Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    8 - ලුතර් ධර්මාධිකරණය ඉදිරියේ

    පස්වන චාර්ල්ස් එම්ප්‍රදෝරු රජතුමා ජර්මනියේ සිංහාසනාරූඨ විය. රෝමයේ සිට පැමිණි රාජ දූතයෝ රජතුමාට ශුභාශිංසනය පුද කරන පිණිස හනික ජර්මනියට පැමිණියෝය. ප්‍රතිසංස්කරණයට විරුද්ධව ඔහුගේ බලය යොදවන ලෙස ද ඔවුහු රජතුමාගෙන් ඉල්ලා සිටියෝය. චාර්ල්ස් අගරජතුමා තම ඔටුන්න හිමිකර ගැනීම සඳහා සැක්සණියේ ආදිපාදවරයාගෙන් බොහෝ උපකාර ලබා තිබුණේය. දැන් මේ ආදිපාදවරයා රජතුමාගෙන් ප්‍රබල ඉල්ලීමක් කළේය. ලූතර්ට ස්වකීය තත්වය පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබාදෙන තුරු ඔහුට විරුද්ධව කිසි පියවරක් නොගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීම පැහැර හැරීමට රජතුමාට නොහැකි විය. මෙසේ රජතුමා මහත් ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. එය මහත් ගැටලුවකට මෙන්ම ලැජ්ජාවටද කාරණයක් විය. ලූතර් මරණීය දණ්ඩනය නියම කරන නියෝගයක් දීමට වඩා අඩු යමක් ලැබීමෙන් පාප් බලධරයෝ සෑහීමකට පත් වන්නේ නැත. ආදිපාදවරයා ස්ථීරවම ලූතර් පිළිබඳ තම ස්ථාවරය මෙසේ ප්‍රකාශ කර තිබුණේය. ” අතිගරු රජතුමා හෝ වෙනත් අයෙකු හෝ විසින් ලූතර්ගේ ලියවිලි සහ ප්‍රකාශන වැරදි බව ඔප්පු කර නැත. එමනිසා ආචාර්ය ලූතර්ට සැදැහැවත් සහ අපක්ෂපාතී ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තමාගේ ප්‍රකාශන නිවැරදි බව ඔප්පු කිරීමට අවස්ථාවක් ලබා දිය යුතුය. රජය විසින් ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ යුතුය.” (D’Aubigne, b.6, Ch.11).GrHSin 153.1

    පස්වන චාර්ල්ස් රජතුමා රාජ්‍යයට පත් කරනු ලැබුවාට ස්වල්ප කාලයකට පසු සමස්ත ජර්මානු ජනපද මන්ත්‍රණ සභා සැසිවාරයක් වර්ම්ස් නගරයේ දී පැවැත්විණ. මෙම ජාතික මණ්ඩලයේ දී ඉතා වැදගත් දේශපාලනික ගැටලු කිහිපයක් මෙන්ම ජනහිතවාදී ශුභ සාධක මෙහෙයුම් ගණනාවක් ද සාකච්ඡාවට යොමු විය යුතුව තිබුණේය. තරුණ රජතුමා මුණ ගැසීමේ මංගල සමුළුව මෙසේ රැස් වුණේය. ‍ප්‍රාන්ත කුමාරවරුන්ට රජතුමා මුණ ගැසීමේ ප්‍රථම නිල අවස්ථා උදා විය. පීතෘ භූමියේ නන්දෙසින් රාජ්‍ය සහ ආගමික ප්‍රභූවරු මෙම රැස්වීමට සහභාගි වූහ. තමන්ගේ පරවේණි උරුමයන් ගැන අභිමානයෙන් උදම් වූ, බලයෙන් අනූන වූ රදළයෝ ද, බලයෙන් සහ තනතුරු නිලයෙන් තමන්ට ප්‍රභූ තත්ත්වයක් ඇතැයි සිතූ ආගමික කුල දෙටුවෝද, රාජ සභාවේ උසස් නිලධාරීහු ද, හමුදා බලධරයෝ ද, විදෙස් රටවලින් පැමිණි තානාපතිවරුන් ද වර්ම්ස් හී පැවතී මේ මන්ත්‍රණ සභා සැසිවාරයට එක්රැස් වූහ. විශාල නියෝජිත සංඛ්‍යාවකින් සැදුම්ලත් මෙම රැස්වීමේදී දැඩි අවධානයට යොමු වූ විෂය වූයේ සැක්සනියේ ප්‍රතිසංස්කරණවාදියාගේ ඉරණම පිළිබඳ කරුණු ය.GrHSin 153.2

    මන්ත්‍රණ සභාවට ලූතර්ව කැටුව එන්නැයි චාල්ස් රජතුමා සැක්සනියේ ආදිපාදවරයාට පවසා තිබුණේ ය. ලූතර්ට සම්පූර්ණ රැකවරණය ලබාදීමත්, උද්ගතව ඇති විෂය පිළිබඳව හසළ දැනුමක් ඇති ප්‍රවීනයන් සමග විවෘත ලෙස සාකච්ඡා කිරීමේ නිදහසත් රජතුමා විසින් ලුතර්ට සහතික වී තිබුණේය. රජතුමා ඉදිරියෙහි පෙනී සිටීමට ලුතර් තුළ තිබුණේ දැඩි අභිලාෂයකි. මේ වකවානුව වන විට ලූතර්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දුර්වල පැවැතියේ ය. එසේ වුවද, ඔහු ආදිපාද තුමාට මෙසේ ලියා ඇරියේය: ” මට යහපත් සුවයෙන් යුතුව වර්ම්ස් වෙත පැමිණීමට නොහැකි විය හැකිය. කෙසේ හෝ මම, රෝගී තත්ත්වයෙන් යුතුව තවත් අය විසින් ඔසවාගනු ලැබ හෝ රැස්වීමට එනවා. රජතුමා මට කළ ඇරයුම දෙවියන්වහන්සේගේ ආරාධනයක් ලෙස මම පිළිගන්නවා. ඔවුන් මා කැඳවා ඇත්තේ විෂය පිළිබඳ තවත් විස්තර දැනගැනීමට නොවන්නේය. ඔවුන් මා තාඩන පීඩනවලට ලක් කරන්නේ නම්, ඒ ගැනත් මා පුදුම වන්නේ නැහැ. මේ පිළිබඳ සියලු කාරණා මම දෙව් සමිදාණන්ගේ ශ්‍රී හස්තයට භාර කරන්නෙමි. දසත ගිනිසිළු විහිදවූ කුඩා ගිනි මැලයෙන් තරුණයන් තුන්දෙනා බේරාගත් තැනැන්වහන්සේ තවමත් ජීවත් ව සිටින සේක, එතුමාණෝ අදත් රජකම් කරන සේක. මාව බේරා ගැනීම උන්වහන්සේගේ කැමැත්ත නොවේ නම්, මගේ ජීවිතය මට වටිනා එකක් නොවන්නේය. ශුභාරංචිය කුරිරු දුෂ්ට පුද්ගලයන්ගේ අවමානයට ලක් වීමට ඉඩ දිය යුතු නොවේ. එසේ නොකොට ඔවුන්ට ජයග්‍රහක වීමට ඉඩ නොතබා ශුභාරංචියේ පවිත්‍රතාව රැකගැනීමට අප ලේ වැගිරවීමට පවා සූදානම් විය යුතුය. මාගේ සහෝදරයන් ගේ ගැලවීම උදෙසා මාගේ ජීවිතය රැකගත යුතු ද, නැතහොත් බිලි දිය යුතු ද, කියා හෝ තීරණය කිරීම මා සතු කාර්යයක් නොවේ …. සත්‍යතාව උදෙසා මාගේ සම්පූර්ණ සහය ලබාදෙමි. එයින් පැන යාමට හෝ පැවසූ දෙය ඉල්ලා අස්කර ගැනීමට හෝ මාගේ සහය ලබා නොදෙමි. පැන යාමට මට බැහැ. ඉල්ලා අස්කර ගැනීම කොහෙත්ම කරන්න බැහැ. (D’ Aubigne, b7, Ch.1).GrHSin 154.1

    මන්ත්‍රණ සභාව ඉදිරියෙහි තම තතු පැහැදිලි කරදීමට ලූතර් ඉදිරිපත් වන බවට වූ පුවත පැතිරයත්ම, ජනතාව කුතුහලෙන් පිරී ගියෝය. ලූතර් සහ පාප් බලධාරීන් අතර පැනනැඟී ඇති මතභේදය විසඳීම සඳහා පාප්ගේ නියෝජිතයා ලෙස ඇලියැන්ඩර් පත්කර තිබුණේය. ලූතර්ගේ පැමිණීම ගැන ඇසූ හෙතෙම තැති ගත්තේය, කෝපයෙන් දිලිහෙන්නට විය. මෙම හමුවේ දී ලැබෙන්නාවූ තීන්දුව පාප් බල අධිකාරිත්වයට මරු පහරක් වියහැකි බව ඔහු දුටුවේය.මෙම විෂය සම්බන්ධව පාප් විසින් දැනටමත් තීන්දුවක් ලබාදී තිබුණේය. එම තීන්දුව මගින් ලූතර්ව වරදකරුවකු ලෙස දඬුවමට පත් කර තිබිණ. එසේ තිබියදී එය නැවත වරක් විනිශ්චයකට පත් කිරීම යනු පරම උතුම් පාප්වරයාගේ බල අධිකාරිත්වය ට අපහාස කිරීමකි. ලූතර්ගේ දක්ෂ ප්‍රකාශන කරණකොටගෙන ජනපදවල කුමරුවන්ගේ කතෝලික සමයට වූ ලැදියාව දෙදරා යනු ඇතැයි ඇලියැන්ඩර් තුළ බියක් ද පැවැතියේ ය.විභාග කිරීමක් සඳහා ලූතර්ගේ වර්ම්ස්ට පැමිණීමට එරෙහිව ඔහු චාල්ස් රජතුමාට විරුද්ධත්වය ප්‍රකාශ කළේය. ලූතර්ව සභා සාමාජිකත්වයෙන් නෙරපා හරිනු ලැබීමේ පාප් අණඥාව මෙම දවස්වලදීම ප්‍රකාශ කරන ලදී. මෙම ප්‍රකාශනය සහ පාප්ගේ නියෝජිතයින්ගේ විරුද්ධත්ව ප්‍රකාශ කිරීම්ද එක්ව ක්‍රියාත්මක වීමෙන් ඔවුන්ගේ ඉල්ලීමට අවනත වීමට රජතුමාට සිදුවිය. ලූතර් විසින් පළ කර ඇති දහම් ඉල්ලා අස් කර ගන්නේ නැතිනම් ඔහු විටන්බර්ග්හිම සිටිය යුතු යැයි රජතුමා ආදිපාදවරයාට ලියා දැන්වීය.GrHSin 154.2

    මෙම ජයග්‍රහණයෙන් සෑහීමට පත්නොවූ අලියැන්ඩර් ඉතා සූක්ෂම අයුරින්, ලූතර්ව දඬුවමට පත් කිරීමට හැකි සෑම ක්‍රියාදාමයමක් යෙදෙව්වේය. වෙනත් කාර්යයන් සඳහා යෙදවිය හැකිව තිබූ විවිධ ආකාර ක්‍රියාවේදයන් ඔහු ලූතර්ට එරෙහිව පණගැන්වීය. පැමිණ සිටි කුමරුවන්, ආගමික නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරියෙහි ලූතර්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ ඇලියැන්ඩර් ලූතර් වනාහි රජයට විරුද්ධව ක්‍රියා කිරීමට ජනතාව පෙළඹ වූ අයෙකු ලෙසින් ද, කැරලිකාරයකු ලෙසින් ද, භක්තියක් හෝ ශ්‍රද්ධාව හෝ විරහිත අයකු ලෙසින් ද, දේව අපහාස කාරයකු ලෙසින්ද චෝදනා කරමින් ඔහු සත්‍යතාවයෙන් තොර ව කරුණු ඉදිරිපත් කළේය. ඔහු කරුණු ඉදිරිපත් කල වේගවත් තද පරුෂ විලාසයත්, ඔහුගේ ආවේගී ප්‍රකාශන විලාශයත් මගින් ඔහු තුළ තිබූ ආත්මය මනා ලෙසින් පිළිබිඹු විය. “ඔහු තුළ පවතින්නේ ද්වේශය සහ පලිගැනීමේ ආත්මය මිස ජ්වලිතතාව සහ ආගමික ශක්තියක් නොවේ ය” යි එක් ලේඛකයෙක් පැවසුවේය. මන්ත්‍රණ සභා රැස්වීමට පැමිණි බහුතරයකගේ නිගමනය ලූතර්ට පක්ෂපාතීව විය.GrHSin 155.1

    ලූතර්ට විරුද්ධව ඇති පාප්ගේ ආඥාවන් ක්‍රියාත්මක කරන්නැයි ඇලියැන්ඩර් මහත් උද්යෝගයෙන් යුතුව රජතුමාට බලකර සිටියේය. එහෙත් ප්‍රාන්ත අධිකාරීන්ගේ සම්මුතියකින් තොරව මෙවැනි දෙයක් ක්‍රියාත්මක කිරීමට ජර්මානු නීති පද්ධතියෙන් අවසරයක් නොවීය. එහෙත් පාප් නියෝජිතයාගේ උනන්දුව නිසා තමන්ගේ පැමිණිල්ල මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කිරීමට චාල්ස් රජතුමා ඇල්යැන්ඩර්ට අවසර දුන්නේය. පාප්ගේ නියෝජිතයාට එය අභිමානි සාඩම්බරයෙන් යුත් දිනයක් විය. මන්ත්‍රණ සභා රැස්වීම් විශිෂ්ට විය. එසේම විභාගයට ගෝචර වූ කරුණු ද විශිෂ්ට විය. සෑම සභාවකම මෑණියන් සහ ප්‍රියාව වූ රෝමය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම ඇලියැන්ඩර්ගේ කාර්යභාරය විය. රැස්ව සිටි කිතුදහමේ බලධාරීන් ඉදිරියෙහි පේතෘස්ගේ රාජ්‍යයේ බල අධිකාරිත්වය තහවුරු කිරීම නියෝජිතවරයාට පැවරී තිබුණේ ය. ඇලියැන්ඩර් ව්‍යක්ත කථිකයෙක් විය.තමාට ලැබූ අවස්ථාවෙන් උපරිමය නෙලා ගැනීමට ඔහු සැදී පැහැදී සිටියේය. සම්භාවනීය උත්කෘෂ්ට අධිකරණයක් ඉදිරියෙහි රෝමයට විරුද්ධව තීරණයක් නිකුත් කර තිබුණේය. රෝමය උදෙසා තම ස්ථාපිතය ඉදිරිපත් කිරීමට, තර්ක කිරීමට, නිදොස් බව කියාපෑමට ඇයගේ දක්ෂතම කථිකයන් අතරින් එක් තැනැත්තෙකු වූ ඇලියැන්ඩර්ට භාග්‍ය යෙදී තිබුණේ ය. පුනරුද වාදියාට පක්ෂපාතීත්වය දැක්වූ සමහරෙක් ඇලියැන්ඩර්ගේ තර්ක ඉදිරිපත් කිරීමේ ආදීනව උපේක්ෂාවෙන් යුතුව බලා සිටියහ. මෙහිදී රැස්වීමට සහභාගි වීමට සැක්සනියේ ආදිපාදවරයා පැමිණ සිටියේ නැත. එහෙත් පාප් නියෝජිතයාගේ දේශනයෙහි වැදගත් කරුණු ලියා ගැනීම පිණිස ඔහුගේ උපදේශකවරුන් කිහිපදෙනෙක්ම රැස්වීමට පැමිණ සිටියහ.GrHSin 155.2

    තමා ලැබූ අධ්‍යාපනයෙහි සහ කථිකත්වයෙහි චතුර භාවයෙහි සම්පූර්ණ බලය හසුරවමින් සත්‍යතාව පරදවාලීමට ඇලියැන්ඩර් උදාර ලීලාවෙන් සූදානම්ව සිටියේය. සභාවෙහිත්, දේශයෙහිත්, ජීවත් ව සිටින්නා වූද, මරණයට පත් ව සිටින්නා වූද අයගේත්, පූජකයන්ගේ සහ ගිහියන්ගේත් අධිකාරි මණ්ඩල සහ පුද්ගලික කිතුනුවන්ගේත් පරම සතුරෙකු හැටියට ලූතර්ට චෝදනා පිට චෝදනා එල්ල කරමින් සැමගේ අවධානය දිනාගැනීමට ඇලියැන්ඩර් මහත් පරිශ්‍රමයක් දැරුවේය. නූතන සිදුකර ඇති වරද සමූහය කෙතරම් විශාලද යත් දුර්ලබ්ධි දී මිත්‍යා ලබ්ධිකයන් ලක්ෂයක් වුවද ගිනිබත් කිරීමට එය ප්‍රමාණවත්ය” යි පාප් නියෝජිතයා තර්ක කළේය. GrHSin 156.1

    ප්‍රතිසංස්කරණවාදී අනුගාමිකයන් කෙරෙහි අපවාදය සහ පිලිකුල ඇති කිරීමෙහිලා ඔහු තම දෙසුම මෙසේ අවසාන කළේය.” ලූතර්වාදී ලබ්ධිකයන් යනු කවරේද? පොදු බැතිමතුන් මුලා කරමින් නොමඟ යැවීමෙහි ලා ක්‍රියාකරන්නා වූ කපටින්ගෙන් සැදුම්ලත් අධමයන් කොටසකි. ඔවුන් සැදී ඇත්තේ ගරුසරු නැති ගුරුවරුන්ගෙන්, දූෂිත පූජකයන්ගෙන්, සල්ලාල තාපසයන්ගෙන්, නූගත් නීතිඥයන්ගෙන් සහ අවමානයට ලක් වූ රදළවරුන්ගෙන්ය. ඔවුන්ට වඩා රෝමානු කතෝලික කෙතරම් ශ්‍රේෂ්ඨ ද? සභික සංඛ්‍යාවෙන්, හැකියාවෙන් සහ බලයෙන් කතෝලික සභාව ලූතර්වාදී ලබ්ධිකයන්ට වඩා කොයිතරම් ඉහළද! මෙම සංකීර්ණමත් මන්ත්‍රණ සභාව ලබා දෙන්නාවූ ඒකමතික තීරණයක් මගින් සාමාන්‍ය බැතිමතුන්ගේ නෙත් විකසිත වනවා ඇත; නුවණ මඳ අයට අනතුරු ඇඟවීමක් ලැබෙනවා ඇත; ස්ථිරසාර තීරණයට එළඹීමට නොහැකි ව දෙපසට වැනෙමින් සිටින්නාවූ අයට තීරණය කරා එළඹීමට මාර්ගය සෑදෙන්නේය; බලයන්ට දිරිය දෙනු ලබන්නේ ය.” (D’ Aubigne, b7, Ch.3).GrHSin 156.2

    සෑම යුගයකම දිවි ගෙවූ, සත්‍යතාව පැතිරවීමෙහි පුරෝගාමීන්ට මෙයාකාරයෙන්ම අවි අමෝරාගත් විරුද්ධවාදීන්ගෙන් ගැහැට එල්ල වී තිබේ….. සත්‍ය යැයි කියාගනිමින් ස්ථාපිතව පවතින දුර්මත ඉදිරිපත් කරන්නා වූ අය ඉදිරිපිට දෙවියන්වහන්සේගේ නිර්මල සත්‍යතාව පැතිරවීමට වෙහෙසෙන්නා වූ අයට යට කී ආකාරයෙන් පවතින තර්ක විතර්කවලට මුහුණ දීමට සිදුවේ. ජනප්‍රිය ආගමක් අනුගමනය කිරීමට සිතැති අය මෙසේ විචාරති:” අලුත් ධර්මතාවන් ඉගැන්වීමට වෙර දරන්නා වූ මේ ගුරුවරුන් කවුද? ඔවුන්ට වැඩි උගත්කමක් නැත. සංඛ්‍යාවෙන් ද ඉතා අඩුය. එහෙත් ඔවුන් සතුව සත්‍යතාව ඇතැයි ද තමා දෙවියන්වහන්සේගේ තෝරාගත් සෙනඟ යයි ද ඔවුහු පවසති. ඔවුහු දැනුම නොමැති වූ මුලා කිරීමකට භාජනය වූ අය වෙති. එහෙත් අපගේ සභාවෙහි( රෝමානු සභාවෙහි) බැතිමතුන්ගේ සංඛ්‍යාව කොයිතරම් විශාල ද! අපගේ රෝමානු සභාවෙහි බලපෑම කොතරම් උසස්ද! ශ්‍රේෂ්ඨවූද, උගත්තු වූද කෙතරම් විශාල සංඛ්‍යාවක් අප අතරේ සිටින්නෝද! අපගේ පාර්ශවයෙහි ඇති බලය කෙතරම් මහත්ද!” ලෝකයේ සිටින්නාවූ ජනතාව කෙරෙහි සුපිරි බලපෑමක් ඇතිකිරීමට යථෝක්ත තර්ක සමත්ය. එහෙත් එම තර්ක එදාට වඩා අද වුවද තීරණාත්මක සත්‍යතාව නොවන්නේය.GrHSin 157.1

    බොහෝ අය සිතන පරිදි ප්‍රතිසංස්කරණය ලූතර් සමග නිමාවට පත් නොවීය. ලෝක ඉතිහාසයෙහි අවසානය තෙක් එම කර්තව්‍ය අඛණ්ඩව පැවතිය යුතුය. දෙවියන්වහන්සේගේ අවසරය පරිදි තමා ලද ආලෝකය පරාවර්තනය කිරීමේ මහා භාරදූර කාර්යය ඉටුකිරීමට ලූතර්ට විශාල වැඩ කොටසක් පැවරී තිබුනේ ය. එහෙත් ලෝකවාසීන්ට දියයුතු සම්පූර්ණ ආලෝකය ඔහුට පවරා දෙනු නොලැබීය. එදා පටන් අද දක්වාම අලුත් ආලෝක දහරා මගින් ශුද්ධ ලියවිලි මත ප්‍රභාව පතුරමින් අලුත් සත්‍යතාවන් හෙළිදරව් වෙමින් පවතී.GrHSin 157.2

    පාප් නියෝජිතයාගේ දෙසුම මන්ත්‍රණ සභාවේ සිටි සැමගේ හදවත් තුළ මහත් බලපෑමක් ඇති කිරීමෙහිලා සමත් විය. පාප් නියෝජිතයාගේ තර්ක බිඳ දැමීමට ලූතර් මන්ත්‍රණ සභාවට පැමිණ සිටියේ නැත. පාප් නියෝජිතයා ඉදිරිපත් කළ ශුද්ධ ලියවිලි, ව්‍යාජ ඉගැන්වීම් බිඳ දැමීමට දේව ධර්ම වියතෙකු වූ ලූතර් නැතිවීම පාප් නියෝජිතයාගේ වාසියට හේතු විය. පුනරුද වාදියාගේ පැත්තට කතා කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීය. ඔහු ඉගැන්වූ ධර්මතාවන් මෙන්ම ඔහුවද වරදකරු කිරීම බහුතරයේ හැඟීම විය. තවද, ඔහු විසින් උගන්වන ලද දහම් මුලිනුපුටා දැමීමට ද එකඟතාවක් ඇති බව පෙනී ගියේය. තමන්ගේ ඉගැන්වීම් සත්‍ය බවට ඒත්තු ගැන්වීමටත් ඒවා මිනිස් සිත්හි ස්ථාපිත කිරීමටත් රෝමානු සභාවට මෙහිදී ලැබුණේ ඉතා ප්‍රසන්න අවස්ථාවකි. තමන් විසින් ගොනු කළ චෝදනා සියල්ලක්ම නිවැරදි යයි ඒත්තු ගැන්වීමට වූ ක්‍රියාදාමය විරුද්ධතාවකින් තොරව ස්ථාපිත විය. එහෙත් මෙම ජයග්‍රහණය වූ කලී පරාජයේ සංඥාව විය. මෙතැන් පටන් සත්‍යතාව සහ බොරුව අතර වූ වෙනස වඩාත් පැහැදිලිව කැපී පෙනෙනවා ඇත. ලොව දස දෙස්හි පවතින විවෘත ගැටුම්වලදී මෙම වෙනස පෙනී යනවා ඇත. රෝමානු සභාව මෙතෙක් කල් දැරූ සුරක්ෂිතභාවය එදින පැවති ප්‍රමාණයට වඩා ස්ථීරතාවයෙන් ඊට පසුව නොපැවතියේයGrHSin 157.3

    රෝමයේ උදහසට ලූතර්ව පාවාදීමට මන්ත්‍රණ සභාවේ බහුතරයක්, විරුද්ධ නොවීමේ මතයක පිහිටා සිටියහ. සභාව ඇතුලත පවතින්නාවූ දූෂිතය සහ අපචාර ක්‍රියාදාමයන් මන්ත්‍රීන් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවී තිබුණේ ය. ආගමික බලධරයන්ගේ කෑදරකම සහ දූෂිත තත්ත්වය නිසා රෝමානු ජනතාවට විඳින්නට සිදුවී ඇති අපවාදාත්මක සහ නින්දා සහගත තත්ත්වය මැඩ පවත්වා ගැනීමට පියවර ගැනීම එකී මන්ත්‍රීවරුන්ගේද ආශාව විය.පාප් අධිකාරී බලයේ උත්තරීතර ස්වභාවය ඉතා යහපත්, පැහැපත් රාමුවක් තුළ බහා ඉදිරිපත් කිරීමට පාප් නියෝජිතයා මහත් වෑයමක් ගත්තේය. මෙහිදී දෙවියන්වහන්සේ ක්‍රියාත්මක වූ සේක. එහිදී එක් මන්ත්‍රීවරයකු මෙහෙයවීමට උන්වහන්සේ ක්‍රියා කළ සේක. බැතිමතුන් කුරිරු ලෙස තලා පෙලා ගෙන යන්නා වූ අනුකම්පා විරහිතව පාප් අධිකාරී පාලනය පිලිබඳ තතු හෙළිදරව් කිරීමට හෙතෙම ඉදිරිපත් විය. ප්‍රතාපවත් දැඩි ස්ථාවරයකින් නැගී සිටි සැක්සනියේ ජෝර්ජ් ආදිපාදවරයා එම මන්ත්‍රී මණ්ඩලය මධ්‍යයේ නැගී සිටියේය. පාප් පාලනයේ රැවටිලිකාර ස්වභාවය සහ වංචාවන් ඔහු අඩු නැතිව හෙළිදරව් කළේය. එමගින් ජනතාවට අත් වී ඇති සෝචනීය ඉරණම ද ඔහු පැහැදිලිව කියා දුන්නේය. මෙම කතාව අවසන් කරමින් ඔහු මෙසේ පැවසීය:GrHSin 158.1

    ” මේවා රෝමානු සභාවට විරුද්ධව ඉදිරිපත් වන්නාවූ දූෂිත ක්‍රියාදාමයන් සමහරක් පමණය. රෝමානුව තුළ ලැජ්ජා බිය ඇත්තේ ම නැත. ඔවුන්ගේ එකම අරමුණ මුදල් සහ මුදල් එක්රැස් කිරීම ය. සත්‍යතාව ඉගැන්වීම ඒකායන අරමුණ කොට ගත් දේශකයෝ ඒ වෙනුවට දේශනා කූඩුවෙන් නිකුත් කරන්නේ බොරුව සහ මුසාව ය. එය විඳ දරා ගැනීමට සෑම දෙනෙක්ම පාහේ හුරු පුරුදු වී සිටිති. එසේම පවසන්නා වූ බොරුවේ ප්‍රමාණය අනුව ලැබෙන්නාවූ පාඬුරුද විශාලය. මෙම නින්දිත පිළිකුල්, උල්පතෙන් ගලා එන ජල ධාරාවද දූෂිතය. සල්ලාලකමට හුරු වූ පුද්ගලයෝ ධන සම්පත් සොයමින් වෙහෙස වෙති. පූජක පක්ෂය කෙරෙහි එල්ල වී ඇති මෙම දූෂිත චෝදනා නිසා අසරණ ආත්ම දහස් ගණනින් සදාතන නරකාදිය වෙත තල්ලු කරනු ලැබෙති. සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුමය.” (D’ Aubigne, b7, Ch.4).GrHSin 158.2

    මෙවන් ප්‍රබල අයුරින් වේගවත්ව අභියෝග ස්වරූපයකින් පාප් බලවතුන්ගෙන් සිදුවන අපචාර සහ අතවර ගැන කියාපෑමට ලූතර් වුවද සමත් නොවන්නේය. තවද, මෙම කථිකයා ලූතර්ගේ පරම සතුරෙකු වූ නිසා ඔහුගේ කතාවට වැඩි අනුබලයක් ලැබුණේ ය.GrHSin 159.1

    මන්ත්‍රණ සභාවේ සභිකයන්ගේ ඇස් ආත්මිකව විවෘත වූයේ නම් දෙවියන්වහන්සේගේ දූතයන් එතැන සිටි බව ඔවුන්ට දැක ගන්නට හැකි වෙනවා ඇත. එකී දූතයන් වරද නැමැති අන්ධකාරයට විරුද්ධව සත්‍යතාවේ ආලෝක දහරා පතුරවමින් රැස්ව සිටි සාමාජිකයන්ගේ මනස් සහ හදවත් සත්‍යතාව පිළිගැනීමට විවෘත කරමින් සිටියහ. ප්‍රතිසංස්කරණ විරුද්ධවාදීන් පවා මෙසේ ඉදිරිපත් කළේ සත්‍යතාවයේ සහ ප්‍රඥාවේ දෙවියන්වහන්සේගේ බලය මිස වෙන කිසිවක් නොවේ. ඉදිරියෙහි ඇති සුවිශේෂී ක්‍රියාවේදය මල්ඵල ගැන්වීමට දෙවියන්වහන්සේගේ බලය මෙසේ මාර්ගය විවෘත කළේය. රැස්වීමට මාටින් ලූතර් පැමිණ සිටියේ නැත. එහෙත් ලූතර් හඬට වඩා ඉතා ප්‍රබල හඬක් ශාලාවේ ක්‍රියාත්මක විය.GrHSin 159.2

    මන්ත්‍රී මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කමිටුවක් පත්කරන ලදී. ඔවුන්ගේ කාර්ය සාධනය වූයේ ජනතාව කෙරෙහි වූ පාප් බලධාරීන් ගේ තාඩන පීඩන සහ බාධා කිරීම් සෝදිසි කර බලා එකී කාරණා වෙන වෙනම සඳහන් කරමින් වාර්තාවක් පිළියෙළ කිරීමය. විවිධ විෂයයන් එකසිය එකකින් සමන්විත වූ මෙම ලැයිස්තුව අග රජතුමාට පිළිගන්වන ලදී. ලැයිස්තුව සමග ප්‍රබල ඉල්ලීමක් ද විය. එනම්, පාප් බලධරයන්ගේ අගතිකම් නිවැරදි කිරීමට කඩිනම් පියවර ගන්නැයි වූ අයැදුමක් ද ලැයිස්තුව සමග මෙසේ ඉදිරිපත් විය. “කිතුනු සභාවේ නායකයා වටා ගොඩනැගී ඇති මෙම දූෂිත ආරංචි කරණ කොටගෙන ක්‍රිස්තියානි ආත්මයන්ට සිදුවන්නාවූ විපත්තිය කෙතරම් පාඩුවක්ද! මෙම ක්‍රියාවන් කුමන ආකාරයේ ආත්ම කොල්ලකෑමක් ද! කුමනාකාර බලෙන් යුතු පැහැරගැනීමක්ද! අපගේ ජනතාව විනාශයට සහ අගෞරවයට පාත්‍ර වීම වළකාලීම අපගේ පරම යුතුකම වන්නේය. පවතින්නාවූ ක්‍රමවේදය ප්‍රතිසංස්කරණයට ලක්කර එය නිසියාකාරව සිදුවන බවට වග බලාගන්නැයි ඔබතුමාගෙන් යටහත් පහත්ව ඉල්ලා සිටින්නෙමු. මෙය කඩිනමින් ඉටු කරන ලෙස ද ඉල්ලමු.” (D’ Aubigne, b7, Ch.4).GrHSin 159.3

    ලූතර් සභාව ඉදිරියට පමුණුවන ලෙස මන්ත්‍රී මණ්ඩලය තදින් ඉල්ලා සිටියේය. ඇලියැන්ඩර්ගේ ආයාචනා, විරුද්ධතාවන්, සහ තර්ජන මධ්‍යයේ වුවද ලූතර්ට මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ පෙනී සිටින්නැයි ආඥාවක් නිකුත් කිරීමට අග රජතුමා කැමැත්ත පළ කළේය. මන්ත්‍රී මණ්ඩල රැස්වීමට පෙනී සිටීමෙන් පසුව ඔහුව ආරක්ෂිත ස්ථානයක් කරා පමුණුවනු ලබන බවට වූ සහතිකයක්ද ආඥාව සමඟ නිකුත් විය. මෙම ආඥාව විටන්බර්ග්හි සිටි ලූතර් වෙත ගෙනයන ලද්දේ රාජකීය දූතයෙකු විසින්ය. ලූතර්ව වර්ම්ස් වෙත කැඳවාගෙන ඊමේ කාර්යය ද මේ තැනැත්තාට හිමිව තිබුණේය.GrHSin 159.4

    මෙම පුවත ඇසීමෙන් ලූතර්ගේ මිත්‍රයෝ භීතියට හා සංවේගයට පත් වූහ. ඔහුට විරුද්ධව පැවැති අවිචාරාත්මක හැඟීම් සහ සතුරුකම් ගැන දැන සිටි ඔවුහු, ලූතර්ට රැකවරණය ලබාදීමට වූ පොරොන්දුවට පවා ගෞරවයක් කරනු නොලබනවා ඇතැයි අනුමාන කළෝය. ඔහුගේ ජීවිතය පරදුවට තබා ඒ ගමන නොයන ලෙස මිත්‍රයෝ ඔහුගෙන් ඉල්ලා සිටියෝය. එම ඉල්ලීමට ලූතර් මෙසේ පිළිතුරු දුන්නේය: “වර්ම්ස් කරා මා එනවාට පාප් බලධාරීන් කිසිසේත්ම කැමති නැහැ. ඔවුන්ගේ කැමැත්ත වන්නේ මා වරදකරුවකු යැයි තීන්දු කර මා මරා දැමීමයි. එයින් මට කමක් නැහැ. මා උදෙසා නොව ස්වාමීන්වහන්සේගේ වචනය උදෙසා යාච්ඤා කරන්න….. වරද උගන්වන්නාවූ සාතන්ගේ දාසයන්ගෙන් ජය ගැනීමට ක්‍රිස්තුස්වහන්සේ තම ආත්මයාණන්වහන්සේගේ සහාය මට ලබා දෙනවා නොඅනුමානය. ජීවිතය පුරාම මම ඔවුන්ව එපා කළෙමි. මාගේ මරණය කරණකොටගෙන මම ඔවුන්ගෙන් ජය ගනිමි. මා පළ කොට ඇති අදහස් ඉල්ලා අස්කර ගැනීමට මට බලපෑම් එල්ල කරන්නට ඔවුන් දැන් කටයුතු සූදානම් කරමින් සිටිනවා ඇත. මා විසින් ප්‍රකාශ කළ එක් දෙයක් ඉල්ලා අස්කරගන්නම්. පාප් වනාහි ක්‍රිස්තුස්වහන්සේගේ මෙලොව නියෝජිතයායි මම එදා කිව්වා. නමුත් එය අද සිට වෙනස් කරනවා. පාප් වනාහි ක්‍රිස්තුස්වහන්සේගේ පසමිතුරා යයිද, සාතන්ගේ අපෝස්තුළුවරයා යයිද මම එක එල්ලේම ප්‍රකාශ කර සිටිනවා.” (D’ Aubigne, b7, Ch.6).GrHSin 160.1

    මේ අන්තරාදායක ගමන තනිවම යාමට ලූතර්ගේ මිතුරෝ ඔහුට ඉඩ නොදුන්නේය. රජතුමාගේ පණිවිඩකාරයා සමඟ ඔහුගේ විශ්වාසවන්ත මිතුරන් තිදෙනෙක්ද ගමනට එක් වූහ. එම පිරිසට එක් වීමට මෙලැන්ක්තන් අවංකවම ඉදිරිපත් විය. ඔහුගේ හදවත ලූතර්ගේ හදවත හා එක්ව බැඳී තිබුණේය. ලූතර් සමඟ යාමට ඔහු තුළ දැඩි ආශාවක් විය. අවශ්‍ය වුවහොත් සිරගෙයට හෝ මරණයට වුවද ලූතර් සමග එක්ව යාමට ඔහු කැමැත්ත දැක්වීය. එසේ වුවද ඔහුගේ බැගෑපත් ඉල්ලීම්වලට අවසරය ලැබුණේ නැත. යම්කිසි ආකාරයකින් ලුතර් ඝාතනය වී නම් ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙනයාමේ වගකීම භාරගැනීමට වඩාත් උචිත පුද්ගලයා වුණේ මෙලැන්ක්තන් නම් තරුණයාය. තම ගමන යාමට සමුගනිමින් ලූතර් මෙලැන්ක්තන්ට මෙසේ පැවසීය: “මම ආපසු ආවේ නැති නම්, මාගේ සතුරන් මාව මරා දැමුවොත්, සත්‍යතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඔබ කැපවිය යුතුය, සත්‍ය වෙනුවෙන් නැගී සිටිය යුතුය. මා වෙනුවෙන් කාර්යභාරයට අත ගසන්න... ඔබ ජීවත්ව සිටියහොත් මාගේ මරණයෙන් එතරම් පාඩුවක් සිදු වන්නේ නැහැ ” (D. Aubgine, b.7, Ch6). ලූතර්ගේ කුඩා කණ්ඩායම වර්ම්ස් වෙත ගමන් අරඹනවා දැකීමට ඔහුගේ සිසුන් සහ නගර වැසියෝ බොහෝ දෙනෙක් පැමිණ සිටියෝය. ඔවුහු ඉතා සංවේදීව හැඟුම්බරව එහි රැස්ව සිටියෝය. ශුභාරංචියේ පහස ලැබූ හදවත් ඇති බැතිමත්හු ඔහුට සමුදුන්නේ හඬමින් ය. මෙසේ මේ ප්‍රතිසංස්කරණ වාදියා සහ ඔහුගේ සමාගම්කරුවෝ විටන්බර්ග් සිට වර්ම්ස් වෙත ගමන ආරම්භ කළෝය.GrHSin 160.2

    අඳුරුබර අනතුරක පූර්ව නිමිති දැකීමෙන් මිනිසුන්ගේ හදවත් සසල වී ඇති බව ගමනේ දී ඔවුන්ට දැක ගැනීමට හැකි විය. සමහර නගර වලදී ඔවුන්ට ගෞරවාචාර දැක්වීමට කිසි අයෙක් ඉදිරිපත් නොවූහ. රාත්‍රියේ නවාතැන් ගැනීමට ඔවුන් නතර වූ තැනකදී මිත්‍ර පූජකයෙක් ඔවුන්ට හමුවිය. ඉතාලි ප්‍රතිසංස්කරණ වාදියෙකුගේ රූපයක් ඔහු ලූතර්ට පෙන්වීය. මෙම පුනරුදවාදියා වේද සාක්ෂිකරුවකු ලෙසින් ජීවිතය පූජා කර තිබුණි. මෙවන් විපතකට ලූතර්ද ගොදුරු වේ යයි තමාට බියක් ඇති බව මේ පූජකයා ලූතර්ට අනතුරු ඇඟවීය. පසුදින ඔවුන් ලැබූ පණිවිඩයකින් කියා තිබුණේ ලූතර්ගේ ලිපි සහ රචනා වර්ම්ස්හිදී දෝෂාරෝපණයට පත් කර ඇති බව ය. එම්ප්‍රදෝරු රජතුමාගේ ආඥාවක් රැගත් රාජකීය පණිවුඩකරුවෝ ගම් නියම් ගම් වෙත යමින් ප්‍රකාශ කළේ ලූතර්ගේ ලිපි රචනා යම් අයෙකු සතුව තිබේ නම් ඒ ලේඛන සියල්ල මහේස්ත්‍රාත්වරුන් වෙත ගෙනවිත් බාර දිය යුතු බවයි. මන්ත්‍රී මණ්ඩලයට යාමෙහි අවදානම තේරුම් ගත් රාජකීය දූතයා ලූතර්ගේ චිත්ත ධෛර්ය චංචලව ඇතැයි සිතා ගමන තවදුරටත් ක්‍රියාත්මක කරනවාදැයි ලූතර්ගෙන් විමසීය. “සෑම නගරයකදීම තහනම් නීති පනවනු ලබන්නේ වුවද මම පසු නොබා ඉදිරියටම යමි” යනු ඔහුගේ පිළිතුර විය. (එම පොත 7 වන පරිච්ඡේදය).GrHSin 161.1

    එර්ෆර්ට් නගරයෙහි දී ලූතර් ඉතා හරසරින් පිළිගන්නා ලදී. ඔහුගේ රසික ඔහු වටා එක් රොක් වූහ. මෙම නගරයේ වීදි දිගේ ඔහු මීට පෙර ගමන් කර තිබුනේ සිඟන්නෙකුගේ පාත්‍රයක් සමගය. තමාට ලැබුණු පිළිගැනීමෙන් ඔහු දිරිමත් විය. ඔහු තමා කලක් වාසය කළ තාපසාරාමය වෙත යාමට අතපසු කළේ නැත. වත්මනයෙහි ජර්මානු දේශය පුරා ගඟක් සේ ගලා යන්නා වූ සත්‍යතාවයේ ආලෝකය තම ආත්මයට ප්‍රවිෂ්ඨ වීමෙහිදී හටගත් ගැටුම් ඔහුගේ මතකය අලුත් කරමින් මැවී පෙනෙන්නට විය.දේශනාවක් කරන්නැයි ඔහුට ඇරයුමක් ලැබුණේ ය. එවැන්නක් කිරීමට ඔහුට නීතියෙන් තහංචි පනවා තිබුණේ ය. එනමුත් දේශනා කිරීමට රාජකීය දූතයාගෙන් අවසර ලැබුණේ ය. මාගේ දේශනාවන්හි අප්‍රියතාවයෙන් යුතුව බැහැර කළ දෙව්මැදුරේ දේශනා කූඩුවට ඔහු දැන් නැග්ගේ දේශනාවක් කිරීමටය.GrHSin 161.2

    දේශනා කූඩුවට නැගි හෙතෙම ක්‍රිස්තුස්වහන්සේගේ වදන්වලින් දෙසුම් ආරම්භ කළේය. “ඔබ සැමට සමාදානය වේවා! සදාතන ජීවිතය උදාකර ගැනීමේ මාර්ගය පැහැදිලි කරදීමට දර්ශනවාදීහූ, දේව ධර්මාචාර්යවරු සහ ලේඛකයෝ මහත් වෑයමක් දරා ඇත. එහෙත් ඔවුන් විසින් සතුටුදායක සාර්ථකත්වයක් ලබා ගෙන නැත. මම දැන් ඔබට අරුත්බර සත්‍යතාවක් ඉදිරිපත් කරනවා…. ගැලවීම ඔබ සතු කිරීමට දෙවියන්වහන්සේ එක්තරා මනුෂ්‍යයෙක් මළවුන්ගෙන් නැගිටුවා තිබෙනවා. ස්වාමීවූ යේසුස්ක්‍රිස්තුස් වහන්සේ වන එම ශුද්ධ වූ මනුෂ්‍යයාණෝ මළවුන්ගෙන් උත්ථාන කරනු ලැබුවේ උන්වහන්සේ මගින් මරණය විනාශකර පාපය සහමුලින්ම උදුරා දමා නිරයේ දොරටුව අගුළුලා දැමීමටයි. ගැලවීමේ කර්තව්‍යය මේකයි….. ගැලවීමට විරුද්ධව ඇති සියලු බාධක අභිබවා ක්‍රිස්තුස්වහන්සේ ජයග්‍රහණය කළ සේක. ඉතාමත් සතුටුදායක පුවත මෙයයි. අපට ගැළවීම ලැබෙන්නේ අපගේ ක්‍රියාවන් කරණකොට ගෙන නොවෙයි. ක්‍රිස්තුස් වහන්සේ විසින් වගුළ රුධිරය මඟින් පමණයි අපට ගැළවීම ලැබෙන්නේ….. අපගේ සමිදාණන් වූ ජේසුස් වහන්සේ මෙසේ වදාළ සේක. ” ඔබ සැමට සමාදානය වේවා! මාගේ දෑත් දෙස බලන්න” මෙම වදන් මගින් උන්වහන්සේ අදහස් කරන්නේ මේකය; මනුෂ්‍යයෙනි, මේ බලන්න! ඔබගේ පාප භාරගෙන ඔබව නිදහස් කළේ මම පමණයි. එසේ කරන්න පුළුවන්කම ඇත්තේ ද මට පමණයි. එම නිසා දැන් ඔබට සමාදානය ලැබී තිබෙනවා කියා සමිදාණෝ පවසනවා.”GrHSin 162.1

    තවදුරටත් තම දෙසුම ඉදිරියටත් කරගෙන ගිය ලූතර් කියා සිටියේ සත්‍ය වූ ඇදහිල්ල ශුද්ධ වූ ජීවිතයක් මගින් පෙනී යා යුතු බවය. ” දෙවියන්වහන්සේ අපව ගලවාගෙන ඇති නිසා උන්වහන්සේට පිළිගත හැකි වන පරිදි අපගේ ක්‍රියාදාමයන් හැඩ ගස්වා ගනිමු. ඔබ පොහොසත් අයෙක්ද? දූගී අයගේ අවශ්‍යතාවයන් සපුරාලීමට ඔබේ සම්පත් බෙදා දෙන්න. ඔබ දුගී අයෙක්ද? ඔබගේ සේවය පෝසතුන්ගේ ඇඟයීමට ලක් වේ වා! ඔවුන්ගේ පිළිගැනීමට ලක් වේවා! ඔබගේ සේවය කිරීම ඔබගේ වාසිය වෙනුවෙන් පමණක් නම්, ඔබ දෙවියන්වහන්සේට සේවය කරනවා යැයි කීමෙහිදී ඔබ කියන්නේ මුසාවකි.” (D. Aubgine, b.7, Ch7).GrHSin 162.2

    වශී වූ අයුරින් ශ්‍රාවකයෝ ඔහුගේ කතාවට ඇහුම්කන් දුන්නෝය. හාමතේ සිටි ආත්මයනට ජීවනයේ රොටී බෙදාදෙන ලදී. පාප්වරුන්ට, පූජකයන්ට එම්ප්‍රදෝරුවරුන්ට සහ රජවරුන්ට ඉහළින් ක්‍රිස්තුස්වහන්සේව ඔසවා තබන ලදි. තමන් මුහුණපා සිටි අනතුරුදායක තත්ත්වය ගැන ලූතර් එකම වචනයක්වත් කතා කලේ නැත. තමා ගැන ජනමතයක් ඇති කරගැනීමට ලූතර් මහන්සි ගත්තේ නැත. ක්‍රිස්තුස්වහන්සේ ගැන ආලෝකය කිරීමෙහි දී තමා පිළිබඳව වූ චින්තනයට ලූතර්ගේ සිත තුල ඉඩක් නොවීය කල්වාරියේ මනුෂ්‍යයාණන් පිටුපස සැඟවීගත් ලූතර් පව්කරුවාගේ එකම ගැලවුම්කාරයා ලෙස යේසුස්වහන්සේව ඔසොවා තැබීමට ක්‍රියාත්මක විය.GrHSin 162.3

    පුනරුදවාදියා ස්වකීය ගමන ඉදිරියටම කරගෙන ගිය අතර, ඔහුට සෑම තැනකදීම ගෞරවයෙන් යුතුව සලකන ලදී. ජන සමූහයා ඔහුව මහත් ආශාවෙන් පිළිගත්හ. රෝමානු සභා නායකයන්ගේ අරමුණ ගැන ඔහුගේ මිතුරන්ගේ හඬ ඔහුට මෙසේ අවවාද කළේය. “ඔවුන් ඔබව ගිනිබත් කර ජෝන් හස්ට සිදුකළ ලෙසට ඔබේ සිරුර අළු බවට පත් කරාවි.” මෙවන් අවවාදාත්මක ප්‍රකාශන බොහෝ අයගේ මුවින් ගලා ආවේය. ලූතර් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “වර්ම්ස්හි සිට විටන්බර්ග් දක්වා මුළු මාර්ගයම පුරා ඔවුන් ගිනි ඇවිළුවත්, අහස දක්වා ගිනි සිළු බුර බුරා නැඟ ආවත් දෙව් සමිදාණන්ගේ නාමයෙන් මම ඒ සියල්ල තුලින් ගමන් කරනවා. මගේ සතුරන් ඉදිරියේ මා පෙනී සිටිනවා. මම ඒ ගංගා හස්තියාගේ (බෙහෙමොත්ගේ) මුඛයට වැදී ඌගේ දත් සිඳ දමනවා. යේසුස් ක්‍රිස්තුස් සමිදාණන්ගේ නාමය දරමින් මම ඉදිරියටම යනවා.” (D. Aubgine, b.7, Ch6).GrHSin 163.1

    ලූතර් වර්ම්ස් නගරය වෙත පැමිණෙන්නේ යන පුවත එම නගරයෙහි මහත් කලබැගෑනියක් ඇති කිරීමට සමත් විය. ඔහුගේ ආරක්ෂාව ගැන ඔහුගේ මිතුරෝ බියෙන් මුසපත් ව සිටියෝ ය. තමන්ගේ වෑයම අසමත් වේදෝහෝයි සැකයෙන් සතුරෝ තුෂ්නිම්භූතව බලා සිටියෝය. නගරයට ඇතුළු වීමෙන් ඔහුව වළක්වාලීමට මහත් වෑයමක් දරන ලදී. මිත්‍රයෙකු වූ වංශාධිපති නයිට් වරයකුගේ මාලිගාවක් කරා යන ලෙස ඉල්ලීමක් විය. සුහද සාකච්ඡාවකින් පසුව එහිදී සියලු දුරාවබෝධයන් සමථයකට පත්කර ගත හැකි වේ යැයි කියා අලුත් යෝජනාවක් ඉදිරිපත් විය. මෙම වංචාකාර සැලැස්ම පාප් බලධරයන්ගේ යෝජනාවක් විය. ඔහුට එල්ල වී ඇති අනතුර ගැන ඔහුට පසක් කර දීමට මිතුරෝ දැඩි වෙහෙසක් දැරූහ. එහෙත් ඔවුන්ගේ සෑම වෑයමක්ම ව්‍යාර්ථ විය. කිසිම තැති ගැනීමකින් නොසැලුණු ලූතර් මෙසේ ප්‍රකාශ කළේ ය.“මෙම ගොඩනැඟිල්ලේ වහල මත අතුරා ඇති උළු සංඛ්‍යාවට සමාන යකුන් ගණනාවක් වර්ම්ස් නගරයෙහි සිටියත් මම එහි යනවා.” (D. Aubgine, b.7, Ch7).GrHSin 163.2

    වර්ම්ස් නගරය කරා ලූතර් සම්ප්‍රාප්ත වෙත්ම විශාල ජනකායක් ඔහුව පිළිගැනීමට නගරයට රැස්ව සිටියෝ ය. රජතුමාව පිළිගැනීමට පවා මෙවන් විශාල ජනකායක් එක්රොක් ව සිටියේ නැතැයි ඉතිහාසය පවසයි. ජනතාව අතර තිබූ කලබල ගතිය ඉතා දියුණු විය. මෙම සියලු කලබැගෑනිය මධ්‍යයේ එක් තියුණු හඬක් ඇසෙන්නට විය. මරණයේ ලයාන්විත අඳෝනාවක් එම ලතෝනිය සිදුවන්නට යන්නාවූ ඉරණමෙහි පෙරනිමිත්තක් කියා පෑවේය. එය ලූතර් පැමිණෙන්නට යන්නා වූ තත්ත්වය ගැන අවවාද කිරීමක් විය.” දෙවියන්වහන්සේ මාගේ ආරක්ෂකයන් වනසේක“යි ලූතර් රථයෙන් බසින අතර පැවසුවේය.GrHSin 163.3

    ලූතර් කිසිම දවසක වර්ම්ස් හි වූ මණ්ඩලයේ ඉදිරියට පැමිණි යයි පාප් බලධාරීහු විශ්වාස නොකළෝ ය. සියලු විරුද්ධවාදිකම් මධ්‍යයේ ලූතර්ගේ පැමිණිම ඔවුන් සංත්‍රාසයට පත් කළේය. ඔවුහු භීතියෙන් තැති ගත්හ. ගතයුතු පියවර කුමක්දැයි තීරණය කර ගැනීම සඳහා රජතුමා තම මන්ත්‍රී මණ්ඩලය රැස් කරවා ගත්තේය. එහිදී නැගී සිටි තද පාවාදී රදගුරුතුමෙක් මෙසේ ප්‍රකාශයක් කළේ ය: ” මෙම කරුණ සම්බන්ධව සාකච්ඡා කරමින් අපි දීර්ඝ කාලයක් ගතකර තිබෙනවා. මෙම මිනිසාව ඉවත් කිරීමට රජතුමා වහාම පියවරක් ගැනීම යහපති. ජෝන් හස්ව ගිනිබත් කිරීමට සිගිස්මන්ඩ් අණ කළේ නැද්ද? සභාවේ ස්ථාපිත දහම් ප්‍රශ්න කරන්නාවූ දුර ලබ්දිකයෙකුට ආරක්ෂාව සැලසීමට හෝ ඔහුව රැක ගැනීමට අපට කිසිම අයිතියක් නැත.” ” එසේ නොවේවා“යි රජතුමා ක්ෂණිකව ප්‍රතිචාරය දැක්වීය. ” අප දුන් පොරොන්දුවට ගරු කළ යුතුයි” ප්‍රතිසංස්කරණවාදියාගේ කරුණු දැක්වීමට ඔහුට ඉඩ දීමට ද ඔහුට ඇහුම්කන් දීමට එහිදී තීරණය කරන ලදී.GrHSin 164.1

    මෙම විශේෂිත පුද්ගලයාව දැක ගැනීමට මුළු නගරයම මහත් උනන්දුවක් දැක්වීය. වැඩි වේලාවක් ගතවීමට පෙර විශාල පිරිසක් ඔහු නවාතැන් ගත් ස්ථානය කරා පැමිණියේය.. කලක් රෝගාතුරව සිටි ඔහු එයින් තවමත් සම්පූර්ණ සුවය ලබා නොතිබුණේය. ඔහු ගමනින් තෙහෙට්ටුවට පත් ව සිටියේ ය. එම ගමනට සති දෙකක් වැය වී තිබුණේය. පසුදින සිදුවන්නා වූ තීරණාත්මක රැස්වීම සඳහා ඔහු සූදානම් විය යුතුය. ඔහුට විවේකය සහ විශ්‍රාමය අවශ්‍ය විය. බොහෝ අය ඔහු බැහැදැකීමට පැමිණි නිසා ඔහුට විවේක සුවය භුක්තිවිදීමට ලැබුණේ පැය ස්වල්පයක් පමණකි. ඒ සමගම ඔහුව හමුවීමට රදලයන්, වංශාධිපතීන්, පූජකයන් සහ ප්‍රභූ පුරවැසියන් පැමිණියහ. ආගමික අපචාර මැඩීම පිනිස ක්‍රියා කරන්න යයි රජතුමාගෙන් ඉල්ලා සිටි වංශාධිපතිවරු බොහෝ දෙනෙක් මෙම හමුවට සහභාගී වී සිටියහ. ” මොවුන් මාගේ සුභාරංචිය කරණ-කොටගෙන නිදහස ලබා ඇත“යි ලූතර් මොවුන් ගැන පැවසුවේය. මිතුරන් මෙන්ම සතුරන් ද මේ නිර්භීත තාපසයා දැක ගැනීමට පැමිණ සිටියහ. ඔවුන් සියල්ලන්ම ලූතර්ව පිළිගත්තේ නොසැලෙන ශාන්ත සන්සුන් ආකාරයෙනි. සෑම විමසීමකට ඔහු පිළිතුරු දුන්නේ ගෞරවයෙන් යුතු ප්‍රඥාවෙන්ය. ඔහුගේ පැවැත්ම ස්ථිරසාර විය. නිර්භීත විය. ඔහුගේ සිහින් වූ සියුමැලි මුහුණ කියාපෑවේ ශ්‍රමයෙන් සහ රෝගී බව ඔහු වෙහෙසට පත්වී ඇති බවයි. ඔහුගේ මුහුණ පුරා කාරුණික භාවයත් ප්‍රීතියත් ගැබ් වී තිබුණේය. මහත් අවංක භාවයෙන් සහ ගාම්භීරත්වයෙන් පිරි ඔහුගේ වචන තුළ සතුරන්ට පවා මුහුණ දිය නොහැකි බලයක් ඇතුළත්ව තිබුණේ ය. ඔහුගේ ශාන්ත පැවැත්මෙන් මිතුරන් මෙන්ම සතුරන් ද විශ්මයට පත් වූහ. ඔහුට දිව්‍යමය බලපෑමක පහස ලැබී ඇත යනු සමහරෙකුගේ නිගමනය විය. එරිසිවරුන් යේසුස්වහන්සේ ගැන පැවසූ අන්දමට තවත් අයගේ නිගමනය වුණේ ඔහු තුළ යක්ෂයෙක් ඇත යන්නය.GrHSin 164.2

    පසු දින පැවති මන්ත්‍රී මණ්ඩල රැස්වීමට පැමිණෙන්නැයි ලූතර්ට අණකරයක් ලැබුණේය. රැස්වීම් ශාලාව වෙත ඔහුව කැඳවාගෙන යාමට රාජකීය නිලධාරියෙක් පැමිණ සිටියේය. ඔහු රැස්වීම් ශාලාව කරා පැමිණියේ මහත් ආයාසයකින් යුතුව ය. පාප්ගේ බල අධිකාරීත්වයට හිස නොනමා එයට විරුද්ධව අභීතව නැගී සිටි මෙම පූජකයව දැක ගැනීමට විශාල සෙනගක් වීදිය පුරා පෙළගැසී සිටියෝය.GrHSin 165.1

    තම විනිසුරුවරයන් ඉදිරියට යාම පිණිස ඔහු නඩු ශාලාවට ළඟාවෙත්ම වයස්ගත හමුදාපතිවරයෙක් ඔහු අසලට පැමිණියේය. කාරුණික වදනින් ලූතර් ඇමතූ හෙතෙම මෙසේ කියන්නට විය. ” අසරණ පූජක තුමෙනි, ඔබ විශාල සටනක තීරණාත්මක පැය කරා පැමිණ තිබෙනවා. ලේ ගලා ගිය සටන්වලදී, මා හෝ වෙනත් යුද්ධ නායකයෙකු හෝ ගත් තීරණයකට වඩා උතුම් වූද, ශ්‍රේෂ්ඨවූ ද තීරණයක් ගැනීමට දැන් ඔබට අවශ්‍ය වී තිබෙනවා. ඔබගේ ව්‍යායාමය සද්ගුණයෙන් පිරි එකක් නම්, ඔබට ඒ ගැන විශ්වාස නම් ඉදිරියටම පිය නගන්න. දෙවියන්වහන්සේගේ නාමයෙන් එසේ කරන්න. කිසි දේකට බය වෙන්න එපා. දෙවියන්වහන්සේ ඔබව අත් හරින්නේ නැහැ.” (D. Aubgine, b.7, Ch.8).GrHSin 165.2

    අන්තිමේදී, ලූතර් මන්ත්‍රී මණ්ඩලය ඉදිරියෙහි පෙනී සිටියේය. රජතුමා සිහසුන දරා සිටියේය. රජයේ ඉහල ධුර දැරූ ප්‍රභූවරු ගණනාවක් රජතුමා වටා පෙළ ගැසී සිටියෝය. මෙවන් ආනුභාව සම්පන්න රැස්වීමක් මෙයට පෙර කැඳවා නොතිබුණේය. තමාගේ ඇදහිල්ල පිළිබඳව පිළිතුරු සැපයීමට ලූතර් දුන්නේ මෙවන් බලගතු මණ්ඩලයක් ඉදිරියෙහි ය. ” මන්ත්‍රී මණ්ඩලය ඉදිරියෙහි තම චෝදනාවන්ට උත්තර බැඳීමට වූ අවස්ථාව පාප් අධිකාරී බලයට එල්ල වූ මරු පහරකි. පාප් විසින් මෙම පුද්ගලයාව වරදකරුවකු බවට තීන්දු කර තිබුණේය. තවත් විනිශ්චය මඩුල්ලක් ඉදිරියෙහි ඔහු දැන් පෙනී සිටීමෙන් රෝමානු අධිකාරී බලයට වඩා ඉහළ අධිකරණ බලයක් එයට ඇති බව ඉතා පැහැදිලි විය. ලූතර්ව සමාජයෙන් ඉවත් කර තැබීමට වූ තහනම් නීතියක් පාප් විසින් නිකුත් කොට තිබුණේය. එහෙත් දැන් ඔහුට මේ ලෝකයේ සුපිරි අධිකරණය වෙත පැමිණෙන ලෙස ඇරයුම් කර තිබුණේ ගරු කටයුතු ලෙස ය. ගරු සරු ඇතුව ඔහුව පිළිගන්නා ලද්දේය. ඔහු සදාතන නිශ්ශබ්දතාවයට පත්කරමින් පාප් ඔහුට දඬුවම් නියම කර තිබුණේය. ක්‍රිස්තියානි ලෝකයේ සෑම පෙදෙසකින් ම පැමිණි දහස් ගණන් වූ බලධරයන් ඉදිරියෙහි තම ඉගැන්වීම් රැකගැනීමට දැන් ලූතර්ට අවස්ථාවක් ලබාදී තිබුණේය. මෙම සම්භාවනීය අමුත්තන් සියල්ලෝම ලූතර්ට සාවධානව ඇහුම්කන් දීමට සූදානමින් සිටියහ. මෙසේ ලූතර් කරණකොටගෙන මහත් විප්ලවයකට මුල පුරා තිබුණේය. තම සිංහාසනයෙන් බැසීමට රෝමයට දැන් සිදුවී තිබුණි. මෙම ලජ්ජාවට පත් වීමේ සංසිද්ධියට මුල්වූයේ එක් තාපස් පැවිද්දෙකුගේ හඬයි. (D. Aubgine, b.7, Ch8).GrHSin 165.3

    ඉහල තනතුරු දැරූ ප්‍රභූන්ගෙන් සැදුම්ලත් මෙවන් බලගතු මණ්ඩලයක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවීම ගැන සාමාන්‍ය දිළිඳු පවුලක උපන් ලූතර් සන්ත්‍රාසයට පත් විය, වික්ෂිප්තයට පත් විය. ඔහුගේ සිතේ පැවති, උද්වේගකාරී හැඟීම් තේරුම් ගැනීමට බොහෝ ප්‍රාදේශීය කුමාරවරුන්ටත් හැකිවිය. එක් කුමරෙක් ඔහු වෙතට සමීප ව මෙසේ පැවසුවේය. “ශරීරය නසන නමුත් ආත්මය නසන්නට නුපුළුවන් වූ අයට භය නොවන්න.” තවත් අයෙක් මෙසේ පැවසුවේය: “ඔබලා මා නිසා ආණ්ඩුකාරයන් ද, රජුන් ද ඉදිරියට ගෙන යනු ලබන කල ඔබ කතා කළ යුත්තේ මොනවාද කියා ඔබගේ පියාණන් වූ දෙවියන්වහන්සේගේ ආත්මය ඔබව දැනුවත් කරනවා ඇත.” විනිශ්චය පැයේදී ස්වකීය මෙහෙකරුවාව මෙසේ ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශන තුළින් ශක්තිමත් කිරීමට ලෝකයේ ප්‍රභූ පුද්ගලයෝ ඉදිරිපත් වූහ.GrHSin 166.1

    රජතුමාගේ සිංහාසනය ඉදිරියෙහි වූ ස්ථානයක් කරා ලූතර් යොමු කරවන ලදී. ජනයාගෙන් පිරී ගිය සභා ශාලාව තුළ ගැඹුරු නිශ්ශබ්දතාවක් රජ කළේය. එහිදී නැගී සිටි රාජකීය නිලධාරියෙක් ලූතර්ගේ ලිපිලේඛන ගොනුවක් අතැතිව ඒ දෙසට ඇඟිල්ල දික් කරමින් ප්‍රශ්න දෙකකට උත්තර සපයන්නැයි පුනරුදවාදියාට විධාන කළේය. මෙම පොත් පත් සහ ලිපි ලේඛන ලිවීමේ අයිතිය ඔහු බාර ගන්නවාද යන්න පළමුවැනි ප්‍රශ්නය විය. එම පොත් පත්වල පළ කළ අදහස් ඉල්ලා අස්කර ගැනීමට ඔහු සූදානම් ද යන්න දෙවැනි ප්‍රශ්නය විය. පොත් වල නම් කියවන ලදුව, පළමුවැනි ප්‍රශ්නයට උත්තර වශයෙන් තමා එම පොත් රචනා කළ බව පිළිගන්නේ යැයි ඔහු ප්‍රකාශ කළේය. ” දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මට ප්‍රකාශ කළ හැක්කේ එම පොත්වල සඳහන් කරුණු ඇදහිල්ල සහ මිනිසුන්ගේ ගැලවීම සම්බන්ධව ප්‍රකාශ කරන බවයි. සගයේ හෝ පොළොවේ ඇති ඉතා මාහැඟි සම්පත වන දෙවියන්වහන්සේගේ වචන එහි ඇතුළත් කර තිබේ. එම පොත්වල අන්තර්ගත කරුණු ගැන පැහැදිලි කිරීමකින් තොරව පිළිතුරු දීම ඥානාන්විත නොවේ. ක්‍රිස්තුස්වහන්සේ වදාළ බයිබල් පදයක් මාගේ මතකයට නැගේ.” නුමුත් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී ඔහු නාදුනමියි මා ගැන කියන යමෙක් නැද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි දී මමත් ඔහු නාඳුනිමි” යි කියන්නෙමි” (ශු. මතෙව් 10:33). එම නිසා මා විශ්වාස කරන්නා වූ දේ ඉල්ලා ඇති ප්‍රමාණයට වඩා අඩු විය හැකිය. එසේත් නැතිනම් සත්‍යතාව බලාපොරොත්තු වනවාට වඩා මාගේ පිළිගැනීම ප්‍රමාණය ඉක්මවා යනවා විය හැකිය. එම නිසා දෙවියන්වහන්සේගේ වචනයට හිංසාවක් නොවන ආකාරයෙන් ද, වචනයට කිසියම් ආකාරයක බාධාවක් සිදු නොවන ලෙසද, එල්ල කර ඇති ප්‍රශ්න දෙකට නිසියාකාරව උත්තර බැඳීම සඳහා, මට කල් ලබාදෙන ලෙස රජතුමනි, මම ඔබගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි. (D. Aubgine, b.7, Ch8).GrHSin 166.2

    මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් ලූතර් බුද්ධිමත් ව ක්‍රියා කළේ ය. ඔහු ගත් මේ පියවර නිසා ලූතර් ක්‍රියා කළේ ආවේගශීලී පෙළඹවීමකින් හෝ හිතේ ඇතිවූ ක්ෂණික හැඟීමකින් හෝ නොවන බව මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුට ප්‍රත්‍යක්ෂ විය.කිසිම ආකාරයක පාවාදීමක් නොකර අභීතව ක්‍රියා කළ ලූතර් ප්‍රදර්ශනය කළ හික්මීම, සන්සුන් බව, හා ආත්ම දමනය කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි තරම් විය. මෙය ඔහුගේ වාසියට අත්වැලක් විය, පසු දවසක තම උත්තර සැපයීමේදී ඥානවන්ත ලෙස බුද්ධිමත්ව සහ ගරු කටයුතු අන්දමින් තම තීරණය ප්‍රකාශ කිරීමට ඔහුට අවස්ථාව උදා විය. මෙයින් ඔහුගේ සතුරන් පුදුමයට පත් කිරීමට සහ ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ හෙලීමට ඔහු සමත් විය. තවද, ඔවුන්ගේ උදාසීන කමට සහ අහංකාරකමට එය තද පහරක් විය.GrHSin 167.1

    පසු දින උදාවිය. තම තීරණාත්මක පිළිතුරු දීමට ලූතර්ට නියමිතව තිබුණේ මේ දිනය. ත්‍යතාව ට විරුද්ධව සන්ධානගතව ඇති බලවේගයන් ගැන කල්පනා කළ ලූතර්ගේ හදවත කිඳා බැස්සේ ය. ඔහුගේ ඇදහිල්ල සසල විය. භීතිය කරණකොටගෙන ඔහු වෙව්ලන්නට විය.ඒ අතර විශාල සන්ත්‍රාසයක් ඔහු වෙලා ගත්තේය. අනතුරු සේයා ඔහු ඉදිරියෙහි මැවී පෙනෙන්නට විය. සතුරන් ජයග්‍රහණය කරන බව ඔහු ඉදිරියෙහි රූපරාමු මැවි මැවි නොපෙනී ගියේය. අන්ධකාරයේ බලවේගය ජය පැන් පානය කරනවා ඔහු සිහිනෙන් දුටුවේය. ඔහු වටා ඒකරාශී වූ වළාකුලු ඔහුව දෙවියන්වහන්සේගෙන් වෙන් කිරීමට වෑයම් කරන බව ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය. සේනාවල ස්වාමීන්වහන්සේ ඔහු සමග රැඳී සිටිනවා දැකීම ඔහුගේ පරම අභිලාෂය විය. ඒ පිළිබඳව සහතික වීමක් ලැබීම ඔහුගේ පැතීම විය. සන්තාපයේ රළ පහරින් උග්‍ර ලෙස වේදනාවට පත් වූ මුහුණින් වැටී ඔහුගේ මුවින් අඳෝනාත්මක හඬ මාලාවක් පිට කළේය. එම ප්‍රකාශය තේරුම් ගැනීමට හැකියාවක් තිබුනේ දෙවියන්වහන්සේට පමණක් විය.GrHSin 167.2

    ඔහු දෙවියන්වහන්සේට මෙසේ යාච්ඤා කළේය “සර්වබලධාරීවූද,සදාතනික වු ද දෙවියන් වහන්ස, මේ ලෝකයේ කොතරම් භයංකාර ද! ඇය තම මුඛය විවෘත කරමින් මා ගිල ගැනීමට සූදානමින් සිටින්නීය. ඔබ කෙරෙහි මා තුළ ඇති විශ්වාසය ඉතා අඩුය. මාගේ විශ්වාසය කැඳවිය යුත්තේ මේ ලෝකයේ ශක්තිය මත පමණක් නම් සියල්ලක්ම විනාශ වී හමාරය... මාගේ අන්තිම හෝරාව උදා වී ඇත. මාව වරදකරුවෙකු බවට තීන්දුව ප්‍රකාශයට පත් කර හමාරය. අහෝ දෙවියන්වහන්ස, මේ ලෝකයේ සියලුම ප්‍රඥාවන්ට එරෙහිව මට උපකාර කරන්න. අනේ, මට උදවු කරන්න. මට උපකාර කිරීමට හැකියාව ඇත්තේ ඔබ වහන්සේට පමණක්ය. මම යෙදී සිටින්නේ මාගේ වැඩකටයුතු වල නොව, ඔබවහන්සේගේ වැඩ කටයුතු වලය. මට මෙහි කළ හැකි කිසිවක් නැත, ලෝකයේ ප්‍රබලයන් වූ මේ නිලදරුවන් සමග සටන් කරන්නට මට බැරිය; ... නමුත් මෙම වැඩය ඔබවහන්සේගේය. එය දැහැමි වූ ද, සදාතනික වූ ද වැඩ පිළිවෙතකි. දෙව් සමිදාණෙනි, මට පිහිටවන්න! විස්වාසවන්ත වූද, වෙනස් නොවන්නාවූ ද දෙවියන්වහන්ස, මම කිසිම මිනිසෙකු කෙරෙහි විශ්වාසය නොතබමි.... මිනිසා තුළ විශ්වාසය රැඳවීම අස්ථිරය, මනුෂ්‍යයාගෙන් පැමිණෙන සියල්ල නිෂ්ඵලය. මෙම කාර්යය සඳහා මාව තෝරාගෙන ඇත්තේ ඔබ වහන්සේමය... මා සමග රැඳී සිටින්න. ඔබගේ ආදරණීය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් මට උපකාර කරන්න. උන්වහන්සේ මාගේ ආරක්ෂා ස්ථානය වන සේක, මාගේ පලිහ වන සේක. මාගේ බලකොටුව වන සේක.“(D. Aubgine, b.7, Ch 8).GrHSin 168.1

    තමන්ගේ ශක්තිය කෙරෙහි විශ්වාසය රඳවා අනුමානයෙන් යුතුව අනතුරට පත්වන්නෝ විරල නොවෙති. තමන්ගේ ශක්තිය කෙරෙහි විශ්වාසය රැඳවීමෙන් ලූතර්ව වලකාලීමට සර්වඥ වූ දිව්‍ය මග පෙන්වන්නා වූ ස්වර්ගීය තැනැත්තන්වහන්සේ ඉදිරියෙහි තිබූ අනතුරුදායක තත්ත්වය ඔහුට හැඟී යන්නට සැලැසූ සේක. පුද්ගලික දුක් විඳීමක් හෝ මරණයට සහ වදහිංසා පැමිණවීමට භාජනය කරනු ලැබීමක් ගැන බියක් ඔහු තුළ නොවීය. වධ හිංසා සහ මරණය වැඩි දිනක් ගතවෙන්නට පෙර තමා ගිල ගන්නා බව ඔහු මනාව දැන සිටියේ ය. අර්බුදකාරී ඉසව්වකට ඔහු පැමිණ සිටියේ ය. එයට මුහුණ දීමට තමා තුළ ප්‍රමාණවත් ශක්තියක් නැතැයි ඔහුගේ සිත කියා පාන්නට විය. ඔහුගේ දුර්වලතාවය කරණකොට ගෙන සත්‍යතාවයේ කර්තව්‍යයට පාඩු පැමිණිය හැකිය. ඔහු දෙවියන් වහන්සේ සමඟ පොර බැදුවේ ඔහුගේම සුරක්ෂිතතාවය සඳහා නොව ශුභාරංචියේ ජයග්‍රහණය සඳහා ය. හුදෙකලා නදිය අසබඩ ඊශ්‍රායෙල්,දෙවියන්වහන්සේ සමග පොරබැදූ අවස්ථාවේදී ඔහුගේ සිත තුළ තෙරපී තෙරපී තිබූ උග්‍ර සංවේගය මෙන්ම ලූතර්ගේ සිතෙහි ද තිබුණේ උග්‍ර සන්තාපයකි. බලවත් සටනකි. දෙවියන්වහන්සේ සමග පොරබදා ඉශ්‍රායෙල් ජයගත්තේය. ලූතර් දැන් දෙවියන්වහන්සේ කෙරෙහි සඳහා සිටියේය. කිසිවක් කරකියා ගත නොහැකිව අන්ත අසරණව සිටියි. මහානුභාව සම්පන්න මිදුම්කරුවාණන් වන ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තම ඇදහිල්ල දැඩිව ශක්තිමත් කර ගත්තේය, ශක්තිමත්ව රඳවා ගත්තේය. මන්ත්‍රී මණ්ඩලය ඉදිරිපිටට ඔහු යන්නේ තනිවම නොවන බවට සහතිකයක් නිසා ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් විය. ඔහුගේ ආත්මයට සමාදානය පැමිණියේය. ජාතියේ බලවතුන් ඉදිරියේ දෙවියන්වහන්සේගේ වචනය ඔසවා තැබීමට තමාට දුන් අවස්ථාව ගැන ඔහු ප්‍රීතියට පත් විය.GrHSin 168.2

    තමාගේ මනස දෙවියන්වහන්සේ තුල ශක්තිමත්ව රඳවා ගැනීමෙන් පසුව තමා ඉදිරියෙහි තිබූ සටන සඳහා ලූතර් සූදානම් විය. උත්තර බැඳිය යුතු පිළිවෙළ ගැන ඔහු කල්පනා කළේ ය, තමාගේම කෘතිවල කොටස් මනා ලෙසින් පිරික්සා බැලීය. තමාගේ ඉගැන්වීම් සනාථ කිරීමට යෝග්‍ය ශුද්ධ ලියවිලි පද ඔහු තෝරා ගත්තේ ය. මේසය මත විවෘතව තිබූ ශුද්ධවූ බයිබලය මත තම වම් අත තැබූ හෙතෙම, තම සුරත සගය දෙසට ඔසවා මෙසේ දිවුරුම් දුන්නේය; මරණයෙන් පවා මාගේ සාක්ෂියට මුද්‍රා තැබීම අවශ්‍ය වුවද සුභාරංචියට විශ්වාසවන්තව සිටීමටත්, දහිල්ල නිදහස් ලෙස ප්‍රකාශ කිරීමටත් මම පොරොන්දු වෙමි.” (D. Aubgine, b.7, Ch 8).GrHSin 169.1

    මන්ත්‍රී මණ්ඩලය ඉදිරියට ඔහුව නැවත වරක් ගෙන එනු ලැබූ කල්හි ඔහු තුළ බියක හෝ චකිතයක හෝ සේයාවක්වත් දැක ගැනීමට නොහැකි විය. සන්සුන්ව හා සමාදානයෙන් යුතුව නැගී සිටි හෙතෙම නිර්භීත සහ උත්කෘෂ්ඨ අයෙකුගේ විලාසයක් පෙන්නුම් කළේය. පොළවේ ශ්‍රේෂ්ඨ ප්‍රභූවරු අතර හෙතෙම දෙවියන්වහන්සේගේ සාක්ෂිකාරයා ලෙස නැගී සිටියේය. ඔහුගේ දහම් ඉල්ලා අස්කර ගැනීමට ඔහු තීරණයකට එළඹ තිබේ දැයි ප්‍රශ්න කරන ලෙස රාජකීය නිලධාරියා ඔහුට අණ කළේය. සිහින් හඩින් සහ යටහත් ස්වරයෙන් ලූතර් තම පිළිතුර ඉදිරිපත් කරන්නට පටන් ගත්තේය. කලහකාරී ස්වරූපයක් හෝ අධික හැඟුම්බර විලාසයක් ඔහු තුළ දැක ගන්නට නොහැකි විය. ඔහුගේ හැසිරීමේ විලාසය පැකිළීමෙන් තොර විය. හෙත් ඔහු තුළ විද්‍යමාන වූ විශ්වාසය සහ ප්‍රීතිය රැස්ව සිටි සැමගේ විමතියට හේතු විය.GrHSin 169.2

    “අති ශාන්ත වූ එම්ප්‍රදෝරු රජතුමෙනි, සංකීර්තිමත් කුමරුවෙනි, කරුණාභරිත ස්වාමිවරුනි” යනුවෙන් අවසර ගත් ලූතර් තම උත්තරය මෙසේ ඉදිරිපත් කළේය. “ඔබ ඉදිරියෙහි මා අද පෙනී සිටින්නේ ඊයේ ඔබ මට නිකුත් කළ ආඥාවට අනුකූලතාව දන්වමිනුයි. විරාජමාන මහ රජතුමෙණි, ශ්‍රිමත් වංශාධිපතියෙනි,යහපත් සහ සත්‍යවාදී වු කර්තව්‍යයක් යයි මා විශ්වාස කරන්නාවු සේවයක් වෙනුවෙන් නිදහසට මා ඉදිරිපත් කරන කරුණුවලට සාවධානව සවන් යොමු කරන මෙන් දෙවියන්වහන්සේගේ කරුණා හරිත ශ්‍රි නාමයෙන් ඉල්ලා සිටිමි.විනිශ්චය ශාලා ක්‍රමවේදය පිළිබඳව මට හසල දැනුමක් නැති නිසා මා අතින් යම්කිසි වරදක් සිදුවුවහොත් මට සමාව දානය කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.මක්නිසාදයත් මම දුගී පුජකයෙක් වෙමි. මා සේවය කර ඇත්තේ දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා පමණය.” (D. Aubigne, b.7, ch.8).GrHSin 169.3

    තවදුරටත් නිදහසට කරුණු ඉදිරිපත් කළ හෙතෙම තමාගේ සෑම ප්‍රකාශිත ග්‍රන්ථයක්ම එක හා සමාන නොවන බව කියා සිටියේය.සමහර ප්‍රකාශන මගින් ඇදහිල්ල සහ යහපත් ක්‍රියා ගැන තමා විශ්ලේෂණය කර ඇති බවත්,තම සතුරන් පවා එම කෘතින් වරදක් නැති ප්‍රායෝගික අදහස් බව ප්‍රකාශ කර ඇති බවත් ඔහු පැවසුවේය.මෙම අදහස් ප්‍රකාශන ඉල්ලා අස්කර ගැනිම වනාහි මෙහි සිටින්නාවු සෑම අයෙකුම පිළිගන්නාවු ද, විශ්වාස කරන්නාවු ද සත්‍යතාවය වැරදි යයි පැවසීමකි.තවත් ග්‍රන්ථ වලින් වෑයම් කර ඇත්තේ පාප් ව්‍යුහයේ පවතින්නාවු දුෂණ සහ අපචාර ඉදිරිපත් කිරිමයි.මෙම ප්‍රකාශන ඉල්ලා අස්කර ගැනිමෙන් සිදුවන්නේ රෝම සභාවෙහි දුෂ්ට පාලනයක් සඳහා දොරටු විවෘත කිරිමකි.තුන්වැනි කාණ්ඩයේ පොත්වලින් කර තිබෙන්නේ පවතින්නාවු දුෂ්ට ක්‍රියාදාමයන් ආරක්ෂා කරගනිමින් ඒවා සම්මත කළ සමහර පුද්ගලයන් හෙළිදරව් කිරිමය.දෝෂාරෝපණ එල්ල කිරිමේදි තමා යෝග්‍ය මට්ටමට වඩා දරුණු ලෙස පහරදී ඇති බව ඔහු පිළිගත්තේය.තමා වරදක් නැති අයෙකු යයි නොකියන බව ඔහු කියා සිටියේය.මෙවන් පොතක් වුවත් ඉල්ලා අස්කර ගන්නට තමා කැමති නැතැයිද,එසේ කළහොත් එය සත්‍යතාවයේ සතුරන් දිරිමත් කිරිමක් වන බවත්,එමගින් දේව සෙනඟව පාගා දැමිමට නව මං ක්‍රියාත්මක කරනු ලබන බවත් ලූතර් කියා සිටියේය.GrHSin 170.1

    “එසේ වුවද මම සාමාන්‍ය මිනිසෙක්ය. දෙවියන්වහන්සේ නොවේ” යයි ඔහු විත්තියේ දේශනය තව දුරටත් කරගෙන ගියේය.”එම නිසා ක්‍රිස්තුස්වහන්සේ කළ ආකාරයෙන්ම මමත් නිදහසට කරුණු ඉදිරිපත් කරනවා.මම අවෑඩක් කර තිබේනම් එකී අයහපත් දෙය ගැන සාක්ෂි දරන්න... අති ශාන්ත වු මහ රජතුමෙණි,සෑම තරාතිරකම සිටින සහෝදර ජනතාවෙනි,දෙවියන්වහන්සේගේ කරුණා - මෛත්‍රිය අනුග්‍රහයෙන් මා ඉල්ලා සිටින්නේ මා ඉදිරිපත් කරන කරුණු සාවධානව අසා සිට තීන්දුවක් දෙන්නටය. මාගේ ප්‍රකාශන වැරදිදැයි කියා, ප්‍රොපේතවරුන්ගේද, අපෝස්තුළුවරුන්ගේද ලියවිලි මගින් උරගා බලා මාගේ කියුම් වැරදි බව ඔප්පු කර පෙන්වන්න. මෙවන් ඔප්පු කිරිමක් මඟින් වු තීන්දුවක් ලැබුණු විගස මම මාගේ සෑම වරදක්ම ඉල්ලා අස්කර ගනිමි.ඉන්පසු බෝරු ප්‍රකාශන රැගත් පතපොත ගින්නට දමා විනාශ කර දැමිමට මුල් පියවර ගන්නේ මමයි.GrHSin 170.2

    “මා දැන් පැහැදිලි ලෙස කළ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ මට අනතුරුදායක ඉරණමකට දොරටු ඇරි තිබෙන බව මා සලකා බැලු බවයි. කිතුණු ඉතිහාසයේ මුල් කාලවලදි මෙන්ම, වර්තමානයෙහිදිද, ශුභාරංචිය නිසා කරදර සහ බෙදිම ද වාද භේද සහ ආරවුල්ද ඇතිවිම ගැන මම ප්‍රීතියට පත්වෙනවා.දේව වචනයේ චරිත ස්වභාවය එයයි. දේව වචනයේ ඉරණම මෙයයි. “පොළොවෙහි සමාදානය දෙන්ට මම ආවෙමියි නොසිතන්න. සමාදානය නොව කඩුවක් දෙන්නට ආවෙමි” යි යේසුස්ක්‍රිස්තුස්වහන්සේ වදාළ සේ ක.දෙවියන්වහන්සේගේ උපදෙස් සහ අනුශාසනා පුදුමාකාරයි. එසේම දරුණුයි. එම නිසා ආගමික මතභේද සමථයකට පත්කිරිමට වෑයම් කිරිමේදි ඔබ ඉතා පරෙස්සම් විම වැදගත්ය.ඔබගේ ක්‍රියාවන්හිදි ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ වචනයට හිංසා කළහොත් මුහුණ දිය නොහැකි අනතුරු කන්දරාවකට ඔබ දොරටු විවෘත කරන්නහුය.දෙගොඩ ගලා එන්නාවු විපත්තියේ ජල කඳ ඔබගේ වර්තමානය ආපදාවට ලක් කර විනාශය පතුරුවා ඔබගේ ඉරණම සඳහටම තීන්දු කරනවා ඇත.මේ පිළිබඳ දෙවියන්වහන්සේගේ වචනයෙන් නිදසුන් බොහෝ ගණනාවක් පෙන්වා දීමට පුළුවන.ඵාරාවෝවරුන්, බබිලෝනියේ රජවරුන් සහ ඊශ්‍රායෙලිතයන් ගැනද සඳහන් කරන්නට පුළුවන.ඔවුන් සාමුහික එකඟතාවක් නොසොයා තමන්ගේම වැඩ සැලසුම් ක්‍රියාත්මක කරන්නට යෑමෙන් විනාශය ළගා කර ගත්හ.”දෙවියන්වහන්සේ කඳු පහ කරන සේක.එහෙත් ඔවුහු එය දැනගන්නේ නැත.” (D.Aubigne,b.7,ch.8)GrHSin 171.1

    ලුතර් කථා කළේ ජර්මානු බසිනි.ඔහු කළ සාක්ෂි දිම ලතින් භාෂාවෙන් කරන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කරන ලදි.කළින් කළ කථාව නිසා හෙම්බත්ව සිටියද, ඉල්ලීම මත ඔහු තම කථාව නැවතත් ලතින් බසින් ඉදිරිපත් කළේය.කළින් වතාවේදි මෙන්ම මේ අවස්ථාවේදී ද ඔහු පැහැදිලි ලෙස තම තර්ක ඉදිරිපත් කළේය.දේව මඟපෙන්වීම මෙහිදි ක්‍රියාත්මක විය.වැරදි ඉගැන්වීම්වලින් මෙන්ම මිථ්‍යා විශ්වාසයන්ගෙන් මනස අන්ධව සිටි බොහෝ කුමාරවරුන්ට මුල් වටයේදි ලූතර්ගේ තර්ක කිරිම පූර්ණාකාරයෙන් අවබෝධ කරගැනිමට නොහැකි වු නමුත් දෙවැනි වටයේදි ලූතර් ඉදිරිපත් කළ කරුණු මනාව වටහා ගැනිමට ඔවුන්ට පුළුවන් විය.GrHSin 171.2

    ආලෝකය ග්‍රහණය කරගනිමින් වැළකී හිතුවක්කාර ලෙස තම දෙඇස් වසාගෙන සිටි අයද සත්‍යතාව නිසා තම සිතුම් පැතුම් වෙනස් කරගන්නට වේ යයි බිය වු අයද ලූතර්ගේ වචන වල බලය නිසා කෝපාවිෂ්ට වුහ. ලූතර් තම කතාව හමාර කිරිමත් සමගම නැගී සිටි නඩු ශාලාවේ තෝල්කයා කථා කරන්නට විය.ඔහු රළු හඩින් ලූතර්ගෙන් මෙසේ විමසීය:“ඔබට ඉදිරිපත් කළ ප්‍රශ්නයට ඔබ පිළිතුරු ලබාදී නැහැ.පැහැදිලිවූ ද,විෂය හා බැඳි ඇත්තාවු ද පිළිතුරක් ලබාදීමට ඔබට නියෝග කර තිබෙනවා.ඔබගේ පොත පතෙහි වූ සංකල්ප ඔබ ඉල්ලා අස්කර ගන්නවාද නැද්ද? “(D.Aubigne,b.7,ch.8).GrHSin 172.1

    මෙවිට ලූතර් මෙසේ පිළිතුරු දීමට පටන් ගත්තේය.”අති ශාන්ති වු මහරජතුමෙණී, සත් කීර්තිමත් කුමාරවරුනි, ඔබ මාගෙන් පැහැදිලිවූද , සරලවූද, මාතෘකාවට අදාළවු ද පිළිතුරක් ඉල්ලා සිටින බැවින් මම මෙම පිළිතුර සපයමි. එනම් මාගේ ඇඳහිල්ල පාප්ට හෝ මන්ත්‍රී මණ්ඩලයට හෝ යටත් කිරිමට මට නොහැකිය. මක්නිසාදයත්, ඔවුන්ගේ මත දැක්විම් බොහෝ විට වැරදි සහිතය. එසේම පරස්පර විරෝධිය. එය මට හිරු එළිය මෙන් පැහැදිලීය.එම නිසා ඔවුන්ගේ මත සහ තර්ක ශුද්ධ ලියවිල්ලේ සාක්ෂි මඟින් තහවුරු කළ යුතුය.මෙයාකාරයෙන් මාගේ හෘදය සාක්ෂියට පිළිගත හැකි ආකාරයක තහවුරු විමක් සිදුවිය යුතුය.ඔබ ගෙනහැර දක්වන ඡේද වැරදි යයි ඔබලාගේ තර්ක මඟින් මාගේ හෘදය සාක්ෂියට පිළිගැනිමට පුළුවන් විය යුතුය. කිතුණු බැතිමතෙකුට තමාගේ හෘදය සාක්ෂියට විරුද්ධව කථාකිරිමට අනතුරුදායකය. එම නිසා හෘදය සාක්ෂියට විරුද්ධව මට කිසිවක් හෝ ඉල්ලා අස්කර ගත නොහැකිය. මා ලියා ඇති දේ ප්‍රතික්ෂේප කළ නොහැකිය.මේ මතය මත මම නැගි සිටිමි.කළ හැකි වෙනත් දෙයක් මට නැත.දෙවියන්වහන්සේ මට උපකාර කරන සේක්වා. ආමෙන්.”GrHSin 172.2

    මෙසේ මෙම දැහැමි මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ වචනය වන ස්ථිරසාර පදනම මත නැගි සිටියේය. සගයේ ආලෝක රැස් දහරා ඔහුගේ මුහුණත ප්‍රභාවත් කළේය.වරදෙහි බලයට විරුද්ධව ඔහු සාක්ෂි දැරු අවස්ථාවෙහිදි ඔහුගේ උදාර ස්වභාවයත් චරිතයේ පිරිසිදුතාවත් සමඟ ඔහුගේ හදවතෙහි රජ කළ සාමය සහ ප්‍රීතියත් සැමගේ අවධානමට යොමු විය. ලෝකය ජයගන්නාවු ඇදහිල්ලෙහි ශ්‍රේෂ්ඨත්වය ඔහු තුළ රජ කළ බව සැමට දැකගන්නට හැකි විය.GrHSin 172.3

    පුදුමයට පත් මුළු මණ්ඩලයම කථාකර ගත නොහැකිව තුෂ්නිම්භූතව බලා සිටියහ.මුල් වරට ලූතර් කථා කළ අවස්ථාවෙහිදි ඔහු කථා කළේ ඉතා පහත් ස්වරයෙනි.එහි ගෞරවය මුසු බවක් සහ අවනත කීකරු බවක් ගැබ්ව තිබුණේය.රෝමානු නියෝජිතයන් මෙම ප්‍රතිචාරය අර්ථකථනය කළේ ඔහුගේ දිරිය බිඳ වැටෙමින් තිබෙන ලෙසය.පිළිතුරු දිම සඳහා ඔහු කල් ඉල්ලා සිටියේ තමා ලියු ලේඛණ ඉල්ලා අස්කර ගැනිමේ ප්‍රාරම්භයක් ලෙසටයයි ඔව්හු කල්පනා කළහ.තාපස පූජකයාගේ වැහිරි ගිය දේහයත්,සරල ඇඳුමත්,ඔහුගේ වාග් විලාශයෙහි සරල ස්වභාවයත් පිළිබඳව ඇගයිමක් කළ රජතුමා ප්‍රකාශ කර තිබුණේ මෙවැනිනකි.”මේ මනුෂ්‍යාට කවරදාකවත් මාව රෝමානු ආගමට විරුද්ධව මත දරන්නෙක් කරන්නට හැකිවන්නේ නැහැ.” එහෙත් තම උත්තර බැඳිමේදි ප්‍රදර්ශනය කළ වෙනස් කළ නොහැකි ස්ථීරතාවයත් ,තර්ක ඉදිරිපත් කිරිමේ බලය සහ පැහැදිලි ස්වභාවයත් සැමගේ පුදුමයට හේතු විය.මෙයින් ප්‍රීතීයෙන් පිනා ගිය රජතුමා පැවසීය :“මෙම පුජක තුමා කථා කරන්නේ නිර්භීත හදවතක් සහ නොසෙල්වෙන ධෛර්යයකුත් ඇතිවයි.” තමන්ගේ ජාතිය නියෝජනය කරන්නාවු මෙම තාපස පුජකයා ගැන බොහෝ ජර්මානු කුමාරවරු ආඩම්බරයෙන් සහ ප්‍රීතියෙන් උද්දාමයට පත් වුහ.GrHSin 172.4

    රෝමානු කතෝලික නියෝජිතයෝ තම පක්ෂය පරදිනවා යයි සිතන්නට පටන් ගත්තෝය.ඔවුන්ගේ පක්ෂය මත අප්‍රසන්න ආලෝකයක් පවතින බවත් පෙනී ගියේය. තමන්ගේ බලය රැකගැනිමට කටයුතු සියල්ලක්ම කිරිමට ඔවුන් පසුබට වුණේ නැත.ඒ සඳහා ඔවුහු ලූතර්ට තර්ජන එල්ල කිරිමට පටන් ගත්හ.ශුද්ධ ලියවිල්ලෙන් උත්තර දීමට ඔවුනට කිසිම හැකියාවක් නොවීය.රෝමය සෑමවිටෙකම ක්‍රියා කළේ , තර්කවලට පිළිතුරු දුන්නේ තර්ජනය කිරීමෙන්ය.ධර්මාධිකරණයේ නිලධාරියා මෙසේ ප්‍රකාශ කළේය:“ඔබ ඉල්ලා අස්කර ගන්නේ නැති නම්,ඔබ වැනි හික්මවිය නොහැකි මුරණ්ඩු දුර්ලබ්ධියෙකුට කළ යුත්තේ කුමක්දැයි රජතුමා සහ ජනපද කුමාරවරු එක්වී තීරණය කරනවා ඇත. ” GrHSin 173.1

    ලූතර් විසින් ඉදිරිපත් කළ නිදහසට කරුණු කීමේ චතුරත්වය ගැන ඔහුගේ මිතුරන් මහත් ප්‍රීතියට පත්ව සිටි නමුත් උසාවි තෝල්කයාගේ වදනින් ඔවුන් භීතීයටත් සංත්‍රාසයටත් පත් වුහ.”දෙවියන්වහන්සේ මාගේ ආරක්ෂකයා වන සේක්වා.කිසිවක් හෝ ඉල්ලා අස්කර ගැනීමට මට බැහැ. “යි ලූතර් සන්සුන් වදනින් ප්‍රකාශ කළේය‍. GrHSin 173.2

    කුමාරවරු එක්ව තීරණයක් සදහා සාකච්ඡා කරන අතරේදී ලූතර්ට අධිකරණ ශාලාවෙන් පිටතට යෑමට නියම විය.මහත් අර්බුදයක් උදාවී ඇති බව සෑමට පෙනී ගියේය. රෝමයේ ඉල්ලීමට අවනත නොවීමට ලූතර්ගේ වු අධිෂ්ඨානය සහ ඉතිහාසය කෙරෙහි විශාල බලපෑමක් එල්ල කිරිමට සමත්වනවා ඇත.එය අනාගතය පුරාම බලපානවා ඇත. තම ප්‍රකාශන ඉල්ලා අස්කර ගැනීමට තවත් එක් වතාවක් ඔහුට ලබාදිමට තීරණය විය.අන්තිම වතාවට ලූතර් අධිකරණය ඉදිරියට පමුණුවනු ලැබීය.ඔහු විසින් ප්‍රකාශනයට පත් කර ඇති දහම ඉල්ලා අස්කර ගන්නවාදැයි යන ප්‍රශ්නය නැවත වතාවක් ඔහුට ඉදිරිපත් කරන ලදී.ඔහු මෙසේ ප්‍රතිචාර දැකිවීය.”දෙන්නට මට වෙනත් පිලිතුරක් නැහැ. ප්‍රකාශ කළ යුතු සියල්ලම මම කියවලා ඉවරයි.” පොරොන්දු හෝ තර්ජන මඟින් හෝ ඔහුව රෝමයේ ආඥාවට නම්මවා ගත හැකි නොහැකි බව පැහැදිලි විය.GrHSin 173.3

    රජවරුන් සහ ප්‍රාදේශිය පාලකයන් දණ ගැස්වු රෝමානු බල අධිකාරිත්වයට අවනත නොවන්නාවු මේ යටහත් පහත් තාපසයා යටහත් නොවිම ගැන පාප්වාදි නියෝජිතයෝ උරණ වුහ. ඔහුට පීඩා කරමින් ඔවුන්ගේ උදහස ඔහුට දැක්විමට ඔව්හු ආශා වුහ.තමා මුහුණපා සිටි අවස්ථාවේදි වුවද ඔහු හැසිරුණේ ක්‍රිස්තියානි අභිමානයෙන් සන්සුන්තාවයෙනි. ඔහුගේ වදන් අහංකාරයෙන් සහ සංවේදීකමින් තොර විය. දෙවියන්වහන්සේට අගෞරවය ගෙන දිය හැකි කිසිවක් හෝ ඔහුගෙන් සිදු නොවීය. කිසිම විටෙක හෝ ඔහු තමා ගැන කල්පනා කළේ නැත.තමා සිටින්නේ පාප්වරුන්,නායක පුජකයන්, රජවරුන් සහ අගරජවරුන් ඉදිරියේ නොව ඔවුන්ට වඩා අතිශයින් ශ්‍රේෂ්ඨ වු අති උත්තම වු දෙවියන්වහන්සේ ඉදිරියේ බව ඔහුගේ කල්පනාව විය.ලූතර්ගේ සාක්ෂිය තුළින් ක්‍රිස්තුස්වහන්සේ බලයෙන් සහ උදාර අයුරකින් තම ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කළසේක.ලූතර්ගේ සතුරන්ගේ මෙන්ම මිතුරන්ගේද භීතීයට සහ විශ්මයටද එය හේතු විය. “දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ අභිමුඛය, වැඩසිටීම, අධිකරණ ශාලාව තුළ පෙනෙන්ට විය. උන්වහන්සේ එහි සිටි බලධරයන්ගේ සිත් තුළට බලපෑම් එල්ල කරමින් සිටිසේක. ලූතර්ගේ ක්‍රියාවේදයෙහි යුක්ති සහගත භාවය පිළිගන්නා බව රාජ්‍යයේ කුමාරවරු බොහෝ දෙනෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෝය.බොහෝ අයට සත්‍යතාවය ඒත්තු ගියේය. වෙනත් අයගේ සත්‍යතාවය පිළිගැනිම කෙටි කලකට සීමා විය.මොවුන් අතර තවත් කොටසක් තම පිළිගැනිම් එදා ප්‍රකාශ නොකළ නමුත් ඔවුහු පසු දවසක ශුද්ධ ලියවිලි සෝදිසි කිරිමෙන් පසුව ප්‍රතිසංස්කරණයේ හිතවැසියන් බවට පත් වුහ.GrHSin 174.1

    ධර්මාධිකරණය ඉදිරියෙහි ලූතර් පෙනී සිටිනවා දැකීමට බලාපොරොත්තුවෙන් සිටි ෆ්‍රෙඩ්රික් ආදිපාදිවරයා, හැඟිම්වලින් බරව ලූතර්ගේ කථාවට ඇහුම්කන් දුන්නේය. ආචාර්ය ලූතර් පෙන්නුම් කළ දිරියත් , අචලතාවත්, ආත්ම අභිමානයත් ආදිපාදවරයාගේ ප්‍රිතීයටත් ,ආඩම්බරයටත් හේතු විය.ඔහුව රැකවරණය කිරිමට ඔහු අදිටන් කර ගත්තේය.තරඟයේ දෙපස ඔහු සසදා බැලුවේය.පාප්වරුන්ගේ,රජවරුන්ගේ සහ නායක ප්‍රජකයන්ගේ ප්‍රඥව සත්‍යතාවයේ බලය ඉදිරියේදි නිෂ්ඵල වී තිබෙන ආකාරය ඔහු දුටුවේය. සෑම යුගයකදීම සෑම ජාතියකටම හැගී යන්නාවු පරාජයක් පාප් බල අධිකාරියට අත් විය.GrHSin 174.2

    ලූතර්ගේ කථාව කරණකොටගෙන අතිවන බලපෑම් තේරුම් ගත් පාප් නියෝජිතයා රෝමානු බලතල උපරිමයෙන් උපයෝගී කරගෙන ලූතර්ගේ පරාජය සාක්ෂාත් කිරිමට ප්‍රබල උත්සහයක යෙදුණේය. තානාපති වේදයේ සියලු උපාය මාර්ග යොදා ගනිමින් පාප් නියෝජිතයා තමාගේ චතුරත්වය ප්‍රබලව උපයෝගි කරගනිමින් ඔහු තරුණ අධිරාජ්‍යවරයාට අභියෝගයක් එල්ල කිරිමටද අමත නොකළේය. කිසිම වටිනාකමක් නැති තාපස පුජකවරයෙකුගේ පක්ෂය ගෙන බලවත් රෝමානු ආධිපත්‍යයේ හොද හිත සහ සහාය නැතිකර නොගන්නා ලෙස තානාපතිවරයා අධිරාජ්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. GrHSin 175.1

    ඔහුගේ වදන් ඵල රහිත නොවීය. ලූතර්ගේ උත්තර දිමට පසුදින චාර්ල්ස් රජතුමා ධර්මාධිකරණයට පණිවිඩයක් ඉදිරිපත් කළේය. තමාට පෙර සිටී අගරජවරුන් මෙන්ම තමාද ඔවුන්ගේ පිළිවෙත අනුගමනය කරමින් කතෝලික ආගම ආරක්ෂා කිරිමට අදිටන් කරගත් බව ඔහු පණිවිඩයෙන් ප්‍රකාශ කළේය.තම මතවාදීන්හි වු වැරදි පිළි නොගැනිම නිසා ඔහුට සහ ඔහු විසින් ඉදිරිපත් කරන ලද මතවාදයන්ටද එරෙහිව ක්‍රියා කිරිමේ තදබල දඬුවම් මාර්ගයක් භාවිතා කළ යුතු යයිද ඔහු නිර්දේශ කළේය.”තමාගේ උමතුව ප්‍රදර්ශනය කරමින් ක්‍රිස්තු ධර්මයට විරුද්ධව එක් පුජකයෙක් නැගි සිටී.එවන් අභක්තික දහම් ප්‍රචාරයට මම ඉඩ නොතබමි. රෝමානු කිතුණු දහම රැකගැනිමට මාගේ රාජ්‍ය,මාගේ වස්තුව,මාගේ මිතුරන් ,මාගේ ශරිරය,මාගේ රුධිරය,මාගේ ආත්මය සහ මාගේ ජිවිතය වුවද පුජා කිරිමට මම පසුබට නොවෙමි.ජනතාව අතර බේද ඇති නොකර සාමකාමීව සිටින්නැයි අවවාද කරමින් මම ලූතර්ට විරුද්ව නඩුව නිෂ්ප්‍රභා කිරිමට සූදානම්ව සිටිමි. ඒ අතරම මම ලූතර් සහ ඔහුගේ අනුගාමිකයන්,මුරණ්ඩු අහංකාර දුර්ලබිධිකයන් ලෙස තීන්දු කරමී.ඔවුන්ව සභා සභාගිත්වයෙන් නෙරපා හරිමි.ඔවුන්ගේ සමාජීය තත්වයන් අත් හිටුවමි.ඔවුන්ට විනාශ කිරිමට ගත යුතු වු සෑම පියවරක්ම නිත්‍යානුකූල යැයි නියෝග කරමි.රාජ්‍යයේ සියලු පුරවැසියන් භක්තිමත් පුරවැසියන් ලෙස හැසිරෙන්න යැයි මම ඉල්ලා සිටිමී.”(D.Aubigne,b.7,ch.9). එසේ වුවද ලූතර්ට ආරක්ෂා සහිතව තම ගම රට බලා යෑමට ඉඩ දිය යුතු යයි කියා රජ නියම කළේය.ඉක්බිතිව ඔහුට විරුද්ධව නඩු විභාගය ක්‍රියාත්මක වනවා ඇත.GrHSin 175.2

    ධර්මාධිකරණයේ විනිශ්චය මඩුල්ල එකිනෙකට පටහැනි තීරණ දෙකක් නිකුත් කර තිබුණේය.ලූතර්ට ආපසු ගම රට බලා යෑමේදි ලබා දිය යුතු රැකවරණය ප්‍රතික්ෂේප කළ යුතු යයි පාප් අධිකාරියේ නියෝජිතයෝ රාජ්‍ය දුතයාගෙන් මෙසේ ඉල්ලා සිටියහ.”මෙයට ශත වර්ෂයකට පෙර රයින් නදිය ජෝන් හස්ගේ අළු ගිලගත් සේම ලුතර්ගේ මිනී අළුද රයින් නදියට භාර කළ යුතුය.” තමන් රෝමානු සභා අනුගාමිකයන් යයිද, ලුතර් තම පරම සතුරෙකු යයිද විශ්වාස කළ ජර්මානු කුමාරවරු, මහජන මතයට විරුද්ධව ක්‍රියා කරමින් ලුතර්ගේ ආරක්ෂිත ගමනට බාධා පමුනුවා ජාතියේ අභිමානය සැහැල්ලුවට පත් නොකරන්නැයි බල කළහ. හස්ගේ මරණයෙන් පසුව රටට සිදුවු ව්‍යසනය ගැන ඔවුහු කරුණු ඉදිරිපත් කළෝය. ජර්මානු ජාතිය මත්තෙහිත් තරුණ රජතුමා මත්තෙහිත් එවන් භයානක නපුරු ක්‍රියාවන් පතිත විමට ඇරයුම් නොකළ යුතුය යන්න කුමාරවරුන්ගේ ඉල්ලීම විය.GrHSin 175.3

    මෙම මුලික යෝජනාවට ප්‍රතිචාරය දක්වමින් චාර්ල්ස් පැවසුවේ මුළු ලෝකයෙන්ම ගෞරවය සහ ඇඳහිල්ල අතුගා දැමුවද, එම දේ කුමාරවරුන්ගේ හදවත් තුළ සුරක්ෂිතව තැන්පත්ව තිබිය යුතු බවය.”ලුතර්ගේ පරම සතුරන්ව වු පාප් සමයවාදි නියෝජිතයන් ඉල්ලා සිටියේ සිගිස්මන්ඩ් විසින් හස්ට හිමි කළ ඉරණම ම ලුතර්ටද අත්කර දෙන ලෙසය.ප්‍රසිද්ධ මන්ත්‍රණ සභාවේදි යදමින් බැඳ සිටි ජෝන් හස් රජතුමාට පැවසුවේ ඔහු තමාට පොරොන්දු වු රැකවරණය බිද දැමු බවයි. මේ පිළීබද v වන චාර්ල්ස් පැවසුවේ,“සිගිස්මන්ඩ් මෙන් මම ලැජ්ජාවට පත්වන්නට අකමැති වෙමි” යන්නය. GrHSin 176.1

    කෙසේ වුවද, චාර්ල්ස් මෙසේ ඉදිරිපත් කරනු ලැබු සත්‍යතාවන් උවමනාවෙන්ම ප්‍රතික්ෂේප කළේය.”මාගේ මුතුන්මිත්තන් කළ ආකාරයටම ක්‍රියා කිරිමට මම තරයේම අධිෂ්ඨාන කර සිටිමි”යි රජතුමා ප්‍රකාශ කළේය. සත්‍යයේ සහ දැහැමිතාවේ මාර්ගයේ ගමන් කරන පිණිස සම්ප්‍රදායික මාර්ගයෙන් ඉවතට පියවර ගැනිමට තමා ක්‍රියා නොකරන බවට රජතුමා අධිෂ්ඨාන කරගෙන සිටියේය. තමාගේ පියවරුන් කළ ලෙසම ඔහුද පාප් සමඟ ඔසවා තැබිමට තීරණය කරගෙන සිටියේය. පාප් සමය නිෂ්ප්‍රභා කර දමා පියවරුන් නොලැබු ආලෝකයක් පිළිගැනිම රජතුමා ප්‍රතික්ෂේප කළේය.ඔවුන් නොකළ කටයුත්තක් කිරිමට රජතුමා අවශ්‍යතාවක් නොවීය.GrHSin 176.2

    අද පවා බොහෝ දෙනෙක් තම පියවරුන්ගේ සම්ප්‍රදායන් සහ චාරිත්‍ර වාරිත්‍ර තදින් අල්ලාගෙන සිටිති.දේව සමිඳාණන් ඔවුන්ට ආලෝක ධාරාවක් එවු විට එය පිලිගැනිමට ඔවුහු කැමති නොවෙති. ස්වකීය දෙමාපියන්ට එකී ආලෝකය ලබාදි නොතිබු නිසා තමන්ට එය පිළිගැනිමට නොහැකිය යන්න ඔවුන්ගේ කල්පනාව වන්නේය.අප අද සිටින්නේ අපගේ පියවරුන් සිටි ස්ථානයෙහි නොවේ.එම නිසා අපගේ යුතුකම් සහ වගකිම් ඔවුන්ට සමාන නොවන්නේය. අපගේ වගකීම් තීරණය කරගැනීමට පියවරුන්ගේ ආදර්ශය දෙස බැලීම දෙවියන්වහන්සේගේ අනුමැතිය ලැබිමට හේතු කාරක නොවන්නේය. සත්‍යතාව සොයා ගැනීම සඳහා අප දේව වචනය සෙවිය යුතු වෙමු.අපගේ පියවරුන්ට හිමිව තිබු වගකීමට වඩා අපගේ වගකීම් මහත්ය.ඔවුන්ට ලැබි තිබු ආලෝකය උරුමයක් ලෙස අපට ලැබි තිබෙන අතර අප ඒ ගැන ගණන් දිය යුතුවාක් මෙන්ම අප ලබන්නාවු අලුත් ආලෝක දහරාවන් ගැනද අප වගකිව යුතු වෙමු.දේව වචනය හරහා එන්නාවු සෑම ආලෝක කදම්බයක්ම අප විසින් ග්‍රහණය කරගත යුතු වෙමු.GrHSin 176.3

    විශ්වාස නොකළ යුදෙව්වන් ගැන යේසුස් වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක.”මමම ඇවිත් ඔවුන්ට කථා නොකළෙමි නම් ඔවුන්ට පාපයක් නැත.නමුත් දැන් ඔවුන්ගේ පාපය ගැන ඔව්හු නිරුත්තරව සිටිති.”(යොහන් 15:22) එම දිව්‍ය බලයම ලුතර් ලවා ජර්මනියේ රජතුමාට සහ කුමාරවරුන්ට කථා කර තිබුණි.දෙවියන්වහන්සේගේ ආලෝකය එදා අධිකරණ ශාලාවේ රාවය ප්‍රතිරාවය වෙමින් ඒක නාද වු කල්හි,එතැන සිටි සමහර අයට ශුද්ධාත්මයාණන් ආයාචනය කළේ අන්තිම වතාවටය.මෙයට සියවස් ගණනාවකට පෙර තම අභිමානය සහ ජනප්‍රියතාවය රැකගැනිම සදහා ගැළවුම් කාරයාණන්වහන්සේගේ අන්තිම පණිවිඩයට,පීලාත් තම හදවත විවෘත නොකළේය.බියෙන් ගැහෙමින් සිටි පීලික්ස් සත්‍යතාවේ පණිවිඩකාරයා හට මෙසේ පැවසීය:“දැනට යන්න. මට ප්‍රස්තාවක් ලැබුණාම නුඹට අඩ ගස් වන්නෙමී.” යයි ඔහු කීවේය. අහංකාර අග්‍රිපා තමාට ගැළවුම්කාරයාණන්ව පිළීගැනිමට අවස්ථාව පැමිණි විට කියා:“වැඩි පෙළඹීමක් නැතුවම නුඹ මා ක්‍රිස්තියානි- කාරයෙක් කරන්නට සිතනවා” කියාය.මේ සියල්ලෝම සගයෙන් පැමිණී පණිවිඩයෙන් ඉවතට හැරි ක්‍රියා කළෝය.v වන චාර්ලස් රජතුමාද ලෝකයේ අහංකාරකම සහ තම ඉදිරි පැවැත්ම අගය කරමින් සත්‍යතාවේ ආලෝකය ප්‍රතික්ෂේප කිරිමට තීරණය කර ගත්තේය.GrHSin 177.1

    ලුතර්ට විරුද්ධව ක්‍රියාත්මක කිරිමට සැලසුම් වු ක්‍රමවේදයන් පිළිබඳ දුෂ්‍යමාන ආරංචි විශාල වශයෙන් පැතිරෙන්නට විය. එමඟින් නගරය පුරා උණුසුම් වාතාවරණයක් පැවතීයේය. තමාගේ දුෂණ හෙළිදරව් කිරිමට අභීත වන්නාවු අයට රෝමානු ආධිප්‍යය විසින් සලකනු ලැබුවේ ඉතාම ක්‍රෑර ලෙසින්ය.මෙම ක්‍රමවේදයන් මනාලෙස දැන සිටි ලුතර්ගේ මිත්‍රයෝ ඔහුව පුජා කරනු නොලැබිය යුතු යයි තීරණය කර ගත්තෝය. වංශාධිපතියන් සිය ගණනාවක් ඔහුට රැකවරණය දීමට ප්‍රතිඥා දුන්හ.රෝමයේ බල අධිකාරිත්වයට බයාදු ලෙස යටත් විමක් ලෙස එකී රාජකීය පණිවිඩය විග්‍රහ කළ බොහෝ අය එම ආඥාව ප්‍රසිද්ධියේම හෙළා දැකිමට ඉදිරිපත් වුහ. ලුතර්ට පක්ෂපාතීවද ඔහුට එරෙහිවද වු දැන්විම් පත්‍ර ගෙවල ගේට්ටුවලද, ප්‍රසිද්ධ ස්ථානවලද ප්‍රදර්ශනය විය.එක් දැන්විමක සාලමොන්ගේ එක් කියමනක් පමණක් දක්වා තිබුණේය.”එම්බා දේශය , නුඹේ රජ බාලයෙක්ව සිටින විට”... නුඹට දුක් වේ!”(දේශනාකාරයා 10:16).ජර්මනිය පුරා ලුතර්ට පක්ෂපාතීව සිටියාවු මහජන උද්‍යෝගය නිසා ඔහුට විරුද්ධව කිසිම අකටයුත්තක් කිරිමට රජතුමා මෙන්ම අධිකරණ නිලධාරින්ද ඉදිරිපත් වුයේ නැත.එසේ කළහොත් දේශයේ සාමයද සමහර විට සිංහාසනයේ ස්ථිර භාවයද බිඳ වැටිය හැකි බව බොහෝ අයගේ කල්පනාව විය. GrHSin 177.2

    මේ අතර ෆෙඩ්‍රික් ආදිපාදවරයා ඉතා ප්‍රවේශමෙන් තමාගේ හැඟිම් රහසේ තබාගනිමින් , පුනරුදවාදියාව ආරක්ෂා කිරිමේ පිළිවෙතක් අනුගමනය කළේය.ඒ අතරම ඔහු ලුතර්ගේ ගමන් බිමන් පිළිබඳවද , සතුරන්ගේ හැසිරිම් රටාව රටාව පිළිබඳවද දැඩි අවධානයෙන් පසු විය.ලුතර්ට පක්ෂපාතීත්වය සඟවා තබාගැනිමට සමහර අය කිසිම වෑයමක් නොදෑරුහ.ගිහියන්ද, පැවිද්දන්ද, කුමාරවරු, සිටුවරු, වංශාධිපතිවරු සහ රදළවරුද ලුතර් බැහැ දැකිමට පැමිණියෝය.පැමිණී සෑම අයෙකුටම ආචාර්යවරයාගේ “කුඩා කාමරය ප්‍රමාණවත් නොවීයැ”යි ස්පැලටින් පවසා ඇත්තේය. .(Martyn,Vol.I,P.404). මනුෂ්‍යයන් ඔහු දෙස බැලුවේ ඔහු සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා උතුම් තැනැත්තෙක් වුවා සේය.ඔහුගේ දහම් කෙරෙහි කිසිම විශ්වාසයක් නොතැබු අය පවා ඔහු තුළ පැවති පෞරුෂත්වය ගැන ගෞරවයෙන් කථා කළෝය.මරණයට වඩා තමාගේ හෘදය සාක්ෂියට ගරු කිරිමට තරම් අභිමානයක් තිබු මේ මනුෂ්‍යයා සැමගේ ගෞරවයට පාත්‍ර විය.GrHSin 178.1

    රෝමය සමඟ යම් ආකාරයක සම්මුතියක් ඇති කරගැනිමට ලුතර්ගේ කැමැත්ත ලබාගැනිමට මහත් වෑයමක් ක්‍රියාත්මක විය. සභාවට සහ මන්ත්‍රි මණ්ඩලවලට විරුද්ධව ලුතර් තමාගේම වින්ශ්චයන් මතම පිහිටා සිටින්නේ නම්, ඔහුව රටින් පිටුහල් කරනු ලැබිමට ඉඩකඩ ඇති බවට ඔහු බැහැදැකිමට පැමිණි කුමාරවරු සහ වංශාධිපතිවරු අනතුරු ඇඟවූහ.එවිට ඔහුට ඇති රැකවරණය අහෝසි වී යනවා ඇත.එම ඉල්ලිමට ලුතර් මෙසේ පිළිතුරු දුන්නේය.”බාධා නොමැතිව ක්‍රිස්තුන්වහන්සේගේ ශුභාරංචිය දේශනා කරන්නට බැහැ එසේ නම්, රටින් පිටුවහල් වීමකට හෝ සිරභාරයට ගනු ලැබීමට ඇති බිය දෙවි සමිඳාණන්ගෙන් සහ දිව්‍ය වචනයෙන් මාව වෙන් කළ යුත්තේ ඇයි ? දිව්‍ය වචනය පමණක් සත්‍ය වන්නේය. එවන් වෙන්වීමක් සිදුවනවාට වඩා මාගේ ශරිරය, මාගේ රුධිරය සහ මාගේ ජිවිතය වුවද අතහැර දැමීමට කැමැත්තමී.” (D.Aubigne,b.7,ch.10).GrHSin 178.2

    අගරජතුමාගේ විනිශ්චයට අවනත වන්නැයි ලූතර්ගෙන් නැවත වරක් ඉල්ලීමක් විය‍.එසේ කළහොත් ඔහුට බියවීමට කිසිම කරුණක් පැන නගින්නේ නැතැයි ඔහුට පවසන ලදි.පිළිතුරු වශයෙන් ඔහු මෙසේ පැවසීය.˝රජතුමාද,කුමාරවරුද, එසේම ඉතා යටහත් ක්‍රිස්තු භක්තිකයන්ද මාගේ පොත පත විභාගයට ලක් කර තීරණයකට පැමිණිය යුතුය.එහෙත් ,එසේ කිරීමට නම් මේ කොන්දේසියට යටත් විය යුතුය.එනම් ඔවුන්ගේ ප්‍රමිතිය ලෙස දේව වචනයට පමණක් තැන දිය යුතුය.එයට කීකරුවීමට වඩා මිනිසුන් කළ යුතු වෙනත් දෙයක් නැත.මාගේ හෘද සාක්ෂිය ශුද්ධ ලියවිල්ලට බැදී තිබේ.මම සම්පූර්ණයෙන්ම එහි බලයට යටත්ව සිටිමි.˝(D.Aubigne, b.7, ch.10)GrHSin 179.1

    තවත් අයැදුමකට ලුතර් මෙසේ පිළිතුරු දුන්නේය.˝මට ආරක්ෂාව සැපයීමට වු බැදීමෙන් මම සියලු දෙනාවම නිදහස් කරමි.මාවත් මගේ ජීවිතයත් රජතුමාගේ හස්තයට භාර දෙන්නෙමි.එහෙත් වහන්සේගේ වචනය නම් අතහැර නොදමන්නෙමි.මන්ත්‍රී මණ්ඩල තීරණයකට යටත් වීමට කැමැත්තෙමි.එමහත් එම මණ්ඩලය ශුද්ධ ලියවිලි පදනම්ව තිරණයකට එළඹිය යුතුය.දෙවියන්වහන්සේගේ වචනය සහ ඇදහිල්ල පිළිබඳව තීරණයක් ගැනිමේදී පාප් මෙන්ම සෑම කිතුණුවෙක්ද එක හා සමාන විනිශ්චයකරුවෙක් වන්නේය.ඔහුගේ පාර්ශවයට මණ්ඩල දහස් ගණනාවක සහාය ලැබුණත් පදනම වෙනස් වන්නේ නැත.˝(Ibild, 67, Ch.10) තවදුරටත් සම්මුතියක් ඇති කිරීමට උත්සහ කිරීම ඵල රහිත බව මිතුරන්ට මෙන්ම සතුරන්ටද එක සේ වැටහී ගියේය.GrHSin 179.2

    එක කරුණකදී හෝ පාවාදීමක් සිදුවී නම් සාතන් සහ ඔහුගේ සේනාව මහත් ජයග්‍රහණයක් ලබනවා නියතය.නොපැකිළි ස්ථීරසාරව නැගී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස සභාව විමුක්තිය ලැබුවාය; එයම අලුත් සහ වඩාත් යහපත් කාලපරිච්ජේදයක ආරම්භයක් විය.ආගමික කරුණු සම්බන්ධයෙන් තමාගේ හෘදය සාක්ෂිය අනුව සිතීමටත්,ක්‍රියා කිරිමටත් නොබියව නොසැලී නැගී සිටි මේ තනි මනුෂ්‍යයාගේ බලපෑම සභාව වෙනතකට යොමු කිරිමට සමත් විය,ලෝකය විපර්යාසයකට තල්ලු කිරිමකට සමත් විය.එම බලපෑම එකලට පමණක් නොව මතු පරම්පරාවන් කරාද ක්‍රියාත්මක විය.ඔහුගේ අචල ක්‍රියාවේදය සහ විශ්වාසකම සැමට ශක්තියක් වනවා ඇත.කාලයේ අවසානයේදී ද කිතුණුවන්ට මෙවන් පරික්ෂා තුළින් ගමන් කිරිමට සිදුවනවා නියතය.දෙවියන්වහන්සේගේ බලයත් මහානුභාව සම්පන්නත්වයත් මිනිස් උපදෙස් වලට සහ සාත්නගේ අධි බලයටත් ඉහළින් ක්‍රියාකාරී විය.GrHSin 179.3

    ලූතර්ට තමාගේ ගම රට බලා යන්නැයි රජතුමාගේ කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් විය.තමාව වරදට පත්කරන්නා වූ නිල තීන්දුව මුල් තීන්දුව පසුපස හඹා එන බව ඔහු දැන සිටියේය.තර්ජනාත්මක වලාකුළු ඔහුගේ ගමන් මගට ඉහළින් අරක්ගෙන තිබුණේය.වර්ම්ස් නගරයෙන් බැහැරව යන්නාවූ ඔහුගේ සිත ප්‍රීතියෙන් සහ ප්‍රශංසාවෙන් පිරි තිබුණේය. ˝පාප්ගේ බලකොටුව ආරක්ෂා කිරීමට යක්ෂයා පුද්ගලිකව ඉදිරිපත් විය.නමුත් ක්‍රිස්තුස්වහන්සේ මේ බලකොටුවෙහි විශාල පිපිරීමක් සිදුකර ඇත.තමාට වඩා දෙවි සමිඳාණන් බලවත් බව පිළිගැනීමට සාතන්ට බලකරනු ලැබීය˝යි ලූතර් පැවසීය.GrHSin 180.1

    තමාගේ හෘදය සාක්ෂියට අවනතව දැඩි ස්ථාවරයක පිහිටා නැගී සිටීම නිසා තමාව විප්ලවවාදියෙකු යයි නොසලකනු ලැබීම ලූතර්ගේ ආශාව විය.එහෙයින් ඔහු ඒ ගැන රජතුමාට ලිපියක් යැවීය.˝හදවත් සෝදිසි කරන්නාවු දෙවියන්වහන්සේ මාගේ සාක්ෂිකරුවාණන් වනසේක.මම අවංකවම ඔබතුමාට කීකරු වීමට කැමති බව දෙවියන්වහන්සේ සාක්ෂි දරනවා ඇත.සියල්ලටම ඉහළින් මම දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වන්නෙමි.මට ගෞරවය ලැබුණත් නැතත්, ජීවිතය රැකුණත් ,මරණය හිමිවුවත් ,මම දේව වචනයට කීකරු වෙමි.මනුෂ්‍යයා ජීවත් වන්නේ දේව වචනය කරණකොටගෙනය.වර්තමාන ජීවිතයෙහි සියළු කාර්යන්හීදි මාගේ ගැති භාවය විශ්වාසීකම දේව වචනයෙහි රදවා තැබීමට මම තිරසාරව ගිවිස ගෙන සිටිමි.එහි සසලවිමකට ඉඩක් නැත‍. මේ ලෝකයේදී ලබන්නාවු ලාභය හෝ අලාභය, ගැළවිම කෙරෙහි බලපෑමක් දරන්නේ නැත‍. නමුත් සදාතනය හා බැදි කාරණාවලදි මිනිසාගේ පක්ෂපාතිකම ලැබිය යුත්තේ දෙවියන්වහන්සේට මිස මිනිසාගේ කැමැත්තට නොවේ.ආත්මික කරුණු පිළිබඳව දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත් වීම වනාහි නියම නමස්කාරය වන්නේය.එය මැවුම්කාරයාණන්වහන්සේට පමණක් ලබා දිය යුතුය. “(D.Aubigne, b.7, Ch.11)”GrHSin 180.2

    වර්මස් කරා යන ගමනේදි ලුතර් ලැබු ප්‍රශංසාවන්ට වඩා වැඩි ප්‍රමාණයේ ප්‍රශංසාවන් ආපසු එන ගමනේදි ඔහු වෙත පුද කරන ලදි.ආගමික කුමාර වරු,සභාවෙන් නෙරපන ලැබු මෙම පුජකයාව හරසරින් පිළිගත්තෝය. රජතුමා විසින් ප්‍රසිද්ධියේ චෝදනාවට ලක්කරනු ලැබු ලුතර්ට ගෞරවය පුද කිරිමට සිවිල් නායකයෝ ඉදිරිපත් වුහ.දේශනා කරන්නට එපා යයි රාජකීය තහංචියක් පනවා තිබු නමුත් ජනතා බැතිමතුන්ගේ ඉල්ලීම නිසා හෙතම දේශනා කරන්නට පටන් ගත්තේය.”දෙවියන්වහන්සේගේ වචන දම්වැල් යොදාබැඳ තබන බවට මා ප්‍රතිඥාවක් දුන්නේ නැත.මම එසේ කරන්නේද නැහැ”යි ලුතර් පැවසීය. (Martyn,Vol.I,P.420)GrHSin 180.3

    වර්ම්ස්හි සිට පිටත්ව ගොස් වැඩි දිනක් ගතවීමට පෙර පාප් බලධාරීහු රජතුමා වෙත එළඹ ලූතර්ට විරුද්ධව නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළෝය. මෙම නියෝගය මගින් “ලූතර් වනාහි තාපස පූජක ඇඳුම් ඇඳ ගත් මිනිස් වෙසින් සිටින්නා වූ සාතන් වන්නේය” යි චෝදනා කර තිබුණේය. (D.Aubigne, b.7, Ch 11). ඔහුට ලබාදී තිබුණු රැකවරණ කාල සීමාව නිම වූ විට ඔහුගේ වැඩ කටයුතු නවතා දැමිය යුතු යයි ආඥා කෙරිණ. කිසිවෙකු විසින් හෝ ඔහුට නවාතැන් නොදිය යුතු විය. ඔහුට කෑමක් හෝ බීමක් හෝ දීම නීති විරෝධී විය. ප්‍රසිද්ධියේ හෝ රහසේ හෝ ඔහුට වචනයකින් හෝ ක්‍රියාවකින් හෝ සහාය දීම සපුරාම තහනම් කරනු ලැබීය. ඔහු සිටින්නේ යම් තැනකද, ඔහුව අත්අඩංගුවට ගෙන නිලධාරීන්ට භාර කළ යුතු විය. ඔහුගේ අනුගාමිකයන් සිරගෙට යැවිය යුතු විය, ඔවුන්ගේ ඉඩකඩම් රාජ සන්තක කළ යුතු විය. ඔහුගේ පත පොත විනාශ කර දැමිය යුතු විය. මෙයට විරුද්ධව ක්‍රියා කරන්නා වූ යමෙකු වේද, ඔහුද මෙම දඬුවම්වලට හිමිකාරයෙක් වන්නේය. සැක්සන්හි ආදිපාදවරයා මෙන්ම ලුතර්ට හිතෛෂී කුමාරවරුද ලූතර් හා සමගම වර්ම්ස් අධිකරණයෙන් පිටත්ව ගම රට බලා ගියෝය. රජතුමාගේ තහනම් ආඥාව ධර්මාධිකරණය විසින් පිළිගනු ලැබුවේය. රෝමානු පාලකයෝ මෙයින් ඉමහත් ප්‍රීතියට පත් වූහ. ප්‍රතිසංස්කරණයේ අනාගතය මත මුද්‍රා තබන ලද්දේ යයි ඔවුහු උද්දාමයට පත් වූහ.GrHSin 181.1

    මෙම කටුක හෝරාවේදී තම සේවකයාගේ ආරක්ෂාව සාදා දීමට දෙවියන්වහන්සේ ඉදිරිපත් වූ සේක. සුපරික්ෂාකාරී ඇසක් ලූතර්ගේ ගමන් බිමන් පරීක්ෂා කළ අතර එක්තරා පුද්ගලයෙක් ඔහුට පිළිසරණ වීමට අධිෂ්ඨාන කර ගත්තේය. ලූතර්ගේ මරණයට අමතර වූ කිසිම දෙයකින් රෝමය සතුටු වන්නේ නැති බව පැහැදිලි විය. සිංහයාගේ මුඛයෙන් ලූතර්ව බේරා ගැනීමට නම් ඔහුව සඟවා තබා ගත යුතු බව පැහැදිළි විය. මේ ප්‍රතිසංස්කාරකයා බේරා ගැනීම සඳහා වැඩ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට දෙවියන්වහන්සේ සැක්සනියේ ෆ්‍රෙඩ්රික්ට ප්‍රඥාව ලබා දුන් සේක. සත්‍යවූ මිතුරන්ගේ සහාය ඇතිව ෆ්‍රෙඩ්රික්ගේ සැලැස්ම ක්‍රියාත්මක විය. මිතුරන්ගෙන් මෙන්ම සතුරන්ගෙන්ද ලුතර්ව සඟවා තබන ලදී. ලූතර් විටන්බර්ග් බලා යන ගමනේදී ඔහුව බලෙන් අල්ලා ගත් එක්තරා කණ්ඩායමක් ඔහුව සිය පරිවාර පිරිසගෙන් වෙන් කර කැලයට රැගෙන ගියෝය. එක්තරා හුදෙකලා කැලෑබද පවුරක් වූ වෝට්බර්ග් වෙත ඔහුව ගෙන යනු ලැබීය. ඔහුගේ අල්ලා ගැනීම සහ ඔහු රඳවා සිටි ස්ථානය ද කෙතරම් රහසිගතව තබා ගන්නා ලද්දේද යත්, කලක් යන තුරු ෆ්‍රෙඩ්රික්ට පවා සත්‍ය තොරතුරු දැනගැනීමට නොහැකි විය. මෙය හේතු සහගත සැලැස්මක් විය. මක්නිසාදයත්, ෆ්‍රෙඩ්රික් විසින් ලූතර් සිටින තැන නොදැන සිටින තාක් කල් ඔහුට ලූතර් පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නොවීය. ලූතර් ආරක්ෂා සහිතව සිටින බව පමණක් දැන සිටීමෙන් ඔහු සෑහීමකට පත් විය.GrHSin 181.2

    වසන්ත, ගිම්හාන, සරත් සෘතු ගත වී ශීත සෘතුව උදා විය. ඒ වනතුරුත් ලූතර් සිරභාරයේ සිටියේය. ශුභාරංචි ආලෝකය නිවා දැමීමට තමන් සමත් විය යන කල්පනාවෙන් ඇලියැන්ඩර් සහ ඔහුගේ පාක්ෂිකයෝ ප්‍රීති වූහ. එසේ වී නමුත් මේ වන විටත් පුනරුදවාදියා තමාගේ පහනට සත්‍යතාවයේ ගබඩා ගෙයින් ඉන්ධන පුරවා ගනිමින් සිටියේය. එහි ආලෝකය තව තවත් දීප්තිමත්ව ප්‍රභා රැස් විහිදවීමට තිබුණේය.GrHSin 182.1

    වෝට්බර්ග් පවුරෙහි සුරක්ෂිතව කල් ගෙවූ ලූතර්, සංග්‍රාමයෙහි ආරාවුල් සහ කලබලවලින් ඈත්ව සිටීමට ලැබීම ගැන කලක් ප්‍රීතියෙන් යුතුව සිටියේය. එහෙත් හුදෙකලාව විවේක ගනිමින් කාලය මැරීම ඔහුට තවත් කළ හැකි දෙයක් නොවීය. ක්‍රියාදාමයන්ගෙන් පිරි, සෘජු සටන් සමඟ ජීවත්වීමේ රටාවකට පුරුදුව සිටි ලූතර්ට නිසොල්මන් ජීවිතය හිංසාකාරී දෙයක් විය. ඔහු හුදෙකලාව සිටි කාලයේදී සභාවේ තත්ත්වය ගැන ඔහුගේ අවධානය යොමු විය. ඒ ගැන ඔහු බලාපොරොත්තු රහිතව, “අහෝ දෙවියන්වහන්සේගේ උදහසෙහි මේ අන්තිම දවස්වලදී දෙවි සමිඳාණන් ඉදිරියෙහි පවුරක් මෙන් නැගී සිට ඊශ්‍රායෙලිතයන් මුදවා ගැනීමට කවුරුවත් නැද්ද?” කියමින් වැලපුණේය. (D. Aubigne, p 9: Ch2). දැන් ඔහුගේ අවධානය නැවත තමා වෙතම යොමු විය. තරඟයෙන් ඉවත්වීම කරණ කොටගෙන තමා බියගුල්ලෙකු වූයේය යන චෝදනාව තමා වෙත එල්ල විය හැකි නොවේදැයි ඔහු සිතන්නට විය. තමාගේ උදාසීනකම සහ තමාගේ අනාගත සුරක්ෂිතතාව සෙවීමට යොමු වීම ගැන ඔහු තමාටම දොස් පවරා ගත්තේය. එහෙත් යම් මිනිසෙකුට තනිවම කළ හැකි උපරිමයට වඩා වැඩි කාර්යභාරයක් ඔහුගෙන් ඉටුවෙමින් තිබුණි. ඔහුගේ පෑන කිසිවිටෙකත් අක්‍රියව නොපැවතියේය. ඔහුව නිශ්ශබ්ද කිරීමට හැකිවීම ගැන සතුරෝ අමන්දානන්දයට පත්වෙමින් සිටියදී; ඔහු තවමත් ජීවතුන් අතර සිටිතැයි පිළිගත හැකි සාක්ෂි ලැබීමෙන් ඔවුහු මවිතයට පත් වූහ, ව්‍යාකූලයට පත් වූහ. ඔහුගේ පෑන් තුඩින් එළිබට පත්‍රිකා ගණනාවක් ජර්මනිය පුරා බෙදා හැරෙමින් තිබුණේය. ඒ අතරම හෙතෙම අලුත් ගිවිසුම ජර්මන් බසට පරිවර්තනය කිරීමෙන් තම පීතෘ භූමියට අගනා සේවාවක් ඉටු කළේය. ස්වකීය කඳුකර පත්මොස්හි සිට ශුභාරංචිය පතුරුවා හරිමින්ද, එකල සිදුවන්නා වූ පාප සහ වැරැදිවලට තරවටු කරමින් ද ඔහු වසරක කාලයක් එහි ගත කළේය. GrHSin 182.2

    ප්‍රසිද්ධ වේදිකාවෙන් තම දාසයා කලකට ඉවත් කර තැබීමට දෙවියන්වහන්සේ සැලසුම් කළේ, ඔහුගේ සුරක්ෂිත භාවය සඳහා පමණක් නොවීය, ඔහුට විවේකී කාලයක් ලබාදීමටද නොවීය. සතුරන්ගෙන් ග්‍රහණයෙන් ඈත්කර තැබීමටද නොවීය. මේවාට වඩා තවත් අගනා ප්‍රතිඵලද ආරක්ෂා කරනු ලැබිය යුතු විය. කඳුකර නිවහනෙහි හුදෙකලාව, රහසිගතව සිටි ඔහුට භූමික ආධාරවලින් තොරව ජීවත් වීමට සිදුවිය. මිනිස් ප්‍රශංසාවලින් ඔහුව වෙන්කර තිබුණේය. ජයග්‍රහණයක් මගින් උදාවන්නා වූ උඩඟුකමෙන් සහ ආත්ම විශ්වාසයෙන් ඔහුව ඈත්කර තැබීම දේව අභිප්‍රාය විය. දුක්විඳීමට සහ නින්දාවට පත්කරනු ලැබීම ඔහුගේ කොටස විය. ඒවා තුළින් ඔහු විශේෂ පුහුණුවක් ලැබීය. එයින් උදා වූ ජවය කරණකොටගෙන ඔහුව ඔසවා තබනු ලැබූ එකී ඉතා උසස් තලයේ නැවත වරක් කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව ඔහුට ලැබුණේය.GrHSin 182.3

    සත්‍යය උදාකර දෙන්නා වූ නිදහස ගැන මනුෂ්‍යයෝ ප්‍රීතියට පත් වෙති. මිනිසුන් යදමින් බැඳ තබන වරදින් සහ මිථ්‍යා ඇදහිලි ක්‍රමවේදයන්ගෙන් නිදහස ලබාදීමට දෙවියන්වහන්සේ ස්වකීය සේවකයන් යොදා ගන්නා සේක. මෙම අයට ප්‍රශංසා කරමින් ඔවුන්ට ගරු කිරීමට මනුෂ්‍යයෝ යොමු වෙති. දෙවියන් වහන්සේ ගැන වූ සිතුවිලි සහ ආදරය මිනිසුන් වෙතින් ඉවතට හැරවීමට සාතන් මාන බලමින් සිටී. එම සෙනෙහස සහ චින්තනය මනුෂ්‍යයන් කෙරෙහි යොමු කිරීම ඔහුගේ සැලැස්ම වන්නේය. දේව මගපෙන්වීමේ හස්තය මගින් භාවිත කළ මානව උපකරණයට ගරුසරු දැක්වීමට මිනිසාව යොමු කිරීම සාතන්ගේ වෑයම වන්නේය. ඒ මගින් දෙවියන්වහන්සේට හිමි විය යුතු ගෞරවය වැලැක්වේ. මෙසේ ගෞරවයට සහ ප්‍රශංසාවට පාත්‍ර වන්නා වූ ආගමික නායකයෝ දෙවියන්වහන්සේ කෙරෙහි වූ රඳා පැවැත්ම අමතක කර දමා තමන් කෙරෙහි විශ්වාසය රඳවා ගැනීමට යොමු වෙති. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවන් අය, තමන් යටතේ සිටින බැතිමතුන්ගේ මනස් සහ හෘදය සාක්ෂි පාලනය කිරීමට යොමු වෙති. පාපයෙන් ගැලවීමේ මාර්ගයට ගෙන එනු ලැබූ, මෙම බැතිමත්හු තමන්ට මගපෙන්වීම සඳහා දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහි රඳා නොසිට තමන්ට මාර්ගය පෙන්වා දුන් දේවගැතිවරයා කෙරෙන් මගපෙන්වීම බලාපොරොත්තු වෙති. මෙවන් ක්‍රියා කලාපයක් හා ආත්මයක් දේව සේවකයන් විසින් අනුගමනය කිරීම නිසා ප්‍රතිසංස්කරණයේ ක්‍රියාවේදය පසුබෑමකට ලක්වෙයි. මෙම අනතුරුදායක තත්ත්වයෙන් එහි මෙහෙය රැක ගැනීමට දෙවියන්වහන්සේ ක්‍රියාත්මක වනසේක. ශුභාරංචිය පැතිරවීමෙහි සේවාවට මිනිස් මුද්‍රාව නොව දේව මුද්‍රාව ලැබීම දෙවියන්වහන්සේගේ අභිප්‍රාය වන්නේය. සත්‍යතාව පහදා දුන් පුද්ගලයා ලෙස මිනිසුන්ගේ ඇස් ලූතර් වෙත යොමු වී තිබුණේය. ඔවුන්ගේ දෑස් සත්‍යතාවයේ සදාතන කතුවරයාණන් වෙත යොමු කරනු වස් දෙවියන්වහන්සේ ලූතර්ව මිනිස් දර්ශනයෙන් ඉවත් කර තැබූ සේක.GrHSin 183.1