Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    9 - ස්විස්ටර්ලන්තයේ ප්‍රතිසංස්කරණවාදියා

    (1484 - 1531)GrHSin 184.1

    දේව සභාව ස්ථාපිත කිරීම දෙවියන්වහන්සේගේ සැලැස්ම මත උන්වහන්සේගේ නියමය පරිදි සිදුවිය. එසේම සභාව ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒ සඳහා යෝග්‍ය වූ ක්‍රියාකාරී භට පිරිසක් තෝරා ගැනීමද උන්වහන්සේගේ සැලැස්මෙහි කොටසක් විය. ස්වර්ගීය ගුරු දේවයාණෝ පොළොවෙහි කීර්තිධරයන් ඒ සඳහා යොදා නොගත් සේක. උසස් තනතුරු දැරූ ධනවතුන් උන්වහන්සේගේ තේරීම නොවීය. එවන් අයගේ පරමාර්ථය වූයේ මහජන ප්‍රශංසාවට සහ ගෞරවයට පාත්‍ර වීම පමණය. ඔවුන් තුළ අහංකාරය රජ කළේය. තමන්ගේ හැකියාවන් කෙරේ ඔවුහු දැඩි ඇගයීමක් සහ විශ්වාසයක් තැබූහ. තම සහෝදර ජනතාව සමඟ සානුකම්පාවෙන් යුතුව ක්‍රියා කිරීමට ඔවුන්ව හැඩගැස්වීම උන්වහන්සේගේ තෝරා ගැනීම නොවීය. නිහතමානී නාසරිය තැනැන්වහන්සේ සමඟ සහායක සේවකයන් වීමට එවන් අය සුදුසු නොවීය. සභාව ස්ථාපිත කළ මුල් අවස්ථාවේදී සේවය සඳහා කැඳවීම ලැබුවෝ වැඩි උගත්කමක් නොතිබූ වෙහෙස මහන්සිව දිවි ගෙවූ මසුන් මරන්නෝය. “මා පස්සේ එන්න. මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමි” යනුවෙන් ඔවුන්ට කැඳවීම දෙනු ලැබීය. (මතෙව් 4:19). මෙම ගෝලයෝ නිහතමානී අය වූහ. උගන්වන්නා වූ දේවල් ග්‍රහණය කරගැනීමට ඔවුහු යටහත් පහත් වූහ. එකල ප්‍රචලිතව පැවැති ව්‍යාජ ඉගැන්වීම් මගින් වූ බලපෑම් ඔවුන් තුළ අඩු වූ තරමට ඔවුන්ට ගුරුහරුකම් ලබාදෙමින් පුහුණු කිරීමට වූ හැකියාව වැඩි විය. ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වූ සත්‍යමය වූ දහම් වටහා ගැනීමේ හැකියාව ඔවුන් තුළ වැඩි විය. අති විශිෂ්ට ප්‍රතිසංස්කරණය සිදු වූ සමයේදී ද ක්‍රියාත්මක වූයේ එවන් ක්‍රමවේදයකි. ප්‍රතිසංස්කරණයේ ප්‍රබල නායකයෝ සාමාන්‍ය පවුල්වලින් පැවත එන්නෝ වූහ. ඔවුහු තමන් දැරූ තනතුරු නිසා උඩඟුකමින් හිස උදුම්මා නොගත් අය වූහ. ඔවුහු අවිචාර බුද්ධියෙන් තමන්ගේම මතයෙහි එල්බ සිටි අය නොවූහ; එසේම, දහම් ගැටළුවලින් නරක් වූ අයද නොවූහ. නිහතමානී අය නොදවා ගනිමින් විශාල මෙහෙයන් සාර්ථකව ඉටු කරගැනීම දෙවියන්වහන්සේගේ සැලැස්ම වන්නේය. එවිට කර්තව්‍යයෙහි ගෞරවය හිමි වන්නේ මිනිසුන්ට නොව ඔවුන් තුළින් තමන්වහන්සේගේ කැමැත්ත ක්‍රියාත්මක කරන්නා වූ තැනැන්වහන්සේටය. ස්වාමියාණන්ගේ කැමැත්ත ඉටුවීමෙන් සේවකයාටද එහි ප්‍රීතියට ඇතුළු විය හැකිවේ.GrHSin 184.2

    ලූතර් සැක්සනියේ පතල් කරුවෙකුගේ කුඩා නිවසක උත්පත්තිය ලැබුවාට සති ස්වල්පයකට පසුව යුල්රික් ස්වින්ග්ලි ඇල්ප්ස් කඳුකරයේ ගොපල්ලෙකුගේ නිවෙසහි උපත ලැබීය. ළමා කාලයේදී ස්වින්ග්ලි දිවිගෙවූ පරිසරයත්, මුල් කාලයේදී ලැබූ අධ්‍යාපනයත් තුලින් අනාගතයේ කාර්යභාරය ඉටුකිරීම සඳහා ඔහු පුහුණුව ලැබීය. ස්වභාවික විභූතියත්, අලංකාරයත් , මනහර වටපිටාවත් මගින් ඔහුගේ මනස තුළ දෙවියන්වහන්සේගේ අති උදාර ශ්‍රේෂ්ඨත්වයත්, අසම සම බලයත්, තේජෝබල මහිමයත් පිළිබඳව සිතුවම් සනිටුහන් වී තිබුණේය. ඔහුගේ නිජ භූමිය වූ කඳුකරයෙහි පැවති නිර්භීත ක්‍රියාවන්ගේ ඉතිහාසය ඔහුගේ තුරුණු වියෙහි අභිලාෂයන් කෙරෙහි බලපෑමක් ඇති කළේය. වංශ කථා සහ සම්ප්‍රදායයන් මුසු වූ දේශනා තුළින් ලබා ගත් බයිබල් කථා අගය කළ තම මිත්තණියගෙන් ස්වින්ග්ලි බයිබල් විස්තර ඉගෙන ගත්තේය. වංශාධිපති පියවරුන් සහ දිවැසිවරුන් විසින් සිදු කළ අනගි ක්‍රියාවන් ගැන ඇසීමට ඔහු මහත් උනන්දුවක් දැක්වීය. පලස්තීන කඳුකරයේ බැටළුවන් බලා ගනිමින් සිටි එඬේරුන්ට දේව දූතයන් පැවසූ විස්තරයත්, බෙත්ලෙහෙමේ බිළිඳා පිළිබඳවත්, කල්වාරියෙහි මනුෂ්‍යායාණන් සම්බන්ධවත් වූ පුවත් සියල්ලත් අසා සිටීමට ඔහු ඉමහත් කැමැත්තක් දැක්වීය.GrHSin 185.1

    ලූතර් මෙන්ම ස්වින්ග්ලිගේ පියාද තම පුතාට මනා අධ්‍යාපනයක් ලබාදීමට ආශා කළේය. ඒ සඳහා ළමා ස්වින්ග්ලිව ඔහු ජීවත්ව සිටි නිම්න භූමියෙන් පිටතට යවනු ලැබීය. ඔහුගේ මනස ශීඝ්‍රයෙන් වර්ධනය විය. ඔහුගේ අධ්‍යාපන පරමාර්ථයන් ඉටුකර දීමේ නිපුණත්වයක් ඇති ගුරුවරුන් සොයා ගැනීම ස්වින්ග්ලිගේ පියාට ප්‍රශ්නයක් විය. දහතුන් වියෙහි සිටි ඔහුව බර්න්හි විදුහලකට යවන ලදී. ස්විට්සර්ලන්තයේ ඉතා ඉහළින් පිළිගත් පාසලක් තිබුණේ බර්න්හි පමණක්ය. ඔහුගේ ජීවත අභිලාෂය අඳුරු කිරීමට තර්ජනයක් පාසැලේදී ඔහුට එල්ල විය. තාපසාරාමයකට ඇතුළු වන්නැයි එම පාසලේ ගුරු තාපසවරු ඔහුට බලපෑම් එල්ල කරන්නට වූහ. ජනප්‍රසාදය දිනාගැනීම් වස් ඩොමිනිකන් තාපසාරාම බලවත්හු සහ ෆ්‍රැන්සිස්කන් තාපසාරාම බලවත්හු ප්‍රබල වෑයමක යෙදී සිටියෝය. මෙම ව්‍යායාමයෙන් ජයග්‍රහණය කිරීම සඳහා ඔවුහු නෙත් සිත් ඇදගන්නා ප්‍රදර්ශන ඉදිරිපත් කළෝය. විවිධාකාර අලංකාර සැරසිලි මගින් තම දේවස්ථාන අලංකාර කිරීමට ඔවුහු තරඟ වැදුණෝය. මංගල්‍යයන් සහ උත්සව ආදිය බාහිර අටෝපයන්ගෙන් සැරසීමට මහත් වෑයමක් ද විය. වැඳුම් පිදුම් වලට භාජනය වූ පුද්ගලයන්ගේ ධාතු සහ හාස්කම් සිදුකරන්නා වූ ප්‍රතිමා රූප මගින් තම දේවස්ථාන ආකර්ෂණය කිරීමට ඔවුහු තරඟ වැදුණාහ. GrHSin 185.2

    ස්වින්ග්ලි නම් වූ මෙම තරුණ විද්වතා තමන්ගේ පාර්ශ්වයට දිනාගත හොත් ලාභ ප්‍රයෝජන මෙන්ම ගෞරවයද අත්පත් කරගත හැකිවෙනවා ඇතැයි බර්න්හි සිටි ෆ්‍රැන්සිස්කන්වාදී ආචාර්යවරු කල්පනා කළහ. මේ තරුණ විද්වතා තුළ කථනයෙහි සහ රචනයෙහි නිපුණත්වය ඉතා ඉහළ තලයක පිහිටා පැවැතියේය. දේවස්ථානයේ වූ ආත්මික මෙහෙයන් සඳහා වැඩි බැතිමතුන් සංඛ්‍යාවක් ඇද ගැනීමටද ආදායම වැඩි කරගැනීම සඳහාද උපක්‍රමශීලී ව කටයුතු කිරීමටද මෙම තරුණ විද්වතා පාවිච්චි කළ හැකි බව ඔවුහු කල්පනා කළහ. ඔහුගේ චතුර කථිකත්වයත් රචනයෙහි ප්‍රවීණත්වයත්, හසල සංගීත නිපුණත්වය සහ කවීත්වයත් තුළින් තම අරමුණ ඉටුකර ගැනීමට හැකිවේ යයි මේ පූජක පක්ෂය බලාපොරොත්තු වූහ. තමන්ගේ තාපසාරාමයට ඔහුව ඇතුළත් කරගැනීම උදෙසා ඩොමිනිකන්වාදී පූජක අධිපතීහු වංචාකාරකමක් ද චාටු බස් දෙඩීමද නොඅඩුව භාවිතයට ගත්තෝය. පාසල් යන සිසුවකුව සිටියදී මාර්ටින් ලූතර් තාපසාරාමයකට හිමිකම් කියමින් තම ජීවිතය කැප කිරීම මගින් ඔහුව ලෝකයට අහිමි වන්නට හැකියාව තිබුණේය. එහෙත් දෙවියන් වහන්සේ ස්වින්ග්ලිවද එයින් මුදා ගත්සේක. තාපසාරාම කුටියක සිරකරුවකු බවට පත්කිරීමේ අනතුරට භාජනය වීමට ස්වින්ග්ලිට අවසර නොලැබුණේය. තාපස ඇඳුරන්ගේ සැලැස්ම ගැන ඔහුගේ පියාට තොරතුරු ලැබෙන්නට විය. තමාගේ පුත්‍රයා පූජක තාපසයෙකුගේ වැඩකට නැති නිෂ්ඵල දිවියක් ගෙවනු දැකීම ස්වින්ග්ලිගේ පියාගේ පරමාර්ථය නොවීය. තම පුතාගේ අනාගත හැකියාවන් තීරණාත්මක සන්ධිස්ථානයක් කරා පැමිණ ඇති බව පියාගේ හැඟීම විය. හැකි ඉක්මණින් ගෙදර පැමිණෙන ලෙස ඔහු තම පුත්‍රයාට නියම කළේය.GrHSin 185.3

    ඉල්ලීම ක්‍රියාත්මක විය. එහෙත් තම උපන් ගමෙහි සිටීමෙන් ඔහුට සෑහීමට පත්වන්නට හැකි නොවීය. ටික කලක් එම නිම්නයේ කාලය ගත කළ ස්වින්ග්ලි තම අධ්‍යාපන කටයුතුවල නිරත වීම් වස් නැවත වරක් බේසල් නගරය කරා පිය මැන්නේය. දෙවියන්වහන්සේ නොමිලයේ දානය කරන්නා වූ කරුණා - අනුග්‍රහය ගැන ඔහුට මුල් වතාවට අසන්නට ලැබුණේ මෙහිදීය. ඔහු අධ්‍යාපනය ලද විදුහලේ සිටි ආචාර්යවරයෙකු වූ විටන්බැක් පැරණි භාෂා ඉගැන්වීමේ ප්‍රධාන ගුරුවරයා විය. ග්‍රීක් සහ හෙබ්‍රෙව් භාෂා අධ්‍යයනයෙහි යෙදී සිටින අතරේදී ඔහුගේ අවධානය ශුද්ධ ලියවිලි කෙරෙහි යොමු විය. තමා ලැබූ සත්‍යතාවේ දිව්‍ය ආලෝක රැස් දහරා සිසුන්ගේ මනස් තුළට අවතීර්ණ කිරීමේ මං පෑදුණේය. පාසල් ආචාර්යවරුන් සහ දර්ශනවාදීන් විසින් ප්‍රකාශ කරන්නා වූ මතවාදයන්ට වඩා පැරණිවූ ද, අනන්ත අගනා වටිනාකමින් යුතු වූ ද සත්‍යතාවක් ඇතැයි ඔහු තම සිසුන්ට පහදා දුන්නේය. එම මාහැඟි සත්‍යතාවය නම් පව්කාරයාගේ පව්වලට වන්දි ගෙවීමක් කළ හැකි එකම මාධ්‍යය වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය කරණකොටගෙ පමණක් බව ඔහු පැවසුවේය. අරුණ උදාවට පෙර ස්වින්ග්ලිගේ මනසට ඇතුළු වූ පළමුවන ආලෝක දහරාව මෙම වදන් විය.GrHSin 186.1

    බේසල්හි සිටි ස්වින්ග්ලි ඇල්පයින් කඳුවැටි ප්‍රදේශයේ පූජකවරයා ලෙස සේවය කිරීමට කැඳවනු ලැබීය. එම ප්‍රදේශය ඔහුගේ නිවසට ආසන්න විය. ඔහු පූජකයකු ලෙස අභිෂේකය ලැබීය. “ඔහුගේ එකම අරමුණ වූයේ දිව්‍ය සත්‍යතාව සොයමින් එය පසුපස යෑමය. ක්‍රිස්තුස්වහන්සේගේ බැටළු රැළෙහි භාරය තමාට පවරාදී ඇති නිසා තමා පුළුල් ලෙස ධර්මය ඉගෙන ගෙන තිබිය යුතුය යන්න ඔහු මනාව අවබෝධ කරගෙන සිටියේය” යි සමකාලීන ප්‍රතිසංස්කාරකයෙක් පවසා ඇත. (Wylie, b. 8, Ch. 5). ඔහු තව තවත් ගැඹුරට ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරත්ම, එහි අඩංගු සත්‍යතාවයන් හා රෝමානු දහමේ ඉගැන්වීම් අතර වූ විරෝධතා ඔහුට වඩ වඩාත් පැහැදිලිව පෙනී යන්නට විය. බයිබලය වනාහි දෙවියන්වහන්සේගේ වචනය බව ඔහු හදවතින්ම පිළිගත්තේය. දහම් අධ්‍යයනයේදී බයිබලය මත පමණක් සියල්ලම පදනම් විය යුතු බවත්, ඒ සඳහා ප්‍රමාණවත්වූද, වැරැදි විය නොහැකිවූද එකම පසුතලය ශුද්ධ බයිබලය බවත් ඔහුගේ තීරණය විය. බයිබලයෙහි ප්‍රකාශනවලට අර්ථකථනය සැපයීමට එයටම ඉඩ හල යුතු බව ඔහු දුටුවේය. සිත්හි මුල්බැසගෙන තිබූ මත සහ දහම් පදනම් කරගෙන ශුද්ධ ලියවිල්ල පැහැදිලි කරදීමට ඔහු බිය විය. බයිබලයේ අන්තර්ගත පද අනුසාරයෙන් යම් ඉගැන්වීමක සෘජු යථාර්ථ අදහස සොයා ගැනීම තම වගකීම බව ඔහුගේ කල්පනාව විය. යම් දහමක සම්පූර්ණවූද, සත්‍යයවූද ඉගැන්වීම කුමක්දැයි සොයා ගැනීමට ඔහු හැකි සෑම මාර්ගයකම පිහිට සෙවීය. ඔහු ශුද්ධාත්මයාණන්ගේ පිහිට ඉල්ලා සිටීමට පසුබට වුණේ නැත. හදවතෙහි අවංකභාවයෙන් සහ යාච්ඤාවෙන් ඉල්ලා සිටින්නා වූ සැමට, සත්‍යය එළිදරව් කිරීමට ශුද්ධාත්මයාණන්වහන්සේ ක්‍රියා කරන බව ඔහු විශ්වාස කළේය.GrHSin 187.1

    ස්වින්ග්ලි මෙසේ පැවසුවේය: “ශුද්ධ ලියවිල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන් මිස මිනිසාගෙන් නොවේය. මනස ආලෝකමත් කරන්නාවූ තැනැන්වහන්සේ දෙවියන්වහන්සේගේ කථනය වූ වදන් තේරුම් ගැනීමට ඔබට උපකාර කරනවා ඇත. දෙවියන්වහන්සේගේ වචනයට ... පරාජය වීමක් නැත. එය දීප්තියෙන් අනූනය; එය තුළින්ම ඉගැන්වීම් ඇතිවන්නේය; සියලු විමුක්තියෙන් සහ කරුණා අනුග්‍රහයෙන් ආත්මය ආලෝකමත් කරන්නේය; ශුද්ධ වචනය දෙවියන් වහන්සේ තුළ මිනිසා සනසන්නේය; නිහතමානී බවට පත්කරන්නේය; තමාවම අහිමි කරගනිමින් දෙවියන්වහන්සේව වැළඳ ගැනීමට මං සාදන්නේය.”(Wylie, b. 8, Ch. 6). මෙම වදන්හි සත්‍යතාව ස්වින්ග්ලිටම පැහැදිලිව ඔප්පු වී තිබුණි. මෙකල ඔහුට හිමිවූ අත්දැකීම ගැන පසුකලෙක හෙතෙම මෙසේ ලියා ඇත: “ශුද්ධ ලියවිලි ඉගෙනීමට මා සම්පූර්ණ කාලය යොමු කළ විට පණ්ඩිතයන්ගේ සහ විශාරදයන්ගේ දර්ශන වේදය සහ දේවධර්ම වේදය එයට විරුද්ධව දැඩි ලෙස තර්ක විතර්ක ඉදිරිපත් කළේය. අන්තිමේදී මම මෙවන් තීරණයකට පැමිණියෙමි. මාගේ සිතට මම මෙසේ පැවසීමි. “සිතේ තිබෙන්නාවූ සෑම කල්පිතයක්ම අයින් කරන්න. දෙවියන්වහන්සේගේ සරල වචනයෙහි ඇති තේරුම ඉගෙන ගැනීමට වෑයම් කරන්ත.” මට උන්වහන්සේගේ ආලෝකය ලබා දෙන්නැයි මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියෙමි. එකල්හි ශුද්ධ ගියවිල්ල තේරුම් ගැනීම මට පහසු විය.” (Wylie, b. 8, Ch. 6).GrHSin 187.2

    ස්වින්ග්ලි විසින් දෙසූ දහම ලූතර්ගෙන් ලැබූ ඉගැන්වීමක් නොවීය. ස්වින්ග්ලි දේශනා කළේ ක්‍රිස්තුස්වහන්සේගේ දහමය. ස්විස්ටර්ලන්තයේ සිටි මේ ප්‍රතිසංස්කාරකයා මෙසේ පැවසුවේය. “ලූතර් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව දේශනා කරන්නේ නම්, ඔහු කරන්නේත් මා කරන දේමයි. ඔහු ක්‍රිස්තුස්වහන්සේ වෙත ගෙනැවිත් තිබෙන සංඛ්‍යාව මා ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙනැවිත් තිබෙන පිරිසට වඩා විශාලය. ඒ ගැන තර්කයක් නැත. මම ක්‍රිස්තුස්වහන්සේගේ සොල්දාදුවෙක් වෙමි. උන්වහන්සේ මාගේ නායකයාණෝය. උන්වහන්සේගේ නාමය හැරෙන්නට මම වෙන නාමයක් දරන්නේ නැත. මම ලූතර්ට එකම වචනයක් හෝ ලියා නැත. එසේම ලූතර් විසින්ද මට කිසිම වචනයක් හෝ ලියා එවා නැත. එසේ වන්නේ කුමක් සඳහාද? දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ කිසිම අවස්ථාවක හෝ දෙයාකාරයකින් උගන්වන්නේ නැති බව ඒත්තු ගැන්වීමටය. එසේ අප දෙදෙනා කිසිම සබඳතාවයකින් තොරව ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මය පූර්ණ එකඟතාවයකින් යුතුව ප්‍රකාශ කරමුව.” (D. Aubigne, b. 8, Ch. 9).GrHSin 188.1

    එයින්සීඩල්හි තාපසාරාමයේ දේශනා කරන්නැයි 1516 දී ස්වින්ග්ලිට ඇරයුමක් ලැබුණේය. මෙහිදී රෝමයේ දූෂිත ක්‍රියාදාමයන් ඉතා සමීපව දැනගැනීමේ අවස්ථාවක් ඔහුට උදා විය. ප්‍රතිසංස්කාරකයෙකුගෙන් සිදුවිය යුතු බලපෑම ඔහු උපන් බිමෙහි පමණක් නොව ලොව පුරා ඈතට විහිදී යෑමේ ප්‍රවණතාව ප්‍රබල විය. එයින්සීඩල්හි දේවස්ථානයට බැතිමතුන් ඇද ගැනීමේ සුවිශේෂී ප්‍රතිමාවක් තිබුණේය. එය වූකලී හාස්කම් සිදුකිරීමේ බලය ඇති කන්‍යා මරියාගේ රූපයකි. එකී තාපසාරාම පිවිසීමේ දොරටුවට ඉහළින් මෙම වදන් චිත්‍රගත කර තිබුණේය: “මෙහිදී ඔබේ පව්වලට සීමා රහිතව කමාව ලබාගත හැක.”කන්‍යා මරියාගේ පිළිමය තිබුණා වූ මෙම පූජනීය ස්ථානයට වන්දනාකරුවෝ අවුරුද්ද පුරාම පැමිණියෝය. වාර්ෂිකව පවත්වනු ලැබූ මහා මංල්‍යයට සහභාගී වීම සඳහා ස්විට්සර්ලන්තයේ නන් දෙසින් ඉතා විශාල පිරිසක් පැමිණියෝය. ප්‍රංශයෙන් සහ ජර්මනියෙන් ද බැතිමත්හු විශාල කණ්ඩායම් වශයෙන් එහි පැමිණියෝය. මෙම දසුනින් ස්වින්ග්ලි මහත් වේදනාවට පත්විය. අන්ධ විශ්වාසයක වහලුන් බවට පත්ව සිටින්නාවූ මෙම ජනතාවට ශුභාරංචිය තුළින් ළඟා කර දෙන්නාවූ ගැළවීම ගැන ප්‍රකාශ කිරීමට ඔහු මෙහිදී ඉදිරිපත් විය.GrHSin 188.2

    ඔහු මෙසේ දේශනා කළේය. “දෙවියන්වහන්සේ මැවූ මේ පෘථිවියෙහි සෑම තැනකම උන්වහන්සේ වැඩ වසන සේක. වෙනත් ස්ථානයකට වඩා වැඩි විශේෂ අකාරයකින් උන්වහන්සේ මෙහි වැඩ සිටිනවා යයි කල්පනා නොකරන්න. ඔබ කුමන රටක හෝ වාසය කළත්, දෙවියන්වහන්සේ එබ සමඟ සිටින සේක, ඔබට ඇහුම්කන් දෙන සේක ... පලක් නැති ක්‍රියාවන්, දුර පළාතක් කරා වූ වන්දනා ගමන්, පඬුරු දීම්, කන්‍යා මරියාට හෝ වෙනත් සාන්තුවරුනට වූ යාච්ඥා කිරීම මගින් ඔබට දෙවියන්වහන්සේගේ කරුණා - අනුග්‍රහය ලබාගන්නට පුළුවන්ද?... අපගේ යාච්ඤා තුළ ගැබ් වී ඇති විශාල ප්‍රමාණයේ වචන වලින් අත්වන සෙත් ශාන්තිය කුමක්ද? දිළිසෙන තාපස හිස්වැස්මකින්, බූගාන ලද හිසකින්, දික්වූ ලෝගුවකින් හෝ රත්රන් නූලෙන් ගෙත්තම් වූ පාවහන් යුගලකින් අත්වන්නා වූ ආනුභාවය කුමක්ද? ... දෙවියන්වහන්සේ අපගේ හදවත් දෙස බලන සේක. එහෙත්, අපගේ හදවත් තිබෙන්නේ උන්වහන්සේට හුඟක් ඈතින්ය. තවද, ඔහු මෙසේද කීවේය: “ක්‍රිස්තුස්වහන්සේ එක්වරක් කුරුසිය මත පූජා වූ සේක. පූජාව මෙන්ම මරනු ලැබූ බැටළු පැටවාණෝද උන්වහන්සේමය. සදාතනය පුරා ජීවත් වන්නාවූ බැතිමතුන්ගේ පාපවලට කමාව සපයා දීමට එම පූජාව සමත්ය. (D’ Aubigne, b. 8, Ch. 5).GrHSin 189.1

    බොහෝ ශ්‍රාවකයන්ට මෙම ඉගැන්වීම කන් කළු නොවීය. ඔවුන් විසින් කරන ලද වෙහෙසකාරී දිග වන්දනාවන් පලක් නැති ව්‍යායාමයක් ලෙස හඳුන්වනු ලැබීමෙන් ඔවුහු සිත් තැවුලට පත්වුහ, කලකිරීමට පත්වූහ. ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ප්‍රදානය කරනු ලබන්නාවූ කමාව තේරුම් ගැනීමට ඔවුන්ට නුපුළුවන් විය. රෝමානු සභාව විසින් ඉදරිපත් කර තිබූ සගයට යෑමේ පැරණි ක්‍රමය තුළ ඔවුහු සෑහීමට පත්වූවෝය. එයට වඩා යහපත් වූ ක්‍රමවේදයක් සෙවීමේ ව්‍යාකූලතාව ගැන ඔවුහු අසීරුවට පත් වූහ. හදවත්හි පාරිශුද්ධතාවට වඩා තමන්ගේ ගැලවීම පූජකයන්ට සහ පාප්ට භාරදීම වඩා පහසු ක්‍රමයක් විය.GrHSin 189.2

    ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගැළවීම උදාකරගැනීමේ සුපුවත, තවත් බැතිමතුන් කණ්ඩායමක් ප්‍රීතියෙන් යුතුව පිළිගත්හ. රෝමය විසින් ඉදිරිපත් කරන ලද පිළිවෙත් අනුගමනය කිරීම මගින් හදවත් තුළ සාමය උදා කළ නොහැකි විය. එමනිසා තම පාප වෙනුවෙන් වන්දි ගෙවූ ගැලවුම්කාරයාණන්ගේ රුධිරය තම පාප උදෙසා හිලව් කරගැනීමට ඔවුහු ඉදිරිපත් වූහ. තමන් ලැබූ අගනා සත්‍යතාවන් සහ ආලෝකය තම ගම් පෙදෙස්හි තවත් අයට එළිදරව් කිරීමට මොවුහු ක්‍රියාත්මක වූහ. මෙසේ ගෙයින් ගෙටෙ, යමින් ගමට සත්‍යතාව රැගෙන යාම නිසා කන්‍ය මරියාගේ සුරුවම වෙත පැමිණෙන්නා වූ වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව පහත බසින්නට පටන් ගත්තේය. දේවස්ථානයට ලැබෙන්නා වූ සම්මාදම අඩු විය. සම්මාදම් අඩුවීම නිසා එයින් කොටසකට හිමිකම් කී ස්වින්ග්ලිගේ වේතනය ද ක්‍රමානුකූලව පහත වැටුණේය. මේ ගැන හෙතෙම කනගාටුවට පත් නොවීය. දුර්ලබ්ධික තේවාවන් සහ ව්‍යාජ ඉගැන්වීම් බිඳ වැටෙනු දැකීමෙන් ඔහු ප්‍රීතියට පත්විය.GrHSin 189.3

    ස්වින්ග්ලි කරගෙන යන්නා වූ මෙහෙවර පිළිබඳව පාලකයෝ අන්ධව නොසිටියහ. එයට හරස්වීම ඔවුහු මඳ කලකට පමා කළෝය. තමන්ගේ ඉලක්කය සපුරා ගැනීමේ අදහසින් ඔවුහු තරමක් නිශ්ශබ්දව තමන්ගේ පක්ෂය සමඟ එකතු වී, එකට අත්වැල් බැඳ ක්‍රියාකිරීමට ඔහුගේ දායකත්වය ලබාගැනීම සභා පාලකයන්ගේ අභිමතාර්ථය විය. සුදුසු ප්‍රතිචාරයක් ලබාගන්නා පිණිස ඔවුහු ස්වින්ග්ලිගේ ගුණ වැනීමට ක්‍රියාත්මක වූහ, ප්‍රශංසා මුඛයෙන් ඔහු පිනවීමට තැත් කළහ. ඒ අතරම සත්‍යතාවද ජනතාවගේ සිත් ආක්‍රමණය කරමින් ව්‍යාප්ත වන්නට විය.GrHSin 190.1

    එයින්සීඩල්හි සේවය කළ ස්වින්ග්ලි දේව සේවයේ කටයුතු පිළිබඳව මනා පුහුණුවක් ලැබීය. මෑත අනාගතයේදී ඔහුට පැවරෙන්වා වූ විශාල කර්තව්‍යය කරගෙන යෑම් වස් එය ඔහුගේ පුහුණුවට මහත් උපකාරයක් විය. වසර තුනක් මේ ස්ථානයේ සේවය කිරීමෙන් පසුව සූරිච්හි ආසන දෙව් මැදුරේ සේවය සඳහා ඔහුට කැඳවීමක් ලැබුණේය. එවිට මේ නගරය ස්විස් සභා ආණ්ඩුවේ ඉතාම වැදගත් නගරය විය. මෙහිදී යම් බලපෑමක් කරනු ලබන්නේද එහි ආනුභාවය විශාල ප්‍රදේශයක් පුරා පැතිර යා හැකි විය. සූරිච්හි දෙව් මැදුර කරා පැමිණෙන ලෙස ඔහුට ඇරයුම් කළ බලධාරීහු අලුත් දෙයක් ක්‍රියාත්මක කිරීමෙන් ඔහුව වළකාලනු වස්, ඔහුගේ කාර්යභාරයන් ගැන ඔහුව දැනුවත් කිරීමට කල් නොයවා ක්‍රියාත්මක වූහ.GrHSin 190.2

    ඔව්හු ඔහුට මෙසේ පැවසූහ. “මෙම කොට්ඨාස මූලස්ථානය යටතේ ඇති සෑම දේවස්ථානයකින්ම උපරිමයෙන් ආදායම් එකතු කරගැනීමට සෑම වෙහෙසක්ම දැරීම ඔබගේ රාජකාරියයි. කුඩා දේවස්ථාන කිසිවක් හෝ අතහැර නොදමන්න. විශ්වාසවන්ත බැතිමතුන් ඔසවා තබන්නට වෑයම් කරන්න. එය දේශනා කූඩුවෙන්ද, පව් කියා‍දීමේ කුටියෙන් ද ක්‍රියාත්මක විය යුතුය. දහයෙන් කොටස සහ අනෙකුත් ගෙවිය යුතු මුදල් ගැන අනුශාසනා කරන්න. සභාවට ඇති ආදරය පෙන්වීම උදෙසා විශ්වාසවන්ත ලෙස සම්මාදම් දීමට බැතිමතුන් උනන්දු කරවන්න. රෝගී වූ බැතිමතුන්ගෙන්, සත් ප්‍රසාද පූජාවෙන් සහ පොදු ආගමික වතාවත්වලින් ද ලැබෙන්නා වූ ආදායම වැඩිකර ගැනීමට ඔබ උනන්දුවෙන් කටයුතු කළ යුතුය. සත් ප්‍රසාද සංකේත බෙදීම, දේශනා කිරීම, රැළ රැකබලා ගැනීම යන මේවාත් පූජකයාගේ කාර්යභාරයන් වන්නේය. මේ සඳහා වෙනත් අයෙකු යොදවා ගැනීමට ඔබට අවසර ඇත. විශේෂයෙන්ම දේශනා කිරීමේදී එසේ කළ හැකිය. ‍වැදගත් යයි පිළිගනු ලබන අයට පමණක් සත්ප්‍රසාද පූප බෙදා දිය යුතුය. ඉල්ලා සිටින්නා වූ අවස්ථාවන්හිදී පමණක් එසේ කළ යුතුය. පුද්ගලයන්ගේ තරාතිරම් නොබලා සත්ප්‍රසාද මෙහෙයක් ඉටුකිරීම ඔබට තහනම්ය. (D. Aubigne, b. 8, Ch. 6).GrHSin 190.3

    වැඩ පැවරීමේ ප්‍රතිඥා පත්‍රයට නිහඬව ඇහුම්කන් දුන් ස්වින්ග්ලි පිළිතුරු දෙමින්, මෙම උසස් පදවිය තමාට ලබාදීමට ගත්පියවරට තමා ස්තූතිවන්ත වන බව පැවසීය. තවද තමා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන්නාවූ වැඩ පිළිවෙල ගැන සඳහන් කරමින් එහු මෙසේ පැවසීය. “ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය බොහෝ කලක් මිනිසුන්ගෙන් වසන් කර ඇත. මතෙව්ගේ ශුභාරංචිය සම්පූර්ණයෙන්ම දේශනා කිරීමට මම අදහස් කරනවා ... ඒ සඳහා කරුණු ශුභාරංචියේ උල්පතින් පමණක් ලබාගැනීම මාගේ අරමුණ වන්නේය. එහි සඳහන් දහම්වල ගැඹුර සොයා බැලීම මාගේ අභිලාෂයයි. ලියවිලිවල එක කොටසක් තවත් කොටසක් සමඟ සසඳමින් තේරුම් ගැනීම සඳහා නිරන්තරව අවංකවම යාච්ඤාවෙහි නිරත වීමට වෑයම් කරන්නෙමි. මාගේ සේවාව මා කැප කරන්නේ දෙවියන්වහන්සේගේ ගෞරවය උදෙසාය, ආත්මවල යථාර්ථවාදී ගැලවීම උදෙසාද, සත්‍යය වූ ඇදහිල්ලෙහි ඥානයෙන් සහ ගුණයෙන් වර්ධනය වීමට අතහිත දීම සඳහාද මාගේ සේවය කැප කරමි.” (D. Aubigne, b. 8, Ch. 6). ඔහුගේ සැලසුම අනුමත කිරීමට ‍සමහර බලධාරීහු කැමැත්ත පළ නොකළෝය. එවැනි මාර්ගයක් ගැනීමෙන් ඔහුව වළක්වාලීමට ඔවුන් උත්සාහ දැරුව නමුත් තමාගේ අධිෂ්ඨානයෙහි නොසැලී සිටීම ඔහුගේ තීරණය විය. අලුත් ක්‍රමවේදයක් හදුන්වා දීමට තමා තුළ චේතනාවක් දැනට නැති බවත්, මුල් කාලයේදී පිරිසිදු ලෙස සභාව විසින් ක්‍රියාවට නැංවූ පැරණි ක්‍රම අනුගමනය කිරීමට තමා වෑයම් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.GrHSin 191.1

    ස්වින්ග්ලි විසින් උගන්වන ලද සත්‍යතාවන් කෙරෙහි උනන්දුවක් දැනටමත් පිබිදී තිබුණේය. ඔහුගේ දේශනාවන් ඇසීමට බොහෝ අය පැමිණියහ. බොහෝ කලෙක පටන් දේවස්ථානයට යාම අත්හැර දැමූ අයද ඔහුගේ ශ්‍රාවකයන් අතර විය. ඔහු තම මෙහෙවරය ආරම්භ කළේ ශුභාරංචි පොත් පෙළට අවධානය යොමු කරමින්ය. එහි අඩංගු පද කියවමින්, එම පද පහදා දෙමින් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය, උන්වහනසේගේ ඉගැන්වීම සහ මරණය ගැන දේවානුභාවයෙන් ලබාදුන් විස්තර ඔහු තම ශ්‍රාවකයන්ට බෙදා දුන්නේය. එයින්සීඩල්හි කළාක් මෙන් එහු මෙහිදී ද ජනතාවට ඉගැන්වූයේ දෙවියන්වහන්සේගේ වචනය නොවරදින සුළු එකම බල අධිකාරිය බවත්, එකම සම්පූර්ණ පූජාව ක්‍රිස්තුස්වහන්සේගේ මරණය බවත්ය. “සැදැහැවතුනි, මා ඔබව යොමු කරන්නේ ක්‍රිස්තුස්වහන්සේ වෙතටය. මිදීම ළඟ කරදීමේ එකම සත්‍යය වූ උල්පත උන්වහන්සේය”යි ඔහු ප්‍රකාශ කර සිටියේය. සෑම තරාතිරමකම පුද්ගලයෝ මේ දේශනාකාරයා වටා එක් රොක් වූහ. රාජ්‍ය සභා පාලකයන් මෙන්ම විද්වතුන්ද, කම්කරුවන් මෙන්ම ගොවීන්ද ඔවුන් අතර වූහ. ඔහු පැවසූ වදන්වලට ශ්‍රාවකයෝ මහත් අවධානයෙන් යුතුව සවන් දුන්නෝය. නොමිලයේ දානය කරන්නා වූ ගැලවීම පිළිබඳවද සමාජයේ පවත්නා දුෂ්ටවූ, නපුරු වූ දූෂණයන් පිළිබඳවද ඔහු කථා කළේය. බොහේ අය දෙව් මැදුරෙන් පිටත්ව ගියේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්ය. “මෙම පුද්ගලයා සත්‍යතාවය කියා දෙන්නාවූ දේශනාකාරයෙකි. මිසරයේ අඳුරෙන් අපව ආලෝකය කරා රැගෙන යන මෝසෙස් මොහුය”යි බහුතරයක් කියන්නට වූහ. (D. Aubigne, b. 8, Ch. 6).GrHSin 191.2

    මුලදී ඔහුගේ සේවය මහත් උනන්දුවකින් යුතුව පිළිගනු ලැබුවද, ටික කලෙකින් එය වෙනස් වී ඔහුට විරුද්ධව හඬක් නැඟෙන්නට විය. ඔහුගේ වැඩ කටයුතුවලට බාධා කිරීමටද, ඔහුගේ ඉගැන්වීම් වරදට පත් කරන්නට ද පැවිද්දෝ පෙළ ගැසුණෝය. සමහරෙක් ඔහුට සමච්චල් කළෝය. තවත් අය අවමන් කළෝය. ඒ අතර තවත් අය ගරුසරු නැතිව ඔහුට නිග්‍රහ කිරීමටත්, තර්ජනය කිරීමටත් උත්සුක වූවෝය. ස්වින්ග්ලි මේ සියල්ල ඉවසීමෙන් යුතුව විඳ දරා ගත්තේය. මේ සියලු විරුද්ධතාවන්ට ඔහුගේ පිළිතුර වූයේ, “පව්කාරයන් ක්‍රිස්තුස්වහන්සේ වෙතට දිනාගැනීමට නම්, අපගේ මාර්ගයේදී අපට බාධා කරන බොහෝ දේවලට අපගේ ඇස් වසාගෙන සිටිය යුතුය” යන්නය. (D. Aubigne, b. 6, Ch. 6).GrHSin 192.1

    ප්‍රතිසංස්කරණ කටයුතු ව්‍යාප්ත කරමින් එම සේවාව නඟාලීමට අලුත් සංවිධානයක් ක්‍රියාකාරී විය. බේසල්හි ප්‍රතිසංස්කරණ ඇදහිල්ලෙහි සිටි අයෙක් ලූතර්ගේ ලියවිලි පොත් සමඟ ලූෂන් නමැති පුද්ගලයෙක් සුරිච්ට යැවීය. ආලෝකය විසුරුවා හැරීමට මෙම පොත් විකිණීමෙන් මහත් සේවයක් සිදුවෙනවා ඇතැයි ඔහු යෝජනා කළේය. ඔහු ස්වින්ග්ලිට මෙසේ ලියා ඇරියේය. “පොත් රැගෙන එන පුද්ගලයාට උදව් කරන්න. මේ තැනැත්තාට ප්‍රමාණවත් සිහි බුද්ධියක් සහ හැකියාවක් තිබේදැයි සොයා බලන්න. එවන් ගුණාංග ඔහු සතුව තිබේ නම්, ප්‍රාන්තයෙන් ප්‍රාන්තයටත් නගරයෙන් නගරයටත්, ගමින් ගමටත් අවශ්‍ය නම් ගෙයින් ගෙටත් යාමට ඔහුට ඉඩ දෙන්න. ස්විස්ටර්ලන්තය මුළුල්ලේ ලූතර්ගේ පොත් ගෙන යාමට ඔහුට ඉඩ දෙන්න. විශේෂයෙන්ම ගිහියන් උදෙසා රචිත ස්වාමින්වහන්සේගේ යාච්ඤාව පිළිබඳව විවිරණය සාමාජිකයන් අතට පත්කිරීමට උත්සාහ කරන්න. එම පොත් පිළිබඳව වැඩි ප්‍රචාරයක් ලැබනෙ විට වැඩිපුර වෙළෙඳාමක් සිදුවනවා නියතය. (D. Aubigne, b. 6, Ch. 6). සුරිච් තුළට ආලෝකය ඇතුළු වීම මෙසේ සිදුවිය.GrHSin 192.2

    නූගත්කම සහ මිත්‍යා විශ්වාසයන් නමැති බැමි පුපුරුවා හැරීමට දෙවියන්වහන්සේ ක්‍රියාත්මක වන්නාවූ අවස්ථාවන්හිදී සාතන්ද එම බැමි තව තවත් තද කිරීමට මහත් බලයෙන් යුතුව ක්‍රියා කරයි. මනුෂ්‍යයන් අඳුරේ ගිල්වා තැබීමද ඔහුගේ දැඩි උත්සාහයයි. ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය කරණකොටගෙන මිනිසා පව් කමාව දෙනු ලබන බවත්, මිනිසාව ධර්මිෂ්ඨ කරනු ලබන බවත් ප්‍රකාශ කිරීමට ලෝකයේ විවිධ පෙදෙස්හි පුනරුද ප්‍රතිසංස්කාරකයෝ නැගිට සිටියහ. ඒ අතර රෝමයද පව් කමාව මුදලට විකිණීමේ වෙළෙඳ සැල් කිතුණු ලෝකය පුරා විවෘත කළේ අලුත් උනන්දුවකින් යුතුවය.GrHSin 193.1

    විවිධ මට්ටමේ පව්වලට කමාව ලැබීම උදෙසා විවිධ ප්‍රමාණයේ මුදල් ගෙවීමක් කරන්නට සිදුවිය යුතුව තිබුණේ. මෙය අපරාධ කිරීම සඳහා අවසර පත් නිකුත් කිරීමක් විය. දේවස්ථානයේ භාණ්ඩාගාරය පිරෙනවා නම්, සෑම පාපයකටම කමාව දීමට පාලකයෝ සූදානමින් සිටියෝය. මෙයාකාරයෙන් ව්‍යාපෘති දෙකක් ඉදිරියට ආවෝය. එක් ව්‍යාපෘතියක් පව් කමාව මුදලට ලබාගත හැකි බව පැවසූ අතර අනික් ඉගැන්වීම වූයේ ක්‍රිස්තුස්වහස්සේ තුළින් පව් කමා කරනු ලබන බවය. රෝමානුව පාපයට අවසර දුන් අතර එය ඔවුන්ගේ ආදායම් මාර්ගය විය. ප්‍රතිසංස්කරණයේ ව්‍යාපෘතිය විසින් අපරාධ හෙළා දකින ලදී. පාපයට කමාව ලැබීමට මෙන්ම එයින් ගැළවීමටද ඇත්තාවූ එකම ක්‍රමය ලෙස ඔවුහු ක්‍රිස්තුස්වහන්සේ දෙසට අවධානය යොමු කළෝය.GrHSin 193.2

    පව් කමාව විකිණීම ජර්මනියේදී විපුල ලෙස සිදුවිය. එම ව්‍යාපෘතිය භාරව කටයුතු කළේ ඩොමිනිකන් තාපසවරුය. ටෙට්සෙල් එය මෙහෙය වීය. ඒ අතර ස්විට්සර්ලන්තයේ මෙම වෙළෙඳාම් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ධූරය ඉතාලි ජාතික තාපස පැවිද්දෙකු වූ සම්සොන්ගේ භාරයේ පැවතිණි. මෙම පැවිදි තාපසයා සභාවේ භාණ්ඩාගාරය තර කිරීම සඳහා විශාල සේවයක් කළ අයෙක් විය. එහු ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ සේවය කළ වකවානුවේදී විශාල මුදල් සම්භාරයක් පාප්ගේ භාණ්ඩාගාරය වෙත ලබාදී තිබුණේය. මුදල් රැස්කිරීමේ කාර්ය උදෙසා හෙතෙම දැන් ස්විට්සර්ලන්තය පුරා සංචාරය කරන්නට විය. ඔහුව පිළිගැනීමට විශාල ජන කොටස් එක්රැස් වෙන්නට වූහ. දුප්පත් ගොවියාගේ සුළු ආදායම උපක්‍රමශීලීව ලබාගැනීමට ද ධනවත් පංතිකයන්ගේ විශාල මුදල් ප්‍රමාණයක් තෑගි වශයෙන්ද ලබාගැනීමටද ඔහු සමත් විය. මේ අතර ප්‍රතිසංස්කරණයේ බලපෑම් කරණකොටගෙන පව් කමාව විකිණීම සම්පූර්ණයෙන්ම නවතාලීමට නොහැකි වුවද, රෝමයේ ආදායම් අඩු කිරීමට එම ව්‍යාපාරය සමත් විය. සම්සොන් ස්විට්සර්ලන්තයට පැමිණ තම වෙළෙඳාම ආරම්භකළේ එයින්සිඩෙල් නගරයට ආසන්න පෙදෙසක සිටය. ස්වින්ග්ලි මේ වන විටත් එයින්සිඩෙල් දෙව් මැදුරේ සේවය කරමින් සිටියේය. සම්සොන්ගේ ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳව දන්වන ලදුව ස්වින්ග්ලි ඔහුට විරුද්ධව ක්‍රියා කිරීමට එහි ගියේය. ඔවුන් දෙදෙනා එකට මුණ ගැසුණේ නැත. එහෙත් ප්‍රතිසංස්කාරකයාගේ පැමිණීම දැනගත් රෝමානුවාදියා වෙනත් කොට්ඨාසයක් කරා පිය නැගීය.GrHSin 193.3

    පව් කමාව විකුණන්නාවූ අයට විරුද්ධව සුරිච්හිදී දේශනා කිරීමට ස්වින්ග්ලි දැඩි ජ්වලිතයකින් යුතුව ක්‍රියා කළේය. මේ අතර සම්සොන් සුරිච් නගරය කරා පා නැගීය. නගරයට ඇතුළුවීමේදී ඔහුව හමුවීමට පණිවිඩකරුවෙක් පැමිණියේය. එම පෙදෙසේ ආගමික බල මණ්ඩලයෙන් නිකුත් කළ විධානයක් එම ලිපියේ අඩංගු විය. එම නගරෙයේ සම්සොන්ගේ පව් කමාව වෙළෙඳාම් නොකර වෙනත් පෙදෙසක් කරා ඔහු යා යුතු බව ඔහුට දන්වන ලදී. උපක්‍රමශීලීව නගරයට ඇතුළු වීමට සම්සොන් වෑයම් කළේය. එහෙත් කිසිම පව් කමා වෙළෙඳාමකින් තොරව එම නගරයෙන් පිටව යාමට ඔහුට සිදුවිය. වැඩි දවසක් ගතවීමට මත්තෙන් ඔහු ස්විස්ටර්ලන්තයෙන් පිට ගියේය.GrHSin 194.1

    වසර 1519 දී ස්විට්සර්ලන්තය පුරා පැතිර ගිය “මහා මරණය” නම් වූ වසංගතය නිසා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට ආශිර්වාදයක් ලැබුණි. වසංගතය රැගෙන ආ මාර දූතයාගේ ක්‍රියාකාරකම් දුටු නගර වැසියන්ගේ ඇස් යථාර්ථය දෙසට යොමු විය. විශාල මුදලක් ගෙවා රෝමානු දේවස්ථානයෙන් මෑතකදී මිලදී ගත් පව් කමාව කෙතරම් නිෂ්ඵලදායක දැයි එම ජනතාව ප්‍රශ්න කරන්නට වූහ. තමන්ගේ ඇදහිල්ලට මෙයට වඩා ශක්තිමත් අත්තවාරමක් සොය ගැනීම ඔවුන්ගේ දැඩි අභිප්‍රාය විය. මෙම වසංගතය සුරිච්හි සිටි ස්වින්ග්ලිටද පහරක් එල්ල කළේය. ඔහු බොහේ දුර්වල ත්ත්වයකට පැමිණියෙන් ඔහුට සුවය නොලැබෙනවා ඇතැයි කල්පනා කරන ලදී. මේ අතර ස්වින්ග්ලි අපවත් වී යන ආරංචිය පැතිරෙන්නටද විය. එහෙත් මෙම පරීක්ෂාකාරී පැයේදී ඔහුගේ බලාපොරොත්තුව සහ ධෛර්යය නොසැලී ස්ථිරසාවර පිහිටා තිබුණේය. ඔහු ඇදහිල්ලෙන් කල්වාරි කුරුසිය වෙත අවධානය යොමු කළේය. පාපය සඳහා සම්පූර්ණ වන්දි ගෙවීමක් හි සටහන්වී තිබුණේය. මරණයේ දොරටුවෙන් පිටතට පැමිණි හෙතෙම පෙරට වඩා වැඩි අධිෂ්ඨානයකින් යුතුව ශුභාරංචි පණිවිඩය පතුරුවා හරින්නට පටන් ගත්තේය. ඔහුගේ වදනවලට අපූරු විශේෂ බලයක් ගැබ් වී තිබුණේය. මරණ මුඛයෙන් ගැළවී ආ අයෙකු ලෙසින් සුරිච්හි බැතිමත්හු තම දේවගැතිවරයාව පිළිගත්හ. ඔවුන් එහි පැමිණියේ රෝගීවූ ද, මරණාසන්නවූ ද අයට උපස්ථාන කරන අතරවාරයේදීය. ශුභාරංචියේ වටිනාකම ඔවුන්ට තදින් දැනී ගි‌යේය.GrHSin 194.2

    සත්‍යතාවන්ගේ පැහැදිලි දැනුමක් කරා ස්වින්ග්ලි පැමිණ සිටියේය. එහි නවෝත්පාදන බලය ගැන ඔහු අත්දැකීමෙන් පත්‍යක්ෂ කරගෙන තිබුණේය. මිනිසාගේ පාපයට වැටීමත්, ගැළවීමේ සැලැස්මත් කෙරෙහි ඔහු තම අවධානය යොමු කළේය. ඔහු මෙසේ දේශනා කළේය. “ආදම් තුළ අපි සියල්ලෝම මරණයට පත්ව සිටින්නෙමු. අපි පාපයේ ආගාධයේ පතුළටම වැටී සිටින්නෙමු. මරණයේ උදහස ලැබීමට අපි තීන්දු වී සිටින්නෙමු.” “කිසිම දවසක නිමාවට පත් නොවන්නාවූ ගැළවීමක් ක්‍රිස්තුස්වහන්සේ විසින් අප උදෙසා මිලදී ගෙන තිබේ. උන්වහන්සේගේ මරණය කෙරෙහි, ස්ථිරවූද, නොසෙල්වන්නාවූද, ඇදහිල්ලකින් යුතුව විශ්වාසය රැඳවීමෙන් පව්කාරයාට ලැබිය යුතු දිව්‍ය දඬුවම වෙනුවට සදාතන ජීවිත දානය කෙරේ.” එසේ වුවද, ක්‍රිස්තුස්වහන්සේගේ කරුණා අනුග්‍රහය නිසා මිනිසාට තවදුරටත් පව් කරමින් ජීවත් වීමට නිදහසක් නැති බවද ඔහු ඉගැන්වීය.” “යම් තැනක දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබේද, දෙවියන්වහන්සේද එතැන වැඩ සිටින සේක. දෙවියන්වහන්සේ යම් තැනක වැඩ සිටින සේක්ද, මිනිසාට යහපත් ක්‍රියා කිරීමට උනන්දු කරවන්නාවූ බලපෑම් ඇති කරන්නා වූ ජ්වලිතකමක් එතැන ඇත.” (D. Aubigne, b. 8, Ch. 9).GrHSin 195.1

    මිනිසාට ශාන්තිය උදාකරගැනීමට මඟපෙන්වීමක් වූ ස්වින්ග්ලිගේ දේශනා කෙතරම් ප්‍රබල ආකාරයකින් මිනිස් සිත ආකර්ෂණය කළේද යත්, දේශනා අසන්නට පැමිණි ජනතාවගෙන් ආසන දෙව් මැදුර පිරී ඉතිරී ගියේය. බැතිමතුන්ට දරාගත හැකි ප්‍රමාණය අනුව ඔහු සත්‍යතාව ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ සිත් තුළට විවෘත කළේය. බැතිමතුන් තිගැස්සීමට පත්කරවන කරුණු මුලදීම ඉගැන්වීමට ඔහු තැත් නොකළේය. එසේ කළේ නම් අවිචාර හැඟීම් ඔවුන් තුළෙහි රෝපණය වන බව ඔහු දැන සිටියේය. බැතිමතුන්ගේ සිත් සතන් ක්‍රිස්තුස්වහන්සේ වෙත දිනා ගැනීම ඔහුගේ වෑයම විය. උන්වහන්සේගේ ආදරයට ඇතුළු වීමට බැතිමතුන්ගේ සිත් සතන් මොළොක් කර ඔවුන් ඉදිරියේ ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශමත් ජීවිතය ඔසවා තැබීම ඔහුගේ මෙහෙවරය විය. එකී බැතිමතුන් ශුභාරංචියෙහි ප්‍රඥප්ති පිළිගන්නා වූ අතරේදී මිථ්‍යා ඇදහිලි සහ මිසදිටු චාරිත්‍ර වාරිත්‍ර අනිවාර්යයෙන්ම ඔවුන්ගෙන් ඉවත් වී යනවා ඇත.GrHSin 195.2

    පියවරෙන් පියවර තබමින් ප්‍රතිසංස්කරණය සුරිච්හි ව්‍යාප්ත වන්නට විය. බියෙන් තැති ගත් සතුරෝ එය මැඩලීමට ක්‍රියාත්මක වූහ. මෙයට වසරකට පෙර විටන්බර්ග්හි ප්‍රතිසංස්කරණවාදියා තම ඉගැන්වීම් ඉල්ලා අස්කර ගන්නේ නැතැයි පාප්ට සහ රජතුමාට කියමින් දැඩි අභියෝග ස්ථාවරයක රැඳී සිටියේය. වර්ම්ස්හි සිදු වූ සංසිද්ධියට සමාන සිදුවීමක් දැන් සුරිච්හි වර්ධනය වෙමින් තිබුණේය. පාප් බල අධිකාරියට එරෙහිව නැගී සිටීමක් මෙහි පැන නැඟෙමින් තිබිණි. ස්වින්ග්ලිට විරුද්ධව දොස් පැවරීම් එක පිට එක එල්ල වන්නට විය. ස්විට්සර්ලන්තයේ පාප් අධිකාරියෙහි පාලන බලය පැවැති පෙදෙස්හි ශුභාරංචිය ප්‍රකාශ කළ ගෝලයන්ට අත්වූයේ ඛේදනීය ඉරණමකි. ඔවුන් කණවලට බැඳ ගිනි දල්වා ඝාතනය කරනු ලැබුවෝය. නමුත් ඔවුන්ට එය ප්‍රමාණවත් නොවීය. සම්මත ඉගැන්වීම්වලට විරුද්ධව වෙනස් දහමක් උගන්වන ගුරුවරයා නිශ්ශබ්ද කළ යුතු විය. සභාවේ නීති උල්ලංඝනය කිරීමට මිනිසුන්ට ඉගැන්වී යයිද, එය කරණකොටගෙන සමාජයේ සාමය සහ යහපත් පැවැත්ම අනතුරකට පත්වී යයිද යන චෝදනා එල්ල කරමින් ස්වින්ග්ලිට විරුද්ධව සුරිච්හි ආගමික බල මණ්ඩලය ක්‍රියාත්මක විය. කොන්ස්ටන්ස්හි බිෂොප් තුමා තම නියෝජ්‍ය නිලදරුවන් තුන් දෙනෙකු අත චෝදනා පත්‍රයක්ද සුරිච් බල මණ්ඩලයට යැවීය. සභාවේ අධිකාරි බලය ඉවත ලා කටයුතු කළහොත් රටම විප්ලවකාරී තත්ත්වයකට පත්විය හැකි බැව් අවධාරණය කරන ලදී. තමා සුරිච්හි වසර හතරක් පුරා ශුභාරංචිය ඉගැන්වී යයි ස්වින්ග්ලි පිළිතුරු දුන්නේය. තවද, රජයේ වෙනත් කොටසකට වඩා මෙම කොටසෙහි සාමය සහ සමාදානය පැවැති බව ඔහු අවධානයට ලක් කළේය. “එසේ නම්, මහජන සුරක්ෂිතතාව සඳහා වඩාත් යෝග්‍ය වන්නේ ක්‍රිස්තියානි ආගම නොවේදැ” යි ඔහු විමසා සිටියේය.GrHSin 195.3

    බල මණ්ඩලයේ සාමාජිකයන්ට සභාවේම පවතින්නැයි බිෂොප්ගේ නියෝජිතයෝ ඔවුන්ට අනුශාසනා කළ අතර සභාවෙන් පිටත ගැළවීමක් නැතැයිද ප්‍රකාශ කළෝය. ස්වින්ග්ලි ඔවුන්ට පිළිතුරු දුන්නේය. “මෙම චෝදනා නිසා ඔබ තුළ කැළඹීමක් ඇති නොවේවා! ක්‍රිස්තුස්වහන්සේ වනාහී ජීවමාන දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයාණෝයයි පේතෘස් කළ ඇදහිල්ලේ ප්‍රකාශය මත සභාවේ අත්තිවාරම පිහිටා ඇත. පේතෘස්ට එම නම දුන්නේ ඔබත් මමත් විශ්වාස කරන්නාවූ එම ක්‍රිස්තුස්වහන්සේය. උන්වහන්සේ වනාහි එම පර්වතයම වනසේක. ස්වාමි වූ යේසුස්වහන්සේ තුළ යම් අයෙක් පූර්ණ ලෙසින් විශ්වාසය රඳවන්නේ නම් දෙවියන්වහන්සේ ඔහුව පිළිගන්නා සේක. මේ අනුව සභාව පිහිටුවනු ලබන්නේය. එයින් බාහිරව කිසිවෙකුට හෝ ගැළවීම ලබාගත නොහැකිය. (D. Aubigne, b. 8, Ch 11). මෙම සම්මන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස බිෂොප්ගේ නියෝජිතයන් තුන් දෙනාගෙන් එක්කෙනෙක් ප්‍රතිසංස්කරණවාදී ඇදහිල්ල පිළිගත්තේය.GrHSin 196.1

    ස්වින්ග්ලිට එරෙහිව තීරණයක් ගැනීමට බල මණ්ඩලය ප්‍රතික්ෂේප කළේය. එහෙත් රෝමය නිශ්ශබ්දව සිටියේ නැත; ඔවුහු අලුත් ප්‍රහාරයක් ආරම්භ කළෝය. ප්‍රතිංස්කාරකයා සතුරන්ගේ සැලැස්ම ගැන දැනගත් විට ඔහු මෙසේ පැවසීය. “ඔවුන්ගේ පැමිණීමට ඉඩ දෙමු. මුහුද අද්දර පිහිටි කඳුගැටයක් පාමුලට රළ පහර වැදී ඝෝෂාවක් කළත් කඳුගැටය එයින් සැලෙන්නේ නැත. මමත් එසේමය.” (Wylie, b. 8, Ch. 11). සභා බලධරයන් විසින් විනාශ කිරීමට වෑයම් කළ කර්තව්‍යය, විරුද්ධතා මධ්‍යයේ තව තවත් වර්ධනය වන්නට පටන් ගත්තේය. සත්‍යතාව තව තවත් ව්‍යාප්ත වන්නට විය. ලූතර්ගේ අතුරුදන්වීම නිසා පසුබෑමකට ලක්ව සිටි ජර්මානු ජනතාව ස්විට්සර්ලන්තයේ සිදුවන්නා වූ ශුභාරංචි වර්ධනය ගැන ඇසීමෙන් නැවත ප්‍රමෝධමත් වූහ.GrHSin 196.2

    පුනරුදය සුරිච්හි ස්ථාපිත වීමත් සමගම එහි ප්‍රතිඵල වඩා පූර්ණව දැක ගැනීමට හැකි විය. දුරාචාරය මැඩ පවත්වනු ලැබීමත් සමාජය තුළ නීති ගරුක භාවය සහ සහයෝගිතාව ඇතිවීමත් ඒ ගැන සාක්ෂියක් විය. මෙම තත්ත්වය පිළිබඳව ස්වින්ග්ලි මෙසේ ප්‍රකාශ කළේය. “අපගේ නගරය තුළ සාමය වාසය කරනවා. අප අතර ගැටුම් නැහැ. වංචාකාරකම් නැහැ. ඊර්ෂ්‍යාව නැහැ. සණ්ඩු සරුවල් නැහැ. මෙවන් එකමුතුකමක් උදාවන්නේ කෙසේද? ඇත්තෙන්ම දෙවි සමිඳාණන්ගෙන් මිස මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නැහැ. අපගේ දහම් පණිවිඩය සහ ශ්‍රද්ධාවේ ඵලවලින් අපව පුරවාලනවා. (Wylie, b. 8, Ch’ 15).GrHSin 197.1

    ප්‍රතිසංස්කරණය මගින් ඇතිවූ ජයග්‍රහණයක් පිළිබඳව කරුණු දැනගත් රෝමානුවෝ එය අතු ගා දැමීමට දැඩි අධිෂ්ඨානයකින් යුතුව ක්‍රියාත්මක වූහ. ලූතර් විසින් ආරම්භ කළ පුනරුද ව්‍යාපෘතිය ජර්මනියෙහි විපුල ඵල දරන්නට විය. එම ව්‍යාපාරය මැඩ පැවැත්වීමට රෝමානුවන් විසින් එල්ල කළ හිංසා පීඩා මගින් වැඩි කාර්යයක් ඉටු නොවීය. එම නිසා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ආයුධ මගින් එයට විරුද්ධව ක්‍රියා කිරීමට රහසිගත සැලැස්මක් සූදානම් කරන ලදී. ස්වින්ග්ලි සමග වාදයක් පැවැත්වීමට කටයුතු සූදානම් කිරීමට තීරණය විය. එම වාදයෙන් ජයගැනීම සඳහා උපක්‍රමශීලී පියවරක් යෝජනා විය. විවාදය පවත්වනු ලබන්නාවූ ස්ථානය පමණක් නොව, දෙපිරිස අතර වන්නා වූ විවාදය විනිශ්චය කිරීමට විනිසුරුවන්ද තමන්ම තෝරාගත යුතු යයි සැලසුම් කාර්ය සාධන සභාව ගිවිස ගත්තේය. එක් වරක් හේ ස්වින්ග්ලිව තමන්ගේ පැත්තට නංවා ගත හැකි වුවහොත්, ඔහුට බේරී පලා යෑමට ඉඩක් නොතැබිය යුතුය. ප්‍රතිසංස්කාරක නායකයා නිශ්ශබ්ද කිරීමෙන් එම ව්‍යාපෘතිය බිඳ දැමිය හැකි වන්නේය යනු ඔවුන්ගේ අදහස විය. එහෙත් මේ අදහස ප්‍රවේසමෙන් ආවරණය කරන ලදී. GrHSin 197.2

    බේඩන්හිදී මෙම විවාදය පැවැත්වීමට දින නියම කරගන්නා ලදී. එහෙත් ස්වින්ග්ලි එහි පැමිණියේ නැත. පාප් බලධරයන්ගේ කූට උපක්‍රමය ගැන දැනගත් සුරිච් බල මණ්ඩලය තම දේවගැතිතුමාට එහි යෑමට අවසර දුන්නේ නැත. ශුභාරංචි ප්‍රකාශයන් සඳහා පාප් බල පෙදෙස්හි ගොඩගසා තිබූ ගිනි ඇවිලූ ලී කඳන් පිළිබඳව ලැබුණාවූ ආරංචි නිසා ඔවුහු ඔහුගේ ගමන වැලැක්වූහ. රෝමයෙන් එවන්නාවූ පක්ෂවාදීන් සියල්ලන්ම සුරිච්හිදී පිළිගැනීමට ඔහු තුළ බියක් නොවීය. එහෙත් මෑතකදී පවා සත්‍යවාදී වේද සාක්ෂිකාරයන්ගේ ලෙයින් තෙත් වූ බේඩන් කරා යෑම මරණය හමුවට යෑමක් ලෙස ඔහු දැන සිටියේය. එම විවාදයේදී පුනරුදවාදීන් වෙනුවෙන් පෙනී සිටීමට ඊකොලම්පාඩියස් සහ හෝලර් යන දෙදෙනා තෝරා ගන්නා ලදී. ඒ අතර උගත් ආචාර්යවරුන්ගෙන් සහ නායක පූජකවරුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් ප්‍රසිද්ධ මහාචාර්ය ඒක් සමග රෝමානුව වෙනුවෙන් පෙනී සිටියහ.GrHSin 198.1

    මෙම විවාද සම්මන්ත්‍රණයට ස්වින්ග්ලි සහභාගී නොවීය. එහෙත් රැස්වීම පුරාම ඔහුගේ අනුබලය සැමට දැකගත හැකි විය. සිදුවන දෑ වාර්තා කිරීමට ලේකම්වරුන් තෝරා ගන්නා ලද්දේ පාප් බලධාරීන් විසින්ය. ශාලාවේ රැස්ව සිටි වෙනත් කිසිම අයෙකුට සටහන් ලියා ගැනීම තහනම් විය. එයට දඬුවම මරණය බවද ප්‍රකාශයට පත්විය. මෙවන් තහංචි මධ්‍යයේ වුවද දිනපතා කෙරෙන්නාවූ කථා බස් ගැන සම්පූර්ණ වාර්තාවක් එදාම සවස ස්වින්ග්ලිට දන්වනු ලැබීය. එහි සිටි එක් ශිෂ්‍යයෙක් දිනපතාම සවස, ඒ දවසේ පැවති තර්ක වාර්තා කළේය. ඊකොලොම්පාඩියස්ගේ ලිපිද සමග මෙම සිසුවාගේ වාර්තාවද රැගෙන ගිය තවත් සිසුන් දෙදෙනෙකුගේ මාර්ගයෙන් ඒවා ස්වින්ග්ලි අතට පත්විය. අනුශාසනා සහ යෝජනා රැගත් ස්වින්ග්ලිගේ පිළිතුරු නියෝජිතයන් අතට පත් කරන ලදී. ඔහු තම පිළිතුරු ලියුවේ රාත්‍රී කාලයේදීය. පසුදා උදෑසන එම පිළිතුරු රැගත් සිසුහු සුරිච්හි සිට බේඩන් කරා පැමිණියහ. නගරයට ඇතුළු වන සෑම අයෙකුම දැඩි පරීක්ෂාවට භාජනය කරන ලදී. සිසුන් දෙදෙනා බිත්තර වෙළෙඳුන් ලෙස පැමිණි නිසා ආරක්ෂකයන් සෝදිසි කිරීමක් නොමැතිව ඔවුහු නගරයට ඇතුළු වූහ.GrHSin 198.2

    තම විරුද්ධකාරයන් සමග වූ ස්වින්ග්ලි මෙසේ දිගටම පවත්වාගෙන ගියේය. මෙම විවාදයේදී වූ ඔහුගේ සේවාව මිකෝනියස් නමැත්තා මෙසේ වාර්තා කරයි. “මෙම විවාදයට ස්වින්ග්ලි සහභාගී වුණේ නැහැ. ඔහුගේ භාවනා මගින්ද රාත්‍රි කාලයේදී ලියූ උපදෙස් සහ අනුශාසනා මගින්ද ඔහු පුද්ගලිකව එහි සිටීමට වඩා මහත් සේවාවක් ඉටු කළා.” (D. Aubigne, b. 11, Ch. 13).GrHSin 198.3

    රෝමානු බලධරයෝ බේඩන් වෙත පැමිණියේ ජයග්‍රහණය අත් වේයයි උපකල්පනය කරමින්ය. ඔවුනගේ මුහුණු ප්‍රීතිමත් හෙට දවසක් ප්‍රදර්ශනය කළේය. ඔවුන්ගේ ලෝගු මිල අධික රෙදිවලින් නිම වී තිබුණේය. දිලිසෙන්නා වූ මැණික් ඒවා මත රඳවා තිබුණේය. ඉතා සුඛෝපභෝගී කල දවසක් ඔවුන් සතුව තිබුණේය. ඔවුන්ගේ කෑම මේස රස බොජුන්වලින් පිරී තිබුණේය. මිල අධික අගනා මත්පැන් නොමසුරුව බෙදා හැර තිබුණේය. ඔවුන්ට පැවරී තිබූ ආගමික වගකීම්වල බැරෑරුම්කම කෙළි සෙල්ලමින් සහ මධුපානෝත්සව මගින් යටපත් විය. ඒ අතර ප්‍රතිසංස්කාරකයන්ගේ පැවැත්ම එයට හාත්පසින්ම වෙනස් විය. ඔවුන් දෙස බැලූ අයගේ තක්සේරුව වුණේ ඔවුන්ගේ ඇඳුම් හිඟන්නෙකුගේ ඇඳුම්වලට වඩා බොහෝ සේ සමාන වූ බවය. කෑම ගැනීමේදී පවා ඔවුහු සකසුරුවම් ලෙස විය හියදම් කර තිබූ බව ප්‍රත්‍යක්ෂ විය. ඔවුන් මේසය වටා රැඳී සිටියේ ඉතා ස්වල්ප කාලයකි. ඊකොලොම්පාඩියස්ගේ ගෙහිමියා ඔහුගේ කාමරට පැමිණි සෑම විටෙකම දැක ගත්තේ තම සේවාදායකයා යාච්ඤා කරමින් හෝ අධ්‍යයනයෙහි යෙදෙමින් හෝ සිටි බවය. බලධරයන්ට වාර්තා කළ ඔහු කියා සිටියේ “අඩුම තරමින් මේ අදේවදෘෂ්ටියා සැදැහැවතෙක්” වන බවය.GrHSin 199.1

    සම්මන්ත්‍රණය ආරම්භ විය. “මහඟු වස්ත්‍රයෙන් සහ මිල අධික ආයිත්තමින් සැරසී සිටි ඒක් නම් වූ මහාචාර්යවරයා සරසන ලද දේශනා කූඩුවක් පසුපස හිඳ ගත්තේ ගාම්භීරයෙන් යුතුවය. ඊකොලොම්පාඩියස්ට හිමිව තිබුණේ අලංකාරයෙන් තොර කුඩා බංකුවකි. අඩු වියදමින් නිමවූ ඇඳුමක් ඇඳ සිටි ඔහු තම විරුද්ධකරුට මුහුණ දී වාඩි වී සිටියේය. (D. Aubigne, b. 11, Ch, Ch. 13). ඒක්ගේ අති ගාම්භීර හඬත්, අභිමානීය විශ්වාසයත් ඒ රැස්වීම පුරාම පැවැතියේය. ජයග්‍රහණය සමඟ ඔහුට හිමිවන රත්රන් කුට්ටිය සහ ජනප්‍රසාදය ගැන ඔහු උද්දාමයෙන් මත්ව සිටියේය. ඇදහිල්ල ආරක්ෂා කරන්නෙකු වශයෙන් විශාල ධන සම්භාරයකට හිමිකම් කීමට ඔහුට වාසනාව පෑදී තිබුණේය. තමා ඉදිරිපත් කළ තර්ක කඩා වැටෙන බව දුටු හෙතෙම ප්‍රතිවාදීනට අපහාස කිරීමට, නිග්‍රහ කිරීමට සහ දෙස් දෙවොල් කීමටත් පටන් ගත්තේය.GrHSin 199.2

    තමා කෙරෙහිම විශ්වාසයක් නොතබා නිරහංකාරව නැගී සිටි ඊකොලොම්පාඩියස් තම ප්‍රතිවාදියා සමග අරගලයකට ඇතුළු වීමෙන් වැලකී සිටි නමුත් පැහැදිලි ලෙස තම තර්ක ඉදිරිපත් කරන්නට පටන් ගත්තේය. “දෙවියන්වහන්සේගේ වචනය හැරෙන්නට වෙනස් විනිශ්චයක් හෝ නීති ප්‍රමිතයක් මම පිළිගන්නේ නැහැ,” යි ඔහු පැවසුවේය. (D.Aubigne, b. 11, Ch. 13). ආචාරශීලීව සහ මුදු මොළොක් ගුණාංග පෙන්නුම් ඛල හෙතෙම තර්කවලට පිලිතුරු දීමේ හැකියාවක් තමමන්ට ඇති බව විදහා පාමින් නොැලී සටියේය. රෝමානුවාදීහු තම පුරුද්ද ලෙස සභාවේ භාවිත සිරිත් විරිත් මත පදනම් වූ අධිකාරී බලය මගින් තීරණයක් ඉල්ලා සිටි අතර ප්‍රතිසංස්කාරකයා‌ ශ්ද්ධ ලියවිල්ල මත ස්ථිරව නැගී සිටියේය. “ස්විට්සර්ලන්තයේ ව්‍යවස්ථාව අනුව සිරිත් විරිත් මත තීරණයක් දීමේ හැකියාවක් නැ. එහෙත් ඇදහිල්ල සම්බන්ධ කරුණු පිළිබඳ තීරණ ගැනීමේදී අපගේ ව්‍යවස්ථාව වන්නේ ශුද්ධ බයිබලයයි.” යනුවෙන් ඔහු පැවසුවේය. (D.Aubigne, b.11, Ch. 13).GrHSin 199.3

    විවාදයෙහි ප්‍රධාන කථිකයන් දෙදෙනා අතර වූ වෙනස්කම් මගින් බලපෑමක් නිශ්චය වශයෙන්ම ඇතිවිය. ප්‍රතිසංස්කාරකයාගේ සන්සුන් පැහැදිලි තර්ක කිරීම් මෙන්ම, නිරහංකාර සහ ආචාර සම්පන්න ලෙස කරුණු ඉදිරිපත් කිරීමත් බොහෝ දෙනෙකුගේ සිත් ඇදගැනීමට සමත් විය. ඒ අතරම මහාචාර්ය ඒක්ගේ ආඩම්බරකාරී පාරට්ටු බස් නිසා රැස්ව සිටි බොහෝ දෙනෙක් බලවත් සේ කළකිරුණෝය. ඔවුහු ඒ ගැන අප්‍රසන්න වූහ.GrHSin 200.1

    විවාද සහිත සාකච්ඡාව දවස් දහ අටක් පුරා පැවතියේය. එහි අවසානයේදී තමන් ජයග්‍රහණය කළ බව පාප්වාදීහු විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කර සිටියෝය. විනිශ්චය මඩුල්ලෙහි සෑම දෙනෙකුම වාගේ රෝමයට පක්ෂව විනිශ්චය ප්‍රකාශ කළෝය. නිකුත් කළ ධර්මාධිකරණ වාර්තාවෙන් ප්‍රකාශයට පත් කළේ ප්‍රතිසංස්කාරකයන් පරාජයට පත්කර ඇති බවත්, ස්වින්ග්ලි සමගින් ඔවුන්ද සභාවෙන් නෙරපා හරිනු ලබන බවත්ය. එහෙත් සම්මන්ත්‍රණයේ ඵලවලින් කියාපෑවේ කාගේ පක්ෂයට වැඩි වාසි හිමිවූයේද කියාය. මෙම විවාදයෙන් රෙපරමාදු පක්ෂය ගැන දැඩි උනන්දුවක් පැතිර ගියේය. වැඩි කලක් ගතවීමට පෙර බර්න් සහ බේසල් යන නගර ප්‍රතිසංස්කරණයට පක්ෂව නැගී සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී.GrHSin 200.2