Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    41 - පොළොව පාළු වී පවතියි

    “ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය. දෙවියන්වහන්සේද ඇගේ අපරාධ සිහිකළ සේක. ඈ දුන් ලෙස ඈට ප්‍රතිඵල දී, ඇගේ ක්‍රියා හැටියට දෙගුණයක් ඈට දෙන්න. ඈ මිශ්‍ර කර දුන් කුසලානෙහි දෙපංගුවක් මිශ්‍ර කර ඈට දෙන්න, ඈ යම් පමණක් තමාම වර්ණනා කරගනිමින් සැප ජීවිකාවෙන් වැඩිවූවාද, එපමණටම ඈට ශෝකය හා වධ දෙන්න. මක්නිසාද: මම බිසවක්ව වැඩ හිඳිමි, මම වැන්දඹුවක් නොවෙමි. ශෝකයද කිසිසේත් නොදකිමියි ඈ සිතින් කියා ගන්නීය. එබැවින් මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේ පැමිණෙන්නේය. ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය. මක්නිසාද ඈ විනිශ්චය කළ ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවත් සිටින සේක. ඈ සමග වේශ්‍යාකම් කොට සැපජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඇගේ දැවීමේ දුම දකින කළ, ඇගේ වේදනාවට භයින් දුරින් සිට; අහෝ, අහෝ, මහත් නුවර, බබිලෝනිය, බලවත් නුවර! එක පැයකින් නුඹේ විනිශ්චය පැමිණුණේය කියමින් ඈ ගැන අඬා විලාප කියති.” (එළිදරව් 18:5-10)GrHSin 754.1

    “ඇගේ සැප ජීවිකාවේ අධිකකමෙන් ධනවත්වූ ” “බඩු වෙළෙන්දෝ ඈ විඳින වධයට භයව, අඬමින් වැලපෙමින්, දුරින් සිට අහෝ, අහෝ, මහත් නුවර, සිහින් රෙදිද රත් නිල් සහ රක්ත වස්ත්‍රද පැළඳ රනින්ද අනර්ඝ මැණික් හා මුතුවලින්ද සැරසුණාවූ නුවර! එක පැයකින් එපමණ මහත් ධනය නැතිවී ගියේ යයි කියති.” (එළිදරව් 18:3, 15-17 )GrHSin 754.2

    දෙවියන්වහන්සේගේ උදහස වගුරුවනු ලබන දවසේදී බබිලෝනිය මන මෙබඳු විනිශ්චයක් පමුණුවනු ලබනවා ඇත. ඇගේ අධර්මිෂ්ඨකමේ කුසලාන පුරවනු ලැබ තිබේ. ඇගේ කාලය පැමිණ තිබේ. ඇය විනාශ කරනු ලැබීමට සුදුසුය.GrHSin 754.3

    ජීවිතයේ මහා අරගලයේදී සමහර අයට සියල්ල නැති වී තිබෙන අතර දෙවියන්වහන්සේගේ කටහඬ උන්වහන්සේගේ සෙනඟගේ වහල්කම ඉවත් කරන විට මෙසේ සියල්ල නැතිවූ සෙනඟ අතර මහත් පිබිදීමක් ඇතිවන්නේය. සෝදිසි කිරීමේ කාලය පැවති විට ඔව්හු සාතන්ගේ රැවටීම් වලින් අන්ධ වී තමන්ගේ පාපතර ක්‍රියා පිළිවෙල යුක්ති සහගත යයි පැවසූහ. පොහොසත් අය තමා අඩු සම්පත්ති ඇති අයට වඩා උසස් යයි කියමින් ආඩම්බර වූහ. නමුත් ඔවුන් තමාගේ සම්පත්ති ලබාගත්තේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් කඩ කරමිනි. ඔවුහු සාගින්නට පත්වූවන්ට ආහාර දීමද, නිර්වස්ත්‍ර වූවන්ට ඇඳුම් දීමද යුක්ති සහගත ලෙස ක්‍රියාකිරීමද දයාවට ප්‍රේම කිරීමද අතපසු කළහ. ඔව්හු තමාවම උසස් කරගැනීමට ද සහකාර මනුෂ්‍යයන්ගේ ගෞරවය ලබාගැනීමටද ආශා වූහ. දැන් ඔවුන්ට උසස්භාවය ලබාදුන් සියල්ල ඔවුන්ගෙන් ඉවත්වී තිබේ. දැන් ඔව්හු අසරණව ආරක්ෂා රහිතව සිටිති. තම මැවුම්කාරයාණන්ට වැඩියෙන් උසස් කොට ඔවුන් සැලකු රූප දැන් විනාශ වී තීබීම දෙස ඔව්හු බයාදුකමින් යුක්තව බලති. ලෞකික වස්තුව හා විනෝදයන් සඳහා ඔවුන් තමාගේ ආත්ම විකුණා තිබේ. නමුත් දෙවියන්වහන්සේ තුළ පොහොසත් වීමට ඔවුන් උත්සාහ කර නොමැත. එහි ප්‍රතිඵලය නම් ඔවුන්ගේ ජීවිත අසාර්ථක වීමය. දැන් ඔවුන්ගේ විනෝදයන් තිත්තකම බවට පත්වී තිබේ. ඔවුන්ගේ වස්තුව නරක් වී තිබේ. ජීවිත කාලයක් මුළුල්ලේ ලබාගත් සම්පත්ති මොහොතකින් අතු ගෑවී යයි. ධනවත් අය තමන්ගේ අලංකාර නිවෙස් විනාශ වීම ගැනද, තමාගේ රන් රීදී විසිරී යාම ගැනද වැලපෙති. නමුත් තමාද තමාගේ රූප සමග විනාශ වී යනවා ඇත යන අදහසේ බියෙන් ඔවුන්ගේ වැලපීම නිශ්චල වෙයි.GrHSin 754.4

    දුෂ්ටයන් කණගාටුවට පත්වන්නේ ඔවුන් පාපිෂ්ඨ ලෙස දෙවියන් වහන්සේද තමාගේ සහකාර මනුෂ්‍යයද නොතකා හැරිය නිසා නොවේ. ඔවුන් වැලපෙන්නේ දෙවියන්වහන්සේ ජයග්‍රාහක වූ නිසාය, ඔවුන්ට ඇති වූ ප්‍රතිඵල ගැනය. ඔවුන් තමාගේ දුෂ්ට ක්‍රියාවන් ගැන පසුතැවිලි වන්නේ නැත. තමාට ජයග්‍රාහක වීමට පුළුවන් නම් ඒ සඳහා තමාට හැකි සියල්ල කිරීමට ඔවුන් සූදානම්ය.GrHSin 755.1

    ලෝකයා දකින්නේ තමා නිග්‍රහ කරමින් සරදම් කරමින් විනාශ කිරීමට කැමති වූ අය වසංගත, කුණාටු හා භූමි කම්පා ඇති වූ විට පවා හිංසාවට පත්නොවූ බවය. ව්‍යවස්ථාව කඩ කරන්නා වූ අයට විනාශ කරන ගින්නක් වන්නා වූ තැනැන්වහන්සේ තමන්වහන්සේගේ සෙනඟට ආරක්ෂිත බලකොටුවක් වනසේක.GrHSin 755.2

    මනුෂ්‍යයන්ගේ කරුණාව දිනාගන්නා පිණිස සත්‍යයට අවිශ්වාසවන්ත වූ පූජකයාට දැන් පෙනී යන්නේ ඔහුගේ ඉගැන්වීම්වල ස්වභාවය හා ඒවායේ අනුබලය කොයි ආකාරද යන්නය. ඔහු තම මේසය ඉදිරිපිට සිටි විටද, මාවත දිගේ ගමන්ගත් විටද, ජීවිතයේ අනේක තරාතිරම්වල මනුෂ්‍යයන් සමග ගැවසුණ අතරද සර්වබලධාරී ඇසක් තමා පසුපසින් පැමිණි බවක් ඔහුට දැන් පෙනී යයි. ඔහුගේ ආත්මයේ සෑම හැඟීමක්ද, ඔහු ලියූ සෑම පේළික්ද, පැවසූ සෑම වචනයක්ද, බොරුකාර රැකවරණයක් තුළ විවේක ගැනීමට මනුෂ්‍යයන්ට මගපෙන්වූ සෑම ක්‍රියාවක්ද බීජ වපුරන්නට යෙදුණ බව ඔහුට දැන් පෙනී යයි. දැන්; ඔහු අවට විනාශ වී සිටින ආත්මයන් තුළින් ඔහුට එහි අස්වැන්න දර්ශනය කිරීමට පුළුවන.GrHSin 755.3

    ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක. “සමාදානය නැතුවී තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ දියණිය වන සෙනඟගේ තුවාලය ඔව්හු මඳක් සුවකර තිබේ.” (යෙරෙමියා 8:11) “මා විසින් ධර්මිෂ්ඨයාගේ සිතට කණගාටු නොකළ නුමුත් නුඹලා බොරුවෙන් එය ශෝක කළ නිසාද දුෂ්ටයා ජීවත්වෙන පිණිස ඔහු තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරෙන හැටියට නුඹලා ඔහුගේ අත් බලවත් කළ නිසාද නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නාහුය.” (එසකියෙල් 13:22)GrHSin 756.1

    “මාගේ ගොදුරු බිමේ බැටළුවන් නැති කරන්නාවූ විසුරුවා දමන්නාවූ එඩේරුන්ට දුක්වේ යයි ස්වාමින්වහන්සේ කියන සේක .... බලව නුඹලාගේ ක්‍රියාවල නපුරුකමට නුඹලාට දඬුවම් කරන්නෙමි.” (යෙරෙමියා 23:1,2) “එඩේරුනි, කෑ මොර ගසා හඬන්න. රැළේ ප්‍රධානියෙනි, අළුවල පෙරලී ඉඳින්න. මක්නිසාද මැරුම්කෑමට නුඹලාගේ දවස් සම්පූර්ණ වී තිබේ. .... එඬේරුන්ට පලායන්ටවත් රැළේ ප්‍රධානීන්ට ගැළවීයන්ටවත් නොලැබෙන්නේය.” (යෙරෙමියා 25:34,35)GrHSin 756.2

    තමා දෙවියන්වහන්සේ සමග සුදුසු සබඳතාවයක් පවත්වා නොගත් බව පූජකයන්ටද සෙනඟටද පෙනී යනවා ඇත. ධර්මිෂ්ඨකමේ හා සියලු සාධාරණත්වයේ ව්‍යවස්ථාවෙහි කර්තෘවරයාණන් වන තැනැන්වහන්සේට විරුද්ධව තමා කැරළි ගසා තිබෙන බව ඔවුන්ට පෙනී යයි. දිව්‍ය ප්‍රතිපත්ති ඉවත් කිරීම කරණ කොටගෙන නපුරේ, කෝලාහල කිරීමේ, වෛරයේ හා වැරදි කිරීමේ උල්පත් දහසක් විවෘත කරනු ලැබ තිබෙනවා ඇත. එමගින් ලෝකය දුසිරිතෙන් හා කැරළි ගැසීමෙන් පිරී ගිය භූමියක් බවට පත්වී තිබේ. සත්‍යය එපා කරමින් වැරදි දේවලට ඇලුම් වීමට තෝරා ගත් අයට මේ තත්ත්වය පෙනී යයි. තමාට සදාකාල ජීවනය සදහටම නැති වූ බව පෙනී යන විට අකීකරු වූ අපක්ෂපාත වූ අයවල් තුළ ඇතිවන හැඟීම් වචනවලින් කියා නිම කරන්ට නුපුළුවන. ඔවුන්ගේ කථාවෙහි දක්ෂතාවය නිසාද ඔවුන්ගේ හැකියාවන් නිසාද ලෝකයාගේ ගරු බුහුමන් ලැබූ අයට දැන් සැබෑ ආලෝකයකින් කාරණා පෙනී යයි. පාපය කරණකොටගෙන තමාට නැතිවූයේ කුමක්දැයි ඔවුහු වටහා ගනිති. මෙතෙක් ඔවුන් මේ අයගේ විශ්වාසවන්තකම එපා කරමින් එයට නිග්‍රහ කළ නමුත් දැන් ඔව්හු ඔවුන්ගේ පාමුල වැටෙමින් දෙවියන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බව කියා සිටිති.GrHSin 756.3

    තමා රවටනු ලැබූ බව මනුෂ්‍යයෝ ඒත්තු ගනිති. තමා විනාශය කරා යොමු කිරීම ගැන ඔව්හු ඔවුනොවුන්ට දොස් පවරති. නමුත් සියලු දෙනාම එක්සත්ව ඔවුන්ගේ ඉතාම තික්ත චෝදනා ඉදිරිපත් කරන්නේ පූජක පක්ෂයටය. අවිශ්වාසවන්ත පූජකවරු ප්‍රසන්න දේවල් ගැන අනාවැකි පැවසූහ. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව එපා කරමින් එය ශුද්ධ ලෙස පැවැත් වූ අයට පීඩා කිරීමට ඔව්හු තමාට සවන් දෙන්නාවූ අයට මගපෙන්වා තිබුණි. දැන් බලාපොරොත්තු කඩවීමට පත්වූ ඔහු තමාගේ රැවටිලිකාර ක්‍රියාවන් ගැන ලෝකයාට කියා දෙති. සමූහයා කෝපාකූල වෙති. “අපි නැතිවී සිටිමු. නුඹලා නිසා. අපට මේ විනාශය ඇතිවී තිබේයයි ඔහු කෑ ගසා කියමින් මේ බොරුකාර එඩේරුන් සමග කෝප වෙති. ඔවුන් ඉතාම වැඩියෙන් අගය කළ අයම ඔවුන් පිට ඉතාම තද ශාපයන් පවසති. වරක් ඔවුන්ට ගෞරවය දැක්වීමට ඔසවනු ලැබූ අත්ම දැන් ඔවුන් විනාශ කිරීමට ඔසවනු ලබති. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන් මරන පිණිස සූදානම් කරන ලද කඩු දැන් ඔවුන්ගේ සතුරන් විනාශ කිරීම සඳහා යොදවනු ලැබේ. සෑමතැනම පවතින්නේ දබරය හා ලේ වැගිරීමය.GrHSin 757.1

    “මහත් ශබ්දයක් පොළොවේ කෙළවර දක්වා පැමිණෙන්නේය. මක්නිසාද ස්වාමින්වහන්සේට ජාතීන් සමග නඩුවක් තිබේ. උන්වහන්සේ මාංසමය වූ සියල්ලන් සමග විනිශ්චයට පැමිණෙන සේක. දුෂ්ටයන් වනාහි කඩුවට පාවා දෙන සේකයි ස්වාමින්වහන්සේ කියන සේක.” (යෙරෙමියා 25:31). වසර හය දහසක් මුළුල්ලේ මේ අරගලය පැවතුණි , දෙවියන්වහන්සේගේ පුත්‍රයාද උන්වහන්සේගේ ස්වර්ගීය පණිවිඩකරුවෝද නපුරාගේ බලය සමග අරගලයක නියුක්තව, මනුෂ්‍යයන්ට අවවාද කරමින්, ඔවුන් ආලෝකමත් කරමින් ඔවුන් ගැළවීමට ක්‍රියාකර තිබේ. දැන් සියලු දෙනාම තීරණය ගෙන හමාරය. සාතන් දෙවියන්වහන්සේට විරුද්ධව කරන සටනේදී දුෂ්ටයෝ සම්පුර්ණයෙන්ම ඔහු හා එක්සත්වී සිටිති. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව එපා කර තිබෙන අතර, දැන් උන්වහන්සේ එහි බලය ප්‍රකාශ කළ යුතු කාලය පැමිණ තිබේ. දැන් අරගලය පවතින්නේ සාතන් සමග පමණක් නොව, මනුෂ්‍යයන්ද සමගය. “ස්වාමින්වහන්සේට ජාතීන් සමග නඩුවක් තිබේ.” උන්වහන්සේ දුෂ්ටයන් කඩුවට පාවා දෙන සේක.”GrHSin 757.2

    සිදුවෙන සියලු අපහාසයන් ගැන හඬා වැලපෙන්නා වූ සියල්ලන් මත මිදීමේ සලකුණක් තබනු තබනවා ඇත. දැන් මරණය පමුණුවන දේවදුතයා ඉදිරියට යයි. එසකියෙල්ගේ දර්ශනයෙහි ඔහුව පෙන්නුම් කරනු ලබන්නේ මරණායුධ අතේ ඇතිව යන්නාවූ මනුෂ්‍යයන්ගෙන්ය. ඔහුට දෙනු ලබන නියමය මෙසේය: “මාගේ ශුද්ධස්ථානයෙන් පටන්ගෙන මහල්ලන්ද, යෞවනයන්ද, කන්‍යාවන්ද, බාලයන්ද, ස්ත්‍රීන්ද මරා නාස්ති කර දමන්න. නමුත් ලකුණු ඇති කිසිවෙකුට ළං නොවන්න” යන්නය. අනාගතවක්තෘ මෙසේද කියා තිබේ: “එවිට ඔව්හු ගෘහය ඉදිරියෙහි සිටි වැඩිමහල් මනුෂ්‍යයන්ගෙන් පටන් ගත්තෝය.” (එසකියෙල් 9:6). විනාශ කිරීමේ වැඩය ආරම්භ කරනු ලබන්නේ තමා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයන්ගේ ආත්මික රැකවලුන් යයි කියා ගත්තාවූ මනුෂ්‍යයන්ගෙන්ය. බොරුකාර රැකවල්ලු පළමුවෙන්ම වැටෙනවා ඇත. ඔවුන් ගැන අනුකම්පා කරන්ට හෝ ඉතිරි කරනු ලබන්ට කිසිවෙක් නොමැත. ස්ත්‍රී පුරුෂයෝද, කාන්තාවෝද, දරුවෝද එකට මරණයට පත්වෙති.GrHSin 757.3

    “මක්නිසාද මෙන්න ස්වාමින්වහන්සේ පොළෝ වාසීන්ගේ අපරාධ ගැන ඔවුන්ට දඬුවම් කරන්ට තමන්ගේ ස්ථානයෙන් නික්ම එනසේක, පොළොවද එහි මැරුම්කෑවුන් තවත් වසා නොගෙන එහි වැගිරෙවූ ලේ ප්‍රකාශ කරනවා ඇත.” (යෙසායා 26:21) “යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවාවූ සියලුම ජනයන්ට ස්වාමින්වහන්සේ පමුණුවන්නාවූ පීඩාව මේය. ඔවුන් සිටගෙන සිටිද්දීම ඔවුන්ගේ මාංසය ක්ෂයවන්නේය, ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරුවලම ක්ෂයවන්නේය. ඔවුන්ගේ දිවද ඔවුන්ගේ කටේම ක්ෂයවන්නේය. ඒ කාලයෙහි මහත් වියවුල්කමක් ස්වාමින්වහන්සේගෙන් ඔවුන් අතරට පැමිණ, ඔවුන් එකිනෙකාගේ අත අල්ලනවා ඇත. එක්කෙනෙකුගේ අත තවත් කෙනෙකුගේ අතට විරුද්ධ වී ඔසවනවා ඇත.” (සෙකරියා 14:12, 13) ඔවුන්ගේම භයානක තෘෂ්ණාවන්ගේ අරගලයේදී, දෙවියන්වහන්සේගේ උදහස භයානක ලෙස, දයාව හා අමිශ්‍රව ඔවුන් පිට වගුරුවනු ලබන විට ලෝකයේ දුෂ්ට මනුෂ්‍යයන් විනාශ වෙනවා ඇත. පූජකයෝද, නායකයෝද, දුප්පත්, පොහොසත්, උසස් පහත් සියලු මනුෂ්‍යයෝද මේ ගණනට ඇතුළත්ය. “ස්වාමින්වහන්සේගෙන් මැරුම් කන අය ඒ දවසේ පොළොවේ එක් කෙළවරක පටන් පොළොවේ අනික් කෙළවර දක්වා වැටී ඉන්නෝය. ඔවුන් ගැන විලාප කියන්ටවත් ඔවුන් එකතු කරන්ටවත් වළලන්ටත් නොයෙදී ඔවුන් භූමිය මතුපිට කසල වෙනවා ඇත.” (යෙරෙමියා 25:33)GrHSin 758.1

    ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීමේදී දුෂ්ටයෝ පොළොවෙන් මකා දමනු ලබති. ඔව්හු උන්වහන්සේගේ මුඛය ආත්මයෙන්ද උන්වහන්සේගේ තේජසේ දීප්තියෙන් ද විනාශ කරනු ලබති. ක්‍රිස්තුස්වහන්සේ තමන්වහන්සේගේ සෙනඟව දෙවියන්වහන්සේගේ නගරයට ගෙන යනු සේක. පොළොව එහි ජනවාසීන්ගෙන් හිස්ව තිබෙනවා ඇත. “බලව ස්වාමින් - වහන්සේ පොළොව හිස් කොට පාළු කරනසේක. ඒක පෙරළා එහි වැසියන් විසුරුවා දමන සේක.” “පොළොව සහමුලින්ම හිස්කරනු ලැබ සහමුලින්ම කොල්ලයක් වන්නේ. මක්නිසාද ස්වාමින්වහන්සේ මේ වචන වදාළ සේක.” “පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ. මක්නිසාද ඔහු ව්‍යවස්ථාවන් කඩකොට, නියෝග වෙනස් කර සදාකාල ගිවිසුම කඩ කළෝය. එබැවින් ශාපයෙන් පොළොව නාස්ති වී එහි වැසියෝ වරදකාරයෝව සිටිති. .... පොළෝ වැසියෝ දවනු ලැබ සිටිති.” (යෙසායා 24:1,3,5,6)GrHSin 758.2

    මුළු පොළොවම පාළු වූ වනාන්තරයක පෙනුමක් දරයි. ගැළවී ගිය ගස් ද, භූමි කම්පාව මගින් විනාශ වූ නගර හා ගම් ද මුහුදෙන් විසිකරනු ලැබූ නැතහොත් පොළොවෙන්ම ඉරා දමනු ලැබූ රළු පර්වතද පොළොවේ මුහුණත මත දසත විසිරී පවතියි. කඳු ඒවායේ පර්වතවලින් ඉරාගනු ලැබූ ස්ථාන සලකුණු වන්නේ ඒ ස්ථානවල ඇතිවී තිබෙන ගුහාවල් වලින්ය.GrHSin 759.1

    දැන් සමගි කිරීමේ අවසාන දවසෙහි කරනු ලබන අවසාන ගාම්භීර සේවයෙන් දක්වනු ලැබූ සිද්ධිය ඉටු වෙයි. එදින, අති ශුද්ධ ස්ථානයේ සේවය සම්පූර්ණ කරනු ලැබූ විට, පාප පූජාවේ ලේ කරණකොටගෙන ඉශ්‍රායෙල්වරුන්ගේ පාප ශුද්ධස්ථානයෙන් ඉවත් කරනු ලැබීය. එවිට අශාශෙල්ට වූ එළුවා ජීවත්ව සිටියදි ඒ සතාව ස්වාමින්වහන්සේට දක්වන ලදී. සමූහයා ඉදිරියේදීම උත්තම පූජකයා “ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු අයුතුකම්ද ඔවුන්ගේ සියලු අපරාධයන්ද එනම් ඔවුන්ගේ සියලු පව් කියාදෙමින් ඒවා එළුවාගේ හිස පිට” තැබුවේය. (ලෙවී කථාව 16:21) එසේම, ස්වර්ගීය ශුද්ධස්ථානයේදී සමගි කිරීමේ මෙහෙය අවසාන වූ විට දෙවියන්වහන්සේද, ශුද්ධවූ දූතයන්ද, ගැළවීම ලැබූ සමූහයාද ඉදිරීපිටම, දෙවියන්වහන්සේගේ සෙනඟගේ පාපයන් සාතන් පිට තබනු ලබනවා ඇත. ඔහු මනුෂ්‍යයන් ලවා කරවූ වැරදි ගැන වරදකාරයා බව කියනු ලබනවා ඇත. අශාශෙල්ගේ එළුවා ජනාවාසයක් නොතිබුණා වූ දේශයකට යවනු ලැබුවා සේම සාතන්ද පොළොවේ ජනාවාසයක් නොපවතින්නා වූ පාළු වී ගිය වනාන්තර පෙදෙසකට යවනු ලබනවා ඇත.GrHSin 759.2

    සාතන් මෙසේ යවනු ලැබීම ගැනද පොළොව මත පවතින්ට යන විනාශදායක අවුල් සහිත තත්ත්වය ගැනද එළිදරව්කාරයා අනාවැකියෙන් පවසයි. මේ තත්ත්වය වසර දහසක් මුළුල්ලේ පවතින බව ඔහු පවසා තිබේ. ස්වාමින්වහන්සේගේ දෙවෙනි ඊම පිළිබඳවද දුෂ්ටයන්ගේ විනාශය පිළිබඳවද පැවසුවාට පසුව, ඒ අනාවැකිය තවදුරටත් මෙසේ පවසයි. “තවද පාතාලයේ යතුරුද අතේ මහත් දම්වැලක්ද ඇතුව දේවදූතයෙක් ස්වර්ගයෙන් බැස එනවා දුටිමි. ඔහු යක්ෂයාද සාතන්ද වූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු දහසකට බැන්දේය, ඒ අවුරුදු දහස කෙළවර වන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රාකළේය. මින්පසු ස්වල්ප කලකට ඔහු මුදනු ලබන්ට ඕනෑය.” (එළිදරව් 20:1-3)GrHSin 759.3

    ‘පාතාලය’ යනුවෙන් දක්වනු ලබන්නේ වියවුල හා අන්ධකාරය පවතින්ට යන ලෝකයේ ස්වභාවය බව වෙනත් ශුද්ධ ලියවිලි පාඨයන්ගෙන් ඔප්පු වෙයි. “පටන්ගැන්මේදී” ලෝකයේ පැවති තත්ත්වය ගැන බයිබලයේ මෙසේ සටහන් කර තිබේ: “පොළොව වනාහි පාළු හිස්ව තිබුණාය. ගැඹුර පිට අන්ධකාරය විය.” (උත්පත්ති 1:2) අනාවැකි පවසන්නේ එය අඩ වශයෙන් පමණවත් නැවත එවිට පැවති තත්ත්වයට පමුණුවනු ලබන බවය. එන්ට තිබෙන්නා වූ දෙවියන්වහන්සේගේ ඒ මහත් දවස දෙස බලමින් යෙරමියා අනාගතවක්තෘ මෙසේ පවසා තිබේ. “මම පොළොව දෙස බැලු විට ඒක පාළුවේ හිස් තිබෙන බවත් අහස දෙස බැලූ විට එහි එළිය නැති බවත් දුටිමි. කඳු දෙස බැලූ විට ඒවා සෙලවෙන බවත් සියලු හෙල් වැනෙන බවත් දුටිමි. මම බැලූ විට මනුෂ්‍යයෙක් නැති බවත් ආකාශයේ සියලු පක්ෂීන් පලා ගිය බවත් දුටිමි. මම බැලු විට ස්වාමින්වහන්සේ ඉදිරියෙහි උන්වහන්සේගේ බලවත් උදහස නිසා සාරවත් දේශය කාන්තාරයක්වූ බවත් එහි සියලු නුවරවල් කඩා දමා තිබෙන බවත් දුටිමි.” (යෙරෙමියා 4:23-26)GrHSin 760.1

    වසර දහසක් මුළුල්ලේ මේ ස්ථානය සාතන්ගේ හා නපුරු දූතයන්ගේ නිවස වෙනවා ඇත. මේ පොළොවට සීමිත වන ඔහුට අනික් ලෝකවලට ගොස් කිසිවිටෙක පාපයට නොවැටුණා වූ අය පරීක්ෂා කිරීමට හෝ ඔවුන්ට කරදර කිරීමට පුළුවන් වන්නේ නැත. ඔහු බැඳ දමනු ලබන්නේය යන්නෙන් අදහස් වන්නේ මේ තත්ත්වයය. ඔහුගේ බලය දක්වන පිණිස කිසිවෙක් නොසිටිනවා ඇත. මෙපමණ ශතවර්ෂ ගණනාවක් මුළුලේ ඔහුගේ ප්‍රීතිය වූ රැවටීමේ හා විනාශ කිරීමේ වැඩය ඔහුගෙන් සම්පූර්ණයෙන්ම කපා දමනු ලබනවා ඇත.GrHSin 760.2

    සාතන් පරාජය කරනු ලබන කාලය දෙස බලමින් යෙසායා අනාගතවක්තෘ මෙසේ පැවසුවේය. “දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, නුඹ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළා දමුවා වූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි! නුඹ සිත තුළ සිතාගෙන. මම ස්වර්ගයට නැගී මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳ ගන්නෙමි. මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගිමි; මහෝතමයාණන්ට සමාන වන්නෙමියි කීයෙහිය. එහෙත් නුඹ පාතාලය නම් වළේ ගැඹුරටම බසිනවා ඇත. නුඹ දකින්නෝ නුඹ දෙස ඕනෑකමින් බලමින් කල්පනා කොට: පොළොව වෙවුලවා රාජ්‍යයන් සෙලෙවුවාවූ, ලෝකය කාන්තාරයක් මෙන් කළා වූ, එහි නුවරවල් නාස්ති කළා වූ, තමාගේ හිරකාරයන් ගෙදරට යන්ට නෑරීයාවූ මනුෂ්‍යයා මොහුදැයි කියන්නෝය.” (යෙසායා 14:12-17)GrHSin 760.3

    අවුරුදු හය දහසක් මුළුල්ලේ සාතන් කළාවූ කැරලිගැසීමේ වැඩ මගින් “පොළොව වෙවුලවා .... ලෝකය කාන්තාරයක් මෙන් කළා වූ එහි නුවරවල් නාස්ති කළාවූ” තත්ත්වයක් පැවතුණි. ඔහු තමාගේ හිරකාරයන්ට ගෙදර යන පිණිස දොරවල් ඇරියේද නැත. වසර හය දහසක් මුළුල්ලේ, ඔහු දෙවියන්වහන්සේගේ සෙනඟ ඔහුගේ සිරගෙයට ඇතුල් කර ගත්තේය. ඔවුන් සැමදාටම, තමාගේ සිරකරුවන් වශයෙන් පවත්වා ගැනීම ඔහුගේ අදහස විය. නමුත් ක්‍රිස්තුස්වහන්සේ ඔහුගේ බැමි ඉවත්කර ඒ සිරකරුවන් මුදා හැරිය සේක.GrHSin 761.1

    දුෂ්ට අය පවා දැන් සාතන්ගේ බලයෙන් ඉවත් කරනු ලැබ සිටිති. තමාගේ නපුරු දුතයන් සමග තනිවී සිටින ඔහු පාපයෙන් ඇතිවී තිබෙන ශාපයේ ප්‍රතිඵල දර්ශනය කරයි. “ජාතීන්ගේ රජවරු සියලුම ගෞරවය ඇතුව එකිනෙකා තම තමාගේ ගෘහයෙහි සැතපී නිදති. නුමුත් නුඹ පිළිකුල් අත්තක් මෙන් ... පිටත විසි කරනු ලබනෙහිය. නුඹ නුඹේ දේශය නාස්ති කොට, නුඹේ සෙනඟ මරා දැමු බැවින්, ඔවුන් සමග වළලනු නොලබන්නෙහිය.” (යෙසායා 14:18-20).GrHSin 761.2

    අවුරුදු දහසක් මුළුල්ලේ සාතන් පාළු වූ පොළොව මත එහා මෙහා සක්මන් කරන්ට යන්නේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව තමා කළාවූ කැරැල්ලේ ප්‍රතිඵල දකින පිණිසය. මේ කාලයේදී ඔහුට ඇති පීඩාව ඉමහත්ය. ඔහු පාපයට වැටුණාට පසුව ඔහුට තිබුණා වූ නිමක් නැති ක්‍රියාශීලිත්වය නිසා ඔහුට ගැඹුරු ලෙස සිතා බැලීමට අවස්ථාවක් නොලැබුණි. නමුත් දැන් ඔහුගේ බලය ඉවත් කරනු ලැබ තිබේ; ස්වර්ගීය ආණ්ඩුවට විරුද්ධව තමා පළමුවෙන්ම කැරළි ගැසු අවස්ථාවේ සිට තමා කළා වූ ක්‍රියාවන් ගැන දැන් ඔහුට කල්පනා කිරීමට පුළුවන. තමා කර තිබෙන සියලු දුෂ්ට ක්‍රියාවන් ගැන දුක් විඳිමින්, තමා කරන්ට සැලැස්වූ සියලු පාපයන් ගැන දඩුවම් කරනු ලබන කාලය ගැන, ඒ භයානක අනාගතය ගැන දන් ඔහුට භයෙන් හා වෙවුලුමෙන් යුක්තව බලා සිටීමට සිදුවෙයි.GrHSin 761.3

    සාතන් මෙසේ සිරකරනු ලැබීම දෙවියන්වහන්සේගේ සෙනඟට ප්‍රීතිය හා සන්තෝෂය ලබාදෙනවා ඇත. අනාගතවක්තෘ ඒ ගැන මෙසේ පවසා තිබේ: “නුඹ දුකෙනුත් නුඹේ කැළඹීමෙනුත් නුඹ ලවා කෙරෙහි වූ බර වැඩෙනුත් ස්වාමින්වහන්සේ නුඹට නිදහස දෙන දවසේදී, නුඹ බබිලෝනියේ රජුට විරුද්ධව මේ උපමාව කියන්නෙහි: අහෝ පීඩාකාරයා නැවතුණු හැටි!... ජනයන්ට නිරන්තර පහරකින් කෝපයෙන් ගැසුවාවූද, කිසිවෙකු විසින් නොවැලැක් වූ පීඩාවකින් උදහසින් ජාතීන් ආණ්ඩු කළාවූද දුෂ්ටයන්ගේ මුගුරත් ආණ්ඩු කාරයන්ගේ යෂ්ටියක් ස්වාමින්වහන්සේ බිඳ දමූ සේක.” (යෙසායා 14:3-6)GrHSin 762.1

    පළමුවන මළවුන්ගෙන් නැගිටීම හා දෙවන මළවුන්ගෙන් නැගිටිම අතර පවතින දහසක් අවුරුදු කාලයේදී දුෂ්ටයන් විනිශ්චය කරනු ලබනවා ඇත. මේ විනිශ්චය වනාහි දෙවෙනි ඊමට පසුව සිදුවෙන්නක් හැටියට දක්වමින් පාවුල් මෙසේ පවසයි: “ස්වාමින්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන, උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරන සේක. එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.” (1 කොරින්ති 4:5) “ඒ පුරාතන තැනැන්වහන්සේ ඇවිත් මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට යුක්තිය කරන” බව දානියෙල් පවසයි. (දානියෙල් 7:21) මේ කාලයේදී ධර්මිෂ්ඨ අය දෙවියන්වහන්සේ ඉදිරිපිට රජවරුන් හා පූජකයන් මෙන් සිටිනවා ඇත. එළිදරව්කාරයා වන යොහන් මෙසේ පවසයි: “තවද සිංහාසන දුටිමි. ඔහු එහි හිඳ ගත්තේය. විනිශ්චයද ඔවුන්ට දෙන ලද්දේය.” “ඔහු දෙවියන්වහන්සේගෙත් ක්‍රිස්තුස්වහන්සේගෙත් පුජකයෝ උන්වහන්සේ හා සමග අවුරුදු දහසක් රජකම් කරන්නේය.” (එළිදරව් 20:4,6) පාවුල් අනාවැකියෙන් කියා තිබෙන අන්දමට මේ කාලයේදී “ශුද්ධවන්තයන් ලෝකය විනිශ්චය කරනවා ඇත.’ (1 කොරින්ති 6:2,3) ක්‍රිස්තුස්වහන්සේ සමග එක්සත් වී ඔවුන් දුෂ්ටයන් විනිශ්චය කරනවා ඇත. ව්‍යවස්ථාවේ පොත වන බයිබලය සමග ඔවුන්ගේ ක්‍රියාවන් සමාන කර බලමින් ඔවුන් තම ශරීරයන් තුළින් කරන්ට යෙදුණාවූ ක්‍රියාවන් අනුව, ඔවුන් මේ සෑම කෙනෙක් ගැනම තීරණයක් ගන්නවා ඇත. ඊටපසුව, දුෂ්ටයන් කළා වූ ක්‍රියාවන් අනුව ඔවුන්ට ලැබිය යුතු පීඩාව තීරණය කරනු ලබනවා ඇත. එය මරණයේ පොතේ ඔවුන්ගේ නාමයන් ඉදිරිපිට සටහන් කරනු ලබනවා ඇත.GrHSin 762.2

    ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ සෙනඟ සාතන්ව හා ඔහුගේ දූතයන්වද විනිශ්චය කරනවා ඇත. පාවුල් මෙසේ කියා තිබේ. “අපි දේවදූතයන් විනිශ්චය කරන්නෙමු යයි නුඹලා දන්නේ නැද්ද?” (1 කොරින්ති 6:3) යූද් මෙසේ කියා තිබේ: “තමුන්ගේ අධිපතිකමෙහි නොපැවත ස්වකීය වාසස්ථානය අත්හැරියා වූ දේවදූතයන්ද උන්වහන්සේ මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරය යට සදාකාල බැඳුම්වලින් බැඳ තැබුසේක.” (යූදස් 6)GrHSin 762.3

    දහසක් අවුරුදු කාලයේ අවසානයේදි දෙවන මළවුන්ගෙන් නැගිටීම සිදුවෙනවා ඇත. එවිට දුෂ්ටයෝ මළවුන්ගෙන් නැගිටුවනු ලැබ ලියන ලද විනිශ්චය ක්‍රියාත්මක කරනු ලබන පිණිස දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටිනවා ඇත. එළිදරව්කාරයා ධර්මිෂ්ඨයන්ගේ මළවුන්ගේ නැගිටීම විස්තර කළාට පසුව මෙසේ කියයි: “මළා වූ අනික් අය අවුරුදු දහස කෙළවර වන තුරු ජීවත් නූණෝය.” (එළිදරව් 20:5) දුෂ්ටයන් ගැන යෙසායා මෙසේ පවසයි: “හිරකාරයන් වළක රැස්කර තබන්නාක් මෙන් ඔහු එකට හිරගෙයි වසාතබනු ලබන්නෝය, බොහෝ දවසකට පසු දඬුවම් ලබන්නෝය.” (යෙසායා 24:22)GrHSin 763.1