Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First
    Larger font
    Smaller font
    Copy
    Print
    Contents

    42 - අරගලය අවසාන වෙයි

    දහසක් අවුරුදු කාලයේ අවසානයේදී යේසුස්වහන්සේ නැවත වරක් මේ ලෝකයට එනසේක. ගැළවීම ලැබු මහා ජනකාය උන්වහන්සේ සමග එන අතර දේවදුත සමුහයක් උන්වහන්සේට සේවය කරනවා ඇත. ඒ ඉමහත් රාජකීයත්වයෙන් මේ ලෝකයට එන අතර උන්වහන්සේ මළා වූ දුෂ්ට අයට නැවත නැගිටීමට අණ කරන්නේ ඔවුන් තමාගේ විනාශයට මුහුණ දෙන පිණිසය. මෙසේ පැමිණෙන්නේ ඉතා මහත් සමූහයක්ය, මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි ජනකායක්ය. ඔවුන් ඒ පළමුවන මළවුන්ගෙන් නැගිටීමේදී නැගිටියා වූ අයවලුන්ට වඩා කොපමණ වෙනස්ද! ධර්මිෂ්ඨ අය අමරණීය යෞවන භාවයෙන් හා අලංකාරයෙන් සැරසී නැගිටියහ. දුෂ්ටයෝ ලෙඩ රෝගවල හා මරණයේ ලක්ෂණ දරති.GrHSin 764.1

    ඒ මහා සමූහයේ සෑම ඇසක්ම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේගේ තේජස දර්ශනය කිරීමට උත්සාහ කරනවා ඇත. “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැන්වහන්සේ ආශිර්වාද ලද්දේ” යි දුෂ්ටයන් එක හඩින් පවසනවා ඇත. ඔවුන් මෙසේ පවසන්නේ යේසුස්වහන්සේ කෙරෙහි ඇත්තාවූ ආදරයකින් නොවේ. සත්‍යයේ ප්‍රබලතාවය ඔවුන්ගේ කැමැත්තෙන් තොර තොල්වලින් මෙසේ පැවසීමට ඔවුන්ට බල කරයි. දුෂ්ටයන් තමාගේ සොහොන් ගෙවලින් පිටත්ව එන්නේ ඔවුන් ඒවාට ගියා වූ අන්දමටමය, එනම් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සතුරුකමින් හා එවිට තිබුණාවූ කැරලිගැසීමේ ආත්මයෙන් යුක්තවය. තමාගේ අතීත ජීවිත වල වැරදි හරිගස්සා ගැනීමට ඔවුන්ට සූදානම් වීමේ කාලයක් දෙනු ලබන්නේ නැත. එයින් කිසි ප්‍රයෝජනයක් ඇතිවන්නේද නැත. පාපයේ ජීවිත කාලයකින් ඔවුන්ගේ සිත් මෘදු වූයේ නැත. දෙවන වරටත් සූදානම් වීමේ කාලයක් ඔවුන්ට දෙනු ලබන්නේ නම් එයද පාවිච්චි කරනු ලබන්නේ පෙරදී මෙන්ම දෙවියන්වහන්සේගේ අවශ්‍යතාවයන්ගෙන් ඈත්වෙමින් උන්වහන්සේට විරුද්ධව කැරළි ගැසීමක් ඇතිකරන පිණිසය.GrHSin 764.2

    ක්‍රිස්තුස්වහන්සේ ඔලීව කන්ද මත්තට එනසේක. උන්වහන්සේ එතැනින් ස්වර්ගයට නැගුණ සේක. ඒ අවස්ථාවේදී දේවදුතයෝ උන්වහන්සේගේ දෙවෙනි ඊම පිළිබඳ පොරොන්දුව නැවත ප්‍රකාශ කළහ. ස්වාමින්වහන්සේ, මාගේ දෙවියන්වහන්සේ සියලු ශුද්ධවන්තයන් සමග එනසේක ‘යි අනාගතවක්තෘ කියා තිබේ. “ඒ කාලයේදී උන්වහන්සේගේ පාද යෙරුසලමට ඉදිරිපිටින් නැගෙනහිරට තිබෙන ඔලීව කන්ද පිට සිටිනවා ඇත. එවිට ඔලීව කන්ද .... මැදින් පැලී ඉතා මහත් මිටියාවතක් වන්නේය.” “ස්වාමින්වහන්සේ මුළු පොළොව කෙරෙහි රජව සිටිනවා ඇත. ඒ කාලයෙහි ස්වාමින්වහන්සේ පමණක්ම දෙවිව සිටිනවා ඇත. උන්වහන්සේගේ නාමය පමණක්ම ඇතිවන්නේය.” (සෙකරියා 14:5,4,9) අලුත් යෙරුසලම එහි දීප්තිමත් අලංකාරයෙන් ස්වර්ගයෙන් පහළට බසින අතර එය පිළිගැනීමට සූදානම් කර පවිත්‍ර කරන ලද ස්ථානයට එය බසිනවා ඇත. ක්‍රිස්තුස්වහන්සේ තමන් වහන්සේගේ සෙනඟද දේවදූතයන්ද සමග එයට ඇතුල් වෙනවා ඇත.GrHSin 764.3

    දැන් සාතන් බලය ලබාගන්නා පිණිස අවසාන මහා පොරබැදීමට සුදානම් වෙයි. තමාගේ බලය නැතිවී, තමාගේ රැවටිලිකාර ක්‍රියාවෙහි යෙදී සිටීමට නුපුළුවන් වූ විට නපුරේ කුමාරයා ඉතා කාලකණ්ණිතාවයකින් යුක්තව, අධෛර්යසම්පන්නව සිටියේය. නමුත් මළා වූ දුෂ්ටයන් නැගුටුවනු ලැබ, මහා සමූහයක් තමාගේ පක්ෂයට සිටින බව ඔහු දකින විට, ඔහුගේ බලාපොරොත්තුව නැවත ප්‍රකෘතිමත් වී, ඒ මහා අරගලයේදී යටත් නොවීමට ඔහු තීරණය කර ගනියි. ඔහු, නැති වී ගිය මේ සේනාවේ සියලු හමුදාවන් තමාගේ ධජය යටතට ගෙන ඔවුන්ගේ මාර්ගයෙන් තමාගේ සැකසුම් ක්‍රියාත්මක කරගැනීමට උත්සාහ කරයි. දුෂ්ටයෝ සාතන්ගේ වහලුන් වෙති. ක්‍රිස්තුස්වහන්සේ එපා කිරීමෙන් ඔවුහු කැරළිකාර නායකයාගේ බලය පිළිගත්හ. ඔහුගේ යෝජනාවන් පිළිගැනීමටද ඔහුගේ අණසකට කීකරු වීමටද ඔවුන් දැන් සූදානම්ය. නමුත් ඒ මුල් කාලයේදී ඔහුට තිබුණාවූ රැවටිලිකාරකමේදී මෙන්ම ඔහු දැන්ද තමා සාතන් යයි පිළිගැනීමට සුදානම් නැත. තමා ලෝකයේ නියම කුමාරයා බවද, තමාගේ උරුමය නීති විරෝධී ලෙස තමා කෙරෙන් පැහැරගෙන තිබෙන්නේ යයිද ඔහු පවසයි. රවටනු ලැබූ තමාගේ සෙනඟට ඔහු පෙන්නුම් කරන්නේ තමා මිදුම්කාරයා බවය. ඔහුගේ බලය මගින් ඔවුන් සොහොන් ගෙවලින් ඉවතට ගෙන එනු ලැබූ බවය. දැන් තමා ඔවුන් ඉතා මහත් ප්‍රචණ්ඩකාරිත්වයෙන් මුදා ගැනීමට සූදානම් බව ඔහු පවසයි. මෙවිට ක්‍රිස්තුස්වහන්සේගේ පැවැත්ම එහි නොපවතින බැවින් සාතන් තමාගේ ප්‍රකාශන ස්ථිර කරන පිණිස පුදුමාකාර දේවල් කරයි. ඔහු දුර්වලයන් ශක්තිමත් කරයි, සියලු දෙනාටම ඔහුගේම ආත්මය හා උද්‍යෝගිත්වය ලබාදෙයි. ඔවුන්ව ශුද්ධවන්තයන්ගේ කඳවුරට විරුද්ධව ගෙනයාමට යෝජනා කරමින් එමගින් ඔවුන්ට දෙවියන්වහන්සේගේ නගරය අයිති කරගැනීමට පුළුවන් වෙනවා ඇතැයි ඔහු පවසයි. දුෂ්ටකමින් යුත් උදාරමකින් ඔහු දක්වන්නේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ ඒ ගණන් කළ නොහැකි ලක්ෂ සංඛ්‍යාත සේනාවය. ඔවුන්ගේ නායකයා හැටියට තමාට ඒ නගරය යටපත් කරගෙන නැවත තමාගේ සිංහාසනයද රාජ්‍යයද ලබාගන්ට පුළුවනැයි ඔහු පවසයි.GrHSin 765.1

    මේ මහා සේනාවෙහි ජල ගැල්මට පෙර දීර්ඝායුෂ ඇතිව ජීවත් වූ සමූහයන්ද සිටිති. ඉමහත් උස මහතින් යුක්ත වූද මහත් ප්‍රඥාවෙන් යුක්තවුද මනුෂ්‍යයෝ ඔවුන් අතර සිටිති. ඔහු පාපයට වැටුණා වූ දුතයන්ට කීකරු වී තමාගේ සියලු හැකියාචන් හා දැනගැන්ම පාවිච්චි කර තිබුණේ තමාම උසස් කරගැනීමටය. ඔවුන්ගේ දක්ෂ චිත්‍ර ශිල්පීය නිපුණතාවය නිසා මනුෂ්‍යයන් ඔවුන්ගේ හැකියාවන් රූපයක් කරගත් නමුත් ඔවුන්ගේ දුෂ්ට කෲර නිෂ්පාදනයන් මගින් ඔහු දෙවියන්වහන්සේගේ ස්වරූපය නරක් කර ලෝකය දුෂණය කර තිබුණි. එහෙයින් ඔවුන් තමන්වහන්සේගේ මැවිල්ලෙන් ඉවත් කිරීමට දෙවියන්වහන්සේට සිදුවී තිබුණි. ජාතීන් යටපත් කළ රජවරු හා නායකයෝ එහි සිටිති; කිසි යුද්ධයකින් පරාජය නොවූ යුද්ධ දක්ෂකයෝ එහි සිටිති. එහි සිටින උඩඟුවූද, අනාගතය ගැන මහත් ආශාවන් ඇතිව සිටියාවූද රණවිරුවන්ගේ පැමිණීමෙන් ජාතීන් වෙවුලා සිටින්නට යෙදුණාහ. මරණයේදී මේ අයවලුන් තුළ වෙනසක් ඇතිවූයේ නැත. තමාගේ සොහොන් ගෙවලින් ඉවතට එන අතර ඔව්හු තමාට තිබුණා වූ සිතුවිලි ඒ තත්ත්වයෙන්ම නැවත පුබුදුවා ගනිති. ඔවුන් මරණයට යටත්වූ විට ඔවුන් පාලනය කළා වූ ඒ ජයග්‍රාහකවීමේ ආශාව නැවතත් ඔවුන් තුළ ප්‍රබෝධමත් වෙයි.GrHSin 766.1

    සාතන් ඔහුගේ දූතයන් සමගද මේ රජවරුන්, රණවිරුවන් හා උසස් මනුෂ්‍යයන් සමගද සාකච්ඡා කරයි. ඔහු තමාගේ පක්ෂයේ සිටින සේනාවේ සංඛ්‍යාවද ශක්තියද දෙස බලමින්, නගරය තුළ සිටින ජනකාය ඔවුන්ගේ ජනකාය සමග සමාන කළ විට ඔවුන් කුඩා බවද ඔවුන් පරාජය කිරීමට තමාට පුළුවන් බවද ඔහු පවසති. අලුත් යෙරුසලමේ ධනය හා තේජස අයිති කරගැනීමට ඔහු කරුණු සකසා ගනිති. සියලු දෙනාම ඉක්මණින්ම සටනට සුදානම් වෙති. දක්ෂ කර්මාන්ත ශිල්පීහු යුද්ධායුධ සකසති. යුද්ධයෙහි සාර්ථකත්වය ගැන සුප්‍රකට වූ හමුදා නායකයෝ යුද්ධ භටයගේ පෙනුම ඇත්තාවූ මනුෂ්‍යයන් කාණ්ඩවලට හා කොටස්වලට බෙදති.GrHSin 766.2

    ඉදිරියට යෑමට අවසාන නියමය දෙනු ලැබ ගණන් කළ නොහැකි ඒ සමූහයා ඉදිරියට ගමන් කරයි. ඒ හමුදාව වනාහි කිසිවිටෙක මේ ලෝකයේ යුද්ධ හමුදා නායකයන් විසින් මෙහෙයවනු නොලැබූ අන්දමේ හමුදාවය. ඒ වනාහි සියලු කාලවල සිටියාවූ යුද්ධ දක්ෂයන් එකතු කරනු ලැබීමකි. ලෝකයෙහි යුද්ධය පටන්ගත් කාලයේ සිටම එබඳු හමුදාවක් සිටියේ නැත. ඉතාම ප්‍රබල යුද්ධ දක්ෂකයා වන සාතන් මේ හමුදාව මෙහෙයවන අතර ඔහුගේ දුතයෝ මේ අවසාන පොරයට සියල්ලන් රැස් කරති. රජවරු හා යුධ භටයන් මේ හමුදාවට ඇතුළත්ය. ජන සමූහය විශාල කාණ්ඩ වශයෙන් පිටත්ව යන්නේ ඒ ඒ කාණ්ඩ ඒ ඒ නායකයන් විසින් මෙහෙයවනු ලැබීම යටතේය. යුද්ධ හමුදාවක නිවැරදි ස්වභාවයෙන් මේ භට හමුදාව පොළොවේ කැඩී බිඳී ගිය මුණත මත යන්නේ දෙවියන්වහන්සේගේ නගරයටය. යේසුස්වහන්සේගේ නියමය අනුව අලුත් යෙරුසලමේ දොරටු වසා තිබේ. සාතන්ගේ හමුදාව නගරය වටා සැකසෙමින් ඊළඟ ක්‍රියාවට සුදානම් වෙයි.GrHSin 766.3

    දැන් යේසුස්වහන්සේ නැවත වරක් තමාගේ සතුරන්ට ප්‍රකාශ වනසේක, නගරයට බොහෝ ඉහළින්, රත්රන්වලින් ඔප කරනු ලැබූ අත්තිවාරමක් මත ඉහළට ඔසවන ලද සිංහාසනයක් තිබේ. දේව පුත්‍ර යාණන්වහන්සේ ඒ සිංහාසනය මත වාඩිවී සිටින සේක. උන්වහන්සේගේ රාජ්‍යයට අයිති අය උන්වහන්සේ අවට සිටිති. ක්‍රිස්තුස් වහන්සේට ඇත්තා වූ බලය හා රාජකීයත්වය වචනවලින් කිසිසේත් විස්තර කිරීමට නුපුළුවන, කිසි පෑනකින් ලියා දැක්වීමටද නුපුළුවන. සදාකාලික පියාණන්වහන්සේගේ තේජස උන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ වසාගෙන තිබේ. උන්වහන්සේගේ දීප්තියෙන් දෙවියන්වහන්සේගේ නගරය පිරී තිබේ. එය එහි දොරටු දෙසට ගලා යමින් මුළු ලෝකයම එහි දීප්තියෙන් පුරවයි.GrHSin 767.1

    සිංහාසනයට ඉතාම ආසන්නව සිටින අයවල් වනාහි වරක් සාතන්ගේ පක්ෂයෙහි උනන්දුව සිටි නමුත්, ගින්නෙන් ඇදගනු ලැබූ ගිනි පෙනලි මෙන් ඉතා මහත් කැපවීමෙන් හා උනන්දුවෙන් යුක්තව ගැළවුම්කාරයාණන් පසුපස ‘ ගියාවූ අයවල්ය. ඊළඟට සිටින්නාවූ අය වනාහි බොරුකාර, අවිශ්වාසවන්ත පරිසරයකදී සම්පූර්ණ ක්‍රිස්තියානි චරිතයන් ඇතිව සිටියාවූ අයවල්ය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් අවංලගු කර තිබෙන බව පවසනු ලැබූ විට ඔව්හු ඒ ව්‍යවස්ථාවට ගරු කළේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සියලු කාලවලදී ඔවුන්ගේ ඇදහිල්ල නිසා වේද සාක්ෂික මරණයන්ට යොමු කරනු ලැබූ විටය. ඊළඟට, “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන් - ගෙනුත් කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක් ” සුදු සළු පැළඳ, තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව, සිංහාසනය ඉදිරියෙහිත් බැටළු පැටවාණත් ඉදිරියෙහිත් සිටිනවා” ඇත. (එළිදරව් 7:9) ඔවුන්ගේ සටන අවසානය. ඔවුන්ට ජය ලැබී තිබේ. ඔව්හු තරඟ දිවීම අවසාන කරන විපාකය ලැබ සිටිති. ඔවුන්ගේ අත්වල තිබෙන තාල පත්‍රය වනාහි ඔවුන්ගේ ජයග්‍රහණයේ සංකේතයක්ය; සුදු සළු වනාහි දැන් ඔවුන්ට ලැබී තිබෙන ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ සලකුණක්ය.GrHSin 767.2

    ගැළවීම ලැබූ අය ගායනා කරන ප්‍රශංසාවේ ගීතය ස්වර්ගය මුළුල්ලේ දෝංකාරය වෙයි. “සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවියන්වහන්සේටත් බැටළු පැටවාණන්ටත් ගැළවීමේ අයිතිය” යන්න ඔවුන්ගේ ගීතයයි. (එළිදරව් 7:10) දේවදූතයෝද සෙරපිම්වරුද මේ ප්‍රශංසාවට ඔවුන්ගේ කටහඬවල් ද එකතු කරති. ගැළවීම ලැබූ අය මීට පෙර කිසිවිටෙක දැක තිබෙනවාට වඩා හොඳින් සාතන්ගේ බලය හා විරුද්ධත්වය දකින විට, තමාට ජයග්‍රහණය ලබා දුන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ බලය පමණක්ම බව ඔව්හු දනිති. ඒ මුළු සමූහය අතර කිසිවෙක් තමාට තමා බලයෙන් හා යහපත්කමින් ජයග්‍රහණය ලැබුණු බව පවසමින් ගැළවීම ලැබුණේ තමාගේ හැකියාවෙන් යයි පවසන්නේ නැත. ඔවුන් කළාවූ කිසිදෙයක් ගැන හෝ ඔවුන් වින්දාවූ කිසි දුකක් ගැන කිසිවක් පවසනු ලබන්නේ නැත. නමුත් සෑම ගීතයකම සාරයද සෑම ජය නාදයකම රාවයද වන්නේ ගැළපීම දෙනු ලැබුවේ අපගේ දෙවියන්වහන්සේද බැටළු පැටවාණන්ද විසින්ය යන්නය.GrHSin 768.1

    ලෝකයේද ස්වර්ගයේ ද ජනවාසීන් රැස්ව සිටින විට දේව පුත්‍රයාණන් වහන්සේගේ ඔටුනු පැළඳවීම සිදුකරනු ලැබේ. දැන් අති උතුම් රාජකීයත්වයෙන් හා බලයෙන් පූර්ණ වූ රජුන්ගේ රජ වූ තැනැන්වහන්සේ තමන්වහන්සේගේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසූවන්ට විරුද්ධව විනිශ්චය නියම කරන සේක; තමන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කරමින් තමන්වහන්සේගේ සෙනඟට පීඩා කළා වූ අයට යුක්තිය ඉෂ්ට කරන සේක. දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ මෙසේ කියයි: “තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි. උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේය. ඒවාට ස්ථානයක් සම්බනූණේය. මළා වූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි. පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවන පොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවලින් විනිශ්චය කරනු ලැබුවෝය.” (එළිදරව් 20:11,12)GrHSin 768.2

    සටහන් ලියා තිබෙන පොත් දිගහරිනු ලැබ, යේසුස්වහන්සේගේ ඇස් දුෂ්ටයන් දෙස යොමු වූ විට, තමා කර තිබෙන සෑම පාපයක් ගැනම ඔවුන්ට සිහි වෙයි. ඔවුන්ගේ පාද පවිත්‍රතාවයේ හා ශුද්ධ භාවයේ මාවතෙන් ඉවත් වූයේ කොතැනදී දැයි ඔවුන්ට පෙනෙයි. පාපය හා කැරලි ගැසීම කොපමණ දුරට ඔවුන් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කිරීමට යොමු කළේ දැයි ඔවුන්ට පෙනෙයි. පෙළඹීමෙන් යුත් පරික්ෂාවන් ඇති වූ විට පාපයට වැටීම කරණකොටගෙන ඔවුන් ඒ පරික්ෂාවන්ට දිරි දී තිබුණි. දෙවියන්වහන්සේගේ ආශිර්වාද වැරදි අන්දමට පාවිච්චි කළ බවද, දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවන් එපා කළ බවද, අවවාද එපා කළ බවද, දයාවේ රැළි මුරණ්ඩුකමින් හා පසුතැවිලි නොවන හදවතකින් එපා කළ බවද යන මේ සියල්ලම ගිනිමය අකුරුවලින් ප්‍රකාශ වෙයි.GrHSin 768.3

    සිංහාසනයට ඉහළින් කුරුසිය දක්වා තිබේ. ආදම්ට පරික්ෂාව පැමිණීම හා ඔහු පාපයට වැටීමද මිදීමේ සැකසුම අනුව ඊළඟට ගනු ලැබූ පියවරවද අඛණ්ඩ දර්ශනයකින් දක්වනු ලැබේ. ගැළවුම්කාරයාණන්වහන්සේගේ යටහත් උත්පත්තියද, උන්වහන්සේ ඒ ජීවිතයේ මුල් කාලයේදී ගතකළ කීකරුකමින් යුත් යටහත් ජීවිතයද, උන්වහන්සේව යොර්දානේ දී බව්තීස්ම කරනු ලැබීමද, උන්වහන්සේ නිරාහාරව සිටීම හා වනාන්තරයේදී උන්වහන්සේ පරික්ෂා කරනු ලැබීමද දක්වනු ලැබේ. උන්වහන්සේගේ ප්‍රසිද්ධ සේවයද, ස්වර්ගයේ ඉතාම අගනා ආශිර්වාද මනුෂ්‍යයන්ට විවෘත කරදීම ද, ප්‍රේමයේ හා දයාවේ සේවයෙන් පිරි දවස්ද, කඳුකරයේදී තනිවම ගතකළ යාච්ඤාවේ හා බලාසිටීමේ රාත්‍රි කාලයද දක්වනු ලැබේ. උන්වහන්සේගේ යහපත් ක්‍රියාවන් වෙනුවට ඇති වූ ඊර්ෂ්‍යාවේ, වෛරයේ හා අන්තරාවේ උගුල් අටවනු ලැබිමද දක්වනු ලැබේ. මුළු ලෝකයේම වැසියන්ගේ පාපයන්ගෙන් තමා පොඩි කළාවූ බර යටතේ ගෙත්සෙමනේදී ඇති වූ භයානක අභිරහස්ගන වේදනාවද, මිනීමරු, ප්‍රචණ්ඩකාරී සමූහයකගේ අත්වලට පාවාදෙනු ලැබීමද, දක්වනු ලැබේ. ඒ භයානක රාත්‍රියේදී සිදුවූ භයානක සිද්ධීන් පිළිබඳවද, විරුද්ධකමක් නොදැක්වූ සිරකරු ගැනද, තමාගේ ප්‍රේමණීය ගෝලයන් විසින් අත් හරිනු ලැබීමද, දක්වනු ලැබේ. උන්වහන්සේව රළු ලෙස යෙරුසලමේ වීථි ඔස්සේ ඉක්මන් ගමණින් ගෙන යනු ලැබීම ද, උත්තම පුජකයාගේ මාළිගාවේදී මහත් ප්‍රීතියකින් යුක්තව අන්නස් ඉදිරියට පමුණුවනු ලැබීමද, විනිශ්චය ශාලාවේදී පිලාත් ඉදිරිපිට සිටීමද, දක්වනු ලැබේ. හරි දෙය කිරීමට බිය වූ කෲර හෙරොද් ඉදිරිපිට පෙනී සිට, නිග්‍රහකර අපහාසකර, වධ හිංසා කර මරණයට නියම කරනු ලැබීමද යන මේ සියල්ලම පැහැදිලි චිත්‍රයන්ගෙන් දක්වනු ලබනවා ඇත.GrHSin 769.1

    දැන් වැනි වැනී සිටින්නාවූ ඒ සමූහයා ඉදිරිපිට ඒ අවසාන දර්ශන දක්වනු ලබනවා ඇත. ඉවසීමෙන් පීඩාවන් දරාගෙන සිටි තැනන්වහන්සේ කල්වරියට ගෙනයනු ලැබීම, ස්වර්ගයේ කුමාරයාණන් කුරුසිය මත එල්ලනු ලැබ සිටීම, උඩඟු පූජකයන්ද සරදම් කරන සමූහයාද උන්වහන්සේගේ වේදනාවට නිග්‍රහ කිරීම, අස්වාභාවික අන්ධකාරය, භූමිය කම්පාවීම, පර්වත පැලී යාම, සොහොන් ගෙවල් විවෘත කරනු ලැබීම යන මේ සිද්ධීන්ගෙන් ලෝකයේ මිදුම්කාරයාණන් වහන්සේ තමන්වහන්සේගේ ජීවිතය පූජා කළ අවස්ථාව දැක්වෙයි.GrHSin 769.2

    මේ භයානක දර්ශනය ප්‍රකාශ වන්නේ එය සිදුවූ අන්දමටය. සාතන්ට හා ඔහුගේ දූතයන්ටද ඔහුට යටවූ මනුෂ්‍යයන්ට ද ඔවුන් ම වැඩවලින් සිදුවූ ඒ දර්ශනයෙන් ඉවතට හැරීමට බලයක් නැත. එක් එක් තැනැත්තාට, මේ සිද්ධියෙහිදී තමා කළා වූ කොටස සිහිවෙයි. හෙරෝද් ඉශ්‍රායෙල් රජතුමා විනාශ කිරීමේ අභිලාෂයෙන් බෙත්ලෙහෙමේ සිටියාවූ අහිංසක දරුවන් මරන්ට යෙදුණි. යොහන් බව්තීස්තගේ මරණය පිළිබඳ වරදකාරකම නීව හෙරොදියස් මත පවතියි. කාලයට අනුව ක්‍රියා කළ දුර්වලයෙක් වූ පිලාත්ද , සරදම් කරමින් සිටි සොල්දාදුවෝද, පුජකයෝ හා නායකයෝද ඔහුගේ ලේ අප පිටද, අපගේ දරුවන් පිට ද වේවා’ යි කෑගැසූ සමූහයාද යන මේ සියලු දෙනාම තමාගේ වරදේ විශාලත්වය දකිති. ඔවුන් නිෂ්ඵලයේ උත්සාහ කරන්නේ සූර්යයාගේ තේජසට වඩා මහත් තේජසකින් බබළන්නා වූ උන්වහන්සේගේ මුහුණේ පවතින දිව්‍ය රාජකීයත්වයෙන් සැඟවීමටය, ඒ අතර, මිදීම ලැබුවාවූ අය තමාගේ ඔටුණු ගැළවුම්කාරයාණගේ පාමුල තබමින් උන්වහන්සේ මා උදෙසා මැරුණ සේක’ යයි පවසති,GrHSin 770.1

    මිදීම ලැබූ සේනාව අතර ක්‍රිස්තුස්වහන්සේගේ අපෝස්තුළුවරුද, නිර්භීත පාවුල්ද, උනන්දුවෙන් ක්‍රියා කළ පේතෘස්ද, ප්‍රේම කරන ලද්දාවූද ප්‍රේම කරන්නෙක් ද වූ යොහන්ද, ඔවුන්ගේ සත්‍යවාදී සිත්වලින් යුක්තවූ සහෝදරයෝද, වේද සාක්ෂිකයන් සමූහයක්ද ඔවුන් සමග සිටිති. බිත්ති වලින් පිටත සෑම නරක, පිළිකුල් සියල්ල අතර සිටින්නේ ඔවුන්ට පීඩා කරමින්, ඔවුන් සිරගෙවලට දමමින් ඔවුන් මැරුවාවූ අයවය. කෲරකමේ හා නපුරු ක්‍රියාවන්හි රෞද්‍ර ලෙස නියුක්තවූ නීරෝද එහි සිටියි. තමා පීඩා කළ අයට ඇත්තාවූ ප්‍රීතිය හා ප්‍රබෝධය ඔහුට දර්ශනය වෙයි. ඔවුන්ගේ ඉමහත් වේදනාවේදී ඔහු තුළ සාතනික ප්‍රීතියක් ඇතිවී තිබුණි. ඔහුගේ මවද එහි සිටිමින් ඇගේ වැඩවල ප්‍රතිඵල සාක්ෂි දරයි. නපුරු ගුණාංගයන්ගෙන් යුත් චරිතයක් ඔහුට උරුමවී තිබුණ බවද, ඇගේ ආදර්ශයෙන් හා බලපෑමෙන් ඔහු තුළ ඒ ප්‍රබල හැඟීම් වර්ධනය වීමට ඈ දිරි දුන් බවද, එමගින් ලෝකය වෙලා සිටින අන්දමේ අපරාධ කිරීමේ ඵල ඇතිවී තිබෙන බවද ඇය දකියි.GrHSin 770.2

    පාප් සහාවේ පූජකයන් හා නායකයන් තමා ක්‍රිස්තුස්වහන්සේගේ තානාපතිවරයන් යයි පැවසූ නමුත් ඔව්හු මනුෂ්‍යයන්ගේ හෘදය සාක්ෂිය පාලනය කරන පිණිස මනුෂ්‍යයන් බැඳ තබා ඔවුන්ට වධ හිංසා කිරීමටද, ඔවුන්ව ගිනි තබා මැරීමටද ඔවුන් අඳුරු ගුහාවල දැමීමටද යොමු වී තිබුණි. තමාව දෙවියන්වහන්සේට වඩා උසස් කරගෙන මහෝත්තමයාණන්ගේ ව්‍යවස්ථාවන් වෙනස් කිරීමට පවා ඉදිරිපත් වූ උඩඟු පාප්වරුද එහි සිටිති. සභාවේ පියවරුන් හැටියට පෙනී සිටියාවූ අය ඔවුන්ගේ ක්‍රියාවන් ගැන දෙවියන්වහන්සේට ගණන් දිය යුතුය; ඔවුන්ට එයින් නිදහස් වීමට නුපුළුවන. සර්වබලධාරී තැනැන්වහන්සේ තමන්වහන්සේගේ ව්‍යවස්ථාවන් ගැන ඊර්ෂ්‍යා වන බවද උන්වහන්සේ වරද කරන්නන් නිදහස් නොකරන බවද ඔවුන් දකින්නේ ප්‍රමාද වැඩි වෙලාය. ක්‍රිස්තුස්වහන්සේ තමාගේ දුක් විඳින මනුෂ්‍යයන් ගැන සැලකිලිමත් වන බව ඔව්හු දැන් ඉගෙන ගනිති. “මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටය, (මතෙව් 25:40) යනුවෙන් උන්වහන්සේ පැවසු වචනවල බලය ඔවුන්ට දැන් වැටහෙයි. .GrHSin 770.3

    මුළු දුෂ්ට ලෝකයම දෙවියන්වහන්සේගේ නඩු ශාලාව ඉදිරියේ සිටින්නේ ස්වර්ගීය ආණ්ඩුවට විරුද්ධව ද්‍රෝහිව ක්‍රියා කිරීමේ චෝදනාව පිටය. ඔවුන් උදෙසා පෙනී සිටීමට ඔවුන්ට කිසිවෙක් නැත. ඔවුන්ට ඉදිරිපත් කළ හැකි සමාවට කාරණයක්ද නැත. සදාකාල මරණය නමැති නඩු තීන්දුව ඔවුන්ට විරුද්ධව පවසා තිබේ. GrHSin 771.1

    පාපයේ කුළිය නම් උසස් නිදහස හා සදාකාල ජීවිතය නොව, වහල්කම, විනාශය හා මරණය බව දැන් සියලු දෙනාටම පෙනී යයි. තමාගේ කැරළිකාර ජීවිතය මගින් තමාට නැති වී තිබෙන්නේ කුමක්දැයි දුෂ්ටයෝ දකිති. ඉතාමත් මහත් සදාකාල තේජස් භාරයක් ඔවුන්ට පුදකරනු ලැබූ විට ඔවුන් එය පිළිගන්නේ නැත. නමුත්, එය කොපමණ ප්‍රසන්නදැයි ඔවුන්ට දැන් පෙනෙයි. විනාශයට යොමුවූ ආත්මය මෙසේ පවසයි: “මට මේ සියල්ල ලබාගැනීමට පුළුවන්කම තිබුණි. නමුත් මම ඒවා මා කෙරෙන් ඉවත් කිරීමට තෝරා ගතිමි. අහෝ බොරුකාර විශ්මයජනක ක්‍රියාව! සමාදානය, ප්‍රීතිය හා ගෞරවය වෙනුවට මම කාලකණ්ණිකම, අගෞරවය හා බලාපොරොත්තු රහිත භාවය තෝරා ගතිමි.” තමා සේවයට ගනු නොලැබීම සාධාරණ බව සියල්ලන්ට පෙනෙයි. ඔවුන්ගේ ජීවිතවලින් ඔවුන් පෙන්වා තිබෙන්නේ අප කෙරෙහි රජකම් කිරීමට අපට යේසුස්වහන්සේ උවමනා නැත’ යන්නය.GrHSin 771.2

    දුෂ්ටයෝ මහත් විශ්මයෙන් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේට ඔටුණු පළඳවනු ලැබීම දර්ශනය කරති. ඔවුන් එපා කරමින් කඩ කළාවූ දිව්‍ය ව්‍යවස්ථාව අන්තර්ගත ගල් ලෑලි උන්වහන්සේගේ අත්වල තිබෙනවා ඔහු දකිති. ගැළවීම ලැබු අය විස්මයෙන්, ඉමහත් ප්‍රීතියෙන් හා නමස්කාරයෙන් ප්‍රීති ඝෝෂා කරනවා ඔවුන්ට ඇසෙයි. නගරයෙන් පිටත සිටින්නන් මත ඒ ගීත රාවය ගලායන අතර ඔවුන් සියලු දෙනාම මෙසේ පවසනවා ඇත: “සර්ව පරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය, ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය.” මුහුණින් වැටී ඔව්හු ජීවිතයේ කුමාරයාණන්වහන්සේට නමස්කාර කරති.GrHSin 771.3

    ක්‍රිස්තුවහන්සේගේ තේජස හා රාජකීයත්වය දකින අතර සාතන් ක්‍රියා විරහිත වෙයි. වරක් ආවරණය කරන්නාවූ කෙරුබ්වරයෙක්ව සිටි ඔහුට සිහිවෙන්නේ තමා වැටී ගියේ කොතැනින්ද යන්නය. බබළන සෙරපිම්වරයෙක්වූ, අලුයම් පුත්‍රයා වූ ඔහු දැන් කොපමණ දුරට වෙනස්වී සිටියේ ද, ඔහු කොපමණ පහත් තත්ත්වයකට පැමිණ සිටියේද! ඔහුට වරක් ගරු කරනු ලැබූ ඒ මණ්ඩලයෙන් ඔහු සදහටම ඉවත් කරනු ලැබ සිටියි. වෙනත් කෙනෙක් තේජස වසාගෙන පියාණන්වහන්සේට ළංව සිටින බව ඔහුට පෙනෙයි. ශාරීරික විශාලත්වයකින් යුත් රාජකීය පෙනුමක් ඇති දේවදුතයෙක් ක්‍රිස්තුස්වහන්සේගේ හිස මත ඔටුන්නක් තබනවා ඔහුට පෙනෙයි. ඒ දූතයාට හිමිවූ උසස් තත්ත්වය තමාගේ තත්ත්වය වීමට පුළුවන් වූ බව ඔහු දනියි.GrHSin 772.1

    මතකය ඔහුගේ කල්පනාවට යොමු කරන්නේ අහිංසක පවිත්‍රතාවයෙන් ඔහුට තිබුණා වූ, නිවසය. දෙවියන්වහන්සේට විරුද්ධව කෙඳිරීමටද ක්‍රිස්තුස්වහන්සේට ඊර්ෂ්‍යා කිරීමට ද පටන් ගන්නා තුරු ඔහුට තිබුණාවූ සමාදානය හා තෘප්තිය ඔහුට මතක් වෙයි. දේවදුතයන්ගේ සහාය හා සානුකම්පාව ලබාගන්නා පිණිස, වරදට පත්කිරීමටද, කැරළි ගැසීමටද, රැවටිලිකාරකම් කිරීමටද ඔහු යොමු වී තිබුණි. දෙවියන්වහන්සේ ඔහුට කමාව දීමට සුදානම්ව සිටි විට තමාව හරිගස්සා ගැනීමට කිසි උත්සාහයක් නොකර තමා මුරණ්ඩු ලෙස ක්‍රියා කළ බවද යන මේ සියල්ලම පැහැදිලි ලෙස ඔහු ඉදිරියෙහි දිස්වෙයි. තමා මනුෂ්‍යයන් අතර කළ දේවල් ද එහි ප්‍රතිඵල වශයෙන් මනුෂ්‍යයා තමාගේ සහකාර මනුෂ්‍යයන්ට සතුරුව සිටීම, භයානක ලෙස ජීවිත විනාශ වීම, රාජ්‍යයන්ගේ නැගිටීම හා වැටීම, සිංහාසන පෙරලනු ලැබීම, කෝලාහල අරගල හා විප්ලව ඇතිවීම ඔහුට පෙනෙයි. ක්‍රිස්තුස්වහන්සේගේ වැඩවලට විරුද්ධ වෙමින් මනුෂ්‍යයා වඩ වඩා පහත් තත්ත්වයකට පැමිණවීමට තමා ක්‍රියා කළ බවද ඔහුට මතක් වෙයි. යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ අයවලුන් විනාශ කිරීමට ඔහු ගත්තාවූ ඉතා කූට උපායන් බල රහිත වූ බව ඔහුට පෙනෙයි. සාතන් තමාගේ රාජ්‍යය දෙසද තමාගේ වැඩවල ඵල දෙසද බලන අතර, ඔහුට පෙනෙන්නේ අසාර්ථකත්වය හා විනාශය පමණක්ම පවතින බවය. දෙවියන් වහන්සේගේ නගරය ඔවුන්ට පහසුවෙන් ලබාගත හැකි ස්ථානයක් බව විශ්වාස කිරීමට ඔහු සමූහයන්ට මගපෙන්වා තිබුණි. නමුත් මෙය අසත්‍යයක් බව ඔහු දනියි. ඔහු මේ මහා අරගලයේදී නැවත නැවතත් ඉදිරියටම ගිය විට ඔහු පරාජයට පත්වී යටත් වීමට බලකරනු ලැබුවේය. සදාකාලික තැනන්වහන්සේගේ බලය හා රාජකීයත්වය ගැන ඔහු හොඳාකාර දනියි.GrHSin 772.2

    මේ මහා කැරළිකාරයාට සෑමවිටම තිබුණා වූ අභිලාෂය නම් තමා තුළ කිසි වරදක් නැති බව කියා සිටිමින් මේ කැරැල්ල ගැන වගකිව යුත්තේ දිව්‍ය ආණ්ඩුවම බව ඔප්පු කිරීමය. මේ අදහස සම්පුර්ණ කරගැනීමට ඔහු තමාගේ ඉමහත් ප්‍රඥාව හා බලය පාවිච්චි කර තිබේ. ඔහු උනන්දුවෙන්ද ක්‍රමානුකූල ලෙසද වැඩ කර තිබේ. මපමණ දීර්ඝ කාලයක් පැවතුණා වූ මේ මහා අරගලය පිළිබඳව තමාගේ අදහස පිළිගැනීමට මහත් සමූහයන්ට මගපෙන්වීමේදී ඔහුට විශ්මයජනක සඵලත්වයක් ලැබී තිබේ. වසර දහස් ගණනක් මුළුල්ලේ මේ නායක ද්‍රෝහියා සත්‍යය වෙනුවට බොරුව ඉදිරිපත් කර තිබේ. නමුත් දැන් මේ කැරැල්ල සම්පූර්ණයෙන්ම පරාජයට පත්කරනු ලැබ, සාතන්ගේ ඉතිහාසය හා චරිතය විවෘත කරනු ලැබිය යුතු කාලය පැමිණ තිබේ. ක්‍රිස්තුස්වහන්සේ සිංහාසනයෙන් පහකරමින් උන්වහන්සේගේ සෙනඟ විනාශ කරමින් දෙවියන්වහන්සේගේ නගරය අයිති කරගැනීමට ඔහු ගන්නා මේ අවසාන උත්සාහයේදී මේ නායක රැවටිලිකාරයා සම්පුර්ණයෙන්ම විවෘත කර දක්වනු ලැබේ. ඔහු හා එක්සත්වූ අය දකින්නේ ඔහුගේ සටන සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බවය. දෙවියන්වහන්සේගේ ආණ්ඩුවට විරුද්ධව ඔහු යොදා ඇති සියලු උපක්‍රම, ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්ටද උන්වහන්සේගේ පක්ෂපාත වූ දේව දුතයන්ටද සම්පූර්ණයෙන්ම පෙනී යනවා ඇත. දැන් මුළු විශ්වයම ඔහුව පිළිකුල් කරයි.GrHSin 773.1

    තමා සිය කැමැත්තෙන්ම කළා වූ කැරැල්ල මගින් තමා ස්වර්ගයට නුසුදුස්සෙක් වූ බව සාතන්ට පෙනෙයි. ඔහු තමාගේ බලයන් පුහුණුකර තිබෙන්නේ දෙවියන්වහන්සේට විරුද්ධව සටන් කිරීමටය. ස්වර්ගයේ පවතින සාමය, ශුද්ධභාවය හා ඒකත්වය ඔහුට මහත් පීඩාවක් වෙනවා ඇත. දෙවියන්වහන්සේගේ දයාවට හා සාධාරණත්වයට විරුද්ධව ඔහු ඉදිරිපත් කළ චෝදනා දැන් නිශ්චල කරනු ලැබ තිබේ. යෙහෝවඃවහන්සේ මත තැබීමට ඔහු උත්සාහ කළ අවමානය දැන් සම්පූර්ණයෙන්ම ඔහු මතය. දැන් සාතන් හිස නමමින් ඔහුට දී තිබෙන විනිශ්චය සාධාරණ බව කියා සිටියි.GrHSin 773.2

    “ස්වාමිනී, ඔබගේ නාමයට භය නොවන්නෙත් ගෞරව නොකරන්නෙත් කවු ද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය, එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාර කරනවා ඇත. මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශ කරන ලද්දේ යයි කීවෝය.” (එළිදරව් 15:4) බොහෝ කල් පැවති මේ අරගලයේ සත්‍යයන් හා වැරදි දේවල් පිළිබඳ සෑම ප්‍රශ්නයක්ම දැන් පැහැදිලි කර තිබේ. කැරළි ගැසීමේ ප්‍රතිඵල, දිව්‍ය ව්‍යවස්ථාවන් ඉවත දැමීමේ ඵල දැන් ප්‍රඥාව ඇත්තා වූ සියල්ලන්ගේ දර්ශනයට විවෘත කර තිබේ. දෙවියන්වහන්සේගේ ආණ්ඩුවට විරුද්ධව සටන් ක්‍රියාකිරීම පිළිබඳව මුළු විශ්වයටම දක්වා තිබේ. සාතන්ගේ ක්‍රියාවලින්ම ඔහු වරදට පත්කරනු ලැබ තිබේ. දෙවියන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේගේ සාධාරණත්වය හා යහපත්කම දැන් පැහැදිලිව ප්‍රකාශ වී තිබේ. මේ මහා අරගලයේදී උන්වහන්සේ සියලු ක්‍රියාවන් කරන්ට යෙදුණේ තමන්වහන්සේගේ සෙනඟගේ යහපත සඳහාත් උන්වහන්සේ විසින් මවා ඇත්තාවූ සියලු ලෝකවල යහපත සඳහාත් බව පෙනී යනවා ඇත. “ස්වාමිනී, ඔබගේ සියලු කර්මාන්තයෝ ඔබට ස්තුති කරන්නෝය, ඔබගේ ශුද්ධවන්තයෝද ඔබට ප්‍රශංසා කරන්නෝය.” (ගීතාවලිය 145:10) පාපය පිළිබඳ ඉතිහාසය සදාකාලය මුළුල්ලේ සාක්ෂියක් වන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ පැවැත්ම උන්වහන්සේ විසින් මවන ලද සියල්ලන්ගේ ප්‍රීතියට සම්බන්ධ වන බවටය. මේ මහා අරගලයේ සියලු කාරණා දර්ශනය වන විට මේ මුළු විශ්වයේම උන්වහන්සේ විශ්වාසවන්ත අයද උන්වහන්සේට විරුද්ධව කැරලි ගැසූ අයද ඒකත්වයෙන් මෙසේ කියනවා ඇත: “ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය.”GrHSin 773.3

    මනුෂ්‍යයන් උදෙසා පියාණන්වහන්සේද පුත්‍රයාණන් වහන්සේද කර තිබෙන්නාවූ ඉමහත් පූජාව මුළු විශ්වය ඉදිරිපිට පැහැදිලි ලෙස දක්වා තිබේ. ක්‍රිස්තුස්වහන්සේට නියමිත ස්ථානය උන්වහන්සේට දෙනු ලැබ සියලු අධිපතීන්ටත් බලධාරීන්ටත් ඉහළින්ද, පවසනු ලබන සෑම නාමයකටම ඉහළින්ද ක්‍රිස්තුස්වහන්සේ තේජසට පත් කරනු ලැබිය යුතු කාලය පැමිණ තිබේ. උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා එනම්, බොහෝ පුත්‍රයන් මහිමයට පැමිණවීමට තමන් වහන්සේට පුළුවන් වන පිණිස කුරුසියද එහි ලැජ්ජාවද විඳ දරා ගත්සේක. එහි කණගාටුව හා ලැජ්ජාව වටහාගත නොහැකි තරම් වුවද, එයින් උන්වහන්සේට ලැබෙන ප්‍රීතිය හා මහිමය වඩා විශාලය. උන්වහන්සේ තමන්වහන්සේගේ ස්වරූපයට අළුත් කරනු ලැබූ ගැළවීම ලැබුවන් දෙස බලන සේක. සෑම හදවතක්ම දිව්‍ය තැනැන්වහන්සේගේ ස්වභාවය දරයි. සෑම මුහුණක්ම තම රජ්ජුරුවන් වහන්සේගේ සමානත්වය පිළිබිඹු කරයි. උන්වහන්සේ ඔවුන් තුළ තමන්වහන්සේගේ ආත්ම පීඩාවේ ප්‍රතිඵල දකිමින් සෑහීමට පත්වන සේක. එවිට උන්වහන්සේ එහි රැස්ව සිටින ධර්මිෂ්ඨයන් හා දුෂ්ටයන් සමූහයටම ශ්‍රවණය කළ හැකි හඬකින් මෙසේ පවසනවා ඇත: “මේ මාගේ රුධිරයෙන් මිලයට ගනු ලැබූ අයවය! මම ඔවුන් උදෙසා දුක් වින්දෙමි. මම ඔවුන් උදෙසා මැරුණෙමි. මා එසේ කළේ ඔවුන්ට සදාකාලය මුළුල්ලේ මා ඉදිරියෙහි වාසය කිරීමට පුළුවන් වන පිණිසය” යන්නය. සුදු සළු පැළඳගෙන සිංහාසනය අවට සිටින්නා වූ අය මේ ප්‍රශංසා ගීතය ගායනා කරති: “මරනු ලැබූ බැටළු පැටවාණෝ බලයත් ධනයත් ප්‍රඥාවත් පරාක්‍රමයත් ගෞරවයත් තේජසත් ප්‍රශංසාවත් ලබන්ට වටින තැනැන්වහන්සේය.” (එළිදරව් 5:12)GrHSin 774.1

    සාතන් දෙවියන්වහන්සේගේ සාධාරණත්වය ඒත්තු ගනිමින් ක්‍රිස්තුස්වහන්සේගේ උත්තමභාවය ඉදිරියෙහි හිස නැමීමට බලකරනු ලැබ සිටින නමුත් ඔහුගේ චරිතය වෙනස් වන්නේ නැත. කැරළි ගැසීමේ ආත්මය වේගයෙන් ගලන මහත් ජල ධාරාවක් මෙන් නැවත බිඳ හැලෙයි. මහත් කෝපයෙන් පූර්ණව ඔහු ඒ මහත් අරගලයේදී යටපත් නොවීමට තීරණය කරගනියි. ස්වර්ගයේ රජතුමාණන්ට විරුද්ධ කරන පොරයේ අවසාන කොටස දැන් පවතියි. ඔහු තමාගේ යටත්වාසීන් වෙතට වේගයෙන් දුවමින්, ඔහුගේම කෝපයෙන් යුක්තව ඔවුන්ව පොළඹවමින් වහාම සටනේ යෙදීමට ඔවුන් පුබුදුවයි. නමුත් ඔහු කැරළි ගැසිමට පොළඹවා ගත් මේ ලක්ෂ සංඛ්‍යාත ජනයා අතරින් කිසිවෙක් දැන් ඔහුගේ උත්තම භාවය පිළිගන්නේ නැත. දැන් ඔහුගේ බලය අවසාන වී තිබේ. දුෂ්ටයෝද සාතන්ව පොළඹවනු ලැබූ අන්දමටම දෙවියන්වහන්සේට ද්වේෂ කිරීමේ හැඟීම් වලින් පිරී සිටිති. නමුත් තමා බලාපොරොත්තු රහිත තත්ත්වයක සිටින බවද යොහෝවඃවහන්සේට විරුද්ධව ජයග්‍රාහක වීමට තමාට නුපුළුවන් බවද ඔව්හු දකිති. සාතන්ටද, රැවටිලිකාරකමේදී ඔහුගේ ඒජන්තවරුන් වශයෙන් ක්‍රියා කළා වූ අයටද විරුද්ධව ඔහු බොහෝසේ කෝප වෙති. යක්ෂ කෝපයකින් ඔව්හු ඔවුන් වෙත හැරෙති.’GrHSin 775.1

    ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “නුඹේ සිත දෙවි කෙනෙකුගේ සිත මෙන් නුඹ සලකන බැවින්, බලව, මම ජාතීන් අතරෙන් ඉතා භයානක විදේශීන් නුඹට විරුද්ධව පමුණුවන්නෙමි. ඔව්හු නුඹේ ප්‍රඥාවේ ලක්ෂණකමට විරුද්ධව තමුන්ගේ කඩු ඇද, නුඹේ දීප්තිය කිලුටු කරන්නේය. ඔව්හු නුඹ මිනී වළට පමුණුවන්නෝය.” “පියාපත් විදහාගෙන සිටි කෙරුබ්නි, මම නුඹ ගිනි ඇවිලෙන ගල් අතරෙන් නැති කෙළෙමි .... මම නුඹ පොළොවට හෙළා, රජවරුන් විසින් නුඹ දකින පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි ..... නුඹ දකින සියල්ලගේ ඇස් ඉදිරියෙහි පොළොව පිට නුඹ අළු කෙළෙමි. නුඹ භීතියක් වී සිටින්නෙහිය. තවත් කවදාවත් නුඹ නොවන්නෙහිය.” (එසකියෙල් 28:6-8, 16-19)GrHSin 775.2

    “තවද කෝලාහලයට පැමිණෙන යුද්ධකාරයාගේ සියලු යුද්ධ වාහනද ලෙයෙහි පෙඟූ වස්ත්‍රද ගින්නෙහි දැවීමට දර පිණිස වන්නේය.” “මක්නිසාද ස්වාමින්වහන්සේ සෑම ජාතීන් කෙරෙහි උදහසද ඔවුන්ගේ සියලු සේනාවල් කෙරෙහි කෝපයද ඇතුව සිටින සේක. උන්වහන්සේ ඔවුන් විනාශයට කැපකොට මැරුම්කෑමට භාරදී තිබේ.” (යෙසායා 9:5; 34:2) “දුෂ්ටයන් පිට උන්වහන්සේ මළපත් වන සේක; ගිනිද ගෙන්දගම්ද දවන සුළඟද ඔවුන්ගේ කුසලානට බෙදෙන කොටස වන්නේය.” (ගීතාවලිය 11:6) ස්වර්ගයේ සිට දෙවියන් වහන්සේ වෙතින් ගින්දර එනවා ඈත. පොළොව කැඩී බිඳී තිබේ. එහි ගැඹුරෙහි සඟවා තිබෙන ආයුධ පිටතට ගනු ලබනවා ඇත. සෑම විවෘත ස්ථානයකින්ම විනාශදායක ගිනි දළු එනවා ඇත. පර්වත ගිනි ගෙන තිබේ. “මක්නිසාද උඳුනක් මෙන් ඇවිලෙන දවස පැමිණෙන්නේය” “මහා භූතයෝද තද ඌෂ්ණයෙන් නාස්තිවී යන්නෝය. පොළොවද එහි තිබෙන කර්මාන්තය ද දාලා යන්නේය .” (මලාකි 4:1; 2 පේතෘස් 3:10) පොළොවේ මතු පිට තලය ගින්නෙන් දියවී විශාල ගිනි විලක් වෙනවා ඇත. එය අභක්තික මනුෂ්‍යයන් විනිශ්චය කර ඔවුන් විනාශ කරන දවස වෙනවා ඇත. “මක්නිසාද මේක ස්වාමින්වහන්සේගේ පළිගන්න දවසය, සියොන්හි පැමිණිල්ල ගැන විපාක දෙන අවුරුද්දය.” (යෙසායා 34:8)GrHSin 775.3

    දුෂ්ටයන්ට මේ පොළොව මත ඔවුන්ගේ විපාකය ලැබෙයි. ඔව්හු ඉපනැලි මෙන් වන්නෝය.’ “උඳුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය.” (මලාකි 4:1) සමහර අය මොහොතකින් විනාශ වෙති. ඒ අතර වෙනත් අය දවස් කිහිපයක් පීඩා විඳිති. සියලු දෙනාම ඔවුන්ගේ ක්‍රියාවන් අනුව දඩුවම් කරනු ලබන්නෝය. ධර්මිෂ්ඨයන්ගේ පාප සාතන් පිටට පවරනු ලබන බැවින් ඔහු දුක් විඳිය යුතු වන්නේ ඔහුගේම කැරළි ගැසීම නිසා පමණක් නොවේ. දෙවියන්වහන්සේගේ සෙනඟ ලවා ඔහු කරවන්ට යෙදුණාවූ පාප ගැනද ඔහුට දුක් විඳීමට සිදුවෙනවා ඇත. ඔහුට ලැබෙන දඬුවම ඔහු විසින් රවටන්නට යෙදුණාවූ අයට ලැබෙන දඬුවමට වඩා බොහෝ විශාල වෙනවා ඇත. ඔහුගේ රැවටීම්වලට අසුවූ සියලු දෙනාම විනාශ වූවාට පසුව ඔහු තවදුරටත් ජීවත්ව දුක් විඳිනවා ඇත. දුෂ්ටයෝ ඒ පවිත්‍ර කරන ගිනි දැල් වලින් සම්පූර්ණ ලෙස විනාශ කරනු ලබන්නේ මුලක්වත් අත්තක්වත් ඉතිරි නොවන පිණිසය. සාතන් මුලය, ඔහුගේ අනුගාමිකයෝ අතුය. ව්‍යවස්ථාව කඩ කිරීමේ සම්පූර්ණ දඬුවම දෙනු ලබනවා ඇත. සාධාරණත්වයේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරනු ලැබේ. ස්වර්ගයත් පොළොවත් දෙස බලන අය යෙහෝවඃවහන්සේ ධර්මිෂ්ඨ බව පවසති.GrHSin 776.1

    සාතන්ගේ විනාශකාරී වැඩ සදහටම හමාරය. වසර හය දහසක් මුළුල්ලේ ඔහු තමාගේ කැමැත්ත කරමින් ලෝකය කණගාටුවෙන් පුරවමින් විශ්වය මුළුල්ලේ ශෝකය ඇතිකර තිබේ. මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳිමින් සිටියි.’ දැන් දෙවියන්වහන්සේගේ මැවිල්ල ඔහුගේ පැවැත්මෙන් හා ඔහුගේ පරික්ෂාවලින් සදහටම මුදනු ලබයි. “මුළු පොළොව නිස්කලංකව නිශ්චලව තිබේ. (ධර්මිෂ්ඨ) මනුෂ්‍යයෝ ගී කියමින් මොර ගසති.” (යෙසායා 14:7) මුළු පක්ෂපාත විශ්වයෙන්ම ප්‍රශංසාවේ හා ජයග්‍රහණයේ ශබ්දයක් ඔසවනු ලැබේ. “මහත් සමූහයකගේ හඬ මෙන්ද බොහෝ ජල ඝෝෂාවක් මෙන්ද ” එන ශබ්දය මෙසේ කියනවා ඇත: හලෙලූයා, සර්වබලධාරී ස්වාමිවූ දෙවියන් වහන්සේ රජකම් කරන සේක,’GrHSin 776.2

    ලෝකය විනාශ කිරීමේ ගින්නෙන් ඔතනු ලැබූ විට ධර්මිෂ්ඨයෝ ශුද්ධවූ නුවර සුරක්ෂිතව සිටියහ. පළමුවෙනි නැවත නැගිටීමට පංගුකාරකම් ලැබූ අය මත දෙවෙනි මරණයට බලයක් නැත. (එළිදරව්. 20:6) උන්වහන්සේ දුෂ්ටයන්ට විනාශ කරන ගින්නක් වන අතර තමන් වහන්සේගේ සෙනඟට සූර්යයෙක්ය, පළිහක්’ ය. (ගීතාවලිය 84:11).GrHSin 777.1

    “අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය.” (එළිදරව් 21:1) දුෂ්ටයන් විනාශ කරන ගින්න මගින් මේ පොළොව පවිත්‍ර කරනු ලැබේ. ශාපයේ සෑම සලකුණක්ම ඉවත් කරනු ලැබේ. සදාකල් ඇවිලෙන ගින්නක් පාපයේ භයානක ප්‍රතිඵල දක්වමින් මිදීම ලැබූවන් ඉදිරියෙහි පවතින්නේ නැත.GrHSin 777.2

    එහෙත් එක සිහිවටනයක් පමණක් පවතිනවා ඇත. අපගේ මිදුම්කාරයාණන්වහන්සේ උන්වහන්සේ කුරුසිපත් කරනු ලැබීමේ සලකුණු දරනවා ඇත. තුවාල කරන ලද උන්වහන්සේගේ හිස මතුද, උන්වහන්සේගේ ඇලයේද, අත් හා කකුලවලද පමණක්ම පාපයෙන් සිදුවි තිබෙන කෲර වැඩවල සලකුණු පවතිනවා ඇත. ක්‍රිස්තුස්වහන්සේගේ තේජසින් උන්වහන්සේව දර්ශනය කරමින් අනාගතවක්තෘ මෙසේ කියයි: “උන්වහන්සේගේ හස්තයෙන් රශ්මි නික්මුණේ ය. උන්වහන්සේගේ පරාක්‍රමයද එහි සැඟවී තිබුණේය.” (හබක්කුක් 3:4) අනින ලද උන්වහන්සේගේ ඇලයෙන් ගලාගෙන ආවාවූ රතු ගංගාවක් මගින් මනුෂ්‍යයා දෙවියන්වහන්සේට සමගි කරනු ලැබුවේය. එය ගැළවුම්කාරයාණන්වහන්සේගේ තේජස විය. උන්වහන්සේගේ පරාක්‍රමය එහි සැඟවී තිබුණේය. උන්වහන්සේ ගැළවීම ලබාදීමට බලසම්පන්නය. මිදීමේ පූජාව මගින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දයාව එපා කළ අයට යුක්ති සහගත ලෙස ක්‍රියාකිරීමට බලවත් වූ සේක. උන්වහන්සේගේ නින්දාවේ සලකුණු මගින් උන්වහන්සේට ඉමහත් ගෞරවයක් තිබේ. සදාකාලය මුළුල්ලේම, කල්වරියේදී ඇති වූ තුවාල උන්වහන්සේගේ ප්‍රශංසාව දක්වමින් උන්වහන්සේගේ බලය ප්‍රකාශ කරනවා ඇත.GrHSin 777.3

    “එම්බා රැළේ කොත, සියොන් දුවගේ හෙල, නුඹ වෙතට පළමු ආණ්ඩුව එන්නේය.” (මිකා 4:8) ඒ පළමු යුවල ඒදන් උයනට ඇතුල්වීම ගිනිමය කඩුව මගින් වලක්වනු ලැබූදා සිටම ශුද්ධ වූ මනුෂ්‍යයන් මහත් ආශාවෙන් බලා සිටි කාලය පැමිණ තිබේ. එය මුදනු ලැබූවන් උදෙසා මිලදී ගන්නා ලද අයිතියය. පටන්ගැන්මේදී ලෝකය මනුෂ්‍යයාට දෙනු ලැබුවේ ඔහුගේ රාජ්‍යය හැටියටය. ඔහු එය සාතන්ගේ අත්වලට පාවා දුන්නේය. මෙපමණ කාලයක් මේ මහා සතුරා විසින් අයිති කරගත් මේ රාජ්‍යය දැන් මිදීමේ මහා සැකසුම මගින් ආපසු ලැබී තිබේ. පාපය මගින් නැති වූ සියල්ල නැවත ලැබී තිබේ. “ස්වර්ගයන් මැවුවාවූ පොළොව මවා සාදා එය පිහිටෙවුවාවූ” ස්වාමින්වහන්සේ “එය හිස්කමට නොමවා වාසය පිණිස” සෑදු බව කියනසේක (යෙසායා 45:18). ලෝකය මිදීම ලැබුවන්ගේ සදාකාල වාසස්ථානය වන අතර ලෝකය මැවීමේදී උන්වහන්සේට තිබුණාවූ පරමාර්ථය සම්පූර්ණ වෙයි. “ධර්මිෂ්ඨයෝ දේශය උරුම කරගන්නෝය, එහි සදාකල් වාසය කරන්නේය.” (ගීතාවලිය 37:29)GrHSin 778.1

    අනාගත උරුමය ඉතා භෞතික දෙයක් හැටියට සලකනු ලැබීම ගැන බියෙන් බොහෝ අය, එය තමාගේ නිවස වන්නට යන බව දක්වන ප්‍රත්‍යයන්ට ආත්මික අදහසක් දීමට යොමු වෙති. ක්‍රිස්තුස්වහන්සේ තමන් වහන්සේගේ ගෝලයන්ට කථා කරමින් පියාණන්වහන්සේගේ ගෘහයෙහි ඔවුන් උදෙසා අලංකාර වාසස්ථාන සුදානම් කරන පිණීස තමා පිටත්ව යන බව ඔවුන්ට කියා දුන්සේක. දෙවියන්වහන්සේගේ වචනයේ ඇත්තාවූ ඉගැන්වීම් පිළිගන්නා වූ අය ඒ ස්වර්ගීය වාසස්ථාන ගැන සම්පුර්ණ නොදැනුවත්කමින් සිටින්නේ නැත. එසේ වුවද, “දෙවියන්වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය; කනට නොඇසුණේය, මනුෂ්‍යයාගේ සිතට නොපැමිණෙන්නේය.” (1 කොරින්ති 2:9) ධර්මිෂ්ඨයන්ට ලැබෙන්ට යන විපාකය විස්තර කිරීමට මනුෂ්‍ය භාෂාව ප්‍රමාණවත් නොවේ. එය දැනගත හැක්කේ එය දකින අයට පමණය. කිසි මානුෂික මනසකට දෙවියන්වහන්සේගේ පාරාදීසයේ තේජස වටහාගැනීමට නුපුළුවන.GrHSin 778.2

    බයිබලයෙහි, ගැළවීම ලබන්නන්ට ලැබෙන උරුමය රටක්’ යන නමින් හඳුන්වා තිබේ. (හෙබ්‍රෙව් 11:14-16) එහිදී ස්වර්ගීය එඩේරාණෝ තමන්වහන්සේ ගේ රැළ ජීවනදායක වතුර ඇති උල්පත් වෙතට ගෙනයන සේක. ජීවනදායක වෘක්ෂය සෑම මාසයේම ඵල දෙනවා ඇත. ඒ ගහේ කොළ ජාතීන්ගේ සේවය උදෙසාය. පළිඟු මෙන් පැහැදිලි ගංගාවෝ සෑමවිටම ගලති. ඒවා අසල තිබෙන්නා වූ ගස්වල සෙවනැලි ස්වාමින්වහන්සේගේ මිදිම ලැබුවන් උදෙසා සුදානම් කරන ලද මාවතට වැටෙයි. එහි ඇත්තාවූ පුඵල් මිටියාවත් අලංකාර කඳු බවට විහිදී යයි. දෙවියන්වහන්සේගේ කඳු ඒවායේ උසස් ශිඛරයන් දක්වති. ඒ සාමකාමී මිටියාවත්වල, ඒ ජීවමාන දිය දහරාවන් අසල, මෙපමණ කාලයක් වන්දනාකාරයන් හා මුළාව යන්නන් වූ දෙවියන්වහන්සේගේ සෙනඟට නිවෙසක් ලැබෙනවා ඇත.GrHSin 778.3

    “මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.” “නුඹ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය. නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාවය කියාද නුඹ කියන්නෙහිය.” (යෙසායා 32:18; 60:18). “ඔහු ගෙවල් ගොඩනගාගන එහි වාසය කරන්නෝය. මිදිවතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසය කරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. .... මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.” (යෙසායා 65:21,22)GrHSin 779.1

    එහිදී “වනාන්තරයද වියළි දේශයද ප්‍රීති වන්නේය. කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේය.’ “කටුගස වෙනුවට දේවදාර ගසද තිබොල් ගස වෙනුවට මරඳ ගසද අටගන්නේය.” (යෙසායා 35:1; 55:13). “වෘකයා බැටළු පැටවා සමග වාසය කරන්නේය. දිවියාද එළු පැටවා සමග ලගින්නේය. .... කුඩා දරුවෙක් උන් ගෙන යන්නේය .... මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය” යි ස්වාමින්වහන්සේ කියන සේක. (යෙසායා 11:6,9) GrHSin 779.2

    ස්වර්ගීය පරිසරයෙහි වේදනාවක් පවතින්ට නුපුළුවන. එහි කඳුළු හෝ භූමදානය සඳහා යන කාණ්ඩ හෝ වැලපීමේ සලකුණු හෝ පවතින්නේ නැත. “මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඩීමත් වේදනාවක් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහය ගියේය.” (එළිදරව් 21:4) “තමා ලෙඩින් යයි කිසිම වැසියෙක් නොකියන්නේය. එහි වාසය කරන සෙනඟගේ අයුතුකම කමා කරනු ලබන්නේය.” (යෙසාය 33:24)GrHSin 779.3

    තේජාන්විත කරනු ලබන අලුත් ලෝකයේ ප්‍රධාන නගරය වන අලුත් යෙරුසලම එහි තිබෙනවා ඇත. “නුඹ ස්වාමින්වහන්සේගේ අතෙහි අලංකාර ඔටුන්නද නුඹේ දෙවියන්වහන්සේගේ අතෙහි රාජ කිරීටයක්ද වන්නෙහිය.” (යෙසායා 62:3) ” ඇගේ ආලෝකය ඉතා අනර්ඝ වූ මාණික්‍යයකට සමානය; එනම් පළිඟු මෙන් පැහැදිලි වූ සූර්යකාන්ති ගලක් වාගේය.” (එළිදරව් 21:11) “ජාතීහු එහි එළියෙහි ඇවිදිති. පොළොවේ රජවරු තමුන්ගේ තේජස ඊට ගෙනෙති.” (එළිදරව් 21:24) මම යෙරුසලම කෙරේ ප්‍රීතිමත්ව. මාගේ සෙනඟ කෙරේ ප්‍රීතිවන්නෙමි” (යෙසායා 65:19) “තවද: මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමගය, උන්වහන්සේ ඔවුන් සමග වාසය කරන සේක, ඔහු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය. දෙවියන්වහන්සේ ඔවුන් සමග සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක.” (එළිදරව් 21:3)GrHSin 779.4

    දෙවියන්වහන්සේගේ ඒ නගරයේ රාත්‍රියක් තවත් නොවන්නේය. කිසිවෙක් විවේක ගැනීමට ආශා වන්නේත් කිසිවෙකුට විවේකය උවමනා කරන්නේ වත් නැත. දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරන අතර කිසිවෙක් විඩාවට පත්වන්නේ නැත. අප සෑම විටම අලුයම් කාලයේ නවතම භාවය ඇතිව සිටිමින් ඒ ස්වභාවයේ අවසානයට නොපැමිණෙනවා ඈත. එහිදී “පහන් ආලෝකයවත් සූර්යාලෝකයවත් ඔවුන්ට ඕනෑ නැත; මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට ආලෝකය දෙන සේක.’‘ (එළිදරව් 22:5) වේදනාත්මක ස්වභාවයකින් තොරව බබළන සුර්යයාගේ ආලෝකයට වඩා දීප්තිමත් වෙනවා ඇත. ඒ ආලෝකය අපගේ දවල් කාලයේ ආලෝකයට වඩා බොහෝසේ දීප්තිමත් වෙනවා ඇත. දෙවියන්වහන්සේගේද බැටළු පැටවාණන්ගේද තේජස, නිවී නොයන ආලෝකයකින් ශුද්ධ වූ නගරය පුරවනවා ඇත. මිදීම ලැබූ අය සුර්යයා නොමැති නිරන්තර දිවා කාලයෙහි ඇවිදිනවා ඇත.GrHSin 780.1

    “මම එහි දේව මාළිගාවක් නුදුටිමි. මක්නිසාද සර්ව පරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේද බැටළු පැටවාණෝද එහි දේව මාළිගාවය.” (එළිදරව් 21:22) දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන්ට පියාණන්වහන්සේද පුත්‍රයාණන්වහන්සේද සමග විවෘත සබඳතාවයක් පවත්වා ගැනීමේ වරප්‍රසාදය ලැබේ. “දැන් අපට කැඩපතකින් අඳුරු ලෙස පෙනෙන්නේය.” (1 කොරින්ති 13:12) අපි සොබා දහමේ ක්‍රියාවන් තුළින්ද මනුෂ්‍යයන් පිළිබඳව උන්වහන්සේ ක්‍රියාකරන අන්දමින්ද දෙවියන්වහන්සේගේ ස්වරූපය පිළිබිඹු කරනු ලබනවා දකිමු. නමුත් එහිදී අපි උන්වහන්සේ මුහුණට මුහුණලා දකිනෙමු. උන්වහන්සේද අපද අතර ආලෝකය අඩු කරන නිරයක් නොපවතිනවා ඇත. අප උන්වහන්සේ ඉදිරිපිට සිට ගෙන උන්වහන්සේගේ මුහුණේ තේජස දකින්නෙමු.GrHSin 780.2

    එහිදී මිදීම ලැබූ අය ඔවුන්ගේ නියම තත්ත්වයෙන් දැනගනු ලබනවා ඈත. දෙවියන්වහන්සේ මනුෂ්‍ය ආත්මයන් තුළ පැළ කර ඇත්තාවූ ප්‍රේමය හා සානුකම්පාව එහිදී ඉතා සත්‍යවාදී ලෙසද සුමිහිරි ලෙසද ක්‍රියාත්මක වෙනවා ඇත; ශුද්ධ වූ අයවලුන් සමග පවිත්‍ර සබඳතාවයක් පැවැත්වීමටද පුළුවන; ශුද්ධ වූ දූතයන් සමගද, සියලු කාලවලදී විශ්වාසවන්තව සිටියාවූ අය සමගද සමාජ ජීවිත ගතකිරීමටද එහිදී පුළුවන. ඔහු තමාගේ වස්ත්‍ර සෝදා ගෙන බැටළු පැටවාණන්ගේ ලේ වලින් ඒවා සුදු කරගෙන තිබේ. “ස්වර්ගයේ හා පොළොවේ මුළු පවුලම” ශුද්ධ වූ බැමිවලින් එකට බඳිනු ලැබ සිටිති. මේ දේවල් ගැළවීම ලැබූ අයට ප්‍රීතිය ලබාදෙනවා ඇත.GrHSin 780.3

    ඔවුන්ගේ අමරණීය කල්පනාව, කිසිවිටෙක නැති නොවන ප්‍රීතියකින් මිදීමේ අභිරහස් ගැනද මැවීමේ පුදුමාකාර බලය ගැනද කල්පනා කරනවා ඇත. දෙවියන්වහන්සේ අමතක කිරීමට පරික්ෂාවක් ගෙන එන්නාවූ කෲර රැවටිලිකාර සතුරෙක් එහි නොසිටිනවා ඇත. සියලු අංගයන් දියුණු වී තිබෙනවා ඇත. සියලු හැකියාවන් වර්ධනය වී. තිබෙනවා ඇත. දැනගැන්ම ලබාගැනීමෙන් මනස විඩාවට පත්වන්නේ හෝ ශක්තිය නිමවන්නේ නැත. එහිදී ඉතාම උසස් ව්‍යාපාරයන් ඉදිරියට ගෙනයනු ලබන්නට පුළුවන, ඉතාම උතුම් ආශාවන් සම්පුර්ණ කරගැනීමට පුළුවන, ඉතාම උසස් එල්ලයන් කෙරේ ළඟාවීමට පුළුවන. ඊට පසුවද අලුත් උස් බිම් අප ඉදිරිපිට තිබෙනවා ඇත, අගය කළ හැකි පුදුමාකාර දේවල් තිබෙනවා ඇත. වටහාගත යුතු අලුත් සත්‍යයන් තිබෙනවා ඇත, මනසේ ආත්මයේ හා ශරීරයේ බලයෙන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන්නා වූ අලුත් දේවල් ද තිබෙනවා ඇත.GrHSin 781.1

    දෙවියන්වහන්සේගේ මිදීම ලැබු සෙනඟගේ ඉගෙනීම සඳහා විශ්වයේ සියලු සම්පත්ති විවෘත කරනු ලබනවා ඇත. මරණීයත්වයේ බැමිවලින් සීමා නොකරනු ලබන ඒ අය විඩාපත් නොවන පියාසර කිරීමෙන් දුර තිබෙන ලෝකයන් කරා ගමන් කරනවා ඇත. ඒ ලෝකවල අය මනුෂ්‍ය ශෝකයන් දැකීමෙන් කණගාටුවට පත්වූ අතර ගැළවීම ලැබූ එක මනුෂ්‍යයෙකු ගැන පවා ප්‍රීති ගීතවලින් පිරී ගියහ. පැවසිය නොහැකි ප්‍රීතියෙන් යුක්තව මේ ලෝකයේ මනුෂ්‍යයන්, පාපයට නොවැටුණා වූ අයවලුන්ගේ ප්‍රීතියට හා ප්‍රඥාවට ඇතුල් වෙනවා ඇත. දෙවියන්වහන්සේගේ හස්ත කර්මාන්තයන් ගැන මෙනෙහි කිරීමෙන් ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔවුන්ට ලැබුණා වූ වැටහීම හා දැනගැන්ම ඔහු මේ අයවලුන් සමග බෙදා ගනිති. අඩුවී නොයන දැකීමේ හැකියාවෙන් ඔහු මැවීමේ තේජස දෙස බලති. ඉර, තාරකා හා ඒවායේ පද්ධති සියල්ලම ඒවාට නියමිත ආකාරයෙන් දිව්‍ය සිංහාසනය වටා කරකැවෙති. ඉතා කුඩා දේවල පටන් ලොකු දේවල් දක්වා සියලු දේවල් මත මැවුම්කාරයාණන්වහන්සේගේ නාමය ලියා තිබේ. ඒ සියල්ලෙන් උන්වහන්සේගේ බලයේ සම්පත් ප්‍රකාශ කර තිබේ.GrHSin 781.2

    සදාකාලයේ අවුරුදු ගතකරන අතර දෙවියන්වහන්සේ ගැනද ක්‍රිස්තුස්වහන්සේ ගැනද වඩාත් තේජාන්විත ප්‍රකාශන ඉදිරිපත් කරනු ලබනවා ඇත. දැනගැන්ම දියුණු වන්නා සේම, ප්‍රේමය ගරුත්වය හා ප්‍රීතියද වර්ධනය වෙනවා ඇත. මනුෂ්‍යයන් දෙවියන්වහන්සේ ගැන ඉගෙන ගන්නා තරමට ඔවුන් උන්වහන්සේගේ චරිතය වැඩි වැඩියෙන් අගය කරනවා ඇත. යේසුස්වහන්සේ මිදීමේ සම්පත්තියද, සාතන් සමග පැවති අරගලයේදී ලබාගන්නා ලද පුදුමාකාර දේවල්ද මනුෂ්‍යයන්ට විවෘත කරනවා ඇත. එවිට මිදීම ලැබුවන්ගේ හදවත් වඩාත් උනන්දු කැපවීමකින් ප්‍රමෝදමත් වී ඔවුන්ගේ රන් වීණාවන් වාදනය කරනවා ඇත. දස දහස් වර දස දහස් දෙනාද, දහස් වර දහස් දෙනාද ප්‍රශංසා ගීතයකින් ඔවුන්ගේ කටහඬවල් එක් කරති.GrHSin 782.1

    “තවද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළොවෙන් යට සහ මුහුද පිටත් ඇත්තා වූ සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ සිංහාසනයෙහි වැඩඉන්න තැනැන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ප්‍රශංසාවද ගෞරවයද මහිමයද පරාක්‍රමයද සදාකාලේටම වේවයි කියනවා ඇසීමි.” (එළිදරව් 5:13)GrHSin 782.2

    මහා අරගලය අවසානය. පාපය හා පව්කාරයන් තවත් නොමැත. මුළු විශ්වයම පවිත්‍රය. ඒකත්වයේ හා ප්‍රීතියේ එකම ස්ඵන්දනයක් මේ විශාල මැවිල්ල තුළ පවතියි. සියලු දේවල් මැවූ තැනැන්වහන්සේ කෙරෙන් අසීමිත මුළු රාජ්‍යයටම ජීවිතය, ආලෝකය හා ප්‍රීතිය ගලා එයි. ඉතාම කුඩා අංශුවේ පටන් ඉතාම විශාල ලෝකය දක්වා පවතින, පණ ඇති පණ නැති සියලු දේවල්, කිසි සෙවනැල්ලකින් ආවරණය කරනු නොලබන අලංකාරයෙන් හා සම්පුර්ණ ප්‍රීතියෙන් යුක්තව පවසන්නේ දෙවියන්වහන්සේ ප්‍රේමය බවය.GrHSin 782.3

    Larger font
    Smaller font
    Copy
    Print
    Contents