ගියේය. මනුෂ්‍යයා සුචරිතානුකුල සම්පූර්ණත්වයට ආසන්න වන තරමට ඔහුගේ හැඟීම් ක්‍රියාත්මක වෙයි, ඔහු පාපය වඩාත් හොඳින් වටහා ගනියි, පීඩාවට පත්වූවන් කෙරෙහි ඔහු තුළ ඇති සානුකම්පාවද වඩා ගැඹුරු වෙයි. තමා ක්‍රිස්තුස්වහන්සේ වෙනුවට පෙනී සිටින්නේ යයි පාප් පවසයි. නමුත් ඔහුගේ චරිතය ක්‍රිස්තුස්වහන්සේගේ චරිතයට සමාන කළ විට ඇත්තේ කෙබඳු තත්ත්වයක්ද? තමා ස්වර්ගයේ රජතුමාණන් වන බැවින් තමන් වහන්සේට ගෞරවය නොදැක්වීම ගැන උන්වහන්සේ කිසිවිටෙක මනුෂ්‍යයන් සිරගෙට හෝ වධ හිංසාවන්ට භාජනය කළසේක්ද? තමන්වහන්සේව පිළිනොගත් නිසා උන්වහන්සේ මනුෂ්‍යයන් මරනු ලැබිය යුතු යයි පැවසීමට කිසිවිටෙක තමන් වහන්සේගේ හඬ එස වූ සේක්ද? සමාරිය ගමක මනුෂ්‍යයන් උන්වහන්සේ පිළිනොගත් විට යොහන් අපෝස්තුළුවරයා බොහෝ සේ කෝප වී උන්වහන්සේගෙන් මෙසේ ඇසුවේය. “ස්වාමිනී ඔවුන් නාස්ති කරන පිණිස අහසින් ගිනි බසින්ට අප අණ කරනවාට ඔබ කැමති සේක්ද?” යේසුස්වහන්සේ අනුකම්පාවකින් තමන්වහන්සේගේ මේ ගෝලයා දෙස බලමින්, ඔහුගේ රළු ස්වභාවයට තරවටු කරමින් මෙසේ පැවසු සේක. ‘මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින්නේ මනුෂ්‍යයන්ගේ ජීවිත විනාශ කිරීමට නොව, ඔවුන් ගැළවීමටය. ක්‍රිස්තුස්වහන්සේ වෙනුවට තමා පෙනී සිටිනවා යයි පවසන තැනැත්තාගේ ස්වභාවය උන්වහන්සේ දැක්වූ ආත්මයට වඩා කොපමණ වෙනස්ද.GrHSin 666.1

    රෝම සභාව දැන් ලෝකයට පෙන්නුම් කරන්නේ වඩා ප්‍රසන්න ස්වභාවයක්ය. අතීතයේ කරන ලද ක්‍රියාවන් ගැන ඇය දැන් සමාවට කරුණු ඉදිරිපත් කරයි. ඇය ක්‍රිස්තුස්වහන්සේගේ සමානකමින් යුත් වස්ත්‍රවලින් තමාව සරසාගන සිටින්නීය. නමුත් ඇය වෙනස් නොවී සිටින්නීය. අතීතයේදී පාප් සභාවේ පැවති සෑම ප්‍රතිපත්තියක්ම අද දවෙස්ද පවතියි. ඉමහත් අන්ධකාරය පැවති සමයේදී යොදාගන්නා ලද ධර්මයන් තවමත් පවතී. කිසිවෙක් තමා රවටා නොගනීවා. දැන් ප්‍රොතැස්තන්ත සභාව ගරු කිරීමට සූදානම්ව සිටින පාප් සභාව ප්‍රතිසංස්කරණයේ කාලයේදී ලෝකය ආණ්ඩු කළාවූ සභාවමය. ඒ කාලයේදී මනුෂ්‍යයෝ ඇගේ වැරදි ක්‍රියාවන් එළිදරව් කරන පිණිස තමාගේ ජීවිත අන්තරා අභිමුඛයට පමුණුවමින් නැගී සිටියහ. රජවරුන් හා කුමාරයන් කෙරෙහි ඇය දැක්වූ උදාරම හා අඩම්බරයද තමාට දෙවියන්වහන්සේගේ ගුණාංගය තිබෙන බව පැවසීමේ ස්වභාවයද අද දවසේත් පවතියි. ඇය මානුෂික නිදහස පොඩිකර දමමින් මහෝතමයාණන්ගේ ශුද්ධවන්තයන් මැරුවා වූ කාලයේදී මෙන්ම දැන්ද ඇය තුළ බලය පෑමේ කෲර ආත්මයක් පවතියි.GrHSin 666.2

    පාප් බලය වනාහි අනාවැකියෙන් පවසන ලද අන්දමටම, අන්තිම කාලයේදී සත්‍යයෙන් මුලාව යෑමකි, (2 තෙසලෝනික 2:3,4) තම අභිලාෂයන් සම්පූර්ණ කිරීමට තමාට උපකාරයක් වන චරිතයක් ඇතිව සිටීම ඇගේ ක්‍රියා පිළිවෙලය; එහෙත් ඇගේ මේ වෙනස්වන කටුසු ස්වභාවය තුළ ඇය සඟවාගෙන සිටින්නේ සර්පයාගේ වෙනස් නොවන විෂයයි. ‘සත්‍යයෙන් ඉවත්ව සිටින්නා වූ අයට අපගේ ඇදහිල්ල හෝ පොරොන්දු ක්‍රියාත්මක කිරීමට අපි බැඳී නොසිටිමු’ යි ඇය කියන්නීය. ශුද්ධවන්තයන්ගේ ලේ වලින් වසර දහසක් මුළුල්ලේ සටහන් කරනු ලැබූ මේ බලය දැන් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ කොටසක් හැටියට පිළිගනු ලැබිය යුතු ද?GrHSin 667.1

    කතෝලික සභාව දැන්, පෙර පැවැති තත්ත්වය තරමට, ප්‍රොතැස්තන්ත සභාවන්ට වඩා වෙනස් නොවේය යනුවෙන් ප්‍රොතැස්තන්ත රටවල පවසනු ලබන්නේ හේතු සහගතවය. වෙනසක් ඇතිවී තිබේ. නමුත් මේ වෙනස ඇතිවී තිබෙන්නේ පාප් සභාවේ නොවේ. ඇත්තෙන්ම කතෝලික සභාව දැන් පවතින ප්‍රොතැස්තන්ත සභාවට සමාන වන්නේ ප්‍රතිසංස්කරණයේ දවස්වලට පසුව දැන් ප්‍රොතැස්තන්ත සභාවන්හි තත්ත්වය බොහෝ සේ පහත බැස තිබෙන නිසාය.GrHSin 667.2

    ප්‍රොතෙස්තන්ත සභාවන් ලෝකයාගේ කරුණාව ලබාගැනීමට සොයන අතර බොරුකාර ප්‍රේමයක් ඔවුන්ගේ ඇස් අන්ධකර තිබේ. සියලු නරක දේවල යහපතක් තිබෙන බව විශ්වාස කිරීම නිවැරදි යයි ඔව්හු දර්ශනය කරති. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් පිළිගන්නට යන්නේ සියලු යහපතෙහි නපුරක්ද තිබෙන බවය. ශුද්ධවන්තයන්ට දෙන ලද ඇදහිල්ල ආරක්ෂා කරගැනීමට නැගී සිටිනවා වෙනුවට ඔහු දැන් රෝම සභාවට කියන්ට යෙදෙන්නේ ඇය පිළිබඳව ඔවුන් තුළ තිබුණාවූ අකරුණාවන්ත හැඟීම් ගැනද ඔවුන් කෙරෙන් ඉවත්වීම ගැනද, ඔවුන්ට සමාව දෙන ලෙස ඉල්ලන බව දැක්වීමකි.GrHSin 667.3

    රෝම සභා කාරුණික ලෙස නොසලකන්නාවූ අය පවා දකින්නේ ඇගේ අනුබලයෙන් හා බලයෙන් වැඩි අන්තරාවක් ඇති නොවිය හැකි බවය. මධ්‍යම යුගයේදී පැවති ප්‍රඥාවේ හා සුචරිතානුකූලත්වයේ අන්ධකාරය නිසා ඇගේ ඉගැන්වීම්, මිථ්‍යා මත හා පීඩා කිරීම් පැතිරී ගිය බව බව බොහෝ අය කියා සිටිති. නවීන කාලයේදී වඩා මහත් ප්‍රඥාවක් පවතින බැවින්ද, ආගමික කාරණා නිදහස් ලෙස සැලකීම වැඩි වී තිබෙන බැවින්ද ඔවුනොවුන් ගැන නොඉවසිලිවන්ත භාවයක් හා ප්‍රචණ්ඩකාරිත්වයක් නැවත ඇති නොවන බව කල්පනා කරනු ලැබේ. වඩා මහත් ආලෝකයක් ඇත්තා වූ මේ යුගයේදී එබඳු තත්ත්වයක් ඇතිවිය හැකිය යන අදහසට පවා සරදම් කරනු ලැබේ. ආලෝකය, ප්‍රඥාව, සුචරිතය හා ආගමික භාවය මගින් මේ පරම්පරාවට දීප්තියක් ලැබී තිබෙන බව සැබෑය. දෙවියන්වහන්සේගේ ශුද්ධවූ වචනයේ විවෘත කරන ලද පිටු තුළින් ස්වර්ගයේ ආලෝකය ලෝකවාසීන් මත බබළයි. නමුත් මතක තබාගත යුතු කරුණ නම්, දෙන ලද ආලෝකය වැඩිවූ තරමට එය නරක් කරන හෝ ඒ කරන අයගේ අන්ධකාරයද වැඩි වන බවය.GrHSin 667.4

    යාච්ඥාවෙන් යුක්තව බයිබලය ඉගෙන ගන්නේ නම් ප්‍රොතෙස්තන්ත සභාවන්ට පාප් සභාවේ නියම ස්වභාවය ප්‍රකාශ වී එය පිළිකුල් කරමින් එය එපා කිරීමට ඔවුන් යොමු කරනු ලබනවා ඇත. නමුත් බොහෝ අය තමාගේම උදාරම් ප්‍රඥාවෙහි කොපමණ දුරට යොමු වී සිටින්නේද යත් තමා සත්‍යයට යොමු කරනු ලබන පිණිස තමා යටහත්කමින් දෙවියන්ගේ මගපෙන්වීම සෙවිය යුතු බව ඔවුන්ට පෙනී යන්නේ නැත. තමාට ලැබී තිබෙන ආලෝකය ගැන ආඩම්බර වෙන ඔහු ශුද්ධ ලියවිල්ල ගැනද දෙවියන්වහන්සේගේ බලය ගැනද නොදැනුවත්ව සිටිති. ඔවුන්ට තමාගේ හෘදය සාක්ෂිය නිශ්චල කිරීමට මාර්ගයක් තිබිය යුතුය; එහෙයින් ඔහු ඉතාම අඩු ආත්මික භාවයකින් හා යටහත් කිරීමකින් යුත් දේවල් සොයති. ඔවුන් සොයන්නේ තමා දෙවියන්වහන්සේ මතක් කරගන්නවා යයි දක්වන නමුත්, දෙවියන්වහන්සේ අමතක කිරීමට තුඩු දෙන මාර්ගයක්ය. පාප් සභාව මේ අභිලාෂයන් සියල්ල සපුරාලීමට හැඩගැසී තිබේ: එය මුළු ලෝකයේම පවතින්නා වූ මනුෂ්‍ය ජාතීන් දෙකොටසක් සඳහා සූදානම් කරනු ලැබ තිබේ. එනම්, තමාගේ කුසලතාවයන් මගින් ගැළවීම ලැබීම බලාපොරොත්තු වෙන්නා වූ අය හා තමාගේ පාප තුළම පවතිමින් ගැළවීම ලබන්ට සොයනාවූ අයවල්ය. මෙය ඈගේ බලයේ රහසය.GrHSin 668.1

    ප්‍රඥාව අතින් අන්ධකාරය පවතින දිනය පාප් සභාවේ දියුණුවට උපකාරයක් වන බව දක්වා තිබේ. එසේ, ප්‍රඥාව අතින් මහත් ආලෝකයක් පවතින දවසද එහි දියුණුවට ඉතා හිතකර බව දක්වනු ලබනවා ඇත. මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේගේ වචනය නොතිබුණා වූ ඒ අතීත කාලයේදී ඔවුන්ට සත්‍යය ගැන දැනගැනීමක්ද නොතිබුණි. ඔවුන්ගේ ඇස් අන්ධ කරනු ලැබ තිබුණි; තමාගේ පාමුල තිබෙන දැල නොදැක දහස් ගණන් ජනයා උගුල්වලට අසුවූහ. මේ පරම්පරාවේදී බොහෝ අයගේ ඇස් බැබලෙන්නේ වැරදි ලෙස විද්‍යාව යන නාමයෙන් හඳුන්වනු ලබන මානුෂික අදහස්වලින්ය. ඒ දැල නොදකිමින් ඔහු එය තුළට ගමන් ගන්නේ ඔවුන්ගේ ඇස් අන්ධ කරනු ලැබුවාසේය. මනුෂ්‍යයාගේ ප්‍රඥාවේ බලයන් ඔහුගේ මැවුම්කාරයාණන් විසින් දෙන ලද දීමනාවක් හැටියට පිළිගනු ලැබ ඒවා සත්‍යයේ හා ධර්මිෂ්ඨකමේ සේවයන් සඳහා පාවිච්චි කරනු ලැබීම දෙවියන්වහන්සේගේ අදහස. විය. නමුත් උඩඟුව හා අනාගතයේදී උසස්වීමේ ආශාවන් ඇලුම් කරනු ලැබූ විට මනුෂ්‍යයෝ තමාගේම අදහස් දෙවියන්වහන්සේගේ වචනයට වඩා උසස් ලෙස සලකති. එවිට ප්‍රඥාව මගින් ඇතිවන අනතුර නොදැනුවත්කමින් ඇතිවන අනතුරට වඩා විශාලය. මෙසේ බයිබලය සුළු කොට සලකන දහනම වන ශතවර්ෂයේ වැරදි විද්‍යාව පාප් සභාව පිළිගැනීමට මාර්ගය සකසා දීමේදී ඒ තරමටම සාර්ථක වෙනවා ඇත. අඳුරු යුගයේදී පාප් සහාව දැනගැන්ම වලක්වාලීම මගින් උසස් භාවය දැක්වූවා සේම දැන් එහි ප්‍රසන්න ස්වභාවය මගින් එය පිළිගැනීම සාර්ථක වෙනවා ඇත.GrHSin 668.2

    අමෙරිකා එක්සත් ජනපදයෙහි, ඔවුන්ගේ සංවිධානයන්ගේ හා සභාවන්ගේ ප්‍රයෝජනය සඳහා ආණ්ඩුවේ සහාය ලබාගැනීමට සෙවීමෙන් ප්‍රාන්ත සභාවන්ද දැන් පවතින ව්‍යාපාරයන් මගින් පාප් සභාව අනුව ක්‍රියා කෙරේ. එපමණක් නොව, ප්‍රොතැස්තන්ත අමෙරිකාවෙහි පාප් බලය නැවත පිහිටුවීමටද මෙසේ පුරාණ ලෝකයේදී ඇයට නැති වී ගිය උතුම් භාවය නැවත පිහිටුවා ගැනීමටද ඔහු දොරටු විවෘත කරති. මේ ව්‍යාපාරය වඩාත් වැදගත් වන්නේ, මේ පිළිබඳව ප්‍රධාන අභිලාෂය වන්නේ ඉරිදා පැවැත්වීමට බලකිරීම වන නිසාය. රෝමයේදී ආරම්භ වූ මෙය ඇගේ ආධිපත්‍යය ලකුණක් යයි පවසනු ලැබේ. එය වනාහි ලෞකික වත්පිළිවෙත් වලට යොමු වීමේ ද දෙවියන්වහන්සේගේ ආඥාවන්ට වැඩියෙන් මානුෂික ශික්ෂාවන්ට ගරු කිරීමේ ද ආත්මයකි. මෙය ප්‍රොතැස්තන්ත සභාවන්ට ඇතුල් වෙමින්, පාප් සභාව මීට පෙර කළා වූ අන්දමට, ඉරිදා නඟාලීමේ එම වැඩයම කරගෙන යාමට ඔවුන්ට මගපෙන්වයි.GrHSin 669.1

    මෙය කියවන්නාවූ තැනැත්තා, නුදුරු අනාගතයේදී පැමිණෙන්ට යන්නා වූ මෙබඳු අවස්ථාවන්හිදී පාවිච්චි කරනු ලබන්ට යන උපක්‍රම හරියාකාරව වටහාගැනීමට කැමති නම්, ඔහු රෝමය අතීතයේදී පාවිච්චි කළාවූ උපක්‍රම පිළිබඳව ඇති සටහන් සොයා බැලිය යුතුය. පාප් සභිකයන් හා ප්‍රොතෙස්තන්තවරුන් එක්සත් වී, ඔවුන්ගේ ඉගැන්වීම්වලට විරුද්ධ වන අය පිළිබඳව කෙසේ ක්‍රියාකරනවා ඇත්දැයි දැනගැනීමට කැමති නම්, සබත් දවස ගැනද එය පැවැත්වීමට යෙදුණාවූ අය ගැනද රෝමය දක්වූයේ කෙබඳු ආත්මයක් දැයි සොයා බලනු ලැබිය යුතුය.GrHSin 669.2

    ක්‍රිස්තියානි ලෝකයෙහි අන්‍යජාතික උත්සවවලට ගරු සම්පන්න ස්ථානයක් දෙනු ලැබුවේ රාජකීය නියමයන්, සාමාන්‍ය මණ්ඩලයන් හා සභාවේ නියමයන් දේශීය බලයන් මගින් පාලනය කරනු ලැබීමෙන්ය. ඉරිදා පැවැත්වීම පළමුවරට ප්‍රසිද්ධ ලෙස පිහිටුවනු ලැබුවේ කොන්ස්තන්තීනු රජතුමා නිකුත් කළ නියෝගයක් මගින්ය. (ක්‍රි, ව. 321 දී) මේ නියෝගය මගින් නගරවාසීන් විසින් ඉරට නියමිත වූ ඒ වැදගත් දවසේදී නිවාඩු ගැනීමට බලකරනු ලැබූහ. නමුත් ගම්වාසීන්ට ඔවුන්ගේ ගොවිතැන්වල කටයුතු තවදුරටත් කරගන යාමට අවසර දෙන ලදී. මෙය නියම වශයෙන් මිථ්‍යාදෘෂ්ඨික පිළිවෙතක් වුවද රජතුමා මේ නියෝගය පැනවූයේ ඔහු ක්‍රිස්තු ධර්මය නාමික ලෙස පිළිගත්තාට පසුවය.GrHSin 670.1

    රාජකීය නියමය දිව්‍ය ආධිපත්‍යයේ බලය වෙනුවට පිළිගනු ලැබීමට නුපුළුවන් වූයෙන් එයුසිබියස් නමැති බිෂොප්වරයා ක්‍රියාත්මක විය. එවිට යුරෝපයේ සිටි කුමාරවරුන්ගේ පිළිගැනීම ලබාගැනීමට සෙවූ ඔහු කොන්ස්තන්තීනු රජතුමාගේ විශේෂ මිත්‍රයෙක් විය. ක්‍රිස්තුස්වහන්සේ සබත් දවස ඉරිදා බවට වෙනස් කළ සේකැයි ඔහු ප්‍රකාශ කළේය. මේ අලුත් ධර්මය ඔප්පු කිරීමට එක ශුද්ධ ලියවිලි පාඨයක්වත් දක්වනු ලැබුවේ නැත. අදහස් නොකරම, එයුසිබියස් එය සත්‍යයක් නොවන බව දක්වමින් ඒ වෙනස ඇතිකිරීමේ නියම කර්තෘ වූයේ කවරෙක් දැයි දැක්වූයේය. “අපි සබත් දවසේදී කළ යුතු සියල්ල ස්වාමින්වහන්සේගේ දවසට පැවරුවෙමු” යි ඔහු කියා තිබේ. ඉරිදා පැවැත්වීමට පදනමක් නොතිබුණ නමුත් ඒ නීතිය, මනුෂ්‍යයන්ට එඩිතර ලෙස ස්වාමින්වහන්සේගේ සබත් දවස පාගා දැමීමට උපකාරයක් විය. ලෝකයාගේ පිළිගැනීමෙන් ගරු කරනු ලැබීමට කැමති වූ සියලු දෙනාම මේ ජනප්‍රිය උත්සවය පිළිගත්හ.GrHSin 670.2

    පාප් බලය වඩාත් ස්ථිර ලෙස පිහිටුවනු ලැබූ විට ඉරිදා පැවැත්වීම නගාලීමේ වැඩය තවදුරටත් කරගෙන යන ලදී. ටික කලක් යන තුරු මනුෂ්‍යයෝ දේවස්ථානයට නොගිය වේලාවන්හිදී තමාගේ ගොවිපළවල්හි වැඩවල යෙදුණාහ. ඒ අතරම, සත්වන දවස සබත් දවස ලෙසද පවත්වන ලදී. නමුත් වෙනසක් ස්ථිර ලෙසම ඇති වන්නට විය. උසස් සේවාවන්හි යෙදී සිටි අයට ඉරිදා දවසේදී කිසියම් දේශපාලනික අරගලයක් පිළිබඳව විනිශ්චයක් නිකුත් කිරීම තහනම් කරන ලදී. ඉක්මණින්ම, මොනයම් තත්ත්වයක සිටින්නේ වුවද සියලු මනුෂ්‍යයන් විසින් ඒ දවසේදී සාමාන්‍ය වැඩවලින් වැලකී සිටිය යුතු යයි නියෝග කරන ලදී. එයට අකීකරු වන සාමාන්‍ය මනුෂ්‍යයන්ට දඩයක් නියම කරනු ලබන බවද, කයට තළනු ලබන බවද පවසන ලදී. පසුව, ධනවතුන්ට දඬුවමක් වශයෙන් ඔවුන්ගේ ඉඩකඩම් වලින් බාගයක් ඔවුන්ට නැතිවන බව නියම කරන ලදී. අවසානයේදී, මේ ගැන මුරණ්ඩු වන මනුෂ්‍යයන් වහලුන් කරනු ලබන බවද පහත් තත්ත්වයේ අය නිරන්තරයෙන්ම රටින් පිටුවහල් කරනු ලබන බවද පවසන ලදී.GrHSin 670.3

    මේ සඳහා හාස්කම් ද ඇතුළත් කරන ලදී. ඒ හාස්කම් අතර මෙය එකක් විය. එක් ගොවියෙක් ඉරිදා දවසක තම කෙත හාන්ට සුදානම් වී යකඩයකින් නගුල පිරිසිදු කරන විට ඒ යකඩය ඔහුගේ අතට තද වුණේය. වසර දෙකක් මුළුල්ලේ ඔහු එය තමාගේ අතේ දරා සිටියේය. මෙය ඔහුට මහත් වේදනාවක් හා ලැජ්ජාවක් විය.GrHSin 671.1

    ඊටපසුව, ඉරිදා නොපවත්වන අයට කථා කරමින් තමාටමද තමාගේ අසල්වැසියන්ට ද කිසියම් කරදරයක් පමුණුවා නොගන්නා පිණිස ඉරිදාට ස්ථානයට ගොස් යාච්ඤා කිරීමට ඔවුන්ට අවවාද කරන්නැයි පාප් පූජකයන්ට කියා දුන්නේය. ප්‍රොතැස්තන්තවරුන් ඇතුළු බොහෝ අය ආගමික මණ්ඩලයක් මෙසේ ඉදිරිපත් කළාවූ තර්කයන් පිළිගන්ට යෙදුණාහ. එනම්, සමහර අය ඉරිදා වැඩ කරමින් සිටියදී විදුලි කෙටීමෙන් ඔවුන්ට පහර දෙනු ලැබූ නිසා ඉරිදා සබත් දවස විය යුතුමය, යන්නය. “මේ දවස නොතකා හැරීම ගැන දෙවියන්වහන්සේ කොපමණ අප්‍රසන්න වනසේක් දැයි මෙය අපට පෙන්වන්නේ “යි උසස් පෙළේ පූජකවරු පැවසූහ. ඊටපසුව, සියලු පූජකයන්ටද, රජවරුන්ට හා කුමාරවරුන්ටද සියලු විශ්වාසවන්ත ජනයාටද මෙබඳු ආයාචනයක් කරන ලදී. ක්‍රිස්තු ධර්මයේ යහපත සඳහා මේ දවසට ගෞරව කර එය කැපවීමෙන් යුක්තව පවත්වන පිණිසද එයට නිසි ගෞරවය දෙන පිණිසද සියලු දෙනාම ඉතා සැලකිලිමත් විය යුතුය’ යන්නය.GrHSin 671.2

    මේ මණ්ඩලවල නියෝගයන් ප්‍රමාණවත් නොවන බවක් පෙනී ගිය බැවින් මනුෂ්‍යයන්ගේ සිත් බියපත් කරමින් ඉරිදා වැඩකිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට ඔවුන්ට උපකාර කරනු පිණිස දේශපාලනික බලයන්ට ද මේ ගැන නියෝගයක් නිකුත් කිරීමට දිරි ගන්වන ලදී. රෝමයේ පවත්වන ලද පූජකයන්ගේ හා නායකයන්ගේ සම්මේලනයකදී මේ ගැන ගන්නා ලද සියලු තීරණ නැවතත් වඩා මහත් බලයෙන් හා ගාම්භීරත්වයෙන් ස්ථිර කරන ලදී. ඒවා ආගමික ව්‍යවස්ථාවන්ට ද ඇතුළත් කරමින් සියලු ක්‍රිස්තියානි රටවල දේශීය ආධිපත්‍යයන් මගින්ද නියෝගයක් වශයෙන් ඉදිරිපත් කරන ලදී.GrHSin 671.3

    ඒ අතරද, ඉරිදා පැවැත්වීමට ශුද්ධ ලියවිල්ලේ ආධිපත්‍යයක් නොතිබීම ඔවුන්ට ලැජ්ජාවක් විය. “සත්වෙනි දවස නුඹේ ස්වාමින්වහන්සේට පවත්වන සබතක්ය” යනුවෙන් යොහෝවඃවහන්සේ දී තිබෙන පැහැදිලි ප්‍රකාශනය ඉවත් කරමින් ඉරට ගෞරව කරන දවසක් නියම කිරීමට ඔවුන්ගේ ගුරුවරුන්ට අවසර තිබෙන්නේ දැයි මනුෂ්‍යයෝ ප්‍රශ්න කළහ. ඒ ගැන බයිබලයේ සාක්ෂියක් නොතිබුණු බැවින් වෙනයම් සාක්ෂි සොයාගැනීම අවශ්‍ය විය. ඉරිදා පැවැත්වීම උනන්දුවෙන් ප්‍රකාශ කළ තැනැත්තෙක් දොළොස්වන ශත වර්ෂයේ අග භාගයේදී එංගලන්තයේ සභාවන් බැහැදැකීමට ගිය විට සත්‍යයට විශ්වාසවන්ත වූ සාක්ෂිකරුවෝ ඔහුට විරුද්ධ වූහ. ඔහුගේ උත්සාහය කොපමණ ඵල රහිත වූයේද යත් ඔහු ටික කලකට ඒ රටින් පිටවී ඔහුගේ ඉගැන්වීම් ස්ථිර කිරීමට මාර්ගයක් සොයන්නට විය. ඔහු ආපසු පැමිණි විට ඒ අඩුව සම්පුර්ණ කරනු ලැබූයෙන් ඊටපසුව ඔහුගේ වැඩය ඉතා සාර්ථක විය. ඔහු අකුලන ලද ලියවිල්ලක් තමා සමග ගෙන ගියේය. දෙවියන්වහසේම එය දුන් බවද ඉරිදා පැවැත්වීමට අවශ්‍ය නීතියද, එය කඩකරන්නාවූ අයට තදබල දඬුවම් දෙනු ලබන බවට තර්ජනයක් ද එහි තිබෙන බවද පවසන ලදී. මේ ලියවිල්ල එයින් සහාය දෙනු ලැබූ කාරණය තරමටම නීච බොරු ප්‍රකාශනයක් වූ නමුත්, එය ස්වර්ගයෙන් වැටුණු බවද එය යෙරුසලමේ ගොල්ගොතාවේ ශුද්ධ වූ සිමියොන්ගේ අල්තාරය මත තිබී සොයා ගන්නා ලද බවද පවසන ලදී. නමුත් එය නියම වශයෙන් නිකුත් කරනු ලැබුවේ රෝමයේ පාප්ගේ මාළිගයෙන්ය. රැවටිලිකාරකම් හා බොරු අත්සන් පාවිච්චි කරමින් සියලු කාලවලදීම ඒවා සභාවේ බලය හා සෞභාග්‍යය උදෙසා පාවිච්චි කිරීම නිත්‍යානුකූල යයි පාප් බලධාරීන් පවසන්නට යෙදුණි.GrHSin 672.1

    සෙනසුරාදා නව වෙනි පැයේ සිට එනම් සවස තුනේ සිට සඳුදා ඉර උදාවීම දක්වා වැඩවලින් වැලකී සිටීමට ඒ ලියවිල්ල නියම කළේය. බොහෝ හාස්කම් මගින් මෙහි බලය ස්ථිර කරන ලද්දේ යයි පවසන ලදී. මේ නියමිත කාලය තුළ වැඩ කළාවූ අයට අංශභාග රෝගය වැළඳුන බව සටහන් කරන ලදී. තමාගේ මෝලෙහි ඉරිඟු ඇඹරීමට උත්සාහ කළ මනුෂ්‍යයෙකුට දකින්ට ලැබුණේ ඉරිඟු පිටි වෙනුවට ලේ ධාරාවක් ගලා එන බවය. ජලය වේගයෙන් ගලා එන්නට වූ නමුත් මෝලේ රෝදය නොසෙල් වුණේය. එක් ස්ත්‍රියක් පෝරණුව උණුසුම්ව තිබියදී, අනන ලද පිටි පෝරණුවට ඇතුල් කළ නමුත් එය එළියට ගත් විට පිටි අමුවටම තිබුණි. තව කෙනෙක් නව වන පැයේදී පිටි අනා පෝරණුවට දැමීමට සූදානම් කළ නමුත් ඒවා සඳුදා උදය දක්වාම ඒ තත්ත්වයෙන්ම තිබෙන්ට අරින්ට බේරා ගත්තාය. ඊළඟ දවසේ ඈට දකින්ට ලැබුණේ දිව්‍ය බලයක් මගින් ඒ පිටි පාන් රාත්තල් හැටියට සකසනු ලැබ පුළුස්සනු ලැබ තිබෙන බවය. සෙනසුරාදා නව වන පැයට පසුව පාන් පුච්චන්ට යෙදුණාවූ මනුෂ්‍යයෙක් ඊළඟ උදෑසන ඒ පාන් කැපූ අතර එයින් ලේ ගලා එන බව ඔහුට පෙනුණි. මෙබඳු නුසුදුසු මිථ්‍යා අදහස් ගොතමින් ඉරිදා පැවැත්වූ අය ඒ දවසේ ශුද්ධ භාවය ස්ථිර කිරීමට උත්සාහ කළහ.GrHSin 672.2

    එංගලන්තයේ මෙන්ම ස්කොට්ලන්තයේද පැරණි සබත් දවසෙන් කොටසක් ඉරිදා පැවැත්වීමට සම්බන්ධකර ඉරු දිනට මහත් සැලකිල්ලක් පිහිටුවන ලදී. නමුත් එහිදී ශුද්ධ ලෙස පැවැත්විය යුතු වූ කාලය වෙනස් විය. ස්කොට්ලන්තයේ රජතුමා නිකුත් කළ නියෝගයකින් දක්වනු ලැබුවේ සෙනසුරාදා දාවල් දොළහේ සිට සඳුදා උදෑසන දක්වා කාලය ශුද්ධ ලෙස සලකනු ලැබිය යුතු බවත් ඒ කාලයේදී කිසිවෙක් ලෞකික ව්‍යාපාරයන්හි යෙදී නොසිටිය යුතු බවත්ය.GrHSin 673.1

    ඉරිදා ශුද්ධ දවසක් යයි ප්‍රකාශ කිරීමට මෙපමණ උත්සාහ කරනු ලැබු නමුත්, පාප් බලධාරීන්ගේ ප්‍රසිද්ධියේම කියා සිටියේ නියම සබත් දවස දිව්‍ය බලධාරිත්වයෙන් පිහිටුවනු ලැබූ බවත් ඒ වෙනුවට නියම කරන ලද දවස මනුෂ්‍යයන් විසින් පිහිටුවනු ලැබූ බවත්ය. දහසය වන ශතවර්ෂයේදී පාප් සභා මණ්ඩලයක් පැහැදිලි ලෙස මෙසේ පැවසුවේය: ‘සියලු ක්‍රිස්තු භක්තිකයන් විසින්ම මතක තබාගත යුතු දෙයක් නම් දෙවියන්වහන්සේ සත්වන දවස සබත් දවස හැටියට නියම කළ බවත්, එය පිළිගෙන එය පවත්වන්ට යෙදුණේ යුදෙව්වරුන් පමණක් නොව තමා දෙවියන්වහන්සේට නමස්කාර කරනවා යයි පවසන සියල්ලන් විසින්ද බවත්ය; එහෙත් ක්‍රිස්තු භක්තිකයන් වන අපි සබත් දවස ස්වාමින්වහන්සේගේ දවස බවට වෙනස් කළෙමුව.” දිව්‍ය ව්‍යවස්ථාව අවුල් කරමින් සිටියා වූ අය තමා කරන ක්‍රියාවේ ස්වභාවය දැන සිටියහ. ඔහු දැන දැනම තමාව දෙවියන්වහන්සේ වඩා ඉහළ තත්ත්වයකට පමුණුවා ගත්හ.GrHSin 673.2

    රෝම සභාවේ ඉගැන්වීම් වලට එකඟ නොවන්නා වූ අයට සලකන අන්දම පිළිබඳව නිදසුනක් අපට ලැබෙන්නේ ඔවුන් වෝල්ඩන්සිවරුන්ට දිගු කාලයක් මුළුල්ලේ, ලේ වැගිරීමෙන් යුත් පීඩාවන් කළා වූ අන්දමින්ය. ඔවුන්ගෙන් සමහරෙක් සබත් පවත්වන්නන් වූහ. වෙනත් අයද සතරවන ආඥාවට විශ්වාසවන්ත වීම ගැන ඒ අන්දමින්ම පීඩා කරනු ලැබූහ. එතියෝපියාවේ හා ඇබිසීනියාවේ සභාවන්හි ඉතිහාසයේද විශේෂත්වයක් තිබේ. අඳුරු යුගයේ අන්ධකාරයේදී මධ්‍යම අප්‍රිකාවේ සිටියාවූ ක්‍රිස්තු භක්තිකයන් නොතකා හරින ලදී. ලෝකයා විසින් ඔවුන් අමතක කරන ලදී. ශතවර්ෂ කිහිපයක් මුළුල්ලේම ඔව්හු තමාගේ ඇදහිල්ල අනුව ජීවත්වීමේ නිදහස භුක්ති වින්දාහ. නමුත් අවසානයේදී රෝමය ඔවුන්ගේ පැවැත්ම ගැන දැනගෙන, රැවටිලිකාරකමින් ඇබිසීනියාවේ රජුව යොමු කරගත්තේ පාප්, ක්‍රිස්තුස්වහන්සේ වෙනුවට පෙනී සිටිනා හැටියට පිළිගැනීමටය. වෙනත් කාරණාද සිදුවුණි. සබත් දවස පැවැත්වීම තහනම් කරමින්, එය පවත්වන අයට තදබල දඬුවම් දෙන බවට නියෝගයක් නිකුත් කරන ලදී. නමුත් පාප් බලයේ ප්‍රචණ්ඩකාරිත්වය කොපමණ මහත් බරකින් යුත් වියගහක් වූයේද යත් එය ඔවුන්ගේ ගෙලෙන් ඉවත්කර දැමීමට ඇබිසීනියන්වරු තීරණය කරගත්ත. ඉමහත් පොරයකට පසුව රෝමානු බලධාරීන් ඔවුන්ගේ රාජ්‍යයෙන් පළවා හරිමින් පැරණි ඇදහිල්ල නැවත පිහිටුවන ලදී. සභාවෝ ඔවුන්ගේ නිදහස ගැන බොහෝ සේ ප්‍රීති වූහ. රෝමයේ රැවටිලිකාරකම් ගැනද, සීමාව ඉක්මවා ක්‍රියාකිරීමේ පිළිවෙල ගැනද, එහි ඒකාධිපති බලය ගැනද ඔවුන් ඉගෙනගත්තා වූ පාඩම් ඔවුන්ට කිසිවිටෙක අමක වූයේ නැත. ඔවුන් තමාගේ තනි වූ රාජ්‍යය තුළ පවතිමින් ක්‍රිස්තියානි ලෝකයට සම්බන්ධ නොවී සිටීම ගැන තෘප්තියට පත්වූහ.GrHSin 673.3

    අප්‍රිකාවේ සභාවන් සබත් පැවැත්වූයේ පාප් සභාව සම්පූර්ණයෙන් සත්‍යයෙන් ඈත්වීමට පෙර එය පැවැත්වූ අන්දමටය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරුව ඔවුන් සත්වෙනි දවස පැවැත්වූ අතරම, සභාවේ පළපුරුද්ද අනුව ඔහු ඉරිදා දවසේදී වැඩ කිරීමෙන් වැලකුණාහ. රෝම සභාව සම්පූර්ණ ලෙස බලයට පත්වූවාට පසුව එය තමාගේ අදහස ඉටුකරගන්නා පිණිස දෙවියන්වහන්සේගේ සබත් දවස පාගා දැමුවේය. නමුත් වසර එක්දහසක් පමණ කාලයක් මුඵල්ලේ සැඟවී සිටියාවූ අප්‍රිකාවේ සභාවෝ මේ මුළාව යාමට සහභාගි නොවූහ. රෝමයේ බලයට යටත් කරනු ලැබූ විට, සැබෑ සබත් දවස පසෙක තබා බොරු සබත නගාලීමට ඔහු බල කරනු ලැබුහ. නමුත් ඔවුන්ට නැවත නිදහස ලැබුණ විගසම ඔහු නැවත සතරවන ආඥාවට කීකරුවීමට පටන්ගත්හ.GrHSin 674.1

    අතීතයේ සිට පවතින මේ සටහන් වලින් පෙනී යන්නේ රෝමය සබත් දවසට හා එය රක්ෂා කළා වූ අයට විරුද්ධ වී ක්‍රියා කළා වූ අන්දම හා ඔවුන් පිහිටුවා වූ සංවිධානයට ගරු කිරීමට යොමුවු අන්දමත්ය. ඉරිදා දවස නගාලීමට පාප් බලධාරීන් හා ප්‍රොතැස්තන්ත සභාත් එක්සත් වන විට මේ දර්ශන නැවත පවතින්ට යන බව දෙවියන්වහන්සේගේ වචනය අපට උගන්වයි.GrHSin 674.2

    එළිදරව් 13 හි අනාවැකිය දක්වන්නේ බැටළු පැටවෙකුට මෙන් අං ඇති මෘගයා පොළොව හා එහි වැසියන්ට පාප් බලයට නමස්කාර කිරීමට මගපෙන්වන බවය. ඒ බලය පෙන්නුම් කරනු ලබන්නේ අඳුන් දිවියකුට සමාන වූ මෘගයාගෙන්ය. අං දෙකක් ඇති මෘගයා, “මෘගයාට රූපයක් සාදන්ට ඕනෑ යයි පොළොවේ වැසියන්ට කියනවා ඇත. තවදුරටත්, ලෝකු, කුඩා, පොහොසත් දිළිඳු, දාස නිර්දාස සියල්ලන්ට “මෘගයාගේ ලකුණු ලැබීමට නියම කරනවා ඇත. බැටළු පැටවකුට මෙන් අං ඇති මෘගයාගෙන් පෙන්නුම් කරන්නේ අමෙරිකා එක්සත් ජනපදය බව දක්වනු ලැබ තිබේ. අමෙරිකා එක්සත් ජනපදය ඉරිදා පැවැත්වීම බලහත්කාරයෙන් ඉදිරිපත් කරන විට මේ අනාවැකිය සම්පූර්ණ වෙනවා ඇත. මෙසේ ඉරිදා පැවැත්වීම තමාගේ බලය පිළිගැනීමේ විශේෂ ලක්ෂණයක් බව රෝමය දක්වයි. නමුත් මෙසේ රෝමයට ගරුත්වය දැක්වීමේදී අමෙරිකා එක්සත් ජනපදය තනිව නොසිටිනවා ඇත. වතාවක් ඇගේ බලය පිළිගත් රටවල ඇගේ අනුබලය විනාශ වී නැත. මේ බලය නැවත පිහිටුවනු ලබන බව අනාවැකිය මෙසේ දක්වයි: “මැරෙන තරමට උගේ හිස්වලින් එකකට තුවාල වී තිබෙන්නාක් මෙන් පෙනුණේය. නුමුත් උගේ මරණය තුවාලය සුව විය. මුළු ලෝකයා මෘගයා පස්සේ පුදුමව ගියෝය” (එළිදරව් 13:3 ). මේ මරණීය තුවාලය ඇතිවූයේ 1798 දී පාප් බලය ඉවත්කරනු ලැබූ විටය. ඊට පසුව, “උගේ මරණීය තුවාලය සුව විය. මුළු ලෝකය මෘගයා පස්සේ පුදුමව ගියෝය”යි අනාගතවක්තෘවරයා පවසයි. ‘පාපයේ මනුෂ්‍යයා’ යේසුස්වහන්සේගේ දෙවෙනි ඊම දක්වාම ක්‍රියාත්මක වන බව පාවුල් දක්වයි. (2 තෙසලෝනික 2:8). කාලයේ අවසානය දක්වාම ඔහු තමාගේ රැවටිලිකාර වැඩ කරනවා ඇත. පාප් බලය ගැන සඳහන් කරමින් එළිදරව්කාරයා මෙසේ පවසයි: “බැටළු පැටවාණන්ගේ ජීවන පොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාර කරන්නේය” (එළිදරව් 13:8). ඉරිදා නමස්කාර දිනය හැටියට පිහිටු වීම සම්පූර්ණයෙන්ම රෝම සභාවේ ආධිපත්‍යය යටතේ සිදුවන බැවින් එයට ගරු කිරීමෙන්ද එය පැවැත්වීමෙන්ද ලෝකයා පාප් බලයට ගරුත්වය දක්වනවා ඇත.GrHSin 675.1

    දහ නමවන ශතවර්ෂයේ මැද භාගයේ සිටම, එක්සත් ජනපදයේ අනාවැකි ඉගෙනගත් අය මේ සාක්ෂිය ලෝකයාට ඉදිරිපත් කර තිබේ. දැන් සිදුවන්නා වූ සිද්ධියෙන් පෙනී යන්නේ මේ අනාවැකිය සම්පූර්ණ වීමට තත්ත්වය සකසනු ලබන බවය. ඉරිදා පැවැත්වීමට දිව්‍ය නියමයක් නොමැති බව ප්‍රොතැස්තන්ත ගුරුවරුද ඒත්තු ගනිති. මේ ගැන ශුද්ධ ලියවිල්ලේ නියමයක් නොමැති බැවින් පාප් නිලධාරීහු දෙවියන්වහන්සේගේ නියමයක් නොතිබීම වෙනුවට හාස්කම් ඇතිවූ බවට සිද්ධීන් ගොතා දැක්වූහ. ඉරිදා සබත් දවස හැටියට නොපවත්වන අය මත දෙවියන්වහන්සේගේ විනිශ්චයන් පමුණුවනු ලබනවාය යන්න නැවත පවසනු ලබනවා ඇත. දැනටමත් එය ආරම්භ වී තිබේ. ඉරිදා පැවැත්වීම බලකිරීමේ ව්‍යාපාරයක් ඉක්මණින්ම ක්‍රියාත්මක වෙමින් පවතියි.GrHSin 675.2

    රෝම සහාව කපටිකමින් හා උපායශීලිත්වයෙන් පුදුමාකාරය. සිදුවන්ට යන්නේ කුමක්දැයි ඈ වටහා ගනියි. බොරු සබත් දවස පිළිගැනීමෙන් ප්‍රොතෙස්තන්ත සභාවන් ඇයට ගරු කරන බව දකින ඇය අවස්ථාවක් එළඹෙන තුරු බලා සිටියි. එසේම ඇය ක්‍රියා කළාවූ අන්දමටම ප්‍රොතැස්තන්ත සභාවන් ඉරිදා පැවැත්වීම ගැන බලහත්කාරකම් කිරීමට සූදානම් වන බවද ඇයට පෙනෙයි. සත්‍යයේ ආලෝකය එපා කරන්නා වූ අය ඇය විසින් පිහිටු වන ලද මේ සංවිධානය නගාලන පිණිස ඇය විසින්ම සකසා ගන්නා ලද බලයේ උපකාර සොයනවා ඇත. මේ කාර්යයේදී ප්‍රොතැස්තන්ත සභාවන්ට උපකාර කිරීමට ඇය බොහෝ සේ සූදානම්ව සිටිනවා ඇතැයි සිතාගැනීම අපහසු නොවේ. සභාවට අකීකරු වන්නන් පිළිබඳව ක්‍රියා කළ යුත්තේ කෙසේදැයි ඇය දන්නා තරමට අන් කිසිවෙක් දන් නැත.GrHSin 676.1

    ලොව පුරා ශාඛාවන් ඇත්තාවූ රෝම සභාව පාප් බලයේ පාලනය යටතේ, එක් මහා සංවිධානයක්ව පවතිමින් එහි අදහස් අනුව ක්‍රියාකිරීමට සකසනු ලැබ තිබේ. ලෝක ගෝලයේ සෑම රටකම ඇයට සම්බන්ධ ලක්ෂ සංඛ්‍යාත ජනයා සිටිති. පාට පක්ෂපාතව බැඳී සිටීමට ඔවුන්ට මගපෙන්වනු ලැබ තිබේ. ඔවුන්ගේ ජාතිය හෝ ආණ්ඩුව කුමක් වුවද, සභාව ඒ සියල්ලට වඩා උසස් යයි ඔවුන් සැලකිය යුතුය. තම ආණ්ඩුවට පක්ෂපාත වන බවට පොරොන්දු වී තිබෙන විටද එහි පසුබිමෙහි ඇත්තේ ඔවුන් රෝමයට කීකරු වන බවට දුන් පොරොන්දුවය. එහෙයින් ඒ පක්ෂපාතකමට විරුද්ධව පවතින මොනම දෙයකින් වුවද ඔවුන් නිදහස් කරනු ලැබේ.GrHSin 676.2

    ඉරිදා පැවැත්වීම නගාලීමේදී රෝමයේ උපකාර ලබාගැනීමෙන් තමා කරන්නේ කුමක්දැයි ප්‍රොතැස්තන්ත සභාවන් දන්නේ නැත. ඔවුන් තමාගේ අභිලාෂය සම්පුර්ණ කරගැනීමට උත්සාහ කරන අතර රෝමය උත්සාහ කරන්නේ තමාගේ බලය නැවත පිහිටුවා ගැනීමටය, තමාට නැති වූ උත්තම භාවය නැවත ලබාගැනීමටය. ජාතීන්ගේ කටයුතුවලදී ඇය තමාගේ බලය පිහිටු වීමට ගත් උත්සාහයන් ගැන ඉතිහාසයට සාක්ෂි දැරීමට ඉඩ දෙමු. ඒවාට ඇතුල්වීමේ අවස්ථාවක් ලැබුණ විට ඇය කුමාරයන් හා මනුෂ්‍යයන් විනාශ කරමින් වුවද ඇගේ අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට ක්‍රියා කළාය. ‘ජාතීන්ගේ අයිතිවාසිකම්වලට විරුද්ධවද, දෙවියන්වහන්සේගේත් මනුෂ්‍යයාගේත් ව්‍යවස්ථාවන්ට විරුද්ධව ද ප්‍රකාශනයක් හා විනිශ්චයක් නිකුත් කිරීමට පාප්ට පුළුවන්ය’ යන්න රෝමය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරයි.GrHSin 676.3

    තමා කිසිවිටෙක වෙනස් වන්නේ නැත යන්න රෝමය පාරට්ටු කරගැනීමෙන් යුතුව ප්‍රකාශ කරන බව මතක තබාගත යුතුය. vii ග්‍රෙගරිගේද iii ඉනසන්ට්ගේද ප්‍රතිපත්ති මේ වන තුරුත් රෝම සභාවේ ප්‍රතිපත්තීන්ව පවතියි. ඈට බලය තිබෙන්නේ නම් ඇය අතීතයේදී මෙන්ම දැන්ද ඉතා මහත් උනන්දුවෙන් ඒවා ක්‍රියාත්මක කරනවා. ඇත. අමෙරිකා එක්සත් ජනපදයෙහිදී සභාවට පාලන බලය තිබෙන්නේය යන ප්‍රතිපත්තිය එක් වතාවක් පිහිටුවනු ලබන්නේ නම්ද, දේශීය නීති මගින් ආගමික ක්‍රියාවන් බලහත්කාර ලෙස පාලනය කරනු ලැබිය හැකි යයි පවසනු ලබන්නේ නම්ද, එනම් සභාවේ හා දේශයේ බලයට හෘදය සාක්ෂිය පාලනය කිරීමට පුළුවන් යයි කියනු ලබන්නේ නම් රෝම බලය නිශ්වය වශයෙන්ම ඒ රටේ ජයග්‍රාහක වෙනවා ඇත.GrHSin 677.1

    පැමිණෙන්ට තිබෙන්නා වූ අනතුර ගැන දෙවියන්වහන්සේගේ වචනය අපට අවවාද කර තිබේ. ඒ අවවාද නොතකා හරිනු ලබන්නේ නම්, රෝමයේ අභිලාෂයන් මොනවාදයි දැනගැනීමට ප්‍රොතෙස්තන්ත ලෝකය ඉගෙන ගන්නා විට ප්‍රමාද වැඩිවෙනවා ඇත. එවිට ඇගේ උගුලෙන් ඉවත් වීමට ඔවුන්ට නුපුළුවන් වෙනවා ඇත. ඇය නිශ්චලව ඇගේ බලය වර්ධනය කරගන්නීය. ඇගේ ධර්මයන් ආඥාදායක ශාලාවන්හිද, සභාවන්හිද, මනුෂ්‍යයන්ගේ සිත් තුළ ද බලපෑමක් ඇති කරන්නේමය. ඇය තමාගේ උසස්, විශාල නිර්මාණයන් රහස් ස්ථානයන්හි ගොඩනගන අතර අතීතයේ පැවති පීඩාකිරීමේ කාර්යයත් නැවත කරනු ලබනවා ඇත. නියම කාලය පැමිණි විට ක්‍රියාත්මක වන පිණිස ඇය රහසිගත ලෙසද සැක කරනු නොලබන අන්දමට ද ඇගේ බලකායන් ශක්තිමත් කරගන්නේ ඇගේ අභිලාෂයන් සම්පූර්ණ කරගන්නා පිණිසය. ඇයට උවමනා කරන්නේ සුදුසු අවස්ථාවක්ය; මෙය දැනටමත් ඇයට දෙනු ලැබේ. රෝමයේ අදහස කුමක් ද කියාත් අපට ඉක්මණින්ම හැඟී යනවා ඇත; එය අපට ඉක්මණින්ම දැකගැනීමට ද පුළුවන් වෙනවා ඇත. එවිට, දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කරමින් එයට කීකරුවන්නා වූ අයට නිග්‍රහයද පීඩාවන්ද දෙනු ලබනවා ඇත.GrHSin 677.2