Loading...
Larger font
Smaller font
Copy
Print
Contents

නිවසේ සතුට

 - Contents
  • Results
  • Related
  • Featured
No results found for: "".
  • Weighted Relevancy
  • Content Sequence
  • Relevancy
  • Earliest First
  • Latest First

    පරිච්ඡේදය 60—එන්ට තිබෙන ලෝකය

    ඒදනය නැවත පිහිටුවනු ලැබීමට තිබේ: මනුෂ්‍යයා ඒදන් උයෙන් පියකරු මාවත් වලින් පිටතට නෙරපනු ලැබුවාට පසුවද බොහෝ කලක් යන තුරු ඒදන උයන පොළොවේ තිබුණේය. මුර කළ දේව දූතයන් විසින් ඔවුන්ගේ ඇතුළ් වීම පමණක් වළකනු ලැබ, වැටුණා වූ ජාතියට, නිර්දෝෂ මනුෂ්‍යයන්ගේ වාසස්ථානය දෙස දොරවුවෙන් එපිට සිට බැලීමටද දිගු කලක් ඉඩ හරිනු ලැබීය. කෙරුබයන් විසින් මුර කරනු ලැබූ පාරාදීසයේ දොරටුව අසල දිව්‍ය මහිමශ්‍රීය දිස්විනි. ආදම් සහ ඔහුගේ පුත්‍රයෝ දෙවියන්වහනසේට වන්දනා නමස්කාර කිරීමට එහි පැමිණියහ. ඒදනයෙන් තමන් පිටුවහල් කරනු ලැබීමට හේතු වු නොපනත් කමට භාජනය වූ ව්‍යවස්ථාවට දිය යුතු තමන්ගේ කීකරු කම පිළිබඳව දෙන ලද පොරොන්දු මෙහිදී ඔවුහු යලි මතක් කළහ. අධර්මිෂ්ඨකමේ රැල්ල ලොව පුරා පතලව ගොස්, මනුෂ්‍යයන්ගේ දුෂ්ඨකම නිසා මහා ගංවතුරකින් ඔවුන්ගේ විනාශය තීරණය වු විට ඒදනය පිහිටුවා වදාළ හස්තය එම උයන පොළොවෙන් ඉවතට ගත්තේය. එහෙත් “අලුත් අහසක්ද අලුත් පොළවතක්ද” සමගින් මනුෂ්‍යයාට අහිමි වු සියල්ල යලි භාරදීමේ දී එය මුලදී තිබුණාටත් වඩා අලංකාර ලෙස යලි පිහිටුවනු ලබන්ට නියමව තිබේ.AHS 175.1

    එවිට දෙවියන්වහන්සේගේ පනත් පැවැත්වූවා වූ මනුෂ්‍යයන් ජීවන වෘක්ෂයේ සෙවනේදී අමරණීය ප්‍රාණවත්කම ආශ්වාස කරනු ඇති අතර පාපයේ ශාපය ස්පර්ෂ නොවූ, මනුෂ්‍යයා මැවුම් කරුවාණන්ගේ සැලැස්ම ඉටු කළේ නම් මුළු ලොවම පත්වන්ට තිබුණා වූ, උතුම් ස්වභාවයේ ආදර්ශයක් වන ඒ ප්‍රීතිමත් උයනේදී දෙවියන්වහන්සේගේ මැවිල්ලේ පරිපූර්ණ මැවීමක නිදර්ශන‍යක් පාප රහිත ලෝකයන්හි වැසියන් අසීමිත යුගයන් ඔස්සේ දකිනු ඇත.AHS 175.2

    ලෝකය සම්පූර්ණයෙන්ම දෙවියන්වහන්සේ වෙතට ගෙන ඒමෙන් මිදීමේ මහා සැලැස්ම ඉටු වෙයි. පාපයෙන් අහිමිව ගිය සියල්ල යලි පිහිටු වනු ලැබෙයි. මනුෂ්‍යයා පමණක් නොව, කීකරු සෙනගගේ සදාකලික වාසස්ථානය වනු පිණිස පොළොවද මුදා හරිනු ලබන්නේය. වසර හය දහසක කාලයක් පොළොවේ අයිතිය පවත්වාගෙන යාමට සාතන් යත්න දරා ඇත. ලොව මැවීම තුළ දෙවියන්වහන්සේ අභිප්‍රාය කර වදාළ මුල් අරමුණ දැන් ඉෂ්ඨ වනු ඇත. “මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයෝ රාජ්‍යය ලබා සදාකාලයෙන් සදාකාලයට එය භුක්ති විඳින්නෝය.”AHS 175.3

    යහපත් විපාක සැබෑය: අනාගතයේදී උරුම කර ගන්නා දේ පිළිබඳව දැක්වීමේදී එය ලෞකික ස්වරූපයක් ගනිතැයි ඇතිවන බියක් හේතු කොට ගෙන, එම උරුමය අපගේ වාසස්ථානය බැව් පෙන්වන සත්‍යතාවයන්ට අධ්‍යාත්මික ස්වරූපයක් පමණක් දීමට බොහෝ දෙනා පෙළඹී සිටිති. පියාණන්වහන්සේගේ ගෘහයේ ඔවුන්ට වාසස්ථානය පිළියෙල කිරීමට තමන්වහන්සේ ගිය බැව් ක්‍රිස්තුස්වහන්සේ තම ගෝලයින් හට සහතික කොට පැවසු සේක. දෙවියන්වහන්සේගේ වචනයෙහි දැක්වෙන ඉගැන්වීම පිළිගන්නන් ස්වර්ගීය වාසස්ථානය පිළිබඳව නොදැන නොසිටිනු ඇත.AHS 176.1

    ධර්මිෂ්ඨයන් ලබනා යපපත් විපාක විසතර කර දැක්වීමට මිනිස් බස ප්‍රමාණවත් නොවේ. එය දැන ගත හැකි වනුයේ එය දකින්නන්ට පමණය. දෙවියන්වහන්සේගේ පාරාදීසයේ මහිමශ්‍රීය වටහා ගන්ට කිසිදු සීමිත මනසකට බැරිය.AHS 176.2

    ගළවනු ලැබවන්ගේ උරුමය යම් දේශයක් ලෙස බයිබලයේ දැක්වෙයි. එහි ස්වර්ගීය එ‍ඬේරාණෝ ස්වකීය රැල ජීවන උල්පත් කරා ගෙන යන සේක. ජීවනයේ ගස සැම මාසයේම ඵල දරන අතර එහි පත්‍ර ජාතීන්ගේ සේවය සඳහා වන්නේය. සුපිරිසිදු ජලයෙන් පිරි සදාතනික දිය දහරා ගලා යන අතර ඒ අසබඩ වූ සුළඟට වැනෙනා වෘක්ෂයන් තම සෙවනැලි ස්වාමීන්වහන්සේගේ මුදාගනු ලැබුවන් සඳහා පිළියෙල කොට තිබෙන මාවත්හි පතිත කරයි. ඈතට විහිදී යන තැනිතලා අලංකාර කඳු දක්වා පැතිර යන අතර දෙවියන්වහන්සේගේ උස් කඳු සිය ගිරි ශිඛර අහසට යොමු කරයි. එතෙක් කල් වන්දනා කරුවන් ලෙස තැනින් තැන ගිය දෙවියන්වහන්සේගේ සෙනඟ, එම සජීවි දිය දහරාවන් අසල ඇති නිසල සාමකාමී තැනිතලාවන්හි වාසස්ථානයක් ලබා ගනු ඇත.AHS 176.3

    පොළොවේ වන්දනා කරුවන් හට වාසස්ථාන ඇත. ජයග්‍රහනයේ තාල පත්‍ර සහ මහිමයේ කිරුළු සමගින් ධර්මිෂ්ඨයින්ට පැළඳ ගැනීමට එහි සළු ඇත. දෙවියන්වහන්සේගේ ආශීර්වාද පිළිබඳව අපට වටහා ගන්ට බැරි වු සියල්ල අලුත් ලෝකයේදී සුපැහැදිලි වනු ඇත. තේරුම් ගැනීමට අසීරු වූ දේ එවිට පැහැදිලි කෙරෙනු ඇත. අනුග්‍රහය හෙවත් දිව්‍ය කරුණාවේ අභිරහස් අප ඉදිරියෙහි දිග හැරෙනු ඇත. අපගේ සීමිත සිතට පෙනී ගිය ව්‍යාකූලත්වය සහ කැඩුණු පොරොන්දු වෙනුවට එහි අති පරිපූර්ණ අලංකාර එකඟතාවය අප දකිනු ඇත. අති දුෂ්කර ලෙස පෙනී ගිය අත් දැකීම අප මත එවා ලූයේ අසීමිත ප්‍රේමය මගින් බැව් අප දකිනු ඇත. අපගේ යහපත උදෙසා සියල්ල එකට ක්‍රියා කරන්ට සලසා වදාරණ තැනැන්වහන්සේගේ මෘදු සැලකිල්ල දකිනා අප මහිමයෙන් පිරි. වදනින් පැවසිය නොහැකි සතුටකින් පිනා යනු ඇත.AHS 176.4

    අපි අපගේ නිවසට පිය නගමින් සිටිනෙමු. අප උදෙසා මිය යන තරමට අපට ප්‍රේම කළ තැනැන්වහන්සේ අප උදෙසා නගරයක් ගොඩ නගා ඇත. නව යෙරුසෙලම අපගේ විශ්‍රාම ස්ථානය වේ. දෙවියන්වහන්සේගේ නගරය තුළ කිසිදු දුකක්, ශෝකයක් නොවන්නේය. ශෝකී විලාපයක්, බිඳුණු පැතුම් හා වැළලීගිය සෙනෙ‍හස නිසා ඇසෙන ලසෝ තැවුල් තවත් නොඇසෙනු ඇත. ඉතා ඉක්මනින් දළරළු වස්ත්‍ර මංගල්‍ය වස්ත්‍ර වලට හැරෙන්නේය. නොබෝ කලකින් අපගේ රජාණන්ගේ අභිෂේක මංගලය අප දකිනු ඇත. ක්‍රිසතුස්වහන්සේ තුළ සැගවුණු ජීවිත ඇත්තවුන්, මේ පොළොවේදී ඇදහිල්ලේ යහපත් යුද්ධයේ සටන් කළ වුන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී මිදුම් කරුවාණන්ගේ මහිමශ්‍රීයෙන් බබළනු ඇත.AHS 177.1

    ස්වර්ගයේත් පොළොවේත් එක්සත් පවුල: එහිදී මුදනු ලැබුවෝ දැන ගනු ලැබූ ලෙසම මතුද දැන ගන්නෝය. දෙවියන්වහන්සේම සිත තුළ තබා වදාළ ආදර සෙනෙහස හා දයානුකම්පාව එහිදී ඇති තාත්වික හා අති මිහිරිතම ලෙස ක්‍රියාවට නැගෙනු ඇත. ශුද්ධ ජීවින් හා පිවිතුරු සහභාගිත්වය, භාග්‍යවත් සුර දූතයන් සහ බැටළු පැටවාණන්ගේ රුධිරයෙන් තම සළු සෝදාගෙන පවිත්‍ර කර ගත් සියලු යුගයන්හි ඇදහිලිවතුන්ගේ අවිරෝධි සමාජීය ජීවිතය, ස්වර්ගයේද පොළොවේද එක්සත් පවුල එකට බැඳ තබනා ශුද්ධ බන්ධනයන් ආදිය මුදනු ලැබූවන්ගේ ප්‍රීති ප්‍රමුදිතයට ඉවහල් වෙයි.AHS 177.2

    අපගේ භූමික නිවසෙහි තිබෙන අලංකාර සියලු දේ අපගේ ස්වර්ගීය වාසස්ථානයේ සුපැහැදිලි ගංගාව සහ නිල්වන් කෙත්, සුළඟට ලෙළදෙන තුරුලතා හා සජීවී දිය උල්පත්, බබළන නගරය සහ සුදු වස්ත්‍ර පැළඳ ස්තුති ප්‍රසංශා ගයන්නන් ගෙන් යුත් කිසිදු චිත්‍ර ශිල්පියෙකුට සිතුවම් කළ නොහැකි, කිසිදු මිනිස් දිවකින් විස්තර කළ නොහැකි ඒ ලස්සන ලෝකය සිහියට නවංත්වා. “දෙවියන්වහන්සේ තමන්වහන්සේට ප්‍රේම කරන්නන් උදෙසා පිළියෙල කර ඇති දේ මනුෂයයාගේ ඇසින් දක්නට යෙදුනේවත්, කනට වැ‍ටුනේ වත්, සිතට ඇතුළ් වුනේවත් නැත.”AHS 177.3