Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    5 - ජෝන් වික්ලිෆ්

    ප්‍රතිසංස්කරණයට පෙර සමහර යුගයන්හිදී ශුද්ධ බයිබලයේ පිටපත් තිබුනේ ඉතා ස්වල්පයක් පමණකි. එහෙත් දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ වචනය සම්පූර්ණ වශයෙන් විනාශ කර දමන්නට ඉඩ හැරියේ නැත. එහි අඩංගු සත්‍යතාවයන් සදහටම සඟවා තැබීම දේව සැලැස්ම නොවීය. තමන්වහන්සේගේ සේවකයන්ට නිදහස ලබාදීම සඳහා සිරගෙවල දොරවල් සහ යකඩ ගේට්ටු විවෘත කිරීමට උන්වහන්සේට හැකියාව තිබුණාසේම ජීවනයේ වචන බැඳ තැබූ යදම් බිඳ දැමීමට ද උන්වහන්සේට බලය තිබුණේය. සඟවා තිබූ නිධන් වස්තු සොයන්නා සේ සත්‍යතාව සෙවීමට යුරෝපාකරයේ තිබූ සමහර රටවල ජීවත් වූ මිනිස්සුන්ව ශුද්ධාත්තමයාණන්වහන්සේ විසින් පොළඹවන ලදී. දිව්‍ය මගපෙන්වීම මගින් ශුද්ධලියවිලි කරා යොමු කරවනු ලැබූ ඔව්හු ශුද්ධ බයිබලයේ අඩංගු සත්‍යතාවයන් මහත් උනන්දුවකින් යුතුව අධ්‍යයනය කළෝය. තමන්ට කුමන ප්‍රතිඵලයක් උදා වුවද ආලෝකය පිළිගැනීමට ඔවුන් තුළ දැඩි ආශාවක්, කැමැත්තක් විය. සෑම දැයක්ම පිළිබඳව සම්පූර්ණ වූ පැහැදිලි අවබෝධයක් ඔවුන්ට නොලැබුණි. දිගු කාලයක් පුරා වළලා දමා තිබූ සත්‍යතාවන් ගණනාවක් ගොඩ ගැනීමට ඔවුන්ට හැකි විය. ස්වර්ගයෙන් යවනු ලැබූ පණිවිඩකාරයන් මෙන් ඔවුහු වැරදි ඉගැන්වීම් මෙන්ම මිත්‍යා ඇදහිලි සහ සම්ප්‍රදායන් නැමැති යදම් බිඳ දමමින් සත්‍යතාවෙහි ආලෝකය රැගෙන මිනිසුන් කරා ගියෝය. කාලයක් පුරා වහල් භාවයට පත්ව සිටි අය නැගිට තමන්ගේ නිදහස තහවුරු කර ගන්නැයි ඔවුහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ. GrHSin 73.1

    බොහෝ කාලයක් පුරා දෙවියන් වහන්සේගේ වචනය වෝල්ඩන්සිවරුන්ට හැර, උගතුන්ට පමණක් සීමා වූ භාෂාවන් වලින් අගුළුලා තිබුණේය. නමුත්, විවිධ රටවල විසූ ප්‍රජාවට තමන්ගේම මව් බසින් ශුද්ධලියවිලි කියවීමට පුළුවන් වන පිණිස එය පරිවර්තනය කිරීමට කාලය උදා වී තිබුණේය. ලෝකය තම මැදියම් රැය පසු කර තිබුණේය. අන්ධකාරයේ දවස් අවරට යමින් තිබූ අතර, අරුණෝදයේ ළහිරු රැස් බොහෝ රටවල උදාවෙමින් තිබුණේය.GrHSin 73.2

    දස සතර වැනි සියවසේ දී “ප්‍රතිසංස්කරණයේ අළුයම් තාරකාව” යන නමින් හඳුන්වනු ලබන ජෝන් වික්ලිෆ් නමැති ඉංග්‍රීසි ජාතිකයා එංගලන්තයට පමණක් නොව සකල ක්‍රිස්තියානි ලෝකයටම ප්‍රතිසංස්කරණයේ හඬ උදාකර දුන්නේය. රෝමයට එරෙහිව ප්‍රකාශ කරන්නට අවසර ලැබූ, ඔහු නැගූ මහත් උද්ඝෝෂණ හඬ කිසිම දවසක නිශ්ශබ්ද කළ නොහැකි විය. ඔහුගේ උද්ඝෝෂණ විශාල විරුද්ධතා දැක්වීමේ අරගලයක් බවට පත්වී එහි ප්‍රතිඵලයක් වශයෙන් ජාතීන්ට, සභාවන්ට සහ පුද්ගලයන්ට ගැළවීම උදාවිය.GrHSin 73.3

    වික්ලිෆ් නිදහස් මතධාරී අධ්‍යාපනයක් ලැබුවේය. ඔහුට දෙවියන්වහන්සේ කෙරෙහි භය වීම ප්‍රඥාවේ ආරම්භය විය. දැඩි භක්තිය, ශ්‍රද්ධාව යනාදිය ගැන ඔහු විදුහලේ කැපී පෙනුණේය. සහජ හැකියාවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දී දක්ෂතා දැක්වූ ඔහු දැනුම ලබා ගැනීමේ පිපාසයෙන් පෙළී සෑම විෂයක් පිළිබඳවම දැනුම ලබා ගැනීමට මනාපයක් දැක්වීය. අධ්‍යාපන දර්ශනවාදය සහ සභාවෙහි ආගමික නීතිය මෙන්ම විශේෂයෙන්ම ඔහුගේම රටේ සිවිල් නීතිය පිළිබඳව ඔහු අධ්‍යාපනය ලැබුවේය. පසු කාලයක ඔහු සේවයේ යෙදී සිටි සමයේදී ඔහු මුල් කාලයේ ලැබූ පුහුණුවේ වැදගත්කම කැපී පෙනුණි. එවකට තිබූ අනුමානයන්ගෙන් පිරි දර්ශනවාදය පිළිබඳව මනා වැටහීමක් ඔහු සතු වූ නිසා එහි වැරදි පෙන්නුම් කිරීමට ඔහුට හැකි විය. ජාතික හා ආගමික නීතිය පිළිබඳව ඔහු ලැබූ අධ්‍යාපනය, සිවිල් හා ආගමික නිදහස ලබා ගැනීම සඳහා මහත් අරගලයක් දියත් කිරීමට ඔහුව සූදානම් කළේය. දෙවියන්වහන්සේගේ වචනයෙන් ලබාගත් ආයුධය ප්‍රවීණයකු ලෙස හැසිරවීමට හෙතෙම සමත් විය. බුද්ධිමය හික්මවීම ඔහු විද්‍යා පීඨවලින් ලබා තිබුණේය. අධ්‍යාපන වේදීන්ගේ උපක්‍රම ඔහු මනාව තේරුම් ගත්තේය. ඔහුගේ බුද්ධියේ බලයත් ඔහුගේ අති විශාල දැනුම් සම්භාරයත් මිතුරන්ගේ මෙන්ම සතුරන්ගේද ප්‍රණාමය ඉල්ලා සිටියේය. තම ජාතියේ බුද්ධිමත් ප්‍රඥාවන්තයන් අතරෙහි තමන්ගේ වීරයා උත්තරීතර ස්ථානයක් හිමි කරගෙන සිටීම ඔහුගේ අනුගාමිකයන්ගේ තෘප්තියට හේතු විය. ඔහුගේ ප්‍රතිසංස්කරනවාදී වැඩපිළිවෙළෙහි ඔහු දැනුම නැති අයෙකු ලෙස හෝ දුර්වලයෙකු ලෙස හංවඩු ගසා ඔහුට විරුද්ධව දෝෂාරෝපණ ගෙන ඒමට සතුරන්ට හැකියාවක් නොවීය.GrHSin 74.1

    වික්ලිෆ් සරසවියේ ඉගෙනීම ලබන්නා වූ අතරවාරයේ දී ඔහු ශුද්ධලියවිලි ඉගෙනීම ද ආරම්භ කළේ ය. එම මුල් කාලවලදී බයිබලය තිබුණේ පුරාණ භාෂාවලින් පමණක් බැවින් උගතුන්ට සත්‍යයේ උල්පත කරා යාමට හැකියාව ලැබුණේය. අධ්‍යාපනයක් නොලැබූ අයට එම භාග්‍යය උදා නොවීය. මෙලෙස අනාගතයේ දී ප්‍රතිසංස්කරණවාදීයෙකු ලෙස ක්‍රියාත්මක වීමට වික්ලිෆ්ට මාර්ගය පිළියෙළ වී තිබුණේය. අධ්‍යාපනයක් ලැබූ අය දෙවියන්වහන්සේගේ වචනය හදාරා එහි එළිදරව් කර තිබූ නොමිලයේ දෙනු ලබන්නා වූ උන්වහන්සේගේ කරුණා අනුග්‍රහය නමැති ‍ශ්‍රේෂ්ඨ වූ සත්‍ය සොයාගෙන තිබුණේ ය. ඔවුන්ගේ ඉගැන්වීම්වලදී ඔවුහු මෙම සත්‍යතාවය පිළිබඳව දැනුම ශ්‍රාවකයන්ට ලබාදුන්නෝය. මෙසේ ඔව්හු අනෙක් අයටද ජීවනදායක වචනය දෙසට හැරෙන්නට මග පෙන්වූවෝ ය.GrHSin 74.2

    වික්ලිෆ්ගේ අවධානය ශුද්ධලියවිලි වලට යොමු වූ කල්හි එහි සඳහන්ව ඇති කරුණු අධීක්ෂණය කරන්නට උසස් අධ්‍යාපන පීඨයන්හි වියතකු වීමට ඔහු දැරූ උත්සාහයට සමාන ආකාරයෙන්ම, දේව වචනය හැදෑරීම සඳහාද ඔහු පරිශ්‍රමයක් දැරීය. මේ වන විට, ඔහු උගත්කමින් හෝ සභාවේ ඉගැන්වීම් වලින් හෝ තෘප්තියට පත් කළ නොහැකි මහත් අවශ්‍යතාවයක් ඔහුට දැනුනේය. ඔහු මීට පෙර නිරර්ථකයේ සෙවූ දේවල් දේව වචනයෙන් ඔහුට සම්බ විය. මෙහි ගැළැවීමේ සැලැස්ම එළිදරව් කර තිබෙන ආකාරයත් මිනිසා වෙනුවෙන් සිටින්නා වූ එකම මැදහත්කාරයාණන් ක්‍රිස්`තුස්වහන්සේ පමණක් බව දන්වා ඇති බවත් ඔහුට එළිදරව් විය. ඔහු තමාව ක්‍රිස්තුස්වහන්සේට සේවය කිරීම සඳහා කැපකර තමා සොයාගත් සත්‍යතාවන් ප්‍රචාරය කරන්නට අධිෂ්ඨාන කරගත්තේය.GrHSin 75.1

    පසුකාලීන ප්‍රතිසංස්කරණ වාදීන් මෙන්, තම වැඩකටයුතු වලට ආරම්භයේදී වික්ලිෆ්ටද තම අනාගත ගමන ගැන පූර්ව දැනුමක් නොවීය. රෝමයට විරුද්ධව ක්‍රියා කිරීමට ඔහු හිතාමතාම නැගී සිටියේ නැත. එහෙත්, සත්‍යයට ඔහු තුළ තිබූ කැපවීම වැරදි ඉගැන්වීම් සමඟ ගැටුමකට ඔහුව යොමු කළේය. පාප් අධිකාරියේ වැරදි ඔහුට වැඩි වැඩියෙන් පෙනී ගිය කල්හි ඔහු වැඩි උනන්දුවකින් ජ්වලිතයකින් යුතුව බයිබලීය ඉගැන්වීම් ඉදිරිපත් කළේය. මිනිස් සම්ප්‍රදායන් සුරැකීම සඳහා රෝමය විසින් දෙවියන්වහන්සේගේ වචනය එපා කර දමා ඇති බව ඔහුට පෙනී ගියේය. පූජක පක්ෂය විසින් ශුද්ධලියවිලි ජනතාව වෙතින් ඉවත් කර තිබේ යැයි ඔහු අභීතව පූජකයන්ට චෝදනා එල්ල කළේය. ශුද්ධ බයිබලය ජනතාව වෙත ලබා දෙන්නැයිද එහි අධිකාරිය නැවතත් සභාව තුළ පිහිටුවන්නැයිද ඔහු බල කර සිටියේය. ඔහු හැකියාව තිබූ, උනන්දුවෙන් යුතුවූ ගුරුවරයෙක් හා ප්‍රබල දේශකයෙක් ද විය. ඔහු ඉගැන්වූ සත්‍යතාවන් පිළිබඳව ඔහුගේ දිනපතා ජීවිතය සාක්ෂියක් විය. ශුද්ධලියවිලි පිළිබඳව ඔහු තුළ තිබූ දැනුමත්, ඔහුගේ තර්ක කිරීමේ වියත් භාවයත්, ඔහුගේ ජීවිතයේ පවිත්‍රතාවත්, ඔහුගේ නොසැලෙන ධෛර්යය සහ අවංක භාවයත් නිසා ජනතාවගේ පොදු අභිමානයත් විශ්වාසයත් ඔහුට හිමි විය. රෝමානු සභාවේ තිබූ පාප දුටු බැතිමත්හු තමන්ගේ ඇදහිල්ල පිළිබඳ කලකිරීමට පත්ව සිටියෝය. වික්ලිෆ් විසින් තමන්ගේ දසුනට යොමුකළ සත්‍යතාවන් දැකීමෙන් ඔවුහු ප්‍රීති ප්‍රමෝදයට පත් වී එය එළිපිටම ප්‍රකාශ කළෝය. නමුත් තමන්ට ලැබෙන්නාවූ සැලකිල්ලට වඩා වැඩි සැලකිල්ලක් මෙම ප්‍රතිසංස්කරණවාදීයාට ලැබෙන බව දුටු පාප් සමවාදී නායකයෝ මහත් උදහසින් පිරුණෝය.GrHSin 75.2

    වරද දැකීමේ තීක්ෂණ බුද්ධියක් වික්ලිෆ් සතුවිය. රෝමානු බල අධිකාරීන්ගේ අනුමැතිය ලැබූ නින්දා සහගත දුෂ්‍ය ක්‍රියාවන් බොහෝමයකට එරෙහිව හෙතෙම අභීතව පහර දුන්නේය. ඔහු රජතුමාගේ ආගමික වතාවන් පිළිබඳ වැඩබලන නිල දේවගැතිවරයා වශයෙන් සේවය කළ අවස්ථාවේදී ඉංග්‍රීසි රජතුමාගෙන් පාප්තුමා ඉල්ලා සිටි කප්පම් මුදල් ගෙවීමට විරුද්ධව ඔහු තීරණාත්මක පියවරක් ගත්තේය. ලෞකික රාජ්‍ය පාලකයෙකුට වඩා ඉහළ බලතල පාප්තුමාට ඇතැයි කියන්නාවූ ප්‍රකාශය තර්කයට එළිදරව්වටත් පටහැනි බව ඔහු පෙන්වා දුන්නේ ය. පාප්තුමා විසින් කප්පම් ඉල්ලා කළ අණකරය ගැන තද කෝපයක් පැවතුණි. ඒ අතර වික්ලිෆ්ගේ ඉගැන්වීම් කරණකොටගෙන ජාතියේ වියතුන්ගේ මනස්වලට ප්‍රබල අනුබලයක් ලැබිණ. ලෞකික දේ පිළිබඳව පාප් තුමා අයිතිවාසිකම් කියන්නාවූ අධිකාරී බලය සහ ඔහු ඉල්ලා සිටින්නාවූ බද්ද යන දෙකම ප්‍රතික්ෂේප කිරීමට රජතුමා සහ වංශාධිපතීන් ඒකමතිකව තීරණය කරගත්හ. මෙලෙස එංගලන්තය කෙරේ තිබූ පාප්තුමාගේ ආධිපත්‍යයට විරුද්ධව විශාල පහරක් එල්ල කරනු ලැබීය.GrHSin 76.1

    මෙම ප්‍රතිසංස්කරණ වාදියා දිගු කාලයක් පුරා තීරණාත්මකව, විරුද්ධ සටනක් දියත් කළ තවත් නපුරක් වූයේ යාචක පූජකයන්ගේ සංවිධාන පවත්වාගෙනයාම පිළිබඳව ය. මෙම සංවිධානවල පූජකයෝ එංගලන්තය පුරා විශාල වශයෙන් පැතිර ගොස්, එම ජාතියේ ශ්‍රේෂ්ඨත්වයට සහ සමෘද්ධියට අනිසි ඵල ගෙන දුන්නෝය. කර්මාන්ත, අධ්‍යාපනය සහ සදාචාරය යන සියල්ලම මොවුන්ගේ පැවැත්මෙන් අහේනිය කරා යොමුවිය. මෙම පූජකයන්ගේ හිඟමනට කැපවූ අලස ජීවිත රටේ ජනතාවගේ සම්පත් සූරාකෑහ. එය කම්කරු ශ්‍රමය පිළිකුලට ලක් කළේය. තරුණයෝ දුසිරිතට යොමුවී දූෂ්‍ය වූහ. මේ පූජකයන්ගේ බලපෑම මත තපස් ශ්‍රමණ දිවියකට යොමු වී හුදෙකලා කුටියකට වැද මෙබඳු ජීවිතයකට කැපවීමට බොහෝ තරුණයෝ පොලඹවනු ලැබූ හ. තරුණයෝ මෙම පියවර ගත්තේ තම දෙමාපියන්ගේ අනුදැනුමකින් තොරවය. ඔවුන්ගේ දෙමාපිය අවසරය නොලැබුවා පමණක් නොව ඔවුන්ගේ කැමැත්තට විරුද්ධව ද ක්‍රියා කළෝය. සහෝදර ප්‍රේමයට සහ යුතුකම් ඉටු කිරීමට වඩා ඉහළින් තපස් නිකායකට ඇතුළු වීමේ අයිතිය ගැන රෝමානු සභාවේ මුල් පුජකතුමෙක් මෙසේ පවසා ඇත. “හඬමින් සහ වැලපෙමින් ඔබගේ පියා දොරටුව ඉදිරියේ වැතිර සිටිය ද ඔබගේ මව තම ශරීරය දක්වමින් කිරි දුන් පියයුරු පෙන්වමින් ඔබට ආයාචනා කළද ඔබට ඇත්තේ ඔවුන් දෙපයින් පාගාදමා ක්‍රිස්තුස්වහන්සේ වෙතට ඉදිරියටම යෑමය.” මාටින් ලූතර් මෙම හිඟන පූජක නිකාය හඳුන්වා දුන්නේ “අතිභයානක අමානුෂික කුරිරු තත්ත්වය” ලෙසය, ක්‍රිස්තියානි සහ මිනිස් ගුණාංග ඇති කණ්ඩායමකට වඩා වෘක ගතිගුණ ඇති අනුකම්පා විරහිත ආයතනයක්ද” දෙමාපියන්ට විරුද්ධව දරුවන්ගේ සිත් පිත් නැති තත්වයකට පත් කරන්නා වූ දරදඬු පාලනයක් සතු රකුස් සංවිධානයක්ද ලෙසය. (උපුටා ගැනීම අංක 1Sears, Barna s, ” Life of Luther.” pp. 70,69.). යේසුස්වහන්සේගේ කාලයේ සිටි එරිසිවරුන් මෙන් මෙම පාප් සමවාදී නායකයෝ තමන්ගේ ගතානුගතික සම්ප්‍රදායන් ඔසවා තබමින් දෙවියන් වහන්සේගේ ආඥාව බලරහිත කළෝය. මෙසේ ගෙවල් ශෝකයෙන් පිරී පාළු තැන් බවට පත්විය. තමන්ගේ දූ පුතුන්ගේ සමාගම දෙමාපියන්ට අහිමිවිය.GrHSin 76.2

    විශ්ව විද්‍යාලවල ශිල්ප හදාරමින් සිටි සිසුන් පවා පූජකවරුන්ගේ ව්‍යාජ ප්‍රකාශනවලට මුළාව තාපස නිකායවලට බැඳීමට පොලඹවනු ලැබූහ. තාපස නිකායට, ඇතුළු වීමෙන් තමන්ගේ ජීවිත කාලකණ්නි වූ නිසාත් තමන් ගත් තීරණය නිසා දෙමාපියන්ට දුක සහ පීඩනය ඇතිවීම ගැනත් බොහෝ දෙනා පසුව සන්තාපයට පත් වූහ. එහෙත් එහි උගුලට අසු වීමෙන් පසුව ඉන් නිදහස ලැබීම් අපහසුවිය. ඔවුන්ට ඉන් ගැලවීමක් නැති විය. පූජකවරුන්ගේ බලපෑමට හසු වේ යැයි බියෙන් බොහෝ දෙමාපියෝ තම පුතුන් විශ්වවිද්‍යාල වලට යැවීමට අකමැති වූහ. විද්‍යා පීඨවල සිසුන්ගේ සංඛ්‍යාව විශාල ලෙස පහත වැටිණි. විදුහල් පිරිහීමට පත් විය. නූගත්කම සෑම තැනක ම පැවැතියේ ය.GrHSin 77.1

    බැතිමතුන්ගේ පාපොච්චාරණ වලට ඇහුම්කන් දීමටත් පව් වලට සමාව දීමටත් පාප්තුමා මෙම පූජකවරුන්ට බලය පවරා දුන්නේය. මෙය නපුරට මහත් රුකුලක් විය. තමන්ගේ ලාභ ප්‍රයෝජන තරකර ගැනීමට නැඹුරු වී මේ පූජකවරු කුමන ආකාරයේ හෝ පව් වලට සමාව දීමට සූදානමින් සිටි නිසා විවිධ ආකාරයේ අපරාධකරුවෝ ඔවුන් වෙතට පැමිණියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉතා දරුණු දූෂණ සහ අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ නැංගේය. දුගී වූද, රෝගීවූ ද අයව දුක්විඳීමට හරින ලදී. ඔවුන්ට පිහිට වන්නට තිබූ මිල මුදල් පූජකයන්ගේ අතට පත්විය. තමන්ට දානය දෙන්න යැයි පූජකවරු තර්ජනය කර බල කළෝය. තමන්ගේ නිකායට තෑගි භෝග ලබා දෙන්නේ නැති අය භක්තියක් නැති අය ලෙසින් පූජකයන්ගේ අවමානයට ලක් වූහ. තමන් දුගී පූජකයන් යැයි ඔවුන් පැවසුවද ඔවුන්ගේ ධන සම්පත් නිරතුරුවම වර්ධනය විය. ඔවුන්ගේ දැකුම්කළු මාළිගා සහ සුඛෝපභෝගී කෑම වලින් පිරුණාවූ මේස ඔවුන්ගේ ජාතියේ දුගී භාවය වර්ධනය වන බව පෙන්නුම් කළේය. සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සැප සෙල්ලමින් දිවිගෙවූ ඔවුහු තමන් වෙනුවෙන් ජනතාව අතරට නූගත් මිනිසුන් යවමින් ඉතා පුදුමාකාර ප්‍රබන්ධ වමාරමින්, මිත්‍යා හෝ අද්භූත කතාන්දර පවසමින්, ජනතාව විනෝදයට පත් කිරීමට විහිළුතහළු පවසමින් ඔවුන් වෙතට ජනතාව ඇද ගැනීමට ඇම දුන්නෝය. මිත්‍යා ඇදහිලි වල ඇලී ගැලී සිටි ජනතාව කෙරෙහි තම ග්‍රහණය දැඩි ලෙසින් තද කරගනිමින් ඔවුන්ට ස්වර්ගයේ ස්ථානයක් හිමිකර ගැනීමට අවශ්‍ය වූ ආගමික වතාවත් වන්නේ පාප්තුමාගේ ශ්‍රේෂ්ඨත්වය පිළිගැනීමත්, සාන්තුවරයන් ට වන්දනා කිරීමත්, පූජකයන්ට තෑගි භෝග ලබා දීමත් බව විශ්වාස කිරීමට ඔවුහු මිනිසුන්ට මඟ පෙන්වූහ.GrHSin 77.2

    මෙම පූජා පිළිවෙල ‍තුළට ප්‍රතිසංස්කරණයක් ගෙන ඒමට බුද්ධිමතුන් සහ සැදැහැවතුන් නිරර්ථකයේ මහත් පරිශ්‍රමයක් දරා තිබුණි. මෙම ක්‍රියාදාමය පිළිබඳව සුපැහැදිලි අවබෝධයක් තිබූ වික්ලීෆ් නපුරේ මුලටම පහර එල්ල කළේය. එම පද්ධතියම වැරදි සහගත බවත් එය අවලංගු කර දැමිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. සාකච්ඡා සහ විමසීම් පිබිද එන්නට පටන් ගත්තේය. දේශයේ තැනින් තැන යමින්, පාප්තුමාගේ පව් සමාව අලෙවි කරමින් මේ පූජකවරුන් ක්‍රියාත්මක වූ විට මුදලට පව් කමාව ලබාගත හැකිවේදෝ බොහෝ අය තුළ සැකයක් ඇති විය. රෝමයේ බලධරයා ගෙන් නොව තමන් දෙවියන්වහන්සේගෙන් පව් කමාව ඉල්ලා සිටිය යුතු නොවේදැයි ඔවුහු ප්‍රශ්න කළෝය. කිසිම දිනක හෝ නොසන්සිඳෙන තෘෂ්ණාවක් තිබූ පූජකයන්ගේ ඉතා ගිජු කෑදරකම බොහෝ දෙනකු බියට සහ චකිතයට පත්කළේ ය. “රෝමයේ පූජකයෝ සහ යාචක පූජකයෝ පිළිකාවක් මෙන් අපව ගිලගනිමින් සිටිති. දෙවියන්වහන්සේ අපව මුදවා ගත යුතුය. නැතිනම් අප විනාස වන්නෙමු” යි බොහෝ මිනිස්සු පැවසූහ.( උපුටා ගැනීම අංක 2D’Aubigne, b17, Ch7.) මුදලට වූ තමන්ගේ කෑදරකම වසා ගැනීම සඳහා මෙම හිඟන පූජකවරු විකල්පයක් ගෙනහැර දැක්වූවෝය. තමා ගැලවුම්කරුවාණන්ඟේ ආදර්ශය අනුගමනය කරන බවත් යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් ජීවත්වුණේ ජනතාවගෙන් ලැබූ දීමනාවලින් බවත් හේතු සාධක දක්වමින් තමන් ද එසේ කරන බව ඔවුහු කීවෝය. මෙම කරුණු ඉදිරිපත් කිරීම ඔවුන්ගේ කර්තව්‍යයට බාධාවක් විය. මක්නිසාද යත් ඒ කාරණාවල යුක්තිය එහි සත්‍යතාවයන් දැන ගැනීමට බොහෝ දෙනෙක් බයිබලයේ අඩංගු කරුණු සොයන්නට මගපෙන්වනු ලැබූහ. එයින් උදාවූ ප්‍රතිඵලය රෝමයේ සතුට හේතු නොවීය. මිනිසුන්ගේ මනස් සත්‍යතාවයේ උල්පත වෙත යොමු විය. එය සඟවා තැබීම සභාවේ අරමුණ විය.GrHSin 78.1

    මේ යාචක පූජකයන්ට එරෙහිව පත්‍රිකා ලියා පළ කිරීමට වික්ලීෆ් පටන් ගත්තේය. ඔවුන් සමග මතභේදයකට යොමු වීම ඔහුගේ අරමුණ නොවීය. බයිබලයේ ඉගැන්වීම් හා එහි කර්තෘවරයාණන් වෙතට අවධානය යොමු කිරීම සඳහා ජනතා මනස පෙළඹවීම ඔහුගේ අභිප්‍රාය විය. යම් පුද්ගලයකුට කමාව දීම හෝ පුද්ගලයකු සභා සාමාජිකත්වයෙන් නෙරපා දැමීම පාප්තුමාට හිමිවූ තනි බලයක් නොව වෙනත් සාමාන්‍ය පූජකයෙකුට ද එම වරම හිමි බව ඔහු ප්‍රකාශ කළේය. යම්කිසි පුද්ගලයෙක් දෙවියන්වහන්සේගේ දෝෂාරෝපණය තමා පිට ම පවරා ගන්නේ නැතිනම් ඔහුව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ නොහැකි යැයි හෙතෙම පැවසීය. ආත්මික හෝ භෞතික ආධිපත්‍යය නැමති අති විශාල කඩතුරාව සුණු විසුණු කර දැමීමට මෙයට වඩා සාර්ථක කාර්යය සාධක පියවරක් ඔහු සතුව තිබුනේ නැත. පාප්තුමා විසින් ඉදිකර තිබූ මෙම කඩතුරාව මගින් දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ ශරීර සහ ආත්ම ග්‍රහණය කරනු ලැබ තිබුණේ ය.GrHSin 78.2

    ඉංග්‍රීසි ඔටුන්නෙහි අයිතිවාසිකම් බලෙන් අත්පත් කරගැනීමට රෝමානුවන් විසින් තැත් කිරීමේදී තම රජයේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට විකිලීෆ්ව නැවත වරක් කැඳවනු ලැබීය. රාජකීය තානාපතිවරයකු වශයෙන් පත්වීම් ලැබ ඔහු නෙදර්ලන්තයේ අවුරුදු දෙකක් ගත කළේය. එහිදී ඔහු පාප්තුමාගේ බලය ලත් නිලධාරීන් සමග සම්මන්ත්‍රණයන්ට සහභාගී විය. ප්‍රංශයෙන්, ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් පැමිණි ආගමික විශාරදයන් සමග සාකච්ඡා කිරීමට ඔහුට එහිදී ඉඩප්‍රස්ථාව ලැබුණේය. පාප් සමවාදීන්ගේ ක්‍රියාදාමයන්හි සහ ඉගැන්වීම්වල යටි අදහස් අභ්‍යන්තර අරමුණු දැන ගැනීමට මෙසේ ඔහුට හැකි විය. තිරය පසුපස අරක්ගෙන තිබූ යථාර්ථය ඔහුට පැහැදිලිවම දැකගැනීමට අවස්ථාව ලැබුනේය. එංගලන්තයේ සිටියා නම් මෙම දේවල් දැන ගැනීමට ඔහුට ඉඩක් ලැබෙන්නේ නැත. ඔහු විසින් පසුකලෙක නිරත වන්නා වූ සේවාවන් සඳහා භාවිතා කළ හැකි කරුණු රාශියක් ඔහු මෙසේ ඉගෙන ගත්තේ ය. පාප්තුමාගේ බල මණ්ඩලයේ සිට පැමිණි මෙම පාප් සමවාදී නියෝජිතයන්ගෙන් පාප්තුමාගේ බල අධිකාරියෙහි අරමුණු මෙන්ම ඇයගේ සත්‍ය වූ චරිතයද පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමට ඔහුට හැකි විය. රටින් බැහැරව යාමට පෙර තමා කළ ඉගැන්වීමේ කටයුතු තවදුරටත් විවෘතව කරගෙන යෑමේ අදිටනින් ඔහු පෙරළා එංගලන්තයට පැමිණියේය. රෝමයේ දෙවිවරුන් වන්නේ අනුන්ගේ දෙයට ආශා කිරීම, අහංකාරය සහ රැවටීම බව ඔහු වැඩි ජ්වලිතයකින් යුතුව අභීතව ප්‍රකාශ කළේය. පාප්තුමා සහ ඔහුගේ බදු එකතු කරන්නන් ගැන ඔහු වරක් තම පත්‍රිකාවක මෙසේ ප්‍රකාශ කළේ ය. “අපේ රටේ දුගී ජනතාවගේ ජීවිකාව සඳහා වූ සම්පත් ඔවුන් ඩැහැ ගන්නෝය. ආගමික වත්පිළිවෙත් සහ ආත්මික දේවල් සඳහා යැයි කියමින් වසරක් පාසා ඔවුහු රජතුමාගේ මුදල්වලින් පවුම් දස දහස් ගණනින් අය කර ගනිති. මෙය වනාහි ආත්මික දේවල් මුදලට විකිණීමේ ශාපලත් ව්‍යාපාරයකි. සකල ක්‍රිස්තියානි ලෝකය ම ඔහුට අවනත වීමටත්, එය පිළිගැනීමටත්, එය පවත්වාගෙන යාමටත් ඔවුහු සලස්වති. අප රාජධානියෙහි විශාල රත්තරන් කන්දක් තිබුණේය. එයින් කිසිවක් හෝ කඩා ගැනීමට කිසිම මනුෂ්‍යයෙක් උත්සාහ කළේ නැත. එහෙත් මෙම උඩඟු ලෞකික පූජකයාගේ බදු එකතු කරන්නා කාලයාගේ ඇවෑමෙන් මෙම කන්ද වියදම් කිරීමෙහි යෙදී සිටි. ඔහු අපගේ දේශයේ මුදල් නිරතුරුවම දේශයෙන් පිටතට රැගෙන යන්නේය. ඔහුගෙන් අපට ලැබෙන්නේ ආත්මික දීමනාව විකිනීමේ ශාපය පමණය.“( උපුටා ගැනීම් අංක 3Lewis, Rev. John, “History of the life and sufferings of J. Wiclif,” p.37 (ed 1820)).GrHSin 79.1

    වික්ලිෆ් නැවත තම නිජ භූමිය වෙත පැමිණීමෙන් පසු ලුටර්වර්ත් විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස රජතුමාගෙන් ඔහුට පත්වීම ලැබුණේ ය. ඔහුගේ අවංක සෘජු කතාකිරීම නිසා රජතුමා තුළ අප්‍රසන්නතාවයක් නැති බව මෙම පත්කිරීම සහතික කළේය. ජාතියේ ඇදහිල්ල ගොඩනැගීමේදී ද රජවාසල කටයුතු සංවිධානය කිරීමේදී ද වික්ලීෆ්ගේ අනුබලය මනාව දැකගත හැකි විය.GrHSin 80.1

    පාප් අධිකාරියේ චන්ඩ කුණාටු ඉක්මනින් ඔහුට විරුද්ධව එල්ල විය. පාප්ගේ විශේෂ නියෝග තුනක් එංගලන්තයට යවනු ලැබීය. එකක් විශ්වවිද්‍යාලයටත් එකක් රජතුමාටත් අනෙක පූජකවරුන්ටත් විය. මෙම නියෝග තුන‍නෙන්ම අණකර තිබුණේ ඔහුගේ හඬ වහාම ක්‍රියාත්මකවී ආගම් විරෝධී ගුරුවරයා නිහඬ කරන පිණිස වඩා තීරණාත්මක ලෙස පියවර ගැනීම අවශ්‍ය බවය.(උපුටා ගැනීම අංක 4Neander, “History of the Christian religion and Church,” Period 6, Sc2, Part 1, Par 8.) මෙම නියෝග ළඟාවීමට පෙර, පූජා ප්‍රසාදිවරුන් ජ්වලිතයෙන් පිරීගොස් පරීක්ෂණයක් සඳහා වික්ලිෆ්ව ඔවුන් ඉදිරියට කැඳෙව්වෝය.රාජධානියෙහි බලගතු කුමාරවරු දෙදෙනෙක් ද වික්ලිෆ් සමග විනිශ්චය මණ්ඩලයට ගියෝය. විනිශ්චය ශාලාව වටා රැස්ව සිටී විශාල ජනකාය වික්ලිෆ් පසුපස ඇතුළට කඩා වැදුණෝය. එයින් බියට පත් විනිශ්චයකරුවෝ විභාගය කල් දමා සමාදානයෙන් යුතුව ගෙදර යාමට ඔහුට ඉඩ හැරියෝය. ප්‍රතිසංස්කරණවාදීයාට විරුද්ධව බලපෑම් කිරීම සඳහා පූජකයන් විසින් යොදා ගැනීමට උත්සාහ කළ 3 එඩ්වර්ඩ් රජතුමා මහලු වියට පත්ව අපවත් විය. වික්ලිෆ්ගේ ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කළ තැනැත්තා එවිට රජකමට පත් විය.GrHSin 80.2

    එහෙත්, ආගම් විරෝධීයා වහාම සිර සිරභාරයට ගෙන සිරගත කරන ලෙස පාප් බල අධිකාරියෙන් නියෝග ලැබීමත් සමගම එංගලන්තයට ඉතා සංවේදී ගැටලුවකට මුහුණපෑමට සිදුවිය. මෙහිදී දිය යුතු දඬුවම වනාහී කණුවක බැඳ දමා යටින් ගිනි ඇවිලවීමය. විකිලිෆ්ගේ ජීවිතය රෝමයේ පළිගැනීමට ඉක්මනින්ම ගොදුරු වන්නට යන බව ස්ථිරවම සැමට පෙනී ගියේය. ” භය නොවන්න, මම නුඹේ පලිහ” වන්නෙමියි ( උප්පත්ති 15:1) පුරාණයේදී විසූ කෙනෙකුට ප්‍රකාශ කළ තැනැන්වහන්සේ තම සේවකයා ආරක්ෂා කර ගැනීමට නැවත වරක් තම ශ්‍රී සුරත දිගු කළ සේක. මරණය පැමිණියේ ප්‍රතිසංස්කරණවාදීයාට නොව ඔහුගේ විනාශය නියෝග කළ පාප්තුමාටය. එකොළොස්වන ග්‍රෙගරි මළේය. වික්ලිෆ්ව විනිශ්චය කිරීමට රැස්ව සිටි විනිශ්චය මඩුල්ල විසිරී ගියේය.GrHSin 80.3

    ප්‍රතිසංස්කරණයේ වර්ධනය සඳහා අවස්ථාවක් ලබා දීමට දෙවියන්වහන්සේගේ මැදිහත්වීම තුළින් යම් සිද්ධීන් තවදුරටත් ක්‍රියාත්මක විය. ග්‍රෙගරි ගේ වියෝවෙන් පසුව විරුද්ධවාදී පාප්වරුන් දෙදෙනකු තෝරා පත්කර ගන්නා ලදී. පවසන්නා වූ යම් දෙයක් වේද, එය කිසිසේත්ම වැරදි විය නොහැකියයි පවසමින් එකිනෙකාට විරුද්ධ බලවේග දෙකක් ජනතාවගේ කීකරුකම ඉල්ලා සිටියෝය. ඇදහිලිවන්ත බැතිමතුන්ගේ සහයෝගය අනෙකාට විරුද්ධව සටන් කිරීමට තමන්ට ලබාදෙන ලෙස දෙදෙනා ම ඉල්ලා සිටියහ. තමන්ට විරුද්ධව ක්‍රියා කරන්නන් අති ශාපයට යටත් වන බවටත් සහයෝගය දෙන්නට ස්වර්ගයේ සම්පත් සහ තිළිණ ලැබෙන බවටත් දෙදෙනාම පොරොන්දු වූහ. මෙම සිදුවීම පාප් අධිකාරියෙහි බලය දැඩි ලෙස දුර්වල කළේය. විරුද්ධවාදී පාර්ශවයන් දෙක එකිනෙකා සමග ඇණ කොටා ගත් අතර වික්ලිෆ්ට ටික කලකට නිවාඩුවක් ලැබුණි. එක් පාප්තුමෙකුගෙන් අනෙක් පාප්තුමාට අතිශාප මෙන්ම දෝෂාරෝපණයන්ද එල්ල වන්නට විය. විරුද්ධවාදීන්ගේ අයිතිවාසිකම් ස්ථාවර කරගැනීමට රුධිරය ජල ප්‍රවාහයක් ලෙස ගලා යෑමක් සිදුවිය. අපරාධ සහ දුරාචාර පුවත් සභාව තුළ සුලබ විය. ඒ අතරතුරේ දී ලුටර්වර්ත් දෙව් මැදුරෙහි විවේකීව කාලය ගත කළ ප්‍රතිසංස්කරණවාදියා මිනිසුන්ගේ අවධානය තරග වැදී පාප්වරුන් ගෙන් ඉවතට යොමු කොට සාමයේ කුමරුවන් වන යේසුස්වහන්සේ වෙත යොමු කිරීමට යුහුසුළුව ක්‍රියා කරමින් සිටියේය.GrHSin 81.1

    බල අධිකාරියේ මෙම බෙදීම නිසා ඇති වූ අවුල් සහගත දූෂණවල ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිසංස්කරණය සඳහා දොරටු විවෘත කරමින් පාප් අධිකාරිය කුමක්දැයි මිනිසුන්ට හරියාකාරව දැන ගැනීමට සැලැස්විය. වික්ලිෆ් විසින් පාප් තුමන්ලාගේ භේදය ගැන ප්‍රකාශයට පත්කළ එක් පත්‍රිකාවකින් ඔහු දැක්වූයේ පූජක අර්බුදය පැවති අතරේදී එක් පක්ෂයක් අනෙක් පාර්ශවය අන්ත ක්‍රිස්තුස් යැයි චෝදනා කළ අතර අනික් පක්ෂය ද ප්‍රතිවිරුද්ධ පක්ෂය අන්ත ක්‍රිස්තුස් ප්‍රතිචෝදනා කළ බවය. එබැවින් මෙම පූජකයන් දෙදෙනා මෙසේ ඔවුන් ඔවුන්ට චෝදනා කරමින් සත්‍ය පවසනවා නොවේ දැයි සලකා බලන ලෙස වික්ලිෆ් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ” යක්ෂයා එක් පූජකයෙකු තුළ පමණක් නොව දෙදෙනෙකු තුළ ක්‍රියා කරමින් සිටි බැවින් මනුෂ්‍යයන්ට පහසුවෙන්ම ක්‍රිස්තුස්වහන්සේගේ නාමය කරණ- කොට ගෙන ඔවුන් දෙදෙනාගෙන්ම ජය ගැනීමට පුළුවන් වන්නේ“යි ඔහු පැවසුවේය.” (උපුටා ගැනීම අංක 5Vaughan, R, “Life and opinions of John D Wyclffe,” Vol.trII.p.6(ed 1831))GrHSin 81.2

    තමාගේ ස්වාමියාණන් මෙන් වික්ලිෆ්ද දුගී ජනතාවට ශුභාරංචිය දේශනා කළේය. තමන්ගේ නිල ප්‍රදේශය වූ ලුටර්වර්ත්හි දුගී ජනතාවගේ නිවෙස් වලට පමණක් ආලෝකය බෙදා හැරීමෙන් තෘප්තියට පත් නොවූ හෙතෙම, සත්‍යතාවයේ ආලෝකය සමස්ත එංගලන්තය පුරාම පතුරුවාලිය යුතු යයි අධිෂ්ඨාන කරගත්තේය. මේ සඳහා ඔහු භක්තිමත් අය කිහිප දෙනෙකු තෝරාගෙන ඔවුන් දේශක කණ්ඩායමක් ලෙස සංවිධානය කළේය. ඔවුන් සත්‍යතාවයට ඇලුම් කළ අය වූ අතර එම සත්‍යතාවය පතුරුවා හැරීම තරමට අන් කිසි දෙයකට ආශා නොවූහ. කඩ මන්ඩියේ, විශාල නගරයන්හි වීදි දිගේ, ගම්බද මාවත් පුරා යමින් මෙම දේශනකරුවෝ ශුභාරංචිය පතළ කර හැරියෝය. ඔවුහු වයස්ගත අය, රෝගී වූ අය හා දුගී අය සොයා ගොස් දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ශුභාරංචි ඔවුන්ට විවෘත කළෝය.GrHSin 82.1

    ඔක්ස්ෆර්ඩ් සරසවියෙහි දේවධර්ම මහාචාර්යවරයා වූ වික්ලිෆ් විශ්ව විද්‍යාලයේ ශාලා තුළ දෙවියන්වහන්සේගේ වචනය දේශනා කළේ ය. තමා යටතේ ඉගෙන ගත් සිසුන් ඉදිරියෙහි හෙතෙම කෙතරම් විශ්වාසවන්ත ලෙස සත්‍යතාව ඉදිරිපත් කළේද යත් ඔහු ” ශුභාරංචි මහාචාර්යවරයා” යන නිල නාමයෙන් පිදුම් ලැබුවේය. ඔහුගේ ජීවිතයේ ‍ශ්‍රේෂ්ඨතම කර්තව්‍ය වූයේ ශුද්ධ ලියවිලි ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමය.” ශුද්ධලියවිල්ලේ සත්‍යතාව සහ තේරුම” යන මැයෙන් කළ කෘතියක ඔහු සඳහන් කර තිබුණේ එංගලන්ත වැසියන්ට තමන්ගේම මවු බසින් දෙවියන්වහන්සේගේ පුදුමාකාර ක්‍රියාදාමය කියවීමට අවස්ථාව ලබා දීම් වස් ශුද්ධලියවිලි ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම තමාගේ බලාපොරොත්තුව බව ය.GrHSin 82.2

    හදිසියේම ඔහුගේ වැඩ කටයුතු නතර විය. මේ වන විට ඔහුගේ වයස අවුරුදු හැටක් වත් නොවීය. වෙහෙස නොබලා නිවාඩු නැතිව සේවය කිරීමද, ඉගෙනීමේ කටයුතුවල නිරතවීමද, සතුරන්ගේ හිංසා පීඩාවන් ද ඔහුගේ ශක්තිය කෙරෙහි අසුභ ඵල උදා කරමින් නියමිත කාලයට ප්‍රථම ඔහු මහළු බවට පත් කළේය. ඔහු භයානක රෝගයකට ගොදුරු විය. මෙම පුවත පූජකයන්ට ඉමහත් ප්‍රීතියක් ගෙන දුන්නේය. ඔහු විසින් සභාවට සිදුකළ මහත් නපුර, ව්‍යසනය ගැන ඔහු අධික ලෙස තැවෙනවා ඇතැයි කල්පනා කළ ශ්‍රමණයෝ ඔහුගේ පාපොච්චාරණය ඇසීමට ඔහු සිටි කාමරය වෙත හනික පැමිණියෝය. ආගමික නිකායන් හතරක නියෝජිතයන් සහ සිවිල් නිලධාරීන් සතර දෙනෙක් මරණාසන්න ව සිටිනවා යැයි සිතූ වික්ලිෆ් වටා රැස් වූහ. ” මරණය ඔබේ තොල මත රැඳී ඇත. ඔබ කර ඇති වැරදි ගැන මෙනෙහි කරන්න. අපගේ හානියට හේතු වූ ඔබගේ ප්‍රකාශන සියල්ලම අප ඉදිරියේ ඉල්ලා අස්කර ගන්න“යි ඔවුහු පැවසූහ. ඔවුන් කියන්නාවූ සෑම දෙයක්ම විකිලිෆ් නිශ්ශබ්ද ව අසා සිටියේය. තමාව ඔසවා තබන්නැයි ඔහු සාත්තු සේවකයාට පැවසීය. තමා ප්‍රකාශ කර ඇති දේ ඉල්ලා අස්කර ගන්නා තෙක් බලා සිටි අය දෙස එක එල්ලේ බැල්ම හෙලා ඔවුන් නිතරම වෙව්ලීමට ලක් කළා වූ දැඩි ස්වරයෙන් ඔහු ඔවුන්ට මෙසේ පැවසීය. ” මම මැරෙන්නේ නැහැ. මම තවත් ඉදිරියටත් ජීවත් වෙනවා. පූජකයන්ගේ නපුරු දුෂ්ට ක්‍රියාවන් මම නැවතත් ප්‍රකාශ කරනවා.” (උපුටා ගැනීම අංක 6D’Aubigne, b17, Ch7.) විශ්මයටත්, ලැජ්ජාවටත් පත් පූජකයෝ වහා වහා කාමරයෙන් පිටතට ගියහ.GrHSin 82.3

    විකිලිෆ්ගේ වදන් ඉටුවිය.රෝමයට එරෙහිව වූ ප්‍රබලතම ආයුධය ඔහු තම රටවැසියන්ගේ සුරතට පත් කළේය. මිනිස් සතහට නිදහස උදා කර දීමටත්, ඔවුන්ගේ මනස ආලෝකමත් කිරීමටත්, ඔවුන්ව ගැලවීමේ මාර්ගය පිලිබද දැනුවත් කිරීමටත් වූ ස්වර්ගීය දහම් මාලාව වූ බයිබලය ජනතාවට ලබා දුන්නේ ය. මෙම ශ්‍රී පුස්තකය පරිවර්තනය කිරීමේදී ඔහුට මහත් බාධාවන්ට මෙන්ම හිරිහැර වලට ද මුහුණ දෙන්නට සිදුවිය. රෝගය නමැති සතුරා ඔහුට නිතර නිතර පහර දුන්නේය. කර්තව්‍යය නිමකිරීමට තමාට ඇත්තේ තව කෙටි කාලයක් පමණක් බව ඔහු දැන සිටියේය. ඔහු තමා මුහුණ දිය යුතු බාධාවන් සහ විරුධතාවන් දුටුවේය. දෙවියන් වහන්සේගේ වචනය මගින් දිරිය ලැබූ හෙතෙම පසුබට වීමකින් තොරව ඉදිරියට කටයුතු කරගෙන ගියේය. ඔහුගේ සේවයෙහි විශිෂ්ටතම කාර්යය වූ ශුද්ධ බයිබලය පරිවර්තනය කිරීම සඳහා දෙවියන් වහන්සේගේ විශේෂ සැපයීම සහ මගපෙන්වීම කරණ කොට ගෙන ඔහුගේ ජීවිතය ආරක්ෂිතව තිබුණේය. ඔහුගේ බුද්ධිමය ශක්තියේ උපරිම ජවය තිබූ අවස්ථාවේදී, අත්දැකීම් බහුල ව තිබූ මේ සමයේදී, දේව වචනය පරිවර්තනය කිරීමට ඔහු මනා ලෙස සූදානම් කර රැකවරණය කරනු ලැබ සිටියේය. මුළු ක්‍රිස්තියානි රාජ්‍යම කැළඹීමට පත්ව තිබූ ඒ කාලයකදී ප්‍රතිසංස්කරණවාදියා ලුටර්වර්ත්හි දෙව්මැදුරු නිල නිවාසයට වී අවට පැවැති චණ්ඩ කුණාටු ගැන අවධානය යොමු නොකර නිදහසේ තම කාර්යභාරය ඉදිරියටම කරගෙන ගියේය.GrHSin 83.1

    අන්තිමේදී ශුද්ධවූ බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම නිමාවට පත්විය. එංගලන්ත ජනතාවට දෙවියන් වහන්සේගේ වචනය විවෘත විය. සිරගෙය හෝ කණුවකට බැඳ දමා ගිනි තබනු ලැබීම ගැන ‍ප්‍රතිසංස්කරණවාදීයාට ප්‍රශ්නයක් නොවීය, බියක් ද නොවීය. කිසිම කලෙක නිවා දැමිය නොහැකි ආලෝකයක් ඔහු ඉංග්‍රීසි ජාතිකයන් අත තැබීය. යුද පිටියේදී ලබාගන්නාවූ අතිවිශිෂ්ට ජයග්‍රහණයකට වඩා විශාල ජයක් ඔහු තම රට වැසියන්ට ලබා දුන්නේය. බයිබලය තම රටේ ජනතාව අතට පත් කිරීමෙන් ඔහු නූගත්කමෙහි බැමි බිඳ දමන්ටත් දූෂණයෙන් ජනතාව මුදා ගැනීමටත්, තම රටට නිදහස ලබාදී ඉහළ තලයකට රට යොමු කිරීමටත් මඟ පෑදූ බලවත් සේවයක් ඉටු කළේය.GrHSin 83.2

    මේ වන විට මුද්‍රණ ශිල්පය ලොවට බිහි වී නොතිබුණු බැවින් ශුද්ධවූ බයිබල් පිටපත් වැඩි කර ගැනීම සිදුවූයේ ඉතා සෙමෙන් සහ අමාරුවෙන්ය. පිටපතක් හිමිකර ගැනීමට තිබූ ආශාව කෙතරම් ප්‍රබල වී ද යත් අතින් ලියා පිටපත් සෑදීමට බොහෝ අය කැමැත්තෙන් ම ඉදිරිපත් වූහ. එහෙත් අවශ්‍යතාවට සරිලනසේ පිටපත් නිෂ්පාදනය කිරීම අසීරු විය. පොහොසත් සමහරෙක් ශුද්ධ වූ බයිබලයේ සම්පූර්ණ පිටපතක් මිලදී ගැනීමට කැමැත්ත දැක්වූවෝය. තවත් අය බයිබලයේ කොටස් පමණක් මිලදී ගත්හ. බොහෝ අවස්ථාවලදී පවුල් කිහිපයක් එක්වී සම්පූර්ණ ශුද්ධවූ බයිබලයක් මිල දී ගත්තෝය. මෙසේ වික්ලිෆ්ගේ බයිබලය ජනතාවගේ නිවෙස් වලට ඇතුල් විය.GrHSin 84.1

    තෝරා බේරා ගැනීමට ජනතාව කළ ආයාචනාව පාප් සමවාදි ඉගැන්වීම්වලට තිබූ අක්‍රිය යටත් වීමෙන් මිනිසා පුබුදුවාලීමට සමත් විය. වික්ලිෆ් දැන් ප්‍රොතැස්තන්ත වාදයේ, ප්‍රතිසංස්කරණවාදයේ විශේෂිත ධර්මතාවන් ඉගැන්වීය. ක්‍රිස්තුස්වහන්සේ තුල වූ ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම ලැබීම සහ ශුද්ධ ලියවිල්ලෙහි නොවරදින සුළු ස්වභාවය එහි මුල් තැනක් ගත්තේය. ඔහු විසින් පිටත්කර හරිනු ලැබූ දේශනා කරුවෝ ශුද්ධවූ බයිබලය බෙදා හැරියෝය. ඒ සමගම ඔව්හු වික්ලිෆ්ගේ පත්‍රිකා ද ජනතාව අතට පත් කළෝය. මෙම ක්‍රියාදාමය එංගලන්තය තුළ කෙතරම් සාර්ථකත්වය ලැබීද යත් එහි ජනතාවගෙන් අඩක් පමණ නව ඇදහිල්ල පිළිගත්තෝය.GrHSin 84.2

    ශුද්ධලියවිලි එළිදැකීම සභාවේ බලධරයන්ට විමතියක් ගෙන දුන්නේ ය. වික්ලිෆ්ට වඩා ප්‍රබල බල අධිකාරියකට දැන් ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවිය. එම බලයට විරුද්ධව නැගී සිටීමට ඔවුන් සතු ආයුධ වලට හැකියාවක් තිබුනේ නැත. මේ වන විට ශුද්ධවූ බයිබලය තහනම් කරන්න නීති එංගලන්තයේ නොතිබුණේය; මක්නිසාදයත් ශුද්ධවූ බයිබලය පොදු ජනතාවගේ භාෂාවෙන් මෙයට පෙර පළ වී නොතිබුණි. පසුකලෙක එවන් නීති සම්මත වී දැඩි ලෙස ක්‍රියාත්මක විය. බයිබලය කියවීමට අකුල් හෙළීමට පූජක පක්ෂය දැඩි ප්‍රබල වෙහෙසක් දැරූ නමුත් දෙවියන්වහන්සේගේ වචනය බෙදා හැරීමේ කාර්යය සඳහා අවස්ථාවක් ලැබුණේය.GrHSin 84.3

    නැවත වතාවක් පාප් වාදී නායකයෝ ප්‍රතිසංස්කරණවාදියාගේ හඬ නිසල කිරීමට කුමන්ත්‍රණය කළහ. විභාගය සඳහා විනිශ්චය මණ්ඩල තුනක් ඉදිරියට ඔහුව යළි යළි කැඳවන ලදී. එහෙත් එයින් කිසි ඵලයක් නොවීය. ප්‍රසාදි පූජකයන්ගෙන් සැඳුම්ලත් ධර්මාධිකාරී සභාවක් ඔහුගේ ලිඛිත ලිපි ලේඛන ධර්මයට විරුද්ධ යැයි තීරණයක් ප්‍රකාශ කළේය. දෙවන රිචඩ් නම් වූ යොවුන් රජතුමා තමන්ගේ පැත්තට දිනාගත් ඔවුහු ආගම් විරෝධී යයි තීන්දු කළ දහම් අනුගමනය කරන්නාවූ කවරෙකු හෝ වේවා, ඔහුව සිරගෙයි දැමීමට ආඥාවෙන් මග සැලසූහ.GrHSin 85.1

    ධර්මාධිකරණයේ මෙම තීන්දුවට විරුද්ධව වික්ලිෆ් පාර්ලිමේන්තුවට අභියාචනයක් ඉදිරිපත් කළේය. කිසිම බියක් නැතිව හෙතෙම දේව සභා නායකයන්ට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරමින් එය ජාතික පාර්ලිමේන්තුව ඉදිරියට ගෙනාවේය. සභාව විසින් අනුමැතිය ලබාදුන් මහා පරිමාණයේ නින්දාසහගත දූෂිතයන් වහාම ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි ඔහු පැමිණිලි කළේය. අයුතු ලෙස බලෙන් පැහැර ගැනීම් සහ දූෂණ ක්‍රියාදාමයන් ගැන චෝදනා එල්ල කරමින් ඔහු පාප් අධිකාරියට විරුද්ධව සිතට කාවදින ලෙස කරුණු ඉදිරිපත් කළේය. ඔහුගේ සතුරෝ වියවුලට පත් වූහ. ඔහුගේ මිතුරන් සහ සහායකයන් මේ පාප් අධිකාරියට යටත් කරනු ලැබූහ. වයෝවෘද්ධව සිටි ඔහු හුදෙකලා බවට පත්වී තනිවු මේ අවස්ථාවේදී ඔටුන්නෙහි සහ පාදර්ශක මකුටයෙහි ඒකාබද්ධ බල අධිකාරියට දණ නැමීමට යොමු වෙනවා ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූහ. නමුත් මේ අවස්ථාවේදී පාප් ප්‍රබල සමයවාදී නායකයන්ට තමා පරාජයට පත් වන බව දැකගත හැකි විය. වික්ලිෆ්ගේ චතුර ආයාචනාවන්ගෙන් කැළඹීමට පත් පාර්ලිමේන්තුව ඔහුට විරුද්ධව ගෙනා අඥ්ඥාව නිෂ්ප්‍රභ කළේය. ඔහුට නැවත වරක් නිදහස භුක්ති විඳීමේ භාග්‍යය උදාවිය. GrHSin 85.2

    විනිශ්චය කිරීම සඳහා ඔහුව තුන්වන වතාවටත් රාජ්‍යයේ තිබූ උපරිම ධර්මාධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. මෙම ධර්මාධිකරණයේදී මිසදිටු දහම් නැතහොත් රෝමානු සභාව පිළිගත් සම්ප්‍රදායන්ට හෝ ඇදහිලි ක්‍රමයට හෝ විරුද්ධ වූ වෙනත් ඉගැන්වීමක් පිළිගනු නොලබන්නට තිබුණි. මෙහිදී රෝමය ජය ගන්නවා නියතය, ප්‍රතිසංස්කරණවාදියාගේ වැඩකටයුතුද නිමාවට පත් වෙනවා ඇත යනු පාප් සමයවාදීන්ගේ කල්පනාව විය. ඔවුන්ගේ අභිමතාර්ථය ඉටු වී නම්, වික්ලිෆ් තම ඉගැන්වීම් වැරදි යැයි දිවුරා ප්‍රකාශ කරමින් එම දහම අත්හැර දැමිය යුතුය. එසේත් නැති නම් ඔහු අධිකරණ භූමියෙන් කෙලින්ම යන්නේ ගිනිමැළය වෙතටය.GrHSin 85.3

    නමුත් වික්ලිෆ් තම ඉගැන්වීම් ඉල්ලා අස්කර ගත්තේ නැත. ඔහු තමාගේ නියම හැඟීම් සඟවමින් අධිකරණය රැවටීමට වෑයම් කළේ ද නැත. ඔහු අභීතව තමාගේ ඉගැන්වීම් නිවැරදි බව පවසා සිටියේය; තමාට හිරිහැර කරන්නා වූ අයගේ චෝදනා නිෂ්ප්‍රභා කළේය. තමා ගැන කිසිම තැකීමක් නොකර, තමාගේ තත්ත්වය හෝ අවස්ථාව ගැන තැකීමක් නොකර ඔහු තම ශ්‍රාවකයන්ට දිව්‍ය ත්‍රි පුද්ගල අධිකරණය වෙත පැමිණෙන ලෙස ඉල්ලීමක් කළේය. ඔවුන්ගේ තර්ක සහ මුලාකිරීම් සදාතනික සත්‍යතාවයේ තරාදියෙහි දමා කිරා බලන ලෙස ඔහු කියා සිටියේය. අධිකරණ ශාලාව තුළ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය සහ වැඩසිටීම සැමට දැනෙන්නට විය. ශ්‍රාවකයන් මත දෙවියන් වහන්සේගේ වශී බලයක් පැවතියේ ය. එම ස්ථානයෙන් නික්ම යාමට ඔවුන්ට ශක්තියක් නොවීය. ස්වාමීන්වහන්සේගේ කොපුවෙන් නිකුත් වූ හී සර මෙන් ‍ප්‍රතිසංස්කරණවාදියාගේ වචන ශ්‍රාවකයන්ගේ හදවත් තුළට කිඳා බැස්සේ ය. මිසදිටු දහම් උගන්වන්නේ යැයි කියමින් ඔහුට ගොනුකර තිබූ චෝදනා ඔහු පෙරළා චෝදනා කරුවන් වෙත එල්ල කළේය. ඔහුගේ වචන සත්‍ය ඒත්තු ගන්වන බලයෙන් යුතු විය. ඔවුන් මෙම බොරු ඉගැන්වීම පතළ කිරීමට තරම් නිර්භීත වන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කර සිටියේය. ඔවුන් එසේ කළේ වාසි ලැබීමටය. ඔවුහු දෙවියන්වහන්සේගේ කරුණා අනුග්‍රහය වෙළඳ බඩුවක් බවට පත් කරගෙන තිබුණේය.GrHSin 86.1

    ඔහු මෙසේ පැවසීය. ” ඔබ තරඟ කරන්නේ, වාද කරන්නේ කා සමගද? සොහොනට පය තැබීමට ආසන්නව සිටින මහල්ලෙකු සමඟ ද? එසේ නොවේ. ඔබ වාද කරන්නේ සත්‍යතාව සමගයි. සත්‍යතාව ඔබලාට වඩා බලවන්තයි. එය ඔබ පරදා ජය ගන්නවා සහතිකයි.” (උපුටාගැනීම අංක 7Wylie, b.2, Ch.13) මෙම ප්‍රකාශයෙන් පසුව ඔහු විනිශ්චය ශාලාවෙන් ඉවත්ව ගියේය. විරුද්ධවාදීන් කිසිවෙක් හෝ ඔහුව නවත්වන්නට වෑයම් කළේ නැත.GrHSin 86.2

    දෙවියන්වහන්සේ විසින් විකිලිෆ්ගෙන් බලාපොරොත්තු වූ කාර්යභාරය නිමාවට පත්වෙමින් තිබුණේය. ඔහු මෙතෙක් ඔසවාගෙන සිටී සත්‍යථාවයේ ධජය, ඉතා ආසන්නයේදී ඔහුගේ අතින් ගිලිහී යනවා ඇත. තවත් එක්වරක් ඔහුට ශුභාරංචිය උදෙසා සාක්ෂි දැරීමට නියමිතව තිබුණේය. ජනතාව මුළාවට පත්කරන බොරුවේ රාජධානියේ බලකොටුව ඇතුළත සිට සත්‍යතාවය ප්‍රකාශයට පත් කළ යුතුය.GrHSin 86.3

    රෝමයේ පිහිටි ත්‍රී පුද්ගල ධර්මාධිකරණයක් ඉදිරියට විකිලිෆ්ව කැඳවන ලදී. මෙම ධර්මාධිකරණය මඟින් ශුද්ධවන්තයන්ගේ රුධිරය අනේක වාරයක් වගුරුවා තිබුණි. තමා ඉදිරිපිට වූ අනතුරුදායක තත්ත්වය ගැන ඔහු නොදැන සිටියා නොවේ. මේ අතරේ දී ඔහු පක්ෂඝාතයෙන් රෝගී විය. එහෙයින් ඔහුට රෝමය බලා ගමන් කිරීමට නුපුළුවන් විය. රෝම ධර්මාධිකරණයෙදී ඔහුගේ හඬ ඇසෙන්නට නොලැබෙන්නේ වුවද ඔහුට ලිපි මගින් කතා කළ හැකි විය. එසේ කරන්නට ඔහු තීරණය කළේය. තමා සිටි දේවස්ථානය හා බැඳි නිවසේ සිට ඔහු පාප්වරයාට ලිපියක් යැව්වේය. පාප් බල අධිකාරියේ නායකතුමාට ගරුත්වයෙන් හා ක්‍රිස්තියානි ආත්මයකින් යුතුව මෙසේ ලියනු ලැබූ එම ලිපිය පාප්වරයා ආරූඪ කරගත් උදාරම් විභූතියට සහ උඩගුකමට තරවටුවක් විය.GrHSin 86.4

    ” මම අල්ලාගෙන සිටින්නාවූ ඇදහිල්ල පිළිබඳව සෑම මනුෂ්‍යයෙකුටම විවෘතව ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි. මෙම කාරණය රෝමයේ අගරද ගුරුවරයාට විශේෂයෙන්ම අවධාරණය කිරීමට කැමැත්තෙමි. මම ගෙනහැර දක්වන්නා වූ කාරණා තර්කානුකූලව නිවැරදි බවත්, බයිබලයට අනුකුල බවත් විශේෂයෙන් ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි. අගරද ගුරුවරයා ඉතා කැමැත්තෙන් මාගේ ඇදහිල්ල අනුමත කරනවා ඇත. එහි වැරදි ඇතොත් ඒවා නිවැරදි කරන්න…..”GrHSin 87.1

    ” ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය වනාහි දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි සම්පූර්ණ ශරීරය වන්නේය. මෙලොව සිටින්නාවූ ක්‍රිස්තුස්වහන්සේගේ පරම නියෝජිතයා වශයෙන් පෙනී සිටින රෝමයේ අගරද අනෙකුත් මිනිසුන්ට වඩා ශුභාරංචියෙහි ව්‍යවස්ථාවට ඇලුම් කළ යුතුය, එය හා එක්ව බැඳී සිටිය යුතුය. ‍ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් අතර ශ්‍රේෂ්ඨ ලෙස, උතුම් ලෙස සැලකිල්ලට භාජනය වූයේ ලෞකික ගෞරවය සහ උදාරම් ආටෝපයන් නොවේ. ඔවුන් මහත් ලැදියාවක් පෙන්නුම් කළේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිත ගුණාංග සහ ක්‍රියාදාමයන් ඉතා කිට්ටුවෙන් අනුගමනය කිරීමට ය... වන්දනාකරුවකු ලෙස මෙලොව දිවි ගෙවූ ක්‍රිස්තුස්වහන්සේ ඉතා දිළිඳු පුද්ගලයෙක් වූ සේක. උන්වහන්සේ ලෞකික සියලු ගෞරවය සහ පාලනය අත්හැර දැමූ සේක. එම දේවල් උසස් කොට නොසැලකූ සේක……GrHSin 87.2

    “කිසිම බැතිමතෙක් පාප්වරයාව හෝ වෙනත් සාන්තුවරයකු හෝ අනුගමනය කිරීම යුක්තිසහගත නොවන්නේය. එම අය ස්වාමිවූ යේසුස්ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන ආකාරයෙන් ඔවුන්ව අනුගමනය කළාට කම් නැත. පේතෘස් සහ සෙබදිගේ පුත්‍රයන් දෙදෙනා ද ලෞකික ගෞරවය ලැබීමට ආශා කළෝය. එහිදී ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ පියවර අනුගමනය නොකළෝය. වරදක් කළෝය. එම නිසා ඔවුන් කළ වැරදි ක්‍රියා සහ මාර්ගයන් අනුගමනය කරනු නොලැබිය යුතුය…..GrHSin 87.3

    ” පාප්වරයා භූමික රාජධානිය සහ බලය ලෞකික බලධරයන්ට පවරා දිය යුතු ය. ඔහුගේ පූජකයන්ට ද එසේ කිරීමට මග පෙන්වනු ලැබිය යුතුය. ක්‍රිස්තුස්වහන්සේ එසේ කළ සේක. විශේෂයෙන් ම උන්වහන්සේගේ ගෝලයෝ ද එසේ කළෝය. මෙම කාරණා පිළිබඳව මා අතින් වැරදි සිදුවී තිබේ නම්, එම වැරදි නිවැරදි කරගැනීමට නිහතමානීව අණසකට යටත් වෙමි. එහි දී මාගේ මරණය තීන්දු වුවද මම දඬුවම පිළිගනිමි. මාගේ කැමැත්ත අනුව ක්‍රියා කරන්නට මට හැකියාව තිබේ නම්, මම ඇත්ත වශයෙන්ම රෝම අගරද ගුරුතුමා ඉදිරියෙහි පෙනී සිටිනෙමි. එහෙත් දෙවියන්වහන්සේගේ හස්තය එයට විරුද්ධව මා පාලනය කර ඇත. මිනිසාට වඩා උන්වහන්සේට කීකරු වීමට උන්වහන්සේ මට උගන්වා තිබේ.”GrHSin 88.1

    ඔහු තම ලිපිය මෙසේ අවසන් කළේය.“VI වැනි අර්බන් පාප්වරයා සහ ඔහුගේ පූජකයන්ද ජීවිතයෙන් හා පැවැත්මෙන්ද ක්‍රියාවෙන්ද, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට පොළඹවනු ලැබේවා“යි අපි දෙවියන්වහන්සේට යාච්ඤා කරමු. එය කරණකොට ගෙන ජනතාවට සත්‍ය උගන්වනු ලැබේවා. එසේම ඔවුන්ද ඒ ආකාරයෙන් ඔවුන්ගේ ජීවිත පිළිවෙල අනුගමනය කෙරෙත්වා.” ( උපුටා ගැනීම අංක 8Foxe, “Acts and Monuments” (edited by Rev. J. Pratt) Vol III pp. 49,50.)GrHSin 88.2

    මෙසේ වික්ලිෆ් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මුදු මොළොක් භාවය සහ නිහතමානීකම පාප්වරයාට සහ ධර්මාධියක්ෂකවරුනට හෙවත් කාර්දිනල්වරුන්ට ඉදිරිපත් කළේය. තමා ක්‍රිස්තුස්වහන්සේගේ නියෝජිතවරුන් යැයි ඔවුහු කියා සිටියෝය. නමුත් ඔහු ඔවුන්ට පමණක් නොව මුළු ක්‍රිස්තියානි ලෝකයටම දැක්වූයේ තමා ස්වාමීන් වහන්සේගේ නියෝජිතයන් යැයි ඔවුන් පැවසූ අතර, උන්වහන්සේද ඔවුන්ද අතර පැවති වෙනස කොයි ආකාරද යන්න ය.GrHSin 88.3

    දෙවියන්වහන්සේට පක්ෂපාතීව සිටීම ගැන වන්දිය තමාගේ ජීවිත පූජාව යැයි වික්ලිෆ් අවංකවම සිතුවේය. රජතුමා, පාප්වරයා සහ රදගුරු ප්‍රසාදිවරු ඔහුගේ විනාශය සිදු කිරීමට එකට අත්වැල් බැඳ ගත්තෝය.තව මාස ස්වල්පයකින් ඔහුගේ ඉරණම ගිනි පන්දමක් ලෙස අවසන් වේයැයි සෑම අයෙක්ම සිතුවේය. එසේ වුවද, ඔහුගේ ධෛර්යය සෙලවුණේ නැත, ඔහු හීන වුණේ නැත,” වේද සාක්ෂිකයෙකුගේ ඔටුන්නක් සදහා සෑහෙන කාලයක් බලා සිටිය යුතු යයි සිතන්නේ මන්ද? අහංකාර රෝමානු පූජකයන්ට ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දේශනා කරන්න. වේද සාක්ෂිකාර දිවි පිදීම ඔබට වරදින්නේ නැත. හා! ජීවත්ව සිටින අතර නිශ්ශබ්දව සිටීමට මට පුළුවන්ද?..... එවැනි දෙයකට කොහෙත්ම ඉඩක් නැහැ. මරණීය පහර මා වෙත පතිත වේවා, එය පැමිණෙන තෙක් මම බලා සිටිනවා.” ( උපුටා ගැනීම අංක 9D’Aubigne, b17, Ch 8.).GrHSin 88.4

    එහෙත් දෙවියන්වහන්සේගේ ආරක්ෂක වළල්ල තවදුරටත් තම සේවකයා වටා රැඳී තිබුණේය. තම ජීවිත කාලය පුරා සත්‍යතාව වෙනුවෙන් අභීතව නැගී සිටි මේ මනුෂ්‍යයා, දිනපතාම ජීවිතය පරදුවට තබා ක්‍රියාත්මක වූ මේ මනුෂ්‍යයා, සතුරන්ගේ ක්‍රෝධයේ බිල්ලක් වීමට ඉඩ හැරිය යුතු නොවේ. තමාව ආරක්ෂා කරගැනීමට වික්ලිෆ් කිසිම අවස්ථාවක හෝ ක්‍රියාත්මක වුණේ නැත. දෙවියන්වහන්සේ ඔහුගේ රැකවල්කරුවාණන් වූ සේක. තමන්ගේ ගොදුර ගැන ඔහුගේ සතුරන් ස්ථිර නිගමනයකට බැස සිටි නමුත් දෙවියන්වහන්සේ ඔහුව සතුරන්ගෙන් ඈත් කර තැබූ සේක. ලුටර්වර්ත් හි තම දේවස්ථානයේදී රාත්‍රි භෝජනය සැමරීමේ සත්කර්මය බෙදාදීමට සැරසෙත්ම ඔහු අංශභාගය සෑදී බිම වැටුණේය. ස්වල්ප මොහොතකට පසුව ඔහු ස්වාමීන්වහන්සේ තුළ සැතපුණේ ය.GrHSin 89.1

    දෙවියන්වහන්සේම වික්ලිෆ්ට ඔහුගේ වැඩ කොටස පවරා දී තිබූ සේක. උන්වහන්සේ ඔහුගේ මුඛය තුළට සත්‍යතාවයේ වචන සපයා දුන් සේක. මෙම වචන ජනතාව වෙතට යෑමේ අරමුණ සහිතව උන්වහන්සේ ඔහු වටා ආරක්ෂක වළල්ලක් යෙදූ සේක. ඔහුගේ ජීවිතය රැකුණේ ය, ඔහුගේ සේවය දීර්ඝ කරනු ලැබීය. ප්‍රතිසංස්කරණයේ දී මහත් කර්තව්‍ය සඳහා අත්තිවාරම දමන තුරු දෙවියන් වහන්සේ ඔහු සමග ක්‍රියා කළ සේක.GrHSin 89.2

    වික්ලිෆ් පැමිණියේ අඳුරු යුගයේ අප්‍රසිද්ධ වටපිටාවකින් ය. තමාගේ ප්‍රතිසංස්කරණ පද්ධතිය හැඩගස්වා ගැනීම සඳහා උපකාර කිරීමට ඔහුට පෙර සිටි කිසිවකුගේ හෝ වැඩපිළිවෙළක් තිබුණේ නැත. යොහන් බව්තීස්ත මෙන් ඔහු ද මෙලොවට බිහිවුණේ විශේෂ මෙහෙයක් ඉටු කිරීමටය. ඔහු වනාහි නව යුගයක පෙරමඟ දූතයා විය. ඔහු ඉදිරිපත් කළ සත්‍යතාවය තුල එකඟතාවක් තිබුණේය. එය සම්පූර්ණතාවක්ද දැක්වීය. ඔහුට පසුව නැගී සිටි ප්‍රතිසංස්කරණවාදීන් කිසිවෙක් හෝ ඔහුට වඩා ඉදිරියෙන් සිටියේ නැත. අවුරුදු සියයක් ගතවූ පසුවත් ඔහු කළ මෙහෙයට සමාන වීමට කිසිවෙක් හෝ සමත් වී නැත. දමනු ලැබූ අත්තිවාරම ඉතා පුළුල් වූද, ගැඹුරු වූ ද එකක් විය. එහි සැකිල්ල ශක්තිමත් වූ ද සත්‍ය වූද එකකි. ඔහුට පසුව ප්‍රතිසංස්කරණ සේවාවෙහි යෙදුණු අයට එය අලුත්වැඩියා කිරීමට අවශ්‍යතාවක් නොවීය.GrHSin 89.3

    වික්ලිෆ් ආරම්භ කළ මහත් ව්‍යාපාරය තුළින් ඉටු වූ මෙහෙය ඉමහත්ය. මිනිසාගේ බැඳ දමා තිබූ හෘද සාක්ෂිය සහ කල්පනා කිරීමේ ශක්තිය එමගින් නිදහස ලැබුවේය. රෝමයේ ජයග්‍රහාන්විත රථයට බැඳ දමා තිබූ ජනතාවට මහත් කාලයකට පසුව විමුක්තිය උදා විය. එකී ව්‍යාපාරයේ උල්පත ශුද්ධවූ බයිබලයයි. ආසිරි පැන් ගලා එන දිය දහරාවෙහි උල්පත මෙයයි. දස සතර වෙනි ශතවර්ෂයේ සිට සියවස් පුරා මෙය ජීවනයේ ආසිරි, පැන් මෙන් ගලා එන්නේය. දෙවියන්වහන්සේගේ කැමැත්ත එළිදරව් කරන්නා වූ අනුභවය ලත් මාධ්‍ය ලෙස වික්ලිෆ් ශුද්ධ ලියවිලි නොසැලෙන ඇදහිල්ලෙන් යුතුව පිළිගත්තේය. ඇදහිල්ල හා ජීවන රටාව සඳහා ශුද්ධ බයිබලය තුළින් ප්‍රමාණවත් අනුශාසනා ලැබෙන බව ඔහු විශ්වාස කළේය. රෝමානු සභාව වනාහි දිව්‍යමය වූ කිසිම අයුරකින් වැරදිය නොහැකි බල අධිකාරිය ලෙස පිළිගැනීමට, විශ්වාසය රැඳවීමට ඔහු අධ්‍යාපනය ලබා තිබුණේය. වසර දහසක් පුරා ස්ථාපිතව පැවති ඉගැන්වීම් සහ සම්ප්‍රදායන්, ප්‍රශ්න කිරීමෙන් තොරව ප්‍රණාමයෙන් යුතුව පිළිගැනීම ඔහුගේ අධ්‍යාපනය කොටසක් විය. එහෙත් හෙතෙම සියලු බැමි බිඳ දමා දෙවියන්වහන්සේගේ ශුද්ධවූ වචනයට ඇහුම්කන් දීමට තීරණය කරගත්තේය. මිනිසුන් විසින් හිස නැමිය යුතු එකම බල අධිකාරිය ශුද්ධ බයිබලය බව ඔහු ජනතාවට ඉදිරිපත් කළේය. මිනිසා විසින් පිළිගත යුතු වන්නේ පාප්වරයා විසින් සභාව තුළින් පවසන්නා වූ හඬ නොව තමන්වහන්සේගේ ශ්‍රී වචනය තුළින් කතා කරන්නාවූ දෙවියන්වහන්සේගේ හඬය. ශුද්ධවූ බයිබලය වනාහි දෙවියන්වහන්සේගේ කැමැත්තෙහි සම්පූර්ණ එළිදරව් කිරීමක් බවත් ශුද්ධාත්මයාණන්වහන්සේ එම වචනයෙහි එකම අර්ථකථනය සපයන්නාණන් බවත් ඔහු ඉගැන්වීය. සෑම මනුෂ්‍යයෙක්ම ශුද්ධ බයිබලයෙහි ඉගැන්වීම් අධ්‍යයනය කිරීම මගින් දෙවියන් වහන්සේට හිමිවිය යුතු වගකීම් ඉගෙන ගත යුතු බව ද ඔහු ඉගැන්වීය. ඔහු මෙසේ ජනතාවගේ මනස පාප්වරයාගෙන් සහ රෝමයේ සභාවෙන් ඉවතට හරවා දෙවියන්වහන්සේගේ වචනය වෙතට යොමු කළේය.GrHSin 89.4

    ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස විකිලිෆ්ව හඳුන්වා දීමට පුළුවන. ඔහුගේ බුද්ධිමත්කමත්, සිතුවිල්ලෙහි පැහැදිලිතාවත්, සත්‍යතාවය ආරක්ෂා කිරීමේ ස්ථිරසාර අධිෂ්ඨානයත්, එය රැක ගැනීමට වූ නිර්භීතකමත් ගැන සලකා බලන විට ඔහුගෙන් පසුව පැමිණි අය අතුරෙන් ඔහුට සම කළ හැකි වන්නේ ඉතා ස්වල්ප දෙනකුව පමණකි. ජීවිතයේ ශුද්ධතාවයද ඉගෙනීමෙහි සහ සේවය කිරීමෙහි වූ නොපසුබස්නා තත්වයද දූෂිතයෙන් තොරවූ විශ්වාසවන්ත භාවය හා දේව මෙහෙයෙහි ඔහු සතුව තිබූ ආදරය සහ විශ්වාසවන්ත ස්වභාවයද මුල්ම ප්‍රතිසංස්කරණවාදීයාවූ ඔහුගේ ජීවිතයේ ගුණාංග විය. මෙම ගුණාංග වඩාත් උතුම් වන්නේ ඔහු පැමිණි වටපිටාව ගැන සැලකිල්ලට ලක් කිරීමෙන් ය. එකල පැවතියේ බුද්ධියෙහි අන්ධකාරයක් සහ ආධ්‍යාත්මික දූෂණයෙහි පිරී ගිය සමාජයකි. එම තත්ත්වයක් තිබියදී ඉදිරිපත් වූ ඔහු සත්‍ය වශයෙන්ම ප්‍රතිසංස්කරණයෙහි පහන් තාරකාව විය.GrHSin 90.1

    ශුද්ධ ලියවිල්ලෙහි අනුශාසනා හා බැඳි ප්‍රඥාව ලබාදීමෙහි සහ ජීවිතය යහ මගට හැරවීමෙහි බලය පිළිබඳ සාක්ෂියක් ලෙස විකිලිෆ්ගේ චරිතය හඳුන්වා දිය හැකිය. ඔහුව වීරවරයෙකු කලේ ශුද්ධවූ බයිබලයයි. එළිදරව් කර ඇති අගනා සත්‍යතාවන් ග්‍රහණය කරගැනීමට වෑයම් කිරීමේදී සිරුරේ සෑම අවයවයකටම එයින් මිහිරියාවක් සහ අලුත් ප්‍රාණවත් ගතියක් ලැබෙන්නේ ය. අවබෝධ කර ගැනීමේ හැකියාව එයින් තියුණු වන්නේ ය. මනසේ ප්‍රවණතාව හෙවත් හැකියාව එමගින් පුළුල් වන්නේ ය. විනිශ්චය කිරීමේදී පරිණතභාවයක් එයින් උදා වෙනවා ඇත.ශුද්ධවූ බයිබලය අධ්‍යයනය කිරීම කරණ-කොටගෙන සෑම සිතුවිල්ලක්ම, හැඟීමක් සහ පැතුමක්ම උතුම් බවට පත්වන්නේය, උසස් කරනු ලබන්නේ ය. මෙවැනි උදාර තත්ත්වයක් ලබා දීමට වෙනත් කිසිම ඉගෙනීමක් මඟ සලසන්නේ නැත. ශුද්ධවූ බයිබලය හැදෑරීම කරණකොටගෙන අරමුණෙහි ස්ථිරතාවක්ද ඉවසීම, නිර්භීතකම සහ දිරිගැන්වීමක් ද ඇති වන්නේ ය. එය චරිතයට සත් ගුණවත් භාවයක් ලබා දෙන අතර ආත්මයද ශුද්ධත්වය කරා යොමු කරන්නේ ය. ශුද්ධ ලියවිලි වලට ගෞරව කරමින් උනන්දුවෙන් එය අධ්‍යයනය කළ යුතුය. එමගින් සීමිත මිනිස් මනස, අසීමිත ඉමක් කොනක් නැති මනස සමග සෘජු සබඳතාවකට පමුණුවනු ලබන්නේය. ඒ තුළින් වඩාත් ශක්තිමත් වූ ද, ක්‍රියාකාර වූද ප්‍රජාවක් ඇති මිනිසුන් ලෝකයට ලැබෙනවා ඇත. ඒ අතරම කිසිම මිනිස් දර්ශන වාදයකට ලබාදීමට බැරි ආකාර උදාරතර ප්‍රතිපත්ති තුළ තැන්පත් වූ මිනිස් කොටසක් එමගින් ලෝකයට හිමිවන්නේය. ගීතිකා රචකයා මෙසේ පවසා ඇත. ” ඔබගේ වචන එළිදරව් වීමෙන් ආලෝකය ලැබේ; එයින් නුවණ නැත්තන්ට තේරුම ලැබේ.“( ගීතාවලිය119:130)GrHSin 91.1

    විකිලිෆ් විසින් උගන්වන්ට යෙදුණා වූ දේවධර්මය ටික කලක් යනතුරු තවදුරටත් පැතුරුණි. විකිලිෆ්වරු සහ ලොලාඩ්වරු යන නාමයන්ගෙන් හඳුන්වනු ලැබූ ඔහුගේ අනුගාමිකයෝ එංගලන්තය පුරා ගමන් ගත්තා පමණක් නොව, වෙනත් රටවලටද ගමන් කරමින් ශුභාරංචිය පැතිර වූහ. දැන් ඔවුන්ගේ නායකයා ඉවත් කරනු ලැබ සිටිය බැවින් ඔවුහු පෙරටත් වඩා උනන්දුවෙන් සේවය කළහ. බොහෝ මනුෂ්‍යයෝ ඔවුන්ගේ ඉගැන්වීම් ඇසීමට පැමිණියහ. රජුගේ භාර්යාව ඇතුළු උසස් පෙලේ මනුෂ්‍යයෝද සත්‍ය පිළිගත්හ. එමගින් බොහෝ ස්ථානවල මනුෂ්‍යයන්ගේ ජීවිත පිළිවෙල බොහෝ දේ යහපත් බවට පත්විය. රෝමානු සභාවේ රූප වන්දනික සංකේතයන් දේවස්ථාන වලින් ඉවත් කරනු ලැබීය. නමුත් ඉක්මනින්ම, බයිබලය තමාගේ මාර්ගෝපදේශකය හැටියට පිළිගත් අය මත සානුකම්පාවෙන් තොර පීඩාවන් කුණාටුවක් මෙන් පතිත විය. රෝමයේ සහාය දිනාගෙන තමාගේ බලය ශක්තිමත් කරගැනීමට උනන්දු වූ ඉංග්‍රීසි රජවරු ප්‍රතිසංස්කරණය කිරීමේ නියුක්ත වූවන් පූජා කිරීමට පසුබට නොවූහ. ඉංග්‍රීසි ඉතිහාසයේ පළමු වන වතාවට,ශුභාරංචියේ ගෝලයන් මරණයට පත් කරනු ලැබීය. නැවත නැවතත් ඔවුන්ට වේද සාක්ෂික මරණයට මුහුණදීමට සිදුවිය. සත්‍ය ප්‍රචාරය කළාවූ ඔවුන්ට වද හිංසා කරනු ලැබූ විට ඔවුන්ට පුළුවන් වූයේ ඔවුන්ගේ හඬ ගැසීම ස්වාමින්වහන්සේගේ සවනට යොමු කිරීම පමණය. සභාවේ සතුරන් හැටියට ද, රාජ්‍ය පාවාදෙන්නන් හැටියටද ලුහුබඳිනු ලැබූ ඔවුන් රහස් ස්ථානවල දේශනා කළහ. ඔවුහු තමාට හැකි වූ තරමට යටහත් පහත් අසරණ නිවෙස්වල රැකවරණය ලබා ගත්හ; නිතරම ගුහාවල සැඟවීමට ද ඔවුහු යොමු වූහ.GrHSin 91.2

    පීඩා කිරීමේ අන්තරාව පැවති නමුත්, ශතවර්ෂ කිහිපයක් මුළුල්ලේම, මේ විශ්වාසවන්ත මනුෂ්‍යයෝ සන්සුන්ව, කැපවීමෙන් යුක්තව, උනන්දුවෙන් හා ඉවසිල්ලෙන්, ආගමික ඇදහිල්ලට ඇතුල් වී තිබුණා වූ වැරදි දේවලට විරුද්ධව කතා කළහ.ඒ මුල් කාලයේ සිටියා වූ ක්‍රිස්තු භක්තිකයන් සත්‍යය දැනගෙන සිටියේ අඩ වශයෙන්ය. නමුත් ඔව්හු දෙවියන්වහන්සේගේ වචනයට ප්‍රේම කරමින් එයට කීකරු වීමට ආශාවෙන් ඉවසිල්ලෙන් යුක්තව මරණයට පවා මුහුණ දුන්හ. අපෝස්තුළුවරුන්ගේ කාලයේ සිටියා වූ ගෝලයන් මෙන් බොහෝ දෙනා ක්‍රිස්තුස්වහන්සේගේ සේවය උදෙසා තමාගේ ලෞකික සම්පත් පූජා කළහ. තමාගේ නිවෙස් වල ජීවත්වීමට අවසර ලැබූ අය, පිටමන් කරනු ලැබුවාවූ සහෝදරයන්ට රැකවරණය දුන්හ; එහෙත්, ඔවුන්ද පිටමන් කරනු ලැබූ විට ඔවුහු පිටමන් කරනු ලැබූවන් ගේ තත්ත්වය ප්‍රීතියෙන් පිළිගත්හ. දහස් ගණන් ජනයා තමාට පීඩා කරන්නන්ගේ කෝපයෙන් බියපත්ව තමාගේ ඇදහිල්ල පූජා කරමින් හිර ගෙදර වලින් නිදහස් කරනු ලැබූ බවද සැබෑය. තමා සත්‍යයෙන් ඉවත්වූ බව දක්වන පිණිස ඔවුන්ට පසුතැවිලි වන්නන්ගේ වස්ත්‍ර හඳවන ලදී. නමුත් අඳුරු හිරගෙදර වල පීඩා ඉවසමින් සත්‍යය උදෙසා නිර්භීත ලෙස සාක්ෂි දැරූ අයගේ සංඛ්‍යාව ස්වල්පයක් නොවීය. උසස් පෙළේ අය මෙන්ම යටහත් පහත් අයද ඔවුන් අතර වූහ. ඔවුන් ” ලොලාඩ් කුළුණු” වලට දමනු ලැබූ විටද වධ හිංසාවන්ට හා ගින්නට යොමු කරනු ලැබූ විටද ඔවුහු ” උන්වහන්සේගේ පීඩාවන්ට පංගුකාරයන්” වීමට වටින්නාවූ අය හැටියට තමා සලකා තැබීම ගැන ප්‍රීති වූහ.GrHSin 92.1

    විකිලිෆ්ගේ ජීවිත කාලයේදී ඔහු ගැන තම කැමැත්තේ අන්දමට ක්‍රියා කිරීමට පාප් අනුගාමිකයන්ට නුපුළුවන් විය. ඔහුගේ සිරුර ආරක්ෂා සහිතව සොහොනේ තිබීම ගැන සෑහීමට පත්වීමට ඔවුන්ට නුපුළුවන් විය. කොන්ස්ටන්ස්හි පවත්වන ලද සභාවේ නියමය අනුව, විකිලිෆ්ගේ මරණයට වසර හතළිහකට පසු ව, ඔහුගේ ඇටකටු සොහොනින් ඉවත්කර ප්‍රසිද්ධියේ පුච්චා දමා ඒවායේ අළු ඒ අසල වූ දිය පාරට දමන ලදී. පැරණි ලේඛකයෙක් මෙසේ කියයි: ” මේ දියපාර ඒ අළු ඇවොන් ගඟට ගෙන ගියේය. ඇවොන් එය සෙවර්න්ට ගෙනගිය අතර සෙවර්න් එය පටු මුහුදු තීරයකට ගෙන ගියේය. ඒ ඒවා සාගරයට ගෙන ගියේය. වික්ලිෆ්ගේ අළු ඔහුගේ ධර්මයේ සංකේතයකි. ඔහු ඉගැන්වූ ධර්මයන් ද ලොව පුරා ගෙන යනු ලැබ තිබේ.” ඔහුගේ සතුරෝ ඔවුන්ගේ මේ දුෂ්ට ක්‍රියාවෙන් දැක්වෙන දේ වටහා ගත්තේ නැත.GrHSin 92.2

    වික්ලිෆ්ගේ ලියවිලි මගින්, බොහිමියාවේ සිටියා වූ ජෝන් හස්, රෝම සභාවේ වැරදි බොහොමයක් එපා කරමින් ප්‍රතිසංස්කරණයේ සේවයට යොමු විය. මෙසේ, එකිනෙකට දුරස්ව පිහිටි මේ රටවල් දෙකෙහි සත්‍යයේ බීජ වපුරනු ලැබීය. බොහිමියාවේ සිට සත්‍යය වෙනත් දේශයන්ට ගෙන යනු ලැබීය. මනුෂ්‍යයන්ගේ සිත්, බොහෝ කාලයක් මුළුල්ලේ අමතක කරන ලද දේව වචනය වෙතට යොමු කරනු ලැබීය. දිව්‍ය හස්තයක් ඒ මහා ප්‍රතිසංස්කරණයට මාර්ගය සූදානම් කරන්නට විය.GrHSin 93.1

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents