Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

මහත් බලාපොරොත්තුව

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    27 - වත්මන් නව ජීවන පිබිදීම්

    යම්කිසි පෙදෙසක ශුභාරංචිය විශ්වාසවන්ත ලෙස දේශනා කරනු ලැබිද, එතැන ඇතිවූ ප්‍රතිඵල මගින් සාක්ෂාත් වූයේ එම දහම් ප්‍රචාරක ක්‍රියා පිළිවෙත පසුපස දිව්‍ය මගපෙන්වීම පැවති බවය. තමන්වහන්සේගේ දේව පණිවුඩකරුවන් සමග දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලය ක්‍රියාත්මක වූයේන් දේව වචනය මහත් බලයකින් යුතුව විකාශනය විය‍. තමන්ගේ හෘදය සාක්ෂියට එම පණිවිඩ තදින් කාවැදී ගිය බව පව්කාරයන්ට හැඟි ගියේය.” ලොවට බිහි වන්නාවූ සෑම අයෙකුම ආලෝකමත් කරන්නාවූ එළිය “ඔවුන්ගේ හදවත්හි රහස් කුටි තුළට කිඳා බැස, සැඟවී තිබුණු අඳුරු කාරණා පෙන්වා දුන්නේය,එළිදරව් කළේය. ඔවුන්ගේ මනස් හා හදවත් ඔවුන් පව්කරුවන් බව සාක්ෂි දරන්නට විය. ඔවුන්ගේ සිත් සතන් තැවුලට පත් විය. පාපය ගැනත්, දැහැමිතාව ගැනත්, විනිශ්චය ගැනත් ඔවුන්ගේ සිත් අවබෝධයකින් වෙලී ගියේය.යෙහෝවාඃවහන්සේගේ ශුද්ධවු ධර්මිෂ්ඨතාව පිළිබඳව හැඟීමක් ඔවුන් තුළ උදා විය. හදවත් සෝදිසි කරන්නාවූ මහෝත්තමයාණන් ඉදිරියේ වරදකරුවන් සහ පාපයෙන් කිළිටි වූ අය වශයෙන් පෙනී සිටීමේ භයංකාර තත්ත්වය ගැන ඔවුන් තුළ බියක් ඇතිවිය.” මරණයෙ මෙම ශරීරයෙන් මාව ගළවා ගන්නේ කවුදැ”යි ඔවුහු සන්තාපයෙන් යුතුව මොර ගසමින් විචාරන්නට වුහ. ඔවුන්ගේ නෙත් කල්වාරි කුරුසිය දෙසට යොමු විය. මිනිසාගේ පාප උදෙසා කුරුසිය මත ඔප්පු කළ ඉමහත් පූජාව එළිදරව් වීමෙන් ඔවුන්ගේ සිත් තුළට සැනසීමක් සහ සාමයක් උදා විය. ක්‍රිස්තුස්වහන්සේගේ කුසලතාවන් හැරෙන්නට, වෙනත් කිසිවකුගේ සුදුසුකමකට තමන්ගේ පව් වලට කමාව දීමේ බලයක් නොමැති බව ඔවුන්ට සක් සුදක්සේ ප්‍රත්‍යක්ෂ විය. ඇදහිල්ලෙන් සහ යටහත් පහත් කමින් යුතුව ඔවුහු දෙවියන්වහන්සේගේ බැටළු පෝතකයාණන්ව පිළිගත්තෝය. ලෝකයේ පාපය දුරු කරන්නාවූ එකම තැනැන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව පිළිගනිමින් ඔවුහු තම විශ්වාසය උන් වහන්සේ මත රැද වුහ. ක්‍රිස්තුස්වහන්සේගේ රුධිරය කරණකොටගෙන “අතීතයේ කළ සියලු පව් වලට කමාව” ඔවුන්ට ලැබුණේය.GrHSin 528.1

    ඔවුහු පශ්චාත්තාපය පෙන්නුම් කරන ඵල දැරූහ. ඔවුහු දෙවියන්වහන්සේගේ පව් කමාව විශ්වාස කොට බව්තීස්ම ලබා අළුත් ජීවිතයක් ගත කිරීමේ අධිෂ්ඨානයෙන් යුතුව ලෝකයට පිවිසියහ. ක්‍රිස්තුස්වහන්සේ තුල අළුත් මැවීමක් ලද ඔවුහු තවදුරටත් තම තෘෂ්ණාවන් අනුව ගමන් කිරීමේ විලාසිතාව අතහැර දමා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි ඇදහිල්ලෙන් යුතුව අළුත් ජීවිත ගමනක් ඇරඹූහ. ක්‍රිස්තුස්වහන්සේගේ අඩිපාරේ ගමන් කරමින් උන්වහන්සේගේ චරිත ගුණාංග පරාවර්තනය කිරීමටත් දෙවියන්වහන්සේ පාරිශුද්ධව සිටින්නාක් මෙන් ශුද්ධත්වයට පත්වීමටත් වු අධිෂ්ඨානයෙන් යුතුව ඔවුහු ගමන් කරන්නට වුහ. ඔවුහු දැන් කලින් ද්වේෂ කළ දේවල් ඇලුම් කරන්නට වූහ, පෙරදී ආශා කළ දේවල් දැන් එපා කළෝය. ආත්ම අභිමානයෙන් ඔද වැඩි ප්‍රෞඩ ලෙස තම අයිතිවාසිකම් රැකගැනීම සඳහා දැඩි ස්ථාවරයක පිහිටා සිටි අය හදපත්ලෙන්ම මුදු මොළොක් නිහතමානී බැතිමතුන් බවට පත් වූහ. තමන්ගේ තරාතිරම් නිසා අන්‍යයන් පහත් කොට සැලකූ අය හිතවාදීන් සහයෝගීතාවෙන් කටයුතු කරන්නට වුහ. ආගමික පිළිවෙත් පිළිබඳව ගරු සැලකිලි නොදැක්වූ අය ආගමික වතාවන්ට ගෞරව කරන්නට වුහ. මද්‍යසාරයට ලොල් වු අය පමණ දැන ක්‍රියා කරන්නට වුහ.දුරාචාරයන්ට ගැති වු අය සාර ධර්මයන්හි පිහිටා සිටියහ. ඔවුහු අනර්ථකාරී ලෞකික විලාසිතා වලට වූ ගැතිකම් අත්හැර දැමූවෝය. කිතුණු බැතිමතුන්ගේ ආකල්පය මෙසේ විය. ඔවුන්ට දේව වචනය මෙසේ ඔවදන් දුන්නේය:” නුඹලාගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැදීමද යන පිටත අලංකාරය නොව දෙවියන්වහන්සේ ඉදිරියේහි ඉතා අනර්ඝව තිබෙන මෘදුවූ නිශ්චල වූ ගතියක් නමැති දිරා නොයන සැරසීමෙන් යුක්තවූ සිතේ ඇතුල් මනුෂ්‍යයා වේවා.” (1පේතෘස් 3: 3,4)GrHSin 528.2

    නව ජීවන පිබිදීම් මගින් ඇතුළාන්තයේ හදවත් තුළ ගැඹුරු සෝදිසි කර ගැනීමක් සිදුවිය.බැතිමතුන් අතර නිහතමානීකම රජ කරන්නට විය. පව්කාරයාට තම ජීවිතය වෙනස් කර ගැනීමට කරන ලද අවංක වුද, හෘදයාංගම වුද, ආයාචනා මගින් හදවත් පවිත්‍ර විය. ක්‍රිස්තු සමිඳාණන්ගේ උත්තරීතර රුධිරයෙන් මිළට ගනු ලැබු පව්කරුවන්ට නොකඩවා පව් කමාව ලබාගන්නැයි කරන ලද ඉල්ලීම් වල අඩුවක් නොවීය. ආත්මයන්ට ගැළවීම ළඟා කරදීමට ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයම දෙවියන්වහන්සේ සමඟ පොර බැදූහ. එවන් ආත්ම පුබුදුවා ලීමේහි රැස්වීම් වල ඵල පව්කරුවන්ගේ ජීවිත තුළ විද්‍යාමාන විය. ඔවුහු ආත්ම පරිත්‍යාගයන්ට සහ පූජාවන්ට නොපැකිල ඇලුම් වූහ. ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් ගැරහීම්වලට සහ වධ වේදනාවන්ට මුහුණ දෙමින් ඒවා විඳ දරාගැනීමට තමන්ට ලැබුණු අවස්ථාවන් ගැන ඔවුහු ප්‍රීතියට පත්වූහ. යේසුස් සමිදාණන්ගේ නාමය දරන්නන් යැයි පැවසූ අයගේ ජීවිත තුළ ඇති වූ වෙනස ඔවුන් ඇසුරු කළ අයට දැකගත හැකි විය. එවන් අයගේ අනුබලය සමාජයට සෙතක් විය. ඔවුහු ක්‍රිස්තුස්වහන්සේ සමඟ එකමුතුව ශුද්ධාත්මයාණන්ට වැපුරුවෝය. එමගින් ඔවුන්ට සදාතන ජීවිතය නෙළාගත හැකි විය.GrHSin 529.1

    ඔවුන් ගැන මෙසේ පවසන්නට පුළුවන් විය:” පසුතැවිලිවීම සඳහා නුඹලා ශෝකයට පමුණුවනු ලැබූ බැවින් දැන් ප්‍රීතිවෙමි... මක්නිසාද දේව කැමැත්තට එකඟවූ ශෝකයෙන් තැවෙන්නට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමණුවන පසුතැවිලිවීම හටගන්නේය. නමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය. එසේය, මෙන්න, දේව කැමැත්තේ හැටියට ශෝක වීම යන කාරණයෙන් නුඹලා තුළ කොපමණ උනන්දුකමක් කොපමණ නිදොස් කරගැනීමත් කොපමණ අමනාපවීමත් කොපමණ භයත්, කොපමණ ආශාවත් කොපමණ ජිවලිතකමත් කොපමණ යුක්තිය සිදුකිරීමේ අදහසක් හටගන්නා නොවේද! මේ කාරණය සම්බන්ධව නුඹලා නිදොස් බව නුඹලා සියලු ආකාරයෙන්ම ඔප්පු කළහුය. (2 කොරින්ති 7:9 -11) GrHSin 530.1

    මෙවන් ප්‍රතිඵල ඇතිවීමට හේතුව නම් ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකාරීත්වයයි. පුද්ගලයෙකුගේ ජීවිතය තුළ දේව මගපෙන්වීමට අනුකූල, ගුණාත්මක වෙනස් වීමක් ඇති නොවන්නේ නම් අවංක පසුතැවීමක් සිදුවී යැයි පැවසිය නොහැකිය. යම් අයෙක් යමක් සොරා ගෙන තිබෙන්නේ නම් ඒ දෙය ආපසු අයිතිකරුට භාර දිය යුතුය, ඔහු පොරොන්දු ඉටුකළ යුතුය. තම පාපය කියා දී දෙවියන්වහන්සේට සහ සහෝදර ජනතාවට ආදරය කිරීමද අනිවාර්ය වන්නේය. පව්කාරයා මෙසේ කරන්නේ නම් දෙවියන්වහන්සේ සමග සමාදානය ඔහුට ඇති බව සහතික විය හැකිය. පසුගිය යුගයන්හිදී ආගමික පිබිදීම රැස්වීම් ක්‍රියාත්මක වූ අවස්ථාවන්හිදී මෙවන් සිදුවීම් අනන්තව පැවතුණි. එවන් දැය සුලභ විය. එම රැස්වීම් මාලාවන්හි ප්‍රතිඵල අනුව විනිශ්චය කරන විට පෙනී ගියේ මිනිසාගේ ගැළවීම උදෙසාත් මානව වර්ගයා නගා සිටුවීම සඳහාත් ඔවුන්ට ඒ රැස්වීම් මඟින් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලැබුණු බවය.GrHSin 530.2

    දෙවියන්වහන්සේගේ සේවකයන් විසින් මෙහෙය වු ආත්ම පුබුදුවාලීමේ,නව ජීවනයක් ලබාදීමේ රැස්වීම් මාලාවන්හිදී එයට සහභාගී වූ බොහෝ අය සර්ව ප්‍රකාරයෙන් ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨ කරනු ලැබ ගැළවීමේ මාර්ගයට පිවිසීයහ. එසේ වුවද, වත්මන් ආත්ම පිබිදිමේ රැස්වීම් මාලාවන් එයට වඩා හාත්පසින්ම වෙනස් වූ ප්‍රතිඵල වලින් ගහණය. මෙවන් රැස්වීම් මාලාවන් කරණකොටගෙන පුළුල් උනන්දුවක් ජනිත වී බොහෝ අය හැරීමකට භාජන වූයේ යැයි ප්‍රකාශ කර තිබේ. බොහෝ දෙනෙක් සභාවන් තුළ සාමාජිකත්වය ලැබූහ. එසේ වුවද, ඒ හා සමානුපාතිව නියම ආත්මික ජීවිතයේ වර්ධනයක්, ප්‍රගතියක් ඇති වී යයි කීමට තරම් ප්‍රතිඵල සාක්ෂි මගින් ඉදිරිපත් නොවේ. බොහෝ අයගේ ජීවිත තුළ පහන් වීමක් ඇති කළ ආලෝක දහරා වැඩි දිනක් යාමට කලින් නිවී යන්නේය. එහිදී ඇති වන අඳුර ඊට පෙර තිබූ අන්ධකාරයටත් වඩා ඝනත්වයක් දරන්නේය.GrHSin 530.3

    ජනප්‍රිය ආත්ම පිබිදිමේ රැස්වීම් මාලාවන්හිදී නිතරම චිත්තවේග හා සංකල්පනාවන් පුබුදුවා අළුත් යමක් කෙරෙහි,එසේය, පුදුමාකාර යමක් කෙරෙහි ඇලුම් විමත්, ආදරේ කිරීමත් ජනිත කෙරේ. එසේ හැරීම ලද්දෝ බයිබලීය සත්‍යතාවන්ට ඇහුම්කන් දීමට මනාපයක් නොදක්වති. දිවැසිවරුන්ගේ සහ අපෝස්තුළුවරුන්ගේ සාක්ෂි වලට ඇහුම්කන් දීමට ඔවුන් තුළ ආශාවක් නැත. නමස්කාර මෙහෙය තුළ යම් ආකාර සංවේගාත්මක නොහොත් හැඟිම් ඇවිස්සිමේ චින්තනයක්, ක්‍රියාවේදයක් නොපවතී නම් ඔවුන්ට එහි කිසිම වින්දනයක් නැත. දේව වචනයෙහි සරල ඉගැන්වීම් සහ අනුශාසනා වලින් ඔවුන්ට වැදගත්කමක් නැත. ඔවුන්ගේ සදාතන ශුභ සිද්ධිය පිළිබඳව වූ දෙසුම් කෙරෙහි ඔවුන්ගේ සිත් ඇදී නොයයි.GrHSin 531.1

    සත්‍යවාදී ලෙසින් ආගමට හැරුණාවු සෑම බැතිමතෙකුගේම ජීවිතයේහි මූලික ආශාව වනනේ දෙවියන්වහන්සේ සමග සමීප ඇසුරක් පවත්වාගෙන යෑමත් සදාතනික දේවල් පිළිබඳව මහත් ඇල්මක් දැක්වීමත්ය. එහෙත් දෙවියන්වහන්සේට කැපවූ ආත්මයක් අද ඇත්තේ කිනම් ජනප්‍රිය සභාවකද? ආගමට හැරී සභාවට ඇතුළු වන්නාවූ බොහෝ අය තමන්ගේ අභිමානය අත්හැර දමා නිහතමානි වීමට කැමැත්තක් නොදක්වති. ඔවුහු ලෝකයට ඇති ආශාව අතහැර දැමීමට මනාප නොවෙති. මමත්වය එපා කර මුදු මොලොක් ගුණයෙන් යුත් යේසු සමිදාණන්ගේ කුරුසිය දරමින් උන්වහන්සේ අනුව යාමට, පෙර තිබුණාට වැඩි රුචියක්, හැරීමෙන් පසුවද, ඔවුන් තුළ දැකගත නොහැකිය. මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ සහ නෝඇදහිලිවන්ත මිනිසුන්ගෙන් ක්‍රීඩාවක් බවට ආගම් පත්වී තිබේ. මක්නිසාදයත්, යේසු සමිදාණන්ගේ අනුගාමිකයන් යයි කියාගන්නාවූ බොහෝ අය තුළ ආගමික ප්‍රතිපත්ති ගැන කිසිම අවබෝධයක් නොමැත. දේව භක්තිකමේ බලය බොහෝ දෙව් මැදුරු තුළින් ඉවත්ව ගොස් ඇත. විනෝද සවාරි, ආගමික නාට්‍යයන්, සභා සල්පිල්, සුඛෝපභෝගී නිවෙස්,ස්වභිමානය විදහා පෙන්වීම යනාදිය මගින් දෙවියන්වහන්සේ පිළිබඳ චින්තනය මිනිසා තම සිතින් පළවා හැර තිබේ. ඉඩකඩම්, ද්‍රව්‍යමය භාණ්ඩ, සහ ලෝක වෘත්තීන් සහ රැකී රක්ෂා යන විෂයන් විසින් මිනිස් කල්පනාවන් ගිලගෙන ඇත. සදාකාලික දේවල් පිළිබඳව සිතීමට තරම්වත් එබඳු මිනිසුන් තුළ උනන්දුවක් නොමැත.GrHSin 531.2

    ඇදහිල්ලේ සහ ශ්‍රද්ධාවෙන් වැටියාමක් බොහෝ සභාවන් තුළ දැකගත හැකි වුවද,එම සභාවන්හි පවා සත්‍යවාදී කිතුණු අනුගාමිකයෝ සිටිති. දෙවියන්වහන්සේගේ විනිශ්චයන් ලෝකයේ මත අවසන් වරටත් පතිත වීමට පෙර දෙවි සමිඳාණන්ගේ සෙනග අතර මහා පරිමාණයේ ආත්ම පිබිදිමේ ක්‍රියාදාමයක් සිදුවීමට නියමිතව ඇත.එය වනාහි පුරාතනයේ තිබූ දේව- මනුෂ්‍යය සබඳතා නැවත වරක් ක්‍රියාත්මක වීමේ සංසිද්ධියයි. අපෝස්තුළුවරුන්ගේ කාලයෙන් මෙපිට එවන් නව ජීවන පිබිදීමක් මෙතෙක් සිදුවී නැත්තේය. දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සහ බලය උන්වහන්සේගේ දරුවන් මත පතිත කරනු ලබන්නේය. දෙවියන්වහන්සේට සහ උන්වහන්සේගේ වචනයට වූ ආදරයට වඩා ලෝකයට සහ එහි ඇති දේවලට ඇල්ම දැක්වූ සභාවන් වෙතින් බොහෝ අය ඉවත් එනවා ඇත. ක්‍රිස්තු සමිදාණන්ගේ දෙවැනි ඊම සඳහා ජනතාවක් සූදානම් කිරීම අරභයා ඔවුන්ට ලැබිය යුතු අගනා සත්‍යතාවන් පිළිගනිමින් ඒවා අනුගමනය කිරීමට දේවගැතිවරුන් මෙන්ම බැතිමතුන්ද බොහෝ දෙනෙක් යොමු වෙනවා ඇත.කිතුණුවන්ගේ සතුරා මෙම කර්තව්‍යයට බාධා පමුණුවනවා ඇත. විවිධ සභාවන්හි එබඳු තත්ත්වයක් ඇතිවීම වළක්වාලන පිණිස සාතන් ව්‍යාජ ක්‍රියාවේදයන් ඉදිරිපත් කරනවා ඇත. තමන්ගේ මුළා කිරීමේ බලයට අවනත කරගත හැකි සභාවන්ට දෙවියන්වහන්සේගේ විශේෂිත ප්‍රබල ආශිර්වාද වගුරවා ඇතැයි යන්න දැක්වීමට ඔහු මහත් සේ ක්‍රියාත්මක වෙනවා ඇත. ඒ අනුව ඉතා ප්‍රබල වූ ආගමික උනන්දුවක්, උද්යෝගයක් ක්‍රියාත්මක වන්නේ යයි පෙන්වා දීමට ඔහු ක්‍රියා කරනවා ඇත. දෙවියන්වහන්සේ තමන්ට පුදුමාකාර ආකාරයෙන් ආශිර්වාද කරන්නේ යයි මහත් සංඛ්‍යාත ජනකායක් ප්‍රීතියෙන් ඔල්වරසන් නගනවා ඇත.එහෙත් මෙම කාර්යයෙහි නායකයා වෙනත් ආත්මයක් වන්නේය. ආගමික රාමුවක මුවාවෙන් සාතන් ව්‍යාජ මවාපෑමක් රඟ දක්වමින් කිතුණු ලෝකය තමාගේ ආනුභාවය යටතට පත්කර ගැනීම තියුණු වෙහෙසක් දරන්නේ ය.GrHSin 532.1

    පසුගිය අඩ සියවස් කාලය පුරා පැවති ආත්මික පිබිදීමේ රැස්වීම් මාලා බොහොමයක මෙම අනුබලය ක්‍රියාත්මකව පැවති බව නොරහසකි.අනාගත රැස්වීම් මාලාවන්හිදීද මෙම කර්තව්‍යය ඉතා ප්‍රබල ආකාරයකින් බලපෑම් කරනවා ඇත. මෙහි ව්‍යාප්තියද ඉතා පුළුල්ය. සිතෙහි ආවේගයන් ඇවිස්සීමක් මෙම රැස්වීම් තුළින් බහුලව ක්‍රියාත්මක වේ.සත්‍යතාව සමග මිශ්‍රිත ප්‍රබල උද්වේගයක් මෙම රැස්විම් තුළ බහුලව පවතින්නේය. බැතිමතුන් නොමග යැවීම සඳහා මෙම සුසංයෝගය ප්‍රබල අවියක් වනවා ඇත. එසේ වුවද, සත්‍යය වටහාගෙන සිටින්නා වූ අය මුළාවට පත් නොවිය යුතුය. දේව වචනය තුළ නිධන්ගතව ඇති ආලෝකය මගින් මෙම ව්‍යාපාරයන් හඳුනා ගැනීම අපහසු නොවෙනවා ඇත. බයිබලයෙහි අඩංගු සාක්ෂි නොසලකා හරිමින්, හෘදය සාක්ෂියට කථා කරන සරල සත්‍යතා හඬට ඇහුම්කන් නොදෙන්නාවූ අය ආත්ම-පරිත්‍යාගය සහ ලෞකික සම්පත් අත්හැර දැමීමට වෑයම් කිරීමක් නොකරන්නේ නම් ඔවුන්ට දෙවියන්වහන්සේගේ ආශිර්වාදය නොලැබෙන බව නියතය.”ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය”යි ක්‍රිස්තුස්වහන්සේම ප්‍රකාශ කළ නියම අනුව, මෙම ආත්ම-පුබුදුවා ලීමේ රැස්විම් මාලා දෙවියන්වහන්සේගේ ආනුභාවය ලද ක්‍රියා කිරීම් නොවන බව පැහැදිළි වෙයි.GrHSin 532.2

    තමන්වහන්සේගේ වචනය අඩංගු සත්‍යතාවන් තුළ දෙවියන්වහන්සේ තමා පිළිබඳව හෙළිදරව් කිරීමක් මනුෂ්‍යයා හට ලබාදී ඇතිසේක. එම වදන් පිළිගන්නාවූ අයට එය සාතන්ගේ මුළා කිරීම්වලට එරෙහිව නැගී සිටීමට පළිහක් වෙනවා ඇත. ආගමික ලෝකයේ මුල් බැසගෙන ඇති අධම ක්‍රියාදාමයන්ට දොරටු විවෘත වන්නේ දේව වචනයෙන් ඇත්තාවූ මෙම සත්‍යතාවන් නොසලකා හැරීම නිසාය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි වැදගත්කම සහ එහි ස්වභාවය අද විශාල වශයෙන් මිනිස් අවධානයෙන් බැහැරව ගොස් ඇත.දිව්‍ය නීති පද්ධතියෙහි සදාතනික පැවැත්ම සහ එයට අපගේ වගකීම් සම්භාරය පිළිබඳව වූ වැරදි ආකල්ප බොහෝය.ඒ නිසාම ජීවිත වෙනස්වීම හා ශුද්ධත්වය කරා යොමු වීම පිළිබඳව වූ ප්‍රමති පහත් මට්ටමක් කරා කිඳා බැස ඇත. වත්මන් කාලයේ ඇත්තාවු ආත්ම පිබිඳවීමේ රැස්වීම්වල ආත්මයාණන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය සහ දෙවි සමිදාණන්ගේ බලයේ ප්‍රදර්ශනය දැක ගැනීමට නොහැකි වීමේ රහස මෙම කරුණ වන්නේය.GrHSin 533.1

    ශ්‍රද්ධාව සහ භක්තිය පිළිබඳව නමක් දරන්නාවූ බැතිමතුන් විවිධ නිකායන්හි සිටින බව නොරහසකි.සභාවෙහි පවත්නා ශ්‍රද්ධාව ගැන ඔවුහු සංවේගාත්මක ලෙස වැළපෙති. මෙම මහත් අනතුරුදායක පහත් මට්ටමකට බැස තිබීම උපද්‍රවය පිළිබඳව එඩ්වඩ් ඒ පාර්ක් මහාචාර්යා වරයා මෙසේ පවසයි. “දිව්‍ය ව්‍යවස්ථාව සෑම කල්හිම බලපැවැත්වෙන බව දේශනා කූඩුවෙන් ප්‍රකාශයට පත් නොකිරීම මෙම අනතුරුදායක තත්ත්වයට එක් සාධකයකි. පසුගිය වකවානුවන්හිදී දේශනා කූඩුව වනාහි මිනිස් හෘදයසාක්ෂිය ප්‍රතිරාවය කළ මාධ්‍යයක් විය..... අපගේ සත්කිර්තිමත් දේශනා වේදීහු තමන්ගේ සමිදාණන් අනුගමනය කරමින් දෙසුම්වලින් සත්‍යතාවයට මහත් වටිනාකමක් දැක්වූහ. සමිඳාණන් අනුගමනය කරමින් ඔවුහු ව්‍යවස්ථාවට,එහි ආඥාවන්ට සහ එම ආඥා හා බැඳී ඉගැන්වීම් වලට ප්‍රමුඛත්වයක් ලබා දුන්නෝය. දහම හා බැඳි විශිෂ්ඨ වූ සිද්ධාන්ත යුගල ඔවුහු නැවත නැවත ප්‍රකාශ කළෝය. එනම්, ව්‍යවස්ථාව වූකලී දිව්‍යත්වයේ පරිපූර්ණ පිටපතක් බවද ව්‍යවස්ථාවට ආදරය නොදක්වන තැනැත්තේ ශුභාරංචියට ආදරය නොකරන්නේය යන්න මේ සිද්ධාන්තයන්ය. මක්නිසාදයත් ව්‍යවස්ථාව මෙන්ම ශුභාරංචියද දෙවියන්වහන්සේගේ සත්‍යවාදී චරිත ගුණාංග පිළිබිඹු කරන කැඩපතක් වන්නේය. මෙම සිද්ධාන්ත යුගලය නොසලකා හැරීම තවත් උපද්‍රවයකට මගපෙන්වන්නේය, එනම්, පාපයේ භයානක නපුරට අඩු තක්සේරුවක් ලබාදීමය. එමගින් උදාවන්නාවූ තත්වය නම් පාපයේ පුළුල්තාව අවම කරමින් පාපයේ බරපතලතාව සැහැල්ලුවට ලක්කිරීමය. ව්‍යවස්ථාවන්හි දැහැමිතාවට අනුකූලවම, ඒ ආඥාවන්ට අකීකරුවීමේ පවිටුතාවද සමානතාවක් දරයි.”GrHSin 533.2

    “කලින් සඳහන් කළ අවදානම් හා බැඳී තවත් අවදානමක් නම්, දෙවියන්වහන්සේගේ සාධාරණකම පහත් කිරීමය. දේශනා කූඩු මගින් වත්මනදී නික්මෙන්නාවූ දෙසුම් තුලින් දැකගන්නට ඇත්තේ දිව්‍ය ත්‍යාගශීලීත්වයෙන් දිව්‍ය සාධාරණකම පෙරා ඉවත් කිරීමය; දේව ත්‍යාගවන්ත ගුණය හැඟුම්බර චින්තනයකට බැර කොට එය ප්‍රතිපත්තියක් ලෙස නොසැලකීමය. දෙවියන්වහන්සේ විසින් එක් කර ඇති මේ දේවල් නව දේව ධර්ම සංකල්ප මඟින් වෙන්කර ඇත.දිව්‍ය ව්‍යවස්ථාව යහපතක්ද නැතිනම් නපුරක්ද? එය යහපත් දෙයකි. එසේනම් යුක්ති සහගත සාධාරණද යහපත් දෙයකි.එමගින් ව්‍යවස්ථා පනත අනුව වරදට විනිශ්චයක් තීන්දු කළ හැකි වේ. දිව්‍ය ව්‍යවස්ථාවද යුක්ති සාධාරණත්වයද අව තක්සේරුවකට පත්කිරීමක් මගින් අකීකරුකමෙහි විශාලත්වය සහ අවගුණය සැහැල්ලුවට පත් කර ඇත. මෙම චින්තනය නිසා මිනිසාගේ පාප උදෙසා කමාව ලබාදීමෙහි ලා ක්‍රියාත්මක වන්නාවූ දිව්‍ය කරුණා-මෛත්‍රිය අඩු තක්සේරුවකට ලක් කර සිතීමට මිනිසා පෙළඹී ඇත.” මෙම චින්තන ක්‍රියාවේදය කරණකොටගෙන ශුභාරංචිය සතු වටිනාකම සහ වැදගත්කම මිනිස් මනසෙන් ඉවත්වී ගිලිහී යන්නේය. මෙහි ප්‍රතිඵලය වන්නේ ශුද්ධවූ බයිබලය ඉවත ලෑමට පවා මිනිසා යොමු වීමය.GrHSin 534.1

    ක්‍රිස්තුස් දෙවි සමිඳාණෝ තමන්වහන්සේගේ මරණය මඟින් දස පනත අහෝසි කළ බවට බහුතර ආගමික ගුරුවරු සහතික වෙති.එමගින් දස පනතින් අපේක්ෂා කරන්නාවූ ඉල්ලීම් වලින් මිනිසා නිදහස් බවට ඔවුහු දහම්දෙසති. තවද දස පනතට කීකරුව ජීවිතය හැඩගස්වා ගැනීම හිංසාවාදී වියදණ්ඩක් ලෙස හැඳින්වීමටද සමහරු පසුබට නොවෙති. ව්‍යවස්ථාවට කීකරුවීමෙහි වහල් භාවයෙන් මිදී ශුභාරංචිය උදාකර දෙන්නාවූ නිදහස භුක්ති විඳින්නැයි ඔවුහු බැතිමතුන් දිරි ගන්වති.GrHSin 534.2

    එසේ වුවද, දෙවියන්වහන්සේ විසින් එවනු ලැබූ දිවැසිවරු සහ අපෝස්තුළුවරු එසේ කල්පනා නොකළෝය.දාවිත් මෙසේ පවසා ඇත.” මම නිදහස් ලෙස හැසිරෙන්නෙමි. මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි.”(ගීතාවලිය 119:45) ඒ අතර අපෝස්තුළු යාකොබ් ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් පසුකලෙක තම ලිපියෙහි දස පනත හඳුන්වා දෙන්නේ “රාජකීය ව්‍යවස්ථාව” ලෙසටය, ” නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව” හැටියටය.(යාකොබ් 2:8; 1:25) ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිපත් වීමෙන් අඩ සියවසකට පසුව දස පනත පවත්වන්නාවූ අයට මෙවන් ආශීර්වාදයක් හිමි වන බව එළිදරව් පොත ප්‍රකාශ කරයි. එනම් “ජීවන වෘක්ෂයට පැමිණෙන්ට අයිතිවාසිකම් ලැබෙන පිණිසත්, දොරටු වලින් නුවරට ඇතුල්වන්ට පුළුවන් වනු පිණිසත් තමුන්ගේ සළු සෝදාගන්නාවූ තැනැත්තෝ (එනම් දස පනත රකින්නෝ) ආශිර්වාද ලද්දෝය යන්නය.(එළිදරව් 22:14)GrHSin 535.1

    තමන්වහන්සේගේ මරණය මගින් ක්‍රිස්තුස්වහන්සේ ස්වකීය පියාණන්වහන්සේගේ රාජකීය ව්‍යවස්ථාව අවලංගු කළ සේකැයි යන ඉගැන්වීම පදනම් විරහිතය.දස පනත වෙනස් වෙනස් කිරීමට හෝ කටුගා දැමීමට හැකියාවක් වී නම් පාපයේ දඬුවමින් මිනිසාව මුදවාලීමට ක්‍රිස්තුස්වහන්සේ මරණයට පත්වීමේ අවස්ථාවක් උදා නොවන්නේය. ක්‍රිස්තුස්වහන්සේගේ මරණය මගින් සනාථ වූයේ ව්‍යවස්ථාව අවලංගු කළ හැකි දෙයක් නොවන බවය. එය වෙනස් කළ නොහැකි බව උන්වහන්සේගේ මරණය ස්ථිර කළේය. දේව පුත්‍රයාණන් මෙලොවට වැඩියේ,” ව්‍යවස්ථාව උතුම් කොට ඊට ගෞරව කරන” පිණිසය.(යෙසාය 42:21) උන්වහන්සේ මෙසේ පැවසූ සේක, “ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගු කරන පිණිස මම ආවෙමි යි නොසිතන්න. සම්පූර්ණ කරන්ට මිස අවලංගු කරන්ට නාවෙමි. සැබවක් නුඹලාට කියමි. අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවේ එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය.”(මතෙව් 5:17,18). ගීතිකාකාරයා මෙසේ ප්‍රකාශ කළේය;” මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රිය වෙමි.එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුළෙහි යයි කීමි.”( ගීතාවලිය 40:8).GrHSin 535.2

    දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකිය. ඒවායේ කෙටුම්පත වනාහි ඒවායේ කතුවරයාණන්ගේ කැමැත්ත (චින්තනය) සහ චරිතය එළිදරව් කරන්නකි. දෙවියන්වහන්සේ ප්‍රේමය වනසේක. එසේම උන්වහන්සේගේ ව්‍යවස්ථාවද ප්‍රේමය වන්නේය. එහි ප්‍රතිපත්ති යුගල වන්නේ දෙවියන්වහන්සේට ආදරය කිරීමත්, සහෝදර ජනතාවට ආදරය කිරීමත්ය.” “ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමය” (රෝම 13:10).දෙවියන්වහන්සේගේ චරිත ගුණාංග වනාහි දැහැමිතාව සහ සත්‍යතාව වන්නේය. උන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි ගුණාත්මක ස්වභාවයද එසේ ම වන්නේය. ගීත රචකයා තම සිතුවිලි මෙසේ ගැයුමට යොමු කරයි. “ඔබගේ ධර්මිෂ්ඨකම සදාකාලික ධර්මිෂ්ඨකමක්ය. ඔබගේ ව්‍යවස්ථාවද සත්‍යයය. “ඔබගේ සියලු ආඥා ධර්මිෂ්ඨකම” වන්නේය. (ගීතාවලිය 119:142,172). අපෝස්තුළු පාවුල් ව්‍යවස්ථාව ගැන මෙවන් ඇඟවීමක් කරයි. ” ව්‍යවස්ථාව ශුද්ධය,ආඥාවද ශුද්ධය,ධර්මිෂ්ඨය, යහපත්ය.”(රෝම 7:12) දෙවියන්වහන්සේගේ චින්තනය සහ කැමැත්ත ප්‍රකාශ කරන්නාවූ එවන් ව්‍යවස්ථාවක් එහි කතුවරයාණන් මෙන්ම, සදාතනය පුරා පවත්නේය.GrHSin 535.3

    සංවර්තනය (දෙවියන්වහන්සේ වෙතට හැරීම) සහ ශුද්ධතාවයට පත්වීම යන කාර්යයන්හි මූලික අරමුණ වන්නේ දෙවියන්වහන්සේ ව්‍යවස්ථාවෙහි ප්‍රතිපත්ති අනුගමනය කරමින් එය ජීවිත රටාවෙහි අංගය කරගැනිමට මගපෙන්වීය. ආරම්භයේදී මිනිසා මවන ලද්දේ දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුවය. හෙතෙම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව හා එහි ස්වභාවය සමඟ පූර්ණ එකඟතා සහයෝගයකින් යුක්ත විය. දැහැමිතාවෙහි ප්‍රතිපත්ති ඔහුගේ හදවතෙහි කෙටුම්පත් කර තිබිණ. එහෙත් මිනිසා පාපයට ගොදුරු වීමත් සමගම ඔහුට තම මැවුම්කාරයාණන් සමග තිබූ සබැඳියාව බිඳී ගියේය. තවදුරටත් ඔහු තුළින් දිව්‍ය ප්‍රතිරූපය එළිදරව් වීම අහෝසි වී ගියේය.ඔහුගේ සිතුවිල්ල දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය.”මාංසයේ ඇල්ම දෙවියන්වහන්සේට සතුරු කමය;ඒක දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත. යටත්වෙන්ටත් බැරිය.”(රෝම 8:7). කරණු මෙසේ සිදුවෙද්දී “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක.” උන්වහන්සේ එසේ කළේ ලෝකයා තමන්වහන්සේට සමඟි කරවා ගැනීමටය. ක්‍රිස්තුස්වහන්සේ කුසලතාවන් හෙවත් යහ ගුණය කරණකොටගෙන මිනිසාව තම මැවුම්කාරයාණන් සමග සංගිතයකට හෙවත් එකත්වයකට පමුණුවා ලීමට දොරටු විවෘත විය. ඔහුගේ හදවත දිව්‍ය කරුණා - අනුග්‍රහයෙන් නව ජීවිතයක් කරා යොමු විය යුතුය. ඔහු අළුත් ජීවිතයක් ඉහළින් ලබා ගත යුතුය. මෙම වෙනස නම් අළුත් ජීවිතයක් ආරම්භ වීමය. මෙම වෙනස නොමැතිව එනම්, අලුතෙන් නුපන්නොත් මිනිසාට “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අවස්ථාව ලැබෙන්නේ නැතැ “යි යේසුස්වහන්සේ පවා ප්‍රකාශ කළසේක.GrHSin 536.1

    දෙවියන්වහන්සේ හා සමගි වීමේදී උන්වහන්සේට සම්බන්ධ වීමේ මුල් පියවර නම් පාපය ඒත්තු ගැන්වීමයි. සැබැවින්ම පාපය යනු දේව නීතිය එනම් ව්‍යවස්ථාව කඩ කිරීමයි. “ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.”(1 යොහන් 3:4; රෝම 3:20). තමාගේ වරද (පාපය) පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීමට නම්, පව්කාරයා තමාගේ චරිතය, තමාගේ ක්‍රියාදාමය දෙවියන්වහන්සේගේ දැහැමිතාවේ මිනුම් දණ්ඩ ඉදිරියෙහි පිරික්සා බැලීම අනිවාර්ය වේ. ව්‍යවස්ථාව වනාහි දැහැමි චරිතයක පරිපූර්ණතාවය විදහා පෙන්නන්නාවූ කැඩපතකි. එමගින් පව්කාරයාට තමාගේ ජීවිතයහි අඩුපාඩුකම් දැකගැනීමට, විමර්ශනය කරගැනීමට අවස්ථාව උදාවන්නේය.GrHSin 537.1

    පුද්ගලයකුගේ පාප මොනවාදැයි හෙළිදරව් කිරීමට ව්‍යවස්ථාව සමත් වේ. එහෙත් එම පාපයන්ට පිළියමක් ලබා දීමට එම ව්‍යවස්ථාව සමත් නොවේ.කීකරුවන්නා හට ජීවිතය ලබාදීමට ව්‍යවස්ථාව මගින් පොරොන්දුවක් තිබෙන නමුත් එය උල්ලංඝනය කරන්නාගේ කොටස වන්නේ මරණය බවද එය පවසයි. පව්කාරයාට වරදට පත්කිරීමෙන් හෝ දූෂ්‍ය වීමෙන් මුදවාගත හැක්කේ ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට පමණක්මය. පව්කාරයා දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත. එහි දඬුවමින් මිදීම සඳහා හෙතෙම දෙවියන්වහන්සේ ඉදිරියෙහි පසුතැවීමට භාජනය විය යුතුය. ඒ අතර ඔහුට තම පාප උදෙසා වන්දි ගෙවීමේ, සමගි කිරීමේ පූජාවක් කළ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල ක්‍රියාත්මක කළ යුතුය. එම ක්‍රියා වේදය තුළින් පූර්වයෙහි කරන ලද සියළු පාපයන්ට සමාවත් එම පව් සෝදා හැරීමත් සිදුවන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස පව්කාරයා දිව්‍ය ස්වභාවයෙහි කොටස් කාරයෙකු වෙනවා ඇත. දැන් ඔහු දෙවියන් වහන්සේගේ දරුවෙකි. උන්වහන්සේ ඔහුව දරුකමට භාරගෙන ඇති සේක. “අබ්බා පියාණෙනි ,” කියා දෙව් සමිඳාණන් ඇමතීමේ භාග්‍යය ඔහුට උදා වේ. ඔහුට ඒ වරම ලැබේ.GrHSin 537.2

    ඉදින් ඔහුට දැන් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ නිදහස අත්වන්නේද?පාවුල් මෙම පැනයට පිළිතුරු සපයයි.” එසේ වී නම් අපි ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාව අවලංගු කරමුද? එසේ නොවේවා. අපි ව්‍යවස්ථාව ස්ථීර කරමුව.” ” පාපයට මුළා වූ අපි තවත් එහි කෙසේ ජීවත්වමුද?”(රෝම 3:31;6;2). මේ පිළිබඳව යොහන්ද මෙසේ ප්‍රකාශ කරයි. ” දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥ පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත.”(1 යොහන් 5:3) අළුත් උපත උදාවීමත් සමගම දෙවියන්වහන්සේ හා සමග එකඟතාවයකට හදවත ගෙන එනු ලබන්නේය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරුවීම නිසා එසේ වන්නේය. මේ බලවත් ප්‍රබල වෙනස්වීම තුළින් පව්කාරයා මරණින් ජීවනයට පත්කරනු ලබන්නේය, පාපයෙන් ශුද්ධතාවයට පත්කරනු ලබන්නේය, ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් සහ කැරැලි ගැසීමෙන් ඉවත්වී කීකරුකමට සහ පක්ෂපාතීකමට පත්කරනු ලබන්නේය. දෙවියන්වහන්සේගෙන් ඈත්වී තිබු පරණ ජීවිතය නිමාවට පත්වෙයි. ඇදහිල්ලෙහි සහ ආදරයෙහි ස්ථාපිතවූ සමඟි කරනු ලැබූ ජීවිතය ආරම්භ වෙයි. එවිට මිනිස් ස්වභාවයේ පෙළඹවීමෙන් ලෞකික ලෙස නොව ආත්මයාණන්වහන්සේගේ මඟපෙන්වීමෙන් අධ්‍යාත්මික ලෙස දිවි ගෙවන අප තුළ ව්‍යවස්ථාවේ දැහැමි අරමුණ සපුරාම ඉටුවනවා ඇත. එවිට ජීවිතය පුරා ඒකනාද වන්නා වූ ගීතය වන්නේ, “ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම්ද! දවස මුළුල්ලේම ඒක මගේ භාවනාවය.” යන්නය (ගීතාවලිය 119:97)GrHSin 537.3

    “ස්වාමීන්ගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත් කරන්නේය. ” (ගීතාවලිය 19:7). දෙවි සමිඳාණන්ගේ ධර්මිෂ්ඨ ව්‍යවස්ථාව නොමැතිව දෙවියන්වහන්සේගේ පාරිශුද්ධතාවය සහ උත්තමභාවය පිළිබඳව සංකල්පනයක් ඇති කරගැනීමට මිනිසාට හැකියාවක් ඇති නොවේ; තමන්ගේ වරද සහ අපවිත්‍රකම පිළිබඳව දැනගැනීමටද මිනිසාට හැකියාවක් උදා නොවේ. ව්‍යවස්ථාවක් නැති කල්හි තමා පව්කාරයෙක්ය යන හදපත්ලෙන් නැගී එන්නාවූ චින්තනයක් මිනිසාට උපදින්නේ නැත. ඒ නිසාම ඔහුට පසුතැවිලි වීමට උවමනා බව නොවැටහෙන්නේය. තමා දෙවියන්වහන්සේගේ විශ්වීය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදකරුවන්ය යන ඒත්තු ගැනීමක් මිනිසා තුළ ජනිත නොවන නිසාම පාපයට වන්දි ගෙවීම සඳහා වූ ක්‍රිස්තුස්වහන්සේගේ සමගි කිරීමේ පූජාවේ අවශ්‍යතාවය ගැන ඔවුන්ට හැඟීමක් උදා නොවේ. ඔවුන් ගැළවීමේ බලාපොරොත්තුව පිළිගන්නා නමුත් ඔවුන් තුළ හෘදයාංගම ජීවිත වෙනස් වීමක් සිදුවී නැත. ජීවිත ප්‍රතිසංස්කරණයක් සිදු වී නැත. මෙසේ මතුපිටින් පමණක් වූ නොගැඹුරු ආගමික හැරීමක් ඇතිව විශාල ජනකායක් සභාවට එකතු වෙයි. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් ක්‍රිස්තුස්වහන්සේ සමග කිසිම දිනක සම්බන්ධ වී නොමැත. උන්වහන්සේ සමග ඒකත්වයකට පැමිණ නැත.GrHSin 538.1

    දිව්‍ය ව්‍යවස්ථාව එපා කිරීම හෝ නොසලකා හැරීම මගින් ශුද්ධවු ජීවිතයක් ගතකිරීම පිළිබඳ වැරැදි සිද්ධාන්ත බහුල ලෙස පැතිරෙමින් පවතී. වත්මන් දවසෙහි වූ බොහෝ ආගමික නිකායන් අතර මෙම වැරදි ඉගැන්වීම් ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇත. මෙම මතවේදයන් කිතුණු මූල ධර්මයන්ට පටහැනිවනවා පමණක් නොව ප්‍රායෝගිකව භයානක ප්‍රතිඵලද උදාකර දෙනවා නියතය. මෙම මතවේදයන් මූලධර්ම හා එකඟය යන සිතිවිල්ලෙන් බොහෝ දෙනා මෙම මතවේදයන් පිළිගනිති. එහෙයින් මෙම විෂය පිළිබඳව සැවොම පැහැදිලි අවබෝධයක් ලබාගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයකි.GrHSin 538.2

    අප ශුද්ධවූ ජීවිත ගතකිරීම බයිබලීය ධර්මයකි. තෙසලෝනික සභාවට අපෝස්තුළු පාවුල් යැවූ හසුනෙහි මෙවන් ප්‍රකාශනයක් ඇත. “දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නුඹලා ශුද්ධව සිටීමය.” ඔහුගේ යාච්ඤාව නම්, “සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සහමුලින්ම පවිත්‍ර කරන සේක්වා!” යන්නය. ශුද්ධවූ ජීවිතයක් ගතකිරීම යනු කුමක්ද කියාත් එය අත්පත් කරගත හැක්කේ කෙසේද කියාත් ශුද්ධවූ බයිබලය පැහැදිලිව විස්තර කරයි. “සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව, ඔබගේ වචනය සත්‍යතාවය” යනුවෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තමන් ගෝලයින් උදෙසා යාච්ඤා කළසේක.(යොහන් 17:17). සැදැහැවතුන් “ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ශුද්ධ කරනු” ලබන්නේ යයි පාවුල් උගන්වන්නේය (රෝම 15:15). ශුද්ධාත්මයාණන්වහන්සේගේ ක්‍රියාදාමය කුමක්ද? යේසුස්වහන්සේ තම ගෝලයන්ට මෙසේ පැවසූ සේක. “උන්වහන්සේ එනම් සැබෑකමේ ආත්මයාණන්වහන්සේ ආ කළ, උන්වහන්සේ මුළු සත්‍යය කරා නුඹලාට මගපෙන්වන සේක.” (යොහන් 16:13). ගීත විශාරදයාද මෙසේ අත්වැල සපයයි. “ඔබගේ ව්‍යවස්ථාවද සත්‍යය.” දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙහි අන්තර්ගතව ඇති ධර්මිෂ්ඨකමේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති දේව වචනය තුළින් සහ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මගින් මිනිස් දසුනට විවෘත කර ඇත. දෙවියන්වහන්සේගේ “ව්‍යවස්ථාව ශුද්ධය, ආඥාවද ශුද්ධය, ධර්මිෂ්ඨය, යහපත්ය.” එය දිව්‍ය පරිපූර්ණත්වයේ විවෘතවූ පිටපතකි. එම නිසා එම ව්‍යවස්ථාවට අනුකූලව, කීකරුව ගොඩ නගා ගන්නාවූ චරිතයද ශුද්ධවූ එකක් බවට පත්වීම අනිවාර්යය. ක්‍රිස්තු චරිතය එවන් පරිපූර්ණතාවයේ ආදර්ශයකි. උන්වහන්සේ මෙසේ පවසන සේක. “මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂා” කළෙමි. “(යොහන් 15:10; 8:29). ක්‍රිස්තු අනුගාමිකයෝ උන්වහන්සේ මෙන් විය යුත්තාහ. ඔවුහු දෙවියන්වහන්සේගේ ශුද්ධවූ ව්‍යවස්ථාවට අනුකූල චරිතයන් ගොඩ නගා ගත යුත්තෝය. එය දෙවියන්වහන්සේගේ කරුණා-අනුග්‍රහය මගින් පමණක්ම කළ හැකිය. බයිබලීය ධර්මය අනුව ශුද්ධවූ ජීවිතයක් ගතකිරීම මෙයින් අදහස් වෙයි.GrHSin 539.1

    මේ දෙය ඉටුකර ගැනීමේ මාධ්‍යය වන්නේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල පමණක්ය. දෙවියන්වහන්සේගේ ආත්මයාණන් අප තුළ වාසය කිරීමේ භාග්‍යය මගින් පමණක් එය කළ හැකිය. පාවුල් බැතිමතුන් හට මෙසේ අනුශාසනා කරයි: “භයෙනුත්, වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ට කරගන්න. මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමති වෙන්ටත්, වැඩ කරන්ටත් නුඹලා තුළ ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේමය.” (පිලිප්පි 2:12,13). නිරන්තරයෙන්ම පාපයට පෙළඹවීම් කිතුණු බැතිමතාට ඇති වෙයි; එහෙත් හෙතෙම එයට විරුද්ධව සටන් කිරීමේ නිරතුරුවම යෙදී සිටින්නේය. ක්‍රිස්තුස්වහන්සේගේ සහාය අවශ්‍ය වන්නේ මෙවන් අවස්ථාවන්හිදීය. මෙහිදී මිනිස් දුබලතාව දිව්‍ය ශක්තිය සමග අත්වැල් බැඳගන්නේය. එවිට ඔහු ඇදහිල්ලෙන් මෙසේ පවසයි: “අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අපට ජය දෙන්නාවූ දෙවියන්වහන්සේට ස්තුති වේවා.”(1කොරින්ති 15:57).GrHSin 539.2

    ශුද්ධවූ ජීවිත ගත කිරීම වනාහී පියවරෙන් පියවර දියුණුවන්නා වු ප්‍රගතිශිලි වැඩ පිළිවෙළක් බව ශුද්ධ ලියවිල්ල පැහැදිලි ලෙස පෙන්වා දෙයි .ජීවිතය වෙනස් වීමේදී ක්‍රිස්තුස්වහන්සේගේ සමඟි කිරීමේ රුධිරය මගින් පව්කාරයාට දෙවියන්වහන්සේ සමග සමාදානය හිමි වේ. කිතුණු ජීවිතයේ මේ සමගම පටන් ගැනේ. ඊටපසු ˝හෙතෙම සම්පූර්ණත්වය කරා˝ ගමන් කළ යුතුය. ක්‍රිස්තුස්වහන්සේගේ පරිපූර්ණත්වය අංග සම්පූර්ණව අත්කර ගනිමින් අප සැමත් එම තත්ත්වයට පැමිණෙන තෙක්, වර්ධනය වීම අත්‍යවශ්‍යය.අපොස්තුළු පාවුල් මෙසේ පවසයි.˝ නමුත් එකක් කරමි. එනම්, පස්සෙන් තිබෙන දේ මතක නැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනූම්පල කරා දුවමි.˝(පිලිප්පි 3:13,14). ශුද්ධ වූ බයිබලය ඉදිරිපත් කරන මේ ශුද්ධ භාවය කරා පැමිණිම පිණිස අනුගමනය කළ යුතු පියවරවල් පේතෘස් මෙසේ අප ඉදිරියේහි දිග හැර පා ඇත:˝ එසේය, මේ කාරණය නිසාම මුළු උත්සහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමග ගුණයද,ගුණය සමඟ දැනගැන්මද ,දැනගැන්ම සමඟ පමණ දැන ක්‍රියාකිරිමද,පමණ දැන ක්‍රියාකිරිම සමඟ ඉවසිල්ලද,ඉවසිල්ල සමඟ දේවභක්තියද,දේව භක්තිය සමඟ සහෝදර ස්නේහයද,සහෝදර ස්නේහය සමඟ ප්‍රේමයද සපයාගන්න. ...මක් නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලෙකත් පැකිලේනනේ නැත.˝(2 පේතෘස් 1:5 — 10).GrHSin 540.1

    බයිබලීය පාරිශුද්ධිකරණය අත්දකින්නාවූ අය නිහතමානී කමෙහි ආත්මයක් පෙන්නුම් කරනවා ඇත. මෝසෙස් මෙන් ඔවුන්ද ශුද්ධතත්වයේ ගාම්භීර තේජස්ශ්‍රීය අත්දැක ඇත. අද්විතිය සර්ව බලධාරි තැනැන්වහන්සේගේ පාරිශුද්ධතාවත්, පරිපූර්ණ තාවත් ඉදිරියෙහි තමන්ගේ නොවටිනාකම ඔවුන්ට දැකගැනීමට හැකි වනවා ඇත.GrHSin 540.2

    නිර්මල පාරිශුද්ධිකරණයට භාජනය වූ තැනැත්තෙකු පිළිබඳව දිවැසිවර දානියෙල් ආදර්ශයක් විය. ඔහුගේ දිගුකාලීන ජීවිතය තමන්ගේ ස්වාමීන්වහන්සේගේ උදාර සේවය වෙනුවෙන් කැපවූ දිවියක් විය.හෙතෙම සඟයෙහි ˝ බොහෝ ප්‍රේම ලත් මනුෂ්‍යයෙක්˝ විය. එහෙත් ගෞරවයට භාජනය වූ මෙම දිවැසිවරයා තමා පවිත්‍රවූද, ශුද්ධවූ ද තැනැත්තෙකු යයි උදාරම් බස් බස් පැවසුවේ නැත. ඉශ්‍රායෙල්හි පව්කාර ජනතාව සමඟ ඔහු තමාව හඳුන්වා ගත්තේය. තම ජනතාව වෙනුවෙන් දෙවියන්වහන්සේගේ දයාව ඉල්ලාසිටි හෙතෙම තම යාච්ඤාව ඔප්පු කළේ මෙසේය:˝ අපේ කන්නලව් අප විසින් ඔබ ඉදිරියෙහි ඔප්පු කරන්නේ අපේ ධර්මිෂ්ඨකම් නිසා නොව, ඔබගේ මහත් අනුකම්පාවල් නිසාය˝ ˝ අපි කළෙමුව, දුෂ්ටකම් කළෙමුව.˝ ඉක්බිතිව ඔහු මෙසේද ප්‍රකාශ කළේය. ˝මා කථාකර යාච්ඤා කරමින් ද, මාගේ පාපය සහ මාගේ සෙනඟ වු ඉශ්‍රායෙල්වරුන්ගේ පාපයත් කියා දෙමින්ද˝ සිටියෙමි.(දානියෙල් 9:18,15,20).පසු දවසක දේව පුත්‍රයාණන්වහන්සේ ඔහුට උපදෙස් දීමට පැමිණි විට ඔහුගේ පැවැත්ම මෙසේ විය.˝ මා කෙරෙහි මාගේ ශෝභනකමද අජීවකමට හැරුණේය.කිසි ශක්තියක්ද මා තුළ නොපැවතුනේය.˝ (දානියෙල් 10:8)GrHSin 540.3

    සුළි සුළගේ සිට ස්වාමීන්වහන්සේ යෝබ්ට කථා කළ අවස්ථාවේදී ඔහු මෙසේ පැවසුවේය.˝ එබැවින් මම මටම පිළිකුල් කොට,දුවිල්ලෙත් අළුවලත් හිද පශ්චාත්තාප වෙමි.˝(යෝබ් 42:6).යෙසායාට දෙවියන්වහන්සේගේ තේජශ්‍රියේ මහිමාලංකාරය දැකගන්නට අවස්ථාවක් උදාවිය.එහි සිටි කෙරුම්බවරු හඬ නගමින්, ˝සේනාවල ස්වාමීන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය˝ කියමින් දෙවි සමිඳාණන් නමදිනවා දුටු විට ඔහු මෙසේ මොර ගැසීය. ˝අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය වි ය˝යි ඔහු කියා ගත්තේය.(යෙසායා 6:3,5) පාවුල්ට තුන්වන ස්වර්ගය දක්වා ඔසවා ගනු ලැබීය. ස්වර්ගීය පාරාදීසයට ඔසවා ගනු ලැබූ ඔහුට එහිදි මිනිස් මුවින් පැවසීමට වරම් නැති, මිනිස් බසින් පැවසිය නොහැකි දැ අසන්නට ලැබුණේය. එවන් අත්දැකීම් ලද හෙතෙම තමා ගැනම හඳුන්වා දෙන්නේ දෙවියන්වහන්සේගේ ජනතාව වන ˝සියළු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තා˝ වශයෙන්ය.(2 කොරින්ති 12:2 — 4 එජිසි 3:8). යේසුස්වහන්සේගේ ළපැත්තට හේත්තු වී උන්වහන්සේගේ තේජස් මහිමාලංකාරයේ දර්ශනය ලැබූ යොහොන් ,දේව දූතයාගේ දෙපා ඉදිරියේ මළාක් මෙන් ඇද වැටුණේය.(එළිදරව් 1:17).GrHSin 541.1

    කල්වාරි තුරුසියෙහි සෙවනැල්ල තුළ ජීවිත ගමන ගෙන යන්නා වූ අයට ස්ව- ආත්ම වර්ණනාවට ඉඩක් නැත.පාපයෙන් ලැබූ ගැළවීම පිළිබඳව උදම් අනිමින් පාරම් බෑමට ඔවුන්ට අවස්ථාවක් උදා නොවේ. දේව පුත්‍රයාණන්ගේ හදවත බිඳ දැමීමට හේතු වූ වේදනා සන්තාපයට මූලික වූයේ තමන්ගේ පාපය බව ඔවුන්ට හැඟී යන්නේය. මෙම චින්තනය ඔවුන්ව ස්වයං අවමානයක් කරා යොමු කරන්නේය. මානව වර්ගයාගේ පාපිෂ්ඨ ස්වභාවයත් දුර්වලතාවත් පිළිබඳව මනා පැහැදිලි අවබෝධයක් සහ දැනුමක් යේසුස්වහන්සේ හා ඉතා සමීපව ජීවත් වන්නාවූ අයට ඇත්තේය. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව රඳා පවතින්නේ කුරුසිපත් කළ එහෙත් මළවුන්ගෙන් නැගිට ගැළවුම්කරුවාණන්ගේ යහ ගුණය හෙවත් කුසලතාව මත පමණක්ය.GrHSin 541.2

    වත්මන් ආගමික ලෝකයේ පාරිශුද්ධි කරණයට ඉහළ තැනක් ලැබෙමින් පවතී. එකී ක්‍රියාවේදය තුළ ස්ව ආත්ම වර්ණනාව ප්‍රබල ලෙස ඉස්මතුව උසස් ස්ථානයක් දරන්නේය. ඒ අතරම වර්ණනාව ප්‍රබල ලෙස ඉස්මතුව උසස් ස්ථානයක් දරන්නේය.ඒ අතරම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවද නොසලකා හරිනු ලැබේ. මෙම ක්‍රියාවේදය බයිබලීය දහමට විරුද්ධය.මෙකි පාක්ෂිකයන්ගේ ඉගැන්වීම වන්නේ ශුද්ධතාවය එක මොහොතකින් ලබාගත හැකි බවය. ඇදහිල්ල මගින් කවර අයෙකුට හෝ සර්ව සම්පූර්ණ පරිපූර්ණත්වයට හිමිකම් කිව හැකි බව ඔවුන්ගේ චින්තනය හා ඉගැන්වීම වන්නේය.˝ විශ්වාස කරන්න. එම පාරිශුද්ධතාවේ අසිරිය ඔබ සතු වන්නේය˝යි ඔව්හු පවසති. එම ආශීර්වාදයට හිමිකම් කියන්නා විසින් කළ යුතු තවත් කිසිම කාර්ය භාරයක් නැත. ඒ අතරම ඔවුහු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ බල අධිකාරිත්ය ප්‍රතික්ෂේප කරති. දස පනතට කීකරු වීමේ අවනත භාවයෙන් සැමට නිදහස ලැබී ඇතැයි ඔවුහු අවධාරණය කරති. ව්‍යවස්ථාවෙහි ප්‍රතිපත්ති වනාහි දෙවියන්වහන්සේගේ ස්වභාවයෙහි සහ කැමැත්තෙහි ප්‍රකාශනයකි.කැඩපතකි. උන්වහන්සේගේ ප්‍රසන්නතාවට, ප්‍රසාදයට ලක්වන්නාවූ දේ එය තුළින් පෙන්නුම් කෙරේ. දෙවියන්වහන්සේගේ චින්තනයට සහ චරිත ගුණාංගයන්ට අනුකූල වූ එම ව්‍යවස්ථාවට ඒකමතික නොවී මිනිසාට ශ්‍රද්ධාවට පැමිණීමට හැකියාවක් වේද?GrHSin 542.1

    ඇදහිල්ල සහ ඇදහිල්ල කරණකොටගෙන පමණක් ගැළවීමට හිමිකම් කීමට හැකියාවක් ඇත යන්න අද ජනප්‍රිය කිතුණු ප්‍රචාරයක් වී ඇත. එම ඉගැන්වීම පිළිගැනීමේදී කිසිම වෑයම් කිරීමක් අපේක්ෂා නොකෙරේ .කිසිම ආත්ම පරිත්‍යාගයක් ඉල්ලා නොසිටි, ලෝකයෙන් තෘෂ්ණාවන්ගෙන් ඉවත් වීමක් අවශ්‍ය නොවේ. එම නිසාම එකී ක්‍රමවේද ඉතා ජනප්‍රිය ලෙහෙසි පහසු ගැළවීමේ මගක් ලෙස පිළිගැනීමට මනුෂ්‍යයෝ යොමු වෙති. එහෙත් දේව වචනය පවසන්නේ කුමක්ද? අපෝස්තුළු යකෝබ් මෙසේ පවසයි:˝ මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නමුත් ක්‍රියාවල් නැත්නම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්නට පුළුවන්ද? ...නුමුත් හිස්වු, මනුෂ්‍යයා, ක්‍රියා නැති ඇදහිල්ල නිෂ්ඵල බව නුඹ දැනගන්ට කැමතිද? අපේ පියවූ ආබ්‍රහම් තමාගේ පුත්‍රවු ඊසාක් පූජාසනය පිට ඔප්පු කළ විට ක්‍රියාවලින් ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබුවා නොවේද? ඇදහිල්ල ඔහුගේ ක්‍රියාවලින් සම්පුර්ණ වු බවත් නුඹට පෙනේ ... මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණක් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨ කරනු ලබන බව නුඹලාට පෙනෙන්නේය.˝(යාකොබ් 2: 14-24).GrHSin 542.2

    ක්‍රියාවලින් තොර ඇදහිල්ල වූ මෙම මුළාකාරී දහම දෙවියන්වහන්සේගේ වචනයෙහි සාක්ෂින්ට එක හෙළාම විරුද්ධය. කරුණාව දානය කරනු ලැබීමට නම් ඒ සඳහා ඉටු විය යුතු කොන්දේසි සමග අනුගත නොවී, ඇදහිල්ල මගින් පමණක් සගයේ වරප්‍රසාද ඉල්ලා සිටින්නේ නම් එය එඩිතරව පව්කිරීමක් වන්නේය. මක්නිසාදයත් සැබෑ ඇදහිල්ල පදනම් වී ඇත්තේ ශුද්ධ ලියවිල්ලෙහි අන්තර්ගත පොරොන්දු හා සැපයීම මතය.GrHSin 543.1

    දෙවියන්වහන්සේගේ එක් අවශ්‍යතාවක් වුවද හිතාමතාම උල්ලංඝනය කරමින් තමන්ට ශුද්ධත්වය හිමි කරගැනීමට හැකිවෙතැයි සිතමින් කිසිවෙක් තමාව රවටා නොගනීවා. පාපයක් බව දැන දැනම යම්කිසි ක්‍රියාදාමයක යෙදෙමින් දිවි ගෙවීම මගින් ආත්මයාණන්වහන්සේගේ සාක්ෂි දැරීමේ හඬ නිශ්ශබ්ද වෙයි. අවසානයේදී එකී තැනැත්තා දෙවියන්වහන්සේගෙන් ඉවත්වෙයි. සැබැවින්ම පාපය යනු දේව නීතිය කැඩීමය.˝පව්කරන තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත් උන්වහන්සේ ඇඳින ගත්තේවත් නැත.˝(1 යොහන් 3:6).යොහන් තම ලිපියෙහි තේමාව ලෙස යොදා ගන්නේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳව යථාර්ථය හෙළිදරව් කිරීමය. එහෙත් දෙවියන්වහන්සේගේ ආඥා කඩ කරමින්, දිවි ගෙවන්නාවූ,තමා පාරිශුද්ධතාවට පත්වී ඇතැයි කියාගන්නා අයගේ නියම චරිතය හා දිවිය පිළිබඳව අදහස් දැක්වීමටද ඔහු තම ලිපියේ අවධාරණය යොමු නොකර සිටින්නේද නැත. ˝උන්වහන්සේ අඳුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය, සැබෑවද ඔහු තුළ නැත. නමුත් යමෙක් උන්වහන්සේගේ වචනය පවත්වන්නේද, ඔහු තුළ සැබෑවටම දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී තිබේ.˝(1 යොහන් 2:4,5). මෙය සෑම ආකාරඇදහිලිවන්තයෙකුගේම ඇදහිලි ප්‍රකාශය පිරික්සා බැලියහැකි මිනුම් දණ්ඩකි. සගයෙහි හෝ වේවා,පොළොවෙහි හෝ වේවා මිනිසෙකුගේ ශුද්ධතාව මිණිය හැකි එකම ප්‍රමිතිය වන්නේදෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවයි. යම් පාර්ශවයකට අයත් ජනතාවකට සදාචාර නීතියෙහි බැරෑරුම්තාව පිළිබඳව තක්සේරු කිරීමක් නැතිනම්, ඔවුන් දෙවියන්වහන්සේගේ අණ පනත් සැහැල්ලු කොට සලකනවා නම්, මෙකී ආඥාවන්හි කුඩා ආඥාවක් හෝ කඩ කරනවා නම්, එසේ කරන්ට බැතිමතුන් හට උගන්වනවා නම්, ඔවුන් ස්වර්ගයෙහි පිළිගනු ලබන්නේ නැත.ඒ අනුව ඔවුන් තමා ශුද්ධවන්තයන් යයි කියා ගන්නේ නම් ඔවුන්ට ඒ සඳහා කිසිම පදනමක් නැත.GrHSin 543.2

    ඒ අතරම සමහරෙක් තමන් තුළ පාපයක් නැතැයි කියා ගනිති. මෙසේ කියාගන්නා තැනැත්තේ ශුද්ධතාවේ සමීපයටවත් පැමිණ නැති බවට එම ප්‍රකාශය කදිම සාක්ෂියකි. එවන් තැනැත්තන් එසේ පවසන්නේ දෙවියන්වහන්සේගේ අනන්ත පවිත්‍රතාවත් අසීමිත පාරිශුද්ධතාවත් පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති නිසාය; දෙවියන්වහන්සේගේ නිර්මල චරිතය සමඟ අනුගත වෙමින් ශුද්ධව ජීවත් වන්නේ කෙසේදැයි ඔවුන් දන්නේ නැති නිසාය.ජේසුස් වහන්සේ අති ශුද්ධ පවිත්‍ර තාවත් උන්වහන්සේගේ අති උත්කෘෂ්ට ආදරයක් ගැන එවන් අය තුළ ඇත්තේ ඉතා පටු අවබෝධයකි. පාපයේ නපුරු ස්වභාවය මෙන්ම පාපයේ මාරක ස්වභාවය ගැනද ඔවුහු කරුණු හරිහැටි නොදැනිති. මෙම කරුණ පිළිබඳව යමෙකුට නිවැරැදි අවබෝධයක් තිබේ නම් කිසිම පුද්ගලයෙක් තමා ශුද්ධ යයි කියා ගැනීමට තරම් අභීත වන්නේ නැත. ක්‍රිස්තුස්වහන්සේ හා එවැනි පුද්ගලයෙකු අතර පවත්නා සබැඳියාව දුරස්ථරවූ තරමට දෙවියන්වහන්සේගේ දිව්‍ය චරිත ගුණ සොබාව සහ උන්වහන්සේ ඉල්ලා සිටින්නාවූ සුදුසුකම් පිළිබඳව ඔහු තුළ පවත්නා සංකල්පය අල්ප වන්නේය. එම තැනැත්තා තමා සුවිශේෂී දැහැමි අයෙක්ය යන චින්තනයෙහි රැඳී සිටී.GrHSin 544.1

    ශුද්ධ ලියවිල්ලෙහි ඉදිරිපත් කරන්නාවූ පාරිශුද්ධකරණයට මිනිසාගේ ආත්මය, ප්‍රාණය ශරීරය යන කොටස් තුනම ඇතුළත් වේ. තෙසලෝනික බැතිමතුන් උදෙසා පාවුල් මෙසේ යාච්ඤාවක් ඔප්පු කළේය.” සාමදානයේ දෙවියන්වහන්සේම .... නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමීවූ යේසුස් කිස්තුස්වහන්සෙගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා.”(1 තෙසලෝනික 5:23). හෙතෙම නැවත වරක් බැතිමතුන්ට මෙසේ ලිවීය. “එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි.”(රෝම 12:1) ඈත අතීතයේදී විසූ ඊශ්‍රායෙලිතයන්ගේ කාලයේදී දෙවියන්වහන්සේට පූජා කිරීම සඳහා එකී ජනතාව සත්වයන් රැගෙන ආවෝය. ඒ සෑම පූජාවක්ම ඉතා සුපරික්ෂාකාරී ලෙස සෝදිසි කරනු ලැබීය. යාගය සඳහා ඉදිරිපත් කරනු ලැබූ සත්වයෙකු තුළ යම් අඩුපාඩුවක් දිස් වී නම් ,පූජාව සඳහා එම සතා පිළිනොගන්නා ලදී. කුමක්හෙයින්ද පුද කරන්නාවූ යාගය “කැළැල් රහිත” විය යුතුය යන්න දෙවියන්වහන්සේගේ නියමය විය, එසේම කිතුණු බැතිමතුන්ගෙන් දෙවියන්වහන්සේ ඉල්ලා සිටින්නේද තමන්ගේ ශරීර දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ, ජීවමානවූ, ශුද්ධවූ යාගයක් කොට ඔප්පු කරන ලෙසය. මෙවැන්නක් ඉටු කිරීමට නම් එම සියළු බලශක්තීන් හැකි තරම් උපරිම යහපත් තත්ත්වයෙන් ආරක්ෂා කරගත යුතු වේ. යම්කිසි මනුෂ්‍යයෙකුගේ ශාරීරික හෝ මානසික ශක්තීන් දුබල කරන්නාවූ යම්කිසි පුරුදු ඔහු තුළ තිබේ නම් තම මැවුම්කරුවාණන්ගේ සේවය සඳහා හෙතෙම නුසුදුස්සෙකු බවට පත්වන්නේය. අප විසින් දානය කළ හැකි ඉතා අගනාම දේ දෙවියන්වහන්සේට පූජා නොකරන්නේ නම්, උන් වහන්සේ එබඳු යාගයක් ගැන ප්‍රසන්න වන සේක්ද? ” ඔබගේ මුළු හදවතින්ම දෙවියන්වහන්සේට ආදරය” කරන්නැයි ක්‍රිස්තුස්වහන්සේ වදාළ සේක. තමන්ගේ මුළු හදවතින් දෙවියන් වහන්සේට ආදරය කරන්නාවූ අය තමන්ගේ ජීවිතයෙහි ඉතාම අගනාවු ද උසස්වූ ද සේවය උන්වහන්සේට ලබාදීමට ආශාවෙති. ඔවුන් තුළ පවතින සියලු හැකියාවන් මගින් දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටුකිරීමට පුළුවන් වන පිණිස ඒවා වර්ධනය කරගැනීමට ඔවුහු නිරතුරුවම, අඛණ්ඩව වෙහෙස දරති. ඒවා වර්ධනය කරගැනීමේදී දෙවියන්වහන්සේගේ අණ පනත් හා එකඟතාවයෙන් යුතුව එසේ කිරීමට ඔවුහු සියළු අයුරින් වෑයම් කරති. තමන් පියාණන් වූ ස්වර්ගීය දෙවියන්වහන්සේට පුද කරන්නාවූ පූජාව කිළිටි වීමට හෝ කැළැල් සහිත වීමට හේතු වන්නාවූ තෘෂ්ණාවන්ට සහ අභිරුචියාවන්ට අවස්ථාවන් ලබා නොදෙමින් ඒවායින් වැළකී සිටීමට අධිෂ්ඨාන පූර්වකව තීරණය කරගෙන දිවි ගතකරති.GrHSin 544.2

    පේතෘස් මෙසේ අනුශාසනා කරයි: “ආත්මයට විරුද්ධව යුද්ධ කරන මාංසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි.”(1 පේතෘස් 2:11). සියළු ආකාර තෘෂ්ණාවක් හා ආශාවක්ම පිනවීමට යාමේදී එමගින් ඉන්ද්‍රියයන් බෙලහීන තාවයට පත්වේ. මනස හිරීවැටීමකට පත් වේ. ඒ සමගම මානසික මෙන්ම ආත්මික සත්‍යයන් අවබෝධ කරගැනීමේ හැකියාවද අඩ පණ වන්නේය. එවන් පසුතලයක් තුළ දේව වචනයට හෝ ශුද්ධාත්මයාණන්ට අනුබලයක් දැක්විය හැක්කේ ඉතා දුබල අයුරකින් පමණකි. කොරින්තියේ බැතිමතුන්ට හසුනක් යවන්නාවූ පාවුල් මෙසේ පවසන්නේය.” මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් පවිත්‍ර කරගනිමින් දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව ශුද්ධකම සම්පූර්ණ කරගනිමු.” (2 කොරින්ති 7:1). එසේ කරමින් ශුද්ධාත්මයාණන් වහන්සේගේ ඵල වර්ධනය කරගනිමු. එම ඵල නම් “ප්‍රේමය, ප්‍රීතිය සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම,යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය.”(ගලාති 5: 22, 23 බලන්න).GrHSin 545.1

    දේවානුභාවයෙන් ලබාදී ඇති මෙවන් ප්‍රකාශන තිබියදී පවා කිතුණුවන් යයි කියාගන්නාවූ කොපමණ පිරිසක් ධන සම්පත්ති සොයමින් විලාසිතාවන්ට යොමු වෙමින් තමන්ගේ ශක්තින් හීන කර ගනිත්ද? ඒ අතරම බොහෝ අය කෑදරකම, මුද්‍රික පානය සහ වෙනත් තහනම් සැප සෙල්ලම්හි නිරත වෙමින් දේව ස්වරූපයට සමාන මිනිස්කම දූෂ්‍ය කර ගනිති. ඒ අතර තමන්ගේ භාණ්ඩාගාරය තර කරගැනීමේ අරමුණින් දේව සභාවද දේව අපහාසයට භාජන වන්නා වූ ක්‍රියාදාමයන්ට තරවටු කරනු වෙනුවට එම දේවල් කිරීමට දිරි ගන්වති. අභිරුචිය පිනවන ක්‍රියාවන්ට, ලාභ ලබාගැනීමේ හෝ සැප සෙල්ලමෙහි යෙදීමේ ක්‍රියාදාමයන්ට යොමුවීමට සභාව දිරි දෙන්නීය.ක්‍රිස්තුස්වහන්සේ උදෙසා වූ ආදරය මගින් භාණ්ඩාගාරය පිරවීමේ හැකියාවක් නැති තරම්ය. යේසුස්වහන්සේ අද දේවස්ථානයට පැමිණ ආගමේ මුවාවෙන් එවන් තැන්හි සිදු කෙරෙන්නාවූ මංගල්‍ය උත්සවයක් හා ශුද්ධ නොවූ වෙළහෙළදාම් දුටුවහොත් උන්වහන්සේ කෙසේ ක්‍රියා කරනවා ඇද්ද? උන්වහන්සේ මෙලොව වැඩ විසූ සමයෙහි දේව මාළිගාවේ මුදල් මාරු කරන්නන් දේව මාළිගයෙන් පිටතට පන්නා දැමූ ආකාරයෙන්ම අදත් දේව මාළිගාවන් කෙළෙසන්නන්ව පන්නා දමනවා ඇති නොවේද?GrHSin 546.1

    ඉහළින් පැමිණෙන්නා වූ එනම් ස්වර්ගයෙන් එන්නාවූ ප්‍රඥාව අන් සැමට පළමුවෙන් “පිරිසිදුව” තිබෙන බව යකොබ් ප්‍රකාශ කර තිබේ. තමන්ගේ තොල් අග යේසුස්වහන්සේගේ අනගි ශ්‍රී නාමය දරමින් දුම්වැටි මගින් මෙම තොල් අපවිත්‍ර කරන්නාවූ අය දුටුවහොත් යකොබ් කුමක් කියයිද? මේ දුම් වැටියෙන් පිටවන්නාවූ දුගඳ ශරීරය මෙන්ම හුස්මද අපවිත්‍ර කරමින් පරිසරයේ වාතය දූෂණය කරයි.අවට සිටින්නාවූ අය මෙම විෂ වායුව ආශ්වාස කිරීමට බල කරනු ලබති. යාකොබ්ට ඔවුන් හමුවූයේ නම් ඔවුන් ලෞකිකත්වයට බරවූ, ඉන්ද්‍රියන් පිනවීමට බරවූ, යක්ෂයාගේ දරුවන් යයි ඔහු නොපවසා සිටීවිද? සම්පූර්ණ විශුද්ධකරණයේ ආශිර්වාදයන්ට අයිතිවාසිකම් කියමින් ස්වර්ගය කෙරෙහි තමාට ඇති බලාපොරොත්තුව ගැන නිතරම කථා කරන්නාවූ දුම්වැටියට වහළුන් වී සිටින්නාවූ අය පිළිබඳව දෙවියන්වහන්සේගේ වචනය පැහැදිලිවද සරලවද මෙසේ පවසයි: “අපවිත්‍ර දෙයක්වත්, පිළිකුල් වූ බොරුවූ දෙයක් කරන්නෙක්වත් කිසිසේත් එහි (ස්වර්ගයට) ඇතුළු නොවන්නේය” යන්නය(එළිදරව් 21: 27).GrHSin 546.2

    ” නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදැනීවුද? නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේට ගනු ලැබුවාහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරන්න.(1 කොරින්ති 6:19,20). ශුද්ධාත්මයාණන්වහන්සේ වැඩ වාසය කරන්නාවූ සිරුරක් හිමි තැනැත්තෙක් විනාශකාරී පුරුද්දකට වහලෙක් නොවනවා ඇත. ඔහු සතු සියළු හැකියාවන් ක්‍රිස්තුස්වහන්සේට අයිතිය, මක්නිසාද යත්, උන්වහන්සේ සිය ශ්‍රී රුධිරයෙන් වන්දි මිලක් ගෙවා ඔහුව මිලේට ගෙන ඇත. හෙතෙම ස්වාමීන්වහන්සේ සන්තක වස්තුවක් වන්නේය. ඔහු සතු සම්පත්ද, දෙවියන් වහන්සේ සතුය. එම පුද්ගලයා වෙනුවෙන් යෙදවු මිලය නාස්ති කිරිමෙන් ඔහුට නිවැරැදි කරුවෙකු විය හැකිද? නාමික කිතුණු බැතිමත්හු අවැඩදායී වුද, අහිතකර වූද ක්‍රියාදාමයන්හි යෙදෙමින් වාර්ෂිකව විශාල ධන සම්භාරයක් වියදම් කරති.විනෝදකාමී ජීවිත වින්දනය සඳහා මෙසේ මුදල් වැය කරන අතරේදී වෙනත් අය ජීවනයේ වචන නොලැබ ආත්ම විනාශයේ දොරටුව කරා පා නගති. දිළිඳුන්ට සරණ වීමට මුදලක් වැය කිරීමට අකමැති වන්නාවූ අයද, ශුභාරංචි සේවයට ආධාර නොකරන්නාවූ අයද බොහෝ අවස්ථාවන්හිදී තම ධනයෙන් විශාල කොටසක් තෘෂ්ණාවන් පිනවීමේ පූජාසනය මත පූජා කරති. ඔව්හු දේව සේවය සඳහා දිය යුතු දසයෙන් කොටස හා සම්මාදම් දෙවියන්වහන්සේගෙන් සොරා ගනිති. ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරනවා යයි පවසන්නාවූ අය සත්‍ය වශයෙන් පාරිශුද්ධතාවට පැමිණ සිටිත් නම් ඔව්හු තම ධන සම්පත් නිරර්ථක ලෙස හෝ අහිතකර දෑ සඳහා වැය නොකර, දෙවියන්වහන්සේගේ ගබඩා ගෙට ගෙනෙනවා ඇත. ආත්ම දමනයේ, ආත්ම පූජාවිමේ සහ ආත්ම පරිත්‍යාගයේ ආදර්ශයක් වීමට ක්‍රිස්තුභක්තිකයන්ට පුළුවන් වෙනවා ඇත. එවන් ජීවිත රටාවක් යටතේ ඔවුහු ලෝකයේ ආලෝකය බවට පත්වන්නාහුය.GrHSin 546.3

    ස්ව-ආත්මය පිනවීමේ අරමුණ ලෝකයාගේ මූලික පරමාර්ථය බවට පත්ව තිබේ.” මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරයත්” අද ලෝක ජනතාවගේ බහුතරයක් පාලනය කරමින් සිටී.එසේ වුවද, කිතුණු අනුගාමිකයන්ට උසස් කැඳවීමක් ලබාදී ඇත.” ඔවුන් අතරෙන් පිටතට ඇවිත් වෙන්ව සිටින්න.... අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්න.” යනු ස්වාමීන්වහන්සේගේ අනුශාසනාව වන්නේය. පව්කාරවූ ක්‍රියාදාමයන්හි යෙදීමත් ,තෘෂ්ණාවන් පිනවීම සඳහා ක්‍රියා කිරීමත් සම්පූර්ණාකාරයෙන් අත්හැරිමක් නොකරන්නේ නම්, කිසියම් ආකාරයකින් හෝ එවන් දැයෙහි නිරත වන තැනැත්තා අවංකවූ ද, සත්‍යවූ ද විශුද්ධිකරණයට භාජනය වී නැති බව දෙවියන්වහන්සේගේ වචනයේ ආලෝකය අනුව පැවසීම යුක්ති සහගත වන්නේය.GrHSin 547.1

    ඔවුන් වෙතින් පිටතට විත් වෙන්ව සිටින්න. කිසි අපවිත්‍ර දෙයකට අත නොතබන්න” යන ඉල්ලීමට අවනත වන්නාවූ අයට දෙවියන්වහන්සේ දෙන්නාවූ පොරොන්දුව මෙසේය: “එවිට මම නුඹලා පිළිගෙන, නුඹලාට පියෙක් වන්නෙමි. නුඹලාද මට පුත්‍රයොත් දූවරුන් වන්නහුය යි සර්ව පරාක්‍රමවූ ස්වාමීන්වහන්සේ කියනසේක.”(2 කොරින්ති 6:17,18). දෙවියන්වහන්සේගේ දේවල් පිළිබඳව සාරවත්වූ ද ,පුළුල් හා බහුලවු ද අත්දැකීමක් තිබීම සෑම කිතුණුවෙකුගේම භාග්‍යය හා යුතුකම වන්නේය. “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා, අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේය “යි යේසුස්වහන්සේ පැවසූසේක.(යොහන් 8:12). “ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝක වේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.”(හිතෝපදේශ 4:18).” අන්ධකාරයක් කොහෙත්ම නැති” ලෝකයේ ආලෝකයාණන්වහන්සේ සමග කෙනෙකුගේ ජීවිතය ඉතා සමීප සබඳතාවකට පමුණුවා ලීමට ඇදහිල්ලේ හා කීකරුකමෙහි සෑම පියවරක්ම හේතුකාරක වන්නේය.දැහැමිතාවෙහි සුර්යයාගේ දීප්තිමත් ආලෝක දහරා දෙවියන්වහන්සේගේ සේවකයන් මත දිස්නය පතුරුවන්නේය. උන්වහන්සේගේ එම ආලෝක දහරා පරාවර්තනය කිරීම ඔවුන් සතු වගකීමයි, කාර්ය භාරයයි.තමන් දීප්තිමත්ව බැබළෙන්නේ සගයෙහි පවතින්නාවූ ශ්‍රේෂ්ඨ වූ ආලෝකයෙහි තේජසින් බව තාරකා අපට දක්වයි. විශ්වයේ සිංහාසනය මත දෙවියන්වහන්සේ වැඩවසන සේක. එම තැනැන්වහන්සේගේ චරිතයට ප්‍රශංසා කිරීමද එය අනුකරණය කිරීමද සුදුසු යැයිද, වටිනාකමින් යුතු යයිද කිතුණු බැතිමත්හු ප්‍රකාශයට පත් කළ යුත්තෝය. දෙවියන්වහන්සේගේ සාක්ෂිකරුවන් තුළ උන්වහන්සේගේ ආත්මයාණන්ගේ කරුණා- අනුග්‍රහයන්ද, උන්වහන්සේගේ චරිතයෙහි පවිත්‍රවුද, පාරිශුද්ධවූ ද ගුණාංගද දැකගැනීමට හැකියාව තිබිය යුතුය.GrHSin 547.2

    කොලොස්සිවරුන්ට තමා යැවූ හසුනෙහි පාවුල් පවසන්නේ දෙවියන්වහන්සේගේ දරුවන්ට සාරවත් වූ ආශිර්වාද ලබාදී ඇති බවයි. හෙතෙම මෙසේ පවසයි: “එබැවින් අපිත් ඒ ඇසූ දා පටන් නුඹලා උදෙසා නොකඩවාම යාච්ඤා කරමින්, නුඹලා සියලූ ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණවී සියලු යහපත් ක්‍රියාවලින් ඵල දරමින්ද, දෙවියන්වහන්සේ දැනගැන්මෙහි වර්ධනය වෙමින්ද,ප්‍රිතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද, ... නුඹලා ස්වාමින්වහන්සේට ඔබින ලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව හැසිරෙන ලෙස ඉල්ලමුව”(කොලොස්සි 1:9 — 12).GrHSin 548.1

    කිතුණුවන්ට හිමි වන්නාවු වරප්‍රසායන්හි ඉතා උසස් තත්ත්වය පිළිබඳව ඒපිසියේ සහෝදරයන් දැනගෙන සිටීම අවශ්‍ය යයි පාවුල් නැවත වරක් අවධාරණය කරයි.සර්ව බල පරාක්‍රම සමිඳුන්ගේ දූ පුතුන් ලෙස ඔවුන්ට අත්පත් කරගත හැකි විශිෂ්ඨ බලය සහ දැනුම පිළිබඳව ඔවුන් ඉදිරියේ පරිපූර්ණ විස්තරයක් පාවුල් ඉදිරිපත් කරයි.දෙවියන්වහන්සේ තම ආත්මයාණන්වහන්සේ මගින් ස්වකීය තේජෝ මහිමවත් සමෘද්ධියෙන් ඇතුළාන්ත-මිනිසා බලයෙන් සවිමත් කිරීමේ වරප්‍රසාදය ඔවුන්ට හිමි වන බව පාවුල් මෙසේ පවසයි.”ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට, දෙවියන්වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස්වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන , එහි පළල, දිග,උස,ගැඹුර කිමෙක්ද කියා තේරුම් ගන්ට නුඹලාට පුළුවන් වන පිණිසත්, උන්වහන්සේගේ මහිමයේ සම්පතේ හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤා කරමි.”දෙවියන්වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වීමට පුළුවන්කම ඔවුන්ට ලබාදෙන්නයි” යාච්ඤා කිරීමේදී ඔහුගේ යාච්ඤාව වරප්‍රසාදයේ ඉහළම ස්ථානය කරා ළඟාවීමට ඉල්ලයි.(එපීස 3:17-19).GrHSin 548.2

    අපි අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටුකරන්නෙමු නම් අපට අත්වන්නාවූ වරප්‍රසාද වල උත්තම භාවය මෙහි එළිදරව් කර තිබේ. මේ වරප්‍රසාද සහ ආශිර්වාද භුක්ති විඳීමේ භාග්‍යය හිමි කරගත හැක්කේ ක්‍රිස්තුස්වහන්සේගේ යහගුණ කුසලතා කරණකොටගෙන ලබාදෙන්නාවූ අනන්ත බලපරාක්‍රම උල්පතින්ය. “තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරු කර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නාවූ තැනැන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද?” (රෝම 8:32). පියාණන්වහන්සේ තමන් ආත්මයාණන්වහන්සේව නොමසුරු ලෙස ස්වකීය පුත්‍රයාණන් වහන්සේට ලබාදුන් සේක. ඒ භාග්‍යයට පූර්ණ ලෙසින් සහභාගී විමට අපටද පුළුවන.යේසුස්වහන්සේ මෙසේ පවසන සේක ” නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිව් නම්, කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙනසේක්දැයි කීසේක.”(ලූක් 11:13) ” නුඹලා විසින් මාගේ නාමයෙන් කොයි දෙයක් ඉල්ලුවත් මම ඒක ඉෂ්ට කරන්නෙමි.” ” නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඉල්ලන්න. එවිට නුඹලාට ලැබෙන්නේය.(යොහන් 14:14; 16:24). GrHSin 549.1

    ක්‍රිස්තු භක්තිකයා තුළ නිහතමානී ගුණාංග ප්‍රබල තැනක් දරන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් හෙතෙම දුකින් බර ස්වභාවයක් නොදැරිය යුතුය. තමාගේ ජීවිතය දෙවියන්වහන්සේගේ අනුමැතියට භාජනය කර උන්වහන්සේට ආශිර්වාද කළ හැකි අයුරින් ජීවිත රටාවක් පෙළ ගස්වා ගැනීම සෑම කිතුණුවෙකුටම ලැබෙන්නාවූ වරප්‍රසාදයකි. දෝෂාරෝපණයට ලක්ව දණ්ඩනයට නියම කරනු ලැබූ අයෙකුගේ චින්තනයෙන් යුතුව අප ජීවත් වනවා දැකීම අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ කැමැත්ත නොවේ. යමෙකුගේ මනස තමා ගැනම වූ සිතුවිලි වලින් පිරී, තමා අභාග්‍යවන්තයෙකු යයි සිතමින් හිස බිමට යොමු කොට කල් ගෙවීම සත්‍යවාදී නිහතමානීකම නොවන්නේය. එය නිහතමානී ජීවිතයක සාක්ෂියක් නොවන්නේය. යේසුස්වහන්සේ වෙත ගොස් පව් සෝදා පවිත්‍රවී ලැජ්ජාවෙන් සහ පසුබෑමකින් තොරව දේව ව්‍යවස්ථාව ඉදිරියෙහි නැඟී සිටීමට අපට පුළුවන. “එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරිමක් නැත. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළාය”(රෝම 8:1,2).GrHSin 549.2

    දේව අභිමුඛයෙන් වැටී ගියාවූ ආදම්ගේ දරුවන්ට යේසුස්වහන්සේ කරණකොටගෙන “දෙවියන්වහන්සේගේ පුත්‍රයන් සහ දියණියන් වීමේ ” භාග්‍යය ලැබෙන්නේය. “මක්නිසාද පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද යන සියල්ලෝම එක්කෙනෙකුගෙන්ය. ඒ කාරණය නිසා උන්වහන්සේ ඔවුන්ට සහෝදරයෝ යයි කියන්ට ලජ්ජා නොවී” සිටින සේක.(හෙබ්‍රෙව් 2:11). කිතුණුවෙකුගේ ජීවිත පැවැත්ම දෙවියන්වහන්සේ තුළ ඇදහිල්ලෙහි, ජයග්‍රහණයෙහි, සහ ප්‍රීතියෙහි වූ එකක්ම විය යුත්තේය. “මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජය ගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය. “(1 යොහන් 5:4). දෙවියන්වහන්සේගේ මෙහෙකරුවා වූ නෙහෙමියා සැබැවින්ම මෙසේ පැවසීය: “ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවීම නුඹලාගේ ශක්තියය” (නෙහෙමියා 8:10). පාවුල්ද මෙසේ පවසයි: “ස්වාමින්වහන්සේ තුළ නිතරම ප්‍රීතී වෙන්න.ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි.” (පිලිප්පි 4:4 ) “නිතරම ප්‍රීතිවෙන්න; නොකඩවා යාච්ඤා කරන්න; සියල්ලේදී ස්තුති කරන්න; මක්නිසාද ක්‍රිස්තුස්යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.” (1 තෙසලෝනික 5:16-18).GrHSin 550.1

    බයිබලයෙහි දැක්වෙන සමයානුකූල හැරීමෙහි සහ විශුද්ධිකරණයෙහි ඵල එයාකාරය. දේව ව්‍යවස්ථා සංග්‍රහයෙහි ධර්මිෂ්ඨකම ගැන ඇත්තාවූ මේ උතුම් ප්‍රතිපත්ති කදිමට එළි දක්වා ඇත. කිතුණු ලෝකයාගේ බොහෝ අය මෙම ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති කෙරෙහි සැලකිල්ල දක්වන්නේ නියම තැකීමක් නොමැතිවය. එම නිසාම එකී ක්‍රියාදාමයන්හි ඵල දැකගැනීම විරලය. ආදි යුගයන්හිදී දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේගේ ගැඹුරුවූ, රඳා පවතින්නාවූ ක්‍රියාන්විතය නව පිබිදීමක් ඇතිවූ විට නිරතුරුවම විශේෂාකාරයෙන් දැකගැනීමට හැකි විය. එහෙත් වත්මනදී ආත්ම පිබිදීමේ රැස්වීම තුළ එම සාධකය දැක ගන්නටවත් නොහැකි තරම්ය.GrHSin 550.2

    නිරතුරුවම දර්ශනය කිරීමෙන් අපි වෙනස් කරනු ලබන්නෙමුව. දෙවියන්වහන්සේගේ චරිතයෙහි ශුද්ධත්වය සහ පරිපූර්ණත්වය නිර්මල වූ දහම්-ව්‍යවස්ථාව තුළින් උන්වහන්සේ මිනිස් දර්ශනයට විවෘත කර ඇත. ඒ අතර මිනිසා එම දහම් අණ පනත් තමාගේ සැලකිල්ලෙන් බැහැර කර ඇත. මිනිස් අවධානය, මිනිස් අවධානය, මිනිස් ඉගැන්වීම් සහ මතවාද කෙරෙහි මිනිසා ආකර්ෂණය වී ඇත. මෙහි ප්‍රතිඵල වශයෙන් විශ්වාසවන්තයන්ගේ ශ්‍රද්ධාව ඉතා පහත් ප්‍රවේශයක් කරා පැමිණ තිබීම පුදුමයක් නොවේ. ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක: “මාගේ සෙනඟ නපුරු දේවල් දෙකක් කළෝය; ඔව්හු ජීවන වතුර උල්පත වූ මා අත්හැර, කටාරම් එනම් වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම් තමුන්ට කපාගත්තෝය.” (යෙරෙමියා 2:13).GrHSin 551.1

    “දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ ... ස්වාමින්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහි කරන්නාවූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේය. ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ නියම කළට ඵල දෙන නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵල වෙයි.” (ගීතාවලිය 1:1-3). දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව එයට හිමි විය යුතු නියම ස්ථානය වෙත නැවත පිහිටුවන තෙක් උන්වහන්සේගේ සෙනඟ අතර ආත්ම නවෝදයක්, ආත්ම පිබිදීමක්, ක්‍රියාත්මක නොවන්නේය. ආදි කල්පිත ඇදහිල්ලක් සහ දේව භක්තික පැවැත්මක් සිදුවීමට නම් ව්‍යවස්ථාවට නිසි තැන ලැබිය යුතුය. “නුඹලා මාර්ගවල නැවතී සිට බලා, හොඳවූ මාර්ගය කොයි එකද කියා පුරාණ මාවත් ගැන අසාගන එහි යන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබේ යැයි ස්වාමීන්වහන්සේ කියන සේක.” (යෙරෙමියා 6:16).GrHSin 551.2