Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    39 - පීඩාවන් පවතින කාලය

    “ඒ කාලයේදී නුඹේ සෙනඟගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියා වූ මිකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුඹ සෙනඟගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය.” (දානියෙල් 12:1)GrHSin 711.1

    තුන්වන දූතයාගේ පණිවිඩය ප්‍රකාශ කිරීම් අවසාන වූ විට ලෝකයේ සිටින්නා වූ පාපිෂ්ඨ මනුෂ්‍යයන් උදෙසා දයාව තවදුරටත් ක්‍රියාත්මක නොවෙනවා ඇත. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් ඔවුන්ගේ‍ මෙහෙය නිම කර හමාරය. ඔවුන්ට “අන්තිම වර්ෂාවද” “ස්වාමින්වහන්සේ ඉදිරියෙන් සැනසිලි කාලයන්ද” ලැබුණේය. දැන් ඔහු තමා ඉදිරිපිට ඇත්තාවූ පීඩා කාලයට සූදානම්ය. දේවදූතයෝ අහස මත එහා මහා ඉක්මණින් පියාසර කරති. පොළොවේ සිට පැමිණෙන්නාවූ දේව දුතයෙක් පවසන්නේ තමාගේ වැඩය හමාර වූ බවය. අවසාන පරීක්ෂණය ලෝකයට දෙනු ලැබූ විට, දිව්‍ය ප්‍රතිපත්තීන්ට විශ්වාසවන්ත වූ සියලු දෙනාටම ඒ වන විට දෙවියන්වහන්සේගේ මුද්‍රාව දී තිබේ. එවිට යේසුස්වහන්සේ ශුද්ධස්ථානයෙහි තමා කළා වූ මැදහත්කාරකමේ සේවය ඉවර කරන සේක. උන්වහන්සේ අත් ඔසවා, නිමවිය’ යි මහත් හඩින් පවසනවා ඇත. ඊටපසුව උන්වහන්සේ මේ ගාම්භීර ප්‍රකාශනය කරන විට මුළු දේව දූත සේනාවම ඔවුන්ගේ ඔටුනු ඉවත් කරනවා ඇත. “අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍ර කරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධ කරනු ලබාවා.” (එළිදරව් 22:11). ජීවිතය හෝ මරණය උදෙසා සෑම කෙනෙක් ගැනම තීරණයක් ගෙන හමාරය. ක්‍රිස්තුස්වහන්සේ තමන්වහන්සේගේ සෙනඟ උදෙසා සමගි කිරීම ඉටුකර ඔවුන්ගේ පාප මකා දමා ඉවරය. උන්වහන්සේගේ සේනාවේ ගණන තීරණය කර තිබේ. රාජ්‍යයද බලයද අහසින් යට තිබෙන රාජ්‍යයේ විශාලත්වයද ගැළවීම උරුම කරගන්නා වූ අයට දෙනු ලබනවා ඇත; යේසුස්වහන්සේ රජවරුන්ගේ රජද ස්වාමිවරුන්ගේ ස්වාමින්වහන්සේද හැටියට රජකම් කරනවා ඇත.GrHSin 711.2

    උන්වහන්සේ ශූද්ධස්ථානයෙන් ඉවත්වන විට ලෝකවාසීන් අන්ධකාරයෙන් වැසී යනවා ඇත. ඒ භයානක කාලයේදී ධර්මිෂ්ඨයන් ශුද්ධවූ දෙවියන්වහන්සේගේ ඇස් හමුයේ ජීවත්විය යුත්තේ මැදහත්කාරයෙකු නොමැතිවය. දුෂ්ට අයවලුන් කෙරෙහි පැවති තහනම මෙවිට ඉවත් කරනු ලැබ තිබෙනවා ඇති. අවසානයේදී පසුතැවිලි නොවූ අය කෙරෙහි සම්පුර්ණ පාලන බලය සාතන්ට අයිති වෙනවා ඇත. දෙවියන්වහන්සේගේ බොහෝ කල් ඉවසීම දැන් හමාරය. ලෝකයා. උන්වහන්සේගේ දයාව එපා කර, උන්වහන්සේගේ ප්‍රේමයට නිග්‍රහ කොට, උන්වහන්සේගේ ව්‍යවස්ථාවන් පාගා දමා තිබෙනවා ඇත. දුෂ්ටයන් ඒ සුදානම් කිරීමේ කාලයේ සීමාව පසුකර තිබේ. දිගටම එපා කරන ලද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔවුන් කෙරෙන් ඉවත් කරනු ලැබ තිබේ. දිව්‍ය දයාවේ රැකවරණය නොමැති වන ඔවුන්ට දුෂ්ටයාගෙන් ආරක්ෂාවක් නොමැත. එවිට සාතන් ලෝකවාසීන් මහා පීඩාවකට යොමු කරනවා ඇත. දෙවියන් වහන්සේගේ දුතයන් මනුෂ්‍යයන්ගේ දැඩි ආවේගයන් වන භයානක සුළං පාලනය නොකරන බැවින් ප්‍රචණ්ඩත්වය සෑම අන්දමින්ම නිදහසේ ක්‍රියාකරනවා ඇත. මුළු ලෝකයම යෙරුසලෙම මත පැමිණි විනාශයට වඩා භයානක විනාශයට මැදි වනවා ඇත.GrHSin 711.3

    එක දුතයෙක් පමණක් මිසරයේ කුළුඳුල් දරුවන් විනාශ කරමින් දේශය විලාපයෙන් පිරවීය. දාවිත් දෙවියන් වහන්සේගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කරමින් සෙනග ගණන් කළාවූ අවස්ථාවේදී, ඒ වරදට දඬුවම් දීමක් වශයෙන් එක දුතයෙක් භයානක විනාශයක් කළේය. දෙවියන්වහන්සේගේ නියෝගය පරිදි විනාශකාරී ක්‍රියාවන්හි යෙදෙන්නා වූ දූතයන් මෙන්ම, උන්වහන්සේගෙන් අවසරයක් ලැබුණ විට, නපුරු දූතයන්ද එම ක්‍රියාවන්හි යෙදෙනවා ඇත. බලකායෝ දැන් සුදානම් වී සිටිති; දෙවියන්වහන්සේගේ අවසරය ලැබුණ විගසම ඔවුන් සෑමතැනම විනාශකාරී ක්‍රියාවන් කරනවා ඇත.GrHSin 712.1

    දෙවියන්වහන්ගේ ව්‍යවස්ථාවන්ට ගරු කරන්නා වූ අය මේ ලෝකය මත විනිශ්චයන් පමුණුවා තිබෙන්නේ යයි ඔවුන්ට චෝදනා කරනු ලබනවා ඇත. සොබාදහමේ භයානක ක්‍රියාකාරිත්වයන්ටද, ලෝකය පීඩාවන්ගෙන් පුරවමින් මනුෂ්‍යයන් අතර පවතින ලේ වැගිරීම් වලටද හේතුව වන්නේ ඔවුන් යයි පවසනු ලබනවා ඇත. අවසාන අවවාදය ප්‍රකාශ කිරීමේදී ඇතිවන බලය දුෂ්ටයන් කෝපයට පත්කරයි. ඒ ව්‍යවස්ථාවන් පිළිබඳ පණිවිඩය පිළිගත්තාවූ සියල්ලන් කෙරෙහි ඔහු කෝපාකූල වෙති. සාතන් ද්වේෂ කිරීමේ හා පීඩා කිරීමේ ආත්මය වඩාත් ප්‍රබෝධමත් කරනවා ඇත.GrHSin 712.2

    දෙවියන්වහන්සේගේ පැවැත්ම යුදෙව් ජාතිය කෙරෙන් ඉවත් කරනු ලැබූ විට පූජකයන්ද ඒ යුදෙව් මනුෂ්‍යයන්ද ඒ බව දැන සිටියේ නැත. සාතන්ගේ පාලනයට යටත්ව, ඉතාම භයානක ප්‍රචණ්ඩකාරී හැඟීම්වලින් පිරි සිටියද, ඔවුන් තවදුරටත් කල්පනා කළේ තමා දෙවියන්වහන්සේ තෝරාගත් සෙනඟ බවය. දේවමාළිගයේ සේවය තවදුරටත් කරන ලදී. දූෂණය කරන ලද ඒ පූජාසන මත පූජා ඔප්පු කරන ලදී. දෙවියන්වහන්සේගේ ප්‍රේමවන්ත පුත්‍රයාණන්ගේ රුධිරය ගැන වරදකරුවන්, උන්වහන්සේගේ සේවකයන් ද ගෝලයන්ද මරා දැමීමට උත්සාහ කරමින් සිටියා වූ සෙනඟ මත දිව්‍ය ආශිර්වාද ඉල්ලා දිනපතාම යාච්ඤාවන් ඔප්පු කරන ලදී. එසේම, ශුද්ධස්ථානයේ ස්ථිර තීරණය ඉදිරිපත් කර ලෝකයේ ඉරණම සදහටම ස්ථිර කරනු ලබන විට ලෝකවාසීන් ඒ බව දැනගන්නේ නැත. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඉවත් කරනු ලැබුවාට පසුවද සෙනඟ නාමික ලෙස ආගම ඇදහීම කරගෙන යනවා ඇති. නපුරේ කුමාරයා ඔහුගේ භයංකාර සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී යොදවන උනන්දුව දෙවියන්වහන්සේ ක්‍රියාවේ යොදවන්නාවූ උනන්දුවට සමාන වෙනවා ඇත.GrHSin 712.3

    ක්‍රිස්තියානි ලෝකය මුළුල්ලේම පවතින අරගලයට ප්‍රධාන හේතුව සබත් දවස වන බැවින්ද, ආගමික හා දේශපාලනික බලයන් එක්සත් වී ඉරිදා සබත් පැවැත්වීමට නියෝග නිකුත් කරන බැවින්ද, ඒ ජනප්‍රිය නියෝගයට අවනත නොවන්නා වූ කුඩා ජනකාය ජාත්‍යන්තර අපහාසයට යොමු කරනු ලබනවා ඇත. සභාවේ සංවිධානයකටද දේශයේ නීතියකටද විරුද්ධ වන්නා වූ අය ගැන ඉවසිලිවන්ත නොවිය යුතු යයි අවධානයෙන් යුක්තව පවසනු ලබනවා ඇත. මුළු ජාතියම නීති විරෝධී භාවයට හා වියවුලට පත්වෙනවා වෙනුවට ඔවුන්ට පමණක් පීඩා කරනු ලැබීම සුදුසු යයි පවසනු ලබනවා ඇත. මනුෂ්‍යයන්ගේ නායකයන් වසර දෙදහසකට පමණ පෙර ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව ඉදිරිපත් කළේද එම තර්කයමය. ප්‍රයෝගකාර කායාඵස් පැවසුවේ: “මුළු ජාතිය විනාශ නොවන පිණිස සෙනඟ උදෙසා එක මනුෂ්‍යයෙකුගේ මරණය” ප්‍රයෝජනවත් වන බවය. මේ තර්කය අවසාන තීරණය වෙනවා ඇත. සතරවන ආඥාව අනුව සබත් දවස පවත්වන අයට විරුද්ධව නියෝගයක් පවරමින්, ඔවුන්ට ඉතාම තද දඩුවීමක් දෙනු ලැබිය යුතු යයි පවසනු ලබන්වා ඇත. යම් කාලයකට පසුව, ඔවුන් මරා දැමීමට මනුෂ්‍යයන්ට අවසර දෙනු ලබනවා ඇත. පැරණි ලෝකයෙහිදී රෝම සභාව කළාක් මෙන් අනික් රටවල, සත්‍යයෙන් මුළාවි ගිය ප්‍රොතැස්තන්ත සභාවද දිව්‍ය ප්‍රතිපත්තිවලට ගරු කරන අයට මේ අන්දමට සලකනවා ඇත.GrHSin 713.1

    එවිට දෙවියන්වහන්සේගේ සෙනඟ ‘යාකොබ්ගේ විපති කාලය’ යනුවෙන් අනාගතවක්තෘ හඳුන්වන විපත්ති කාලයට ඇතුල් වෙනවා ඇත. “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: වෙවුලවීමේ හඬක් අපට ඇසුණේය. එය සාමදානයේ නොව භීතියේ හඬක්ය .... සියලු මුහුණු සුදුමැලිව තිබෙනවාත් මට පෙනෙන්නේ මක්නිසාද? අහෝ! ඒ දවස මහත්ය. ඊට සමාන වූ දවසක් නැත. ඒක යාකොබ්ගේ විපත්ති කාලයය. එහෙත් ඔවුන් එයින් ගළවනු ලබනවා ඇත.” (යෙරෙමියා 30:5-7).GrHSin 713.2

    ඒසව්ගේ හස්තයෙන් මුදනු ලබන පිණිස යාකොබ් රාත්‍රිය මුළුල්ලේ යාච්ඤාවේ යෙදී සිටියේය. මෙය පෙන්නුම් කරන්නේ පීඩා කාලයේදී දෙවියන්වහන්සේගේ සෙනඟට ඇතිවන අත්දැකීමය. ඒසව්ට දීමට අදහස් කරන ලද පියාගේ ආශිර්වාදය ලබාගැනීමට යාකොබ් රැවටිලිකාර ලෙස ක්‍රියාකළ බැවින්, ඔහුට තම ජීවිතය ගළවා ගන්නා පිණිස පලා යෑමට සිදුවූයේ තම සහෝදරයාගේ තර්ජන ගැන බියපත්වූ නිසාය. වසර කිහිපයක්ම තම දේශයෙන් පිටත සිටියාවූ ඔහු දෙවියන්වහන්සේගේ නියමය අනුව තම භාර්යාවන් හා දරුවන්ද එළු බැටළු රැළවල් ද සමග ගමනක් ආරම්භ කළේ ආපසු තමාගේ දේශයට යන පිණිසය. දේශයේ සීමාවට ආසන්න වූ විට ඔහු අතිශයින් බියපත් වූයේ ඒසව්, නොඅනුමානවම පළිගන්නා පිණිස, යුධ භටයන් කාණ්ඩයක් සමග ඔවුන්ට ඉදිරි පසින් ගමන් කරමින් එන බවට ලැබුණාවූ ආරංචිය ගැනය. යාකොබ්ගේ සෙනඟ අවි ආයුධ හෝ ආරක්ෂවක් නොමැතිව සිටි බැවින් ඔවුන් උපකාර රහිතව ඒ ප්‍රචණ්ඩකාරිත්වයට හා මරණයට ගොදුරු විය හැකි බව පෙනී ගියේය. කනස්සල්ලේ හා බියෙහි බරට එකතු වූ ඉමහත් බර වූයේ තමාවම වරදට පත්කරගැනීම අවශ්‍ය වීමය; කුමක්හෙයින්ද මේ අනතුර ඇති වූයේ ඔවුන්ගේ පාපය නිසාය. ඔහුට තිබුණා වූ එකම බලාපොරොත්තුව වූයේ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමය. ඔහුගේ එකම රැකවරණය වන්නට තිබුණේ යාච්ඤාවය. එහෙත් ඔහු තම සහෝදරයාට තමා කළ වරදට සමගි කිරීමක් ඉදිරිපත් කරමින් ඒ අන්තරාවේ තර්ජනය ඉවත් කරන පිණිස තමාට හැකි සියල්ල කළේය. ක්‍රිස්තුස්වහන්සේ අනුගමනය කරන්නන්ද පීඩා විඳීමේ කාලයට ආසන්න වන විට, නිසි ආලෝකයකින් යුතුව මනුෂ්‍යයන් ඉදිරිපිට පෙනී සිටීමට ක්‍රියා කළ යුතුය. ඔවුන්ට විරුද්ධව පවතින අදහස් ඉවත් කිරීමටද, හෘදය සාක්ෂියේ නිදහස විරුද්ධව ක්‍රියාකරන බවට ඇති තර්ජනය සමහන් කිරීමටද ඔවුන් ක්‍රියාත්මක විය යුතුය.GrHSin 714.1

    මේ පීඩාව නොදක්නා පිණිස යාකොබ් තමාගේ පවුල ඉදිරියට යවා තනිව සිටීමින් දෙවියන්වහන්සේට කන්නලව් කළේය. ඔහු තම පව් කියා දෙමින් තමාට දෙවියන්වහන්සේ දැක් වූ දයානුකම්පාව ගැන කෘතඥ විය. ඒ සමගම ඔහු ඉතා යටහත්කමින්, දෙවියන්වහන්සේ තමාගේ පියවරුන් සමග කළාවූ ගිවිසුම සඳහන් කළේය. එසේම, ඔහු තම දේශයෙන් පිටවූ අවස්ථාවේ බෙතෙල්හිදී ඒ රාත්‍රි දර්ශනයෙන් තමාට දෙනු ලැබූ පොරොන්දුද ඉදිරිපත් කළේය. ඔහුගේ ජීවිතය උග්‍ර අවස්ථාවකට පැමිණ තිබුණි. සෑම දෙයක්ම අන්තරා අභිමුඛයේ තිබෙන බවක් පෙනුණි. තනිව අන්ධකාරයේ සිටි ඔහු දෙවියන්වහන්සේ ඉදිරිපිට තමාව යටත් කරගනිමින් යාච්ඤා කරමින් සිටියේය. හදිසියේම එක් අතක් ඔහුගේ උරහිස මත තබනු ලැබීය. සතුරෙක් තමාගේ ජීවිතය නැති කරන්ට සොයනවා යයි සිතමින් ඔහු කනස්සල්ලට පත්ව මුළු ශක්තියෙන් යුක්තව මේ තැනැත්තා සමග පොර බැදුවේය. දින උදාවන්නට ආසන්න වූ විට මේ අමුත්තා තමාගේ උතුම් බලය දැක්වූසේක. එතුමන්ගේ ස්පර්ශයෙන්ම යාකොබ් කොර විය. ඔහු උපකාර රහිතව බිම වැටුණි. ඔහු හඬමින් මේ පුදුමාකාර විරුද්ධකරුවාණන් වෙත යොමු විය. තමාට මේ පොරය ඇතිවූයේ ඒ ගිවිසුමේ දේවදූතයාණන් සමග බව යාකොබ් එවිට දැනගත්තේය. ආබාධිතව, අධික වේදනාවෙන් යුක්ත වුවද, ඔහු තමාගේ අභිප්‍රාය අත්හැරියේ නැත. ඔහු බොහෝ කාලයක්ම තමාගේ පාපය නිසා ඇතිවූ වියවුල, කණගාටුව හා කරදර දරාගත්තේය. දැන් තමාට කමාව දුන් බවට ස්ථිරතාවයක් ලබාගැනීම ඔහුගේ ආශාව විය. දිව්‍ය අමුත්තාණන් ඉවත්ව යන්ට සුදානම් වන බව ඔහුට පෙනුණි. නමුත් යාකොබ් ඒ දිව්‍ය තැනැත්තාණන්ට ඇලී සිටිමින් ආශිර්වාදයක් ඉල්ලා සිටියේය. දූතයාණන් පැවසුවේ මෙසේය: “පහන්වෙන බැවින් මා යන්ට හරින්න” නමුත් මේ පීතෘවරයා මෙසේ පැවසුවේය: “ඔබ මට ආශිර්වාද කළොත් මිස නැත්නම් යන්ට නොහරිමි.” (උත්පත්ති 32:24-30) මෙහි දැක්වෙන්නේ කොපමණ මහත් විශ්වාසයක්ද, ස්ථිරතාවයක් හා නොපසුබට වීර්යයක්ද! ඔහු පාරට්ටු කරගැනීමේ උඩඟු ප්‍රකාශනයක් කළේ නම් එවේලේම ඔහුව විනාශ කරනු ලැබීමට පුළුවන්කම තිබුණි; නමුත් ඔහු ඉදිරිපත් කළේ තමාගේ දුර්වලකම හා නුසුදුසුකම කියාදෙන්නා වූ ස්ථිරතාවයක්ය. ඒ සමගම ඔහු තමාගේ ගිවිසුම පවත්වන්නාවූ දෙවියන්වහන්සේගේ දයාව කෙරෙහි තමා තුළ ඇති විශ්වාසය දැක්වීය.GrHSin 714.2

    “ඔහු දේවදුතයා කෙරෙහි බලපාමින් ජයගත්තේය.” (හොෂෙයා 12:4 ) යටහත්කමින්, පසුතැවිලි වීමෙන් හා කැපවීමෙන් යුක්තව, මේ පව්කාර මනුෂ්‍යයා ස්වර්ගීය රාජකීයත්වය සමග ජය ගත්තේය. ඔහු තමාගේ වෙවුලන හස්තයෙන් දෙවියන් වහන්සේ දුන්නා වූ පොරොන්දු අල්ලා ගත්තේය. අසීමිත ප්‍රේමයෙන් යුක්ත හදවත මේ පව්කාරයාගේ බැගෑපත් ඉල්ලීම ඉවත දැමීමට කැමති වූයේ නැත. ඔහුගේ ජයග්‍රහණයේ සාක්ෂියක් වශයෙන්ද, ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට අන්‍යයන්ට දිරී දීමක් වන පිණිසද, ඔහුගේ නාමය වෙනස් කරන ලදී. ඔහුගේ නාමය වනාහි ඔහුගේ පාපය මතක් කරදීමක් විය. එය වෙනස්කර දැන් ඔහුට දෙනු ලැබූ නාමය වනාහි ඔහුගේ ජයග්‍රහණය සිහිකර දීමක් විය. යාකොබ් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ජයග්‍රාහක වීමෙන් පෙන්නුම් කරනු ලැබුවේ ඔහු මනුෂ්‍යයන් සමගද ජයග්‍රාහක වන බවය. දැන් ඔහු තවදුරටත් තම සහෝදරයාගේ කෝපයට මුහුණ දීමට බිය වූයේ නැත; කුමක්හෙයින්ද ස්වාමින්වහන්සේ තමා ආරක්ෂා කරන බව ඔහු දැනගත්තේය.GrHSin 715.1

    සාතන් දෙවියන්වහන්සේගේ දූතයන් ඉදිරිපිට යාකොබ්ට වරද තබමින් ඔහුගේ පාපයන් නිසා ඔහු විනාශ කිරීමට අයිතියක් තමාට ඇතැයි කියා සිටියේය. ඔහුට විරුද්ධව ක්‍රියා කිරීමට ඔහු ඒසව්ව පොළඹවා තිබුණි. ඔහු දිගු රාත්‍රියක් පොරබැදු ඒ අවස්ථාවේදී, ඔහු අධෛර්යයට පත්කරමින් වරදකාරකමේ හැඟීමක් ඔහු තුළ වර්ධනය කිරීමට සාතන් උත්සාහ කළේය. යකොබ් මහත් කනස්සල්ලට පත්විය. ස්වර්ගයේ උපකාර නොමැති නම් තමා මරණයට පත්වන බව ඔහු දැන සිටියේය. ඔහු තමාගේ මහත් පාපය ගැන අවංක ලෙසම පසුතැවිලි වී දෙවියන්වහන්සේගේ දයාව ඉල්වා තිබුණි. ඔහු තම අදහස අත්හැර නොදමා දේවදූතයාව තදින් අල්ලාගෙන වේදනාත්මක හැඬීමකින් යුක්තව මහත් උනන්දුවෙන් තමාගේ ඉල්ලීම් ඉදිරිපත් කළේ ජය අත්පත් වන තුරුය.GrHSin 716.1

    යාකොබ්ට විරුද්ධව ඉදිරිපත් වීමට සාතන් ඒසව්ව පෙළඹුවාක් මෙන්ම, ඒ පීඩා කාලයේදී දෙවියන්වහන්ගේ දරුවන් විනාශ කිරීමටද ඔහු දුෂ්ඨ මනුෂ්‍යයන් පොළඹවනවා ඇත. ඔහු යාකොබ්ට වරද තැබූ අන්දමටම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන්ට විරුද්ධවද චෝදනාවන් එල්ල කරනවා ඇත. ලෝකය තමාගේ අයිතිය යයි ඔහු සලකයි. නමුත් දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වන ඒ කුඩා කාණ්ඩය ඔහුගේ නායකත්වයට විරුද්ධව සිටියි. ඔවුන්ව ලෝකයෙන් තුරන් කිරීමට ඔහුට පුළුවන් නම් ඔහුගේ ජයග්‍රහණයය සම්පූර්ණ යයි ඔහු කල්පනා කරයි. ශුද්ධ වූ දූතයන් ඔවුන්ව රැකවරණය කරන බවද, ඔවුන්ගේ පාපවලට කමාව දී තිබෙන බවද ඔහු දකියි. නමුත් ස්වර්ගයේ ශුද්ධස්ථානයේදී ඔවුන් පිළිබඳ තීරණයන් ගෙන තිබෙන බව ඔහු දන්නේ නැත. තමා ඔවුන් ලවා කරවීමට උත්සාහ කළ පාපයන් ගැන ඔහු හොඳාකාරව දනියි. ඒවා විශාල කර දක්වන ආලෝකයකින් ඔහු මේ පාපයන් දෙවියන් හට ඉදිරිපත් කරන්නේ තමා මෙන්ම ඔවුන්ද දෙවියන්වහන්සේගේ දයාවෙන් ඉවත් කරනු ලැබිය යුතු බව දක්වමිනි. දෙවියන්වහන්සේ ඔවුන් ගේ පාපවලට සමාව දෙමින් තමාවද තමාගේ දූතයන්වද විනාශ කිරීම සාධාරණ නැතැයි ඔහු දක්වයි. ඔවුන් තමාගේ ගොදුර වූ බව පවසමින් ඔවුන් විනාශ කරන පිණිස ඔවුන් තමාගේ හස්තයට භාර දිය යුතු යයි ඔහු තදින්ම පවසයි.GrHSin 716.2

    සාතන් දෙවියන්වහන්සේගේ දරුවන්ගේ පාපයන් ගැන ඔවුන්ට චෝදනා කරන අතර, ඔවුන් තදින්ම සෝදිසි කිරීමට දෙවියන්වහන්සේ ඔහුට අවසර දෙන සේක. දෙවියන්වහන්සේ කෙරෙහි ඔවුන් තුළ ඇති විශ්වාසයද, ඔවුන්ගේ ඇදහිල්ල හා ස්ථිරතාවයද තදින්ම සෝදිසි කරනු ලබනවා ඇත. තමාගේ අතීතය ගැන කල්පනා කරන අතර ඔවුන්ගේ බලාපොරොත්තුව ගිලී යයි. කුමක්හෙයින්ද තමාගේ ජීවිතවල වැඩි යහපතක් නොමැති බව ඔවුන්ට පෙනී යයි. තමාගේ දුර්වලකම් ගැන හා නුසුදුසු භාවය ගැන ඔවුන්ට හොඳ වැටහීමක් ඇතිවෙයි. ඔවුන්ගේ තත්ත්වය අනුව ඔවුන්ට බලාපොරොත්තුවක් නැති බවද ඔවුන්ගේ අපවිත්‍රතාවයේ කැළල කිසිවිටෙක ඉවත් කරනු නොලබන බවද ඔවුන්ගේ කල්පනාවට යොමු කරමින් ඔවුන් බිය ගැන්වීමට සාතන් උත්සාහ කරයි. ඔවුන් පරික්ෂාවන්ට අසුවී දෙවියන්වහන්සේට ඇති පක්ෂපාතකම අත්හැර දමන පිණිස ඔවුන්ගේ ඇදහිල්ල විනාශ කිරීමට ඔහු උත්සාහ කරයි.GrHSin 717.1

    දෙවියන්වහන්සේගේ දරුවන් විනාශ කිරීමට තීරණය කරගත් සතුරන්ගෙන් ඔවුන් වට කරනු ලබන නමුත්, ඔවුන්ට සිත් වේදනාව ඇතිවන්නේ සත්‍යය උදෙසා පීඩා විඳින්ට සිදුවීම ගැන ඇතිවන භය නිසා නොවේ. ඔවුන්ට භය ඇතිවන්නේ ඔවුන් තමාගේ සෑම පාපයක් ගැනම නිසි ලෙස පසුතැවිලි වී නැති නිසා ගැළවුම්කාරයාණන් වහන්සේගේ පොරොන්දුව ඔවුන් උදෙසා සම්පූර්ණ නොවෙනවා ඇත යන්න ගැනය. ඒ පොරොන්දුව මෙසේය: “මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරික්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂා කරන්නෙමි” යන්නය. (එළිදරව් 3:10). ඔවුන්ට පාප කමාව ගැන ස්ථිරත්වයක් තිබෙන්නේ නම් පීඩා කරනු ලැබීම හා මරණය ගැන ඔවුන් පසුබට වන්නේ නැත. නමුත් ඔවුන් නුසුදුස්සන් බව ඔප්පු වී, ඔවුන්ගේම චරිතවල අඩුපාඩු නිසා ඔවුන්ගේ ජීවිත නැති වන්නේ නම් දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට එය අපහාසයක් වෙනවා ඇත.GrHSin 717.2

    සෑම පැත්තෙන්ම ඔවුන්ට දර්ශනය කළ හැක්කේ‍ ද්‍රෝහී ක්‍රියාවන්ට උගුල් ඇටවීම හා ක්‍රියාත්මක කැරලි ගැසීමය. එවිට ඔවුන් තුළ පුබුදුවනු ලබන්නේ, සත්‍යයෙන් ඈත්වීම නැවතී දුෂ්ඨයන්ගේ නපුරු ක්‍රියාවන් නවත්වනු ලැබීම ගැන ඉමහත් ආශාවක්ය, ආත්මයේ උනන්දු උවමනාවක්ය. නමුත් කැරලි ගැසීමේ වැඩ නවත්වන ලෙස ඔවුන් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටින විටම ඔව්හු නපුරේ ගැලීම නවතාලීමටද, එයට විරුද්ධව සිටීමට ද තමාට නුපුළුවන් වීම ගැන තමාටම දොස් පවරා ගනිති. තමන්ගේ සියලු හැකියාවන් ක්‍රිස්තුස්වහන්සේගේ සේවය සඳහා යොදවමින් ශක්තිමත් ලෙස ක්‍රියාකර තිබුණේ නම්, ඔවුන්ට විරුද්ධව සිටීමට සාතන්ගේ බලකායට එපමණ බලය නොතිබෙනවා ඇතැයි ඔව්හු කල්පනා කරති.GrHSin 717.3

    ඔව්හු දෙවියන්වහන්සේ ඉදිරිපිට තමාගේ ආත්මයන්ට පීඩා කරගනිමින්, අතීතයේදී තමා කළා වූ අනේක පාපයන් ගැන තමා පසුතැවිලි වූ බව පෙන්වා දෙමින් ගැළවුම්කාරයාණන්වහන්සේගේ මේ පොරොන්දුව පෙන්නුම් කරති: “ඔහු මාගේ ශක්තිය අල්වා ගෙන මා සමග සමාදාන වේවා. එසේය, ඔහු මා සමග සමාදාන වේවා.” (යෙසායා 27:5). ඔවුන්ගේ යාච්ඤාවලට ක්ෂණික පිළිතුරු නොලැබෙන බැවින් ඔවුන්ගේ ඇදහිල්ල නැතිවන්නේ නැත. ඉතාම තද කනස්සල්ලෙන්, බියෙන් හා සිත් තැවුලෙන් පීඩා විඳින නමුත් ඔවුන් තමාගේ මැදහත්වීමේ යාච්ඤාවන් නවත්වන්නේ නැත. යාකොබ් දේව දූතයාව අල්වා ගත්තාක් මෙන් ඔහු දෙවියන්වහන්සේගේ ශක්තිය අල්වා ගනිති; ඔවුන්ගේ ආත්මවල භාෂාව මෙසේ වන්නේය: “ඔබ මට ආශීර්වාද කළොත් මිස නැත්නම් යන්ට නොහරිමි” යන්නය.GrHSin 718.1

    යාකොබ්, වංචාවෙන් කුළුඳුල්කමේ ආශිර්වාදය ලබාගැනීමේ පාපය ගැන පළමුවෙන්ම පසුතැවිලි වී නොතිබුණේ නම් දෙවියන්වහන්සේ ඔහුගේ යාච්ඤාව අසා දයාන්විත ලෙස ඔහුගේ ජීවිතය ආරක්ෂා කර නොදෙනවා ඇත. එසේම, පීඩා කාලයේදී බියෙන් හා වේදනාවෙන් පසුවන දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් තුළ, කියාදී අත් නොහැරිය පාප තිබෙන්නේ නම් ඔවුන් වැටී යනවා ඇත; බලාපොරොත්තුව නැතිවීමෙන් ඔවුන්ගේ ඇදහිල්ල නැතිවී ගොස් තමා මුදාලන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලීමට ඔවුන් තුළ ස්ථිර විශ්වාසයක් නොපවතිනවා ඇත. නමුත් තමාගේ නොවටිනාකම ගැන ගැඹුරු හැඟීමක් තිබෙන අතර ඔවුන් තුළ ප්‍රකාශ කළ යුතු සඟවන ලද පාප නොතිබෙනවා ඇත. මිට පෙර, ඔවුන්ගේ පාප විනිශ්චයට ඉදිරිපත් කර මකා දමනු ලැබ තිබේ; ඒවා නැවත මතක් කරගැනීමට ඔවුන්ට නුපුළුවන.GrHSin 718.2

    ජීවිතයේ සුළු කාරණාවලදි දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ අවිශ්වාසවන්තකම නොතකා හරිනවා යයි විශ්වාස කිරීමට සාතන් බොහෝ අයට මගපෙන්වයි. නමුත් ස්වාමින්වහන්සේ යාකොබ් පිළිබඳව ක්‍රියාකළාවූ අන්දමින් අපට පෙනී යන්නේ උන්වහන්සේ කිසිසේත් නපුර සම්මත කරන්නේ හෝ එය නොතකා හරින්නේ නැති බවය. තමාගේ පාප ගැන සමාවට කරුණු ඉදිරිපත් කරමින් නැතහොත් ඒවා සඟවා ගනිමින්, ඒවා ස්වර්ගීය පොත්වල සටහන්වී, ඒ පාප කියා නොදී කමාව ඉල්ලා නොගෙන තිබෙන්නේ නම් සාතන් ඔවුන් යටපත් කරනවා ඇත. ඔවුන්ගේ වෘත්තියද ඔවුන්ට ඇත්තාවූ තනතුරද උසස්වූ තරමට ඔවුන්ගේ තත්ත්වය දෙවියන්වහන්සේ ඉදිරිපිට වඩාත් කණගාටුදායක වෙනවා ඇත; එවිට සතුරාට ඔවුන් කෙරෙහි ඇති ජයග්‍රහණයද වඩාත් ස්ථිර වෙනවා ඇත. දෙවියන්වහන්සේගේ දවස සඳහා සුදානවීම ප්‍රමාද කරන්නා වූ අයට ඒ පීඩා කාලයේදී හෝ වෙනත් කාලයකදී එය කිරීමට නුපුළුවන; එබඳු අයගේ තත්ත්වය කණගාටුදායකය.GrHSin 718.3

    සුදානම් රහිතව ඒ භයානක පීඩා කාලයට මුහුණ දෙන්නා වූ නාමික ක්‍රිස්තු භක්තිකයන් මහත් කණගාටුවෙන් යුතුව, ඉමහත් වේදනාවෙන් යුත් වචන වලින් ඔවුන්ගේ පාප කියා දෙනවා ඇත;. එවිට දුෂ්ඨයන් ඔවුන්ගේ කණගාටුව ගැන ප්‍රීතිවෙනවා ඇත. මේ කාලයේදී පව් කියාදීම ඒසව්ගේ හා යූදස්ගේ පව් කියාදීමට සමානය. ඔවුන් කණගාටු වන්නේ ඒ වැරදි ක්‍රියාවන් ගැන නොව ඒවායින් ඇති වූ ප්‍රතිඵල ගැනය. ඔවුන් තුළ සැබෑ පසුතැවිලි වීමක් හෝ නපුරට ද්වේෂ කිරීමක් නොපවතියි. තමාට ලැබෙන දඬුවම ගැන බියෙන් ඔහු තමාගේ පාප පිළිගනිති. නමුත් පැරණි ඵාරාවෝ මෙන් ඔවුන්ද ඒ විනිශ්චයන් ඉවත් කරනු ලබන්නේ නම් නැවතත් ස්වර්ගයට විරුද්ධව ක්‍රියාකරනවා ඇත.GrHSin 719.1

    යාකොබ්ගේ ඉතිහාසයෙන් අපට ඇත්තාවූ තවත් ස්ථිරතාවයක් නම්, රවටනු ලැබ, පරීක්ෂාවට අසුවී පාපයට වැටුණාවූ අය සැබෑ පසුතැවිල්ලෙන් ආපසු දෙවියන්වහන්සේ වෙතට හැරෙන්නේ නම් උන්වහන්සේ ඔවුන් එපා නොකරන බවය. මේ අයවලුන් විනාශ කිරීමට සාතන් උත්සාහ කරන අතර, පීඩාවන් ඇති අවස්ථාවන්හිදී ඔවුන් සනසමින් ඔවුන් රැකවරණය කරන පිණිස දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දූතයන් එවනවා ඇත. සාතන්ගේ පහරවල් භයංකාරය, තීරණාත්මකය, ඔහුගේ රැවටිලිකාරකම් භයානකය: නමුත් ස්වාමින්වහන්සේගේ නෙත් තමන්වහන්සේගේ සෙනඟ වෙත යොමුවී තිබේ; උන්වහන්සේගේ සවනට ඔවුන්ගේ හඬ ගැසීම් ඇසෙයි. ඔවුන්ට ඇති පීඩාව මහත්ය; ගිනි මැලයේ ගිනි දළු ඔවුන් විනාශ කරන්ට යන බවක් පෙනෙයි. නමුත් ඔවුන් පවිත්‍ර කරන්නා වූ තැනැන්වහන්සේ ඔවුන්ව ගින්නෙන් පවිත්‍ර කරන ලද රත්රන්වල තත්ත්වයට පමුණුවනවා ඇත. පීඩා කාලයේදී දෙවියන්වහන්සේ තම දරුවන්ට දක්වන ප්‍රේමය, සෞභාග්‍යමත් කාලයේදී උන්වහන්සේ ඔවුන්ට දැක්වූ ප්‍රේමය තරමටම ශක්තිමත්ව මෘදුව පවතිනවා ඇත. නමුත් ඔවුන් ගිනි උඳුනට යොමු කරනු ලැබිය යුතුය; ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපය සම්පූර්ණ ලෙස ඔවුන් තුළින් පිළිබිඹු වන පිණිස ඔවුන්ගේ ලෞකීක භාවය නැති කර දමනු ලැබිය යුතුය.GrHSin 719.2

    අප ඉදිරිපිට තිබෙන්නාවූ පීඩාවේ හා වේදනාවේ කාලයට මුහුණ දෙන පිණිස අප තුළ තිබිය යුත්තේ විඩාවද, ප්‍රමාදයද, සාගින්නද දරාගැනීමට පුළුවන් ඇදහිල්ලක්ය; ඉමහත් පරික්ෂාවන්ට මුහුණ දෙන්ට සිදුවුවද මැලවී නොයන්නාවූ ඇදහිල්ලක්ය. මේ කාලයට සුදානම් වන පිණිස සියලු දෙනාටම සෝදිසි කිරීමේ කාලයක් දෙනු ලැබේ. යාකොබ් ජයාන්විත වූයේ ඔහු මහත් උත්සාහයෙන් හා තීරණාත්මක භාවයෙන් ක්‍රියා කළ නිසාය. ඔහුගේ ජයග්‍රහණයෙන් පෙනී යන්නේ නොකඩවා යාච්ඤා කිරීමේ ඇති බලයය. යාකොබ් මෙන් දෙවියන්වහන්සේගේ පොරොන්දු පිළිගෙන, ඔහු මෙන් උනන්දුවෙන් නොපසුබට වීර්යයෙන් යාච්ඤා කරන අය ඔහු මෙන්ම සාර්ථක වෙනවා ඇත. ආත්මාර්ථය අත්හැරීමට අකමැතිව, උනන්දුවෙන් හා දීර්ඝ යාච්ඤාවෙන් දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටීමට කැමති නොවන්නා වූ අයට ඒ සඵලත්වය නොලැබෙනවා ඇත. දෙවියන්වහන්සේ සමග පොර බැඳීම යනු කුමක්දැයි දන්නේ කීදෙනෙක්ද? සෑම බලයම ක්‍රියාත්මක වන තුරු මහත් ආශාවෙන් තමාගේ ආත්මයන් දෙවියන්වහන්සේට යොමු කරන්නේ කොපමණ ස්වල්ප දෙනෙක්ද. භාෂාවෙන් විස්තර කළ නොහැකි කණගාටුවේ රැළ ගලා එන විට දෙවියන්වහන්සේගේ පොරොන්දු වලට ස්ථිර ඇදහිල්ලෙන් එල්බ ගෙන සිටින්නේ කොපමණ ස්වල්ප දෙනෙක්ද.GrHSin 720.1

    දැන් වැඩි ඇදහිල්ලක් ක්‍රියාත්මක නොකරන්නා වූ අය සාතන්ගේ රැවටිලිකාරකම්වලට අසුවෙමින් යම් ප්‍රමාණයකට හෘදය සාක්ෂියට බලකරනු ලැබීමේ මහත් අන්තරාවට අසුවන්නට පුළුවන. ඔවුන් සෝදිසිය දරාගන්නේ වුවද, පීඩා කාලයේදී ඔවුන් වඩා මහත් කනස්සල්ලට හා පීඩාවන්ට අසුවන්නට පුළුවන; ඊට හේතුව ඔවුන් දෙවියන්වහන්සේ විශ්වාස කිරීම තමන්ගේ පුරුද්දක් කර නොගැනීමය. ඔවුන් විසින් අතපසු කරන්ට යෙදුණා වූ ඇදහිලේ පාඩම් ඉගෙනගැනීමට ඔවුන්ට සිදුවන්නේ අධෛර්යමත් වීමේ මහත් පීඩනය පවතින විටය.GrHSin 720.2

    අප විසින් දැන් දෙවියන්වහන්සේගේ පොරොන්දුවල ඔප්පු සාක්ෂි ලබාගනිමින් උන්වහන්සේ හොඳින් හඳුනාගත යුතුය. දේවදුතයෝ සෑ‍ම අවංක උනන්දු යාච්ඤාවක්ම සටහන් කරති. දෙවියන්වහන්සේ සමග සබඳතාවය පැවැත්වීම අතපසු කරනවා වෙනුවට අප විසින් කළ යුත්තේ ආත්මාර්ථයේ ආශාවන් සපුරාගැනීම අත්හැරීමය. උන් වහන්සේගේ අනුමැතිය ඇතිව මුහුණ දෙන ගැඹුරුම දුගී භාවයද ආත්මාර්ථ ආශාවන් එපා කිරීමද උන්වහන්සේ නොමැතිව ලබාගන්නා ධනයට, ගෞරවයට, මිත්‍රත්වයන්ට හා පහසුවට වඩා හොඳය. අප විසින් යාච්ඤා කිරීමට කාලය ගැනීම ඉතාම අවශ්‍යය. අපි ලෝකයේ කාරණාවලින් අපගේ සිත් පිරී යාමට ඉඩ දෙමු නම්, දෙවියන්වහන්සේ අප රූපයන් කරගන්නා වූ රත්රන් ද, ගෙවල්ද, සාරවත් බිම් කොටස්ද ඉවත් කරමින් අපට යාච්ඤාව සඳහා කාලය ලබාදෙනවා ඇත.GrHSin 720.3

    දෙවියන්වහන්සේගේ ආශිර්වාද ඉල්ලා සිටීමට පුළුවන් මාවත්වලට පමණක් ඈතුල්වීමට යෞවනයන් තෝරා ගන්නේ නම් ඔවුන් පාපයට පහසුවෙන් පොළඹවනු ලබන්නේ නැත. ලෝකයට ඒ අවසාන ගාම්භීර පණිවිඩය ගෙනයන්නාවූ අය සීතල ලෙස හෝ නොසැලකිලිමත් ලෙස හෝ අලස ලෙස නොව, යාකොබ් මෙන් ඇදහිලෙන් යුත් උනන්දුවෙන් දෙවියන්වහන්සේගේ ආශිර්වාද ඉල්ලා යාච්ඤා කරන්නේ නම් “මම මුහුණට මුහුණලා දෙවියන්වහන්සේ දුටිමි. එහෙත් මාගේ ප්‍රාණය ඉතුරුවීය” යි ඔවුන්ට බොහෝ ස්ථානවලදී කියන්ට පුළුවන් වෙනවා ඇත. ස්වර්ගය ඔවුන් ගණන් ගන්ට යන්නේ දෙවියන්වහන්සේ සමගද මනුෂ්‍යයන් සමගද ජයග්‍රාහක වන්නා වූ කුමාරයන් හැටියටය.GrHSin 721.1

    මීට පෙර කිසිකලක නොතිබුණාවූ අන්දමේ කලයක් වන ‘ඒ පීඩා කාලය’ ඉක්මණින්ම අප ඉදිරිපිට විවෘත වෙනවා ඇත. අපට දැන් නොමැත්තාවූද, ලබාගැනීමට බොහෝ දෙනා නොසැලකිලිමත් වන්නාවුද අත්දැකීමක් අපට උවමනා වෙයි. කරදර මහත් වන්නේ ඒවායේ නියම තත්ත්වය නිසා නොව, ඒවා පැමිණෙන බව දැනගෙන ඒවා ගැන බියෙන් පසුවන විටය. නමුත් අප ඉදිරිපිටට පැමිණෙන්ට යන ඒ පීඩා කාලය පිළිබඳ තත්ත්වය මෙසේ නොවේ. ඉතාම පැහැදිලි ප්‍රකාශනයකින් පවා එහි පරිමාණය ඉදිරිපත් කරනු ලැබීමට නුපුළුවන. පීඩා කාලයේදී සෑම පුද්ගලයාම දෙවියන්වහන්සේ ඉදිරිපිට තමාගේ ජීවිතය ගැන පුද්ගලික ලෙස ගණන් දිය යුතුය. “නෝවාද දානියෙල්ද යෝබ්ද එහි සිටියත්, මා ජීවමාන බව සැබෑවා සේම, ඔවුන් පුත්‍රයෙක්වත් දුවෙක්වත් ගළවා ගන්නේ නැත; ඔවුන් තමුන්ගේ ධර්මිෂ්ඨකමින් ස්වකීය ප්‍රාණය පමණක් ගළවාගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියන සේක.” (එසකියෙල් 14:20)GrHSin 721.2

    දැන් අපගේ උතුම් උත්තම පූජකයාණන් අප උදෙසා සමගිකමක් කරන අතර අප විසින් ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණත්වයට පැමිණිය යුතුය. සිතුවිල්ලකින් පමණවන් අපගේ ගැළවුම්කාරයාණන්. වහන්සේ පරික්ෂාවේ බලයට යටත් කරනු ලැබීමට පුළුවන් වූයේ නැත. සාතන් මනුෂ්‍ය සිත් තුළට ඇතුල් වීමට පුළුවන්කම ලබාදෙන මාර්ගයක් සොයා ගනියි. යම් පාපතර ආශාවක් අගය කරනු ලැබූ විට සාතන් එමගින් ඔහුගේ පරීක්ෂාවන්ගේ බලය ක්‍රියාත්මක කරයි. නමුත් ක්‍රිස්තුස්වහන්සේ තමන්වහන්සේ ගැන මෙසේ පැවසූ සේක: “ලෝකයේ අධිපතියා එන්නේය. නුමුත් ඔහුට මා තුළ කිසිවක් නැත.” (යොහන් 14:30) සාතන්ට දේව පුත්‍රයාණන් තුළ, තමාට ජයග්‍රහණය ලබාදෙන කිසිවක් සොයා ගැනීමට නුපුළුවන් විය. උන්වහන්සේ තමන් පියාණන්වහන්සේගේ ආඥාවන් පැවැත්වූ සේක. උන්වහන්සේ අල්ලා ගැනීමට උපකාරයක් වන කිසි පාපයක් උන්වහන්සේ තුළ සොයා ගැනීමට සාතන්ට නුපුළුවන් විය. පීඩා කාලයේදී ස්ථිරව සිටින්නා වූ අයවලුන් තුළද මේ තත්ත්වය පැවතිය යුතුය.GrHSin 721.3

    ක්‍රිස්තුස්වහන්සේගේ සමගි කිරීමේ රුධිරය කෙරෙහි ඇදහිල්ල ඇතිව සිටිමින් අප විසින් මේ ජීවිත කාලයේදී, පාපය අප කෙරෙන් ඉවත් කරගත යුතුය. අපගේ ඉතා වටිනා ගැළවුම්කාරයාණන්වහන්සේ අපට ආරාධනා කරන්නේ උන්වහන්සේට සම්බන්ධ වීමටය, අපගේ දුර්වලකම උන්වහන්සේගේ ශක්තියට සම්බන්ධ කිරීමටය, අපගේ නොදන්නාකම් උන්වහන්සේගේ ප්‍රඥාවට සම්බන්ධ කිරීමටය, අපගේ නොවටිනාකම උන්වහන්සේගේ කුසලතාවයට සම්බන්ධ කිරීමටය. දෙවියන්වහන්සේගේ සැපයුම නමැති පාසැලේදී අප විසින් යේසුස්වහන්සේගේ මුදු මොළොක් භාවය හා යටහත්කම ගැන ඉගෙනගත යුතුය. ස්වාමින්වහන්සේ සෑම විටම අප ඉදිරිපිට තබන්නේ අප විසින් තෝරා ගන්නට යෙදෙන්නාවූද, වඩා පහසු, වඩා ප්‍රසන්න මාර්ගයක් ලෙස අපට පෙනෙන්නාවූද මාර්ගය නොවේ; උන්වහන්සේ අපට දක්වන්නේ ජීවිතයේ සැබෑ අභිප්‍රායන්ය. අපගේ චරිතයන් දිව්‍ය සැලැස්ම අනුව හැඩගස්වා ගැනීමට ස්වර්ගය පාවිච්චි කරන උපක්‍රමයන් හා එක්සත්ව ක්‍රියාකිරීම අප විසින් කළ යුතු කොටසය. කිසිවෙක් මේ වැඩය අතපසු නොකළ යුතුය; කුමක්හෙයින්ද එය අතපසු කිරීමෙන් ඔවුන්ගේ ආත්ම ඉතා භයානක විනාශයකට යොමු කරනු ලබනවා ඇත.GrHSin 722.1

    අපෝස්තුළු යොහන් තුමාට ස්වර්ගයෙන් වූ මහත් හඬක් මෙසේ පවසනවා ඇසුණේය: “ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේය.” (එළිදරව් 12:12) ස්වර්ගීය හඬින් මේ ප්‍රකාශනය කරනු ලබන්නේ භයානක දර්ශන ඇතිවන බැවිනි. සාතන් ගේ කාලය කෙටි වන විට ඔහුගේ උදහස වැඩිවෙයි; ඔහුගේ රැවටීමේ හා විනාශ කිරීමේ වැඩය පීඩා කිරීමේ කාලයේදී ඉතා උග්‍ර තත්ත්වයකට පැමි‍ණෙයි.GrHSin 722.2

    සාමාන්‍යයෙන් නොපවතින අන්දමේ භයානක දර්ශන අහසේ පෙනෙන්නට යෙදෙනවා ඇත; ඒ හාස්කම් කිරීමට යක්ෂයන්ට ඇත්තාවූ බලයෙන්ය. යක්ෂයන්ගේ ආත්මයන් ලෝකයේ රජවරුන් වෙතටද මුළු ලෝකයටද යමින් තමාගේ රැවටිලිකාරකම්වලට ඔවුන් ද බැඳ ගනිමින් ස්වර්ගීය ආණ්ඩුවට විරුද්ධව සාතන් කරන්ගෙන යන්නාවූ පොරයේදී ඔහු හා එක්සත්වීමට ඔවුන්ට කියා සිටිනවා ඇත. මේ ක්‍රියාකාරකයන් මගින් ආණ්ඩුකාරයෝද යටත් වැසියෝද එකසේ රවටනු ලබන්නෝය. සමහර මනුෂ්‍යයන් තමා ක්‍රිස්තුස්වහන්සේ යයි පෙන්නුම් කරමින් ලෝකයේ මිදුම්කාරයාණන්ට අයිති නාමයට හා නමස්කාරයට අයිතිවාසිකම් කියනවා ඇත. ඔවුන් පුදුමාකාර ලෙස රෝගීන් සුව කරමින් ශුද්ධ ලියවිල්ලේ සාක්ෂියට විරුද්ධ වන්නා වූ දේවල් පිළිබඳ දර්ශන තමාට ලැබුණේ යයි කියනවා ඇත.GrHSin 722.3

    මේ රැවටිලිකාරකමේ නාට්‍යයෙහි ප්‍රමුඛ ක්‍රියාව වශයෙන් සාතන්ම ක්‍රිස්තුස්වහන්සේ හැටියට පෙනී සිටිනවා ඇත. සභාව ඉතා ආශාවෙන් බලා සිටින්නේ තමාගේ බලාපොරොත්තුවේ සම්පූර්ණවීම වශයෙන් අපගේ ගැළවුම්කාරයාණන්වහන්සේ මේ ලෝකයට පැමිණීම ගැනය. එවිට මේ මහත් රැවටිලිකාරයා දක්වන්ට යන්නේ යේසුස්වහන්සේ පැමිණ සිටින බවය. ලෝකයේ නා නා දිශාවන්හිදී සාතන් එළිදරව් පොතේ කියා තිබෙන අන්දමටම රාජකීයත්වයෙන් යුක්ත වූ, දීප්තියෙන් දිළිසෙන්නා වූ තැනැත්තෙක් හැටියට (එළිදරව් 1:13-15) පෙනී සිටිනවා ඇත. ඔහු අවට පවතින තේජස මනුෂ්‍ය නෙත්වලින් දර්ශනය කර ඇත්තා වූ මොනම දෙයකට වුවද වඩා වැඩි වෙනවා ඇත. “ක්‍රිස්තුස්වහන්සේ පැමිණිසේක! ක්‍රිස්තුස්වහන්සේ පැමිණිසේක!” යන ජයාන්විත හඬ ගුවන පුරා පැතිරී යනවා ඇත. ක්‍රිස්තුස්වහන්සේ මෙලොව සිටියදී තමන්වහන්සේගේ ගෝලයන්ට ආශිර්වාද කළා වූ අන්දමට ඔහු අත් ඔසවා මනුෂ්‍යයන් මත ආශිර්වාදයක් පවසනවා ඇත; එවිට මනුෂ්‍යයන් ඔහුට නමස්කාර කරමින් ඔහු ඉදිරිපිට වැඳ වැටෙනවා ඇත. ඔහුගේ හඬ මෘදුව යටහත්ව තිබෙන අතරම එය ගීත රාවයකින් පූර්ණව තිබෙනවා ඇත. සානුකම්පිත මෘදු හඬකින් යුක්තව ඔහු ගැළවුම්කාරයාණන්වහන්සේ පවසන්ට යෙදුණාවූ සමහර දයාන්විත ස්වර්ගීය සත්‍යයන් පවසනවා ඇත. ඔහු රෝගීන් සුවකරනවා ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ ස්වභාවයෙන් මෙසේ පෙනී සිටියදී ඔහු පවසන්ට යන්නේ තමා සබත් දවස ඉරිදා බවට වෙනස් කළ බවය. ඔහු විසින් ආශිර්වාද කළා වූ මේ දවසට ගරු කළ යුතු යයි ඔහු කියනවා ඇත. තවදුරටත් සත්වෙනි දවස ශුද්ධ කොට පවත්වන්නාවූ අය, ආලෝකය හා සත්‍යය රැගෙන එන්නාවූ ඔහුගේ දුතයන්ට ඇහුම්කන් නොදීමෙන් ඔහුගේ නාමයට අපහාස කරනවා යයි ඔහු පවසන්වා ඇත. මෙය ඉතාම ශක්තිමත් වූද ඉතාම මහත් බලයෙන් යුක්තවූද රැවටීමක් වෙනවා ඇත. මායාකාර සීමොන් විසින් රවටන්ට යෙදුණාවූ සමාරියයන් මෙන්ම (ක්‍රියා 8:10) කුඩා අය පටන් ලොකු අය දක්වා බොහෝදෙනා මේ මායාවන් පිළිගනිමින්, ‘මේ දෙවියන්වහන්සේගේ බලය’ යයි පවසනවා ඇත.GrHSin 723.1

    නමුත් දෙවියන්වහන්සේගේ දරුවන් මුළා නොවෙනවා ඇත. මේ බොරු ක්‍රිස්තුන්ගේ ඉගැන්වීම් ශුද්ධ ලියවිල්ලට අනුකූල නොවේ. ඔහුගේ ආශිර්වාද පවසනු ලබන්නේ මෘගයාටද උගේ රූපයටද නමස්කාර කරන්නා වූ අයටය. නමුත් දෙවියන්වහන්සේගේ අමිශ්‍ර උදහස වගුරුවනු ලබන්ට යන්නේ මේ සෙනඟ මතටය.GrHSin 724.1

    තවදුරටත්, සාතන්ට ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමේ ස්වභාවය වංචාකාර ලෙස දැක්වීමට අවසර නැත. ගැළවුම්කාරයාණන්වහන්සේ මේ කාරණය ගැන, මේ තත්ත්ව ය පිළිබඳව, තමාගේ සෙනඟට අවවාද කළසේක. උන්වහන්සේ තමන්වහන්සේගේ පැමිණීමේ ස්වභාවය පැහැදිලි ලෙස අනාවැකියෙන් මෙසේ ප්‍රකාශ කළසේක: “මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබුවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය .... එබැවින් ඔව්හු නුඹලාට කථාකොට අන්න, උන්වහන්සේ වනාන්තරයේ සිටින සේකැයි කියත් නම්, පිටත්ව නොයන්න. උන්වහන්සේ ඇතුල් ගෙවල සිටින සේකැයි කියත් නම්, විශ්වාස නොකරන්න. මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේ ද, මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේ විය.” (මතෙව් 24:24 - 27,). මේ පැමිණීම බොරුකාර ලෙස පෙන්නුම් කිරීමට කිසිසේත් නුපුළුවන. එය ලොව මුළුල්ලේම සියලු දෙනාටම දර්ශනය වෙනවා ඇත. ලෝකයේ සිටින සියලු දෙනාම එය දකිනවා ඇත.GrHSin 724.2

    ලෝකයා අසුකරගන්නාවූ මේ රැවටීමේදී ආරක්ෂා කරනු ලබන්නේ උනන්දුවෙන් ශුද්ධ ලියවිලි ඉගෙන ගනිමින් සත්‍යයට ප්‍රේම කළා වූ අය පමණය. බයිබලයේ සාක්ෂිය අනුව මේ අය, අන් ලෙසකින් පනී. සිටින රැවටිලිකාරයා හඳුනාගන්නවා ඇත. සියලු දෙනාටම සෝදිසි කිරීමේ කාලය පැමිණෙනවා ඇත. පරික්ෂාවන් මගින් පොලනු ලැබීම කරණකොටගෙන සැබෑ ක්‍රිස්තු භක්තිකයන් හඳුනාගනු ලබනවා ඈත. තමන්ගේ හැඟීම් මගින් ඔප්පු කරනු ලැබිය හැකි දේවලින් පවා රවටනු නොලබන පිණිස දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් සත්‍යයෙහි පිහිටා සිටිනවා ඇද්ද? එබඳු උග්‍ර අවස්ථාවකදී ඔවුන් බයිබලයට, එය බයිබලයට පමණක්ම සම්බන්ධ වී සිටිනවා ඇද්ද? තමාට හැකි වුවහොත් සාතන් ඔවුන්ව ඒ දවස සඳහා සූදානම් වීමෙන් වළක්වනවා ඇත. ඔවුන්ගේ මාවතට බාධා පමුණුවමින්, ඔවුන්ව ලෞකික සම්පත්තිවලට පටලවා ගනිමින් ඔවුන්ට ඉමහත් බර දැරීමට සාතන් සලස්වනවා ඇත. එවිට ඔවුන්ගේ සිත් මේ ජීවිතයේ සැලකීම් වලින් පූර්ණ වන බැවින් පීඩාවේ දවස සොරෙකුගේ පැමිණීම මෙන් ඔවුන් මත්තට එනවා ඇත.GrHSin 724.3

    ක්‍රිස්තියානි සභාවේ අනේක නායකයන් ආඥාවන් පවත්වන්නන්ට විරුද්ධව නියෝග නිකුත් කරන බැවින් එමගින් ඔවුන්ට ආණ්ඩුවෙන් ලැබෙන රැකවරණය ඉවත් කරනු ලැබේ. එවිට ඔහු තමා විනාශ කිරීමට ආශාවන්නා වූ අයවලුන්ට අරිනු ලැබේ. එවිට දෙවියන්වහන්සේගේ සෙනඟ කඳුවලට පලා ගොස් කුඩා කාණ්ඩ වශයෙන් එක්රැස් වෙමින් ඉතාම පාළුවූ ද වෙන්වූද ස්ථානවල ජීවත් වෙනවා. ඇත. බොහෝ දෙනා කඳුකරයේ ආරක්ෂා ස්ථාන සොයා ගන්නවා ඇත. පීඩ්මොන්ට් මිටියාවතෙහි සිටියාවූ ක්‍රිස්තු භක්තිකයන් මෙන්ම ඔවුන්ද පොළොවේ උස් බිම් තමාගේ අභය භූමින් කරගනිමින් කඳුවල රැකවරණය ගැන දෙවියන්වහන්සේට ස්තූති කරනවා ඇත. නමුත් සියලු ජාතීන් අතරින් බොහෝ දෙනා, එනම් උසස් හා පහත් අයද, ධනවත් හා දිළිඳු අයද, කළු හා සුදු වර්ණයන්ගෙන් යුත් අයද, ඉතාම අසාධාරණ කෲර වහල්කමට පමුණුවනු ලබනවා ඇත, දෙවියන්වහන්සේගේ ප්‍රේමවන්ත දරුවන් දම්වැල් වලින් බඳිනු ලැබ, සිරකූඩුවල වසා දමනු ලැබ, මරණීය දණ්ඩනයේ නියමයෙන් යුක්තව විඩාත්මක දවස් ගත කරනවා ඇත. සමහර අය දූෂිත අඳුරු සිරගෙවල සාගින්නෙන් මැරී යන්ට අත් හරිනු ලබනවා ඇත. ඔවුන්ගේ වැලපීමේ හඬ ඇසීමට කිසි මානුෂික සවනක් යොමු වන්නේ නැත. ඔවුන්ට උපකාර කිරීමට කිසි මනුෂ්‍ය හස්තයක් යොමු වන්නේද නැත.GrHSin 725.1

    මේ දුෂ්කර පැයේදී දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ සෙනඟව අමතක කරනවා ඇද්ද? ජලගැල්මට පෙර පැවති ලෝකයට විනිශ්චයන් පමුණුවනු ලැබූ විට දෙවියන් වහන්සේ විශ්වාසවන්ත නෝවා අමතක කළසේක්ද? මිටියාවතේ නගර විනාශ කිරීමට අහසින් ගිනි පමුණුවනු ලැබූ විට දෙවියන්වහන්සේ ලොත්ව අමතක කළසේක්ද? මිසරයේ රූප වන්දනා කරන්නන්ගෙන් වට වී සිටි යෝසෙප්ව උන්වහන්සේ අමතක කළසේක්ද? බාල්ගේ අනාගතවක්තෘන්ට හිමිවූ ඉරණම එලියාටත් ලැබේවායි යෙසබෙල් එයාට තර්ජනය කළ විට උන්වහන්සේ එලියාව අමතක කළසේක්ද? යෙරමියා ඒ අඳුරු සිරගෙයි වළ ඇතුළේ සිටි විට උන්වහන්සේ යෙරෙමියා අමතක කළසේක්ද? උන්වහන්සේ ගිනි උඳුනට දමනු ලැබූ ඒ විශ්වාසවන්තයන් තිදෙනාව හෝ සිංහ ගුහාවට දමනු ලැබූ දානියෙල්ව අමතක කළසේද?GrHSin 725.2

    “නුමුත් සියොන්: යොහෝවඃවහන්සේ මා අත් හැරිය සේක; ස්වාමින්වහන්සේ මා මතක නැති කළ සේකැයි කීවාය. ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතක නැති කරන්ට ඈට පුළුවන්ද? එසේ, මොවුන්ට මතක නැති වෙන්ට පුළුවන. එහෙත් මම නම් නුඹ මතක නැති නොකරන්නෙමි. බලව, මම මාගේ අතුල්වල නුඹ කොටා ගතිමි.” (යෙසායා 49:14-16) “නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අත ගසන්නේය”යි සේනාවල ස්වාමින්වහන්සේ කියා තිබේ. (සෙකරියා 2:8)GrHSin 725.3

    සතුරන් ඔවුන්ව සිරගෙට දමන්නේ වුව ද ඔවුන්ගේ ආත්මයන් හා ක්‍රිස්තුස්වහන්සේ අතර ඇත්තාවූ සබඳතාවය බිඳ හෙලීමට සිරගෙයි බිත්තිවලට නුපුළුවන. ඔවුන්ගේ සෑම දුර්වලකමක්ම දකින්නාවූද, ඔවුන්ගේ සෑම පීඩාවක්ම දන්නා වූද තැනැන්වහන්සේ සියලු භෞතික බලයන්ට වඩා උසස්ය. දේවදූතයන් ඔවුන්ගේ ඒ පාළු සිර කුඩුවලට පැමිණ ස්වර්ගයේ සමාදානය හා අලෝකය ඔවුන් වෙත ගෙන එනවා ඇත. එවිට සිරගෙය මාළිගයක් වෙනවා ඇත; කුමක්හෙයින්ද ඇදහිල්ලෙන් ධනවත් වූ අය එහි වාසය කරනවා ඇත. ඒ අඳුරු බිත්ති ස්වර්ගීය ආලෝකයෙන් දීප්තිමත් කරනු ලබනවා ඇත. එවිට, පාවුල් හා සීලස් පිලිප්පියේ සිරගෙයි සිටියදී මධ්‍යම රාත්‍රියේදී ඔවුන් යාච්ඤා කරමින් ප්‍රශංසා ගීත ගැයූ අවස්ථාවේදී පැවතියා වැනි තත්ත්වයක් පවතිනවා ඇත.GrHSin 726.1

    දෙවියන්වහන්සේගේ සෙනඟ විනාශ කිරීමට උත්සාහ කරන්නන් මත උන්වහන්සේගේ විනිශ්චයන් පමුණුවනු ලබනවා ඇත. උන්වහන්සේ දුෂ්ඨයන් ගැන බොහෝ කල් ඉවසන බැවින් මනුෂ්‍යයන් වරද කිරීමෙහි එඩිතර වෙනවා ඇත. නමුත් ප්‍රමාදව පැමිණෙන්නේ වුවද ඔවුන්ගේ දඬුවම වඩාත් ස්ථිරව භයානකව පවතිනවා ඇත. “එසේය, ස්වාමින්වහන්සේ තමන්ගේ ක්‍රියාව වන තමන්ගේ අපූරු ක්‍රියාව කිරීමටත් තමන්ගේ වැඩය.... ඉෂ්ට කිරීමටත් පෙරාශිම් කන්දේදී මෙන් නැගිටින සේක. ගිබියොන් මිටියාවතේදී මෙන් කෝපවන සේක” (යෙසාය 28:21) අපගේ දෙවියන්වහසේ දයාවන්ත බැවින් දඬුවම් දීම උන්වහන්සේ විසින් කරන්නාවූ අමුතුම ක්‍රියාවක් වෙයි. “මා ජීවමාන බව සැබෑවා ස්ම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස, දුෂ්ටයා නසිනුවාට මම ප්‍රසන්න නොවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියන සේක.” (එසකියෙල් 33:11). “උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය. උන් වහන්සේ .... අයුතුකමත් අපරාධයත් පාපයත් සමාකරන සේක. වරදකරුවන් කවර ප්‍රකාරයකින්වත් නිදහස් නොකරන සේක.’‘ (නික්මයාම 34:6,7) “ස්වාමින්වහන්සේ ඉවසිලිවන්තව බලයෙන් මහත්ව සිටින සේක. වරදකාරයන් කොයි ප්‍රකාරයකින්වත් නිදොස් නොකරන සේක.” (නාහුම් 1:3) ධර්මිෂ්ඨකමේ බලවත් ක්‍රියා මගින් උන්වහන්සේ ඒ පහත හෙලා තිබෙන උන්වහන්සේගේ ව්‍යවස්ථාව නඟාලන සේක, ස්වාමින්වහන්සේ යුක්ති සහගත ලෙස ක්‍රියා කරමින් දඬුවම් කිරීමට ඉක්මන් නොවන බැවින්, පව්කාරයන්ට දෙනු ලබන්ට යන දඬුවම කොපමණ තද එකක් වෙනවා ඇද්දයි අපට සිතාගැනීමට පුළුවන. උන්වහන්සේ යම් ජාතියක් ගැන බොහෝ කල් ඉවසමින් ඔවුන්ගේ අධර්මිෂ්ඨකමේ කුසලාන උන්වහන්සේගේ මිම්මට අනුව සම්පුර්ණ වන තුරු බලා සිටින සේක් නම් අවසානයේදී ඔවුන්ට දයාවෙන් මිශ්‍ර නොවූ උන්වහන්සේගේ උදහසේ කුසලානෙන් බොන්ට සිදුවෙනවා ඇත.GrHSin 726.2

    ක්‍රිස්තුස්වහන්සේ ශුද්ධස්ථානය තුළ උන්වහන්සේ කරන්නාවූ මැදහත්වීමේ සේවය නිම කළ විට, ‘මෘගයාටත් උගේ රූපයටත් නමස්කාරකර ඔහුගේ ලකුණ ලබන්නා වූ අයට, උන්වහන්සේගේ කෝපය නමැති කුසලානට අමිශ්‍රව වත්කරන ලද උන්වහන්සේගේ උදහස දෙනු ලබනවා ඇත.’ (එළිදරව් 14:9,10) දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් මිසරයෙන් මුදාගැනීමට සූදානම් වූ විට මිසරය මත පීඩාවින් පැමිණියේය. උන්වහන්සේ අවසානයේදී තමන්වහන්සේගේ සෙනඟ. මුදා ගැනීමට පෙර, ලෝකය මත පැමිණෙන්ට යන පීඩාවන් ඒ පීඩාවන්ට සමානය. එළිදරව් පොත ලියූ තැනැත්තා මේ භයානක පීඩාවන් මෙසේ විස්තර කරයි: “එවිට මෘගයාගේ ලකුණු ඇත්තන් ද ඔහුගේ රූපයට නමස්කාර කරන්නද කෙරෙහි වස අරිෂ්ට වණ හටගත්තේය. ... මුහුද මළ මිනිසෙකුගේ ලේ මෙන් ලේ වුණේය. මුහුදේ පණ ඇති සියලු සත්වයෝ මැරුණෝය.” ගංගාව ද දිය උල්පත්ද ලේ වුණේය. මේ පීඩාවන් ඉතා භයානකය. දෙවියන්වහන්සේ යුක්ති සහගත බව ඒ සියල්ලෙන් පෙනී යයි. දෙවියන්වහන්සේගේ දූතයා මෙසේ කියා තිබේ. “ඔබ මෙසේ විනිශ්චය කළ බැවින් ඔබ ධර්මිෂ්ඨය. ඔවුන් ශුද්ධවන්තයද අනාගතවක්තෘවරුද ලේ වැගිරෙවූ බැවින් ඔබ ඔවුන්ට බොන්ට ලේ දුන්සේක. ඒක ඔවුන්ට සුදුසුය.(එළිදරව් 16:2 -6) දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් වරදට පත්කිරීම මගින් ඔහු ඔවුන්ගේ ලේ ගැන වරදකරුවන් වූයේ එය ඔවුන්ගෙන්ම අත්වලින් වගුරුවනු ලැබුවාසේය. එසේ ක්‍රිස්තුස්වහන්සේ යුදෙව්වරුන්ට කථා කරමින් පැවසුවේද ආබෙල්ගේ කාලයේ පටන් සිටීයා වූ ශුද්ධ වූ මනුෂ්‍යයන්ගේ ලේ වැගිරීම ගැන ඔවුන් වරදකරුවන් වූ බවය. කුමක්හෙයින්ද ඔවුන් තුළ පැවතුණේද ඒ ස්වහාවයමය. අනාගතවක්තෘන් මැරුවාවූ අය කළාවූ දෙයම කිරීමට ඔව්හු උත්සාහ කරමින් සිටියහ.GrHSin 727.1

    ඇතිවෙන්ට යන්නා වූ පීඩාවලදී මනුෂ්‍යයන් දවන්ට සූර්යයාට බලය තිබෙනවා ඇත. ‘මහත් උෂ්ණයකින් මනුෂ්‍යයෝ දවනු ලබති” මේ කාලයේදී පවතින්ට යන තත්ත්වය ගැන අනාගතවක්තෘවරු මෙසේ පැවසූහ. “දේශය වැලපෙයි ... මිනිසාද කෙතේ අස්වැන්න නාස්ති විය .... කෙතේ සියලුම ගස් වියළී තිබේ. මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ගේ ප්‍රීතිය පහව ගියේය” “බීජ ඒවායේ පිඩලි යට දිරා යයි. අටු පාළු වී, ගබඩා කඩා වැටී තිබේ. මක්නිසාද ගොයම් වියළී තිබේ. සිව්පාවුන් කෙඳිරිගාන හැටි! ගව රැළවලට තෘණ නැති නිසා, උන් කැළඹී ඇවිදිති ... වතුර ඔයවල් හිඳී ගියේය. කාන්තාරයේ පිට්ටනිද ගින්නෙන් නාස්ති විය.” (යෝවෙල් 1:10- 12; 17 - 20) “මාළිගාවේ ගීතිකා ඒ දවසේදී දුකෙන් කෑගැසීම් වන්නේය .... බොහෝ මළකඳන් තිබෙනවා ඇත. ඔවුන් සෑමතැනම ඒවා නිශ්ශබ්ද ලෙස පිටත දමනවා ඇත.” (ආමොස් 8:3).GrHSin 727.2

    මේ පීඩාවන් මුළු ලෝකයටම එකම විට ඇතිවන්නේ නැත. එසේ වූයේ නම් මුළු ලෝකයම ඒවා මගින් විනාශ වෙනවා ඇත. එහෙත් ඒවා මනුෂ්‍යයන් පිට පැමිණ ඇත්තා වූ ඉතාම භයානක පීඩාවය, සෝදිසි කිරීමේ කාලය අවසාන වීමට පෙර පැමිණෙන පීඩාවන් සියල්ලම දයාවෙන් මිශ්‍රව පවතිනවා ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරයේ ආයාචනය මගින් පව්කාරයා ඔහුගේ වරදකාරකමට දිය යුතු සම්පුර්ණ දඬුවම ලැබීමෙන් රැකවරණය වී තිබේ. නමුත් ඒ අවසාන විනිශ්වයේදී දිව්‍ය උදහස වගුරුවනු ලබන්නේ දයාව ඊට මිශ්‍ර නොකරය.GrHSin 728.1

    ඒ දවසේදී බොහෝ දෙනා, මෙපමණ කාලයක් තමා එපා කරන්ට යෙදුණාවූ දෙවියන්වහන්සේගේ දයාවේ රැකවරණය ලැබීමට ඉතා ආශා වෙනවා ඇත. “බලව හානියක්, එනම් කෑම හානියක්වත් වතුර. පිපාසයක්වත් නොව ස්වාමින්වහන්සේගේ වචන ඇසීමේ හානියක් මා විසින් දේශයට එවන දවස පැමිණෙන්නේය. එවිට මනුෂ්‍යයෝ ස්වාමින්වහන්සේගේ වචනය සොයන පිණිස මුහුදෙන් මුහුදට ගමන් කරනෝය, උතුරේ සිට නැගෙනහිරටද ඔබ මොබ දුවනවා ඇත. නුමුත් ඔවුන්ට සම්බවෙන්නේ නැත.” (ආමොස් 8:11,12).GrHSin 728.2

    දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් පීඩා විඳීමෙන් නිදහස් වන්නේ නැත. නමුත් පීඩා කරනු ලැබ කනස්සල්ලට පත්වී, දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින්, ආහාර නැති කමින් දුක් විඳින විටත්, ඔවුන් විනාශවන පිණිස අත්හරිනු ලබන්නේ නැත. එලියා ගැන සැලකු ඒ දෙවියන්වහන්සේ ආත්ම පූජාවෙන් යුක්තව ක්‍රියාකරන උන්වහන්සේගේ එක දරුවෙකුවත් නොතකා හරින්නේ නැත. ඔවුන්ගේ හිසකෙස් පවා ගණන් කරන උන්වහන්සේ ඔවුන් ගැන සලකනවා ඇත. සාගත කාලයේදී ඔවුන් සෑහීමට පත්වෙනවා ඇත. දුෂ්ටයන් සාගින්නෙන් හා වසංගත මගින් මිය යන අතර, දේවදුතයෝ ධර්මිෂ්ඨයන් රැකවරණය කරමින් ඔවුන්ගේ උවමනාවන් සපයා දෙනවා ඇත. “ධර්මිෂ්ඨකමින් හැසිරෙන්නාවූ අය” උදෙසා මේ පොරොන්දු සම්පූර්ණ කරනු ලබනවා ඇත.: “ඔහුට කෑම දෙනු ලබන්නේය; ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත.” “අසරණයන්ද දිළින්දන්ද වතුර සොයා නොලැබ ඔවුන්ගේ දිව් පිපාසවෙන් වේලෙන කළ, ස්වාමින්වහන්සේ වන මම ඔවුන්ට උත්තර දෙන්නෙමි, ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ වන මම ඔවුන් අත්නාරින්නෙමි.” (යෙසායා 33:16: 41:17). “මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රික වැල පලදාවක් නොතිබුණත්, ඔලීව ගහේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්, ගාලෙන් එළු බැටළු රැළ සිඳ දමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්” ‘ස්වාමින්වහන්සේ කෙරෙහි භයවන්නන් ස්වාමින්වහන්සේ කෙරෙහි සන්තෝෂ වෙනවා ඇත. ඔවුන්ගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීති වෙනවා ඇත. (හබක්කුක් 3:17,18).GrHSin 728.3

    “ස්වාමින්වහන්සේ නුඹ ආරක්ෂා කරන තැතැන්වහන්සේය. ස්වාමින් වහන්සේ දකුණතින් නුඹට සෙවණය. දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය. ස්වාමින්වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂා කරන සේක. නුඹේ ප්‍රාණය ආරක්ෂා කරන සේක.” (ගීතාවලිය 121:5-7) “මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මළපතින්ම විනාශ කරන වසංගතයෙන්ද නුඹ මුදාහරින සේක, උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසන සේක, නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂා වන්නෙහිය. උන්වහන්සේගේ සත්‍යවාදිකම පලිහක්ය, මහා පලිහක්ය. රාත්‍රියේ භීතියටවත් දවාලේ විඳින ඊගසටවත්, අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයට වත් නුඹ භය නොවන්නෙහිය. නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දස දහසක්ද වැටෙන්නෝය; එහෙත් එය නුඹට ළං නොවන්නේය. නුඹේ ඇස්වලින් බලා දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය. මක්නිසාද ස්වාමිනී, ඔබ මාගේ රක්ෂස්ථානයය. නුඹ මහෝත්තමයාණන් නුඹේ වාසස්ථානය කරගතෙහිය; නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය; නුඹේ කුඩාරමට වසංගතයක් ළං නොවන්නේය.” (ගීතාවලිය 91:3—10)GrHSin 729.1

    එහෙත් මානුෂික නෙත්වලට පෙනී යන්නේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් විසින් ඔවුන්ට පෙර සිටියාවූ වේද සාක්ෂිකයන් මෙන් තමාගේ ලේ වලින් තමාගේ සාක්ෂිය මුද්‍රා කළ යුතු බවය. සතුරන්ගේ අත්වලට වැටෙන පිණිස ස්වාමින්වහහන්සේ තමා අත්හැරිය සේක්යැයි ඔවුන් බියවෙනවා ඇත. එය ඉමහත් වේදනාවේ කාලයකි. දිවා රාත්‍රි දෙකෙහි ඔවුන් තමා මුදා දෙන ලෙස දෙවියන්වහන්සේට මොර ගසනවා ඇත. දුෂ්ටයෝ ඔවුන්ගේ තත්ත්වය ගැන ප්‍රීතිවෙමින් ඔවුන්ට නින්දා කිරීමේ හඬින් ඔවුන්ට මෙසේ පවසනවා ඇත: “දැන් නුඹලාගේ ඇදහිල්ල කොහේද? නුඹලා ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ දරුවන් නම් උන්වහන්සේ නුඹලාව අපගේ අත්වලින් මුදාගන්නේ නැත්තේ ඇයි?” නමුත් උන්වහන්සේගේ මිදීම ගැන බලාසිටින අයට මතක් විනේ යේසුස්වහන්සේ කල්වරි කුරුසිය මත පූජාවූ අවස්ථාවය; උත්තම පූජකයන් ද සෙනඟගේ නායකයන්ද උන්වහන්සේට සරදම් කරමින් මෙසේ පැවසූ බවය: “ඔහු අනුන් ගැළවුවේය; තමාම ගළවාගන්ට නුපුළුවන. ඔහු ඉශ්‍රායෙල්වරුන්ගේ රජය; ඔහු දැන් කුරුසියෙන් බසීවා. එවිට අපි ඔහු අදහාගන්නෙමුව.” (මතෙව් 27:42) යාකොබ් මෙන් සියලු දෙනාම දෙවියන්වහන්සේ සමග පොර බදනවා ඇත. ඔවුන්ගේ මුහුණුවලින්, ඇතුළාන්තයේ ඔවුන්ට ඇති පොරය දැක්වෙයි. සෑම මුහුණක්ම මලානික වී තිබේ. එහෙත් ඔවුන් තමාගේ ඉල්ලීම නවත්වන්නේ නැත.GrHSin 729.2

    මනුෂ්‍යයන්ට ස්වර්ගීය දර්ශනය දැකගැනීමට පුළුවන් වන්නේ නම්, ක්‍රිස්තුස්වහන්සේගේ ඉවසීමේ වචන අනුව ක්‍රියා කළා වූ අය අවට ඉතා ශක්තිමත් දේවදූතයන් රැකවලේ යෙදී සිටින බව ඔවුන්ට පෙනෙනවා ඇත. සානුකමිපිත මෘදුකමින් යුක්තව මේ දුතයෝ ඔවුන්ගේ පීඩාව සාක්ෂි දරමින් ඔවුන්ගේ යාච්ඤාවන්ට සවන් දී තිබේ. ඔවුන්ගේ පීඩාවෙන් ඔවුන් මුදාලන පිණිස ආඥාදායකයාණන්ගේ වචනය ප්‍රකාශ කරනු ලබන තුරු ඔව්හු බලා සිටිති. නමුත් ඔවුන් තව ස්වල්ප කාලයක් බලා සිටිය යුතුය. දෙවියන්වහන්සේගේ දරුවන් ඒ කුසලාන පානය කළ යුතුය. ඒ බව්තීයෙන් බව්තීස්ම කරනු ලැබිය යුතු ය. ඔවුන්ට වේදනාත්මක වන ප්‍රමාදයම ඔවුන්ගේ යාච්ඤාවලට ඇත්තා වූ ඉතාම හොඳ පිළිතුරය. ස්වාමින්වහන්සේ ක්‍රියාත්මක වන තුරු ඔහු විශ්වාසයෙන් බලා සිටීමට උත්සාහ කරති. ඔවුන්ගේ ආත්මික අත්දැකීමේදී ඔවුන් ඉතා ස්වල්ප වශයෙන් ක්‍රියාත්මක කළාවූ ඇදහිල්ල, බලාපොරොත්තුව හා ඉවසීම ක්‍රියාවේ යෙදවීමට ඔවුන්ට සිදුවෙයි. එහෙත්, තෝරාගන්නා ලද අයවලුන් නිසා මේ පීඩා කාලය කොට කරනු ලබනවා ඇත. “දෙවියන්වහන්සේ තමන්ට රෑ දාවල් හඬ ගසන්නාවූ තමන් තෝරා ගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරන සේක්ද? ..... උන්වහන්සේ ඔවුන්ට වහාම යුක්තිය ඉෂ්ඨ කරන සේකයි නුඹලාට කියමි.” (ලූක් 18:7,8). මනුෂ්‍යයන් බලාපොරොත්තු වෙනවාට වඩා ඉක්මණින් අවසානය පැමිණෙනවා ඇත. තිරිඟු එකතු කර දෙවියන්වහන්සේගේ ගබඩාවට දමන පිණිස මිටි බඳිනු ලබනවා ඇත; කිරිඳි විනාශයේ ගින්නට දමනු ලබන දර කැබලි වෙනවා ඇත.GrHSin 730.1

    ස්වර්ගීය රැකවල්ලු, ඔවුන් කෙරෙහි තබා තිබෙන විශ්වාසය අනුව රැකවලේ යෙදී සිටින්නාහුය. ආඥා පවත්වන්නාවූ අයවලුන් මරණයට පත්කිරීමට නියෝගයක් පනවනු ලබනවා ඈත. ඔවුන්ගේ සතුරන් මේ නියෝගය පැමිණෙන තුරු බලා සිටින නමුත්, ඒ අනුව නියමවන කාලයට පෙර ඔවුන් විනාශ කිරීමට සමහරෙක ක්‍රියාකරනවා ඇති. නමුත්, විශ්වාසවන්ත අයවලුන් අවට සිටින්නාවූ බලසම්පන්න රැකවලුන් පසුකර යාමට කිසිවෙකුට නුපුළුවන. සමහර අය නගරවලින් හා ගම්වලින් ඉවතට පැමිණෙන විට ඔවුන්ව අල්ලා ගනු ලැබේ; නමුත් ඔවුන්ට විරුද්ධව ඔසවනු ලබන කඩු කැඩි පිදුරු මෙන් බල රහිතව වැටී යනවා ඇත. එවන් අයව ආරක්ෂා කරනු ලබන් යුද්ධ හටයන්ගේ ස්වරූපයෙන් පැමිණෙන දේවදූතයන් විසින්ය.GrHSin 730.2

    සියළු කාලවලදී දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ සෙනඟට උපකාර කරමින් ඔවුන් මුදාලන පිණිස ශුද්ධ වූ දේවදුතයන් මගින් ක්‍රියාකර තිබේ. වර්ගීය දූතයන් මනුෂ්‍යයන්ගේ කටයුතු වලදී ක්‍රියාත්මක වී තිබේ. ඔවුන් විදුලිය මෙන් දිළිසුණු වස්ත්‍රවලින් ප්‍රකාශ වී තිබේ. ඔවුන් ගමනේ යෙදී සිටින්නා වූ මනුෂ්‍යයන්ගේ වස්ත්‍ර වලින්ද ප්‍රකාශ වී තිබේ. දේව දූතයෝ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන්ට මනුෂ්‍යාකාරයෙන් ප්‍රකාශ වී තිබේ. විඩාවට පත්වූවන් සේ ඔවුන් දවල් කාලයේදී ආලෝන ගස් යට විවේක ගන්නවා දර්ශනය වී තිබේ. ඔවුන් මනුෂ්‍යයන්ගේ ගෙවල ආගන්තුක සත්කාරය පිළිගෙන තිබේ. ඔවුන් මාර්ගය නොදත් මගීන්ට මාර්ගෝපදේශකයන් හැටියට ක්‍රියා කර තිබේ. ඔවුන් තමාගේ අත්වලින් පූජාසනයේ ගිනි දල්වා තිබේ. ඔවුන් සිරගෙයි දොරවල් විවෘත කර ස්වාමින්වහන්සේගේ සේවකයන් නිදහස් කර යවා තිබේ. අලංකාර ස්වර්ගීය වස්ත්‍රයෙන් සැරසී ඔහු ගැළවුම්කාරයාණන්ගේ සොහොන් ගෙයින් ගල ඉවතට පෙරලීමට පැමිණියහ.GrHSin 731.1

    දේවදූතයන් නිතරම මානුෂික ස්වභාවයෙන් ධර්මිෂ්ඨයන්ගේ රැස්වීම්වල සිටිති. සොදොමට ගියා වූ අන්දමට ඔහු දුෂ්ටයන්ගේ රැස්වීම් වලටද ගොස් ඔවුන්ගේ ක්‍රියාවන් සටහන් කරන්නේ ඔවුන් දෙවියන්වහන්සේගේ ඉවසීමේ සීමාව ඉක්මවා තිබෙනවාදැයි දැනගන්නා. පිණිසය. ස්වාමින්වහන්සේ දයාවට ප්‍රිය වන සේක. නියම වශයෙන් තමන්වහන්සේ සේවය කරන්නාවූ ස්වල්ප දෙනෙක් උදෙසා උන්වහන්සේ විපත් පාලනය කරමින් බොහෝ දෙනාගේ සාමකාමිත්වය රැකවරණය කරන සේක. දෙවියන්වහන්සේට විරුද්ධව පව් කරන්නා වූ අය නොදන සිටින්නේ තමන්ගේ ජීවිත ගැන ඔවුන්, තමා පීඩා කිරීමට හා සරදම් කිරීමට ආශාවන අයට ණයගැති වන බවය.GrHSin 731.2

    ලෝකයේ නායකයන් නොදන්නේ වුවද, නිතරම ඔවුන්ගේ සහා රැස්වීම් වලදී දේවදූතයන් කථා කරන්නන් වී තිබේ. මනුෂ්‍යයන්ගේ සවන් ඔවුන් දර්ශනය කර තිබේ. මනුෂ්‍යයන්ගේ සවන් ඔවුන්ගේ ආයාචනයන්ට සවන් දී තිබේ. මනුෂ්‍යයන්ගේ තොල් ඔවුන්ගේ යෝජනාවන්ට විරුද්ධවී ඔවුන්ගේ අනුශාසනාවන්ට සරදම් කර තිබේ. මනුෂ්‍යයන්ගේ හස්තයන් ඔවුන් වෙතට යොමුවී තිබෙන්නේ ඔවුන්ට බැණ වදිමින් ඔවුන්ට නිග්‍රහ කරමින්ය. ඔවුන්ගේ සභා ශාලාවන්හි හා නඩු ශාලාවලදී ද මේ ස්වර්ගීය පණිවිඩකරුවන් දක්වා තිබෙන්නේ ඔවුන් මනුෂ්‍ය ඉතිහාසය ඉතා හොඳින් දන්නා බවය; පීඩාවට පත්වූවන් රැකවරණය කිරීමට ඉදිරිපත් වන ඉතාම දක්ෂවූද, කථාවෙහි සූරයන්වූ ද අයවලුන්ට වඩා හොඳින් තමාට ඔවුන් උදෙසා පෙනී සිටීමට පුළුවන් බව ඔවුන් පෙන්නුම් කර තිබේ. දෙවියන්වහන්සේගේ වැඩවලට බාධා කරමින් උන්වහන්සේගේ සෙනඟට පීඩාවන් ඇති කරන්නාවූ නරක දේවල් කිරීම වලක්වමින් ඔවුන් ඒ නායකයන්ගේ අභිප්‍රායන් පරාජයට පමුණුවා තිබේ. පීඩාවේ හා විපත්තියේ පැයේදී “ස්වාමින්ගේ දූතයා උන්වහන්සේ භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ ඔවුන් මුදා හරියි.” (ගීතාවලිය 34:7).GrHSin 731.3

    දෙවියන්වහන්සේගේ සෙනඟ ඉතා මහත් ආශාවකින් යුක්තව බලා සිටින්නේ තමන්ගේ රජතුමාණන්ගේ පැමිණි මේ සලකුණු දැකගැනීමටය. “රාත්‍රියේ දැන් වේලාව කීය ද?” යි මුරකාරයාගෙන් විමසනු ලබන විට ඔහු නොපසුබටව මෙසේ පිළිතුරු දෙයි: “පහන් වේලාව එන්නේය, රාත්‍රියත් එන්නේය.” (යෙසායා 21:11,12) කඳු මුදුන් වලට ඉහළින් ඇති වළාකුළු මත ආලෝකය දිස්වෙයි. ඉක්මණින්ම උන්වහන්සේගේ තේජස ප්‍රකාශ වෙනවා ඇත. ධර්මිෂ්ඨකමේ සූර්යාණන්වහන්සේ ඉක්මණින් උදාවන සේක. උදෑසන හා රාත්‍රිය යන දෙකම ඉතා ආසන්නය -ධර්මිෂ්ඨයන්ට අවසානයක් නොමැති දවාල උදාවන අතර දුෂ්ටයන්ට එය සදාකාල රාත්‍රියේ පැමිණීම වෙයි.GrHSin 732.1

    පොර බදන්නාවූ අය ඔවුන්ගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට ඉදිරිපත් කරන විට, අදෘශ්‍යමාන සියල්ලෙන් ඔවුන් වෙන් කරන්නා වූ තිරය ඉවත් කරනු ලබන බවක් පෙනෙයි. සදාකාලික දිවා කාලයේ උදාවීමෙන් අහස බබළයි. දේවදූතයන්ගේ ගීතරාවයට සමාන වන මේ වචන සවනට යොමු වෙයි: “ඔබගේ පක්ෂපාතකමෙහි ස්ථිරව සිටින්න උපකාර ඉක්මණින් ලැබෙනවා ඇත.” අති උත්තම ජයග්‍රාහකයාණන් වන ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ විඩාවට පත් සොල්දාදුවන්ට අමරණීය තේජසේ ඔටුන්නක් පුදකරන සේක. විවෘත දොරටු තුළින් නිමෙන උන්වහන්සේගේ හඬ මෙසේ පවසනවා ඇත: “බලන්න, මම නුඹ සමග සිටිමි, භය නොවන්න, මම නුඹට ඇති කණගාටුව දනිමි. මම නුඹගේ දුක් දරා ගතිමි. නුඹ සටන් කරන්නේ මුහුණ දෙනු නොලැබු සතුරන් සමග නොවේ. මම නුඹලා උදෙසා මේ සටනෙහි යෙදුණෙමි. මාගේ නාමයෙන් නුඹලා බොහෝ සේ ජයග්‍රාහක වන්නහුය.”GrHSin 732.2

    අපට උපකාර අවශ්‍ය වන විටම අපගේ අනර්ඝ ගැළවුම්කාරයාණන්වහන්සේ උපකාර එවන සේක. ස්වර්ගයට යන මාර්ගය උන්වහන්සේගේ පා සලකුණු වලින් කැප කර තිබේ. අපගේ පාද තුවාල කරන සෑම කටුවක්ම උන්වහන්සේගේ පාදවලට තුවාල කර තිබේ. අපට දරාගැනීමට තිබෙන සෑම කුරුසියක්ම උන්වහන්සේ විසින් දරාගනු ලැබ තිබේ. සමාදානය සඳහා අපගේ ආත්ම සූදානම් කරන පිණිස අරගලයන් ඇතිවීමට උන්වහන්සේ ඉඩ හරින සේකෙ. පීඩා කාලය දෙවියන්වහන්සේගේ සෙනඟට ඉතා දුෂ්කර කාලයක් වෙනවා ඇත. නමුත් එය සෑම සැබෑ ඇදහිලිවත්තයා විසින්ම ඉහළ බැලිය යුතු කාලයක්ය. එවිට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ට දර්ශනය කිරීමට පුළුවන් වන්නේ පොරොන්දුවේ දේදුන්න තමා අවට තිබෙන බවය.GrHSin 733.1

    “ස්වාමින්වහන්සේ විසින් මුදන ලද්දෝ ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතියද ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. සන්තෝෂයද ප්‍රීතිමත්කම ද ඔවුන් පිටට පැමිණෙන්නේ ය. දුකද සුසුම් - සෑමද පලා යන්නේය. නුඹලා සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාටත් තෘණ මෙන් පහව යන මනුෂ්‍ය පුත්‍රයාටත් භයවෙන්ටද නුඹේ මැවුම්කාර වූ .... ස්වාමින්වහන්සේ සිහි නැතිකොට, විනාශ කිරීමට පීඩාකාරයා සූදානම් වෙන විට, ඔහුගේ කෝපය නිසා නිතරම දවස මුළුල්ලෙහි වෙවුලන්ටද නුඹ කවුද? පීඩාකාරයාගේ කෝපය කොතැනද? රටින් පිට වහල්වී සිටින්නා ඉක්මණට මුදනු ලබන්නේය. ඔහු වලේදී නසින්නේවත් ඔහුගේ කෑම පිරිහෙන්නේවන් නැත. මම වනාහි මුහුදේ රැළ ගර්ජනා කරන ලෙස එය අවුස්සන්නාවූ, සේනාවල ස්වාමින්වහන්සේ යන නාමය ඇත්තාවූ නුඹේ දෙවි වූ ස්වාමින්වහන්සේය. මා විසින් අහස පිහිටුවීමටත්, පොළොවේ පදනම් තැබීමටත් නුඹ මාගේ සෙනඟ යයි සියොන්ට කීමටත්, මාගේ වචනය නුඹේ මුඛයෙහි තබා මාගේ අතේ සෙවනෙහි නුඹ සැඟවුවෙමි.” (යෙසායා 51:11-16)GrHSin 733.2

    “එබැවින් පීඩිත වූ මුද්‍රිකපානය නැතුව මත්වී සිටින්නාවූ තැනැත්තිය, මේකෙ අසන්න. නුඹේ ස්වාමිවූ ස්වාමින්වහන්සේ වන තමන්ගේ සෙනඟ වෙනුවට මැදහත්වන්නා වූ නුඹේ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, වැනෙන්ට සලස්වන කුසලාන වන මාගේ කෝපය නමැති පාත්‍ර කුසලාන නුඹේ අතින් ගත්තෙමි; නුඹ තවත් එයින් නැවත නොබොන්නෙහිය. නුමුත්: අප විසින් නුඹ පාගා යන පිණිස වැටී ඉන්නැයි නුඹේ ආත්මයට කීවා වූ නුඹේ පීඩාකාරයන්ගේ අතට ඒක දෙන්නෙමි. එලෙස නුඹ නුඹේ පිට බිම මෙන්ද පාගායන්නන්ට වීථිය මෙන්ද තැබුවෙහිය.” (යෙසායා 51:21-23)GrHSin 733.3

    අනාගත කාලය දෙස බැලු දෙවියන්වහන්සේගේ ඇස් යොමු වූයේ ලෝක බලධාරීන් උන්වහන්සේගේ මනුෂ්‍යයන්ට විරුද්ධව ක්‍රියා කරන විට ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නා වූ උග්‍ර අවස්ථාවන්ටය. වහලුන් ලෙස රටින් පිට කරන ලද්දන් මෙන් තමාට සාගින්නෙන් හෝ ප්‍රචණ්ඩකාරිත්වයන් මරණයට පත්වෙන්ට සිදුවෙනවා ඇතැයි ඔහු බිය වෙති. නමුත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් ඉදිරිපිට රතු මුහුද වෙන්වන්ට සැලැස්වූ ශුද්ධ වූ තැනැන්වහන්සේ තමන්වහන්සේගේ උතුම් බලය ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ වහල්කම ඉවත් කරන සේක. “ඔහු වනාහි මා විසින් පමුණුවන දවසේදී මාගේම සම්පතක් වන්නෝය; මමද මනුෂ්‍යයෙක් තමාට සේවය කරන තමාගේ පුත්‍රයාට කරුණා කරන්නාක් මෙන් ඔවුන්ට කරුණා කරන්නෙමියි සේනාවල ස්වාමින්වහන්සේ කියන සේක.” (මලාකි 3:17) මේ කාලයේදී ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසවන්ත සේවකයන්ගේ ලේ වගුරුවනු ලබන්නේ නම්, එය වේද සාක්ෂිකයන් මරනු ලැබු කාලයේදී මෙන්, දෙවියන්වහන්සේ උදෙසා අස්වැන්නක් ලබාදෙන පිණිස වපුරන ලද බියක් හා සමාන වන්නේ නැත. ඔවුන්ගේ විශ්වාසවන්තකම, අන්‍යයන්ට සත්‍යය වටහා දෙන්නාවූ සාක්ෂියක් වන්නේ නැත. කුමක්හෙයින්ද මුරණ්ඩු හදවන දයාවේ රැළි ආපසු යවා තිබෙන්නේ ඒවා නැවත ඔවුන් වෙතට නොඑන පිණිසය. මේ කාලයේදී ධර්මිෂ්ඨයන් ඔවුන්ගේ සතුරන්ට ගොදුරු වන පිණිස අරිනු ලබන්නේ නම් එය අන්ධකාරයේ කුමාරයාට ජයග්‍රහණයක් වෙනවා ඇත. ගීතිකාකාරයා මෙසේ කියයි: “මක්නිසාද විපත්ති දවසෙදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබන සේක. ස්වකීය මණ්ඩපයෙහි වූ අප්‍රකාශ ස්ථානයෙහි මා සඟවන සේක.” (ගීතාවලිය 27 :5) ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසු සේක: “මාගේ සෙනඟ, එන්න, නුඹලාගේ ඈතුල් ගෙවලට ගොස් නුඹලාගේ දොරවල් වසාගන කෝපය පහව යන තුරු ස්වල්ප මොහොතක් සැඟවී ඉන්න. මක්නිසාද මෙන්න ස්වාමින්වහන්සේ පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම් කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්ම එනසේක.” (යෙසායා 26:20,21) උන්වහන්සේගේ පැමිණීම ගැන ඉවසිල්ලෙන් බලා සිටියා වූද ජීවන පොතෙහි නම් ලියා ඇත්තා වූද අයවලුන්ට ලැබෙන මිදීම තේජාන්විත එකක් වෙනවා ඇත.GrHSin 734.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents