Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 5—ගම්භීරවත් පො‍රොන්දු

    සැමියා සහ බිරිඳ උදෙසා දෙවියන්වහන්සේගේ අරමුණ: දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ස්ත්‍රියක සෑදු සේක්, ඇය ඔහුට මිතුරියක හා සහායිකාවකද ඔහු සමග ඒකත්වයක්ද ඔහු දිරි ගන්වමින් ඔහුට ආශිර්වාදයක්වද සිටිය යුතු වූවාය.ඔහුද ඇයගේ ශක්තිමත් උපකාරකරු විය යුතු විය.ශුද්ධ අරමුණක් ඇතිව සරණ බන්ධනයට ඇතුළ්වන සැමියා, බිරිඳගේ හදවතෙහි පවිත්‍ර සෙනෙහස ලබාගන්නටත්, බිරිඳ සැමියාගේ චරිත ස්වභාවය දියුණු කර ලමින් ඊට පූර්ණත්වය ලබා දෙන්ටත් යනාදී වශයෙන් තමන් උදෙසා වූ දිව්‍ය අරමුණ ඉටු කරන්නෝය.AHS 16.1

    ක්‍රිස්තුස්වහන්සේ පැමිණ වදාළේ මෙම ප්‍රඤප්තිය විනාශ කරනට නොව, එය එහි ආරම්භක ස්වභාවයේ ශුද්ධ උසස් තත්ත්වයට නගාලන්ටය. මනුෂ්‍යයා තුළ වූ දෙවියන්වහන්සේගේ සුචරිත ස්වභාවය යලි ප්‍රතිස්ථාපනය කරනු පිණිස පැමිණි උන්වහන්සේ සිය කාර්යය පටන් ගෙන වදාළේ විවාහ බන්ධනය අනුමත කරමිනි.AHS 16.2

    ක්‍රිස්තුස්වහන්සේගෙන් නිකුත් වන දිව්‍ය ප්‍රේමය මානව ප්‍රේමය විනාශ කරනවා නොව එය අන්තර්ගත කර ගන්නේය.ඒ කරණ කොට ගෙන, මානව ප්‍රේමය පරිශුද්ධ කොට, උසස් කොට උතුම් ස්වභාවයකට පත් කෙරෙයි. මානව ප්‍රේමය දිව්‍ය ස්වභාවය සමඟ එක්ව ස්වර්ගය දෙසට වැඩෙන්ට පුරුදු පුහුණු නොකල හොත් මානව ප්‍රේමයට එල දැරිය නොහැකි වන්නේය. ප්‍රීතිමත් විවාහයන්ද පවුලේ සැම එකමුතුව සිටීමද දැකීමට යේසුස්වහන්සේ කැමති වන සේක.AHS 16.3

    මනුෂ්‍යත්ව‍යේ භාරයට පත් කරනු ලැබූ අන් සියලු දිව්‍ය දීමනාවන් මෙන්ම විවාහයද පාපය මඟින් දූෂ්‍ය කරනු ලැබ ඇත. එහෙත් එහි පවිත්‍රතාවය අලංකාරකම යලි ඇති කිරීම ශුභාරංචියේ අරමුණ වේ.AHS 16.4

    මෙම ප්‍රඤප්තිය මනුෂ්‍යත්වය ඔසවා ලීමට හා ඔප් නැංවීමට හැකි වන්නක් වන පිණිස දෙවියන්වහන්සේ අභිප්‍රාය කළ අතර, එය ඉටු වනුයේ ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය මගින් පමණී. එලෙස පොළොවේ පවුල් තම එකමුතු කම, සමාදානය හා ප්‍රේමය තුළ ස්වර්ගීය පවුල නියෝජනය කරනු ඇත.AHS 17.1

    ප්‍රීතිමත් අවස්ථාවක්: යේසුස්වහන්සේද උන්වහන්සේගේ ගෝලයින්ද(කානාන්හි) විවාහ මංගල්‍යයට කැඳවනු ලැබූ බැව් ශුද්ධ ලියවිල්ල පවසයි.විවාහයකට ආරාධනා කරනු ලැබූ කළ, “මෙවැනි ප්‍රීතිමත් අවස්ථාවකට ඔබ සහභාගී විය යුතු නැතැ”යි කීමට ක්‍රිස්තුස්වහන්සේ කිසිදු අවසරයක් දී නැත්තාහ.මෙම මංගල්‍යයට සහභාගී වීමෙන් ක්‍රිස්තුස්වහන්සේ අපට උගන්වා වදාළේ උන්වහන්සේගේ අණ පනත් ප්‍රකාර පැවැත්වීමෙදී තුටුවන්නන් සමග අපද සතුටු වනවාට උන්වහන්සේ කැමති බවය. ස්වර්ගීය නීති වලට අනුකූලව පවත්වනු ලබන මනුෂ්‍යයන්ගේ අහිංසක උත්සව ආදිය උන්වහන්සේ කිසි දිනෙක හෙළා නොදුටු සේක.AHS 17.2

    ජීවිත දෙකක් මුසුවීම: දෙපාර්ශවය ආගමික විශ්වාසය හා පිළිපැදීම තුළ එකඟ වේ නම්, සියලු කාරණා ගැලපේ නම්, එවන් විවාහයක් දෙවියන්වහන්සේට අප්‍රසන්න විය යුතු නොවේ.විවාහ සබඳතාවයේදී ඉතා වැදගත් පියවරක් ගනු ලැබේ. එනම් ජීවිත දෙකක් එකට මුසු වීමය.AHS 17.3

    මෙම එක්වීම පවතින නිවසේ දිව්‍ය ආශිර්වාදය ස්වර්ගීය සූර්යාලෝකය වැනිය.මක්නිසාද යේසුස්වහන්සේගේ පාලනය යටතේ, උන්වහන්සේගේ ආත්මයාණන්ගේ මග පෙන්වීම යටතේ ස්ත්‍රියද පුරුෂයාද විවාහයේ ශුද්ධ බන්ධනයෙන් එකට බැඳීම ස්වාමින්වහන්සේගේ ස්ථාපිත අභිලාෂය වන්නේය.AHS 17.4

    ස්වර්ගීය නිවසේ ප්‍රතිමූර්තිය ලෙසින් මානව නිවස පොළොව මත ඇති ඉතාම ප්‍රීතිමත් ස්ථානය වීම දෙවියන්වහන්සේගේ කැමැත්ත වන්නේය. නිවස තුළ විවාහයේ වගකීම් දරමින්, තම කැමැත්ත යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කැමැත්තට අනුබද්ධ කරමින්, උන්වහන්සේගේ හස්තය හා සහතිකය මතට නැඹුරුව, අඹුසැමි යුවලට මෙම එක්වීම තුළ දේවදූතයන්ගේ පැසසුමට ලක්වන්නා වූ සතුටක් භුක්ති විඳිය හැකිය.AHS 17.5

    අලුත විවාහ වූ යුවලට උපදෙස්: ඔබ දිවි ඇති තෙක් පවතින ගිවිසුමක් තුළ එක් වී ඇත්තාහුය. විවාහ ජීවිතය තුළ ඔබගේ අධ්‍යාපනය පටන්ගෙන ඇත. විවාහ දිවියේ පළමු වසර අත්දැකීමේ වසරකි. දරුවකු පාසැලේදී පාඩම් ඉගෙන ගන්නා සේ ස්වාමි පුරුෂයා සහ භාර්යාව එකිනෙකාගේ චරිත ලක්ෂන ඉගෙන ගන්නා වසරකි. ඔබගේ විවාහ ජීවිතයේ මෙම පළමු වසර තුළ ඔබගේ ඉදිරි අනාගත සතුටට හානි කරවනු කිසිවකට ඉඩ නොතබන්න.AHS 17.6

    ඔබගේ යාවජීව සබැඳියාවෙහි ඔබ සෙනෙහස එකිනෙකාගේ සතුටට උපහාරයක් වේවා. එකිනෙකා අනිකාගේ සතුට උදෙසා සේවය කළ යුතු වේ. ඔබ සම්බන්ධව දේව කැමැත්ත මෙය වේ. එහෙත් නුඹලා එක් අයෙකු සේ මුසුවීමේදී දෙදෙනාගෙන් කිසිවෙකුත් තම පෞද්ගලිකත්වය නැති කර නොගත යුතු වේ. ඔබගේ පෞද්ගලිකත්වයේ හිමිකරුවාණෝ දෙවියන්වහන්සේය. හරි දේ කවරක්ද? වැරදි දේ කවරක්ද? මාගේ මැවීමේ අරමුණ මා උපරිම ලෙස ඉටු කරන්නේ කෙසේදැයි උන්වහන්සේගෙන් නුඹලා ඇසිය යුතු වේ.AHS 18.1

    ස්වර්ගීය සාක්ෂිකාරයන් ඉදිරිපිට පොරොන්දුවක්:AHS 18.2

    විවාහ සබැදියාවට ඇතුළ්වන්නන් අතර පූර්ණ ප්‍රේමය හා එකඟතාවය තිබිය යතු යැයි දෙවියන්වහන්සේ සැලසුම් කොට ඇත. මනාලිය හා මනාලයා ස්වර්ගීය විශ්වය අභියස දෙවියන්වහන්සේ සැලසුම් කොට ඇති ආකාරයට එකිනෙකා හට ප්‍රේම කිරීමට ගිවිස ගනීවා. භාර්යාව තම ස්වාමි පුරුෂයාට ගරු කළ යුතු අතර ස්වාමි පුරුෂයා තම භාර්යාවට ප්‍රේමයෙන් ඇලුම් විය යුතුය. පුරුෂයන් හා ස්ත්‍රීන්, විවාහ ජීවිතයේ ආරම්භයේදි තම ජීවිත නැවත දෙවියන්වහන්සේට කැප කළ යුතුවේ.AHS 18.3