Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    14 - පසුකාලීන ඉංග්‍රීසි ජාතික ප්‍රතිසංස්කරණවාදීහූ

    වසා දමා තිබූ ශුද්ධ බයිබලය ජර්මානු ජාතිකයන්ට විවෘත කිරීමේ කාර්යය ලූතර්ගේ නායකත්වයෙන් සිදුවූ ආකාරයෙන්ම, දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ මගපෙන්වීම යටතේ එවැනිම කර්තව්‍යයක් එංගලන්තයේ සිදුකිරීමට ටින්ඩේල්ට මගපෙන්වනු ලැබීය. ලතින් පිටපත් අනුසාරයෙන් වික්ලිෆ් විසින් ඉංග්‍රීසි බසින් බයිබලය පරිවර්තනය කළ නමුත් එහි වැරදි ගණනාවක් අඩංගු විය. එම බයිබල් පරිවර්තනයෙහි මුද්‍රිත පිටපත් එළි දුටුවේ නැත. අතින් ලියන ලද පිටපත්වල මිල ඉතා අධි විය. ධනවතුන් කිහිප දෙනෙකුට සහ වංශාධිපතිවරුන් කිහිප දෙනෙකුට පමණක් එම පිටපත් මිලදී ගැනීමේ හැකියාවක් තිබුණේය. තවද, එම බයිබල් පිටපත් බෙදා හැරීම සභාව විසින් තහනම් කර තිබූ නිසා එහි අලෙවිය ඉතා අල්ප විය. ලූතර්ගේ ප්‍රබන්ධ නිකුත් වීමට වසරකට පෙර, එනම් 1516 දී එරැස්මස් ස්වකීය ග්‍රීක සහ ලතින් අලුත් තෙස්තමේන්තු පරිවර්තන ප්‍රකාශනයට පත් කළේය. දෙවියන්වහන්සේගේ වචනය ප්‍රථම වතාවට මුල් භාෂාවෙන් මුද්‍රණය කර ප්‍රකාශයට පත්විය. කලින් නිකුත් කළ පිටපත්වල තිබූ බොහෝ වැරැදි මෙම පිටපතෙහි නිවැරැදි කර තිබුණේය. ඒ අතර අදහස් ප්‍රකාශයද පැහැදිලි ලෙස ශෝධනය කර තිබිණ. මෙම ප්‍රතිසංස්කෘත පිටපත මගින් බොහෝ උගතුන්ට සත්‍යය වඩාත් පැහැදිලි විය. සත්‍යතාව පිළිබඳව වඩාත් පුළුල් අවබෝධයක් ලබාගැනිමට ඔවුන්ට එමගින් හැකි විය. කෙසේ වුවද, මේ වන තුරුත් පොදු ජනතාවට දෙවියන්වහන්සේගේ වචනය ලැබී නොතිබුණේය. වික්ලිෆ් පටන්ගත් එංගලන්ත ජනතාවට බයිබලය තම මව් බසින් කියවීමේ භාග්‍යය උදා විය.GrHSin 275.1

    ඉතා කඩිසර උත්සාහවන්ත සිසුවෙකු වූ ටින්ඩේල් ඉතා අවංකව සත්‍යතාව සොයා ගිය අයෙක් විය. ඔහුට ශුභාරංචිය ලැබුණේ එරැස්මස්ගේ ග්‍රීක තෙස්තමේන්තුවෙන්ය. තමා ඒත්තු ගත් දහම් අභීත ලෙස දේශනා කිරීමට ඔහු පසුබට වුණේ නැත. සැම දහමක්ම ශුද්ධ ලියවිලි මගින් සෝදිසි කළ යුතු යයි ඔහු නිර්දේශ කළේය. සභාවට ශුද්ධ බයිබලය ලබාදී ඇති බවත්, සභාවට පමණක් ශුද්ධ බයිබලය තේරුම් කරදීමට හැකියාව ඇති බවත් පාප්වාදීහූ ප්‍රකාශ කළෝය. ටින්ඩේල් මෙයට මෙසේ ප්‍රතිචාර දැක්විය. “රාජාලියන්ට ගොදුරු සොයා ගන්නට ඉගැන්නුවේ කව්දැයි ඔබ දන්නෙහිද? එසේ ඉගැන්වූ දෙවියන්වහන්සේම බඩගින්නේ සිටින තමන්ගේ දූ දරුවන්ට උන්වහන්සේගේ වචනය තුළ තම පියාණන්ව සොයා ගැනීමට උගන්වනසේක. අපගේ පරිහරණය පිණිස ශුද්ධ ලියවිලි අපට ලබා දෙනවා වෙනුවට ඔබ කර තිබෙන්නේ ඒවා අපගෙන් වසන් කර තැබීමයි. ශුද්ධ ලියවිල්ල උගන්වන්නාවූ අයව ගිනි තබා මරා දමන්නේ ඔබය. හැකිනම් ඔබ ශුද්ධ ලියවිල්ල ද ගින්නට බිලි කරනවා ඇත.” (D. Aubigne, b. 18, Ch. 4).GrHSin 275.2

    ටින්ඩේල්ගේ දෙසුම් නිසා ජනතාව උනන්දු වූහ. බොහෝ දෙනෙක් සත්‍යතාව පිළිගත්තෝය. රෝමානු පූජකයෝ නිශ්ශබ්දව බලා නොසිටියේය. දේශනාව හමාර වී ඔහු වෙනත් පෙදෙසක සේවය සඳහා නික්ම ගිය වහාම ඔහුගේ වැඩය කඩාකප්පල් කිරීමට රෝමානු පූජකයෝ ක්‍රියාත්මක වූහ. ටින්ඩේල්ගේ දහම් වලට වැරැදි අර්ථකථන සැපයූ ඔවුහු, ටින්ඩේල්ගේ දහම් පිළින්නා අයට තර්ජනය කිරීමෙන්ද වැලකුණේ නැත. බොහෝ විට පැවිද්දෝ ජයග්‍රාහණය කළෝය. “මේ ගැන මම මොකක්ද කරන්නේ? මම එක් තැනක බීජ වපුරන විට රෝමානු පැවිද්දෝ මා කළින් සේවය කළ තැන අලාපාළු කරනවා. මට එකවර සෑම තැනකම සිටින්න බැහැ. අහෝ! කිතුණු බැතිමතුන්ට ඉගැන්වීම් වලට විරුද්ධව නැගී සිටීමට ඔවුන්ටත් හැකි වේවි. බයිබලය නොමැතිව ගිහියන්ව සත්‍යතාව තුළ ස්ථාපිත කිරීමට කිසිසේත් නුපුළුවන, “(D. Aubigne, b. 18, Ch. 4). යනුවෙන් ටින්ඩේල් පැවසුවේය.GrHSin 276.1

    ටින්ඩේල්ගේ මනසට අලුත් අරමුණක් ඇතුල් විය. ඔහු මෙසේ සිතන්නට විය. “යෙහෝවාවහන්සේගේ දේව මාළිගාවේදී බැතිමතුන් ගීතිකා ගායනා කළේ ඊශ්‍රායෙල්වරුන්ගේ භාෂාවෙන්ය. එසේම අප අතරත් ශුභාරංචිය ඉංග්‍රීසි බසින් කථා කළ යුතු නොවේද ... අරුණෝදයේදී තිබෙනවාට වඩා වැඩි ආලෝකයක් මධ්‍යාහ්නයේදී සභාවට ලැබිය යුතු නොවේද? ... එංගලන්තයේ කිතුණුවන්ද තමන්ගේම මව් බසින් අලුත් තෙස්තමේන්තුව කියවිය යුතුය.” සභාවේ සිටි ආචාර්යවරු සහ ගුරුවරු සමහර කරුණු පිළිබඳව එකම මතයක පිහිටා නොසිටියෝය. සත්‍යතාවය දැනගැනීමට ශුද්ධ බයිබලය අවශ්‍ය වේ. සත්‍යතාව වෙත ළඟා විය හැකිවන්නේ බයිබලය තුළින් පමණක්ය. “කෙනෙක් එක දහමක් අල්ලා ගන්නවා. තවත් කෙනෙක් වෙනත් දහමක් අල්ලා ගන්නවා. මෙම අදහස් එකිනෙකට වෙනස්ය. වැරදි දේ කියන එක්කෙනාගෙන් හරි දෙය කියන එක්කෙනා තෝරා ගන්නේ කොහොමද? ... කොහොමද? .... එසේ කිරීමට පුළුවන් වන්නේ දෙවියන්වහන්සේගේ වචනය මගින් පමණක්ය.” (D’ Aubigne, b. 18, Ch. 4).GrHSin 276.2

    ටින්ඩේල් සමග මත ගැටුමක පැටලී සිටි උගත් කතෝලික ආචාර්යවරයෙක් මෙසේ පැවසුවේය. “පාප්ගේ අණ පනත්වලට වඩා දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව නැතුව සිටීම අපට ශුභදායකය.” ටින්ඩේල් එයට ප්‍රතිචාරය දැක්වූයේ මෙසේය. “පාප්ටත් ඔහුගේ නීතිවලටත් මම විරෝධය ප්‍රකාශ කරනවා. දෙවියන්වහන්සේ මාගේ ජීවිතය ආරක්ෂා කළහොත්, වැඩි අවුරුදු ගණනාවක් යෑමට පෙර නගුලක් හසුරුවන්නාවූ ළමයෙකුට ඔබ දන්නවාට වඩා වැඩියෙන් ශුභාරංචි දැනුමක් ලබා දීමට මම ක්‍රියා කරනවා.” (Anderson, “Annals of the English Bible’’ p. 19).GrHSin 277.1

    තමන්ගේම මව් බසින් අලුත් තෙස්තමේන්තු ශුද්ධ ලියවිලි ජනතාවට ලබාදීමට වූ ඔහුගේ සිතැඟියාව ස්ථිර විය. ඔහුගේ අදහස සඵල විය. ඔහු වහ වහාම තම කර්තව්‍යය ඇරඹීය. වධ හිංසා නිසා ගෙදරින් පලවා හරිනු ලැබූ ටින්ඩේල් ලන්ඩනයට ගියේය. අවහිරතාවන්ගෙන් තොරව හෙතෙම ටික කලක් එහිදී තම කාර්යය කරගෙන ගියේය. එහෙත් පාප්වාදීන්ගේ සැහැසිකම් වැඩි වූ නිසා ඔහුට නැවත වරක් පලායාමට සිදුවිය. එංගලන්තයේ දොරටු සියලක්ම ඔහුට විරුද්ධව වැසී ගිය බවක් පෙනුණි. ජර්මනියේ පිහිට පැතීමට ඔහු තීරණය කර ගත්තේය. මෙහිදී හෙතෙම ඉංග්‍රීසි අලුත් ගිවිසුම මුද්‍රණය කිරීම ආරම්භ කළේය. මුද්‍රණ කටයුතු දෙවරක්ම නවත්වන ලදී. මුද්‍රණය කිරීම එක් නගරයකදී තහනම් කළ විට ඔහු වෙනත් නගරයකට පලා ගියේය. අන්තිමේදී ඔහු වර්ම්ස් වෙත පැමිණියේය. එයට වසර කිහිබයකට පෙර ලූතර් විසින් එහිදී මන්ත්‍රී මණ්ඩලය ප්‍රතිසංස්කරනයට හිතැති මිතුරෝ බොහෝ දෙනෙක් සිටියෝය. තවත් බාධා කිරීම් කිසිවකින් තොරව ටින්ඩේල් තම කාර්ය භාරය අඛණ්ඩව කරගෙන ගියේය. මුල්වරට අලුත් ගිවිසුමේ පිටපත් තුන්දහසක් මුද්‍රණ ද්වාරයෙන් පිට විය. තවත් පිටපත් ගණනාවක් එම වසරේදීම මුද්‍රණය කරන ලදී. GrHSin 277.2

    මහත් උනන්දුවකින් සහ නොපසුබස්නා උත්ථාන වීර්යයකින් යුතුව ටින්ඩේල් තම පරිවර්තන කටයුතු දිගටම කරගෙන ගියේය. එංගලන්ත බලධරයෝ එහි තොටුපලවල් ඉතා පරීක්ෂාකාරීව රැකවල් කළ නමුතු දෙවියන්වහන්සේගේ වචනය විවිධ රහස් මාර්ග ඔස්සේ ලන්ඩනයට පැමිණියේය. දේව වචනය රැගත් මුද්‍රිත පිටපත් රට පුරාම බෙදා හරින ලදී. පාප්වාදීහූ සත්‍යතාව යටපත් කර තැබීමට වෑයම් කළ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ විය. ටින්ඩේල්ගේ මිතුරෙකු වූ පොත් වෙළෙන්දෙකු ළඟ තිබූ බයිබල් පිටපත් සියල්ලම ඩර්හැම්හි රදගුරු තුමා විසින් මිලදී ගන්නා ලදී. බයිබල් පිටපත් සියල්ලම විනාශ කර දැමීම ඔහුගේ අරමුණ විය. එසේ කිරීමෙන් බයිබල් පිටපත් ප්‍රචාරයට බාධා කළ හැකි වේ යයි ඔහු සිතුවේය. නමුත් බයිබල් පිටපත් විකිණීමෙන් ලැබූ මුදලින් එයට වඩාත් යහපත් සංස්කරණයක් මුද්‍රණය කිරීමට අවස්තාව උදා විය. එම මුදල් ලැබුණේ නැති නම් අලුත් සංස්කරණයට වියදම් සොයා ගැනීම ගැටළුවක් වන්නට ඉඩ තිබුණේය. ටික කලකට පසුව ටින්ඩේල් සිරභාරයට පත්විය. එක කොන්දේසියක් මත ඔහුව නිදහස් කිරීමට යෝජනාවක් විය. නම් බයිබල් මුද්‍රණය කිරීම සඳහාවූ වියදම දැරීමට ඔහුට උපකාර කළ අයගේ නාමාවලියක් සැපයීම ඔහුගෙන් බලාපොරොත්තු විය. එම මුදල් ලබාදීම සඳහා වෙනත් කිසිම පුද්ගලයෙකුට වඩා ඩර්හැම්හි රදගුරුවරයා උපකාර කළ බව ඔහු ප්‍රකාශ කළේය. ඔහු ඉතිරිව තිබූ පිටපත්වලට වැඩි මිලක් ගෙවා මිලදී ගැනීමෙන් තමාට ධෛර්යයෙන් යුතුව ඒ වැඩය තවදුරටත් කරගෙන යාමට හැකියාව ලැබූ බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.GrHSin 277.3

    ටින්ඩේල්ට සතුරන්ගෙන් අතට පාවා දෙන ලද්දේය. වරක් මාස ගණනාවක් සිර ගෙයි සිටීමට ඔහුට සිදුවිය. අන්තිමේදී හෙතෙම තම ඇදහිල්ල උදෙසා වෙද සාක්ෂිකරුවෙකු ලෙස දිවි පිදීය. එහෙත් ඔහු විසින් සූදානම් කළ ආයුධ රැගත් වෙනත් සොල්දාදුවෝ අද දක්වාම සටන් බිමට වැඳී සත්‍යතාව වෙනුවෙන් සටන් කරති. GrHSin 278.1

    වේදිකාව මත රැව් දුන් ලැටිමර්ගේ හඬ කියා සිටියේ ජනතාවගේ බසින් ශුද්ධ බයිබලය කියවීම අනිවාර්ය විය යුතුය යන්නය. ඔහු මෙසේ පැවසීය. “ශුද්ධ ලියවිලි කතුවරයාණෝ දෙවියන්වන්සේම වනසේක. එහි කතුවරයාණන්ගේ බලපරාක්‍රමය සහ සදාතනික පැවැත්ම සමග ශුද්ධ ලියවිල්ල එක්ව සහභාගිත්වය දරයි. සෑම රජ කෙනෙක්ම, සෑම අග රජතුමෙක්ම, සෑම විනිශ්චයකාරයෙක්ම, සෑම ජන නායකයෙක්ම උන්වහන්සේගේ ශුද්ධ වචනයට කීකරු වීමට බැඳී සිටිති. මානුෂික නියෝග නමැති වෙනත් මාර්ගවල ගමන් කිරීමෙන් අපි වැළකී සිටිමු. ඒ මාර්ගවල ගල්, අතු හා ගලවන ලද ගස් බොහෝය. අපි දේව වචනයේ සෘජු මාර්ගයේ ගමන් කරමු. අපට මගපෙන්වීමට දෙවියන්වහන්සේගේ වචනයට ඉඩ දෙමු. අපට වැදගත් වන්නේ අපගේ ආදි පියවරුන් ගමන් කළ ආකාරය නොව ඔවුන් විසින් කළ යුතු වූ දේවල්ය.” (Latimar, First Sermon Preached Before King Edward vi).GrHSin 278.2

    බාර්න්ස් සහ ෆ්රිත් යන වින්ඩේල්ගේ මිතුරන් දෙදෙනෙක් වූහ. ඔවුහු සත්‍යතාව ආරක්ෂා කරගැනීම සඳහා නැගී සිටියෝය. ඔවුන්ට පසුව රිඩ්ලි සහ ක්‍රැන්මර් සත්‍ය ශුභාරංචිය දේශනා කිරීමට ඉදිරිපත් වූහ. ඉංග්‍රීසි ජාතික පුනරුදයේ නායකත්වය දැරූ මෙම අය උගතුන් වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් රෝමානු ප්‍රජාවේ භක්තිය සහ ජ්වලිතය පිළිබඳව කීර්තිමත් නාමයක් දිනාගෙන සිටියෝය. පාප් තුමාගේ නායකත්වය යටතේ වූ රෝමානු සභාවේ තිබූ වැරදි දුර්මත සහ ඇදහිලි ක්‍රම පිළිබඳව වූ දැනුම නිසා පාප් සමයට විරුද්ධ වීමට ඔවුහු තීරණය කළෝය. බබිලෝනියේ තිබූ ගුප්ත ක්‍රමවේදයන් ගැන මනා අවබෝධයක් තිබූ ඔවුන්ට, ඇයට විරුද්ධව සාක්ෂි දැරීමට එම දැනුම මහත් ජවයක් ලබාදුන්නේය.GrHSin 278.3

    ලැටිමර් තම දෙසුමකදී මෙවන් අදහස් ප්‍රකාශ කළේය. “එංගලන්තයේ සිටින්නාවූ ඉතා කඩිසරවූ ද, උනන්දුවකින් ක්‍රියා කරන්නාවූ ද රදගුරු තුමා සහ මහා නායක තුමා කව්දැයි ඔබ දන්නවාද? ... මම එම තැනැත්තාව නම් කරනවාට ඔබ බලාපොරොත්තුවෙන් ඇහුම් කන්දී සිටින බව මම දන්නවා ... මම ඔබට කියන්නම් ... ඒ තමයි සාතන්. ඔහු කිසිවිටෙක අලසව සිටිනවා ඔබට දකින්නට ලැබෙන්නේ නැහැ. ඔහු තමාගේ රාජකාරී වසයෙන් පිටතට යන්නේ නැහැ ... ඔබට කැමැති වේලාවක ඔහුව හමුවීමට යන්න ... ඔහු ගෙදර සිටින බව නියතය. ... තම රාජකාරී ස්ථානයේ ඔහු නිරතුරුවම රැඳී සිටී ... ඔහු නිකරුණේ කාලය ගත කරමින් සිටිනවා ඔබට දැකගන්නට බැහැ. මම එය සහතික කර පවසනවා ... යක්ෂයා වැඩ සිටින්නාවූ නිවහනෙහි පොත්පත් නැහැ. මේසය උඩ තිබෙන්නේ ඉටිපන්දම්ය. ශුභාරංචියේ ආලෝකය ඉවත දමා එතැන පබළු ඇට තබා තිබෙනවා. ශුභාරංචි ආලෝකය වෙනුවට එහි ඇත්තේ ඉටිපන්දම්වල ආලෝකයයි. එසේය දහවල් කාලයේ තත්ත්වය ඒ වාගේයි. ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය ඉවත් කර දමනවා. එතැනට ශුද්ධගිනි ස්ථානය පිළිබඳ මුසාව සහ එම ක්‍රමවේදයේ මුදල් ගැරීම පවතිනවා; ඇඳුම් නැති අයට, දුප්පත් සහ බෙලහීන අයට අවශ්‍යතා සපයා දීම පසෙකට දමා වටිනා ගලින් සහ ප්‍රභාසම්පන්න ආයිත්තම්වලින් සරසන ලද සුරුවම් ඉහළට, ඔසවනු ලබනවා. මිනිස් සම්ප්‍රදායන් සහ මිනිස් ආඥාවන් ද අන්ධ වූ පාප්වරයෙක්ද ඉහළ මට්ටමෙන් ගරු කරනු ලබන අතර දෙවියන්වහන්සේ හා ශුද්ධ වචනය පහළට හෙළනු ලබනවා. ... සාතන් උනන්දුවෙන් අපගේ සභා පාලකයන්ද යහපත් දහම් නමැති තිරිඟු වැපීරීමට උනන්දුවක් දක්වනවා නම් එය කෙතරම් ප්‍රශංසනීයද!” (Latimer, “Sermon of the Plough”).GrHSin 279.1

    මෙම පුනරුද වාදීන් විසින් දරා සිටි ශ්‍රේෂ්ඨතම ප්‍රඥාප්තිය නම් වොල්ඩන්සියානුවන් විසින්ද වික්ලිෆ්, ජෝන් හස්, ලූතර්, ස්වින්ග්ලි සහ ඔවුන් සමග එක්වූ අනෙකුත් අය විසින්ද එක හඬින් ප්‍රකාශ කළ, එක හඬින් කියා සිටි ශ්‍රේෂ්ඨතම ප්‍රඥප්තිය වූ ඇදහිල්ලෙහි සහ ජීවිත රටාවෙහි ප්‍රීතිය හෙවත් නියමය වන්නේ ශුද්ධ ලියවිල්ලෙහි වූ වැරැදිය නොහැකි අධිකාරි බලය යන්නයි. ආගම පිළිබඳව වූ කාරණාවලදී හෘදය සාක්ෂිය පාලනය කිරීමට පාප්ට, ධර්මාධි කරණයට, පැවිදි පියවරුන්ට සහ රජවරුන්ට කිසිම ආකාරවූ අයිතියක් නැති බව ඔවුහු කියා සිටියහ. ඔවුන්ගේ අධිකාරි බලය ශුද්ධ බයිබලය විය. සෑම දහමක්ම, සෑම අයිතිවාසිකමක්ම පිළිගැනීම සඳහා ඔවුන් උරගා බැලුවේ බයිබලීය ඉගැන්වීම්ය. ගිනිටැඹ මත දිවි පිදූ මෙම ශුද්ධවූ දේව දාසයන්ව පෝෂණය කළේ, රැක බලාගත්තේ දෙවියන්වහන්සේ තුළ ඔවුන්ට තිබූ ඇදහිල්ලත්, උන්වහන්සේගේ වචනය කෙරෙහි තිබූ විශ්වාසයත්ය. තමා සමග එක්ව ගිනිටැඹය බැඳ තිබූ සිය සගයා අමතමින් ලැටිමර් මෙසේ ඔහුව දිරි ගැන්වීය. “යහපත් සැනසිලි චින්තනයකින් සිටින්න. අප අද දල්වන මේ කුඩා ඉටිපන්දම දෙවියන්වහන්සේගේ අනුග්‍රහය යටතේ එංගලන්තය ඒකාලෝක කරනවා ඇත. එය කවරදාක හෝ නිවා දමනු නොලබන බව මාගේ විශ්වාසයයි.” (“Works of Hugh Latimer, “Vol.I P.xiii).GrHSin 279.2

    ස්කොට්ලන්තයේ සත්‍යතා බීජ වැපිරීමේ පුරෝගාමීන් වූයේ කොලුම්බා සහ ඔහුගේ සහායක දේව සේවකයන්ය. ඔවුන්ගේ වෑයම සම්පූර්ණ වශයෙන්ම විනාශයට පත් නොවීය. එංගලන්තයේ දේවස්ථාන රෝමානු ආධිපත්‍යයට යටත් වී වසර සිය ගණනාවකට පසුව වුවද, ස්කොට්ලන්ත දේවස්ථාන තම නිදහස රැකගෙන කල් ගෙවූහ. එහෙත් දොළොස් වෙනි ශත වර්ෂයේදි මෙම පාලන ව්‍යුහය වෙස් විය. වෙනත් කිසිම රටක නොවූ විරූ ආකාරයෙන් රෝම බල අධිකාරිත්වය ස්කොට්ලන්තයේ තම විදායක බලය උපරිම ආකාරයෙන් ක්‍රියාත්මක කළේය. රෝමානු සමය එරටෙහි ස්ථාපිත විය. අන්ධකාරය මෙතරම් ගැඹුරු වූ වෙනත් ස්ථානයක් තවත් නොවීය. එහෙත් ආලෝක රැස් දඟරා අඳුරු දෙබෑ කරමින් මතු දිනෙක පැමිණෙන්නාවූ සෞභාග්‍යයක් ගැන අනාවැකි කීවේය. එංගලන්තයේ සිට පැමිණි ලොලාඩ්වරු තමන් සමග ශුද්ධ බයිබලයද වික්ලිෆ්ගේ ඉගැන්වීම්ද රැගෙන ස්කොට්ලන්තයට පැමිණියෝය. එරට ශුභාරංචියෙහි දැනුම රඳා පවත්වා ගැනීමට ඔවුහු උපකාර වූහ. සෑම ශත වර්ෂයකම ශුභාරංචියේ සාක්ෂිකරුවෝ සිටියෝය. එසෙම වේද සාක්ෂිකරුවෝද හිඟ නොවූහ.GrHSin 280.1

    මහා ප්‍රතිසංස්කරණය බිහිවීමත් සමඟම ලූතර්ගේ ප්‍රකාශයද ටින්ඩේල්ගේ ඉංග්‍රීසි අලුත් ගිවිසුමද කිතුණු ජනතාව අතට පත්විය. රෝම බලධරයන්ගේ ඇසට හසු නොවී මෙම පණිවිඩකරුවෝ නිශ්ශබ්දව ගම් නියම්ගම් තුළට පිවිසුණෝය. කඳු සහ නිම්න භූමි ඔවුන්ට මගහැරී ගියේ නැත. ඔවුහු අලුත් ජීවිතවලට සත්‍යතාවයේ පන්දම ස්පර්ශ කළෝය. ස්කොට්ලන්තයේදී මෙම සත්‍යතාවයේ පන්දම මාළානික වෙමින් පැවතියේය. රෝමානු සමය විසින් වසර හාර සියයක් පුරා දැක්වූ විරෝධතාවයේ ක්‍රියාදාමයන් මැඩ පවත්වන්නට ඔවුහු උදාර සේවාවක් ඉටු කළෝය.GrHSin 280.2

    ඉක්බිතිව, වේද සාක්ෂිකරුවන්ගේ රුධිරය ප්‍රතිසංස්කරණයේ ව්‍යාපෘතියට නව පණක් ලබා දුන්නේය. හදිසියේ රෝමානු නායකයෝ අවදිව තමන්ගේ කර්තව්‍යයට උදාවී ඇති අනතුර දැක ගත්තෝය. ගිනි ටැඹ ක්‍රියාත්මක විය. ස්කොට්ලන්තයේ සිටි කුලීනවූ ද, ඉහළම ගෞරවාදරය දිනාගෙන සිටියාවූ ද දේශාභිමානී දරුවන්ගේ ජීවිත දවා අළු කරදැමීමට ශුභාරංචි සතුරෝ ක්‍රියාත්මක වූහ. මරණයට පත්වන්නාවූ වේද සාක්ෂිකරුවන්ගේ වචන දේශය පුරා රැගෙන යාම සහා ඔවුහු මෙසේ අගනා වේදිකාවක් තනා දුන්නෝය. රෝමයේ විලංගු බිඳ දමන්නට අරමුණු කරගැනීමට, ආත්මයන් පුබුදුවාලීමට එම වදන් අත්වැළක් විය. GrHSin 281.1

    චරිත ලක්ෂණවලින් මෙන්ම උපතින්ද රාජකීය පෙළපතකට අයිති වූ හැමිල්ටන් සහ විශ්හාට්ට අනුගාමිකයන් රැසක් ද සිටිය නමුත් ඔව්හුද ගිනි කණුවලට ගොදුරු කරන ලදී. විශ්හාට්ගේ ගිනි මැළයෙන් උපත ලැබූ අයෙක් විය. ඔහුව නිශ්ශබ්ද කිරීමට ගිනි මැළයට හැකියාවක් නොවීය. හෙතෙම දෙවියන්වහන්සේ යටතේ ක්‍රියාත්මක වී ස්කොට්ලන්තයේ පැවැති පාප් අධිකාරී බලයට මරු පහරක් එල්ල කළේය. GrHSin 281.2

    සභාවේ පැවැති මිනිසි සම්ප්‍රදායන් සහ ක්‍රියාදාමයන්ගෙන්ද ඉවතට හැරී සිටි ජෝන් නොක්ස් නමැති මේ තැනැත්තා දෙවියන් වහන්සේගේ ජීවමාන වචනයෙන් පෝෂණය වීමට ඉටා ගත්තේය. ඔහු විශ්හාට්ගේ ලියවිලිද අධ්‍යයනය කළේය. රෝමය සමඟ වූ සිය සම්බන්ධකම් අතහැර දමා පීඩිත ප්‍රතිසංස්කාරකයන් සමඟ එක්වීමට තීරණයකට බැසීමට විශ්හාට්ගේ ලියවිලි නොක්ස්ට අත්වැළක් විය.GrHSin 281.3

    දේශනාකාරයෙකු වන්නැයි නොක්ස්ගේ සභායකයෝ ඔහුගෙන් ඉල්ලීමක් කළෝය. එම තනතුරෙහි වගකීම් සම්භාරය හැඟී ගිය හෙතෙම තැති ගත්තේය. ඉල්ලීමට පිටුපා ක්‍රියාකිරීමට වෑයම් කළේය. එහෙත් දවස් ගණනාවක් හුදෙකලාව සිටිමින් ස්වකීය ආත්මය සමඟ ප්‍රබල ගැටුමක යෙදීමෙන් පසුව තමාට දෙන ලද ඉල්ලීමට එකඟවීමට ඔහු කැමැත්ත පළ කළේය. තීරණයට එළඹීමෙන් පසුව ඔහු නොසෑලෙන අධිෂ්ඨානයකින්ද පසුබට නොවන්නාවූ ධෛර්යයකින්ද, නිර්භීතකමකින්ද යුතුව වැඩෙහි යෙදුණේය. ඔහු ඉදිරියටම ගියේය. මුළු ජීවිත කාලය පුරාම ඔහු මෙසේ ක්‍රියා කළේය. මෙම සත්‍යවාදී ප්‍රතිසංස්කාරකයා මිනිසුන්ගේ මුහුණුවලට බියක් නොදැක්වීය. වේද සාක්ෂිකරුවන් ගිල ගත් ගිනි සිළු නොක්ට අවට පැන නැගෙද්දී ඔහු තුළ දියුණු වෙමින් පැවිත ජ්වලිතය තව තවත් දැඩි විය. ඝාතකයාගේ කඩුව ඔහුගේ හිසට උඩින් ලෙළ දෙමින් තිබියදී ඔහු කිසිම චකිතයකින් තොරව සැදී පැහැදී සිටියේය. රූප වන්දනාව නැති කරදැමීමේ අදහසින් ඔහු දකුණු පසටත්, වම් පසටත් තදින් පහර එල්ල කළේය.GrHSin 281.4

    ජෝන් නොක්ස්ව ස්කොට්ලන්තයේ රැජින ඉදිරියට ගෙන යනු ලැබීය. ප්‍රොතැස්තන්ත නායකයන් කිහිප දෙනෙකුගේ ජ්වලිතය ඇය ඉදිරියෙහි පසුබෑමකට ලක්ව තිබුණේය. එහෙත් ජෝන් නොක්ස් සත්‍යතාව වෙනුවෙන් අචල සාක්ෂි දැරීමක් කළේය. සෞම්‍ය වචන කථා කිරීමෙන් ඔහුව තම පක්ෂයට දිනා ගැනීමට කිසිවෙකුට නොහැකි විය. තර්ජන ඉදිරියෙහි ඔහු තැති ගත්තේ නැත. මිථ්‍යා දහම් සහ ඉගැන්වීම් පිළිගත්තේ යයි රැජින ඔහුට චෝදනා එල්ල කළාය. රජය විසින් තහනම් කරන ලද ආගමක් පිළිගැනීමට ඔහු ජනතාවට උගන්වන්නේ යයි ඇය පැවසුවාය. තවද, තමන්ගේ රාජකීය උත්තමාවන්ට කීකරු වන්නැයි දෙවියන්වහන්සේ විසින් පනවා ඇති ආඥාව ඔහු විසින් උල්ලංඝනය කර ඇතැයිද රැජින ඔහුට චෝදනා එල්ල කළාය. මේ චෝදනාවන්ට නොක්ස් මෙසේ සෘජු පිළිතුරක් දුන්නේය.GrHSin 282.1

    “නිරවද්‍ය ආගමට අවශ්‍ය වූ ශක්තිය සහ අධිකාරී බලය ලැබුණේ ලෞකික කුමරුන්ගෙන් නොවේ. එය දෙවියන්වහන්සේම දානය කළ දෙයකි. එසේම කුමාරවරුන්ගේ ආශාව පරිදි තමන්ගේ ආගම සඳහා ඔවුන්ගේ රාමුවකට වැදී සිටීමට යටත් වැසියන් බැඳී නැත. නිතරම දෙවියන්වහන්සේගේ සත්‍ය වූ ආගම පිළිබඳව වැඩියෙන්ම කරුණු නොදන්නේ එම කුමාරවරුන්ය. ආබ්‍රහම්ගේ වංශයේ සියලු දෙනාම ඵාරාවෝගේ යටත් වාසීන්ව සිටි බැවින්ම ඔවුන් රජතුමාගේ ආගම පිළිගත්තේ නම් රැජිණියෙනි, මා ඔබගෙන් අසන්නේ අද ලෝකයේ තිබෙන්නට යන්නේ කොයි ආගමද? අපෝස්තුළුවරුන්ගේ කාලයේ සියලු මනුෂ්‍යයෝ ”GrHSin 282.2

    මේරි රැජින මෙසේ පැවසුවාය, “ඔබ එක්තරා ක්‍රමයකට ශුද්ධ ලියවිලි අර්ථකථනය කරනවා. එසේම ඔවුන්ද (රෝමානු කතෝලික ගුරුවරුන්ද) තවත් ක්‍රමයකට අර්ථකථනය කරනවා. මම කාව විශ්වාස කරන්නෙම්ද, කවරෙක් එය විනිශ්චය කරාවිද?”GrHSin 282.3

    “තමන්වහන්සේගේ වචනය තුළින් පැහැදිලි ලෙස කථා කරන්නාවූ දෙවියන්වහන්සේව ඔබ විශ්වාස කළ යුතුයි. දේව වචනයේ ඉගැන්වීමට එකඟ නොවන කාරණා පිළිබඳව ඔබ අන් කිසිවෙකු විශ්වාස නොකළ යුතුය. දේව වචනය සරලය, පැහැදිලිය, යම් කරුණක් පිළිබඳව යම් තැනක කියා ඇති දේ පැහැදිලිය. යම් කරුණක් පිළිබඳව යම් තැනක කියා ඇති දේ පැහැදිලි නැති නම් ඒ ගැන පැහැදිලි අර්ථකථනයක් ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ලබාදී ඇත. ශුද්ධාත්මයාණන්වහන්සේ කිසිම කලෙක තමන්ට විරුද්ධව යමක් පවසන්නේ නැත. තවත් තැනක පැහැදිලි කිරීමක් සඳහා සත්‍යවාදී දේව වචනයෙන් සොයන්නේ නැතිව කටයුතු කරන්නාවූ, මුරණ්ඩු ලෙස දේව වචනය නොදැන සිටින්නාවූ අයට නිවැරදි දේ සොයා ගැනීමේ හැකියාව නොමැත.” (Laing “Works of John Knox’’Vol ii pp.281,284). නිර්භීත ප්‍රතිසංස්කාරකයා විසින් තම ජීවිතය පරදුවට තබා රාජකීය සවනට මුසු කළ සත්‍යතාවන් එබඳුය. එවැනිම නොසැලෙන ධෛර්යයකින් යුතුව ඔහු දෙව් සමිඳාණන්ගේ සටන්හි නිරත වෙමින්, යාච්ඤා කරමින් ස්කොට්ලන්තය පාප් සමයේ බල අධිකාරියෙන් මිදීම ලබන තෙක් ක්‍රියා කළේය.GrHSin 282.4

    ප්‍රොතැස්තන්ත දහම එංගලන්තයෙහි ජාතික ආගම ලෙස ස්ථාපිත කිරීමේ කාර්යය පසුබෑමට ලක් විය. එහෙත් එමනිසා වධහිංසා පැමිණවීම සම්පූර්ණයෙන්ම ඇණ හිටියේ නැත. රෝමානු දහම් බොහෝ ගණනක් අත්හැර දමන ලද නමුත් ඇයගේ වතාවත් සමහරක් තවදුරටත් රඳවා තබාගන්නා ලදී. පාප්ගේ අධිශ්‍රේෂ්ඨත්වය නිෂ්ප්‍රභා කරන ලදුව ඒ වෙනුවට සභාවේ නායකයා ලෙස රජතුමාට ඔටුනු පළඳවනු ලැබීය. සභාවේ මෙහෙයෙන් ශුභාරංචියෙහි ශුද්ධාතාවෙන් සහ චාම්කමින් බොහෝ ඈත්ව තිබුණේය. ආගමික නිදහසෙහි යථාර්ථය ගැන පැහැදිලි අවබෝධයක් නොවීය. මිනිසෙකුට තමාගේ හෘදය සාක්ෂියෙහි තීරණයන්ට එකඟව දෙවියන්වහන්සේට නමස්කාර කිරීමේ නිදහස දීම තවමත් පිළිගෙන තිබුණේ නැත. රෝමය ක්‍රියාත්මක කළ අන්දමේ වධ හිංසා ක්‍රියාත්මක නොකළ නමුත්, සෑම මනුෂ්‍යයාටම තමාගේ හෘද සාක්ෂියේ මගපෙන්වීම අනුව නමස්කාර කරන්නට ඉඩදීමට ප්‍රොතැස්තන්ත නායකයන්ද කැමිත වූයේ නැත.ස්ථාපිත කිතුණු සභාව විසින් නියම කරන ලද නමස්කාර ක්‍රමවේදයන් සහ ධර්මතාවන් සැවොම පිළිගත යුතු යයි අපේක්ෂා කෙරිණි. එම පටිපාටිය පිළිනොගත් අයට වධහිංසා විඳින්නට සිදුවිය. යම්කිසි ප්‍රමාණයකින් මෙම තත්ත්වය තවත් අවුරුදු සිය ගණනාවක් එංගලන්තය තුළ පැවැතුණේය.GrHSin 283.1

    දහ හත්වන සියවසේදී, දේවගැතිවරුන් දහස් ගණනින් ස්වකීය සේවා භාරයෙන් නෙරපා හරින ලදී. සභාව විසින් අනුමැතිය ලබානොදුන් නමස්කාර මෙහෙයකට සහභාගිවීම තහනම් විය. එසේ කළ අයට දඬුවම් වශයෙන් අධික දඩ මුදලක් ගෙවීමට සිදුවිය. තවත් අය සිරගෙට නියම විය. තවත් අය රටින් පිටුවහන් කරනු ලැබීය. දෙවියන්වහන්සේට නමන්කාර කිරීමෙන් ඈත්ව සිටීමට අකමැතිවූ විශ්වාසවන්ත බැතිමත්හු අඳුරු මුඩුක්කුවලද, අප්‍රසිද්ධ ස්ථානවල පිහිටි ගෙවල වහලයට කිට්ටුව පිහිටි උඩුමහලෙහි වූ කුඩා කාමරවලද, සමහර සෘතුවල මධ්‍යම රාත්‍රියෙහි කැළෑවලද තම නමස්කාර රැස්වීම් පැවැත්වූහ. දෙවියන්වහන්සේගේ දේව මාළිගා ගොඩනැගිල්ල වන වනාන්තරයේ ආරක්ෂිත ස්ථානයක, විසුරුවා හරිනු ලැබූ දෙවි සමිඳාණන්ගේ දරුවෝ තම හදවත් යාච්ඤාවෙන් සහ තුති ප්‍රශංසාවෙන් වගුරුවාලීමට එක් රැස් වූහ. අප්‍රසිද්ධ ලෙස මෙසේ රැස්වූ නමුත් බොහෝ දෙනෙක් තම ඇදහිල්ල නිසා පීඩාවට ලක්කරනු ලැබූහ. සිරගෙවල් පිරී ගොස් තිබුණේය. පවුල් වෙන් කරනු ලැබීය. බොහෝ අය වෙනත් රටවලට පිටුවහල් කරනු ලැබූහ. එසේ වුවද, දෙවියන්වහන්සේ තමන් සෙනඟ සමඟ සිටිසේක. ඒ අතර, වධහිංසා පැමිණවීම මඟින් ඔවුන්ගේ සාක්ෂිය නවතා දැමීමට නොහැකි විය. තවත් බොහෝ පිරිසක් මුහුදින් එතෙර අමෙරිකාව බලා පිටත්ව ගියෝය. ඔවුහු එහිදී සිවිල් සහ ආගමික නිදහස වෙනුවෙන් පදනම දැමූවෝය. අද දක්වාම මෙම නිදහස එම රටෙහි ආරක්ෂාව සහ ගෞරවය වී තිබේ.GrHSin 283.2

    අපෝස්තුළුවරුන්ගේ දවස්වලදී මෙන්ම නැවත වරක්, හිංසා පීඩා වැඩිවත්ම ශුභාරංචියෙහි පැතිර යාමද ප්‍රබල විය. අපරාධවල යෙදුනු දුෂ්ටයන් සහ අනාචාරයෙහි හැසිර සමාජයෙන් එළවා දමනු ලැබූ අයද සමඟ ඉතා අප්‍රසන්න ඇඳිරි ගුහාවක දිවි ගෙවූ ජෝන් බනියන් එහිදී ස්වර්ගීය පරිසරය ආශ්වාස කළේය. එහිදී ඔහු ඉතා උසස් ගණයේ උපමා වෘතාන්ත කෘතියක් වූ “වන්දනාකාරයාගේ ගමන” රචනා කළේය. එම කෘතියෙහි තේමාව වන්නේ විනාශයේ දේශයේ සිට ස්වර්ගීය නුවර දක්වා යන වන්දනාකාරයෙකුගේ ගමන් විස්තරයයි. වසර දෙසීයකට වැඩි කාලයක් පුරා බෙඩ්ෆෝර්ඩ් සිරගෙයෙහි සිට නිකුත්ව ආවාචූ මේ ගැළවීමේ සාක්ෂිය මිනිස් හදවත්වලට බලවත් හැඟීම් ඇති කරවන හඬින් කථා කළේය. ජෝන් බනියන් කතුවරයාගේ කෘතින් වන “වන්දනාකාරයාගේ ගමන” සහ දරුණුතම පව්කාරයාටත් තිළිණ කළ “අධික කරුණා - අනුග්‍රහය” යන කෘතීන් කරණකොටගෙන බොහෝ අයගේ පාද ජීවනයේ මංමාවත් කරා යොමු වි ඇත.GrHSin 284.1

    වරක් ශුද්ධවන්තයන්ට පවරා දෙනු ලැබූ ඇදහිල්ල ආරක්ෂා කරගැනීමට බැක්ස්ටර්, ෆ්ලැවෙල්, ඇලීන් සහ තවත් අය නැගී සිටියෝය. ඔවුහු දක්ෂවූ, නිර්මාණශීලීවූ උසස් අධ්‍යාපනයක් ලැබූ ගැඹුරු ක්‍රිස්තියානි අත්දැකීමක් ලැබූ අය වූහ. මෙම පුද්ගලයන් ඉටු කළ කර්තව්‍යය මේ ලෝකයේ රාජ්‍ය පාලකයන් විසින් තහනම් කරනු ලැබ නීති විරෝධී යයි නම් කරනු ලැබුවද, එම වැඩ කිසි කලෙක හෝ විනාශ වී යන්නේ නැත. තමන්ගේ ආත්ම ක්‍රිස්තුස්වහන්සේගේ රැකවරණයට භාර කරන්නේ කෙසේද කියා උපදෙස් සපයමින් ෆ්ලැවෙල් ලියූ “ජීවනයේ උල්පත” සහ “කරුණා - අනුග්‍රහයේ ක්‍රමවේදය” යන කෘති ක්‍රිස්තියානි ජීවිත වර්ධනයට මාහැඟි අත්වැළක් විය. “ප්‍රතිසංස්කරණයට හසුවූ දේවගැති තුමා” යන බැක්ස්ටර්ගේ කෘතිය දෙවියන්වහන්සේගේ වැඩ කටයුතුවලට නව ජීවනයක් අපේක්ෂා කරන්නාවූ අයට ආශිර්වාදයක් වී ඇත. ඔහුගේම තවත් කෘතියක් වන “ශුද්ධවන්තයන්ගේ සදාතන නිවාඩුව” මඟින් දෙවියන්වහන්සේගේ ජනතාවට සූදානම් කර ඇති‍ ´නිවාඩුව´ වෙත ගමන් කිරීමට බොහෝ දෙනෙකුට මගපෙන්වීම ලැබී ඇත.GrHSin 284.2

    වසර සියයකට පසුව, ආත්මික අන්ධකාරය මහත් සේ බලපෑ දවසක දෙවියන්වහන්සේ උදෙසා ආලෝකය දරන්නන් ලෙස විට්ෆීල්ඩ් සහ වෙස්ලි සහෝදරවරු ක්‍රියා කළෝය. ස්ථාපිත සභාවෙහි නීති රිතී යටතෙහි එංගලන්තයෙහි ජනතාව ආගමික පසුබෑමකටද, ආත්මික පරිහානියකට පත්ව සිටියෝය. මිසදිටුවන්ගෙන් කිතුණුවන්ව වෙන් කොට හඳුනා ගැනීම පවා අසීරු විය. දේවගැතිවරුන්ගේ ප්‍රියතම විෂය මාලාව වුණේ ස්වභාවික ආගම යන පාඩමයි. එයට ඔවුන්ගේ දේවධර්මද ඇතුළත් විය. සමාජයේ රදළයෝ මෙම ශුද්ධාවට සිනහසුණෝය. ආගම් උමතුව ලෙස ශ්‍රද්ධාවට කැපවූ අයව හැඳින්වූ රදළයෝ තමන්ගේ පැවැත්ම දේවගැතිවරුන්ට වඩා ඉහළ තලයක ඇතැයි උදාරම් බස් කීවෝය. සමාජයේ පහත් තලවල සිටි අය කිසිත් නොදන්නා පිරිසක් වූහ. ඔවුන්ව, අවකල් ක්‍රියාවකට නැඹුරු වූ අය හැටියට අත්හැර දමන ලදී. සත්‍යතාවයේ කර්තව්‍යය පිරිහීමට පත්ව තිබූ නිසා එය නගා සිටුවීමට, සහාය වීමට සභාවට ඇදහිල්ලක් හෝ ධෛර්යයක් හෝ තිබුණේ නැත.GrHSin 285.1

    ලූතර් විසින් ඉතා පැහැදිලිව ඉගැන්වූ දහමක් වන ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබීම යන්න බහුතරයකගේ මතකයෙන් ඉවත්ව ගොස් තිබුණේය. යහපත් ක්‍රියාවන් මගින් ගැළවීම උදාකර ගත හැකිය යන රෝමානු දහම මගින් ලූතර් ඉගැන්වූ දහම ගිලී ගොස් තිබුණේය. ස්ථාපිත සභාවෙහි සාමාජිකයෙන් වූ විට්ෆීල්ඩ් සහ වෙස්ලි සහෝදරවරුද දෙවියන්වහන්සේගේ කරුණා-අනුග්‍රහය අවංකව සෙවූ අය වූහ. මෙය ලබාගත හැක්කේ සාරධර්ම වලට අනුකූලව ජීවත් වෙමින්, ආගමේ නියෝගවලටද කීකරු වීමෙන් යයි ඔවුන්ට උගන්වා තිබුණේය.GrHSin 285.2

    වරක් චාර්ල්ස් වෙස්ලි රෝගාතුර වූ විට, ඔහු මරණයට පත්වේ යයි සිතන ලදී. සදාතන ජීවිතය ගැන ඔහු බලාපොරොත්තුව රඳවා තිබෙන්නේ කුමක් මත දැයි කෙනෙක් ඔහුගෙන් ප්‍රශ්න කළේය. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “මට හැකි පමණ උත්සාහයෙන් මම දෙවියන්වහන්සේට සේවය කළෙමි. ” ප්‍රශ්නය නැගූ තැනැත්තා මේ පිළිතුරෙන් සෑහීමට පත්වූණේ නැත. වෙස්ලි මෙසේ සිතන්නට විය. ” මොනවා! බලාපොරොත්තුව රැඳවීමට මාගේ සේවය ප්‍රමාණවත් වන්නේ නැද්ද? උන්වහන්සේ මාගේ හැකියාවන්, උත්සාහ කිරීම් මාගෙන සොරා ගන්නට යනවාද? විශ්වාසය රැඳවීමට මට වෙනත් දෙයක් නැත.” (Whitehead, John, “Life of the Rev. Charles Wesley, p. 102). සභාව මත පතිතව තිබූ ඝන අන්ධකාරය එබඳු විය. මැදහත්කාරකම් කිරීමේ ක්‍රමවේදය බැතිමතුන්ගෙන් වසන් කර, ක්‍රිස්තුස්වහන්සේට හිමි විය යුතු ගෞරවය උන්වහන්සේගෙන් සොරාගෙන, ගැළවීමේ එකම බලාපොරොත්තුව වන කුරුසිපත් ගැළවුම්කාරයාණන්ගේ ශ්‍රී රුධිරය වෙතින් මිනිස් මනස ඉවතට හරවාලීමට සභාව ක්‍රියාකර තිබුණි.GrHSin 285.3

    සත්‍යය වූ ආගම තැන්පත් වී තිබෙන්නේ හදවතෙහි බවටත්, මනුෂ්‍යයාගේ චින්තනයට පමණක් නොව, වචනවලටද, ක්‍රියාවන්ටද සහකාර සේවකයන්ටද මගපෙන්වීම ලැබුණි. හදවත්හි ශුද්ධතාවක් පමණක් නොව, බාහිර හැසිරීමෙහි නිවැරැදිතාවයක්ද අවශ්‍යවීම ගැන වැටහීමකින් පෙලී ගිය ඔවුහු අලුත් ජීවිත ඇරඹීමට අවංකවම උත්සාහ දැරූහ. ස්වභාවික හදවත වෙලා ගෙන ඇති දුෂ්ටතම සහ නපුර යටපත් කිරීමට ඔවුහු මහත් උත්සාහයෙන්ද යාච්ඤාවෙන්ද වෑයම් කළෝය. ඔවුහු ආත්ම පරිත්‍යාගී ජීවිත ගත කළෝය. අසරණ සරණ ක්‍රියාවන්හි යෙදුණෝය, මානභංග පැවැත්මක් රඳවා ගත්තෝය. ඔවුන්ගේ අභිමතාර්ථය වී තිබුණේ දෙවියන්වහන්සේගේ කරුණා අනුග්‍රහය අත්පත් කරගැනීම සඳහා උචිත වූ ශුද්ධවන්තකම ලබාගැනීමය. තමන්ගේ සිතැඟියාව ලබාගැනීම සඳහා උපකාර විය යුතු යයි සිතූ සෑම ආකාර ක්‍රියාවක්ම දැඩි උනන්දුවකින් යුතුව අකුරටම ඉටු කිරීමට ඔවුහු වෑයමක යෙදුණෝය. මේ අන්දමින් ශුද්ධ භාවටය පැමිණීමෙන් පමණක්ම තමාට දෙවියන්වහන්සේගේ කරුණාව ලබාගත හැකි යයි ඔව්හු කල්පනා කළහ. එහෙත් පැතූ දේ ඔවුන්ට ලැබුණේ නැත. පාපයට වරදකරුවන් වීමෙන් මිදීමට හෝ පාපයේ බලය බිඳීමට හෝ කෙතරම් මහන්සි වී ක්‍රියාකළද, එයින් සාර්ථකත්වයක් ලැබුණේ නැත. එර්ෆර්ට්හි සිර කුටියෙහි සිටියදී ලූතර්ට පැවති අරගලයද මෙම කරුණ පිළිබඳව විය. ඔහුගේ ආත්මයට වධයක්ව පැවතියේද මෙම ගැටළුවය. එනම් “මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨ වන්නේ කෙසේද?” යන්නය. (යෝබ් 9: 3).GrHSin 286.1

    බොහිමියානු ක්‍රිස්තියානිකරුවන් අතර දිව්‍ය සත්‍යය දැඩි ස්ථාවරයකින් පිහිටා තිබූ නමුත් රෝමානු ආධිපත්‍යය විසින් ඔවුන්ගේ ආගමික ජීවිත පාගා දමා තිබුණේය. එම ආධිපත්‍යයේ දැඩි ක්‍රියා පටිපාටිය යටතේ ඇදහිල්ලට එල්ල වූ දැඩි හිංසා පීඩා මෙන්ම මරණයට බිලි දීම නිසාද බොහිමියානු කිතුණුවන් තුළ ඇවිලෙමින් තිබූ දිව්‍ය සත්‍යතාවේ ගින්න ක්‍රම ක්‍රමයෙන් නිවී යන්නට පටන් ගත්තේය. එහෙත් එම ගින්න නැවත වරක් ප්‍රොතැස්තන්ත අල්තාරය මත දැවෙන්නට විය. සත්‍යතාව අතහැර දැමීම ප්‍රතික්ෂේප කළ අයට තම නිජබිමට ආයුබෝවන් කීමට සිදුවිය. සැක්සනියේ රැකවරණය බලා ආ සමහර අය තමන්ගේ පුරාණ ඇදහිල්ල ආරක්ෂා කරගත්හ. වෙල්සිට සහ ඔහුගේ සහකාර දේව සේවකයන්ට ආලෝකය ලැබුණේ බොහිමියානු කිතුණුවන්ගෙන් පැවත ආ බැතිමතුන්ගෙන්ය.GrHSin 286.2

    ජොන් සහ චාර්ලස් වෙස්ලි, දේවගැතිවරුන් ලෙස අභිෂේකය ලැබීමෙන් පසුව දූත මෙහෙවරක් සඳහා අමෙරිකාවට යවනු ලැබූහ. ඔවුන් ගමන් කළ නැවේ මොරේවියානු කණ්ඩායමක් වූහ. ගමන යන අතරේදී නැව තද කුණාටුවලට හසු විය. මරණ බිය බොහෝ දෙනෙකු වෙළා ගත්තේය. මේ අවස්ථාවේදී ජෝන් වෙස්ලිට හැඟී ගියේ තමා දෙවියන්වහන්සේ සමග සාමාදානය ස්ථිර කරගෙන නොසිටි බවය. ඒ අතර නැවෙහි ගමන්ගත් මෙම ජර්මානු ජාතිකයන් තුළ තමාට තේරුම් ගත නොහැකි සන්සුන්කමක් හා විශ්වාසයක් ඇති බව පෙනී ගියේය.GrHSin 287.1

    තමගේ අත්දැකීම ජෝන් වෙස්ලි විස්තර කරන්නේ මෙසේය: “මෙම ජර්මානු ජාතික මොරේවියානු කණ්ඩායම ගැන මගේ අවධානය යොමුව තිබුණේ සති කිහිපයක සිටය. ඔවුන්ගේ හැසිරීම පුදුම සහගතයි. අනෙකුත් මගීන්ගේ උවමනා එපාකම් ගැන ඔවුන් සේවය කළේ දාසයන් මෙන්ය. ඔවුන් ඉතා නිහතමානීව තම සේවාවන් ඉටු කළත් එවන් සේවාවක් ලබාදීමට අප වැනි ඉංග්‍රීසි ජාතිකයන් කැමති වූයේ නැහැ. ඔවුන් එම දේවල් කැමැත්තේම ඉටු කළා. ඒ සඳහා කිසිම මුදලක් අය කළේ නැහැ. එම දේ කිරීමෙන් ඔවුන්ගේ අහංකාර මානසිකත්වයට යහපතක් සිදුවන බව ඔවුන්ට මෙයට වඩා විශාල සේවයක් කර ඇති බවත් මොවුන් පැවසුවා. මුදු මොළොක් බව පෙන්වීමට ඔවුන්ට හැමදාම අවස්ථාවන් ලැබුණා. ඔවුන් කාටවත් හිරිහැරයක් වුණේ නැහැ. කිසිවෙක් ඔවුන්ව තල්ලු කළත්, ඔවුන්ට පහරක් ගැසුවත්, නැතහොත් බිම වැට්ටුවත් ඔවුන් නැගිට එතැනින් වෙන තැනකට ගියා. ඔවුන් ඒ ගැන කිසිම කෙනෙකුට දොස් පැවරුවේ නැහැ. බියට පත්වීමේ ආත්මයෙන් මෙන්ම උඩඟුකමේ, කේන්ති යාමේ සහ පලිගැනීමේ ආත්මයෙන්ද ඔවුන් ජය ගන්නවා දැයි ඔප්පු කිරීමට කදිම අවස්ථාවක් උදා වුණා. එක් දවසක ඔවුන් නමස්කාර මෙහෙයකදී ගීතිකාවක් ගායනා කරමින් සිටියා. ගීතිකාව අතරමඟදී, හදිසි කුණාටුවක් හටගත්තා, ප්‍රධාන රුවල කෑලි කෑලිවලට ඉරී ගියා. නැව විශාල ජල කඳකින් වැසී ගියා. ඉංග්‍රීසි ජාතිකයන් අතරින් විලාප සහ අඳෝනා හඬ ඇසෙන්නට පටන් ගත්තා. ජර්මානුවෝ ගීතිකාව දිගටම ගායනා කළා. ඔවුන්ගෙන් එක් තැනැත්තෙකුගෙන් මම මෙහෙම ඇසුවා. “ඔබට භයක් දැනුණේ නැද්ද?” මම දෙවියන්වහන්සේට ස්තූති කරනවා. මම භය වුණේ නැහැ” යි ඔහු පිළිතරු දුන්නා. “ඔබලාගේ බවලත් අය සහ ළමුන් භය වුණේ නැද්දැ”යි මම ආයෙත් ඇසුවා. “නැහැ, අපේ බවලතුන් සහ ළමයින් මැරෙන්න බය නැහැ.”යි ඔහු මෘදු හඬින් කිව්වා. (Whitehead, “Life of John Wesly,’’ p. 10).GrHSin 287.2

    සවානා වෙත පැමිණි වෙස්ලි ටික දවසක් මොරේවියන් වරුන් සමඟ වාසය කළේය. ඔවුන්ගේ ක්‍රිස්තියානි පැවැත්ම ගැන ඔහු තළ මහත් පැහැදීමක් ඇති විය. ඔවුන්ගේ ආගමික මෙහෙයන්හි ක්‍රමවේදය සහ එංගලන්ත සභාවෙහි නමස්කාර ක්‍රමවේදය අතර මහත් වෙනසක් ඇති බව ඔහු දුටුවේය. එංගලන්ත සභාවෙහි පැවතියේ ජීවයක් නැති සම්ප්‍රදායික ක්‍රම සහ විධිවලට ගැතිවූ නමස්කාරයකි. “මොරේවියානු බැතිමතුන්ගේ නමස්කාර මෙහෙය ඉතා සරල විය. එහෙත් ගාම්භීරත්වයෙන් අඩුවක් නොවීය. කූඩාරම් සාදන්නෙකු වූ පාවුල් සහ මසුන් මරන්නෙකු වූ පේතෘස් නමස්කාරය මෙහෙය වූ ආකාරය තුළ ආත්මයාණන්ගේ මගපෙන්වීම සහ බලය නොඅඩුව දැකගත හැකි විය. ඔවුන් ක්‍රම සහ විධිවලට ගැති වූ අය නොවූහ. ඔවුන්ගේ කාලයෙන් අවුරුදු එක්දහස් හය සියයකට පසුව සිටිය නමුත් මා ඒ අපෝස්තුළු වරුන්ගේ රැස්වීමකට සහභාගි වූ බවක් ඒ අවස්ථාවේදී මට හැඟී ගියේය. (Whitehead, p p. 11, 12).GrHSin 288.1

    එංගලන්තයට ආපසු පැමිණි වෙස්ලි මොරේවියානු දේශනාකරුවෙකුගේ මගපෙන්වීම යටතේ බයිබලයෙහි සඳහන් ඇදහිල්ල පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත්තේය. ගැළවීම ලබාගැනීම සඳහා තමාගේම ක්‍රියාදාමයන් මත රඳා පැවතීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අත්හැර දැමිය යුතු යයි ඔහුට ඒත්තු ගියේය. “ලෝකයේ පාප දුරු කරන්නාවූ දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණන්” කෙරෙහි සම්පූර්ණයෙන්ම බලාසීම තමාගේ කොටස බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ බැතිමතෙකුගේ හදවත තුළ ක්‍රියාකරන අන්දම පිළිබඳව ලූතර්ගේ ප්‍රකාශනයක් ලන්ඩන්හි පැවිති මොරේවියානුවන්ගේ රැස්වීමකදී ඔහුට අසන්නට ලැබුණේය. වෙස්ලි එම ප්‍රකාශනයට ඇහුම්කන් දෙන්නාවූ අතරේ, ඔහුගේ ආත්මය තුළ ඇදහිල්ල දැල්වෙන්නට පටන් ගත්තේය. එම අවස්ථාව ඔහු මෙසේ වචනයට නඟයි. “මාගේ හදවත පුදුමාකාර අන්දමකින් උණුසුම් වන බව මට හැඟී ගියා. ගැළවීම සඳහා මම ක්‍රිස්තුස්වහන්සේ තුළ පමණක් විශ්වාස කළ යුතු බව මට දැනෙන්නට පටන් ගත්තා. උන්වහන්සේ මාගේ පාප, එසේය, මාගේම පාප ඉවත් කළ බවට මට සහතිකයක් ලැබුණා. උන්හන්සේ මාව පාපයේ සහ මරණයේ ව්‍යවස්ථාවෙන් මිදූ බව මම දැනගත්තා.”GrHSin 288.2

    වසර ගණනාවක් පුරා ඔහු දෙවියන්වහන්සේව සොයමින් වෙහෙසෙමින් සැනසීමක් නොලැබ ඒ ගැන මහන්සි වී තිබුණි. ආත්ම පරිත්‍යාගයෙන් යුතුව, මානභංගත්වයට මුහුණ දෙමින් ඔහු තම සෙවීම කර තිබුණි. එහෙත් දැන් ඔහුට උන්වහන්සේ හමු විය. යාච්ඤාවෙන් සහ නිරාහාරව හිඳීමෙන්ද, දන් දීමෙන් සහ ආත්ම දමනයෙන්ද තමා වෙහෙස මහන්සි වී සොයමින් දිනාගැනීමට වෑයම් කළ කරුණා අනුග්‍රහය වනාහි දෙවියන්වහන්සේ “මුදල් නොගෙන” නොමිළයේ දානය කරන තෑග්ගක් බව ඔහුගේ සිතට කාවැදී ගියේය.GrHSin 288.3

    ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල තුළ ස්ථාපිත වීමෙන් ඉක්බිතිව වෙස්ලිගේ එකම වෑයම බවට පත්වූණේ ක්‍රිස්තුස්වහන්සේ නොමිළයේ දානය කරන්නාවූ කරුණා - අනුග්‍රහය පිළිබඳ සුපුවත සෑම තැනකම ප්‍රසිද්ධ කර හැරීමය. “මුළු ලොක්යම මාගේ සේවා වසම ලෙස මම සලකනවා. එහි කිනම් ස්ථානයක හෝ මම සිටිනවා නම්, එතැන සිටින්නාවූ අසන්නට කැමති සෑම අයෙකුටම ගැළවීමෙහි ශුභාරංචිය ප්‍රකාශ කිරීම මාගේ වගකීම බව මම සලකන්නෙමි” යි ඔහු පැවසීය.GrHSin 289.1

    දැඩි ආත්ම දමනයෙන් යුතුව ඔහු ස්වකීය ජීවිත රටාව තවදුරටත් පවත්වා ගෙන ගියේය. එය ඇදහිල්ලට පසුබිමක් ලෙස නොව ඇදහිල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස විය. එය ශුද්ධතාවෙහි මුල නොව, එහි එල ලෙසින් විය. ක්‍රිස්තුස්වහන්සේ තුළ වූ දෙවියන්වහන්සේගේ කරුණා-අනුග්‍රහය ක්‍රිස්තියානි බලාපොරොත්තුවේ පදනම වන්නේය. එම කරුණා-අනුග්‍රහය කීකරුකම තුළින් පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂ වන්නේය. තමා ලැබූ මහත් සත්‍යතාවන් දේශනා කිරීමට වෙස්ලි තම සම්පූර්ණ කාලය කැප කළේය. ක්‍රිස්තුස්වහන්සේගේ සමගි කිරීමෙහි රුධිරය තුළ වූ ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨ කරනු ලැබීම එහි ප්‍රධානතම සත්‍යයක් විය. හදවත තුළ ක්‍රියාත්මක වන්නාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය කරණකොටගෙන ලැබෙන්නාවූ නවජීවිතය තවත් සත්‍යයක් විය. එමගින් ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශයට අනුකූලතාවක් දක්වන්නාවූ ජීවිතය තුළ යහපත් ඵල දැරීමක් සිදුවන්නේය. තමන්ගේ ජීවිත විනාශයෙන් කෙළවර වේ යයි කියන්නාවු පුද්ගලික සහ දිගුකාලීන වැටහීමක් විට්ෆීල්ඩ් සහ වෙස්ලි සහෝදරයන්ව තමන්ගේ ජීවිත වෘත්තිය සඳහා සූදානම් කර තිබුණේය. ක්‍රිස්තුස්වහන්සේගේ යහපත් සොල්දාදුවන් මෙන් කරදර සහ දුක් වේදනා, අවඥාව, අවමානය, සමච්චල් කිරීම සහ හිංසා පීඩා දරාගන්නට ඔවුන්ට විශ්ව විද්‍යාලයේදී මෙන්ම දේව සේවයට ඇතුළු වීමේදීද, දරාගන්නට සිදුවී තිබුණි ... ඔවුන්ට සහ ඔවුන්ට අනුකම්පාව දැක්වූ කීපදෙනෙකුට “මෙතෝදිස්තවරු” යන විකට නාමය දේව භක්තියක් නැති සහෝද සිසුන් විසින් පටබැන්දෝය. මෙම නාමය වත්මන් කාලයේදී ගෞරවණීය එකක් ලෙස එංගලන්තයේ සහ අමෙරිකාවේ විශාල නිකායක් විසින් සලකනු ලැබේ.GrHSin 289.2

    එංගලන්ත සභාවේ සාමාජිකයන් ලෙස ඔවුහු තම සභාවේ නමස්කාර ක්‍රමවේදයන්ට තදින් ඇලී ගැලී සිටියෝය. නමුත් දෙවිසමිඳාණෝ තමන්ගේ වචනය තුළින් එයට වඩා උසස් ප්‍රමිතියක් ඔවුන් ඉදිරියෙහි පෙන්වා දුන්සේක. ක්‍රිස්තුස්වහන්සේ එනම් කුරුසිය මත දිවි පිදූ බැටළු පෝතකයාණන් ගැන දේශනා කිරීමට ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන්ට මගපෙන්වූ සේක. උසස් තැන්හි සමිඳාණන්ගේ බලය ඔවුන්ගේ සේවය සමග ක්‍රියාත්මක විය. දහස් ගණන් ජනතාව ශුභාරංචිය ගැන පැහැදී, අවංක ලෙස අලුත් දිවි පැවැත්මකට සංවර්තනය වූහ. ගොදුරක් ලෙස ඩැහැගැනීමට ක්‍රියාකරන වෘකයන්ගෙන් මෙම බැටළුවන් බේරා ගැනීම අවශ්‍ය විය. අලුත් නිකායක් පිහිටුවන්නට වෙස්ලි තුල කිසිම අභිප්‍රායක් නොවීය. එහෙත් එම අලුත් බැතිමතුන් එක්කොට තබාගැනීම සඳහා ඔහු සංවිධානයක් පිහිටුවා එයට මෙතෝදිස්ත සම්බන්ධතාව යයි නම් කළේය.GrHSin 289.3

    ස්ථාපිත සභාවෙන් මෙම දේවගැතිවරුන්ට එරෙහිව එල්ලවූ විරුද්ධතාවන් අද්භූතවූ ද, ඉවසීමට නොහැකිවූ ද චෝදනා විය. එහෙත් මෙහදී දෙවියන්වහන්සේ ඉදිරිපත් වී ක්‍රියාත්මක වූ සේක. සිදුවන්නාවූ ක්‍රියාදාමයන් කණ පිට පෙරළා ඔවුන්ගේ සභාව තුළම ප්‍රතිසංස්කරණ ක්‍රියා ආරම්භ කිරීමට දෙවියන්වහන්සේ මැදිහත් වූ සේක. එය පිටතින් පැමිණියා නම් එය ඉතා අවශ්‍ය වූ ස්ථානය වෙත කිසිසේත්ම ළඟා වන්නේ නැත. ප්‍රතිසංස්කරණ පිබිදීම ඇති වුණේ සභාව ඇතුළතින්මය. පිබිදීමේ කතිකයෝ සභාවේම දේවගැතිවරුන් විය. ඔවුන්ට උදාවූ සෑම අවස්තාවකදීම ඔවුහු සත්‍යතාව සභාව ඇතුළතම වැපුරුවෝය. මෙවන් ව්‍යාපාරයක් පිටතින් පැමිණියේ නම් එයට දොරටු වැසෙන බව නොඅනුමානය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් හොඳ හෝ නරක පිළිබඳව තැකීමක් නැතිව නින්දට පිවිස සිටි සමහර දේවගැතිවරුන් නින්දෙන් නැගිටුවනු ලැබූහ. ඔවුහු උනන්දුවෙන්ම තමන්ගේ දේවස්ථානවල ප්‍රතිසංස්කාරක දහම් දේශනා කිරීමට පටන් ගත්තෝය. ගතානුගතික ක්‍රමවේදයන් නිසා මලානිකව තිබූ සභාවන් අලුත් ජීවයක් ලැබ ප්‍රීතියෙන් ප්‍රබෝධමත් වූහ.GrHSin 290.1

    සභා ඉතිහාසය පුරාම දැකගත හැකි කරුණක් නම් විවිධ කුශලතා ඇති පුද්ගලයෝ අවස්ථානුකූලව ඉදිරියට පිවිස තමන්ට හිමිව තිබූ කාර්යයන් ඉටු කළ බවයි. වෙස්ලිලාගේ කාලයේදීද එසේම විය. ධර්මතාවන් පිළිබඳව ඔවුහු සෑම පැතිකඩකටම එකඟතාවක් නොදැක්වූහ. එහෙත් එකී සෑම දෙනෙක්ම ශුද්ධාත්මයාණන්වහන්සේගේ පෙළඹවිම යටතේ ක්‍රිස්තුස්වහනසේට ආත්ම දිනාගැනීමෙහි නිරත වූවෝය. ඔවුන්ගේ අරමුණ එයාකාර විය. වෙස්ලි සහෝදරයන් සහ විට්ෆීල්ඩ් අතර වූ වෙනස් අදහස් නිසා ඔවුන් වෙන් කරනු ලැබිය හැකිවීමේ තර්ජනය පැවති නමුත් ක්‍රිස්තුස්වහන්සේගේ පාසලෙහි නිහතමානීකම හා යටහත් පහත්කම ඉගෙන ගැනීම හේතුවෙන්, එකිනෙකාට සමාවෙමින් ඉවසීමෙන් යුතුව එකමුතුව සේවයෙහි යෙදීමට ඔවුන්ට හැකි විය. සෑම තැනකම වරද කිරීම සහ අයුක්තිය රජ කරන්නට විය. පව්කාරයෝ සදාතන විනාශය කරා යමින් සිටියෝය. එසේ තිබියදී මත භේදයන්හි යෙදීමට ඔවුන්ට කාලයක් තිබුණේ නැත.GrHSin 290.2

    දෙවියන්වහන්සේගේ සේවකයෝ දුෂ්කර මාර්ගයක ගමන් කරමින් සිටියෝය. සමාජයේ අනුබලයෙන් යුත් උගත් අය ඔවුන්ට විරුද්ධව නැගී සිටියෝය. ටික කලකට පසුව, පැවිදි අය බොහෝ දෙනෙක් ඔවුන්ට එරෙහිව සතුරුකම් පාන්නට අධිෂ්ඨාන පූර්වකව නැගී සිටියෝය. මෙසේ සභාවන් විසින් පිවිතුරු සත්‍යතාවට සහ එය දේශනා කරන්නන්ට තම දොරටු වසා දැමුවෝය. දේශනා කූඩුවේ සිට පුනරුදවාදීන්ව අවමානයට ලක් කිරීම නිසා අන්ධකාරයට, නොදත්කමට සහ අපරාධවලට දොරටු විවෘත විය. ජෝන් වෙස්ලිව මරා දැමීමට තැත් කළ අවස්ථාවන් බොහෝ වුවද දෙවියන්වහන්සේ එම සියලු වෑයම් කිරීම් ව්‍යර්ථ කළ සේක. ඔහුට විරුද්ධව නැගී සිටි කලහකාරී කණ්ඩායමක් ඔහුව මරා දැමීමට ඔහුව වටකර ගත්තෝය. වෙස්ලිට බේරී යාමට වූ සියලු මං අවහිරව පැවති අවස්ථාවකදී මිනිස් වෙස්ගත් දේව දූතයෙක ඔහුට පිහිට වීමට පැමිණියේය. සැහැසි කණ්ඩායම පිටිපස්සට යමින් බිම වැටුණේය. ක්‍රිස්තුස්වහන්සේගේ දාසයා අනතුරුදායක තත්ත්වයෙන් ඉවත්ව ගියේය.GrHSin 290.3

    මරණයෙන් ගැළවී ගත් එක් අවස්ථාවක් ගැන ජෝන් වෙස්ලි මෙසේ විස්තර කළේය. “අපි නගරය බලායමින් සිටියා. මාර්ගය ලිස්සන සුළුවිය. ඒ අතර බොහෝ දෙනෙක් මාව තල්ලු කිරීමට වෑයම් කළා. මම බිම වැටුණා නම් ආයෙත් නැගිටීම මට පහසු නොවන්නට තිබුණා. ඔවුන්ගේ ග්‍රහණයෙන් මා සම්පූර්ණයෙන්ම ඉවත්ව යනතුරු මම ලිස්සා ගියේ නැත. බිම වැටුණේද නැහැ ... මාගේ කමිස කොලරයෙන් ඇද මා බිම දැමීමට සමහරෙක් වෑයම් කළා. එක් තැනැත්තෙක් මාගේ කබායේ සාක්කුවේ කොටසක් අල්ලා ගත් විට එය ගැළවී ඔහුගේ අතට පත්වුණා. ඒ සාක්කුවේ තව කොටසක බැංකු පතක් තිබුණා. එය ඉරුණේ අඩ වශයෙන් පමණයි. මා පිටිපසින් සිටි මහත මිනිසෙක් මට කිහිපවරක්ම ගැහුවා. ඒ ලීය ඉතා හයිය ලීයක්. එයින් ඔළුවට පාරක් වැදුණා නම්, ඔහුට තවත් ගහන්න සිද්ධවන්නේ නැහැ. ගහපු සෑම පාරක්ම අදිසි හස්තයකින් වෙන පැත්තකට හරවනු ලැබුවා. එය කෙසේ සිදුවුයේ දැයි මම දන්නේ නැහැ. මට වමටවත්, දකුණටවත් හෙලවෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. තවත් වතාවක් එක් මිනිසෙක් සෙනඟ මැදින් දුවගෙන ආවා. අතකුත් උස්සාගෙන ඔහු ආවේ මට ගහන්ටයි. එකපාරටම ඔහුගේ අත පහළට වැටුණා. මට ගහනවා වෙනුවට, ඔහු මාගේ හිස පිරිමදිමින් ඔබගේ හිස කෙස් කොපමණ සිනිඳුද´ කියා පමණක් පැවසුවා .... සත්‍යතාවේ ශුභාරංචිය පිළිගැනීමට මුලින්ම ඉදිරිපත්වූ තැනැත්තන් වූයේ නගරයේ විරුවන්ය. කළහකාරී කාණ්ඩයක නායකයන් වූයේ ඔවුන්ය. එවන් එක අයෙක් තැබෑරූමක චණ්ඩියෙක් විය. GrHSin 291.1

    “ඉතා අනුකම්පා සහගත ආකාරයෙන් මෘදු ලෙසින් පියවරෙන් පියවරට උන්වහන්සේගේ කැමැත්ත උදෙසා දෙවියන්වහන්සේ අපව සූදානම් කළ හැටි! අවුරුදු දෙකකට ඉහත ගඩොල් කැටයක් මගේ උරහිසේ යන්තම් ගෑවී ගෙන ගිය. එයට වසරකට පසුව මගේ ඇස් දෙක අතරට ගලක් වැදුණා. පසුගිය මාසයේදී කෙනෙක් මට ගැසුවා. අද සවසත් දෙදෛනෙකුගෙන් ගුටි කෑවා. ටවුමට එන්න පෙර එක්කෙනෙක් මට ගැසුවා, ටවුමෙන් පිටවී ඒමෙන් පසුව තවත් කෙනෙක් මට ගැසුවා. එහෙත් ඒවා මට දැනුණේ නැහැ. එක් අයෙක් මුළු වෙර යොදා මගේ පපුවට ගැසුවා. අනෙක් තැනැත්තා කටට ගහපු පාර කොයිතරම් වේගවත් දැයි කියනවා නම් ඒ මොහොතේදීම ලේ ගලන්නට පටන් ගත්තා. එහෙත් එම පහරවල් දෙක මට වේදනාවක් ඇති කළේ නැහැ. ඒවා මට දැනුණේ කෑල්ලක් වැදුණා හා සමානවයි.” (Wesley’s Works” Vol iii, p p. 297, 298).GrHSin 291.2

    මොතෝදිස්ත සභාවේ මුල් කාලවලදී සභිකයන් මෙන්ම දේවගැතිවරුද අපහාසයට සහ හිංසා පීඩාවලට ගොදුරු වූහ. මෙම තාඩන පීඩන පැමිණියේ මෙතෝදිස්තවරුන්ගේ ප්‍රකාශනවලට වැරැදි අර්ථකථන දීම නිසා කුපිත වූ ආගමක් නැති නියමුවන්ගෙන්ය. සභා සාමාජිකයන්ගෙන්ද ඔවුන්ට පීඩාවන් ඇති විය. ඔවුන්ට උසාවි ඉදිරියටද පමුණුවන ලදී. එකල අධිකරණ පද්ධතිය, නමින් පමණක් සාධාරණ විය. යුක්ති සහගත තීන්දුවක් ලැබීම එකල විරල විය. පීඩා කරන්නන්ගේ සැහැසිකම්වලට ඔවුන්ද ගොදුරු වූ වාර බොහෝය. සැහැසිකම් කරන කාණ්ඩ ගෙයින් ගෙට යමින් ගෙවැසියනට තර්ජන එලල කළෝය. මෙතෝදිස්තවරුන්ගේ ගෙවල ජනෙල් කඩා ගෙවලට ඇතුළු වී බඩු මුට්ටු සොරකම් කිරීමට උදව් වන්න කැමති අය නිශ්චිත වේලාවක නියමිත ස්ථානයකට රැස්වන ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ දැන්වීම් විවිධ ස්ථානවල අලවා තබන්නට තරම් තත්ත්වය දරුණු විය. මිනිස් නීතිය මෙන්ම දේව නීතියද මෙසේ උල්ලංඝනය කළද වරදකරුවන් කිසිවෙකුට හෝ තරවටු කිරීමක්වත් නොවීය. විනාශය කරා පා නගන්නාවූ පව්කාරයන්ගේ දෙපා එම මාර්ගයෙන් ඉවතට හරවා ශුද්ධවූ මාවතකට හැරවීමේ එකම චෝදනාව මත මෙතෝදිස්ත ප්‍රජාවට මෙසේ හිංසා පීඩාවනට ලක්වන්නට සිදුවිය.GrHSin 292.1

    තමන්ට සහ තමාගේ සහකරුවන්ට විරුද්ධව නගා ඇති චෝදනා ගැන සඳහන් කරමින් ජෝන් වෙස්ලි මෙසේ පැවැසුවේය. “අපගේ කණ්ඩායම ප්‍රචාරය කරන්නාවූ ධර්මතාවන්, සාවද්‍ය බවටද, ඒවා වරද සහිත බවටද, අපගේ ක්‍රියා කලාපය මහත් උනන්දුවක් හා බැඳී උද්‍යෝගයකින් සමන්විත බවටද චෝදනා එල්ල වී ඇත. අපගේ මේ විෂමාචාර දහම් අලුත්ය. මෙතෙක් නොඇසූ විරූය. තවද එම දහම් ක්වේකර්වරුන්ගේ ඉගැන්වීම්ය. ආගම් උන්මත්තකයින්ගේ විකාරයක්ය. පාප් සමයවාදීන්ගේ දහම් ප්‍රභේදයක්ය, යනුවෙන් අපව විචේචනය කර ඇත. සමූහයාගේ වැඩපිළිවෙත බිම හෙලීමට අපගේ සංවිධානය නමැති ගසෙහි මුල් පවා සිඳ දමා ඇති බවත් කියැවේ. සමස්ථයක් වශයෙන් අපගේ දහම්ද සෑම පැතිකඩක්ම ශුද්ධ ලියවිල්ලෙහි අඩංගු සරල ධර්මතාවන්හි විකාශනයක් බවත් එම දහම් අපගේම සභාවේ අර්ථකථන සැපයීම් බවත් පෙන්නුම් කර ඇත්තෙමු. ශුද්ධ ලියවිල්ල සත්‍යය නම් අපගේ දහම් වැරදි යයිද, වරද සහගත යයිද චෝදනා නැගීමට නොහැකිය, තවත් අය අපට නගන චෝදනාවක් නම් අපගේ දහම් ඉතා විධිමත්ය, තදය, ඒ දැඩි ප්‍රතිපත්ති ස්වර්ගයට යෑමේ මාර්ගය බොහෝ සේ පටු කරනවා, යන්නය. ඇත්තටම අපට එරෙහිව ඇති මූලික විරුද්ධතාව මෙයයි. කලක් යන තුරු එල්ලවූ එකම චෝදනාවද මේකයි. තවත් චෝදනාවලට ප්‍රස්තූතය වන්නේද මෙම කාරණයයි. අපගේ සමිඳාණන් සහ උන්වහන්සේගේ ගෝලයන් විසින් පෙන්වා දුන් පටු මාර්ගයට වඩා අපගේ ප්‍රතිපත්ති අනුව ජීවිත හැඩගස්වා ගැනීම මගින් සමග තවත් පටුවන්නේද? අප පෙන්වා දෙන මාර්ගය ශුද්ධ බයිබලයෙහි හෙළිදරව් කර ඇති සුරපුර මාවතට වඩා පටුද? ඔවුන් දෙසූ දහම් බයිබල් දහමට වඩා දැඩිද? බයිබල් පද කිහිපයකට යොමු වෙමු. “නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේටත් නුඹට මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේම කරන්න. ” (ලූක් 10:27) “තවද මනුෂ්‍යයන් කියන්නාවූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තර දෙන්ට වෙන්නේය.” (මතෙව් 12:36) “එහෙයින් නුඹලා කතත්, බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරන්න.” (1 කොරින්ති 10:31)GrHSin 292.2

    “අපගේ දහම් මෙයට වඩා දැඩි නම්, අප ඒ ගැන වරදකරුවන් වනවා ඇත. එහෙත් එය එසේ නොවන බව හෘදය සාක්ෂියට එකඟව ඔබ කිය යුතුයි. ඒ අතර, දෙවියන්වහන්සේගේ වචනය දූෂ්‍ය නොකර, අබ ඇටයක තරමින්වත් දේව වචනයේ ප්‍රමිතිය වෙනස් කරන්නේ කෙසේද? ලිහිල් කරන්නේ කෙසේද? අප වනාහි දෙවියන්වහන්සේගේ අභිරහස් භාරකොට ඇති වචනයේ කළමනාකරුවන්ය. එම ශුද්ධ වූ වචන වෙනස් කිරීමේ අයිතියක් අපට තිබේද? එවන් අය විශ්වාසවන්ත කළමනාකරුවන් යයි හඳුන්වා දීමට පුළුවන්ද? උන්වහන්සේගේ වචනයේ බිඳක් හෝ කිසිසේත්ම ඉවත් කළ නොහැකිය. කථා කිරීමේ දැඩි ස්ථාවරය ලිහිල් කළ නොහැකිය. ඔබේ සිතට සරිලන සේ ශුද්ධ ලියවිල්ල රස ගන්වන්න මට බැහැ. එහි පවසා ඇති මට්ටමට, ප්‍රමිතියට ඔබ නැගී ඒම අවශ්‍යයි. නැතිනම් ඔබේ අවසානය සදාතන විනාශයයි! අපගේ අයව, ප්‍රේමයක්, දහමක් නැති දේව සේවකයන් කොටසක් ලෙස වර්ගීකරණය කරනු ලැබේ. ඔවුහු දයාව සහ ආදරය විරහිත වූ අය වන්නෝද? ඔවුන් ගැන එසේ කියන්නේ කුමන දෑ සම්බන්ධවද? ඔවුන් බඩගිනි අයට කෑම ලබාදෙන්නේ නැද්ද? ඇඳුම් නැති අයට ඇඳුම් ලබා දෙන්නේ නැද්ද? කාරණය එසේ නොවේ. ඔවුන් මෙවන් දේ කරනවා. ඔවුන්ගේ විනිශ්චය කිරීම් තුළින් ඔවුන් දැඩි ස්ථාවරයක සිටිනවා. තමන් පවසන්නාවූ ක්‍රමවේදය අනුව ජීවත්වන්නේ නැති අයට ගැළවීම ලබාගත නොහැකි යයි පැවසීම නිසා ඔවුන් ගැන මෙසේ පවසනවා.” (Weslie’s Works, Vol. iii, p p. 152, 153).GrHSin 293.1

    වෙස්ලිගේ ඉගැන්වීම් එංගලන්තයේ ප්‍රචාරය කරනු ලැබීමට පෙර, එරට පැවැති ආත්මික පරිහානියට ප්‍රබල සාධකයක් වූයේ විරුද්ධවාදී ඉගැන්වීම්වල ප්‍රතිඵලයයි. සදාචාර නීති මාලාව ක්‍රිස්තුස්වහන්සේ විසින් අවලංගු කර ඇතැයි බොහෝ අය ස්ථිර කොට පවසා තිබුණි. දේව ආඥාවන්ට කීකරු වීමට කිතුණුවන්ට උවමනාවක් නැතැයි යන්න පැවිද්දන්ගේ ඉගැන්වීම විය. “යහපත් ක්‍රියාවන් ඉටු කිරීමේ වහල් කමින්” කිතුණුවන්ට නිදහස් කර ඇතැයිද ඔවුහු ඉගැන්වූහ. තවත් සමහරෙක් මෙසේද ඉගැන්වූහ. “ව්‍යවස්ථාවෙහි නිත්‍ය පැවැත්ම ඔවුන් පිළිගන්නා නමුත් එකී ආඥාවලට කීකරු වන්නැයි කියා පූජකයන් විසින් බැතිමතුන්ට අනුශාසනා කිරීම අවශ්‍ය නැත. මක්නිසාදයත්, ගැළවීම ලැබීම සඳහා තෝරාගනු ලැබූ අය දිව්‍ය කරුණා-අනුග්‍රහයේ විරුද්ධතාවක් දැක්විය නොහැකි පෙලඹවීමේ බලය කරණකොටගෙන සුචරිතය සහ භක්තිය වෙත නැඹුරු වෙනවා නොඅනුමානය. ඒ අතර සදාතන දඬුවමට නියමවූ අයට දිව්‍ය ව්‍යවස්ථාවට කීකරු වීමේ බලයක් නැත. ”GrHSin 294.1

    මේ අතර තවත් ඉගැන්වීමක්ද ප්‍රචලිතව පැතිර ගියේය. “තෝරාගනු ලැබූ අය කරුණා- අනුග්‍රහයෙන් වැටී යන්නේවත් ඔවුන්ට දිව්‍ය පක්ෂපාතිත්වය අහිමි වන්නේවත් නැහැ”යි වෙනත් අය ඉගැන්වූහ. එම ඉගැන්වීම කරණකොටගෙන භයානක තීරණයක් කරා ශ්‍රාවකයන්ව යොමු කරවනු ලැබීය. “තෝරාගනු ලැබූවන් කරන්නාවූ දුෂ්ට ක්‍රියාවන් පව් ලෙස ගණන් ගත නොහැකිය. එම ක්‍රියාවන් දිව්‍ය ආඥාවන් කඩකිරීමක් හෙවත් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය නොහැකිය. එම නිසා ඔවුන්ගෙන් පව් කියාදීමක් අපේක්ෂා නොකෙරේ ඔවුන්ට පසුතැවිලිවීමක් මගින් සිත් බිඳී යාමකට පෙළඹීමක්ද උවමනා නැත.” (Mcclintock and Strong’s Cyclopedia, art. Antinomians’’) ඒ අතරම ඔවුන් මෙවන් ප්‍රකාශනයක්ද නිකුත් කළෝය. “ඔවුන් ඉතා නීච, අධම පාපයක් සිදු කළත් එය දිව්‍ය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකැයි මුළු විශ්වයම තීන්දු කළද, එය දෙවියන්වහන්සේ ඉදිරියෙහි පාපයක් ලෙස පිළිගනු නොලැබේ.” තෝරාගනු ලැබූවන් එවන් නීච අධම ක්‍රියාවක් සිදු කළද, “දෙවියන්වහන්සේට අප්‍රසන්නවූ ද, ව්‍යවස්ථාව විසින් තහනම් කර ඇත්තාවූද කිසිවක් කිරීමට ඔවුන්ට හැකියාවක් නැත. එය තෝරාගනු ලැබූ අයගේ කැපී පෙනෙන්නාවූ පරවේණි ලක්ෂණයකි, චරිතාංගයකි.” යනුවෙන් ඔව්හු පැවසූහ.GrHSin 294.2

    මෙම භයානක දහම් වනාහි, පාප්ට ව්‍යවස්ථාවට ඉහළින් ක්‍රියාකිරීමට පුළුවන, ව්‍යවස්ථාව වෙනස් කරමින් වැරදි දෙය හරි ගැස්සීමට ඔහුට පුළුවන, දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයන්ගේද ව්‍යවස්ථාවන්ට පටහැනි විනිශ්චයන් පැනවීමට ඔහුට පුළුවන යනුවෙන් රෝම වේදීනගේ සහ ධර්මාචාර්යවරුන්ගේ ඉගැන්වීම් හා සම විය. මෙම ඉගැන්වීම්වල මූල ධර්මයක්ව ඇත්තේ නිරවද්‍යතාවේ ප්‍රමිතියක් ලෙස වෙනස් නොවන සුළු දිව්‍ය ව්‍යවස්ථාවක් නැත යන පදනමයි. අධ්‍යාත්මිකතාවේ පදනම වූකලී සමාජය විසින්ම තීරණය කරනු ලබන සදාචාරාත්මක පදනමය. එකී ප්‍රමිතිය නිරතුරුවම වෙනස්කම් වලට භාජනය වන්නේය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව විසින් පනවනු ලබන ධාර්මික තහංචි බිඳ දැමීමට සගයේ වාසය කළ පව් නොකළ දූතයන්ව පවා පෙළඹවූ ආත්මය, එනම් සාතන්ගේ ආත්මය මෙවන් ඉගැන්වීම් වලට ආනුභාවය සපයන්නේය.GrHSin 295.1

    දිව්‍ය අණපනත් මගින් මිනිසුන්ගේ ජීවිත එක්තරා ප්‍රමිතියක් අනුව පිහිටවනු ලැබේ. මෙම කරුණ බොහෝ අයට බාධාවක් වී දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇත. මූලධර්ම වීරෝධී ඉගැන්වීම්හි අඩංගු වැරදි දහම්වලට එරෙහිව වෙස්ලි නිතරම කථා කළේය. මෙවන් දහම් ශුද්ධ ලියවිලිවලට පටහැනි බව නිතරම කථා කළේය. මෙවන් දහම් ශුද්ධ ලියවිලිවලට පටහැනි බව හෙතෙම පෙන්වා දුන්නේය. “සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙනෙන්නාවූ දෙවියන්වහන්සේගේ කරුණාව ප්‍රකාශවී තිබේ. ” “මෙය සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමති වූ, අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපතව ප්‍රසන්නව තිබේ. මක්නිසාද ඇත්තේ එක දෙවි කෙනෙක් සහ දෙවියන්වහන්සේටත්, මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කාර කෙනෙකුත්ය. උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ම දුන්නාවූ මනුෂ්‍යයා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.” (තීතස් 2:11;1 තිමෝති 2:3-6). ගැළවීමේ ක්‍රමවේදය මුලින්ම තිරසාර ලෙස ග්‍රහණය කරගැනීම සඳහා ශුද්ධාත්මයාණන්වහන්සේව නොමිලයේ දානය කර ඇත. මෙසේ “සත්‍යවූ ආලෝකය” වන ක්‍රිස්තුස්වහන්සේ ´ලෝකයට එන්නාවූ සියලු මනුෂ්‍යයන් ආලෝකමත් කරන සේක.´ (යොහන් 1:9) ජීවනයේ තෑග්ග සිය කැමැත්තෙන්ම ප්‍රතික්ෂේප කිරීම නිසා මිනිසුන්ට ගැළවීම නොලැබී යන්නේය.GrHSin 295.2

    යේසුස්වහන්සේගේ මරණයත් සමගම දසපනතෙහි ආඥාවන් සහ චාරිත්‍රානුකූල නීතියද අහෝසි වී යයි යන ඉගැන්වීම පිළිබඳව වෙස්ලි මෙම පිළිතුරු දුන්නේය. “දස ආඥා පනතෙහි අඩංගු සාදාචාරාත්මක නීතිය දිවැසිවරුන් තවදුරටත් තහවුරු කර තිබේ. එය ක්‍රිස්තුස්වහන්සේ විසින් ඉවත් කර නැත. දස පනතෙහි කිසිම කොටසක් අවලංගු කිරීම උන්වහන්සේගේ පැමිණීමෙහි සැලැස්ම නොවීය. මෙය කිසිම දවසක උල්ලංඝනය කළ නොහැකි ව්‍යවස්ථාවකි. මෙම දශපනත “සගයේ සිටින්නාවූ විශ්වාස සාක්ෂිකරුවාණන් ලෙස ස්ථිරසාරව පවතින්නේය. ”GrHSin 295.3

    මිනිසා මැවුම්කරුවාණන්වහන්සේගේ ශ්‍රී හස්තයෙන් නික්ම ආ දිනයේ පටන්ම මෙම ව්‍යවස්ථාව ගල්ලෑලි මත නොව ඔවුන්ගේ සිත් තුළ ලියා ඇත. දෙවියන්වහන්සේගේ ශ්‍රී ඇඟිලිවලින්, ලියන ලද ව්‍යවස්ථාවෙහි අකුරු පාපය නිසා අද බොඳ වී ඇත. එහෙත් එම ආඥා සම්පූර්ණයෙන්ම මකා දැමීය හැකි නොවේ. යහපත සහ නපුර පිළිබඳව අපේ හෘදය සාක්ෂිය කරුණු පවසන තාක් කල් ව්‍යවස්ථාව වන දශපනත සම්පූර්ණ ලෙස නැතිවී නොයන්නේය. සෑම යුගයකටම බලපාන අයුරින් මිනිස් වර්ගයා කෙරෙහි මෙම ව්‍යවස්ථාවේ සෑම කොටසක්ම බල සහිතව තිබීම අනිවාර්ය වන්නේය. එය යම්කිසි ස්ථානයකට හෝ යම්කිසි කාලයකට හෝ යම්කිසි අවස්ථාවකට හෝ සීමා නොවේ. ඒ අනුව වෙනස්වීමකටද භාජනය නොවේ. එය දෙවියන්වහන්සේගේ ස්වභාවයත්, මිනිසාගේ ස්වභාවයත් ඔවුන් එකිනෙක්කෙනාගේ වෙනස් නොවන ස්වභාවයත් මත පදනම්ව ඇත. GrHSin 296.1

    “ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය අවලංගු කරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණ කරන්නට මිස අවලංගු කරන්නට නාවෙමි, ” යි යේසුස්වහන්සේ පැවසූසේක. මෙම අවස්ථාවෙහිදී උන්වහන්සේ අදහස් කළේ මෙවැන්නක් බව විවාදයකින් තොරව පැහැදිලි කළ හැක. මිනිසුන් විසින් විවිධ ආකාරයෙන් ඔප දමා තිබුණත්, දිව්‍ය ව්‍යස්ථාව එහි සම්පූර්ණත්වයෙන් ස්ථාපිත කරන්නට මා පැමිණියෙමි´, උන්වහන්සේ අවධාරණය කළසේක. එම ව්‍යවස්ථාවෙහි යම්කිසි අඳුරු තැනක් විද, එහි යම්කිසි අපැහැදිලි තැනක් විද, එය සැමට පැහැදිලිව දැකගත හැකිවන පරිදි පූර්ණ ආලෝක කදම්බයක් මධ්‍යයේ ව්‍යවස්ථාව රැඳවීම පිණිස උන්වහන්සේ පැමිණි බව අපට පැහැදිලිය. ´එහි සෑම කොටසකම පූර්ණවූ ද, සත්‍යවූ ද වැදගත්කම ප්‍රකාශ කිරීමට මම ආවෙමි’යි උන්වහන්සේ මෙයින් ප්‍රකාශ කළසේක. ‘ව්‍යවස්ථාවේ අඩංගු සෑම ආඥාවකම දිග හා පළල, සම්පූර්ණ අර්ථය පෙන්වා දෙන්නට මම ආවෙමි’යි උන්වහන්සේ මෙයින් ප්‍රකාශ කළසේක. ´ව්‍යවස්ථාවේ අඩංගු සෑම ආඥාවකම දිග හා පළල, සම්පූර්ණ අර්ථය පෙන්වා දෙන්නට මම ආවෙමි’යි උන්වහන්සේ මෙයින් ප්‍රකාශ කළසේක. ´ව්‍යවස්ථාවේ අඩංගු සෑම ආඥාවකම දිග හා පළල, සම්පූර්ණ අර්ථය පෙන්වා දෙන්නට මම ආවෙමි’යි උන්වහන්සේ ප්‍රකාශ කළසේක. සෑම ආඥාවකම උස සහ ගැඹුරුද මිනිස් බුද්ධියට තේරුම් ගත නොහැකි එහි පාරිශුද්ධතාවද ආත්මිකතාවද ප්‍රකාශ කරන්නට උන්වහන්සේ පැමිණි සේක. (Weslie’s Works, Sermon 25).GrHSin 296.2

    ව්‍යවස්ථාව සහ ශුභාරංචිය අතර ඇති සම්පූර්ණ ඒකත්වය පිළිබඳව වෙස්ලි මෙසේ ප්‍රකාශ කළේය: “එම නිසා ව්‍යවස්ථාව සහ ශුභාරංචිය අතර සමීප සම්බන්ධතාවක් ඇත්තේය. එක පැතිකඩකින් සලකා බලන කල්හි ව්‍යවස්ථාව, ශුභාරංචිය දෙසට අවධානය යොමු කරවමින් ශුභාරංචියට ඉස්මතු වන්නට මාර්ගය සලසන්නේය. අනික් අතට ශුභාරංචිය අපට මගපෙන්වන්නේ ව්‍යවස්ථාව වඩා හොඳින් සම්පූර්ණ කිරීමටය. දෙවියන්වහන්සේට ආදරය කරන්ටත්, අපගේ අසල්වැසියන්ටත් ආදරය කරන්ටත් මුදු මොළොක් ලෙස නිහතමානීව සහ ශුද්ධව ජීවත් වන්ටත් අවශ්‍ය බව ව්‍යවස්ථාව අපට දක්වයි. මෙම ඉල්ලුම සපුරාලන්නට හැකියාවක් අපට නැතැයි හැඟීමක් ඇතිවේ. එසේය, මිනිසාට මේ දෙය ඉටු කළ නොහැකිය. නමුත් ආදරය කරන්ටත්, අපව මුදු මොළොක් කරමින් නිහතමානීව සහ ශුද්ධ ලෙස ජීවත් වන්නටත් හැකියාව ලබාදෙන බවට දෙවියන්වහන්සේ අපට පොරොන්දුවක් ලබාදී තිබේ. මෙම ශුභාරංචිය අපි තදින් ග්‍රහණය කරන්නෙමු. එය අපගේ ඇදහිල්ල අනුව ඉෂ්ට වන්නේය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ වූ ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාවෙහි ධර්මිෂ්ඨතාව අප තුළ ඉටු වන්නේය”GrHSin 296.3

    වෙස්ලි තවදුරටත් මෙසේ පැවසුවේය: “ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙහි සතුරන් අතර ඉහළ තලයේ සිටින්නාවූ නායකයෝ විවෘතව සහ ස්ථිර වශයෙන්ම “ව්‍යවස්ථාව විනිශ්චයකර” “ව්‍යවස්ථාවට විරුද්ධව කථා කරති. ” ඔවුන් මිනිසුන්ට උගන්වන්නේ එක ආඥාවක් කඩකිරීමට පමණක් නොවේ. ඔවුහු සම්පූර්ණ ව්‍යවස්ථාවම කටුගා දමති. මෙම ප්‍රබල රැවටිල්ලට අසුවී ඇති අය සත්‍ය වශයෙන්ම සිත සිටින්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අතුගා දැමීමෙන් තමන් උන්වහන්සේට ගෞරවය ලබාදෙනවා යයි කියාය. දෙවියන්වහන්සේගේ ධර්මය විනාශ කරමින් ඔවුන් සිතන්නේ තමා එමගින් දෙවියන්වහන්සේගේ ශ්‍රී විභූතිය වර්ණනා කරන බවය. එසේය, ඔවුන් උන්වහන්සේට ගෞරව කරන්නේ යූදස් කළාක් මෙන් උන්වහන්සේව සිප ගෙන “රබ්බි, ශුභසිද්ධි වේවායි” යි උන්වහන්සේට පැවසූ අන්දමටය. තමන්වහන්සේගේ ව්‍යවස්ථාවට මෙසේ නිගරු කරන්නාවූ සැමට උන්වහන්සේ මෙසේ පවසන්නට පුළුවන: “ඔබ සිඹීමකින් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙනවාද? ” ක්‍රිස්තුස්වහන්සේගේ රැධිරය ගැන කථා කරමින් කුරුසිය ඉවත් කරගැනීමත් ශුභාරචි ව්‍යාප්ත කරනවා යිය පවසමින් උන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි යම් කොටසක් වටිනාකමින් අඩු යයි කියමින් නොසලකා හැරීමත් යන්න යේසු සමිඳුන්ව සිඹීමකින් පාවාදීමට සමානය. මෙම චෝදනාවෙන් බේරීමට හැකිවන්නේ කවරෙකුටද? කීකරුවීමෙහි කිසියම් අංගයක් සෘජුව හෝ වක්‍රව හෝ සැලකිල්ලෙන් ඉවත් කිරීමට උපදෙස් දෙන්නාවූ ඇදහිල්ල ගැන දේශනා කරන්නාවූ කවරෙකුට හෝ මෙම චෝදනාව එල්ල නොවන්නේද? ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව දේශනා කරන්නාවූ යමෙක් දෙවියන්වහන්සේගේ ආඥාවන්හි ඉතාම කුඩා අණක් පවා යම්කිසි ආකාරයකින් නිෂ්ප්‍රභා කිරීමට හෝ දුර්වල කිරීමට ක්‍රියා කරන්නේ නම් ඔවුන්ද ක්‍රිස්තුස්වහන්සේව සිඹීමකින් පාවා දෙන්නේය යන චෝදනාවට ලක් නොවන්නෝද? (Wesley’s Works, Sermon 25).GrHSin 297.1

    ශුභාරංචිය දේශනා කිරීම ව්‍යවස්ථාවේ සියලු අවශ්‍යතාවන්ට උත්තර යයි පවසන්නාවූ චෝදනාවට පිළිතුරු දෙමින වෙස්ලි මෙසේ පැවසීය. “මෙම චෝදනාව අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. එමගින් ව්‍යවස්ථාවේ මුල්ම අවශ්‍යතාව ඉටු නොවෙනවා. ව්‍යවස්ථාව මගින් මිනිසාට තමාගේ පාප ගැන ඒත්තු ගැනීමක් ඇති වෙනවා. නරකාදියෙහි ඉවුර මත නිදා සිටින්නාවූ පව්කාරයාව එමගින් අවදි කරනවා.” පාවුල් පවසන ආකාරයට ‘ව්‍යවස්ථාව මගින් සිදුවන්නේ පාපය පිළිබඳව අපට හරි අවබෝධයක් ලබාදීමයි.´ මිනිසාට තම පාපාය පිළිබඳව ඒත්තු ගැන්මක් ඇතිවන තුරු ක්‍රිස්තුස්වහන්සේගේ සමගි කිරීමේ රුධිරයෙහි අවශ්‍යතාවන් ඔහුට ඇත්තටම දැනෙන්නේ නැහැ. ‘ රොගීන්ට මිස නීරෝගීන්ට වෙදාගෙන් ඕනෑකමක් නැත´යි කියා යේසු සමිඳාණන් පැවැසූ සේක. එම නිසා නීරෝගී අයෙකුට හෝ තමා නීරෝගී යයි සිතන්නාවූ අයෙකුට වෙදෙකු හඳුන්වාදීම ප්‍රඥා ගෝචර ක්‍රියාවක් නොවේය. තමා රෝගීන් යයි මිනිසුන්ට මුලින්ම ඒත්තු ගැන්වීම යුතුය. එසේත් නැතිනම් ඔබේ මහන්සියට මිනිසුන් කෘතඥතාව පල නොරනවා ඇත. කැඩි බිඳී නොගිය හදවතකට, එනම් තමා වරද රහිත යයි සිතන්නාවු හදවතක් ඇති අයෙකුට ක්‍රිස්තුස්වහන්සේව පිළිගැන්වීම නිෂ්ඵලය”. (Wesley’s Works, Sermon 35).GrHSin 298.1

    දෙවියන්වහන්සේගේ කරුණා - අනුග්‍රහයෙහි ශුභාරංචිය දේශනා කරන අතරම තම සමිඳාණන් මෙන් වෙස්ලිද “ව්‍යවස්ථාව උතුම් කොට ඊට ගෞරව කරන්ට” වෑයම් කළේය. දෙවියන්වහන්සේ ඔහුට භාරදුන් කාර්ය ඔහු විශ්වාසවන්තව ඉටු කළේය. තම කටයුතුවල ප්‍රතිඵල ඉතා මහිමවත් බව ඔහුට දැකගත හැකි විය. අවුරුදු අසූවකට වැඩි වූ ඔහුගේ දිගු ජීවිතයේ අවසානයේදී ඔහු හා සමග එක්ව සහභාගි වූ අනුගාමිකයන්ගේ සංඛ්‍යාව පන් ලක්ෂයකට වඩ වැඩි විය. අර්ධ ශත වර්ෂයකට වඩා වැඩි කාලයක් හෙතෙම සංචාරක දේවගැතිවරයෙකු ලෙස සේවය කළේය. ඔහුගේ සේවාව කරණකොටගෙන පාපයේ විනාශයෙන් සහ අවමානයට පත්වීමෙන් ගැළවීම ලැබ උසස්වූ ද, පිරිසිදුවූ ද ජීවිතයකට හිමිකම් කී අය මෙන්ම ඔහුගේ ඉගැන්වීම් නිසා ගැඹුරුවූ ද ඉසුරුබරවූ ද අත්දැකීමක් ලැබූ අයද ගණන් ගතහොත් එය නිත්‍ය වශයෙන්ම පැවසිය නොහැකිය. දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී දේව පවුල එක්රැස් වන තුරු වෙස්ලිගේ දිරි ගැන්වීම ලැබූ අයගේ සංඛ්‍යාව කොපමණදැයි ගණනය කිරීමට නොහැකිය. ඔහුගේ ජීවිතය තුළින් සෑම කිතුණුවෙකුටම පිළිගන්වන්නේ මිල කළ නොහැකි පාඩමකි. මෙම ක්‍රිස්තු සමිඳාණන්ගේ සේවකයාගේ කැපවීම, ආත්ම පරිත්‍යාගය, නොසිඳෙන ජ්වලිතතාව, නිහතමානීකම සහ ඇදහිල්ල අද දවසේ දේව සභාවන්හි පිළිබිඹු කරනු ලබනවා නම් කොපමණ හොඳද.GrHSin 298.2